සෞඛ්‍ය සේවක ක්‍රියාකාරි කමිටුවේ අන්තර්ජාල රැස්වීමේ දී සජීවී සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව (සෞකක්‍රික) සිය පලමු ප්‍රසිද්ධ රැස්වීම දෙසැම්බර් 9 වන දින අන්තර්ජාලය හරහා පවත්වන ලදී. රැස්වීමේ මාතෘකාව වූයේ “සෞඛ්‍ය සේවක අවශ්‍යතාවයන් ජය ගැනීමට සටන් කල හැක්කේ කෙසේද?” යන්නයි.

මෙම රැස්වීමට සහ සාකච්ඡාවට වෛද්‍යවරුන්, හෙදියන්, වෙනත් සෞඛ්‍ය සේවකයින්, විශ්ව විද්‍යාල සිසුන් සහ ආධාරකරුවන් ඇතුලු 35 කට අධික පිරිසක් සහභාගී වූහ. ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිකුත් කරන සෞඛ්‍ය කම්කරුවන්ට සසප පනිවිඩ සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප), රැස්වීම ගොඩනැගීමට උපකාරී විය.

සෞකක්‍රික සහ සසප සාමාජික සකුන්ත හිරිමුතුගොඩ ගෝලීය වසංගත තත්ත්වය සහ ලොව පුරා සහ ශ්‍රී ලංකාවේ ඉදිරිපෙල සෞඛ්‍ය සේවකයින් කෙරෙහි එහි බලපෑම පැහැදිලි කරමින් රැස්වීම ආරම්භ කලේය.

ගෝලීය වශයෙන් සෞඛ්‍ය සේවකයින් 20,000 ක් මේ වන විටත් වෛරසයෙන් මිය ගොස් ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ එක් වෛද්‍යවරයෙකුගේ මරනයක් වාර්තා වී ඇති අතර සෞඛ්‍ය සේවකයින් 100 කට වැඩි ප්‍රමානයක් දැනටමත් ආසාදනය වී ඇත. ජාත්‍යන්තර හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයින්ගේ අරගල ගැන සඳහන් කල ඔහු, “මෙම අරගලවලින් පෙන්නුම් කරන්නේ සෞඛ්‍ය සේවකයින්ට සටන් කිරීමට ඇති දැවෙන අවශ්‍යතාවය" බව අවධාරනය කලේය.

සාකච්ඡාව සඳහා ප්‍රධාන වාර්තාව සසප දේශපාලන කමිටුවේ සහ සෞකක්‍රික හි සාමාජික සමන් ගුනදාස විසින් ඉදිරිපත් කරන ලදී. COVID-19 වසංගතය යනු පසුගිය සියවසේ සිදු වූ ලෝක යුද්ධ දෙකට සමාන වන ප්‍රේරක සිදුවීමක් බව ඔහු පෙන්වා දුන්නේය. වසංගතය පසුගිය දශක කිහිපය තුල ගැඹුරු වූ ගෝලීය ධනවාදයේ අර්බුදය වේගවත් කර තිබේ. ශ්‍රී ලංකාව ද ඇතුලු සෑම ධනපති රටක්ම මෙම බරපතල අර්බුදය තුල ලාභ ඉපයීම මිනිස් ජීවිත වලට ඉහලින් තබා ඇත.

“ආන්ඩු සහ ඒවාට ගැති ජන මාධ්‍ය උත්සාහ කරන්නේ මරනය සහ කොරෝනා වෛරසය සාමාන්‍යකරනය කිරීමටයි. එය දැන් සෑම රටකම පාහේ මරනයට ප්‍රධාන හේතුව වී ඇත. ප්‍රමුඛතම ධනවාදී රට වන එක්සත් ජනපදයේ COVID-19 වසංගතයෙන් සිදුවන මරන හෘද රෝග හා පිලිකා වලින් සිදුවන මරන අභිබවා යයි. ”

ලාබ හඹායන අන්තර්ජාතික සංගත, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය සහ බිලියනපතියන්ගේ අවශ්‍යතා කම්කරු පන්තියේ ඉතා මූලික අවශ්‍යතා වලට පවා එරහිව පවතින අයුරු කථිකයා පැහැදිලි කලේය.

වසංගතයේ අන්තරාය වසන් කිරීමට සහ ධනවාදී නිෂ්පාදනය අඛන්ඩව පවත්වා ගැනීමට, “නව සාමාන්‍ය” සහ “වෛරසය සමඟ ජීවත් වීම” වැනි පාඨ යොදාගනිමින් ආන්ඩු විසින් කම්කරුවන්ට වැඩ කිරීමට බල කෙරී ඇත.

ඉදිරිපෙල සෞඛ්‍ය සේවකයින් මෙම තත්වය තුල දැවැන්ත අන්තරායන්ට මුහුන දී සිටින තතුතුල රැස්වීමේ මාතෘකාව ඔවුන්ට බෙහෙවින් අදාල වන බව ගුනදාස අවධාරනය කලේය.

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති, වෙනත් ක්ෂේත්‍ර වල සිටින ඔවුන්ගේ සගයන් මෙන්ම, කම්කරුවන්ගේ අවශ්‍යතාවන්ට සම්පූර්නයෙන්ම ප්‍රති විරුද්ධව ක්‍රියා කරයි. ඔවුහු ධනේශ්වර පන්තියේ ඒජන්තයන් ලෙස වැඩ කරති. බොහෝ අවස්ථා වල අත්දැක ඇති පරිදි, වෘත්තීය සමිති කම්කරුවන් ශ්‍රේනි අනුව බෙදන අතර එක් කොටසක් අනෙක් අයට එරෙහිව කොටවමින් ඔවුන්ගේ අරගල සීමා කරති. එවැනි ක්‍රියාවන් මගින් ඔවුන් කම්කරුවන්ගේ එකමුතුකම සහ පන්ති ශක්තිය බිඳ අරගල දුර්වල කිරීමට සහ පාවා දීමට කටයුතු කරති” යැයි ඔහු පැවසීය.

කම්කරුවන්ගේ අරගල සඳහා මූලෝපායක් තිබිය යුතුය. පසුගිය මාසවල මෙම අරගලවල අත්දැකීම නම් කම්කරු පන්තියට ධනේශ්වර ක්‍රමය තුල විසඳුමක් සොයාගත නොහැකි බවයි. ඉල්ලීම් දිනා ගැනීම සඳහා ප්‍රතිගාමී ධනවාදී පාලකයින් කෙරෙහි විශ්වාසය නොතබා ගොවීන්ගේ හා අනෙකුත් පීඩිත කොටස්වල සහයෝගය ලබා ගනිමින් රාජ්‍ය බලය ලබා ගැනීමට එය ඉදිරියට යා යුතුය.

විවිධ ශ්‍රේනි හා කොට්ටාශ හරහා කම්කරුවන් එක්සත් කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සඳහා පොදු අරගලයක් සංවිධානය කිරීමට සෞඛ්‍ය සේවකයින් රෝහල්වල සහ වෙනත් සේවා ස්ථානවල තමන්ගේම කම්කරු ක්‍රියාකාරී කමිටු සංවිධානය කල යුතු බව ඔහු යෝජනා කලේය. සෞඛ්‍ය සේවකයින් රටතුල සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සමඟ එක්විය යුතුය.

සෞකක්‍රික මේ වන විටත් ඒ් පිලිබඳව මූලිකත්වය ගෙන ඇති බව ගුනදාස අවධාරනය කලේය. රාජපක්ෂ ආන්ඩුව අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවූ කොලඹ වරායේ කම්කරුවන්ට සහයෝගය ප්‍රකාශ කරමින් සෞකක්‍රික ප්‍රකාශයක් නිකුත් කලේ මේ අනුව යමිනි. දරාගත නොහැකි සේවා කොන්දේසි හෙලිදරව් කිරීම නිසා සේවයෙන් නෙරපා හරින ලද සුව සැරිය ගිලන්රථ සේවකයින් නැවත සේවයේ පිහිටුවන ලෙස මෙම ක්‍රියාකාරී කමිටුව බලකර තිබේ.

සාකච්ඡාව තුලදී පේරාදෙනි ශික්ෂන රෝහලේ වෛද්‍ය නිලධාරියෙක් කියා සිටියේ අප සෞඛ්‍ය සේවකයින් වුවද අපව ආරක්ෂා කර ගැනීම සඳහා මුහුනු ආවරන මිල දී ගත යුතු බවත් වෛද්‍ය උපදෙස්වලට පටහැනිව ඒවා නැවත නැවතත් භාවිතා කල යුතු බවත්ය.

සම්පත් ගැටලුව මඟහරවා ගැනීම සඳහා පොලීසිය, මිලිටරිය හා මහා ව්‍යාපාරිකයින් සඳහා වෙන් කර ඇති විශාල මුදල් ප්‍රමානය සෞඛ්‍ය අංශය වෙතට ආන්ඩුව විසින් ආපසු හැරවිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය. කම්කරුවන් සූරාකෑමෙන් ප්‍රකෝටිපතියන් වසංගතය තුලදි තම ධනය පුලුල් කර ගන ඇති අයුරු පෙන්වා දුන් ඔහු අවදානම් සහිත පුද්ගලයින් විශාල ප්‍රමානයක් වෛරසයට නිරාවරනය කරමින් ආන්ඩු විසින් මිනීමරු “රංචු ප්‍රතිශක්ති” ප්‍රතිපත්තිය භාවිතා කරන ආකාරය පැහැදිලි කලේය.

ගම්පොල රෝහලේ වෛද්‍ය නිලධාරියෙක් සාකච්ඡාවට එක්වෙමින් අවධාරනය කලේ වසංගතය පැමිනීමත් සමඟ සෞඛ්‍ය සේවකයින් අතර නොසන්සුන්තාව තීව්‍ර වී ඇති බවයි. ජවිපෙ (ජනතා විමුක්ති පෙරමුන) සහ ව්‍යාජ වාමාංශික පක්ෂ උත්සාහ කරන්නේ කම්කරුවන්ගේ ප්‍රතිරෝධය හිස් උද්ඝෝෂන වලට කොටු කර කම්කරුවන්ගේ අරගල හුදකලා කිරීම වන අතර ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සෞඛ්‍ය සේවකයින්ට වසංගතයෙන් නිසි රැකවරනයකින් තොරව රාජකාරි භාර ගැනීමට බල කරයි.

මෙම මර්දනයට මුහුන දීම සඳහා රෝහල්වල ක්රියාකාරී කමිටු ගොඩනැගීම වෛෂයික අවශ්‍යතාවයක් බවට පත්ව ඇති බව ඔහු අවධාරනය කලේය.

පේරාදෙනිය ශික්ෂන රෝහලේ හෙදි නිලධාරිනියක් සාකඡචාවට ඒක්වෙමින් කියා සිටියේ: “රෝහල තුල වසංගතයේ ආසාදන හැකියාව ශ්‍රේනිගත කිරීමේ අවදානමක් පවතිනවා. උදාහරනයක් ලෙස සායන අඩු අවදානමක් සහිත ලෙස සලකනු ලබන අතර වාට්ටු ඉහල අවදානමක් සහිත ලෙස ශ්‍රේනිගත කර තිබෙනවා. එවැනි ශ්‍රේනිගත කිරීම් යොදා ගන්නේ ආරක්ෂික ආම්පන්න සැපයීම සීමා කිරීම සඳහායි. ඉන් සිදුවී ඇත්තේ, අපගෙන් සමහරෙකුට රෝගීන්ට පලදායී ලෙස ප්‍රතිකාර කිරීම සඳහා නිසි පීපීඊ (පුද්ගලික ආරක්ෂක උපකරන) නොමැතිව ක්‍රියා කිරීමට සිදුවීමයි.

“අප පීපීඊහි සමහර කොටස් මිලදී ගත යුතුයි. ඒවායේ ගුනාත්මකභාවය පහත් මට්ටමක පවතින බැවින් අපගේ රාජකාරීන් ඉටුකිරීම සදහා අප ශාරීරිකව හෝ මානසිකව සුදුසු තත්වයක නැහැ. අපට නිසි පීපීඊ නැත්නම් ඕනෑම මොහොතක අප නිරෝධායනයකට භාජනය විය හැකියි. අපේ පවුල් පවා අවදානමට ලක්ව තිබෙනවා. පවුල පිටින් සමාජයෙන් කොන් වී ගිහින්. අපට ගැටලු රාශියක් ඇතත් වර්තමානයේ ඇති මූලිකම ප්‍රශ්නය මෙයයි. ”

එම රෝහලේම තවත් හෙද නිලධාරියෙකු මෙම සාකච්ඡාවට එක්වෙමින් මෙසේ පැවසීය. “අප වෙත සමස්ත රට තුලින්ම රෝගීන් පැමිනෙනවා. අප විසින්ම මිලදී ගත් ශල්‍ය මුහුනු ආවරනයක් සහ බාල ආරක්ෂිත ආම්පන්න පමනක් පැලඳ සිටින හෙයින්, අප මුහුන දී සිටින්නේ ඉතා දුෂ්කර අවස්ථාවන්ටයි. සැක සහිත COVID-19 රෝගීන් තබා ගැනීමට අපට හුදකලා ස්ථාන නැහැ, සියලුම රෝගීන් එකට තබා ගත යුතුයි. මේවා අප මුහුන දෙන බරපතල ගැටලු වන නමුත් වගකිවයුතු තනතුරු දරන කිසිවෙකු අපට ඇහුම්කන් දෙන්නේ නෑ.. අපට අවදානමට ලක්විය හැකි මහලු දෙමාපියන්, අසනීප දරුවන් සිටින නිසා ගෙදර වැඩවල යෙදීම සඳහා අපි ගෙදර යන්නේ රෑ බෝවූ පසුවයි."

මහරගම ජාතික පිලිකා ආයතනයේ වෛද්‍ය නිලධාරියෙක් පෙන්වා දුන්නේ ඔක්තෝබර් මස මුලදී COVID-19 ආසාදන පැතිරෙමින් පවතිදදී වසංගතය මධ්‍යයේ වැඩ කිරීමට තම රෝහලේ කිසිදු සූදානමක් නොමැති වූ බවයි.

කලමනාකරනය ඉතා ප්‍රමාද වී පියවර කිහිපයක් ගෙන ඇත. තවමත් මෙම රෝහලේ වෛරස් රෝගීන් සඳහා හුදකලා වාට්ටුවක් නොමැත. එබැවින් වසංගත රෝගීන් ගනනාවක් මතු වූ අතර සෞඛ්‍ය සේවකයින් පවා ආසාදනය විය. දැන් පවා නිකුත් කර ඇත්තේ ඉතා සීමිත පීපීඊ සංඛ්‍යාවක් වන අතර ඒවා නැවත භාවිතා කිරීමට අපට බල කෙරී ඇත'යි ඔහු පැවසීය.

බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරයෙක් වන ජානක එරට සෞඛ්‍ය සේවකයින් මුහුන දෙන ගැටලු පැහැදිලි කලේය. වසංගතය නොතකා ව්‍යාපාර මුලුමනින්ම විවෘත කල බව ඔහු අවධාරනය කලේය. පාලකයන් ජීවිත ගැන තැකීමක් නොකරයි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ තත්වය සමඟ සංසන්දනය කල ඔහු, නිසි සෞඛ්‍ය පහසුකම් සඳහා වියදම් කරනවා වෙනුවට ජනතාව රවටා ගැනීම සඳහා ආන්ඩුව සහ මාධ්‍යය මිථ්‍යා විශ්වාස සහ විද්‍යාත්මක නොවන දේශීය ඖෂධ ප්‍රවර්ධනය කරන බව අවධාරනය කලේය.

සාකච්ඡාව සහභාගිවන්නන්ගේ අදහස් දැක්වීම් හා ප්‍රශ්න සමඟ ඉදිරියට ගියේය. ඇඹිලිපිටියේ එක් සවන්දෙන්නෙකු පැහැදිලි කලේ මේ රටේ නිදහස් සෞඛ්‍ය ක්‍රමය අනුප්‍රාප්තික ආන්ඩු විසින් විනාශ කර ඇති බවයි.

වසංගතය පාලනය කිරීම සඳහා සහ නාගරික අඩු ආදායම්ලාභී මහල් නිවාසවල සිරවී සිටින ජනතාවගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා ක්‍රමානුකූල වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම පිලිබඳව ආන්ඩුව සැලකිලිමත් නොවන බව රුහුනු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් පෙන්වා දුන්නේය.

ආන්ඩුව ප‍්‍රචාර මගින් ජනතාව රවටන බැවින් සෞඛ්‍ය සේවකයන්ට වසංගතය පිලිබඳ සත්‍යය ජනතාවට පැහැදිලි කල හැකිද යන්න සහ ලාබ අරමුනු කරගත් ඉහල මිලක් සහිත COVID-19 එන්නත ලබා ගැනීම වැඩකරන ජනතාවට කෙතරම් ප්‍රායෝගික වේද යන්න පැහැදිලි කිරීම, ප‍්‍රශ්නවලට ඇතුලත් විය.

මෙම වැදගත් අදහස් දැක්වීම් මගින් රෝගීන් සහ සෞඛ්‍ය සේවකයින් සඳහා සෞඛ්‍ය සේවාවන් කප්පාදු කරන ආකාරය සහ එම තත්වයට මුහුන දීම සඳහා රෝහල්වල හා සේවා ස්ථානවල ක්‍රියාකාරී කමිටු පිලිබඳ යෝජිත වැඩ සටහන දියත් කිරීමේ වැදගත්කම සනාථ කර ඇති බව ගුනදාස පැහැදිලි කලේය.

පුද්ගලික සෞඛ්‍ය සේවා පද්ධතිය භාවිතා කල හැක්කේ ධනවතුන්ට පමනි. මෙය එන්නත සඳහා ද අදාල වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නත් ගනනාවක් ලබා දෙන බවට සහතික වීම ගැන ඔවුන් පවසන දේ හැරෙන්නට එන්නත් ලබා ගැනීමට ආන්ඩුවේ කිසිදු විධිවිධානයක් තවමත් නොමැත.

ලාභය සඳහා නොව මානව අවශ්‍යතාවයන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් සමාජීය ආකාරයකින්, එමන් සමාජවාදී ප්‍රතිපත්ති මත නිෂ්පාදනය සංවිධානය කරන විට ජනතාව මුහුන දෙන තීරනාත්මක ගැටලු විසඳීම සඳහා අඩිතාලම දැමිය හැකි බව ඔහු පැහැදිලි කලේය.

Loading