අනාරක්ෂිත කොන්දේසි යටතේ පාසල් විවෘත කිරීමට එරෙහිව ගුරුවරු හා දෙමාපියෝ විරෝධය පල කරති

කොවිඩ්-19 වසංගතය රටපුරා පැතිරෙමින් පවතිද්දි, දරුවන්ගේ, ගුරුවරුන්ගේ හා සමස්ත මහජනයාගේම ජීවිත අනතුරේ හෙලමින් රාජපක්ෂ ආන්ඩුව ඊයේ (23 දා), මේ වසරේ තෙවන වාරය සඳහා පාසල් විවෘත කලේ ය. 

ආන්ඩුවේ මෙම මිනීමරු තීන්දුවට විරෝධය පල කරමින් රටපුරා කම්කරු පීඩිත මහජනයා තම දරුවන් පාසල් යැවීම මුලුමනින්ම පාහේ ප්‍රතික්ෂේප කර තිබුනි. ලමුන්ගේ පාසල් පැමිනීම සියයට 30 ක් වැනි අගයක පැවති බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කලද, සැබෑ අගය සියයට 10 ටත් අඩු අගයක් බව මාධ්‍ය වාර්තා වලින් පැහැදිලි වෙයි. ගුරුවරුන්ගේ පැමිනීම ද සාමාන්‍ය දිනකට වඩා අඩු වූ අතර, ඔවුන් ද සේවයට වාර්තා කලේ ආන්ඩුවේ තීන්දුව කෙරෙහි දැඩි විරුද්ධත්වයක් සහිත ව ය.  

රෝගීන් සිය ගනනින් දෛනික ව වාර්තා වන බස්නාහිර පලාතේ පාසල් ඊයේ දිනයේ ආරම්භ නොකෙරුනි. රටේ සෙසු පලාත්වලින් රෝගීන් වාර්තා වීමේ අඩුවක් ඇත්නම් ඒ ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂන සිතා මතා ම පහල දමා තිබීම හේතුවෙනි. 

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ගුරු කන්ඩායම ලෝක සමාජවාදී වෙබ් අඩවියේ “අනාරක්ෂිත කොන්දේසි යටතේ පාසල් විවෘත කිරීමට එරෙහි වනු! වසංගතයෙන් ජීවිත රැක ගැනීමට ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටු ගොඩනගනු!“ යන හිසින් පල කල ප්‍රකාශය  බෙදා හරිමින් ගුරුවරු හා දෙමාපියන් අතර සාකච්ඡාවක නිරත විය. 

පේරාදෙනිය ගෙලිඔය නගරයේ පාසැල් ගුරුවරියක් මෙසේ පැවසුවාය: “පාසල් විවෘත කිරීම විශාල අනතුරක්. අපේ පාසලට ආසන්නයේ පේරාදෙනිය පොලිසියේ පොලිස් නිලධරියෙකුට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා. ඔහුගේ බිරිඳටත් බෝවෙලා. දැන් පොලිසියේ තවත් හතර දෙනෙකුට ආසාදනය වෙලා කියලා ආරංචියි. ඒ අය නගරය පුරා ගිහින් තියෙනවා. නමුත් කිසිම රෝග පරීක්ෂනයක් අපිට පේන්නේ නෑ. හැමෝට ම බෝ වෙයි කියලා අපි බියෙන් ඉන්නේ." 

පේරාදෙනියේ ගැටඹේ ප්‍රදේශයේ ගුරුවරයෙකුගේ අදහස මෙසේ විය: “සමාජයේ මහ වියවුලක් නිර්මානය වෙලා තියෙන්නේ. වැඩිහරියක් ලමයි බස්වල යන්නේ. පන්ති කාමරවල තදබදය වගේ ම මේවත් ලමයින්ගේ පැමිනීමට බලපානවා. ආන්ඩුව යන්නේ අපිව මරන්න. ආන්ඩුව කොරෝනාවලට මුවා වෙලා ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමත් යට ගැහුවා." 

ගුරු සංගම්වල නිෂ්ක්‍රීය ප්‍රතිචාරය හෙලා දකිමින් ඔහු මෙසේ ප්‍රකාශ කලේ ය: “මම එකඟයි සසප යෝජනා කරන වැඩපිලිවෙලට. ගුරු-සිසු-දෙමාපිය කමිටු හදාගෙන අපි කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සමග ඒකාබද්ධව සමාජවාදී වැඩපිලිවෙට සටන් වදින්න ඕන. වරාය අත්‍යාවශ්‍ය සේවාවක් කරලා කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට දැක්කීම මම හෙලා දකිනවා." 

පාසල් ආරම්භ කරන බව නොවැම්බර් 19 වැනි දා නිවේදනය කල මොහොතේ පටන් ගුරුවරුන් සහ සාමාන්‍ය මහජනයා බලාපොරොත්තු වී ඇත්තේ ආන්ඩුව මෙම තීන්දුව යලි සලකා බලනු ඇත යන්නයි. සසප ගුරු කන්ඩායම සමග අදහස් දැක්වූ ගුරුවරුන් හා දෙමාපියන් ප්‍රකාශ කලේ, ආන්ඩුව ඔවුනගේ උත්සුකයන් තඹයකට නො තකමින්, ව්‍යසනකාරී ලෙස පාසැල් විවෘත කල බවයි. තම දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ ව කොතරම් උනන්දු වුවත්, ජීවිත අවදානමේ හෙලිය නො හැකි බැවින් ඔවුන් පාසැල් නොයවන බව දෙමාපියෝ පැවසූහ.   

ඊයේ යලි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, පාසල් විවෘත කිරීමේ තීන්දුවට අනුගත වන්නැයි දෙමාපියන්ට කියා සිටියහ. ආන්ඩුව මෙම නරුම ඉල්ලීම කරන්නේ, දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ  සෞඛ්‍යාරක්ෂාව සඳහා එක් පාසලකට රුපියල් හයදාහකටත් අඩු මුදලක් වෙන් කරමිනි. උන පරීක්ෂා කිරීමේ උපකරන බොහොමයක් පාසල්වලට ඇත්තේ නැත. මේවා සාධාරනීකරනය කරමින් “උසස් පෙල පැවැත්වීමත් මේ ආකාරයටම අභියෝගයක් වුනා. නමුත් ඒක අපි කලා. පාසල් වහලා තියෙනවා නම් කොච්චර කල් වහලා තියන්න දැ" යි ඇමති ප්‍රශ්න කලේය. 

පාසල් විවෘත කිරීමෙන් සිදුවිය හැකි විනාශය පිලිබඳ යම් දර්ශකයක් පසුගිය දා අවසන් වූ උසස් පෙල විභාගය මගින් සම්පාදනය කෙරේ. එය කෙලවර වූයේ ශිෂ්‍යයන් 29 ට වෛරසය ආසාදනය වීමෙනි. ඇමති පීරිස්ගේ ප්‍රකාශයේ අර්ථය වන්නේ දරුවන් ඇතුලු මහජනයා වසංගත ව්‍යසනය තුල ජීවත් විය යුතු බවයි. 

හලාවත ආනන්ද ජාතික පාසලේ ශිෂ්‍යයෙකුගේ මව අන්තරායකාරී තත්වය මෙසේ විස්තර කලා ය: “හාලවත මත්ස්‍ය වෙලඳසැලෙන් පෙරේදා රෝගීන් වාර්තා වුනා. ඒ අයගේ දරුවෝ හලාවත පාසල්වලට තමයි යන්නේ. අපි තීන්දු කෙරුවේ දරුවො දෙන්නා මේ තත්වය උඩ පාසල් නො යවන්න". අධ්‍යාපන ඇමති හා ලේකම් පාසල් විවෘත කිරීමේ වගකීම භාර ගන්නා බවට කල ප්‍රකාශ ඇය හෙලා දැක්කා ය: “දරුවනුයි අපියි රෝගාතුර වෙල මැරිල ගියොත් මොකක් ද ගන්න වගකීම."  

හලාවත මාදම්පේ පාසලක ගුරුවරියෝ කන්ඩායමක් සිය දුෂ්කරතා සසප සමාජිකයන් සමග විස්තර කලහ. ගර්භනී තත්වයේ පසුවන ඉන් එක් තරුන ගුරුවරියක් කුරුනෑගල සිට පාසලට පැමිනෙන්නියකි. ඇය පාන්දර 4.30 ට හලාවත බස් රථයකට ගොඩ වී නැවත හලාවත-මීගමුව බස් රථයකින් ඊයේ පාසලට පැමින ඇත: “ලංකාවේ ගුරුවරුන්ට පලමු පත්වීම දුෂ්කර පලාතකටයි දෙන්නේ. දැන් මම මුහුන දෙන තත්වය අති දුෂ්කර වෙලා තියෙන්නේ. හෙට මම සායනයට යන්න ඕන. නමුත් පසුව පාසලට පැමිනෙන්න ඕන“ යයි ඇය වේදනාවෙන් ප්‍රකාශ කලා ය. 

"ගුරු වෘත්තීය සමිති වර්ජනයකට නො යන්නේ ඇයි දැ"යි ප්‍රශ්න කරමින් සාකච්ඡාවට අවතීර්න වූ තවත් ගුරුවරියක්, "කොතරම් සමිති පැවතියත් ගුරුවරුන්ට පලක් නැතැ"යි පැවසුවාය. ලෝක ධනේශ්වර ක්‍රමය මුහුන දී සිටින ගැඹුරු අර්බූදය හමුවේ වෘත්තීය සමිති එම අර්බූදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට, ආන්ඩුව සහ හාම්පුතුන් සමග හවුල්වී සිටින ආකරය සසප සාමාජිකයෝ දීර්ඝ ලෙස පැහැදිලි කලහ. 

පාසල් ආරම්භ කරන්නේ විභාග ප්‍රමාදවීම හා පාසල් විෂය නිර්දේශ ප්‍රමාද වීම වැලැක්වීම වැනි "දරුවන්ගේ අනාගතය සම්බන්ධව සලකා බලා" යයි අධ්‍යාපන ඇමති පීරිස් කරන ප්‍රකාශයන්හි වංචනිකභාවය ද සාකච්ඡාවට භාජනය විය. සැබැවින්ම, ආන්ඩුවේ පාසල් විවෘත කිරීමේ තීන්දුව බැඳී තිබෙන්නේ මහ ධනපති ව්‍යාපාරිකයන්ගේ ලාභ සුරක්ෂිත කිරීම සඳහා ආර්ථිකය විවෘත කරමින් වසංගතය මධ්‍යයේ කම්කරුවන් වැඩට දැක්කීමේ මිනීමරු පිලිවෙත සමගයි. 

වසංගතයට පෙර සිටම නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් දරුවන්ගේ අනාගතය විනාශයට ඇද දමමින් සිටි ලංකාවේ ආන්ඩු ඇතුලු ලොව පුරා ධනපති පාලකයන්, වසංගතය මධ්‍යයේ ගෙනයන මෙම පිලිවෙත අතිශය මෘග එකකි. දරුවන් පාසැල් නොගොස් නිවෙස් තුල රැඳී සිටීම කම්කරුවන් වැඩට කැඳවීමට එරෙහි බාධාවක් ලෙස පාලකයෝ දැක ගනිති. ඒ තත්වය තුල, මහ පරිමාන කර්මාන්ත, වතු සමාගම් හා බැංකු විවෘත කිරීමට සමගාමීව පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා විශ්වවිද්‍යාල ලොවපුරා විවෘත කොට තිබේ.   

ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපයේ හා අසල්වැසි ඉන්දියාව ඇතුලු ලොව පුරා රටවල්වල පාලනයකින් තොරව රෝග ව්‍යාප්තියට හා ජීවිත විනාශයට හේතු වී ඇත්තේ, මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් ධනපතියන් අතලොස්සකගේ ලාභ ඉහලින් තැබීමේ මෙම පිලිවෙතයි.  මේ වන විට ලොව පුරා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 60 කට හා මරන ගනන මිලියන 1.4 කට ලඟා වී ඇත. 

මෙතෙකුදු පාසැල් විවෘත‌ නොකල බස්නාහිර පලාතේ ගුරුවරයෙක් මෙසේ පැවසුවේය : “ආන්ඩුව ආරක්ෂාව වෙනුවෙන් තව දුරටත් මුදල් වියදම් කරන්නේ නෑ කියලා මට තේරෙනවා. මෙතෙනින් එහාට ආන්ඩුවේ පිලිවෙත වෙන්නේ මිනිස්සු බිලි දෙන එක තමයි". 

පාසල්වල කායික දුරස්ථභාවය පවත්වා ගැනීමේ නොහැකියාව පිලිබඳව අවධානය යොමු කල ඔහු මෙසේ ප්‍රකාශ කලේ ය: “ආන්ඩුව මිනිස්සු ගැන හිතලා ලොක්ඩවුන් ඉවත් කරලා පාසල් පටන්ගන්නවයි කියන එක බොරුවක්. වසංගතයත් එක්ක ජීවත් වෙන්න තමයි වෙන්නේ කියන එක ඔලුවට දාන්න තමයි මේ යන්නේ. මෙහෙම යන්න පුලුවන් සීමාව මොකක් ද කියන එක තමා ප්‍රශ්නය. මිනිස්සුන්ට සටන් කරන්න සිද්ධ වෙනවා මේ තත්වයට විරුද්ධ ව" යයි ඔහු ප්‍රකාශ කලේ ය.  

“පාසැල් වසා තිබුන දිනවල ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කරන්න උපදෙස් දී තිබුනා. එසේ කටයුතු කලත් ලමයින්ගේ සහභාගිත්වය සියයට විස්සක් පමනයි තිබුනේ. ලමයින්ට අවශ්‍ය තාක්ෂනික පහසුකම් ලබා නො දී එවැනි කටයුත්තක් කිරීමට නොහැකි" යැයි අම්බලන්ගොඩ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක් පැවසුවා ය.

පාසැල් විවෘත කිරීමට එරෙහි ව වැඩෙන මහජන විරෝධය බොහෝ මාධ්‍යවලින් වසන් කරන තතු තුල, තම දරුවන්ගේ ජීවිත අවදානමේ හෙලීමට එරෙහි ව, විවිධ ස්ථානයන්හි දෙමාපියන් ආන්ඩුවට විරෝධය දක්වන දර්ශන පෞද්ගලික රූපවාහිනි නාලිකාවක විකාශය විය. 

Loading