එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ හමුදාපතිට සංචාරක තහනමක් පනවයි

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පෙබරවාරි 14දා, වැඩබලන ආරක්ෂක මාන්ඩලික ප්‍රධානියා ද වන යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට සංචාරක තහනමක් පැනවී ය.

“රුදුරු ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ, එනම් සිවිල් යුද්ධයේ අවසන් අදියර වූ 2009 වසරේ දී  ඔහු, (සිල්වා) නීති විරෝධී ඝාතනවල  නිරතවීම  පිලිබඳ විශ්වාසදායක තොරතුරුවලට”ප්‍රතිචාර ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් බව පොම්පියෝ ප්‍රකාශ කලේ ය. සිල්වාගේ පවුලේ සමීපතම සාමාජිකයන් මත ද සංචාරක තහනම් පනවනු ලැබීය.

අඛන්ඩ ව මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙක් වන එක්සත් ජනපදය විසින් ගත් මෙම ක්‍රියාමාර්ගයන්ට, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සමග කිසිදු සම්බන්ධයක් නැත. මෙම තහනම, චීනයට එරෙහි එක්සත් ජනපද යූදානම සමඟ පෙලගැසෙන ලෙස කොලඹ ආන්ඩුවට බලකිරීම පිනිස, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ගැටුමෙහි අවසන් අදියරේ දී සිදුකල යුද අපරාධ වොෂින්ටනය විසින් යොදා ගනු ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නිකුත් කල  ඍජු හා තර්ජනාත්මක පනිවුඩයකි. එක්සත් ජනපදය හා චීනය අතර තුලනය වීමට නව ආන්ඩුව ගන්නා කිසිදු උත්සාහයක් වොෂින්ටනය විසින් නො ඉවසනු ඇත.

1995 දී පලමු වරට අත්සන් තබන ලද හමුදා තත්ත්ව ගිවිසුම (සෝෆා) අලුත් කරන ලෙස වොෂින්ටනය,පසුගිය ජූලි මාසයේ කොලඹ ආන්ඩුවට කල නියෝග දැඩි කලේ ය. යෝජිත සෝෆා ගිවිසුම මඟින්, එක්සත් ජනපද මිලිටරි සාමාජිකයින්ට ශ්‍රී ලංකාව පුරා නිදහසේ සැරිසැරීමටත්, චීනයට එරෙහි යුද්ධයේ දී රට එක්සත් ජනපද කඳවුරක් ලෙස යොදාගැනීමටත් ඉඩ සලසනු ඇත. රාජපක්ෂ ආන්ඩුව අවම වසයෙන් තාවකාලික ව හෝ මෙම මිලිටරි ගිවිසුම පිලිබඳ කිසිදු සාකච්ඡාවක් කිරීම නවතා දමා තිබේ.

එක්සත් ජනපද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (සහස්‍ර අභියෝග සහයෝගිතා -එම්සීසී) ගිවිසුම අත්සන් කිරීමට ප්‍රමාද වීම ගැන ද වොෂින්ටනය උත්සුකය පලකර ඇත. පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් පසුගිය ඔක්තෝබරයේ දී එම ව්‍යාපෘතියට අනුමැතිය ලබාදුනි. එම්සීසී ව්‍යාපෘතිය හා ඒ යටතේ වෙන්කරනු ලබන ඩොලර් මිලියන 480 පිලිගන්නේ ද යන්න රාජපක්ෂ ආන්ඩුව විසින් ප්‍රකාශ කල යුතු බව පසුගිය සතියේ ධවල මන්දිරය කියා සිටියේ ය.

ශ්‍රී ලංකා ආන්ඩුව මෙම ප්‍රදානය ප්‍රතික්ෂේප කර නැතත්, “වැඩසටහන විමර්ශනය කිරීම”සඳහා කමිටුවක් පත්කර ඇත. පසුගිය නොවැම්බරයේ ජනාධිපතිවරන උද්ඝෝෂනය සමයේ, තමන්ගේ ම මැතිවරන අභිලාෂයන් සඳහා ගෝඨාභය රාජපක්ෂ,එක්සත් ජනපද ගිවිසුම් කෙරෙහි මහජන විරෝධය ගසාකෑමට උත්සාහ කලේ ය.

යුද හමුදාපතිට පැනවූ තහනම මඟින් නව ජනාධිපති, හා එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසන් අදියරේ ජනාධිපතිව සිටි ඔහුගේ සොහොයුරු මහින්ද රාජපක්ෂ  පැහැදිලි ව ම ඉලක්ක කරගනී. ඒ සමයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස සේවය කලේ ය.

ශවේන්ද්‍ර සිල්වා,2009 මැයි මාසයේ දී යුද්ධය ලේවැකි අවසානයකට ගෙන ආ මිලිටරි නායකයන්ගෙන් එක් අයෙක් විය. එක්සත් ජාතීන්ගේ විශේෂඥ මන්ඩලයකට අනුව, ආරක්ෂාව සඳහා රැඳී සිටන ලෙස සිවිල් වැසියන්ට ආන්ඩුව විසින් දැනුම් දෙන ලද  “වෙඩි මුක්ත කලාපවලට”බෝම්බ හෙලීම ද ඇතුලු ව නිරායුධ දෙමල සිවිල් වැසියන් 40,000ක් සංහාරය කිරීම පිලිබඳ ව මිලිටරිය වගකිව යුතුය. නීති විරෝධී ලෙස  දහස් ගනනක් මිනිසුන් ඝාතනය කල ඝාතක කල්ලි සමග ද මිලිටරිය වැඩ කලේය.

මෙම මෙහෙයුම්වල දී ප්‍රධාන ක්‍රියා කලාපයක් ඉටුකල කුප්‍රකට 58වන සේනාංකයේ ආඥාපතිවසිටියේ සිල්වා ය. රාජපක්ෂ සහෝදරවරුන් ද මෙම අපරාධයන්ට පටලැවී ඇත.

රාජපක්ෂවරු, මිලිටරි ප්‍රධානීන් හා පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක් ම, මිලිටරිය කිසිදු මානව හිමිකම් උල්ලංඝනය කිරීමක නිරත නො වුනු බවත්, තම හමුදාවන් එල්ටීටීඊ “ත්‍රස්තවාදයෙන්”රට “මුදාගත් රනවිරුවන්”බවත් එකදිගට ම අවධාරනය කරති.

මිලිටරියේ සහයෝගය මත බොහෝ සෙයින් රැඳී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කම්කරුවන්ගේ වැඩෙන සමාජ ඉල්ලීම්වල කොන්දේසි යටතේ,ආඥාදායක පාලන ක්‍රම සඳහා සූදානම් වෙමින්,ආන්ඩුවේ මූලික ආයතනවලට විශ්‍රාම ලත් මිලිටරි ප්‍රධානීන් පත්කර ඇත.

 හමුදාපති සිල්වාට එරෙහි පොම්පියෝගේ තහනමෙන් තිගැස්සුනු රාජපක්ෂ ආන්ඩුව, සංචාරක තහනමට විරෝධය පෑම සඳහා වහා ම විදේශ අමාත්‍යාංශය යොමු කලේ ය. විදේශ ඇමති දිනේශ් ගුනවර්ධන පෙබරවාරි 16දා කොලඹ එක්සත් ජනපද තානාපතිනි අලෙයිනා ටෙප්ලිට්ස් ව කැඳවූයේ, සංචාරක තහනමට ඔහුගේ “බලගතු විරෝධය” පලකරමින් එය “යලි විමර්ශනය කරන”ලෙස ඉල්ලීමට යි.

මානව හිමිකම් ගැන එක්සත් ජනපදයේ උත්සුකය අත්‍යන්තයෙන් ව්‍යාජ ය. එල්ටීටීඊයට එරෙහි යුද්ධයට සම්පූර්නයෙන් පිටුබලය දුන් වොෂින්ටනය, ශ්‍රී ලංකාවේ මිලිටරිය විසින් සිදුකල අපරාධ නොදුටුවාසේ සිටියේ ය. 2009 මැයි මාසයේදී එල්ටීටීඊයේ පරාජයට මාස ගනනකට පෙර පමනක් වොෂින්ටනය මානව හිමිකම් පිලිබඳ ප්‍රශ්න ඉස්මතු කිරීමට පටන්ගත්තේ, චීනයෙන් දුරස්ථ වන ලෙසට කොලඹ ආන්ඩුව මත පීඩනය යෙදීමේ උපක්‍රමයක් ලෙස යි.

මහින්ද රාජපක්ෂ එයට ප්‍රතිචාර දැක්වීමට අසමත් වූ විට, එක්සත් ජනපදය ඔහු ඉවත් කිරීම සඳහා තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාත්මක කලේ ය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා අනෙකුත් අයගේ තිරයට පිටුපස සහයෝගය ද සහිත ව ආන්ඩුවෙන් ඉවත් වී,මහින්දගේ ජ්‍යෙෂ්ට ඇමතියෙක් වූ මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති ධුරයට තරඟ වැදුනි. 2015 ජනවාරියේ තේරී පත්වුනු සිරිසේන, තමන් “යහපාලනය” හා “මානව හිමිකම්” වෙනුවෙන් සටන් කරන බව කියාපාමින් ජීවන කොන්දේසි ඉහල දැමීමට පොරොන්දු විය.

බලයට පත්වූ සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහගේ සහයෝගය ද ඇති ව, ශ්‍රී ලංකාවේ විදෙස් පිලිවෙත එක්සත් ජනපදයේ සහ කලාපයේ එහි මූලෝපායික සගයා වන ඉන්දියාවේ භූ-දේශපාලනික ඉලක්කයන්ට ගැලපෙන පරිදි වෙනස් කලේ ය. මිලිටරිය ද විශේෂයෙන් ම නාවික හමුදාව ද එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් බලකායට හා චීනයට එරෙහි එහි මිලිටරි සැලසුම්වලට සමීප ව ඒකාග්‍ර කරන ලදී. එයට හිලව් වශයෙන් එක්සත් ජනපදය,මානව හිමිකම් ප්‍රශ්නය අත්හැර දැමී ය.

පසුගිය නොවැම්බරයේ ගෝඨාභය රාජපක්ෂ තේරී පත්වුනු තැන් පටන්, ශ්‍රී ලංකාව දිගට ම එක්සත් ජනපද යුද සැලසුම්වලට කැප වී සිටී යයි තහවුරු කරගැනීමට වොෂින්ටනය අධිෂ්ඨානවත් ව සිටී. පොම්පියෝ එවූ සුභපැතුම් පනිවුඩය තුල ඔහු “මානව හිමිකම්” ප්‍රශ්නය අවධාරනාත්මක ව ඉස්මතු කලේ නව ජනාධිපතිට අනතුරු අඟවමිනි.

ශ්‍රී ලංකාව කිසිදු රටකට යටත් නො වන ස්වාධීන ජාතියක් බව ප්‍රකාශ කරමින්, ගෝඨාභය රාජපක්ෂ එම අනතුරු ඇඟවීම නො සලකා හැර ඇත. විදෙස් පිලිවෙතේ දී ඔහු එක්සත් ජනපදය හා චීනය අතර තුලනය වීමට උත්සාහ දරා ඇති අතර, එම පිලිවෙත එක්සත් ජනපදය විසින් නො ඉවසයි. නවතම සංචාරක තහනම පැහැදිලි කරන්නේ, රාජපක්ෂවරුන්ට එරෙහි ව මානව හිමිකම් ප්‍රශ්නය යලි ගසාකෑමට එක්සත් ජනපදය කරන තර්ජනය යි.

රාජපක්ෂ සහෝදරවරුන්ගෙන් එක් අයෙක් වත් පොම්පියෝගේ සංචාරක තහනමට නිල වසයෙන් ප්‍රතිචාර දක්වා නැත. එහෙත් මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අගමැති මහින්ද රාජපක්ෂ කියා සිටියේ, සංචාරක තහනම වනාහි ශ්‍රී ලංකාවේ රනවිරුවන්ට එරෙහි ව “දෙමල පක්ෂ ගෙන යන ප්‍රචාරයේ ප්‍රතිඵලයක්”බව යි. දෙමල-විරෝධී වර්ගවාදය යලි ඇවිලවීමේ හා මිලිටරියට සුදු හුනු ගෑමේ මෙම ප්‍රකෝපකාරී උත්සාහය සමග කොලඹ මාධ්‍ය ක්ෂනික ව පෙලගැසුනි.

සිල්වාට පැනවූ තහනම “කනගාටුදායක හා අවාසනාවන්ත”බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මිලිටරි ප්‍රධානියා උත්කර්ෂයට නැංවී ය. සිල්වා යනු “ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා වූ ජාතික ව්‍යායාමයට නායකත්වය දුන් වීරෝදාර ආඥාපතියෙක්”යයි ඔහු ප්‍රකාශ කලේ ය.

දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) වොෂින්ටනයේ සංචාරක තහනමට ආවැඩීය. “අපේ ජනතාව දශකයකටත් වැඩි කාලයක් තිස්සේ සාධාරනය අපේක්ෂාවෙන් සිටියා. අවසානයේ ඔවුන් යුද්ධය සමයේ සිදුකල අපරාධවලට වගකිව යුතු ආන්ඩුවේ නිලධාරීන් ගැන කටයුතු කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව ගන්නා පලමු පියවරයන් දැකගැනීමට පටන්ගෙන තිබෙනවා”යි එම්. ඒ. සුමන්දිරන් ප්‍රකාශ කලේ ය.

අනෙක් සියලු දෙමල පක්ෂ මෙන්ම ටීඑන්ඒහි පූච්චානම ද කොලඹ පාලක ප්‍රභූව සමග බලය බෙදාගැනීමේ සැලැස්මකට හිලව් වශයෙන්, එක්සත් ජනපදයෙහි භූ-දේශපාලනික අවශ්‍යතාවන්ට සේවය කිරීමට තමන් සූදානම් බවට දුන් තවත් එක් සංඥාවකි.

එක්සත් ජනපද සංචාරක තහනම සමාන වන්නේ, කොලඹ ප්‍රභූවේ සෑම කන්ඩායමක් ම එහි න්‍යාය පත්‍රය සමග පෙලගැසිය යුතු බවට වන විධානයට යි. එය අවධාරනය කරන්නේ, න්‍යෂ්ටික බලවතුන් දෙදෙන අතර ගිනි ජාලයක් බවට ක්ෂනික ව පරිවර්තනය විය හැකි චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම්වීම්වල ඉහල අවධිය යි.