කටුනායක ඔකායා ලංකා කම්කරුවෝ වාර්ෂික වැටුප් වර්ධකය කප්පාදු කිරීමට එරෙහිව වැඩ වර්ජනයේ යෙදෙති

කටුනායක නිදහස් වෙලඳ කලාපයයේ (කනිවෙක) පිහිටි ඔකායා ලංකා කම්හලේ කම්කරුවෝ තම වාර්ෂික වැටුප් වර්ධකය කප්පාදු කිරීමට එරෙහිව නොවැම්බර් 18 සිට 20 දක්වා උද්ඝෝෂනයක් දියත් කලහ. මෙයට කම්හලේ 500-600 ක් පමන වන සියලුම කම්කරුවෝ සහභාගී වූහ.

අපනයනය සඳහා ට්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදනය කරන ජපානයට අයත් මෙම කම්හලේ කම්කරුවන් කිහිප දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනයවීම හේතුවෙන්, ඔක්තෝබර් මස මැද සතියකට ආසන්න කාලයක් කම්හල වසා දමා තිබී නැවතත් විවෘත කෙරුනි. කම්කරුවන් කන්ඩායම් බැගින් පීසීආර් පරීක්ෂනයට භාජනය කිරීමෙන් අනතුරුව, නේවාසිකගාරවල සති දෙකක් නිරෝධානයට ලක් කිරීමෙන් පසුව ඔවුන් වැඩට කැඳවිනි.

නොවැම්බර් 18 වෙනිදා ආයෝජන මන්ඩලය, කම්හල් පරිපාලනය සහ කම්කරුවන් "නියෝජනය කල" වැඩ පරීක්ෂකවරු පස්දෙනෙකු අතර පැවැති සාකච්ඡාවකදී ලබන වසරට නියමිත වාර්ෂික වැටුප් වර්ධක දීමනාව ගෙවීමට නොහැකි බවත්, හැකි වුවහොත් පමනක් එය රුපියල් 700 ක් ලෙස ගෙවීමට බලාපොරොත්තු වන බවත්, පාලකයන් පවසා ඇත.

සියලුම කම්කරුවෝ එයට තම විරෝධතාවය පල කරමින් කලුපටි පැලඳගෙන සාමාන්‍ය ආකාරයට වැඩෙහි නිරතව ඇති අතර, නවක කම්කරුවන්ට තර්ජනය කරමින්, මෙම විරෝධතාවය සංවිධාන කරන්නන් ගැන තොරතුරු ලබා ගැනීමට පාලකයන් උත්සාහ දරා ඇත.

පසුදින, එනම් 19 වෙනිදා කොයිල් අංශයේ සහ කැපෑසිටර් අංශයේ කම්කරුවෝ ද තම විරෝධතාව පල කරමින් වැඩ වර්ජනයක නිරත වූහ. පාලකයින් සමග සාකච්ඡා කිරීම සඳහා වැඩ පරීක්ෂකවරු හතර දෙනෙකු ගියද ඔවුහු පසුව කම්කරුවන්ට පැවසුවේ පාලකයින්ගේ ස්ථාවරය වෙනස් වී නොමැති බවයි. කම්කරුවෝ දිගටම වර්ජනයේ නිරත වූහ. පසුව පේලි නායකයන් විසිහය දෙනෙකු නැවතත් සාකච්ඡාවට කැඳවා තිබේ.

“අපට ප්‍රඩක්ෂන් එක කරගෙන යන්න කිව්වා. එහෙම කලොත් තමයි එයාල ගෙවනව කියන්නෙ” යැයි සාකච්ඡාවෙන් පසු කම්හල තුලට පැමිනි පේලි නායකයන් පැවසූ බව, ඔකායා කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය. "ඊයේත් ඔහොම කියල තමයි වැඩ ගත්තේ. හැමදාම ඔහොම කියල වැඩ ගන්නද හදන්නෙ" යනුවෙන් වෛරයෙන් කතා කල කම්කරුවන් දවල් 11.30 ට පමන කම්හලෙන් එලියට පැමින වර්ජනයෙහි නිරතවූ බව ඔහු තවදුරටත් පැවසීය.

වර්ජනය යන අතරතුර, සාමාන්‍යාධීකාරී සමග සාකච්ඡා කිරීමට කම්කරුවන් පිරිසක් කාර්යාලයට ගිය නමුත් ඔහු දොර වසාගෙන සිටි බවත්, දිවා ආහාරයෙන් පසු නැවත කාර්යාලයට ගියවිට ආයුධ සන්නද්ධ පොලිස් භටයන් දහ දෙනෙකු සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් එහි සිටි බවත් කම්කරුවෝ පැවසූහ. සිවිල් ඇඳුමෙන් සැරසුනු නාඳුනන අය ද කම්කරුවන් අතර ඔත්තුකරුවන් ලෙස සිටි බවද ඔවුහු කියා සිටියහ.

පාලකයින්ගේ තානය අනුව යමින්, "කම්හල පාඩු ලබන බැවින් මෙවන් විරෝධතාවන්හි නොයෙදෙන්නැ"යි එක් පොලිස් නිලධාරියකු කම්කරුවන්ට පවසා ඇත. "සාමාන්‍ය විදියට වැඩ කරගෙනයන" ලෙසත්, ප්‍රශ්න ඇති කරමින් රැකියා අහිමිකර නොගන්නා ලෙසත් ඔහු කම්කරුවන්ට "උපදෙස්" දී ඇත.

පසුව කාර්යාලයෙන් එලියට පැමිනි සාමාන්‍යාධිකාරිවරයා, කම්කරුවන් විසින් කායික දුරස්ථභාවය කඩකරන බවට ව්‍යාජ චෝදනා එල්ල කරමින්, "තුන්වන කොරෝනා රැල්ලක් ආවොත් ඔබට යන්න තැන් තිබෙනවද? ඔබට වෙන රැකියා තිබෙනවද?" යනුවෙන් ප්‍රශ්න කොට, හෙට සිට නැවත වැඩට යන ලෙස විධානය ‌කර තිබේ. සමාගම පාඩු ලබන බැවින් රැ 700 කට වැඩි වාර්ෂික වැටුප් වර්ධකයක් ලබාදිය නොහැකි බව එහිදී ඔහු යලිත් පවසා තිබේ.

එයට විරෝධය දක්වමින් කම්කරුවන් කෑ ගැසූ විට පොලීසිය එය නතර කරන ලෙස තර්ජනය කොට තිබේ. තමන් (කම්කරුවන්) "කිසිදු අලාභ හානියක් නොකල තතු යටතේ මෙතනට පොලීසිය ගෙනාවේ ඇයිද" යනුවෙන් එක් කම්කරු කාන්තාවක් සාමාන්‍යාධිකාරීගෙන් ප්‍රසිද්ධියේ විමසා ඇත.

පසුව සාමාන්‍යාධිකාරී පවසා ඇත්තේ, වසර හය දක්වා සේවයේ නිරත කම්කරුවන්ට රුපියල් 700 ක ද, වසර හය ඉක්මවූ කම්කරුවන්ට රුපියල් 1000 ක ද වැටුප් වර්ධක ලබාදිය හැකි බවයි. මෙයට කම්කරුවන් විරෝධය පෑ විට, එහි සිටි කම්කරු කාර්යාල නිලධාරිනිය පාලකයින් වෙනුවෙන් කතා කරමින්, කම්කරු නියෝජිතයින් කන්ඩායමක් සාකච්ඡා පිනිස කාර්යාලයට කැඳවා තිබේ.

සාකච්ඡාවෙන් පසු කම්හලට පැමිනි නියෝජිතයින් පවසා ඇත්තේ, පසු දිනයේ (20 වෙනිදා) සිට වැඩෙහි නිරතවිය යුතු බවටත්, වර්ජනය හේතුවෙන් එදින වැටුප් කපා දමන බවටත්, විසඳුමක් සලකා බැලීමට වෙනත් දිනක සාකච්ඡා කරන බවටත් තීරනය කෙරුනු බවයි. අනතුරුව හවස 3.00 වන විට සියල්ලන්ටම ප්‍රවාහන කටයුතු සූදානම් කර තිබුනු හෙයින් වැඩ වර්ජනය නවත්වා තම නිවෙස් බලා යාමට කම්කරුවන්ට සිදුවිය.

20 වන දා කම්හලට පැමිනි කම්කරු නිලධාරිනිය, "සාමාන්‍ය විදියට වැඩ කල යුතු" බවත්, "එලියට බැස කලබල නොකල යුතු" බවත් කම්කරුවන්ට පවසා ඇත්තේ, එසේ වුවහොත් ඔවුන් වෙනුවෙන් යලි කතා නොකරන බවට තර්ජනය කරමිනි. තවදුරටත් ඇය පවසා ඇත්තේ ඊලඟ සතියේ සඳුදා දින හෝ බදාදා වන විට ජපාන පරිපාලනය සමග සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බව යි.

කම්කරුවන්ගේ කෝපය වාෂ්ප කිරීම සඳහා පාලකයින් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇය කම්කරුවන්ට උපදෙස් දී ඇත්තේ පාලකයින් සමග සහයෝගයෙන් වැඩ කිරීම සඳහා “සභාවක්” ගොඩ නැගීමට නියෝජිතයින් තෝරා පත්කර ගන්නා ලෙසයි. කම්කරුවන් එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ තමන් බදාදා වන තෙක් කලු පටි බැඳගෙන වැඩ කරන බවත්, එදින වන විට තම ගැටලුව නොවිසඳුවහොත් ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් පවසමිනි.

දැනට මෙම කම්හලේ කම්කරුවකුගේ උපරිම සේවා කාලය වසර 10 කි. වාර්ෂික වැටුප් වැඩි වීම රුපියල් 1,200 සහ 1,500 ක් අතර වේ. දෙසැම්බර් බෝනස් දීමනාව ලබාදෙනබව පැවසුවද, පසුගිය දිනවල පැවති අගුලු දැමීම් සහ ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකිව, බොහෝ දෙනෙකුට වැටුප් රහිත නිවාඩු සටහන් කෙරී ඇති බැවින්, ඔවුනට බෝනස් ලෙස ලැබෙනුයේ සොච්චමකි.

ඔකායා ලංකා කම්හලේ කම්කරුවන්ගේ වැටුප් වර්ධක කප්පාදුව, කෝවිඩ්-19 වසංගතය භාවිතා කරමින් ශ්‍රම සූරාකෑම තීව්‍ර කිරීම සමග බැඳී පවතී. ආයෝජන මන්ඩලය යටතේ පවතින කටුනායක, කොග්ගල, මහනුවර දිගන, මිරිජ්ජවිල යනාදි ආයෝජන කලාපවල ද, ඉන් පිටත ද පිහිටි කම්හල්වල පොදුවේ පවත්නා තත්වය මෙයයි.

මෙම පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා හාම්පුතුන්ට ශක්තිය ලැබී ඇත්තේ, කම්කරුවන්ගේ නොසන්සුන්තාවයන් වාෂ්ප කරමින්ද අරගල අවමංගත කරමින් ද, වෘත්තීය සමිති ඉටු කරන ද්‍රෝහී ක්‍රියා කලාපයෙනි. ඇන්ටන් මාර්කස් නායකත්වය දෙන නිදහස් වෙලඳ කලාප පොදු සේවක සංගමය සහ ලංකා වෙලඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, එක්සත් කම්කරු සමිති සම්මේලනය හා ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාගම් සේවක සංගමය ඇතුලු පුද්ගලික අංශයේ වෘත්තීය සමිති මේ සම්බන්ධයෙන් සුවිශේෂී වෙයි. කොරෝනා වසංගතයෙන් තීව්‍ර කෙරුන ඇඟලුම් හා අපනයන කර්මාන්තයේ අර්බුදය කම්කරුවන් මත පැටවීමට සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව සහ හාම්පුතුන් සමග මෙම සමිති සන්ධාන ගතවූහ.

ඔකායා ලංකා කම්කරුවන්ට එරෙහිව පාලකයින් විසින් පොලීසිය මැදිහත් කිරීමෙන් ඇඟවුම් කෙරෙන්නේ කම්කරුවන්ට එරෙහිව පොලීසිය සහ හමුදාව ප්‍රචන්ඩ ලෙස මැදිහත් කිරීමේ සූදානමයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කම්කරුවන් වසංගතයේ ව්‍යසනකාරී ව්‍යාප්තිය මධ්‍යයේ බලහත්කාරයෙන් වැඩට දැක්කීම එල්ල කර ගනිමින්, ජනාධිපති රාජපක්ෂ නිකුත්කල "අත්‍යවශ්‍ය සේවා" විධානය එහි ආරම්භක පියවරකි.

Loading