ඉදිරිදර්ශන

ජෝ බයිඩෙන්ගේ කැබිනට් මන්ඩලය: අධිරාජ්‍යවාදී ප්‍රතිගාමිත්වයේ වෛවර්න සන්ධානය

සංගත මාධ්‍ය හා ඩිමොක්‍රටික් පක්ෂය ජෝ බයිඩෙන්ගේ කැබිනට් මන්ඩලය “එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම විවිධාකාර ඒක ” ලෙස සමරමින් සිටින්නේ, කාන්තාවන්, අප්‍රිකානු ඇමරිකානුවන් හා ලතින් ඇමරිකානුවන් ප්‍රධාන කැබිනට් තනතුරුවලට පත් කිරීම දැවැන්ත සමාජ ප්‍රගතියේ සලකුනක් බව ප්‍රකාශ කරමිනි.

යථාර්ථයේ දී, බයිඩෙන්ගේ අධිරාජ්‍යවාදී ප්‍රතිගාමිත්වයේ සන්ධානය සංක්ෂිප්ත කර හෙලිදරව් කරන්නේ අනන්‍යතා දේශපාලනයේ දක්ෂිනාංශික සාරය යි.

ජනාධිපති ලෙස තේරී පත්වූ තැනැත්තා “තම කැබිනට් මන්ඩලය සැකසීමේ දී ඇමරිකාවේ විවිධ හරස්කඩවලින් තෝරාගැනීමේ තම අභිප්‍රාය සංඥා කර තිබේ" යැයි වර්නනා කල නිව්යෝර්ක් ටයිම්ස් හි කතෘ මන්ඩල කර්යාලවල තරම් මේ ගැන ඇති උද්‍යෝගය විද්‍යමාන වන තැනක් නැත.

ටයිම්ස් මෙසේ ලියයි: “වසර 40 කට ආසන්න කාලයක් තුල වඩා සුදු හා වඩා පිරිමි වූ, ජනාධිපති ට්‍රම්ප්ගේ කැබිනට් මන්ඩලය මෙන් නො ව, බයිඩෙන් මහතාගේ ඉහලම උපදේශකයින්ගේ ලැයිස්තුව 21 වන සියවසේ සංවේදීතාවන් පිලිබිඹු කිරීමට පොරොන්දු වේ.” එල‌ඹෙන කැබිනට් මන්ඩලය “ඇමරිකාව මෙන් පෙනෙනු ඇත”යි යනුවෙන් බයිඩෙන් ආධාරකරුවන් විසින් කරනු ලබන ප්‍රකාශ එය උපුටා දක්වයි.

කැබිනට් සාමාජිකයින්ගේ සමේ වර්නය කුමක් වුවත්, බයිඩෙන් පරිපාලනය ඇමරිකාව මෙන් නො සිතනු ඇත. මාරාන්තික වසංගත හා පෙර නො වූ විරූ මට්ටමේ අසමානතාව හා සමාජ මංමුලා සහගත තත්වයන් විසඳීම සඳහා ජනතාව විශාල සමාජ වෙනසක් ඉල්ලා සිටී.

ඇමරිකානුවන් 10දෙනෙකුගෙන් 7දෙනෙකු විශ්වීය සෞඛ්‍ය සේවයට කැමැත්තක් දැක්වුව ද, එවැනි ප්‍රතිපත්තියක් සඳහා කැබිනට් මන්ඩලය තුල කිසිදු අනුග්‍රාහී කන්ඩායමක් නොමැත. උපකාරක පන්ති රහිත විද්‍යාල සහ ශිෂ්‍ය නය සමාව සඳහා සහාය දක්වන ඇමරිකානුවන් 10දෙනෙකුගෙන් 6කට වඩා වැඩි පිරිසකට ද මෙය අදාල වේ. ඔවුන් විවිධ වර්ගවල හා ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ කොටස් අරමුදල් හවුල්කරුවන්ගෙන් සමන්විත කැබිනට් මන්ඩලයක් විසින් “නියෝජනය කෙරෙනු” ඇත.

මෙම ගිම්හානයේ දී රට පුරා පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි බහු වාර්ගික උද්ඝෝෂනවලින් පසුව සමාජ වැඩසටහන් සඳහා සහය දැක්වීම සඳහා පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 8දෙනෙකු පොලිස් දෙපාර්තමේන්තු වෙතින් මුදල් ආපසු හරවා යැවීමට කැමැත්තක් දක්වන අතර, බයිඩෙන් පොලීසිය සඳහා අරමුදල් වැඩි කිරීමට ප්‍රතිඥා දී තිබේ.

ඇෆ්ගනිස්ථානය හා ඉරාකයෙන් හමුදා ඉවත් කිරීමට කැමති සහ ආරක්ෂක වියදම් කපා හැරීමට සහාය දෙන ඇමරිකානුවන්ගෙන් සියයට 75කට වැඩි පිරිසකට, බහු වාර්ගික බිඩෙන් කැබිනට් මන්ඩලය ඔවුන්ට හරියට ම ප්‍රතිවිරුද්ධ දේ ලබා දෙනු ඇත.

නම් කෙරෙනු අය ඔවුන්ගේ වර්ගයේ හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ පුරෝගාමීහු ‌ නො වෙති, ඔවුහු සමාජ අපරාධකරුවෝ ය:

හිටපු සීඅයිඒ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක වන අව්රිල් හේන්ස් ජාතික බුද්ධි අංශයේ ප්‍රථම කාන්තා අධ්‍යක්ෂිකාව වනු ඇත. හේන්ස් ඔබාමා පාලනාධිකාරයේ ඩ්‍රෝන් ඝාතන වැඩසටහනේ සැලැසුම් කාරියක වූ අතර, ඇය දුගී දුප්පත් අප්‍රිකානුවන්, අරාබිවරුන් හා මධ්‍යම ආසියානුවන් දහස් ගනනක් ඝාතනය කලේ, වින්දිතයන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය කෙරෙහි කිසිදු අවධානයකින් තොර ව ය.

ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන පලමු ලතින් ඇමරිකානුවා වනු ඇත්තේ ඇලෙජැන්ඩ්‍රෝ මයෝකාස් ය. ඉදිරි මාස හා වසර වල දී ඔහු පිටුවහල් කරනු ලබන ලක්ෂ සංඛ්‍යාත ලතින් ඇමරිකානු (හා වෙනත්) සංක්‍රමනිකයින්ට හෝ 2013 සිට 2016 දක්වා ඔහු නියෝජ්‍ය ස්වදේශීය ආරක්ෂක ලේකම් ධුරයේ සිටිය දී කූඩුවල සිරගත කෙරුනු සංක්‍රමනික දරුවන්ට මෙහි කිසිදු සැනසීමක් නො තිබෙනු ඇත.

නිවාස අත්පත් කර ගැනුනු මිලියන ගනනක් වින්දිතයන්ට සහයෝගයක් නො දෙන අතර, බුෂ් හා ඔබාමා පාලන සමයේ දී මාසික ව ඩොලර් බිලියන ගනනක් බැංකුවලට මාරු කල ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට උදව් කරන ලද, ජෙනට් යෙලෙන් පලමු කාන්තා භාන්ඩාගාර ලේකම්වරිය වනු ඇත.

ලින්ඩා තෝමස්-ග්‍රීන්ෆීල්ඩ් එක්සත් ජාතීන්ගේ තානාපති ලෙස කටයුතු කරනු ඇත. තෝමස්-ග්‍රීන්ෆීල්ඩ් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කලේ ඇමරිකානු තෙල් හා පතල් සමාගම්වලට ලෝකයේ වඩාත්ම දුගී රටවලින් සම්පත් පැහර ගැනීමට උදව් කිරීමට යි.

විධිමත් ලෙස කැබිනට් මන්ඩලයේ සාමාජිකයෙකු නො වූවත්, එම තනතුරේ සිටින පලමු කාන්තාව මෙන් ම ප්‍රථම අප්‍රිකානු ඇමරිකානුවා වන, උප ජනාධිපති ධුරයට පත් වනු ඇති කමලා හැරිස්, “කලු ජාතික කාන්තා නීතිඥවරියක” ලෙස සිය වෘත්තිය කර ගෙන ගියේ, ඇය සිරගත කල බොහෝ දුගී දුප්පත් ජනතාවගේ ජීවිත පාගා දමමිනි.

සුදු ජාතිකයන් ද සිටින අතර, ඔවුන්ගේ ම වාර්තා තම කාන්තා හා සුලුතර සහචරයින්ට වඩා අපරාධකාරිත්වයෙන් අඩු නො වේ.

සිරියාව, ලිබියාව හා යේමනය යන රටවල යුද්ධ සංවිධානය කිරීමට උදව් කර ඇති ඇන්ටනි බ්ලින්කන් රාජ්‍ය ලේකම් ලෙස නම් කර ඇත. ඔහු පුද්ගලික කොටස් සමාගමක හවුල්කරුවෙකු වූ අතර ඊස්රායල් බුද්ධි අංශ සමඟ කටයුතු කරන හා ගූගල් වාරන මෙවලම් සංවර්ධනය කිරීමට සහාය වූ වෙස්ට්එක්සෙක් (WestExec Advisors) උපදේශකයින්ගේ සම-නිර්මාතෘවරයෙකි. සිරියාවේ මැදිහත්වීමේ ආධාරකරුවෙකු මෙන් ම 2013 දී ඊජිප්තුවේ අල්-සිසි තන්ත්‍රය ස්ථාපිත කෙරුනු කුමන්ත්‍රනයේ ආධාරකරුවෙකු වූ, හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, “දේශගුනික සාර්” වනු ඇත.

වෙනත් කැබිනට් තනතුරු සඳහා නම් කර ඇති අය සම්බන්ධයෙන් ගත් කල, ටමී ඩක්වර්ත් ආරක්ෂක ලේකම්වරිය ලෙස පලමු ආබාධිත, තායි ජාතික කාන්තාව බවට පත්වීමේ අපේක්ෂාවෙන් ටයිම්ස් බොහෝ උනන්දුවෙන් බලා සිටී. ඉන්දියානා ප්‍රාන්තයේ සවුත් බෙන්ඩ් හි හිටපු නගරාධිපති පීට් බුටිගිග් විවෘත ලෙස සමලිංගික ප්‍රවාහන ලේකම්වරයා විය හැකි ය.

වෝල් වීදිය හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දාසයින්ට “තමන්ගේ ම” ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගික දිශානතියේ කම්කරුවන් සමග සමාන කිසිවක් නැත. ඇමරිකානු සමාජයේ අතිමූලික බෙදීම් රේඛාව වන්නේ අනන්‍යතාව නො ව පන්තිය යි.

මෙය ඊයේ කැබිනට් මන්ඩලය නිවේදනය කරමින් පැවති විකාරරූපී ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රදර්ශනය කෙරුනු අතර, එහි දී මේ වන විට රට සහ ලෝකය විනාශ කරමින් පැතිරෙන කොරෝනා වෛරස් වසංගතය ගැන බයිඩෙන් එතරම් සඳහනක් නො කල අතර, ඒ වෙනුවට ඉහත නම් කරන ලද නාමිකයන්ගේ “පෞද්ගලික කථා” කෙරෙහි අවධානය යොමු කලේ ය. කතා කිරීමේ තම වාරය පැමිනි විට, නාමිකයෝ තම වෘත්තීය දියුනුව වෙනුවෙන් තමන්ට ම හා තම ආදරනීයයන්ටත් සුබ පතා ගත්හ.

මේ අතර, යථාර්තයේදී ඇමරිකානුවන් 260,000ක් වසංගතයෙන් මිය ගොස් ඇත. සංගත ලාභය සඳහා නැවත වැඩට යාමට බල කෙරුනු, ගම්බද ප්‍රදේශත්වල දෙවන හෝ තෙවන නිවාස වෙත ආපසු යාමට නො හැකි, ප්‍රමානවත් සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට නො හැකි, හෝ ඒ්වා ම පරම්පරා ගනනාවක දරිද්‍රතාව හා මර්දනයේ ලක්ෂන වන, යටින් පවතින සෞඛ්‍ය ගැටලු (හෘද රෝග, තරබාරුකම, දුම්පානය) ඇති සියලුම ජාතීන්ට අයත් දුප්පත් හා වැඩකරන මිනිසුන්ගේ අසමාන සංඛ්‍යාවක් මියගිය අය අතර වෙති.

ඊට පටහැනි ව, පාලක පන්තියේ ද්වි පාර්ශවීය ප්‍රතිපත්තිය වන්නේ ගල් අඟුරු වාෂ්ප-එන්ජින් දුම්රියක් පනගන්වනවාක් මෙන් මරන සමග වෙලඳපොලවල පන ගැන්වීම යි. බයිඩෙන් සංගත ඇමරිකාවට “ජාතික අගුලු දැමීමක් සිදු නොවන” බවට සහතික වී ඇති අතර, ඩිමොක්‍රටිකයින් හා රිපබ්ලිකානුවන් රැකියා විරහිතයින්ට ප්‍රතිලාභ සැලකිය යුතු ලෙස වැඩි නො කිරීමට කුමන්ත්‍රනය කර ඇත.

බයිඩෙන් සිය කැබිනට් තේරීම් නිවේදනය කිරීමට පටන් ගත් දින දෙක තුල, ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය ඒ්කක 1000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කරමින් වාර්තා බිඳ දමා ඒ්කක 30,000 සීමාව පසු කලේ ය. සෑම වර්ගයක ම හා ස්ත්‍රී පුරුෂ භාවයේ ධනවත් කොටස් අශ්ලීල ලෙස ධනවත් වන අතර සියලු වර්ගවල කම්කරුවෝ විවිධාකාරයේ ව්‍යසනයන්ට මුහුන දෙති.

බයිඩෙන්ගේ කැබිනට් මන්ඩලය තෝරා ගැනීම පෙන්වන්නේ වර්ගය, ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය මත පදනම් වූ දේශපාලනය, කම්කරුවන් බෙදීමට, තමන් ම ධනවත් වීමට හා යථාර්ථයේ දී ආන්ඩුවේ මොන ම ශාඛාවක වත්, නියෝජනයක් නො මැති පුලුල් ජනතාවගේ “නියෝජිතයින්” ලෙස ව්‍යාජව තෙමේ ම පෙනී සිටීමේ ඩිමොක්‍රටික් පක්ෂයේ උත්සාහයේ මූලික අංගයක් වී ඇති බවයි.

මේ අතර, හා ඔහුගේ ෆැසිස්ට් ආධාරකරුවෝ වර්ගවාදී ග්‍රස්ථ ඩිමොක්‍රටිකයින් කෙරෙහි වැඩෙන අතෘප්තිය උපයෝගී කර ගනිති. ට්‍රම්ප් 2020 මැතිවරනයේ දී කලු ජාතික පිරිමි හා ගැහැනුන් අතර තිබූ සහයෝගය දෙගුන කර ගත් අතර සංක්‍රාන්ති ලිංගික (LGBT) ප්‍රජාව අතර තම සහයෝගය තුන් ගුනයකින් වැඩි කර ගත්තේ ය. ඒ අතරම, අන්ත දක්ෂිනාංශය අනාගතය පිලිබඳ අපේක්ෂාවන් නොමැති හා ඔවුන් තම අපේක්ෂා භංගත්වයට සුදුසු ජාතිවාදී “නින්දිතයන්” මිස අන් කිසිවකු නො වන බව ඩිමොක්‍රටිකයින් පැවසීමෙන් වෙහෙසට පත්ව සිටින,තරුන ඩිමොක්‍රටිකයින් අතර බඳවා ගැනීමේ අවස්ථාවන් දකිති.

ලොව පුරා කම්කරුවන්ගේ සමාජ අවශ්‍යතා වහා ම විසඳීම සඳහා ධනවතුන් විසින් රැස්කර ඇති ඩොලර් ට්‍රිලියන ගනන් පැහර ගෙන මිනිස් දුක් වේදනා සමනය කිරීම සඳහා යෙදවිය යුතු ය. මෙහි සාර්ථකත්වය සඳහා පොදු අරගලයක් තුල සියලු කම්කරුවන්ගේ හැකි උපරිම මට්ටමේ ඒකමුතුකම අවශ්‍ය වේ.

ලෝක කම්කරු පන්තිය සමන්විත වන්නේ දහස් ගනනක් විවිධ රැකියා කරන, විවිධ භාෂා සිය ගනනක් කතා කරන, විවිධ ආගම් හා දේශීය සිරිත් විරිත් සිය ගනනක් පිලිපදින, සම, හිසකෙස් හා ඇස් ද විවිධ වර්නවලින් යුත් බිලියන සංඛ්‍යාත පුද්ගලයින්ගෙන් ය. වසර සිය ගනනක් තිස්සේ සෑම රටකම ධනේශ්වරය ව්‍යාජ විද්‍යාව, බොරු හා ප්‍රචන්ඩත්වය මත පදනම් ව එකිනෙකාට වෛර කිරීමට කම්කරුවන්ට ඉගැන්වීමට උත්සාහ කර ඇත.

සමාජවාදීන්ගේ ඓතිහාසික කර්තව්‍යය වන්නේ මෙම දැවැන්ත, විෂමජාතීය සමාජ බලවේගය එහි දැවැන්ත සමාජ බලය පිලිබඳව දැනුවත් කිරීම සඳහා ජාති‌භේදවාදය හා වාර්ගික දේශපාලනයේ දිගු උරුමයට එරෙහිව සටන් කිරීමයි. “වාමාංශිකයන්” ලෙස පෙනී සිටින අනන්‍යතා දේශපාලනයේ ධනවත් යෝජකයෝ ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීමේ ‌ඓතිහාසික අරගලයේ දැඩි විරුද්ධවාදීහු වෙති. මේ හේතුව නිසා ඔවුන්ට සම්මුති විරහිතව විරුද්ධ විය යුතු ය.

[මෙම ලිපිය නොවැම්බර් 25 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.]

Loading