රාජපක්ෂ ආන්ඩුව සහ වර්ගවාදී බලවේග මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය උත්සන්න කරයි

ඓතිහාසික පුරාවස්තු ආරක්ෂා කිරීමේ කඩතුරාව යටතේ ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව සහ එය වටා රැලිකරගෙන සිටින බොදු බල සේනා සහ සිහල රාවය ඇතුලු සිංහල බෞද්ධ වර්ගවාදී බලවේග නැගෙනහිර සහ දිවයිනේ  සෙසු පලාත් වල මුස්ලිම් ජනයාට එරෙහිව වර්ගවාදී උත්සන්නිය තීව්‍ර කර ඇත. ඓතිහාසික  පුරාවස්තු සහිත ඉඩම් “අන්තවාදී කන්ඩායම් විසින් ආක්‍රමනය කර අල්ලාගෙන” ඇති බවත් ඒවායෙහි පුරාවස්තු  ඔවුන්  “විනාශ” කරන බවටත් ආන්ඩුවේ දේශපාලනඥයෝ සහ  වර්ගවාදී බලවේග මුස්ලිම් ජනයාට චෝදනා කරති. 

නැගෙනහිර පලාතේ බහුතර මුස්ලිම් ජනතාවක් වාසය කරති. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි දසක තුනක යුද්ධය තුල රාජ්‍ය හමුදා වල හිරිහැරයට දෙමල ජනයා මෙන්ම ඔවුහු ද මුහුන දුන්හ. ඔවුන් එල්ටීටීඊයේ හිරිහැරවලට ද භාජනවූ පිරිසකි. දසදහස් ගනනක් දෙමල, මුස්ලිම් හා සිංහල ජනයා යුද්ධය නිසා අවතැන්වූහ .

තවමත් ඔවුන්ගෙන් බොහෝ දෙනාට පැරනි පදිංචි ස්ථාන හිමි වී නැත. මුස්ලිම් විරෝධී වර්ගවාදී උත්සන්නියක් අවුලුවා ඇත්තේ එවන් කොන්දේසි තුලය. සියලු ධනපති මාධ්‍ය  මෙම ප්‍රතිගාමී උද්ඝෝෂනයට උඩ ගෙඩි දෙමින් එය වගා දිගා කිරීමෙහිලා විෂඝෝර ප්‍රචාරයක් ගෙන යති.  

මුස්ලිම් ජනයාට එරෙහි වර්ගවාදී උද්ඝෝෂනය රාජපක්ෂ ආන්ඩුවේ අනුග්‍රහය සහ අනු දැනුම සහිත පුලුල් ප්‍රතිගාමී ව්‍යාපාරයක කොටසකි. එහි ඉලක්කය සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් බෙදීම හා ආඥාදායක පාලනයකට අවශ්‍ය අන්තවාදී හා කම්කරු පන්ති විරෝධී ෆැසිස්ට් නඩ බලමුලු ගන්වා ගැනීමය. 

රාජපක්ෂ ආන්ඩුව සිංහල බෞද්ධ අන්තවාදී නඩ මෙහෙයවාගෙන මෙවන් ප්‍රතිගාමී උද්ඝෝෂනයක් අවුලුවා ඇත්තේ කොරෝනා වසංගතය විසින් ගැඹුරු කරනු ලැබ  ඇති ආර්ථික අර්බුදයේ බර පටවමින් රැකියා, වැටුප් සහ සෙසු සමාජ අයිතීන් කප්පාදු කරමින් ආන්ඩුව සහ ධනපති හාම්පුතුන් එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ අරගල වර්ධනය වීමේ  කොන්දේසි මෝරන තත්වයක ය. ආන්ඩුව  කම්කරුවන් වාර්ගිකව බෙදා දුර්වල කිරීමට, පාලක පන්තියේ චිරකාලීන ලේවැකි  වර්ගවාදී ආයුධය ඔසවා ඇත. දෙමල-විරෝධී ඇවිස්සීම්  මත්තේ මුස්ලිම්-විරෝධී ප්‍රකෝපකාරිත්වය දැන් ක්‍රියාත්මක වේ.  

නැගෙනහිර පලාතේ පොතුවිල් මුහුදු මහා විහාරය සහ මහනුවර දිස්ත්‍රික්කයේ මාවනැල්ලේ  දෙවනගල පන්සල අවට ශතවර්ෂ එකහමාරක් පමන කාලයක්  පදිංචිව සිටින මුස්ලිම් පවුල් සිය ගනනක් මෙම වර්ගවාදී උද්ඝෝෂනයේ ඉලක්කය  බවට පත් වී සිටිති.

හිටපු පුරාවිද්‍යා කොමසාරිස් වරයෙකු ද වන මහාචාර්ය සෙනරත් පරනවිතාන1951 දී  මුහුදුමහා විහාරයට පුරාවිද්‍යා භූමි ප්‍රදේශයක්  ලෙස අක්කර 72 යි රුඩ් තුනයි පර්චස් 13 ක් වෙන්කර දී තිබු බවත් එම මුලු  භූමි ප්‍රදේශයම  විහාරයට අත්පත් කර දිය යුතු බවට පන්සලේ භික්ෂුන් සහ වර්ගවාදියෝ හඬ තලති. එහෙත්  1965  මැයි 28 නිකුත් කරන ලද  ගැසට් නිවේදනයක් මගින් එම  භූමි ප්‍රදේශය අක්කර 30 ට සීමා කර තිබේ. එම අක්කර 30 ඇතුලත් ඒ වනවිට පවුල් 41 පදිංචිව සිටි බවත් ඒ සඳහා ඔවුන්ට රජයෙන් නිකුත් කල ජයභූමි ඔප්පු හිමිව තිබෙන බවත් එහෙයින් කිසිදු අනවසර පදිංචියක් හෝ  ඉඩම් ආක්‍රමනය කිරීමක් සිදුව නැති බවත් එහි පදිංචිකරුවෝ පවසති. එමෙන් ම, මෙතෙක් කල් එම ප්‍රදේශයේ සිංහල සහ මුස්ලිම් ජනයා අතර  සුහදශීලී සම්බන්ධයක් පැවති බව ද ඔවුහු පවසති. 

ජනාධිපති රාජපක්ෂ මැයි 14 වෙනිදා ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න, යුද හා නාවික හමුදාපතීන්, වැඩබලන පොලිස්පති ඇතුලු විශේෂ “දූත පිරිසක්” මුහුදු මහා විහාරයට යැවී ය.  මුහුදු මහා විහාරයට අයිති “බිම් අඟලක්වත් අහිමිවීමට” ඉඩ නොදෙන බව එහි දී ප්‍රකාශ කල ආරක්ෂක ලේකම් ගුනරත්න පන්සලේ සහ භූමියේ ආරක්ෂාවට යයි නාවික හමුදා අනු ඛන්ඩයක් පිහිටුවීමට උපදෙස් දුන්නේ ය. මේ වනවිට නාවික හමුදා අනු ඛන්ඩයක් එහි පිහිටුවා ඇත. 

ඒ සමගම, “නැගෙනහිර පලාතේ පුරාවිද්‍යා  උරුම කලමනාකරනය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්” ජනාධිපති රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ජුනි 2 වෙනිදා ස්ථාපනය කරනු ලැබී ය. එහි සභාපති ආරක්ෂක ලේකම් ගුනරත්න වන අතර ලේකම් වනුයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක ය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඇතුලු රාජ්‍ය නිලධාරීන් සමග බස්නාහිර පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ  එල්ලාවල  මේධානන්ද, තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක පනාමුරේ තිලකවංශ සහ දෙරන මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර එහි සාමාජිකත්වය දරති. 

මේධානන්ද සහ තිලකවංශ මුස්ලිම් හා දෙමල ජනයාට එරෙහි වර්ගවාදී උද්ඝෝෂනයේ පෙරමුනේ සිටින භික්ෂුන් දෙදෙනෙකි.  ජයවීරගේ දෙරන නාලිකාව වර්ගවාදයට උඩගෙඩි දෙන විද්‍යුත් වේදිකාවලින් එකකි.

තමන් පදිංචි ස්ථාන වලින් දොට්ට දැමීමේ එල්ලය ඇතිව කෙරෙන ඉඩම් යලි මැනීමට විරුද්ධව මුහුදු මහා විහාරය අවට පදිංචි මුස්ලිම් ජනයා ජුනි 18 වෙනිදා පැවැත් වූ  උද්ඝෝෂනයට සම්බන්ධ වූ කාන්තාවන් ඇතුලු විරෝධතාකරුවන්ට පොලීසිය පහර දී ඇත. 

මාධ්‍ය වාර්තාවලට අනුව දෙවනගල පර්වතය අවට ප්‍රදේශය තුල මුස්ලිම් පවුල් 500 ක් පමන පදිංචිව සිටිති.  ඔවුහු සුලු වෙලඳාමෙන් හා ගොවිතැනින් දිවි ගෙවන ගම්බද දුගීහු ය. එහි වෙසෙන  පාරම්පරික සිංහල ජනයා හා මුස්ලිමුන්  අතර මිත්‍රශීලී සම්බන්ධයක්  පවතිනවා පමනක් නොව, අවාහ විවාහ ද සිදු වී ඇති බව ඔවුහු කියති.  පදිංචි ඉඩම්වලට නීත්‍යානුකුල හිමිකම් ඇති බව ද  ඔවුහු පවසති.

මුස්ලිම් ජනයා මෙහි පදිංචි වී  ඇත්තේ  19 වන සිය වසේ මැද භාගයේ ය. පදිංචිව සිටින  ඉඩම් සඳහා ඔවුන්ට නීත්‍යානුකුල ඔප්පු ඇත. එහෙත් වර්ගවාදීන් සහ ඔවුන්ට පන්දම් අල්ලන ධනපති ජනමාධ්‍ය සහ ඊනියා විද්වතුන් මෙම ඉතිහාසය මුලුමනින් ම සාවද්‍යකරනය කරති. ඔවුන් ඉතිහාසය යොදා ගනු ලබන්නේ එහි පවතින කිසියම් සංස්කෘතික හෝ කලාත්මක උරුමයන් ආරක්ෂා කිරීම  පිනිස නොව හුදෙක් ම, වාර්ගික ගිනි තැබීමේ අරමුන උදෙසා ය. 

ජනාධිපතිවරනය ජයග්‍රහනය සඳහා ගෝඨාභය රාජපක්ෂ, පසුගිය වසරේ අප්‍රේල්  21 පාස්කු ඉරිදා මුස්ලිම්  අන්තවාදීන් කන්ඩායමක් ත්‍රස්තවාදී අයිඑස්අයිඑස් හි අනුබලය පිට එල්ල කල මිනීමරු ප්‍රහාරය  සිංහල බෞද්ධ චන්ද ගසාකෑම පිනිස යහමින් යොදා ගත්තේය. ප්‍රහාරය පිලිබඳව ජනාධිපති කොමිසමක් පත් කරමින් පාර්ලිමේන්තු මැතිවරනය මධ්‍යයේ එය යලිත් ඉස්මත්තට ගෙන තිබේ. බොදු බල සේනා සභාපති ගලබොඩ අත්තේ ඥානසාර භික්ෂුව ඇතුලු කුප්‍රකට වර්ගවාදීන් සාක්ෂි විමසීම සඳහා කොමිසම ඉදිරියට කැඳවමින්, සාක්ෂි විමසීම් වලට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් පුලල් ප්‍රචාරයක් ලබා දෙයි. 

නීතිඥ හිජාස් හිස්බුල්ලා මුස්ලිම් මද්‍රාසා පාසල්වල සිසුන්ට අවි පුහුනුව දුන් බවට චෝදනා කරමින්  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවා තබා ඔහුට විරුද්ධව කෙරෙන පොලිස් පරීක්ෂන එහිම කොටසකි. නීතිඥ හිස්බුල්ලා පසුගිය රාජපක්ෂ ආන්ඩුව කාලයේ අලුත්ගම මුස්ලිම් ජනයාට එරෙහි වර්ගවාදී මැර ප්‍රහාරය, බොරු චෝදනා මත අත්අඩංගුවට ගත් වෛද්‍ය සාෆි  සම්බන්ධ නඩුවලට සහ 2018 මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ ව්‍යවස්ථා කුමන්ත්‍රනයට විරුද්ධව මහාචාර්ය රත්නජීවන් හුල් ,වෙනුවෙන් පෙනී සිටි අයෙකි. ඔහු අවි පුහුනුව දුන් බවට සැක පිට  අත් අඩංගුවට ගෙන සිටින ලමුන්ට  වධහිංසා පමුනුවා සාවද්‍ය ප්‍රකාශ ලබාගෙන තිබෙන බව උසාවියේ දී එලිදරව් විය.  ජුනි 24 වෙනිදා හිස්බුල්ලා හඳුනා ගැනීමේ පෙරට්ටුවට  පෙරාතුව ඒ සඳහා ඉදිරිපත් කල ලමුන්ට පොලීසිය ඔහුගේ පින්තූරය උසාවිය තුල දීම පෙන්වීම නිසා මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් හඳුනා ගැනීමේ පෙරට්ටුව අවලංගු කලේ ය. 

ජුනි 30 නිකුත් කල ප්‍රකාශයක දී මුස්ලිම් ජනයාගේ “අගයන් සහ අයිතීන් රැකීමට පියවර ගෙන ඇති” බවත් “කිසි දිනක” දෙමල සහ මුස්ලිම් ජනයාට “නරක විදිහට” නොසැලකු  බවත් අගමැති  මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත. “අද කිසිවෙකුට විරුද්ධව වෙනස්කම් කිරීමක් නැහැ. අපට මෙය ඊලඟ පරම්පරාවට ගෙන යාමට අවශ්‍ය යි” යනුවෙන්  ඔහු එහිදී කර ඇති ප්‍රකාශය මුස්ලිම් විරෝධී උත්සන්නියට ආන්ඩුවේ සම්බන්ධය ආවරනය කිරීමේ තැතකි.

වර්ගවාදී උන්මත්තකයන් හා ෆැසිස්ට් බලවේග වීදිවලට කැඳවා ගැනීම සහ කම්කරු පන්තිය වාර්ගික, ආගමික රේඛා ඔස්සේ  බෙදීම සඳහා ඉතිහාසය විකෘති කිරීම ඇමරිකාව, යුරෝපය ඇතුලු සෑම රටක් තුල ධනපති පාලක පන්තීන් විසින් ධනපති මාධ්‍ය සහ දක්ෂිනාංශික ශාස්ත්‍රාලිකයන්ගේ සහයෝගය ඇතිව ඉස්මත්තට ගෙන ඇති ගෝලීය ප්‍රතිගාමී ව්‍යාපෘතියකි. 

ඇමරිකාව තුල නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයේ 1619 ව්‍යාපෘතිය හරහා ක්‍රියාවට දමා ඇති, ඇමරිකානු ඉතිහාසය ඇමරිකාවේ කලු හා සුදු ජාතිකයන් අතර ගැටුමක ඉතිහාසයක් ලෙස හුවා දැක්වීමේ නින්දිත ප්‍රයත්නය ඉන් එකකි.  ඇමරිකානු  පොලීසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් කලු ජාතික තරුනයා ඝාතනය කිරීමට එරෙහිව එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තරව මතු වූ බලගතු විරෝධතා වර්ගවාදය මත පදනම් වූ ව්‍යාපාරයක් ලෙස හුවා දැක්වීමට මාධ්‍ය සහ ඩිමොක්‍රටික් පක්ෂය උත්සාහ කල අතර ට්‍රම්ප් ආන්ඩුව උද්ඝෝෂකයන්ට එරෙහිව  ෆැසිස්ට් බලවේග උසිගැන්වීය.

ඉන්දියාව තුල නිරන්තරව රාජ්‍ය අනුග්‍රහය සහිත හින්දු ෆැසිස්ට් නඩ විසින් මුස්ලිම් විරෝධී වාර්ගික ප්‍රචන්ඩ ක්‍රියාවන් සිදු කරති. පසුගිය වසරේ මුස්ලිම් සංක්‍රමනික ජනයාට එරෙහිව මෝදි ආන්ඩුව ගෙනෙන ලද  පුරවැසි පනත සහ ඊට එරෙහි විරෝධතා මධ්‍යයේ 2019 මාර්තු මාසයේ හින්දු උන්මන්තකයන් මුස්ලිම් ජනයාට මැර  ප්‍රහාර එල්ල කිරීම ඉන්දියාවේ වාර්ගික ගිනි ඇවිලවීම් වල  ආසන්නතම සිද්ධින් වේ. 

සිංහල වර්ගෝත්තමවාදය සිය දේශපාලනයේ ප්‍රධානතම අවියක් කරගත් මෙරට අධිරාජ්‍ය ගැති ධනපති පන්තිය එජාප ආන්ඩුව  යටතේ 1948 ඊනියා නිදහසෙන් ඉක්බිත්තේ වැඩ ආරම්භ කලේ දෙමල වතු කම්කරුවන්ට එරෙහි වාර්ගික වෙනස්කම් කිරීමක් ලෙස ඔවුන්ගේ පුරවැසි අයිතිය අහෝසි කරමිනි. දේශපාලන අර්බුදය තීව්‍ර කෙරුන හැම විටම  සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් භේද කිරීම පිනිස පාලක පන්තිය මෙම ප්‍රකෝපකිරීම් උත්සන්න කලේය. දෙමල ජනයාට එරෙහි දශක තුනක යුද්ධය එහි කුලුගැන්වීමකි.   

පෙර ආන්ඩුව මෙන්ම වත්මන් රාජපක්ෂ පාලනය ද වර්ගවාදී නඩ ද මුස්ලිම් අන්තවාදය ගැන මොරදෙති. මුස්ලිම් ආන්තවාදී කන්ඩායම් වල පැන නැගීමට ඍජුවම වගකිව යුත්තේ ධනපති පන්තිය ම ය. දෙමල ජනයා මෙන්ම මුස්ලිම් ජනයා පෑගීමට ක්‍රියාකරන මොවුන් අන්තවාදී ව්‍යාපාර වලට පාරකපනවා පමනක් නොව, තම අවශ්‍යතා සඳහා යොදාගන්නා අවස්ථා ද ඇත.  

රාජපක්ෂ ආන්ඩුව සහ වර්ගවාදී බලවේග විසින් මුස්ලිම් ජනයාට විරුද්ධව ගෙන යන ප්‍රතිගාමී උද්ඝෝෂනය  සමාජවාදී සමානතා පක්ෂය තරයේ හෙලා දකී. එමෙන් ම භේදකාරී උද්ඝෝෂනය  කම්කරු පන්තිය එකහෙලා ප්‍රතික්ෂේප කල යුතුය.

ඓතිහාසිකවම, ලංකාවේ පාලක පන්තිය මහජනතාවන්ගේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ ප්‍රශ්නයක් විසඳීමට අසමත්ව ඇත. ජාතික හෝ ජනවාර්ගික සමානතාව ඇතිකරනු වෙනුවට මෙම පාලක පන්තිය හා එහි අනුප්‍රාප්තික ආන්ඩු ක්‍රියා කලේ එම වෙනස්කම් වර්ගවාදී ගිනිතැබීම් වලට යොදා ගැනීමයි. 

ඔවුහු දැන් ධනවාදයේ ජරාජීර්නවීම තුල, සිංහල, දෙමල මුස්ලිම් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගල වර්ධනය වීම ගැන හා ඒවා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල එකමුතුවකට ගෙන ඒමේ විභවය ගැන භීතියට පත්ව සිටිති. 

කම්කරු පන්තිය ඉදිරියේ ඇති අභියෝගය වන්නේ වාර්ගික රේඛා හා භේදකරනය ප්‍රතික්ෂේපකරමින් කම්කරුවන් අතර ජාත්‍යන්තරවාදී එකමුතුව තහවුරු කර ගැනීම ය. වර්ගවාදී දේශපාලනයේ මූලය ධනවාදය යි. එය පෙරලා දමා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙනඒම කම්කරුවන් හා පීඩිතයන් ඉදිරියේ ඇති ක්‍රියාමර්ගයයි.

පාර්ලිමේන්තු මැතිවරනය තුල එවන් පිලිවෙතකට සටන් කරන්නේ සසප පමනි. ධනපති පාලක පන්තියේ වර්ගවාදී දෘෂ්ටිවාදයට, යුද්ධයට  සහ ප්‍රකෝපකරනයන්ට එරෙහිව අඛන්ඩව සටන්  වැදුනේ සසප සහ එහි  පුර්වගාමි විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පමනි. 

පාර්ලිමේන්තු මැතිවරනය තුල කොලඹ, යාපනය සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලට තරඟ කරමින් රාජපක්ෂ  ආන්ඩුවේ ආඥාදායක සැලසුම් වලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ඉදිර්දර්ශනයක් මත කම්කරු පන්තිය  බලමුලු ගැන්වීමට සසප සටන් වදී. සසපට චන්දය දෙන්න. සසප ට බැඳී එය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට  දායක වන්න.

කතුවරයා නිර්දේශ කරන වෙනත් ලිපි:

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ 1619 ව්‍යාපෘතිය:ඇමරිකානු හා ලෝක ඉතිහාසය පිලිබඳ වර්ගවාදී මුසාකරනයක්-18 අප්‍රේල් 2020

ට්‍රම්ප් මෝදිට ප්‍රසංශා කරද් දී ඔහුගේ ආධාරකරුවෝ දිල්ලිය වාර්ගික ප්‍රචන්ඩත්වයේ ගිල්වති- 8 මාර්තු 2020

Loading