ජනාධිපති, වරාය අධිකාරිය අත්‍යවශ්‍ය සේවයක් ලෙස යලි ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙසැම්බර් 30 වෙනිදා නිකුත් කල අතිවිශේෂ ගැසට් නිවේදනයකින් වරාය අධිකාරියේ කටයුතු අත්‍යවශ්‍ය සේවයක් ලෙස නැවත ප්‍රකාශයට පත් කලේ ය. මෙම නිවේදනයෙන් කර ඇත්තේ, නොවැම්බර් 17 වෙනිදා වරාය අධිකාරිය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම තවත් දීර්ඝ කිරීමයි. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී නියෝගයට සියලු වෘත්තීය සමිති දිගටම පක්ෂපාතීව සිටියි.

නොවැම්බර් මාසයේ මෙම මර්දනකාරී නීතිය පැනවූයේ කොවිඩ්-19 වසංගතය රට තුල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන තත්වය තුල තමන්ව අනාරක්ෂිතව සේවයේ යෙදවීම සම්බන්ධයෙන් වරාය කම්කරුවන් අතර වර්ධනය වෙමින් තිබුන බරපතල විරුද්ධත්වය මර්දනය කොට ඔවුන්ව බලහත්කාරයෙන් වැඩෙහි යෙදවීම සඳහා ය. වරාය තුල ද අනෙකුත් වැඩපලවල මෙන්ම වසංගතය පැතිරෙමින් තිබුනි. සිය විරුද්ධත්වය ප්‍රදර්ශනය කරමින් කම්කරුවන් වැඩට පැමිනීම බරපතල ලෙස පහත වැටී තිබුනි.

වෘත්තීය සමිතිවල නොමග යැවීම් පැවතිය දී ම, ජූලි මාසයේ දී, වරාය පෞද්ගලීකරනයට එරෙහි ව කම්කරුවෝ දහස් ගනනින් සහභාගී වෙමින් විරෝධතා පැවැත් වූහ.

මේවනවිට 250කට වැඩි සේවකයන් පිරිසක් වයිරසයෙන් ආසාදනයවී වී ඇති අතර තවත් විශාල පිරිසක් නිරෝධායනයට ලක් කෙරී පවතී. කම්කරුවන් එලෙස රෝගී වූයේ ඔවුන් ක්‍රමානුකුලව පීසීආර් පරීක්ෂනවලට නිතිපතා යොමු නොකිරීමෙන් හා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂක පියවර නොගැනීම හේතුවෙන්ය. කම්කරුවන් විද්‍යාත්මකව සැකසූ ඇඳුමක් ඉල්ලා සිටි නමුත් එම පහසුකම් ලැබී නැත. පීසීආර් පරීක්ෂ කෙරෙන්නේ ද විටින්විට ය.

අනාරක්ෂිත කොන්දේසි වලටත්, ව්‍යසනයෙන් තීව්‍ර කෙරී ඇති අර්බුදය හමුවේ සමාජ හා ජීවන තත්වයන් කප්පාදු කිරීමටත් එරෙහිව අනෙකුත් කම්කරුවන් අතර මෙන්ම වරාය සේවකයන් අතර ද පවතින්නේ පැසවන විරුද්ධත්වයකි. එය පුපුරා ඒ යයි තැති ගැනී සිටින ආන්ඩුවට ප්‍රධාන කම්කරු මධ්‍යස්ථානයක් වන වරාය අත්‍යවශ්‍ය සේවයක් ලෙස තබා ගැනීමට උවමනාය.

අත්‍යවශ්‍ය සේවා නියෝගය යටතේ, සේවයට නො පැමිනෙන ඕනෑම වරාය කම්කරුවෙකු, “මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියේ ලඝු නඩු විභාගයකින් පසු දඬුවම් ලැබීමටත්” ඒ අනුව වසර දෙකේ සිට පහ දක්වා වන කාලයකට “බරපතල වැඩ සහිත සිර දඬුමකට” හෝ රුපියල් 2,000ත් 5,000ත් අතර දඩයකට හෝ ඒ දෙකටම යටත් කිරීමටත් හැකිය.

මෙසේ වරදකරු වන ඕනෑම අයෙකුගේ චංචල හා නිශ්චල දේපොල රාජසන්තක කරනු ලැබ, ඔහුගේ හෝ ඇයගේ නම “රැකියා හෝ වෘත්තීන් සඳහා පවත්වාගෙන යන ඕනෑම ලේඛනයකින් ඉවත් කිරීමේ” හැකියාව ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප)නොවැම්බර් 20 වෙනිදා ලෝක සමාජවාදී වෙබ් අඩවිය මගින් නිකුත් කල ප්‍රකාශයේ මෙසේ කියා සිටියේය. “වරාය කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට රාජපක්ෂ ආන්ඩුව එල්ල කර ඇති ප්‍රහාරය, සමස්ත කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක් මෙන් ම, කොරෝනා වසංගතය දිවයින පුරා පැතිර යද්දී පවා, කම්කරුවන් දිගට ම සේවයේ යෙදිය යුතු බවට බල කරමින් එය ගෙන යන සාපරාධී ප්‍රයත්නයන් තවත් තීව්‍ර කිරීමකි”.

වරාය කම්කරුවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත්වන ලෙසත් හා අත්‍යවශ්‍ය සේවා නියෝගය වහා ම හකුලා ගැනීමට බල කරන ලෙසත් එම ප්‍රකාශය කම්කරු පන්තියෙන් ඉල්ලා සිටියේය.

වසංගතය මධ්‍යයේ අත්‍යවශ්‍ය සේවා නියෝග යටතේ ආන්ඩුව වරාය අධිකාරිය පුද්ගලීකරනය කිරීමේ වැඩපිලිවෙල ඉදිරියට ගෙනයමින් කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට විකිනීමේ පියවර ගනිමින් සිටී. ඒ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් නොවැම්බර් මාසයේදී අනුමත කිරීමත් සමග කම්කරුවන්ගේ විරෝධය ඉහල නගිමින් ඇත.

පසුගිය ජූලි මාසය අගදී වරාය අධිකාරියට අයත් කොලඹ කම්කරුවෝ 10,000ක් පමන පුද්ගලී කරනයට එරෙහිව බලවත් වැඩ වර්ජනයක නිරත වූහ. නැගනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව මගින් කම්කරුවන්ගේ අරගලය පාවාදුන්නේ අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දියානු සමාගමට නැගනහිර පර්යන්තය නොපවරන බවට දුන් ප්‍රෝඩාකාරී පොරොන්දුවක් හුවා දක්වමිනි.

එම සංවිධානයට පොදුජන පෙරමුනට අයත් වානිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය, ජනතා විමුක්ති පෙරමුනේ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය, ශ්‍රී ලංකා සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වරාය සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති 23ක් ඇතුලත්ය.

වරාය අධිකාරියට අයත් කන්කසන්තුරේ වරාය ඉන්දියාව සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට ආන්ඩුව සූදානම් බව වරාය ඇමති රෝහිත අබේගුනවර්ධන ප්‍රකාශ කර ඇත. මීට අමතරව වරාය අධිකාරියට හිමි ගාලු වරායට අයත් ඉඩම් විකිනීමට සූදානම් වන බවත් කම්කරුවෝ පවසති.

දැනට වරාය අධිකාරියට අයත් වරායන්හි 15000ක් පමන සේවයේ යෙදෙන අතර කොන්ත්‍රාත් පදනම යටතේ මිනිස් බල කම්කරුවන් අඩුසේවා කොන්දේසි යටතේ සේවයේ යොදවා ඇත. පුද්ගලීකරනය යටතේ වරාය කම්කරුවන්ගේ රැකියා හා සේවා කොන්දේසි විශාල වශයෙන් කප්පාදු කෙරෙන බව කම්කරුවෝ කියා සිටිති.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් වරාය 7ක් ඇතත් ඉන් දැනට ක්‍රියාත්මක වන්නේ කොලඹ ත්‍රීකුනාමලය හා ගාලු වරාය පමනි.

වරාය අධිකාරියට අයත් සියලුම වරායන්හි සේවකයන් අද සිටින්නේ නොසන්සුන් තත්වයක බව ගාලු වරායේ සේවකයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියේය. ඔහු කියා සිටියේ ගාලු ඉඩම් විකිනීමේ සූදානමට එරෙහිව ජනතා විමුක්ති පෙරෙමුන (ජවිපෙ ) ගාලු නගරයේ පසුගිය දිනක උද්ඝෝෂනයක් සන්විධානය කර තිබුනත් එයට වරාය සේවකයන් සම්බන්ධ කර ගැනීමට ජවිපෙ වෘත්තීය සමිති ශාඛාව කටයුතු නොකල බවයි.

අත්‍යවශ්‍ය සේවා නියෝගයට පක්ෂපාතීව සිටින ජවිපෙ ඇතුලු වරාය අධිකාරියේ සියලු සමිති ක්‍රියා කරනු ලබන්නේ කම්කරුවන්ගේ ස්වධීන අරගලයක් වර්ධනය වීම වැලැක්වීමටය. ප්‍රතිගාමී ජාතිකවාදී ඉල්ලීම් කිහිපයක් මත කොලඹ වරායේ සමිති විසින් දෙසැම්බර් 17 දා කැඳවා තිබූ උද්ඝෝෂනයට සම්බන්ධ වන ලෙස දන්වා තිබුනේ සමිති එකමුතුවේ නිලධාරීන්ට, හා ක්‍රියාකාරීන්ට පමනකි.

ජවිපෙ සම්බන්ධ වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන දෙසැම්බර් 30 “හාර්ඩ් ෆෝකස්” යු ටියුබ් නාලිකාව හමුවේ කරන ලද සාකච්චාවකදී කියා සිටියේ වරාය ඇමති සමග සමිති කල සාකච්චාව පල රහිත බවත් දැන් ජනාධිපති සමග සාකච්චාවක් බලා පොරොත්තුව සිටින බවත්ය. මෙම නායකයෝ කම්කරු පන්තියට එරෙහිව හොර රහසේ ආන්ඩුව සමග ගනුදෙනුවක යෙදී සිටිති.

කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලික සමාගමක් මගින් පවර ගත්ත ද ඉන්දියාවට ඇත්තේ ඊට එහා යන භූ දේශපාලන උවමනාවකි. ඇමරිකාව චීනයට එරෙහිව ගෙනයන ආක්‍රමනශීලි මිලිටරි සූදානම් සමග ඉන්දියාව සමීපව ක්‍රියාකරයි.

මෙම අවශ්‍යතා මත ලංකාවේ මූලෝපායික වැදගත්කම සැලකිල්ලට ගනිමින්, ඉන්දියාව ජපානය සමග එක්ව කොලඹ වරායේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව සමග 2019 දී මුලින්ම ගිවිසුමක් අත්සන් කලේය. ජපානය ඇමරිකාවේ සමීපතම මිලිටරි සහ දේශපාලන සගයෙකු වන අතර ඉන්දියාව චීනයට එරෙහිව පෙල ගස්වා ගැනීමට ද උත්සුකවී සිටියි.

ඉන්දියාව වෙනුවෙන් සම්බන්ධ වන්නේ ඉන්දීය ආන්ඩුව සමග ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති අදානි සමාගම ය. ශ්‍රී ලංකාව, එහි සියයට 51 ක හිමිකාරිත්වයක් දරනු ඇති අතර අනෙක් හවුල්කරුවන් ඉතිරි සියයට 49 යේ හිමිකාරිත්වය දරයි. චීනයට අයත් කොලඹ අන්තර්ජාතික බහාලුම් පර්යන්තය අනික් පසින් ක්‍රියාත්මක වේ.

මෙම කොන්දේසි තුල, චීනය ලංකාව සමග සිය සම්බන්ධතා තරකර ගැනීමට තමන්ගේ පැත්තෙන් යුහුසුලුවී ඇත.

මෙම කොන්දේසි තුල අත්‍යවශ්‍ය සේවා මර්දන නීති පරාජය කිරීමේ සහ පුද්ගලීකරනයට එරෙහි සටන භූ-දේශපාලනික ගැටුම් වලින් පැන නැංවිය හැකි විනාශකාරී යුද්ධයකට විරුද්ධ අරගලය සමග බැඳී ඇත. එය කම්කරුවන් ස්වාධීනව සන්විධානය කිරීමෙන් වෙන් කල නොහැකිය.

වෘත්තීය සමිති මෙම තත්වයේදී ජාතිකවාදී හා වර්ගවාදී උද්ගෝෂනයක නිරත වෙමින්, මැඩිල්ලේ පඥ්ඥාලෝක භික්ෂුවගේ නායකත්වය සහිත සිංහල-බෞද්ධ ස්වොත්තමවාදී නඩයක් විසින් මෙහෙයවන අන්තවාදී සිංහලේ සංවිධානය සමග සන්ධාන ගතව සිටියි.

තමන් වර්ගවාදී ඉන්දියානු විරෝධී උද්ඝෝෂනයක පැටලවීමට සමිති විසින් ගෙන යන ප්‍රතිගාමී උද්ඝෝෂනයට එරෙහිව වරාය කම්කරුවන් පෙල ගැසිය යුත්තේ ඉන්දියාවේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සහෝදර කම්කරුවන් සමග එකමුතුව තහවුරු කර ගැනීමටයි; ඒ මත පුද්ගලීකරනයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමට හා යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධින අරගලයක් සංවිධානය කිරීමටයි. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය එහි ඉදිරිදර්ශනය විය යුතුය.

වරාය කම්කරුවන් සියලු ධනපති පක්ෂවලින්, ව්‍යාජ වාම සංවිධානවලින් හා වෘත්තීය සමිතිවලින් බිඳී කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නගා ගැනීම මෙම අරගලය සඳහා අත්‍යවශ්‍ය පියවරකි.

Loading