රාජපක්ෂ ආන්ඩුව හමුදාවට සහ පොලිසියට දැවැන්ත බඳවා ගැනීම් නිවේදනය කරයි

දසදහස් ගනන් අලුතින් භටයින් බඳවා ගෙන යුද හමුදාව හා පොලීසිය තවදුරටත් බලගැන්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ගනිමින් සිටින පියවර දෙකක් පසුගිය සතියේ හෙලිදරව් විය.

* රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියෝගයක් පිලිබඳව සඳහන් කරමින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නොවැම්බර් 30 වනදා එම අමාත්‍යාංශයෙන් යවන ලද ලිපියකට අනුව යුද හමුදාවට අලුතින්, සෙබල-සෙබලියන් 35,000ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇත. ලිපිය යවා ඇත්තේ සැලසුමේ ප්‍රථම පියවර ලෙස 13,500 ආධුනික භටයන් මේ වසර අවසන් වීමට පෙර කඩිනමින් බඳවා ගැනීමට කටයුතු කරන ලෙස එම පරිපාලන නිලධාරීන්ට දැන්වීමටයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග [අනුග්‍රහය: ඒපී ෆොටෝ/එරංග ජයවර්දන]

ජනාධිපතිගේ "සංකල්පයකට අනුව යුද්ධ හමුදාවේ පිරිස් බලය වැඩිකර රටේ සංවර්ධන කටයුතු වේගවත්කිරීම සඳහා" මෙම ආධුනික භටයන් බඳවා ගන්නා බව ලිපියේ සඳහන් වේ. එක් එක් ග්‍රාම සේවා වසමකින් අවම වශයෙන් ආධුනික භටයන් තිදෙනෙක් බැගින් බඳවා ගැනීමට නියමිත ය.

* එදිනම පැවැත්වූ තවත් මාධ්‍ය සාකච්ඡාවකදී අලුතින් පත් කෙරුනු මහජන ආරක්ෂක අමාත්‍ය රෙයර් අද්මිරාල් සරත් වීරසේකර සඳහන් කලේ "අපරාධ සාර්ථකව මර්දනය කිරීම සඳහා" පොලිසියේ දැනට සිටින 80,000ක භට සංඛ්‍යාව 100,000 දක්වා, විසි දහසකින් වැඩි කිරීමට ආන්ඩුව සැලසුම් කර ඇති බවයි.

සෑම ගමකම “පොලීසිය සමග සම්බන්ධ වී බුද්ධි තොරතුරු ලබා ගැනීමට” සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවන බව ද වීරසේකර සඳහන් කලේය.

පොලීසිය සහ හමුදා ඇතුලු ධනපති රාජ්‍යයේ මර්දන යන්ත්‍රය දැවැන්තව ශක්තිමත් කිරීම සඳහා ආන්ඩුව සැලසුම් කර ඇති මෙම පියවරයන් කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව කම්කරු පන්තියට විරුද්ධව පන්ති යුද්ධය සඳහා සූදානම් වෙමින් සිටී.

“රටේ සංවර්ධන කටයුතු වේගවත් කිරීමට” හමුදාවට නව බඳවා ගැනීම් සිදුකරන බවට කරන ප්‍රකාශය ව්‍යාජයකි. මෙම නව පියවර රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු වේගවත් කර ඇති මිලිටරීකරන වැඩපිලිවෙලේ ඉදිරි පියවකි.

නොවැම්බර් මස 12 වනදා, හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවීම නිවේදනය කලේය. කෝවිඩ්-19 වසංගතය නිසා හුදකලා කෙරුනු ප්‍රදේශවල ජනයා එලිමහනේ ගැවසේදැයි සෙවීමට පිහිටුවන ලද බව කියූ රෙජිමේන්තුවේ ඩ්‍රෝන, නිවෙස් තුල තොරතුරු සෙවීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවල යෙදුනු බව වාර්තාවිය. නොවැම්බර් 24 වනදා යුද හමුදාව යටතේ ආපදා කලමනාකරනයේ කඩතුරාව යටතේ තවත් විශේෂ බලකායක් පිහිටවීම නිවේදනය විය.

යුද හමුදාවේ ක්ෂනික විහිදුම් බලකාය පසුගිය මාස ගනනාව තුල කොලඹ හා තදාසන්න ප්‍රදේශවල සිය අධිබල යතුරුපැදි අරා සැරිසරමින් මහජනයා අතර භීතිය වැපිරීමේ ක්‍රියාවල යෙදුනේය.

රාජපක්ෂ ආන්ඩුව වසංගත අර්බුදය යොදා ගනිමින් සිටින්නේ වැඩකරන ජනතාවට විරුද්ධව කඩාපැනීමේ රුදුරු පෙරහුරුවීම් සඳහාය. සූක්ෂම අවිවලින් සහ ඔත්තු බැලීම් සඳහා නූතන සන්නිවේදන තාක්ෂනයෙන් මිලිටරිය සන්නද්ධ කිරීම සිදුවෙයි. මෙම පියවර වේගවත් කිරීමට ජපකරන ප්‍රතිගාමී මන්ත්‍රය "ත්‍රස්තවාදයෙන් ජාතික ආරක්ෂාව" තහවුරු කිරීමයි. මෙම රුදුරැ සුදානම්වීම් අවරනය කිරීමට එල්ටීටීඊ හා මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී ව්‍යාපාර යලි මතුවීම ගැන වර්ගවාදී ප්‍රචාර ඇවිස්සීම අඛන්ඩව සිදුවේ.

මහජන ආරක්ෂක ඇමති වීරසේකර සඳහන් කරන ආකාරයේ ප්‍රාදේශීය ආරක්ෂක කමිටු මීට පෙරද පොලීසිය විසින් ක්‍රියාවට දමා ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව සමයේ එවක ආරක්ෂක ලේකම් ව සිටි ගෝඨාභය රාජපක්ෂ උතුරු හා නැගෙනහිර පලාත්වල දෙමල ජනයා මඩිමින් බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි වර්ගවාදී යුද්ධය ගෙනයන අතර දකුනු පලාත්වල ආරක්ෂක කමිටු පිහිටුවා තිබුනේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ පෙරලිකාරිත්වය හා දේශපාලන විරුද්ධවාදීන් පිලිබඳව ඔත්තු බැලීමටයි.

පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් ප්‍රජා පොලිස් කමිටු ලෙසින් ඔත්තු බැලීම් ඉදිරියට ගෙනගිය අතර වත්මන් ජනාධිපති බලයට පැමිනීමෙන් පසු දෙසැම්බර් මාසයේදී “සුරකිමු ශ්‍රී ලංකා පොලිස් ආරක්ෂක කමිටු” පිහිටවූයේය.

කුමන නම් වලින් හැඳින්වුවද මෙම පොලිස් කමිටු ක්‍රියාත්මක කෙරුනේ කම්කරුවන්, දුගීන් හා තරුනයන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔත්තු බැලීමය. වීරසේකර සෘජුවම තමන් ස්ථාපිත කිරීමට යන කමිටු වල අරමුන බුද්ධි තොරතුරු සම්පාදනය කරගැනීම බව සඳහන් කරමින් ඔත්තු සේවා විධිමත් කිරීමට සැලසුම් කරයි.

පොලීසිය සහ මිලිටරිය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය පසුබිම සම්පාදනය කරමින් ආන්ඩුව 2021 අයවැයෙන් සෞඛ්‍ය හා අධ්‍යාපනයට වියදම් කප්පාදු කරමින්, ආරක්ෂක අංශවලට යන වියදම් බිලියන 440 දක්වා වැඩි කලේය. එය 2019 වෙන්කල මුදලට වඩා බිලියන 47 ක වැඩිවීමකි.

රාජපක්ෂ ආන්ඩුව ආරක්ෂක බලකායන් හා පොලිසිය තරකිරීම සිදුකරන්නේ තමන් වැඩකරන ජනතාව අතර සමාජ විරෝධය ගිනියම් වෙමින් පවතින බව වටහා ගෙන ය.

2015 වනවිට යුද්ධයේ විනාශයන් සහ කප්පාදු වැඩපිලිවෙල නිසා කලින් පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩෙමින් පවතී මහජන විරෝධය අවමංගත කරගනිමින් සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය බලයට ආවේය. අවසානයේ එම "සමගි ආන්ඩුව" දෙපලු වී ගියේ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධව කම්කරුවන් හා දුගීන් අතරින් පැනනැගුනු අරගල මධ්‍යයේ ය.

ජීවන හා සමාජ කොන්දේසි යහපත් කරන බවට වැඩකරන ජනයාට ව්‍යාජ පොරොන්දු දුන් රාජපක්ෂ බලයට ආවේ "ශක්තිමත්, ස්ථාවර පාලනයක්" ඇති කරන බවට ධනපති පන්තියට පොරොන්දු වෙමිනි. රාජපක්ෂ යෙදී ගෙන සිටින්නේ එවන් ශක්තිමත්, ස්ථාවර පාලනයක් තහවුරු කිරීමේ වැඩ කටයුතු වලය.

ගෝලීය වසංගතය නිසා ආර්ථික අර්බුදය ගැඹුරුවී ඇති කොන්දේසි තුල රාජපක්ෂ ආන්ඩුවේ ආධාරයෙන් මහා ව්‍යාපාරිකයන් රැකියා, වැටුප්, සේවා කොන්දේසි වලට එල්ල කරන ප්‍රහාරවලට හා අන් සියල්ලටමත් වඩා අනාරක්ෂිත වසංගතයේ කොන්දේසි තුල වැඩට තල්ලු කිරීමට විරුද්ධව කම්කරුවන් අතර විරුද්ධත්වය ලියලමින් පවතී. අසංවිධිත අංශයේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා විනාශවී ඇත. අති විශාල ගම්බද හා නගරබද දුගී ජනතාවක් ජීවන කොන්දේසි අතුගෑවී යාමකට මුහුන දෙති. රාජපක්ෂ ආන්ඩුව හා පාලක පන්තියේ සෑම කොටසක්ම සලිත වී සිටින්නේ මෙම වර්ධනයන්ගෙන් ඇති කිරීමට නියමිත සමාජ පිපිරීම් ගැනයි.

ලංකාව තුල ප්‍රකාශයට පත්වෙමින් තිබෙන්නේ ලෝක පරිමානව ගැඹුරු වන වර්ධනයකි. කොරෝනා වසංගතයේ ව්‍යසනය හා ඉන් උග්‍රවී ඇති ගෝලීය අර්බුදයේ බරපැටවීමට විරුද්ධව කම්කරු පන්තියේ අරගලවල නව රැල්ලක් සෑම රටකම මතුවෙමින් තිබේ. අසල්වැසි ඉන්දියාවේ මෑත මහා වර්ජන හා දැන් සති දෙක ඉක්මවා ඇති ගොවි ජනයාගේ දැවැන්ත උද්ඝෝෂනය, ඇමරිකාවේ හා යුරෝපයේ අරගල මෙම අරගල රැල්ලේ කොටසකි.

ධනපති පාලක පන්තීන්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ විප්ලවවාදී අරගල වර්ධනය වීමේ කොන්දේසි තුල ඒවා මැඩීමට ෆැසිස්ට් හා මිලිටරි ආඥාදායක පාලනයන් ඇටවීම සඳහා ප්‍රතිවිප්ලව සූදානම් කිරීමයි. ලෝක ධනවාදයේ මධ්‍යස්ථානය වන එක්සත් ජනපදයේ එහි විසකුරුම ප්‍රකාශය දකිත හැකිය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මෙවර චන්දයෙන් පරාජය වී ඇතත් එය ප්‍රතික්ෂේප කරමින් ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක් මෙහයවා ගෙන බලයේ රැඳී සිටීමට දරන-ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රයත්නයක යෙදී සිටී. ස්පාඤ්ඤය හා ජර්මනිය එවැනි ෆැසිස්ට්වාදී ව්‍යාපාර පැනනගිමින් පවතින රටවල් ය.

ලංකාවේ ධනපති පන්තිය ආර්ථික බිඳ වැටීමකට හා නය අර්බුදයකට මැදිවී සිටියි. අගමැති හා මුදල් ඇමති මහින්ද රාජපක්ෂ 2021 අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කලේ දල දේශීය නිශ්පාදිතයෙන් සියයට 9.9 ක් වන අයවැය පරතරය ඉදිරි අවුරුදු පහ තුල සියයට හතර දක්වා අඩු කර ගන්නා බවයි.

මෙම දැවැන්ත බර පැටවිය යුත්තේ දැනටමත් පීඩා විඳින කම්කරුවන් හා දුගීන් මතය. වැඩකරන ජනතාවගේ අරගල වැඩෙන තතු තුල එය සාමකාමී ලෙස කල නොහැකිබව රාජපක්ෂ ආන්ඩුව හා ධනපති පන්තිය දනී. රාජපක්ෂ, මිලිටරිය මත පදනම්වූ ජනාධිපති ආඥාදායක පාලනයකට මාරුවීමට පියවර ගන්නේ මේ තත්වය තුලයි.

වරාය කම්කරුවන් වසංගත කොන්දේසි තුල සේවය කිරීමට විරුද්ධත්වය පල කිරීම කෙරෙහි ජනාධිපති රාජපක්ෂගේ ප්‍රතිචාරය වූයේ අත්‍යවශ්‍ය සේවා නියෝග දමා දඬු ගැසීම නිවේදනය කිරීමයි. ආන්ඩුව මොනතරම් රුදුරු ලෙස කම්කරුවන් මතට කඩා පැනීමට සූදානම් වන්නේද යන්න ගැන මෙය සුලු ඉඟියක් පමනි.

ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු මුල පටන් දෙමල සුලුතර ජනයාට එරෙහිව සිංහල ස්වෝත්තමවාදී වෙනස්කම් අවුලුවමින් කම්කරු පන්තිය බෙදා පාලනය කිරීම ධනපති පන්ති පාලනය රැකගැනීමේ විසකුරු අවිය ලෙස යොදා ගත්තේය. 1983 ඇරඹු වර්ගවාදී තිස් අවුරුදු යුද්ධය එහි කුලු ගැන්වීමකි.

මෙම යුද්ධය ලංකාවේ පාලක පන්තිය යොදා ගත්තේ පලල් මිලිටරිකරනයක් ගොඩ නැගීමටයි. ලෝක බැංකුවේ වාර්තා වලින් දත්ත ලබාගනිමින් මැක්රොට්‍රෙන්ඩ්ස් (Macrotrends) ආයතනය පෙන්වා දෙන්නේ 1985 දී යන්තම් දහස් ගනනක් වූ මිලිටරියේ සාමාජිකයින් ගනන 2017 වසර වෙද්දී 317,000 නැගුනු බවයි. අලුතින් බඳවා ගැනීම් සිදුවන්නේ එතැන් සිට තවත් තර කෙරුනු මිලිටරියටයි. රාජපක්ෂ ආන්ඩුව මිලිටරිකරනය පලල් කිරීමට හා ආඥායක වැඩපිලිවෙලට පිනුම්පිත්ත කරගෙන ඇත්තේ මෙම වර්ධනයන්ය.

රාජපක්ෂ ආන්ඩුව පන්ති යුද්ධය සඳහා තීව්‍ර කරන වැඩපිලිවෙලට ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), සමගි ජන බලවේගය (සජබ) ආදී ඊනියා විරුද්ධ පක්ෂවලත් වෘත්තීය සමිති වලත් සහයෝගය යහමින් ලැබේ. ජවිපෙ හා සජබ ( එහි නායකයින් කලින් සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ය) යුද්ධයට හා මිලිටරිය තර කිරීමට ඍජුවම සහයෝගය දුන් අතර නොවැම්බර් මාසයේදී මෙම පක්ෂ සියල්ල ආන්ඩුව ආරක්ෂක කටයුතු සඳහා දැවැන්ත මුදල් වෙන්කිරීම සම්මත වීමට ඉඩ හැරියේය.

කම්කරු පන්තිය, ගොවියන් සහ තරුනයින් මෙම පිලිවෙත් වල අනතුරු ඇඟවීම් වටහා ගත යුතුය. කම්කරු පන්තිය ධනේශ්වරයේ සියලු කන්ඩායම් වලින්, වෘත්තීය සමිතිවලින් සහ අවස්ථාවාදීන්ගේ සවිධානවලින් බිඳෙමින් තමන්ගේ දේශපාලන ශක්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට පෙරට ආයුතුය. එහි එක පියවරක් වන්නේ වැඩපොල ආශ්‍රිතව සහ වතුකරයේ කම්කරු ක්‍රියාකාරී කමිටු පිටුවා ගැනීමයි.

ආඥාදායක සැලසුම්වලට එරෙහිව කම්කරු පන්තියට සටන් කල හැකිවන්නේ දුගීන්, පීඩිතයන් හා තරුනයන් තමන් වටා බලමුලුගන්වා ගනිමින් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට හා සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමෙනි. මෙම අරගලය ගෙන යා හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව තහවුරු කරමින් ලෝක සමාජවාදී විප්ලවයට සටන් කිරීමේ කොටසක් ලෙස පමනකි.

මෙම වැඩපිලිවෙලට සටන් කිරීමට සමාජවාදී සමානතා පක්ෂය සමග එක්වන ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලමු.

Loading