කොවිඩ්-19 ආසාදිතයන්ගේ මල සිරුරු "භූමදානය" මත රාජපක්ෂ ආන්ඩුව මුස්ලිම්-විරෝධී ප්‍රකෝපකරනයක් අවුලුවයි

'වෛරසයෙන් ආසාදිතව සිටියදී මියයන සියලු දෙනාගේ මල සිරුරු ආදාහනය කලයුතු' බවට රාජපක්ෂ ආන්ඩුව අප්‍රේල් 11 දා නිකුත් කල චක්‍රලේඛය බලාත්මක බව ශ්‍රී ලංකාවේ නීතිපති දප්පුල ද ලිවේරා, දෙසැම්බර් 09 දා, නිවේදනය කලේය. 

මෙම නිවේදනය පැමිනියේ, රාජපක්ෂ ආන්ඩුව, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී සංවිධාන, මාධ්‍ය සහ ආන්ඩුවට ගැති විද්‍යාඥයන් විසින්, 'භූමදානය' දඩමීමා කර ගනිමින් තම මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය ඉස්මත්තට ගනිමින් සිටියදීය. 

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති භූමදානයට එරෙහි උද්ඝෝෂනය (ඡායාරූප අනුග්‍රහය: නිව්ස්ෆස්ට්)

 

කෙසේ නමුත්, නීතිපතිගේ නිවේදනය සමග, මුස්ලිම් පාර්ශ්වයන් විසින් තම වාර්ගිකයන්ගේ මල සිරුරු සම්ප්‍රදායික ලෙස භූමදානය කිරීමට අවසර ඉල්ලා ගෙනයන උද්ඝෝෂනයත්, අනෙක් පසින් එයට එරෙහිව සිංහල ස්වෝත්තමවාදීන් ගෙනයන උද්ඝෝෂනයත් වඩා ඉහල මට්ටම් වලට නැංවී ඇත.

2020 මුලදී ශ්‍රී ලංකාව තුල වසංගතය පැන නැගීමත් සමග රාජපක්ෂ ආන්ඩුව නව වටයකින් මුස්ලිම්-විරෝධය ඇවිලවීමේ ප්‍රයත්න‍ක යෙදී ගත්තේය. ආසාදිතයන්ගෙන් බහුතරය මුස්ලිම් ජනයා බව අවධාරනය කල ආන්ඩුව වෛරසය ව්‍යාප්තවීමේ වගකීම ඔවුනට පැවරීය. මාර්තු 31 දා, වසංගතයෙන් මියගිය පලමු මුස්ලිම් වාර්ගිකයා වාර්තාවීමත් සමග, උක්ත ගැසට් නිවේදනය ප්‍ර‍කාශයට පත් කෙරුනි.

මෙය, මල සිරුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මුලින් නිකුත් කොට තිබූ මාර්ගෝපදේශනයන් ට සපුරා පටහැනි විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝසෞස) උපදෙස් අනුයමින් අමාත්‍යංශය නිකුත් කල මුල් මාර්ගෝපදේශනයන්ට අනුව, කොවිඩ්-19 වසංගතයෙන් රෝගියෙකු මියගියහොත් ඔහුගේ හෝ ඇයගේ මලසිරුර, ආදාහනය සහ භූමදානය යන දෙකම වලංගු විය.

'අදාල ඇදහිලි සම්ප්‍රදායන්ට අනුව පිලිගත හැකි හෝ සුදුසු වූ විට, කොවිඩ්-19 න් මියගිය අයගේ දේහයන් සඳහා එම්බාම් කිරීම, භූමදානය කිරීම සහ ආදාහනය කිරීම සඳහා අවසර දිය යුතුය' යන්න ලෝසෞස නිර්දේශය විය.

ලොවපුරා රටවල් 184 ක් ඉහත නිර්දේශයට අනුව කටයුතු කරන අතර, මුස්ලිම් ජන වර්ගය සුලුතරයක් වන රටවල් ද එයට ඇතුලත් වෙයි.

කෙසේ නමුත් රාජපක්ෂ ආන්ඩුව කියා සිටියේ, උක්ත කරුන සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කල තාක්ෂනික කමිටුව විසින් 'කොවිඩ්-19 රෝගීන්ගේ මල සිරුරු භූමදානය කිරීමෙන් වෛරසය පාංශු ජලයට එක්වී එය වේගයෙන් ප්‍ර‍චාරනය විය හැකි' බව නිගමනය කල බැවින් භූමදානය වාරනය කල බව යි.

මෙම වාරනය තම ජනවර්ගයට එරෙහි වාර්ගික ප්‍ර‍හාරයක් බව පවසමින්, මුස්ලිම් දේශපාලන පක්ෂ සහ විවිධ මුස්ලිම් සංවිධාන ද, ජාතික සහ ජාත්‍යන්තර මානව හිමිකම් ආයතනයන් ද ආන්ඩුවට චෝදනා කිරීමට පටන් ගත්හ.

අවසානයේදී, වැඩෙන ජාතික සහ ජාත්‍යන්තර විරෝධය හමුවේ මූන බේරා ගැනීමේ පියවරක් ලෙස, ආන්ඩුව භූමදාන ගැටලුව 'විමර්ශනය කිරීම සඳහා' විශේෂඥ කමිටුවක් පත් කලේය. මාස ගනනාවක් ගෙවී ගියද මෙම විමර්ශනයේ නිගමන මෙතෙක් ප්‍ර‍කාශයට පත්කොට නොමැත.

ආන්ඩුවේ පියවර අභියෝගයට ලක් කරමින්, මුස්ලිම් සහ සිවිල් සංවිධාන විසින් පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරනයට ඉදිරිපත් කෙරුනි. කවර හෝ හේතු දැක්වීමකින් තොරව, දෙසැම්බර් මුල් සතියේ, ශ්‍රේෂ්ඨාධිකරනය එම පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කලේය. නීතිපතිගේ නිවේදනය නිකුත් කෙරුනේ ඉන් අනතුරුවයි.

දවාලීමට එරෙහි උද්ඝෝෂනය - ශ්‍රී ලංකාව, උතුර , වවුනියාව(ඡායාරූප අනුග්‍රහය: සිලෝන්නේශන්)

මේ වන විට, මුස්ලිම්, සිවිල් සහ මානව හිමිකම් සංවිධාන ගනනාවක්ම නීතිපතිගේ නිවේදනය හෙලා දැක ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ් අල් ජසීරා පුවත් සේවයට මෙසේ කියා සිටියේය: 'නීතිපතිවරයා මෙම අත්තනෝමතික තීරනය ගැනීම ඉතා අවාසනාවකි… බොහෝ අවස්ථාවන්හි ආසන්නතම පවුල නිරෝධායනය යටතේ සිටින අතර මෙම සිරුරු හඳුනා ගැනීමට පවා ඔවුනට අවස්ථාවක් නොමැත.' මෙම මරනයන් පිලිබඳ පශ්චාත් මරන පරීක්ෂන සිදු නොකරන බවත්, එයින් නීතිමය සංකූලතා ඇති විය හැකි බවත් අහමඩ් පැවසීය.‍

මුස්ලිම් පාර්ශ්වයන්ගේ ඉහත උද්ඝෝෂනයට එරෙහිව, බෞද්ධ භික්ෂූන් ඇතුලු සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී නඩ, 'එක රටක්-එක නීතියක්' යන අන්ත දක්ෂිනාංශික උද්ඝෝෂනයක යෙදී සිටිති. මුස්ලිම් ජනයා තම සම්ප්‍රදායන්, රටෙහි නීතියට සහ අධිකරනයට යටත්කල යුතු බවට ඔවුහු තර්ජනය කරති.

රාජපක්ෂ ආන්ඩුව සහ එහි සිංහල-බෞද්ධ සගයන් ඉස්මත්තට ගෙනඇති මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයටත්, භූමදාන ප්‍රශ්නය ගසා කමින් තම වාර්ගික දේශපාලනය ප්‍රවර්ධනය කිරීමට මුස්ලිම් ධනපති පක්ෂ විසින් ගෙනයන ප්‍රතිගාමී උද්ඝෝෂනයටත් සමාජවාදී සමානතා පක්ෂය (සසප) එකහෙලා විරුද්ධ වෙයි. ඒ සමගම, මරනය සහ අවසන් කටයුතු සම්බන්ධයෙන් වන පසුගාමී ආගමික මිථ්‍යාවන් ද සසප, විද්‍යාවේ කෙවිටෙන් බැහැර කරයි.

භූමිදානය කල යුතුද, නැද්ද යන්න තීන්දු කල යුත්තේ ආගමික පදනම් හෝ වාර්ගික පදනම් මත නොව,  පිලිගත් විද්‍යාත්මක සංකල්පයන් අනුව යි.

කෙසේ නමුත්, ලොව පිලිගත් වසංගත රෝග විශේෂඥයෝ භූමිදානය කරන මල සිරුරු මගින් වෛරසය ව්‍යාප්ත වෙතැයි යන මතය එකහෙලා ප්‍රතික්ෂේප කරති. ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වූ ශ්‍රී ලාංකික වසංගත රෝග විශේෂඥයෙකු වන මලික් පීරිස් ඒ අතර වෙයි. හොංකොං විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යා අංශයේ ප්‍රධාන මහාචාර්යවරයා වන ඔහු සාර්ස් වසංගතයට හේතු වන වෛරසය සොයාගත් ප්‍රමුඛ විද්‍යාඥයින්ගෙන් කෙනෙකි.

පීරිස් මෙසේ කියයි: 'නිර්වචනය අනුව, වෛරසයන් ගුනනයවීම සඳහා ජීව සෛල අවශ්‍ය වේ. පුද්ගලයෙකු මිය ගිය පසු සහ ඔහුගේ ශරීරයේ සෛල මිය ගිය පසු වෛරසය මිය යනු ඇත.'

ලෝසෞස එය තවත් අයුරකින් පැහැදිලි කරයි: 'රක්තපාත උන සහ කොලරාව හැරුනුවිට මල සිරුරු වලින් සාමාන්‍යයෙන් රෝග බෝ නොවේ. ව්‍යච්ඡේදනය නිසි අයුරින් සිදු නොකලහොත්, වසංගත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ පෙනහලු වලින් පමනක් ආසාදනය සිදුවිය හැක. එසේ නොමැතිව, මිනී වලවල් රෝග සම්ප්‍රේෂනය නොකරයි. බෝවන රෝගයකින් මියගිය අය ආදාහනය කල යුතු බව පොදු මිථ්‍යාවකි. මෙය සත්‍යයක් නොවේ. ආදාහනය යනු, සංස්කෘතික තෝරාගැනීම හා පවත්නා සම්පත් පිලිබඳ කාරනයකි.'

මේ අනුව, භූමදානයට එරෙහිව, ආන්ඩුව සහ අනෙකුත් සිංහල ස්වෝත්තමවාදීන් ගෙනයන උද්ඝෝෂනයට කවර හෝ විද්‍යාත්මක අන්තර්ගතයක් නොමැතිබව ඉතා පැහැදිලිය. එයට ඇත්තේ අන්ත ප්‍රතිගාමී දේශපාලන අන්තර්ගතයක් පමනි.

ගෝලීය වසංගතයෙන් වඩාත් ගැඹුරු කෙරී ඇති ආර්ථික අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම සහ එම ප්‍ර‍හාර වලට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන් රුදුරුම ආකාරයෙන් තලා දැමීමේ ආඥාදායක පාලනයක් වෙත මාරුවීම රාජපක්ෂගේ න්‍යාය පත්‍රයයි.

අරගලයට ඇදෙන කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා ඔවුනගේ පන්ති ශක්තිය දුබල කිරිම සඳහා රාජපක්ෂ ගෙනයමින් සිටින දෙමල සහ මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය රුදුරුම ආකාරයෙන් ඉස්මත්තට ගැනීම 'භූමදානයට' එරෙහිව ගෙනයන වැඩපිලිවෙලෙහි අරමුනයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරු අගමැති මහින්ද රාජපක්ෂ, දශක තුනක වර්ගවාදී යුද්ධයේදී දෙමල පීඩිත ජනයාගේ ලේ නා ගත්තෝ වෙති. 2009 දී යුද්ධයේ අවසන් දිනවල පමනක්, 40,000 කට අධික දෙමල සිවිල් වැසියන් අමුඅමුවේ මරා දැමූ සහ දසදහස් සංඛ්‍යාත මහජනයාට උන්හිටිතැන් අහිමි කල මහින්ද රාජපක්ෂ තන්ත්‍රයේ, යුද්ධය මෙහෙයවූ ආරක්ෂක ලේකම්වරයා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි.

යුද්ධය අවසන්වී දශකයක් ගතවුවද, උතුරු සහ නැගෙනහිර පලාත් මෙතෙකුදු පවතින්නේ මිලිටරිය ග්‍රහනයේ ය. බෙදුම්වාදී එල්ටීටීඊය යලි හිස ඔසවන බව ප්‍රචාරය කරමින් රාජපක්ෂ තන්ත්‍රය, දෙමල විරෝධී උත්සන්නියක් නිර්මානය කරන අතරේ උතුරු-නැගෙනහිර දෙමල කතා කරන මහජනතාවට එරෙහි නව වටයක මර්දනයක් දියත් කර ඇත.

මුස්ලිම්-විරෝධය ඇවිලීම සම්බන්ධයෙන්ද ගෝඨාභය රාජපක්ෂට ඇත්තේ ඒ හා සමාන කුප්‍රකට ඉතිහාසයකි. ඔහු විසින් සදාවඩා පෝෂනය කල සිංහල වර්ගවාදී නඩ 2014 දී අලුත්ගම මුස්ලිම් ජනයාට එල්ල කල ලේවැකි ප්‍රහාරය ඒ අතරින් ප්‍රමුඛය. 2019 ජනාධිපතිවරනය ජයග්‍රහනය කිරීම සඳහා ඔහු, එම වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය සිංහල බෞද්ධ චන්ද ගසාකෑම පිනිස යහමින් යොදා ගත්තේය.

මුස්ලිම් අන්තවාදීන් කන්ඩායමක් විසින් එල්ල කල එම මිනීමරු ප්‍රහාරයේ වගකීම සමස්ත මුස්ලිම් ජනයාට පවරමින් ගෙනගිය සිංහල වර්ගවාදී උද්ඝෝෂනයේ පෙරමුනේම රාජපක්ෂ නඩය සිටි අතර, 2019 දී ඔවුන් යලි බලයට පැමිනීමෙන් පසු, මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය වඩාත් ඉස්මත්තට ගැනින.

මුස්ලිම් වෛද්‍යවරුන්, නීතීඥයන්, මාධ්‍යවේදීන්, තරුනයන් සහ කලාකරුවන් ගනනාවක් ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගනිමින් රාජපක්ෂ තම මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය රුදුරු මට්ටම් වලට නංවා ඇත. 'භූමදානය'ට එරෙහිව ගෙනයන උද්ඝෝෂනය ඉස්මත්තට ගෙන ඇත්තේ මෙම පසුබිම තුලයි.

අනෙක් අතට, ආන්ඩුවට එරෙහිව මුස්ලිම් ජනයා අතර වැඩෙන විරෝධය ගසා කෑමට යත්න දරන මුස්ලිම් ධනපති දේශපාලන පක්ෂ වලට, කම්කරු-පීඩිත මහජනතාව සම්බන්ධයෙන් කවර හෝ උත්සුකයක් නොමැත. ජනාධිපති රාජපක්ෂ, කොවිඩ්-19 පාලනය කිරීමේ සියලු විද්‍යාත්මක ක්‍රමවේදයන් ප්‍රතික්ෂේප කරමින්, ධනපතියන්ගේ ලාභෝත්පාදනය අඛන්ඩව පවත්වගෙනයාම සඳහා වසංගතය මධ්‍යයේ කම්කරුවන් වැඩට දක්කද්දී, ඔහුගේ ඊනියා වටමේස සාකච්ඡාවන්ට මොවුහු බඩ ගෑවෝය. රාජපක්ෂ ප්‍රශස්ත ආකාරයෙන් වසංගතය මැඩලමින් සිටින බවට ඔවුහු ප්‍රශස්ති ද ගැයූහ.

මුස්ලිම් ජනයාගේ 'භූමදාන' අයිතිය වෙනුවෙන්, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන ගෙනයන උද්ඝෝෂනයන් ඒ තරමටම ව්‍යාජ සහ කුහකය. ඔවුහු සියල්ලෝම පාස්කු ඉරිදා ප්‍රහාරයේදී සමස්ත මුස්ලිම් ජනයාට එරෙහිව සිට ගත්හ. එමෙන්ම, මෙම වාර්ගික කෙනෙහිලිකම්වල කුලුගැන්වීම වන තිස් අවුරුදු වාර්ගික යුද්ධයේ ඝෘජු පාර්ශ්වකරුවෝ වූහ. 1948 ඊනියා නිදහසේ සිට ලංකාවේ ධනපති පාලකයන් මුහුනදුන් සෑම අර්බුදයකදීම අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු සිංහල ස්වෝත්තමවාදයට යොමු වී ඇති අතර ධනපති පන්තියේ සියලු කොටස් ඒ සෑම අවස්ථාවකදීම එයට සහයෝගය දුන්හ.

'රාජපක්ෂ ආන්ඩුව සහ වර්ගවාදී බලවේග මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය උත්සන්න කරයි' යන හිසින් ජූලි 04 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ලිපියේ අපි මෙසේ සඳහන් කලෙමු: 'වර්ගවාදී උන්මත්තකයන් හා ෆැසිස්ට් බලවේග වීදිවලට කැඳවා ගැනීම සහ කම්කරු පන්තිය වාර්ගික, ආගමික රේඛා ඔස්සේ බෙදීම සඳහා ඉතිහාසය විකෘති කිරීම ඇමරිකාව, යුරෝපය ඇතුලු සෑම රටක් තුල ධනපති පාලක පන්තීන් විසින් ධනපති මාධ්‍ය සහ දක්ෂිනාංශික ශාස්ත්‍රාලිකයන්ගේ සහයෝගය ඇතිව ඉස්මත්තට ගෙන ඇති ගෝලීය ප්‍රතිගාමී ව්‍යාපෘතියකි.'

මෙහි එන 'ඉතිහාසය විකෘති කිරීම' යන්නට 'විද්‍යාව විකෘති කිරීම' යන්නද මෙහිදී එකතු කල හැක.

Loading