මැතිවරන ප්‍රතිඵල සහතික කිරීමට කොන්ග්‍රස් මන්ඩලය රැස්වීමත් සමග ට්‍රම්ප් කුමන්ත්‍රන සැලසුම උත්සන්න කරයි

2020 එක්සත් ජනපද ජනාධිපතිවරනයේ මැතිවරන විද්‍යාලයේ ඡන්ද විධිමත් ලෙස ගනන් කිරීම සඳහා එක්සත් ජනපද කොන්ග්‍රස් මන්ඩලය අද රැස්වෙයි. සාමාන්‍ය තත්වයන් යටතේ, මෙම ක්‍රියාවලිය චාරිත්‍ර විධියක් පමනී. කෙසේ වෙතත්, අද ඡන්දය සිදුවන්නේ මැතිවරන ප්‍රතිඵල අහෝසි කර ජනාධිපති ආඥාදායකත්වයක් ඇති කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කුමන්ත්‍රනයක් දියත් කිරීමට ගනු ලබන, ක්‍රියාකාරී හා අඛන්ඩ උත්සාහයක තතු යටතේ ය.

ට්‍රම්ප්, රිපබ්ලිකනු කොංග්‍රස් මන්ඩල නියෝජිතයින් බහුතරයකගේ සහ රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් සැලකිය යුතු පිරිසකගේ ක්‍රියාකාරී සහයෝගය ඇති ව ඡන්ද සහතික කිරීම අවහිර කිරීමට උත්සාහ ගනිමින් සිටී. එක්සත් ජනපද සෙනෙට් සභාවේ සභාපති ලෙස කටයුතු කරන උප ජනාධිපති මයික් පෙන්ස්ට ඡන්දදායකයින් “ප්‍රතික්ෂේප කිරීමේ බලය ඇති” බව ඔහු අඟහරුවාදා ප්‍රකාශ කලේ ය. එවැනි ක්‍රියාවක් නිහීන ලෙස ව්‍යවස්ථා විරෝධී වන්නේ ය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂිංටනයේ ධවල මන්දිරයේ නැගෙනහිර උත්සව ශාලාවේ සිට කතා කරයි. (APඡායාරූපය / ඉවාන් වුචි)

සඳුදා ජෝර්ජියාවේ දී අදහස් දක්වමින් ට්‍රම්ප් මෙසේ ප්‍රකාශ කලේ ය, “ඔවුන් මේ ධවල මන්දිරය අත්පත් කරගන්නේ ගන්නේ නැහැ. අපි දිවිහිමියෙන් සටන් කරනවා. ”

කොන්ග්‍රසයෙන් පිටත, නව ෆැසිස්ට්වාදීන් හා ප්‍රවුඩ් බෝයිස් වැනි පැරාමිලිටරි සංවිධාන විසින් නායකත්වය දෙනු ලබන ට්‍රම්ප් ආධාරකරුවෝ දස දහස් ගනනක් වොෂිංටන් ඩී.සී හි රොක් වෙමින් සිටිති. අඟහරුවාදා ට්‍රම්ප් පෙලපාලිවලට සිය පූර්න සහයෝගය පුද කර, බදාදා උදෑසන ධවල මන්දිරය ඉදිරිපිට රැලියක දී කතා කරන බව පැවසී ය.

ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පෙරලා දැමීමේ ට්‍රම්ප්ගේ ක්‍රියාකාරී උත්සාහය හමුවේ, ඩිමොක‍්‍රටික් පක්ෂය සහ එහි ආරක්ෂකයෝ ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ගෙන් ඇති වන තර්ජනය සැඟවීමට හා අවතක්සේරු කිරීමට හැකි සෑම දෙයක්ම කරමින් සිටිති. ඔවුන්ගේ ප්‍රධාන උත්සුකය වන්නේ මහජනයා සීරුවෙන් තබන, පාලනයෙන් මිදී යා හැකි විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වීමට තුඩුදිය හැකි මොන යම් හෝ ක්‍රියාවක් වැලක්වීමට යි.

සඳුදා බයිඩෙන් මැතිවරනය කනපිට පෙරලීමේ ට්‍රම්ගේ උත්සාහය “කන්කෙඳිරි ගෑමක් වගේම පැමිනිලි කිරීමක්” යැයි හැඳින්වී ය. ඔහු එක්සත් ජනපදයේ ව්‍යවස්ථාදායක පර්යාය පෙරලා දැමීමට උත්සාහ කරන කුමන්ත්‍රනකරුවන් කන්ඩායමක් “අපේ විරුද්ධ පක්ෂ මිතුරන්” ලෙස හැඳින්වූ අතර දෙපාර්ශ්වය ම “එක්සත්” වී “බෙදීම් දේශපාලනය පසෙකට දමන්න”යි යන තම ඉල්ලීම පුනුරුච්චාරනය කලේ ය.

හුදෙක් නියාලුකම හා වැඳ වැටීමට වඩා, බයිඩෙන්ගේ සඳහන් කිරීම් ප්‍රකාශ කරන්නේ මූලික පන්ති යථාර්ථයකි. මූලික වසයෙන් විදේශ ප්‍රතිපත්තිය කේන්ද්‍ර කර ගත් වෙනස්කම් ඔවුන්ට ඇති නමුත්, අවසාන විග්‍රහයේ දී ට්‍රම්ප් හා ඔහුගේ ඩිමොක්‍රටික් විරුද්ධවාදීහූ එක ම ධනේශ්වර පන්තියේ නියෝජිතයෝ වෙති. හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පැවසූ පරිදි, ගැටුම වූ කලී “බිත්ති හතර ඇතුලත කෝලාහලයකි.” ස්ටැලින්වාදය හා මහජන පෙරමුනු දේශාලනය සමග තම ‌‌ඉතිහාසගත පයිරුපාසානය සහිත ඇමරිකානු වාම ලිබරලුන්ගේ පරමාදර්ශී ප්‍රකාශනය වන නේශන් පත්‍රය, ජනතාව නින්දට ඇද දැමීමට ඩිමොක්‍රටික් පක්ෂය දරන උත්සාහය සංකේතවත් කරයි.

ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය “උමතුවක්” යැයි සඳහන් කරමින් නේශන් පැහැදිලි ව ම ප්‍රකාශ කරන්නේ ට්‍රම්ප් තම කුමන්ත්‍රන ප්‍රයත්නයේ දී සාර්ථක නො වන බව යි. “ ශුභාරංචිය වන්නේ ට්‍රම්ප් තමන්ගේ අවසාන තුරුම්පුවත් ගසා අවසන් බවයි. කලබගෑනියක් ඇති කිරීමට තරම් දේ ඔහු සතුවන නමුත්...එය මැතිවරනය කඩාකප්පල් කිරීමට තරම් ප්‍රමානවත් නැත”යි එය නිගමනය කලේය.

නේශන්  පත්‍රයේ වෙනත් ලිපියක් ට්‍රම්ප්ගේ ක්‍රියාවන් හඳුන්වන්නේ “විනාසයට නියම වුනුු” “විකට කුමන්ත්‍රනයක්” ලෙස යි. එය නිගමනය කරන්නේ, “ගෙවී යන සෑම දිනක ම ට්‍රම්ප්ගේ දේශපාලන බලය හීන වෙමින් පවතින අතර, මැතිවරනය පෙරලා දැමීමට ඔහුට ඇති හැකියාව ගැන යථාර්ථවාදී නො වන ප්‍රකාශ කිරීම අවශ්‍ය නො වේ” යනුවෙනි.

ඇමරිකානු දේශපාලනයේ සෑම දෙයක් ම ජනවාරි 20වැනිදා යථා තත්ත්වයට පත්වනු ඇතැ යි යන නේශන් පත්‍රයේ නො සැලෙන විශ්වාසය ඇමරිකානු ධනවාදයේ නොනැමෙන ස්වභාවය කෙරෙහි ඇති විශ්වාසයේ ප්‍රකාශනයකි. ඒනිසා එය ධනවාදය අනභිබවනීය මෙන් ම අනතුරට භාජනය නො වෙතැ යි විශ්වාස කරන ලෙස ම, කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක කිරීම ගැන සලකා බැලීමට පවා පාලක පන්තියට අවශ්‍යතාවයක් ඇති බව ඔවුන්ට සිතාගත නො හැකි බව පෙනේ.

ගල්සැසුනු, ඇමරිකානු ලිබරල්වාදයේ හඬ මෙය යි. ධනවාදයේ අර්බුදයට ඔවුන්ට ඇති එක ම ප්‍රතිචාරය වන්නේ එය මග හැරීමට උත්සාහ කිරීම හා සෑම දෙයක් ම ඒවා පැවති ආකාරයට ආපසු යනු ඇතැ යි අපේක්ෂා කිරීම යි.

1934 දී එඩ්වඩ් ඩලැඩියර්ගේ (ප්‍රන්සයේ අගමැතිව සිටි රැඩිකලෙක්) ආන්ඩුව බලයෙන් පහකල ෆැසිස්ට් වීදි පෙලපාලි පිලිබඳ ව ලියමින් ලියොන් ට්‍රොට්ස්කි මෙසේ සඳහන් කලේ ය.

ප්‍රන්ස ජනතාව දිගු කලක් තිස්සේ සිතුවේ ෆැසිස්ට්වාදයෙන් ඔවුන්ට කිසිඳු බලපෑමක් නැති බවයි. ස්වෛරී ජනතාව විශ්වීය ඡන්දය ප්‍රකාශ කිරීම තුලින් සියලුම ප්‍රශ්නවලට විසඳුම් ලබා දුන් ජනරජයක් ඔවුන් සතුව තිබුනි. නමුත් 1934 පෙබරවාරි 6 වන දින රිවෝල්වර, පොලු මුගුරු හා දැලි පිහිවලින් සන්නද්ධ ෆැසිස්ට්වාදීහු හා රාජාන්ඩු පාක්ෂිකයෝ දහස් ගනනක් ඩුමර්ගුගේ ප්‍රතිගාමී ආන්ඩුවේ බලයට රට නතු කලහ.

අද ද ෆැසිස්ට් ප්‍රචන්ඩත්වය හා ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රන සැලැසුම් කිරීම ඇමරිකානු දේශපාලනයේ වෛෂයික සාධකයක් වී තිබේ.

අපි කෙලින් ම කතා කරමු: ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය අසාර්ථක වන බවට සහතිකයක් නොමැති අතර කම්කරුවන් ඔහුගේ තර්ජන අතිශයින්ම බැරෑරුම් ලෙස ගත යුතුය. ඔහු සති දෙකක කාලයක් ජනාධිපති ධුරයේ රැඳී සිටින අතර, බලයට ඇලී සිටීම සඳහා ඔහු දරන උත්සාහයේ දී තමා සන්තකයේ ඇති, ලැයිස්තු ගත කෙරුනු හා නො කෙරනු සියලු බලතල භාවිතා කිරීමට අධිෂ්ටාන කරගෙන සිටී.

ඩිමොක්‍රටිකයින් පසු බාන අතර, ට්‍රම්ප් ලේ හැලීමට බිය නො වේ. ඔහු කතා කරන්නේ 1930 ගනන්වලින් පසු ධනවාදයේ දැවැන්තම අර්බුදය මධ්‍යයේ පූර්වභංග ප්‍රති- විප්ලවයක් සඳහා තර්ක කරන පාලක පන්තියේ කොටස් වෙනුවෙනි. කාලය අවසන් වෙමින් තිබෙන බවට ඔහු පාලක පන්තියට අනතුරු අඟවමින් සිටී: එක්කෝ කම්කරු පන්තිය තුල සමාජ විරෝධය තලා දමනු, නැතහොත් එය ඔබව ගිල දමනු ඇත.

“එවැන්නක් මෙහි සිදුවිය නොහැකි” බව, එනම් එක්සත් ජනපදය ෆැසිස්ට්වාදයෙන් හා ආඥාදායකත්වයෙන් නිදහස් බව විශ්වාස කරන ඕනෑ ම අයෙක් තමන් විසින් ම ඇමරිකානු ධනවාදයේ අර්බුදයේ යථාර්ථය නොදකිති. එය මෙහි සිදුවිය හැකිවා පමනක් නො ව, එය මෙහි සිදුවෙමින් පවතී.

නිල මාධ්‍ය හා නේෂන් පත්‍රය වැනි ඒවා තුල විවරනය සලකුනු කරන්නේ විශේෂයෙන් ම ඒවායේ නො ගැඹුරු බව මගිනි, කෙසේ නමුත් ට්‍රම්ප්ගේ ක්‍රියාවන් ඔහුගේ මනෝභාවය වෙනස්වීම නිසා සිදු වූවාක් මෙනි. එහෙත් ට්‍රම්ප් තමා වෙනුවෙන් පමනක් කතා නො කරයි. ඔහු මේ වන විටත් මෙතරම් දුර ගොස් ඇත යි යන කාරනයෙන් ම අදහස් වන්නේ මූල්‍ය කතිපයාධිකාරයේ සැලකිය යුතු කොටසක් ප්‍රජාතන්ත්‍රවාදයේ උගුල්වලින් මිදීමට සූදානම් බව යි.

අවසානයේ ජනවාරි 20දා තවත් දිනයක් පමනකි. බයිඩෙන් බලයට පත්වුව ද, ට්‍රම්ප් එක්සත් ජනපදයේ ප්‍රමුඛ දේශපාලන චරිතයක් ලෙස පවතිනු ඇති අතර, ඔහුගේ ස්ථානය ගැනීමට තවත් සමහරු බලා සිටිති. රිපබ්ලිකානුවන් පාලනය කරන ප්‍රාන්ත බයිඩෙන් ජනාධිපති ධුරයක් පිලිගන්නේ ද යන්න තවමත් පැහැදිලි නැත.

මේ අර්බුදය දිග හැරෙමින් පවතින්නේ එක්සත් ජනපදයේ පමනක් මේ වන විට 350,000කට අධික පිරිසක් ඝාතනය කර, ව්‍යාප්ත වෙමින් පවතින වසංගතයේ පසුබිමෙහිය. රට පුරා රෝහල් ධාරිතාවන් පිරී තිබෙන අතර ලොස් ඇන්ජලීස් ප්‍රාන්තය පරිපූරක වෛද්‍යවරුන්ට සලාක ක්‍රමයට සත්කාර ආරම්භ කරන ලෙස උපදෙස් දී තිබේ.

මෙම ව්‍යසනය හමුවේ පාලක පන්තියේ සියලු ම කොටස් ඔවුන්ගේ “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ ප්‍රතිපත්තිය තීව්‍ර කර ඇත්තේ, ලාභ අඛන්ඩ ව ඇද ගැනීම සඳහා ව්‍යාපාර විවෘත ව තිබිය යුතු යැයි ඉල්ලා සිටිමිනි. සමූහ මරන හා සමාජ කාලකන්නිකම මධ්‍යයේ, මූල්‍ය කතිපයාධිකාරයේ ධනය සමඟ වෝල් වීදිය තම නිර්දය ඉහල යාම ඉදිරියට ගෙන යයි.

මෙම මාරාන්තික ප්‍රතිපත්ති පිලිබිඹු කරන්නේ,ප්‍රතිපත්ති සැකසීමේ දී වඩාත් ම පීඩිත පන්තීන්ගේ ඉතාමත් මූලික උත්සුකතා සැලකිල්ලට ගත නො හැකි, බොහෝ සෙයින් විෂමාකාර සමාජ පර්යායකි. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීම හා කුනුවීම අවසාන වසයෙන් ඇමරිකානු ධනවාදයේ අර්බුදය හා මරලතෝනියේ ප්‍රකාශනය යි. ට්‍රම්ප් යනු රෝගයේ වඩාත්ම දෘශ්‍යමාන රෝග ලක්ෂනය පමනි.

වසංගතයේ දී ජීවිත බේරා ගැනීමේ සටන මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සටනේ දී ද, පිලියම එක හා සමාන ය: සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා සටන් කරන කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් මගින් මූල්‍ය කතිපයාධිකාරයේ බලය බිඳ දමා පෙරලා දැමිය යුතු ය.

මෙම ලිපිය ජනවාරි 6 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

එක්සත් ජනපදයේ සසප සමුලු යෝජනාව, ගෝලීය වසංගතය, පන්ති අරගලය සහ සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ