එක්සත් ජනපදයේ සසප සමුලු යෝජනාව, ගෝලීය වසංගතය, පන්ති අරගලය සහ සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ

මෙම ලිපිය අගෝස්තු1 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

මෙම යෝජනාව එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ හයවන ජාතික සම්මේලනයේදී සාමාජිකත්වය විසින් ඒකමතිකව සම්මත කරන ලද අතර, එය 2020 ජූලි 19 සිට ජූලි 24 දක්වා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වින.

1. කොවිඩ්-19 වසංගතය ලෝක ඉතිහාසයේ ප්‍රේරක සිදුවීමක් වන අතර, එය දැනටමත් ලෝක ධනවාදී ක්‍රමයේ වැඩි දියුනු ආර්ථික, සමාජීය හා දේශපාලන අර්බුදය වේගවත් කරයි. එය ජාත්‍යන්තර පරිමානයෙන් පන්ති අරගලය දැවැන්ත ලෙස තීව්‍ර කිරීම සඳහා කොන්දේසි නිර්මානය කරයි. රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට, ආර්ථිකය මත කම්කරු පන්තිය විසින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපිත කිරීමට, වෙලඳපොලේ අරාජකත්වය විද්‍යාත්මක සැලසුම්කරනයෙන් විස්ථාපනය කිරීමට, ජාතික රාජ්‍ය පද්ධතිය අවසාන කිරීමට සහ සමානාත්මතාවය වෙනුවෙන් කැප වූ ගෝලීය සමාජවාදී සමාජයක් ගොඩනැගීමට, දරිද්‍රතාවය සහ සියලු ආකාරයේ පීඩාවන් හා වෙනස්කම් කිරීම් අහෝසි කිරීමට, ජීවන තත්වයන්ගේ  සහ සමාජ සංස්කෘතියේ මට්ටමෙහි දැවැන්ත නැගීමක් සහ පරිසරය ආරක්ෂා කිරීමට තුඩුදෙන, ධනවාදයට එරෙහි විප්ලවවාදී අරගලයකින් හැර ප්‍රගතිශීලී විසඳුමක් නොමැති අර්බුදයක් සමඟ කම්කරු පන්තිය පොර බදමින් සිටියි.

2. "ප්‍රේරක සිදුවීමක්" ලෙස වසංගතය නිර්වචනය කර ඇති ලෝක සමාජවාදී වෙබ් අඩවිය, පලමු ලෝක යුද්ධය පුපුරා යාමෙන් කුලුගැන්වුන සිද්ධි මාලාවකට තුඩු දුන්, 1914 ජුනි 28 දා ඔස්ට්‍රියානු ආදිපාද ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනයට එය සංසන්දනය කර ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවීය "ඝාතනය සිදු නොවුනා නම්", අගෝස්තුවේ යුද්ධය එලැඹේ ද යන්න සැක සහිතය. එහෙත් ඉක්මනින් හෝ පමා වී හෝ, ඇතැම්විට 1914 ශීත ඍතුවේ හෝ ඊලඟ වර්ෂයේ හෝ, යුරෝපීය හා ගෝලීය ධනේශ්වර ක්‍රමයේත්, අධිරාජ්‍යවාදයේත් ආර්ථික හා භූ දේශපාලනික ප්‍රතිවිරෝධයන් විසින් යුදමය වහ්නි ජාලාවකට මඟ පෑදෙනු ඇත. ඝාතනය විසින් ඓතිහාසික ක්‍රියාදාමය වේගවත් කරන ලදී; එහෙත් එය ක්‍රියාත්මක වූයේ කල් තබා පැවතෙමින් තිබූ හා අතිශයින්ම ඇවිලෙන සුලු‍සමාජ ආර්ථික හා දේශපාලන තතු මත ය.” [1]

3. කොරෝනා වෛරසය නිර්මානය කල නිශ්චිත කොන්දේසි අහම්බ හා අවිනිශ්චිත ස්වභාවයක් ගන්නා අතර, වසංගතයට දක්වන ප්‍රතිචාරය තීරනය කර ඇත්තේ, ධනේශ්වර අර්බුදයේ පෙර පැවති කොන්දේසි සහ පාලක පන්තියේ අවශ්‍යතා මත ය. ධනේශ්වර පන්තිය පෙර කාල පරිච්ඡේදය තුල  භාවිතා කල පරපෝෂිත ආර්ථික සම්බන්ධතා සහ සමාජ ප්‍රතිපත්ති අඛන්ඩව පෙරට ගෙන යමින් ඒවා තියුනු කර  තිබේ.

4. පලමුවන ලෝක සංග්‍රාමය ආරම්භ වූ විට, එය සාපේක්ෂව ඉක්මනින් අවසන් වනු ඇතැයි සියලු යුදවාදීන් සිතා සිටියහ. කෙසේ වෙතත්, ගැටුම වසරින් වසර ඉදිරියට ඇදී ගියේ, ආන්ඩුවල ප්‍රතිපත්ති නියම කල ධනවාදී පාලක ප්‍රභූන්, ගැටුම තුල සිය භූ-මූලෝපායික අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ ජීවිත බිලිදීම, සාධාරන පිරිවැයක් ලෙස සැලකූ බැවිනි. විනාශය අවසාන කරන ලෙස බල කෙරුන, 1917 රුසියානු විප්ලවයේදී  හා පසුකාලීනව යුරෝපය පුරා පුපුරා ගිය  විප්ලවවාදී අරගල රැල්ලක ස්වරූපයෙන්, කම්කරු පන්තියේ මැදිහත්වීම අවශ්‍ය විය . වර්තමාන තත්වය තුල, වසංගතයට ඵලදායී පියවර ගැනීමට ඇති ලොකුම බාධකය, අර්බුදයෙන් වාසි ලබා ගත් ධනේශ්වර පන්තියේ ආර්ථික හා භූ-මූලෝපායික අවශ්‍යතා ය. එක්සත් ජනපදයේ හා ගෝලීය කොටස් වෙලඳපොලවල් නොනැවතී ඉහල යමින් පවතින අතර, ආසාදන හා මරන සංඛ්‍යාව ද ඉහල නඟිමින් යලිත් වරක් වාර්තාගත මට්ටම් කරා ලඟා වෙමින් තිබේ. වෛරසය පැතිරීම පාලනය කිරීමට පෙරම, මැයි අග,  නොසැලකිලිමත් ලෙස නැවත සේවයට පැමිනීම මුලුමනින්ම නියම කරනු ලැබුවේ, මූල්‍ය ප්‍රභූවේ ලාභය උත්පාදනය කිරීම සඳහා කම්කරු පන්තිය අඛන්ඩව සූරාකෑම නැවත ආරම්භ කිරීම සඳහා වූ ව්‍යාපාරික-මූල්‍ය පැලැන්තියේ අවශ්‍යතාවය මතය.

5. තත්වය තීරනාත්මක ය. වසංගතය පාලනයෙන් තොරව පැතිර යයි. ජුලි මැද භාගය වන විට ගෝලීය වශයෙන් මිලියන 13 කට අධික ජනතාවකට වෛරසය ආසාදනය වී ඇත. මියගිය සංඛ්‍යාව 700,000 කට ආසන්නය. නව රෝගීන් වාර්තාගත ඉහල මට්ටමක පවතින අතර ලතින් ඇමරිකාව, මැදපෙරදිග සහ දකුනු ආසියාව පුරා වෛරසය වේගයෙන් පැතිර යමින් ඇත.

6. එක්සත් ජනපදය වසංගතයේ කේන්ද්‍රය බවට පත්ව ඇත. මිලියන 4.5 කට වඩා, නැතහොත් රටේ සෑම පුද්ගලයින් 100 දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා වෛරසය ආසාදනය වී ඇත.   දිනකට නව රෝගීන් 70,000 ට වඩා  හමුවේ. ෆ්ලොරිඩා, ටෙක්සාස් සහ ඇරිසෝනා හි රෝහල් රෝගීන් උපරිමයට පැමින හෝ එය ඉක්මවා යන  අතර, හෙදියෝ ආරක්ෂිත උපකරන නොමැතිව සිටිති. ග්‍රීෂ්ම කාලය අවසන් වන විට නිල මරන සංඛ්‍යාව 250,000 සිට 350,000 දක්වා වනු ඇත. එය පලමුවන ලෝක සංග්‍රාමය, වියට්නාම් යුද්ධය සහ කොරියානු යුද්ධවල සමස්ත එක්සත් ජනපද  මරන මෙන් දෙගුනයටත්  වැඩිය.

7. වසංගතය පැතිරීමත් සමඟම සමාජ අර්බුදයක් වර්ධනය වෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ තක්සේරුව අනුව වසංගතයේ ප්‍රතිපලයක් ලෙස ගෝලීය වශයෙන්, අමතරව තවත් මිලියන 265 ක ජනතාවක් සාගින්නට මුහනපෑමේ අවදානමක් ඇත. ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව කම්කරුවන්ට අහිමිවී ඇති ආදායම ඩොලර් ට්‍රිලියන 3.4 ක් පමන වේ. එක්සත් ජනපදයේ අගුලු දැමීම් අවසන් කිරීම නොතකා මිලියන ගනනක් රැකියා විරහිතව සිටින අතර කුඩා ව්‍යාපාර 100,000 ක් ස්ථිරවම වසා දමා ඇත.

8. වසංගතයට එක්සත් ජනපදය දැක්වූ විනාශකාරී අකාර්යක්ෂම, අසංවිධානාත්මක හා අමානුෂික ප්‍රතිචාරය ට්‍රම්ප් පරිපාලනයේ නොහැකියාව සහ සාපරාධී ස්වභාවය පමනක් නොව, ඇමරිකානු ධනවාදයේ සහ පාලක ප්‍රභූවේ දේශපාලන හා සදාචාරාත්මක බංකොලොත් භාවය ද හෙලි කර තිබේ. එහි සමාජ දේහකාය, “සංස්ථා ප්‍රවර්ධනය, කොටස් නිකුතුව සහ කොටස් සමපේක්ෂනය මගින් වංචාවේ සහ වංචා කිරීමේ සමස්ත පද්ධතියක”  ආන්තික හා සැබවින්ම සාපරාධී වර්ධනය මගින් හැඩගස්වා ඇත. [2] මෙම පදනම මත සහ මාක්ස්ට පවා සිතාගත නොහැකි තරමට පාලක පන්තිය, පසුගිය අවුරුදු 40 පුරා කම්කරු පන්තියේ සිට ධනවතුන් වෙත ධනය යලි බෙදා හැරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර තිබේ.

9. සමපේක්ෂනය හා මූල්‍යකරනය තුලින් කොටස් වෙලඳපොලෙහි ඇතිකර තිබෙන දැවැන්ත උද්ධමනය, පෙර නොවූ විරූ ආකාරයේ සමාජ අසමානතාවයක් නිර්මානය කර තිබේ. පුද්ගලයන් තිදෙනෙකු ජනගහනයෙන් පහල භාගයට වඩා වැඩි ධනයක් අත්කර ගනියි.

10. “වසංගතය පාලනය කිරීමට තවත් කොපමන කාලයක් ගතවේ ද?” මෙය බිලියන සංඛ්‍යාත ජනතාවක් අසන ප්‍රශ්නයකි. සුපුරුදු ප්‍රතිචාරය නම්  ඵලදායී එන්නතක් නිපදවන තුරු වසංගතය දිගටම පවතින බවයි. කොවිඩ්-19 අර්බුදය තනිකරම පාහේ වෛද්‍ය ගැටලුවක් යැයි උපකල්පනය කිරීම මත, මෙම මාරාන්තික පිලිතුර පදනම්ව ඇත. ඉතිරිව ඇත්තේ, වසංගතයට එරෙහි සටනේ සමාජ හා දේශපාලන මානයන් ය. පලමුවන ලෝක සංග්‍රාමය අවසන් කිරීම සඳහා කම්කරු පන්තියේ නැගිටීම අවශ්‍ය වූ ආකාරයටම, ධනවාදයට එරෙහි අරගලයක දී කම්කරු පන්තියේ සවිඥානික මැදිහත්වීම, රෝගයට පලදායී සමාජ ප්‍රතිචාරයක් සඳහා කොන්දේසි නිර්මානය කරනු ඇත. නුදුරු අනාගතයේ දී එන්නතක් වර්ධනය කලත්, එය සහතික කල නොහැකි දිගු කාලීන ප්‍රතිශක්තියක් ලබා දුන්නත්, එය බෙදාහරිනු ඇත්තේ, සංගතවල ලාභ අවශ්‍යතා සහ ප්‍රධාන ධනේශ්වර බලවතුන් අතර භූ-මූලෝපායික ගැටුම් වලට අනුකූල වන පරිද්දෙනි. එපමනක් නොව, වසංගතය පාලනය කිරීමෙන් සමාජ හා ආර්ථික අර්බුදය අවසානයකට ගෙන එන්නේ නැත. පලමුවන ලෝක සංග්‍රාමයෙන් පසුව සිදු වූවාක් මෙන් වසංගතය, ගැඹුරු කැලල් ඇති කර දිගු කාලීන ප්‍රතිවිපාක ඇති කරයි. කෙතරම් නරක තත්වයක පැවතියේ වුවත්, වසංගතය පුපුරා යාමට පෙර පැවති කොන්දේසි කරා නැවත පැමිනෙන්නේ නැත. වසංගතය නිර්මානය කල කොන්දේසිවල පදනම මත, ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදය වර්ධනය වනු ඇත. පන්ති අරගලයේ විෂය පථය හා තීව්‍රතාවය වැඩිවනු මිස අඩු වනු නැත.

11. ආර්ථිකය නොසැලකිලිමත් ලෙස නැවත විවෘත කිරීම යුක්ති සහගත කරමින් ධනවාදී මාධ්‍ය මෙසේ ප්‍රකාශ කලේය: “සුව කිරීම [වසා දැමීම] රෝගයට වඩා දරුනු නොවිය යුතුය.” යථාර්ථය නම්, වසංගතය රෝග ලක්ෂනය පමනක් බවයි. රෝගය ධනවාදයයි. අවශ්‍ය ප්‍රතිකාරය ජාත්‍යන්තර පන්ති අරගලයයි. ප්‍රතිකාරය සමාජවාදයයි.

12. වර්තමාන තත්ත්වය අවබෝධ කර ගැනීම සහ අනාගතය සඳහා මාවතක් සකස් කිරීම සඳහා, වසංගතයේ ගෝලීය කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති රට තුල, එනම් එක්සත් ජනපදයේ, අර්බුදය වර්ධනය වී ආ ආකාරය සමාලෝචනය කිරීම අවශ්‍ය වේ.

2019 දෙසැම්බර් - 2020 මාර්තු 27: වසංගතය පැතිරීම, තොරතුරු මර්දනය කිරීම සහ ව්‍යාපාරික-මූල්‍ය ප්‍රභූව බේරා ගැනීම

13. 2019 දෙසැම්බර් මාසයේදී චීනයේ වෛරසය පැතිරීමත් එය, යුරෝපය හරහා සහ උතුරු ඇමරිකාව හරහා ජාත්‍යන්තරව සම්ප්‍රේෂනය වීමත් සමඟ ය පලමු අදියර ආරම්භ වූ අතර ජනාධිපති ඩොනල්ඩ් 2020 මාර්තු 27 දින, ඊනියා කෙයාස් පනතට අත්සන් තබන තෙක්ම මේ තත්වය පැවතුනි. ට්‍රම්ප්-පරිපාලනය සහ ධනවාදී පක්ෂ දෙකේම කොන්ග්‍රස් නායකයින්, ව්‍යාපාරික-මූල්‍ය ප්‍රභූවේ උපදෙස් මත ක්‍රියා කරමින්, වසංගතය පැතිරීම වැලැක්වීම සහ ජීවිත බේරා ගැනීමට නොව, බැංකු, විශාල සමාගම් සහ බලවත් වෝල් වීදියේ ආයෝජකයින් ගලවා ගැනීමට ප්‍රමුඛත්වය දුන්, සමාජමය වශයෙන් විනාශකාරී තීරන ගත්තේ, මෙම තීරනාත්මක මාසවලදී ය. .

14. 2020 ජනවාරි මස මුල වන විට, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ රෝග පාලන මධ්‍යස්ථානවල පුහුනු වසංගත රෝග විද්‍යාඥයින් තේරුම් ගත්තේ, කොරෝනා වයිරසයට ප්‍රධාන ගෝලීය සෞඛ්‍ය ආරක්ෂන ව්‍යසනයක් දක්වා වර්ධනය වීමේ හැකියාව ඇති බවයි. සූකර උන සහ ඉබෝලා පැතිරීම පිලිබඳ පෙර අත්දැකීම්, වසංගතයක ප්‍රතිවිපාක පිලිබඳ සැක මතු කෙරෙන දත්ත වෛද්‍ය ප්‍රජාවට ලබා දී ඇත. 2005 තරම් මෑත කාලයකදී, වසංගත රෝග විශේෂඥ ලෝරි ගැරට්, ෆොරින් අෆෙයාස් හි පල කල ලිපියක, එච් ෆයිව් එන් වන් (H5N1) රෝග වෛරසය ගැන අනතුරු අඟවා තිබුනි.

ප්‍රචන්ඩ ලෙස පරිනාමය වන වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂනය වීමේ හැකියාව ඇති කරගෙන, මිනිස් ඉන්ෆ්ලුවෙන්සා වලට ආවේනික බෝවන ශක්තියක් වර්ධනය කර එහි අසාමාන්‍ය කෘරත්වය පවත්වා ගෙන යන්නේ නම්, මානව වර්ගයා මෙතෙක් දැක ඇති දරුනුම වසංගතයට මුහුනදෙනු ඇත. [3]

මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂනය විය හැකි වෛරස් වසංගතයක, ඇමරිකානු හා ජාත්‍යන්තර ප්‍රතිවිපාක පිලිබඳව  ඇඟ කිලිපොලා යන විස්තරයක් ගැරට් විසින් සපයනු ලබයි. එක්සත් ජනපදය, “මරන මිලියන 16 ක් සහ සිතාගත නොහැකි ආර්ථික පිරිවැයකට මුහුන දිය හැක.” [4] යනුවෙන් ලියන ඇය තවදුරටත් මෙසේ පවසයි:

වෛරස් ප්‍රහාරය මුලු ලෝකයටම පොදුවේ එල්ල විය හැකි අතර, එච්.අයි.වී මගින් විනාශයට පත් වූ සහ ප්‍රතිශක්තිකරනයට ලක් නොවූ මිලියන සංඛ්‍යාත පුද්ගලයන් සිටින ප්‍රදේශවල ඊටත් වඩා විශාල මරන සංඛ්‍යාවක් දැකිය හැකි වනු ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් සමහර රටවල් නිෂ්පල සේම අතිශය විනාශකාරී නිරෝධායන ක්‍රියාත්මක කල හැකිය, හෝ සමහර විට මාස ගනනක් තිස්සේ දේශසීමා සහ ගුවන් තොටුපලවල් වසා දැමිය හැකිය. එවැනි වසා දැමීම් වෙලඳාම, ප්‍රවාහන කටයුතු වලට සහ පලදායිතාවයට බාධාවක් වනු ඇත. ලෝකයේ කොටස් වෙලඳපොලවල් වේගයෙන් කඩා වැටෙනු ඇති බවට සැකයක් නැත. [5]

15. පැහැදිලිවම, එක්සත් ජනපද ආන්ඩුව සහ එහි බුද්ධි තොරතුරු ආයතන 2020 පලමු දිනය වන විටත්, බොහෝ දුරට දෙසැම්බර් දෙවන භාගය වන විටත්, වටහාගෙන සිටි පරිදි, ලෝකය සෞඛ්‍යය පද්ධතිය, ආරක්ෂන ව්‍යසනයක අද්දර සිටියේය. එක්සත් ජනපදයේ තොරතුරු එක්රැස් කිරීමේ නිශ්චිත කාලසටහන කුමක් වුවත්, අන්තරාය පිලිබඳ වාර්තා ජනවාරි මාසයේ දී ගෝලීය මාධ්‍ය වෙත ගලා ඒමට පටන් ගත්තේය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2020 ජනවාරි 24 වන දින කොරෝනා වෛරසය පිලිබඳ සිය සවිස්තරාත්මක විමසුම සපයන ලදී. ඉන් දින හතරකට පසුව, ලෝසවෙඅ පැහැදිලි කලේ:

ලෝකයේ ආන්ඩු, විශේෂයෙන් එක්සත් ජනපදයේ, පසුගිය කාර්තුව තුල මහා පරිමාන යුද්ධයක් සඳහා ඉතා සූක්ෂම සැලසුම් සකස් කර ඇති නමුත් එම කාලය තුල,ලෝකය පීඩාවට පත් කරනු ලබන  වසංගත රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා එවැනි සම්පත් හෝ දූරදර්ශී සිතුවිලි කිසිවක් වෙන්කර නොමැත. . [6]

16. වසංගතය පැතිරීම නිසා මතු කරන මහා සෞඛ්‍ය අනතුරක් තිබියදීත් පාලක පන්තිය, මුලුමනින්ම පාහේ අවධානය යොමු කලේ, වසංගතයක ආර්ථික බලපෑම, එනම්, මෙම රෝගය කොටස් වෙලඳපොලට සහ සමාජයෙන් සියයට පහක් වන ධනවත්ම පුද්ගලයන්ගේ පෞද්ගලික ධනයට බලපාන්නේ කෙසේද යන්න ගැනයි. ධනේශවර කතිපයාධිකාරය, පලමුකොටම අන්තරාය පිලිබඳව ප්‍රසිද්ධයේ  පිලිගැනීම, මූල්‍ය භීතිකාවකට තුඩු දෙනු ඇතැයි ද එමඟින් වෙලඳපල “කැලඹීමට හා සමහර විට වේගවත් කඩා වැටීමකට ලක්වනු ඇතැයි ද බියට පත් විය.”

17. එහි උත්සුකයන් පදනම් විරහිත නොවීය. එක්සත් ජනපද ෆෙඩරල් බැංකුව 2008-2009 මූල්‍යමය බිඳවැටීමට ප්‍රතිචාර දැක්වූයේ, වෝල් වීදියේ බැංකු සහ ආයෝජන සමාගම් වලට ඩොලර් බිලියන සිය ගනනක් පොම්ප කිරීමෙනි. 2008-09 අර්බුදය යනු ධනවාදයේ දිග්ගැස්සුනු පරිහානියක ප්‍රතිපලයකි. එමඟින්, මූල්‍යකරනය යනුවෙන් හැඳින්වෙන ක්‍රියාවලියේ අතිශය අහිතකර ප්‍රකාශනය අත්පත් කරගන්නා ලදී, එනම්, ව්‍යාපාරික-මූල්‍ය ප්‍රභූව විසින් ධන සමුච්ඡායන ක්‍රියාවලිය වෙන කවරදාටත් වඩා නිෂ්පාදනයෙන් වෙන් කිරීමය. “ප්‍රමානාත්මක ලිහිල් කිරීම” ලෙස හැඳින්වෙන මෙම පෙර නොවූ විරූ මූල්‍ය ඇපකර ප්‍රදානය යටතේ, ව්‍යාපාරික මූල්‍ය ප්‍රභූවට අතිශය අඩු පොලී නය එනම්, “නිදහස් මුදල්” ලබාදුන් අතර ඒවා, කොටස් වටිනාකම සහ අනෙකුත් සමපේක්ෂන වත්කම් උද්ධමනය කරන කොටස් “යලි මිල දී ගැනීම” සඳහා භාවිතා කරන ලදී.

18. වසංගතය ඇතිවීමට පෙර පවා, එක්සත් ජනපදය හා ලෝක ආර්ථිකය නය කන්දක් මත (ව්‍යාජ ප්‍රාග්ධනය) පිහිටා ඇති බව වඩ වඩාත් පැහැදිලි වෙමින් පැවතුනි, එහි පරිමාව සැබෑ ආර්ථිකයේ පලදායී හා ලාභ උත්පාදනය කිරීමේ හැකියාව ඉක්මවා ගියේය. වසංගතය පැතිරීම, ආර්ථික වසා දැමීමේ තර්ජනයක් මතු කරන අතර එමඟින් නයෙහි දැවැන්ත මට්ටම විසින් ඉල්ලුම කෙරෙන ආදායම් ගලායාම කපා හැරෙනු ඇත. ජාත්‍යන්තර බේරුම්කරන බැංකුව (Bank of International Settlement)2020 අප්‍රේල් මාසයේ නිකුත් කල වාර්තාවක පැහැදිලි කල පරිදි :

කොවිඩ්-19 කම්පනය, ව්‍යාපාරික මුදල් ප්‍රවාහය මත දැවැන්ත පීඩනයක් ඇති කරයි. 2019 වර්ෂයේ ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශනවලින් පෙනී යන්නේ, ඉදිරි වසර තුල සමස්ත සේවා පිරිවැය පියවා ගැනීමට සමාගම්වලින් 50% කට ප්‍රමානවත් තරම් මුදල් නොමැති බවයි. [7]

19. තවදුරටත් වාර්තාව පවසන්නේ:

නූතන යුගයේ වෙනත් කිසිදු පසුබෑමක් කොවිඩ්-19 කම්පනය තරම්, දරුනු ලෙස ව්‍යාපාරික අංශයට බලපා නැත. මහජන සෞඛ්‍යය සුරක්‍ෂිත කිරීම සඳහා රටපුරා අගුලු දමා ඇති බැවින් සමාගම් දැන්, පෙර නොවූ විරූ ලෙස ආදායම පහත වැටෙනු අත්දකිමින් සිටියි. මෙම සුවිශේෂී තත්වයන්ට ඔරොත්තු දීමට සමාගම්වලට ඇති හැකියාව විසින්, කොවිඩ්-19 අවපාතය පුළුල් ව්‍යාපාරික බංකොලොත්වීම් හරහා ආර්ථික කටයුතුවල කල්පවත්නා කැලලක් ඇති කර තිබේ ද යන්න තීරනය කරනු ඇත. [8]

20. මෙම තත්වය තුල, ව්‍යාපාරික -මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ මූල්‍ය අවශ්‍යතා, තමන් වෙත ආදායම් ගලා ඒම සීමා කරන සියලුම මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග සමඟ නොගැලපෙන අතර ඒවාට සතුරු ය. ජනවාරි-මාර්තු කාලයේ, තිරය පිටුපස දැවැන්ත ව්‍යාපාරික-මූල්‍ය ඇපදීමක් සූදානම් වෙමින් තිබියදී ට්‍රම්ප් පරිපාලනය පුන පුනා කියා සිටියේ, වසංගතය ජීවිත මත ඇතිකරන්නේ සුලු බලපෑමක් බවත් එය ආශ්චර්යමත් ලෙස අතුරුදහන් වනු ඇති බවත්ය. ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන් විසින් පාලනය කරනු ලබන ෆෙඩරල් සහ ප්‍රාන්ත ආන්ඩු අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීම ප්‍රතික්ෂේප කලහ.

21. වසංගතයට “ගෝලීය වශයෙන් සම්බන්ධීකරනය කල හදිසි ප්‍රතිචාරයක්” ඉල්ලා පෙබරවාරි 28 වන දින හජාජාක ප්‍රකාශයක් නිකුත් කලේය. රෝගීන් සංඛ්‍යාව 100,000 කරා ලඟා වීමත් සමඟ (අද මිලියන 12 කට වඩා වැඩි සංඛ්‍යාවක්), හජාජාක අනතුරු ඇඟවූයේ, “අන්තරාය උඩින් පැන යා නොහැක” යනුවෙනි. වෛරසය පාලනය කිරීම, සුව කිරීම සහ අවසානයේදී මුලිනුපුටා දැමීම සඳහා පියවර ගැනීම පිනිස, විද්‍යාඥයින් ජාත්‍යන්තර වශයෙන් බලමුලු ගැන්වීමේ අවශ්‍යතාව ප්‍රකාශයෙන් අවධාරනය කෙරින. සෞඛ්‍ය සේවා හා ප්‍රතිකාර සඳහා විශාල වශයෙන් සම්පත් වෙන් කිරීම; වෛරසයෙන් බලපෑමට ලක්වූ සියලු දෙනාටම සහය දැක්වීම සඳහා ධනය නැවත බෙදා හැරීම අවධාරනය කරන ලදී. [9]

22. ආන්ඩුවල දැනුවත් නිෂ්ක්‍රීයත්වය, ලෝසවෙඅ අර්ථ දැක්වූයේ “ද්වේෂ සහගත නොසලකා හැරීමක්” ලෙස ය. [10] ආන්ඩු විසින් වෛරසය කෙරෙහි දක්වන උදාසීනත්වයේ ආකල්පය, වෙලඳපොල කෙරෙහි එහි බලපෑම පිලිබඳ උත්සුකයන් විසින් නියම කරන ලදී. ව්‍යාපාර සඳහා වන ආර්ථික ප්‍රතිවිපාකවලට 2008 අර්බුදයෙන් පසුව ලබා දුන් ප්‍රමානයට වඩා වැඩි ඇපදීමක් අවශ්‍ය බව පාලක පන්තිය හොඳින් දැන සිටියේය.

23. වෛරසය නැවැත්වීමට සහ ජීවිත බේරා ගැනීමට පියවර ගැනීම වෙනුවට පාලක පන්තිය, පෙබරවාරි සහ මාර්තු මාස යොදා ගත්තේ, වෝල් වීදියට ඩොලර් ට්‍රිලියන ගනනක ඇපදීමක් පිලියෙල කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් ය. මැදිහත්වීමේ පරිමාව ආර්ථික තත්වය පිලිබඳ අපේක්ෂා භංගත්වයට සාක්ෂි සපයයි. වසංගතය නිසා ඇති වන අන්තරාය මහජනයාගෙන් සැඟවිය නොහැකි බැවින්, පෙබරවාරි 19 සිට මාර්තු 23 දක්වා කාලය තුල එස් ඇන්ඩ් පී 500 දර්ශකයට එහි වටිනාකමෙන් තුනෙන් එකක් අහිමි විය.

24. පාලක පන්තියේ “ද්වේෂ සහගත නොසලකා හැරීමේ” ප්‍රතිපත්තියට විරුද්ධව කම්කරු පන්තිය වසංගතයෙන් ආරක්ෂා වීමට පියවර ගැනීමට පටන් ගත්හ. ඉන්ස්ටාකාර්ට්, ඇමසොන් සහ හෝල් ෆුඩ්ස් හි සේවකයින් විසින් රැකියා වලින් ඉවත්ව යාම සහ විරෝධතා  සංවිධානය කරන ලදී. එක්සත් ජනපදයේ සහ කැනඩාවේ මෝටර් රථ සේවකයින් යුරෝපයේ වැඩ වර්ජන හා විරෝධතා රැල්ලකට සමගාමීව හදිසි වර්ජන මාලාවක් සිදු කලහ. ලෝසවෙඅහි පල කල ලිපි සහ සසප විසින් නිකුත් කල  මාර්තු 14 වන දින ප්‍රකාශයෙන්, “කොරෝනා වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා මෝටර් රථ කර්මාන්තය වසා දමන්න!” යන ඉල්ලීම, දස දහස් ගනන් කම්කරුවන් විසින් කියවා බෙදා ගන්නා ලදී. කම්කරු පන්තියේ වැඩෙන පීඩනය යටතේ සහ ඇපදීමේ නීති තවමත් සකස් වෙමින් පවතින තතු තුල ෆෙඩරල්, ප්‍රාන්ත ආන්ඩු සහ පලාත් පාලන ආයතන, ආර්ථිකයන්ට අගුලු දැමීමට එකඟ විය.

25. මාර්තු අග දී කොන්ග්‍රසය විසින් ඒකමතිකවම වාගේ ඡන්දයෙන්, සංගතවලට බිලියන සිය ගනනක් ලබා දුන් සහ එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුව විසින් වෝල් වීදියට ඩොලර් ට්‍රිලියන ගනනක ඇපදීම අනුමත කල, කෙයාස් පනත සම්මත කලේය. මහ බැංකුව, බැංකු හා ප්‍රධාන සමාගම් වලින් වත්කම් හා නය බැඳුම්කර මිල දී ගැනීමත් සමඟ සති කිහිපයකින්, මහ බැංකුවේ ශේෂ පත්‍රය ඩොලර් ට්‍රිලියන 4 සිට ඩොලර් ට්‍රිලියන 7 කට වඩා වැඩි විය. .

26. කෙයාස් පනත සම්මත කිරීම, අර්බුදයේ පලමු අදියර අවසානයකට ගෙන ආවේය. ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රමුඛ සාමාජික නික් බීම්ස් වෙත මාර්තු 28 දිනැති ලිපියක් මගින් එක්සත් ජනපද සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත්, ධනවාදී ක්‍රමයේ අර්බුදයේ සන්දර්භය තුල, 2020 පලමු මාස තුනේ සිදුවීම් තක්සේරු කලේ ය.

ධනේශ්වර මාධ්‍ය, ගෝලීය වෙලඳපොලවල දැවැන්ත පහත වැටීම මුලුමනින්ම වසංගතය මත පැටවීම පුදුමයක් නොවේ. නමුත් මෙය ප්‍රමානවත් නොවේ. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට පෙර කොටස් වටිනාකම්වල පිම්බීම, රෞද්‍ර ස්වරූපයක් ගෙන ඇති බව පෙනෙන්නට තිබුනි. ඊට ඉන්ධන සැපයුනේ, අසීමිත ලෙස ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ අරමුදල් ලබා ගැනීම සහ යුරෝපීය මහ බැංකුව සහ මහ බැංකු විසින් ඓතිහාසිකව පෙර නොවූ විරූ තරම් පොලී අනුපාත පහත හෙලීමෙනි. එහිදී සෘන පොලී අනුපාත පිලිබඳ සංසිද්ධිය පවා මතු විය. කොටස් වටිනාකම් වෙන කවරදාටත් වඩා ඉහල මට්ටමකට ගෙන ඒම (කොටස් යලි මිලට ගැනීම් වැනි) මඟින් තෙමේම ධනවත් වීමේ ව්‍යායාමය සඳහා ව්‍යාජ ප්‍රාග්ධන කන්ද, පාලක පන්තියට තමන්ගේ නිමක් නැති විජ්ජාවන්ට ඉඩ සලසා දුන්නේය.  

පසුගිය සති තුන තුල වෙලඳපලෙහි කොටස් විකුනා දැමීමේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂනය වූයේ (දින තුනක වත්කම් මිල තාවකාලිකව ඉහලයාම නොතකා) එහි විශ්මය ජනක වේගයයි. නූතන ඉතිහාසයේ වෙනත් ඕනෑම පරිහානියකට වඩා වේගයෙන් ට්‍රිලියන ගනනක කොටස් වටිනාකම් දින කිහිපයකින් අහෝසි විය. බිඳවැටීමේ වේගය තීරනය කරනු ලැබුවේ කොටස් වටිනාකම්වල පෙර ඉන්ද්‍රජාලික වර්ධනයේ අයථාර්තවත් ස්වභාවය අනුව ය. ඩොලර් ට්‍රිලියන ගනනක ඇපදීම සඳහා වූ උමතු ඉල්ලීම්වලට වහාම හේතු වූයේ මෙයයි. මාස කිහිපයක් සඳහා සමාජ පිපිරීමක් වලක්වා ගැනීම සඳහා බත්තුලක් විසිකරන අතරේ මහා ව්‍යාපාරිකයට ඇපදීම වූ කලී නව්‍ය හා වඩා දැවැන්ත පරිමානයකින් ව්‍යාජ ප්‍රාග්ධනය නිර්මානය කිරීම, අඛන්ඩව පෙරට යාමය. එනම්, නිෂ්පාදනයෙන් ස්වාධීනව වටිනාකම් ඉපැද්දීමයි. මෙම දැවැන්ත ව්‍යාජ ආර්ථික යෝජනා ක්‍රමය දිගටම පැවතිය නොහැකි බව ධනේශ්වරය හොඳින් දනී. මෙම හේතුව නිසා වසංගතය සැබෑ ගැටලුවක් බවට පත්විය. නිෂ්පාදනය සිදුවද්දී නය මට්ටම් පුලුල් කිරීම එක් දෙයකි. ලොව පුරා නිෂ්පාදනය අඩපනවෙද්දී එසේ කිරීම තවත් දෙයකි. නය ව්‍යාප්තිය හා ශ්‍රම ක්‍රියාවලිය හරහා වටිනාකම් නිෂ්පාදනයෙහි දැවැන්ත පහත වැටීම අතර ඇති විෂමතාවය (එය ප්‍රකාශ වන සෑම ආකාරයකින්ම) සැඟවිය නොහැක.  ඉක්මනින්ම නැවත වැඩ ආරම්භ කිරීම සඳහා ට්‍රම්ප් සහ ධනේශ්වර කතිපයාධිකාරීන්ගේ ඉල්ලීම් දැඩි වීමට මෙය හේතුවිය. “වසංගතයට කරන ප්‍රතිකාරය රෝගයට වඩා දරුනු විය නොහැක.”

ධනේශ්වරයේ ඓතිහාසික අර්බුදයෙහි තීරනාත්මක අවධියකට අපි ලඟා වෙමින් සිටිමු. වසංගතයෙන් අවුලුවන ලද බිඳවැටීමේ ප්‍රතිපලයක් ලෙස බංකොලොත්භාවයට මුහුන දී සිටින පාලක පන්තිය ඉල්ලා සිටින්නේ, බංකොලොත් භාවය වලක්වා ගැනීම සඳහා ඩොලර් ට්‍රිලියන ගනනක් තම රාජ්‍යය විසින් තමන්ට ලබාගැනීමට ඉඩ සැලසිය යුතු බවයි. ඒ අතරම, එය අවශ්‍ය දේශපාලන හා සැපයුම් සූදානම් කිරීම අවසන් කල වහාම කම්කරු පන්තියට එරෙහි කුරිරු ප්‍රහාරයක් දියත් කිරීම සඳහා එම රාජ්‍යයම යෙදවීමට සූදානම් වෙමින් සිටී.

2020 මාර්තු 27 සිට මැයි 31 දක්වා: ආපසු වැඩට දැක්කීමේ ව්‍යාපාරය සහ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතා

27. මෙම විශ්ලේෂනය, සිදුවීම් මගින් වේගයෙන් සනාථ විය. ඇපදීම ක්‍රියාත්මක කිරීමෙන් පසු පාලක පන්තියේ අවධානය, ඇමරිකානු මහ බැංකුව විසින් ජනනය කරන ලද ව්‍යාජ ප්‍රාග්ධනයේ දැවැන්ත මට්ටමේ පිරිවැය දැරීම සඳහා ද ඇපදීම වෙනුවෙන් ගෙවීමට කම්කරු පන්තියට බල කිරීම සඳහා ද මුලු ආර්ථික නිෂ්පාදනයම නැවත ආරම්භ කිරීම සඳහා යොමු විය.

28. ඩිමොක්‍රටික් පක්ෂයට අනුබද්ධිත බලවත් ව්‍යාපාරික-මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන මාධ්‍ය හඬ වන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් අගුලු දැමීම අවසන් කිරීම සහ නැවත වැඩට දැක්කීම සඳහා වූ ව්‍යාපාරය ආරම්භ කරන ලද අතර ඊට දේශපාලන සුජාතභාවය ලබා දුන්නේ ය. මාර්තු 22 වන දින, කෙයාස් පනත කොන්ග්‍රසය විසින් සම්මත කර ගැනීමත් සමඟ, තෝමස් ෆ්‍රීඩ්මන්  “ඇමරිකාව නැවත වැඩට යෙදවීමේ සැලැස්මක්” යන මාතෘකාව යටතේ තීරුවක් ලිවීය. ෆ්‍රීඩ්මන් කියා සිටියේ, එක්සත් ජනපදය අගුලු දැමීමට “ඇද වැටුන” බවයි. දැවැන්ත අගුලු දැමීම් විරෝධී ප්‍රචාරක ව්‍යාපාරයක් සඳහා සංඥාව දෙමින් ෆ්‍රීඩ්මන් මෙසේ ලිවීය.

නමුත් අපගේ ව්‍යාපාර බොහොමයක් වසා දමා මිලියන ගනනක් සේවයෙන් ඉවත් කිරීමට පටන් ගන්නා විට, සමහර ප්‍රවීනයන් මෙසේ අසන්නට පටන් ගනු ඇත: “විනාඩියක් ඉන්න! මොන මගුලක්ද අපි අපිටම කරගන්නේ? අපේ ආර්ථිකයට? ඊලඟ පරම්පරාවට? මෙම ප්‍රතිකාරය ටික කලකට වුවද රෝගයට වඩා දරුනු නොවේද? ”

29.“බරපතල වසංගත රෝග විද්‍යායින්ගේ උපදෙස්” උපහාසාත්මක ලෙස “රැල්ලට යාමක්” ලෙස හඳුන්වමින්, ෆ්‍රීඩ්මන්, පොකුරු ප්‍රතිශක්තිය පිලිබඳ වැඩසටහනක් හුවා දැක්වීය. “කොරෝනා වෛරස් ආසාදනය වීමෙන් අප අතර සිටින අය බොහෝ විට මරනයට පත්වීමට හෝ දිගු කාලීනව දුක් විඳීමට ඉඩ ඇති අතර, … මූලික වශයෙන් උන රෝගය වැනි හුරුපුරුදු තර්ජන සමඟ අප සැමවිටම කටයුතු කල ආකාරයටම සමාජයේ සෙසු අයට සැලකිය යුතුය.” වගකීම් විරහිතව විද්‍යාත්මක විරෝධී විකාර කතා හුවා දක්වමින් ෆ්‍රීඩ්මන්, වසංගතයේ අන්තරාය අවතක්සේරු කරන අතර, “උන රෝගයේදී මෙන් බහුතරයක් දින කිහිපයකින් එය ජය ගනු ඇත, සුලු පිරිසක් රෝහල් ගත කිරීම අවශ්‍ය වන අතර, ඉතා අවදානමට ලක්විය හැකි අයගෙන් ඉතා සුලු ප්‍රතිශතයක් ඛේදජනක ලෙස  මරනයට පත්වනු ඇත.” කෙසේ නමුත් ෆ්‍රීඩ්මන් එම වචන ලියනු ලැබූ තැන් පටන් එක්සත් ජනපදය තුල මාරාන්තික ආසාදිතයන්ගේ “ඉතා සුලු ප්‍රතිශතය”, මරන 130,000 ඉක්මවා ඉහල නැග්ගේය.

30. “ලිබරල්” නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පිලිවෙත මාධ්‍ය පුරා දෝංකාර නැංවීය. වෝල් ස්ට්‍රීට් ජර්නලය මෙසේ ප්‍රකාශ කලේය: “එන්නතක්, ප්‍රාතිහාර්ය චිකිත්සාවක් හෝ රටේ සෑම කෙනෙකුම දිනපතා පරීක්‍ෂා කරන තෙක් ආර්ථිකය අගුලු දමන ලෙස ඉල්ලා සිටින පිරිසක් ඇත. ඔවුන් සිතන බව පෙනෙන්නේ, ආන්ඩුවට පෞද්ගලික ආර්ථිකයට ආදේශ විය  හැකි බවකි…එන්නතක් නොමැති නම් බොහෝ කාලයක් වෛරසය අප සමඟ සිටිනු ඇත. එබැවින් අප එය සමඟ ජීවත් වීමට ඉගෙන ගත යුතු අතර ක්‍රියාත්මක ආර්ථිකයක් තිබිය යුතුය. ” [11]

31. ලෝක සෞඛ්‍ය සංවිධානයට (ලෝසෞසං), රෝග පාලන මධ්‍යස්ථානයට (සීඩීසී), සහ වසංගතයේ විද්‍යාව කෙරෙහිම ට්‍රම්ප් පරිපාලනය විසින් එල්ල කරන ලද ප්‍රහාරය සමග බලහත්කාරයෙන් ආර්ථිකය නැවත විවෘත කිරීම, සමපාත වූ අතර, එය උක්ත ප්‍රහාර මගින් යුක්ති සහගත කෙරුනි. හයිඩ්‍රොක්සික්ලෝක්වින් සහ රෙම්ඩෙසිවිය’ වැනි පරීක්ෂාවට ලක් නොකල ඖෂධ පිලිබඳ ට්‍රම්ප්ගේ ගෝෂාබද්ධ සහ තකතීරු ප්‍රවර්ධනය කිරීම්, මිනිසුන් විරංජකාරක එන්නත් කර ඔවුන්ගේ ශරීරයට පාරජම්බුල කිරන ඇතුලු කරන ලෙස ඔහු විසින් අප්‍රේල් 24 වන දින යෝජනා කරද්දී, බිය උපදවන මට්ටමක් කරා ලඟාවිය. පරීක්‍ෂන සිදු නොකරන්නේ නම්, රෝගීන් සොයාගත නොහැකි වනු ඇතැයි යන ඔහුගේ ප්‍රකාශය, පොකුරු ප්‍රතිශක්තිය පිලිබඳ ප්‍රතිපත්තියේ කොටසක් වූ අතර “එයට ඔහේ පැතිරීමට ඉඩ හරින්න” යන යටි ආකල්පයේ ප්‍රකාශනයකි. අනිසි කාලයේ සීමාවන් ඉවත් කිරීමේ  දරුනු ප්‍රතිවිපාක පිලිබඳව වසංගත රෝග විද්‍යාඥයින්, වෛරස් විද්‍යාඥයින් සහ වෛද්‍ය කාර්ය මන්ඬල විසින් කරන ලද අනතුරු ඇඟවීම් ඉවත දමා සමච්චලයට ලක් කරන ලදී. කම්කරුවන් කර්මාන්තශාලා, පාසල් සහ සේවා ස්ථාන වෙත නැවත දැක්කීම වලක්වාලීමට කිසිවක් සමත් නොවේ.

32. ආර්ථිකය යලි විවෘත කිරීම සඳහා වූ නිර්දය පීඩනය, බරපතල ලෙස අත්‍යවශ්‍ය උපකරන හෝ ඵලදායී වෛද්‍ය මූලෝපායක් නොමැති වීම, ආන්ඩුවේ ක්‍රියාමාර්ගවල ඇති නොසෑහුම්කම සහ ප්‍රධාන සමාගම් ඔවුන්ගේ ශ්‍රම බලකායන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව පිලිබඳව දක්වන කුරිරු උදාසීනත්වය, ආසාදන හා මරන සංඛ්‍යාවේ වේගවත් පුපුරායමකට තුඩුදී ඇත. ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගත් කල, විරැකියාව 1930 ගනන්වල මහා අවපාතයෙන් පසුව දක්නට නොලැබුන මට්ටමකට ඉහල නැඟුනි. මිලියන ගනනක් කම්කරුවන් ආහාර සහන සැල් මත යැපෙන තත්වයකට ඇද වැටුනි. කුඩා ව්‍යාපාර ලක්ෂ ගනනකට පොරොන්දු වූ  මූල්‍ය ආධාර නොලැබී ගියේය.

33. නමුත් ධනවතුන්ට වසංගතය මූල්‍යමය ආශීර්වාදයක් වී තිබේ. කෙයාස් පනත සම්මත කිරීම, කොටස් වටිනාකම්වල ඉතිහාසයේ වඩාත්ම නාටකීය හා වේගවත් නැඟීමකට මුල පිරීය. මාර්තු සහ මැයි අතර ප්‍රධාන වෙලඳපොල දර්ශක සියයට 30 න් ඉහල ගියේය. වෝල් වීදිය සහ සුලු ව්‍යාපාරිකය අතර ඇති පරතරය ගැන සාකච්ඡා කරමින් ඉකොනොමිස්ට් සඟරාව පැහැදිලිවම හා කෙලින්ම සඳහන් කලේ :

වැඩිදියුනු මනෝභාවයට බොහෝ දුරට හේතු වුනේ, මහ බැංකුව, වෙනත් මහ බැංකුවලට වඩා නාටකාකාර ලෙස ක්‍රියා කරමින්, නොසිතූ පරිමානයකින් වත්කම් මිලට ගැනීමයි. ඉහල පොලියක් සහිත “අඩමාන” බැඳුම්කර ඇතුලු  වඩ වඩාත්, ව්‍යාපාරික නය බැඳුම්කර මිලදී ගැනීමට එය කැපවී සිටී. පෙබරවාරි මාසයේදී ගල්වූ, ව්‍යාපාරික බැඳුම්කරවල නව නිකුතුව සඳහා වෙලඳපොල දර්ශනීය ශෛලියකින් නැවත විවෘත වී තිබේ. සමාගම් පසුගිය සති හය තුල ඩොලර් බිලියන 560 ක බැඳුම්කර නිකුත් කර ඇති අතර එය සාමාන්‍ය මට්ටමට වඩා දෙගුනයකි. වරායවල හිරවී ඇති මගී නෞකා සමාගම්වලට පවා ඉහල මිලකට වුව ද මුදල් රැස් කර ගැනීමට හැකි වී තිබේ. විශාල සමාගම් බංකොලොත් වීමෙන් බේරාගෙන ඇත. මහ බැංකුව, ඇත්ත වශයෙන්ම, ඇමරිකා එක්සත් ජනපදයේ මුදල් ප්‍රවාහය බලගන්වා ඇත. කොටස් වෙලඳපොලේ නැඟීමට මෙම සංඥාව තේරුම්ගෙන ඉහල නැංගේය. [12]

34. මාර්තු සහ අප්‍රේල් මාසවලදී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය දුසිම් ගනනක් ලිපි හා ප්‍රකාශයන් මගින්, පාලක පන්තියේ ආපසු වැඩට දැක්කීමේ ව්‍යසනකාරී ප්‍රතිපල ගැන නැවත නැවතත් අනතුරු අඟවා තිබේ. මාර්තු 24 වන දින ෆ්‍රීඩ්මන්ගේ තීරුවට ප්‍රතිචාර දක්වමින්, පාලක ප්‍රභූවේ ප්‍රතිපත්තිය “සමාජීයව අනුමැතිය ලත් ආචාර ධර්මයක” ලෙස එවිසින් හඳුන්වනු ලැබීය. ඇමරිකානු ධනවාදය මුහුන දෙන විශාලතම අර්බුදය හමුවේ පාලක පන්තිය, තෙමේ පරපෝෂිත බව පමනක් නොව, මිනීමරු බව ද බව හෙලිදරව් කර ඇත” යැයි [13] අප්‍රේල් 11 වන දින සසප ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “ට්‍රම්ප් පරිපාලනයේ සහ සමස්තයක් වශයෙන් ඇමරිකානු පාලක පන්තියේ පරමාර්ථය, වසංගතය 'සාමාන්‍යකරනය කිරීම’, එනම් ජනතාවගෙන් විශාල සංඛ්‍යාවක් ඉදිරි කාලයේදී මිය යාමට නියමිතව ඇත යන කාරනය ජනගහනය තුල මුල්බැස්ස වීමය.කම්කරුවන්ගේ මරනය, ව්‍යාපාරයක් සඳහා වන පිරිවැයක් ලෙස සැලකිය යුතු අතර, රෝගයට ගොදුරු වන අය වෙනත් අය විසින් ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.” [14]

35. ලෝසවෙඅ අප්‍රේල් 18 වන දින නිව් යෝර්ක් ටයිම්ස්හි සහ ජාත්‍යන්තර පුවත්පත්වල පල වූ අදහස් කෙරෙහි අවධානය යොමු කල අතර, මිනිස් ජීවිත ආරක්ෂා කිරීම ගැන නොතැකීමට එරෙහිව තර්ක කලේය. ස්විට්සර්ලන්තයේ නියු සර්චර් සයිතුං හි පලවූ එක් ප්‍රකාශයක, වසංගතය නැවැත්වීමට පියවර ගැනීම යනු “වසර කිහිපයකට පෙර වැඩිහිටි පිරිස් මිය යාම වැලැක්වීම සඳහා ආර්ථික සියදිවි නසා ගැනීම” තෝරා ගැනීමක් බව සඳහන් කෙරෙද්දී ජර්මානු ඩර් ස්පීගල් හි තවත් අයෙක් තර්ක කලේ, “මරනයෙන් තොරව ජීවිතයක් සිතාගත නොහැකිය” යනුවෙනි. “මෙම තර්ක වූකලී, මීට වසර 75 කට පෙර මේ මාසයේදී සිය බර්ලින් බංකරයේ දී සියදිවි නසාගත් නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් නොවලහා එකඟ වනු ඇති ඒවාය" යනුවෙන් ලෝසවෙඅ සටහන් කලේය. [15]

36. වසංගතයට පාලක පන්තියේ ප්‍රතිචාරය, සමාජ ආතතීන් හා පන්ති අරගලයේ සැලකිය යුතු වර්ධනයකට හේතු විය. මහජන පෙලපාලි පුපුරා යාමේ ප්‍රේරකය, පොලිස් ප්‍රචන්ඬත්වයේ සිදුවීම් මාලාවකි. මාර්තු 13 වන දින කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල්හිදී බ්‍රෙඕනා ටේලර් නිදා සිටියදී ඇගේ නිවසට කඩා වැදුනු පොලිසිය ඇය ඝාතනය කලේය. හිටපු පොලිස් නිලධාරියෙකු සහ මහජන විමර්ශකයෙකු සහ ඔහුගේ පුත්‍රයා විසින් පෙබරවාරි 25 වන දින ජෝර්ජියාවේ බ්‍රන්ස්වික්හිදී අහමඩ් ආර්බරි ඝාතනය කිරීමේ සිද්ධිය පිලිබඳ දර්ශන, මැයි මස මුලදී ඩෑෂ්බෝඩ් කැමරා මගින් නිකුත් කරන ලදී. අනුස්මරන මැයි 25 වන දින මිනසෝටා හි මිනියාපොලිස් හි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් අමානුෂික ලෙස ඝාතනය කිරීමට පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සහභාගී වීමේ බිහිසුනු සිද්ධිය, ජංගම දුරකථන දර්ශන වලින් මිලියන සංඛ්‍යාත ජනතාවක් නරඹා තිබුනි.

37. ෆ්ලොයිඩ් ඝාතනය, සම්ප්‍රදායිකව ගතානුගතික ඈත දකුන ඇතුළු එක්සත් ජනපදයේ සෑම ප්‍රධාන නගරයකම ද සෑම මහාද්වීපයකටම අයත් රටවල ද බහුජාතික හා බහු වාර්ගික උද්ඝෝෂන අවුලුවාලූවේය. වෘත්තීය සමිතිවල ක්‍රියාකාරී අනුග්‍රහයත් ඇතිව සමාජ විරෝධතා සහ පන්ති අරගලය මර්දනය කිරීමේ දශක ගනනාවකට පසුව, කෝපය හා ප්‍රතිවිරෝධය විවෘතව පුපුරා ගියේය. පොලිස් ප්‍රචන්ඬත්වය හේතුවෙන් විරෝධතා ඇවිල ගිය ද ඊට මූලික හේතුව වුනේ, දිග්ගැස්සුනු හා දැඩි ලෙස පහත වැටුන ජීවන තත්වයන් , තරුනයින් මත පැටවූ නය මට්ටම් සහ අනාගතය සඳහා ඔවුන්ගේ අපේක්ෂාවන් අඳුරු වීම, පැතිරුනු සමාජ අසමානතාවය සහ එහි ප්‍රතිවිපාක, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කඩාකප්පල් කිරීම, ද්වි-පක්ෂ ක්‍රමයේ පවත්නා දේශපාලන ව්‍යුහයන්ගේ රාමුව තුල සමාජ තත්වයන් අර්ථවත් ලෙස වෙනස් කිරීමට හා වැඩිදියුනු කිරීමට ඇති නොහැකියාවයි.

38. සමාජවාදී සමානතා පක්ෂය මෙම විරෝධතා සාදරයෙන් පිලිගත් අතර ඒවාට සහයෝගය දැක්වීය. මැයි 30 වන දින සසප මෙසේ පැහැදිලි කලේය. “බරපතල අවදානම් මධ්‍යයේ වුවද වසංගතය මධ්‍යයේ සිදුවන මෙම උද්ඝෝෂන, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගැඹුරු මූලාරම්භක කැපවීමක ප්‍රබල හා ප්‍රබෝධමත් ප්‍රකාශනයකි. ෆැසිස්ට් පන්නයේ පොලීසිය සහ ට්‍රම්ප් පරිපාලනය කෙරෙහි වෛරය සහ කම්කරු පන්තියේ සියලු කොටස්වල එක්සත්කම උදෙසා ප්‍රගාඪ කැපවීමක්” ඉන් ප්‍රකාශ විය. [16] ට්‍රම්ප් පරිපාලනයට අව්‍යාජ ප්‍රගතිශීලී විකල්පයක් මතුවිය හැක්කේ, පහලින් පැනනැඟෙන මහජන ව්‍යාපාරයක පදනම මත මිස, රුසියාව සහ චීනය සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් කෙරෙහි අප්‍රසාදය පල කරන මිලිටරි හා බුද්ධි අංශවල සමහර කොටස්වල සන්ධානයකින්, ඩිමොක්‍රටික් පක්ෂය විසින් උසිගන්වනු ලබන මාලිගා කුමන්ත්‍රනයකින් නොවේ යන සසප විශ්ලේෂනය මෙම පෙලපාලි මගින් සනාථ කෙරුනි. 2017 දී ප්රකාශයට පත් කරන ලද ලියවිල්ලක ලෝසවෙඅ පුරෝකථනය කලේ:

මහජන අරගල එක්සත් ජනපද න්‍යාය පත්‍රයට ඇතුලත් ය. විරෝධතා පෙලපාලි, පෙලපාලි සහ වැඩ වර්ජන පොදු ජාතික පරිමාවක් ගනු ඇත. මෙම විශ්ලේෂනයෙන් ගලා එන දේශපාලන නිගමනය නම්, ට්‍රම්ප්ට හා ඔහු නියෝජනය කරන සියල්ලට එරෙහි කම්කරු පන්ති අරගලය, රිපබ්ලිකානුවන්ට හා ඩිමොක්‍රටිකයින්ට, ධනේශ්වර ක්‍රමයට සහ එහි රාජ්‍යයට එරෙහිව ස්වාධීන මහජන ව්‍යාපාරයක අවශ්‍යතාවය වඩ වඩාත් හදිසි ලෙස ඉස්මතු කරනු ඇති බවයි. [17]

39. ෆ්ලොයිඩ් ඝාතනය සහ පෙලපාලිකරුවන්ට එරෙහි පොලිස් මර්දනය යන දෙකටම ට්‍රම්ප් පරිපාලනය සෘජුවම වගකිව යුතුය. පසුගිය ඔක්තෝම්බරයේදී ට්‍රම්ප්, සමාජවාදීන්ට සහ මිනියාපොලිස්හි “රැඩිකල් වමට” එරෙහිව හඬ නැඟීය. “නීතිය හා සාමය, ඡන්දය දෙන්නේ ට්‍රම්ප්ට” යන බැනර් ලෙලවමින් කෑගැසූ පොලිස් නිලධාරීන්ගේ සහාය ඊට ලැබුනි. මූල්‍ය කතිපයාධිකාරයේ ප්‍රතිපත්ති සඳහා දක්ෂිනාංශික, ෆැසිස්ට් පදනමක සහයෝගය වර්ධනය කිරීමට ගත් උත්සාහයේ කොටසක් ලෙස ට්‍රම්ප්, නැවත නැවතත් පොලිස් ප්‍රචන්ඬත්වය දිරිමත් කර තිබේ. ෆ්ලොයිඩ් ඝාතනයට පෙර සතිවලදී, මිනසෝටා, මිචිගන්, වර්ජිනියා සහ අනෙකුත් ප්‍රාන්තයන්, කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා වූ ඕනෑම තහංචියකින් “නිදහස්” කිරීම සඳහා පැනනැඟි අන්ත දක්ෂිනාංශිකයන්ගේ උද්ඝෝෂනයන්ට ට්‍රම්ප් උඩගෙඩි දුන්නේය.

40. කෙසේවෙතත්, සෑම වසරකම කම්කරුවන් හා තරුනයින් දහසකට වැඩි පිරිසකගේ ජීවිත බිලිගත් පොලිස් ප්‍රචණ්ඩත්වය එහි මූලයෙන්ම, පන්ති පාලනයේ ප්‍රතිලයකි. පොලිස් ඝාතනයන්හි වසංගතය ඔබාමා යටතේ ද පැවතුන අතර, රට පුරා ප්‍රාන්තවල සහ නගරවල ද අඛන්ඬව සිදුවෙමින් පැවතුනි. ඒවායේ පාලනය රිපබ්ලිකානුවන් යටතේ  පැවතිය ද, මිනියාපොලිස් සිද්ධය ඇතිවූ  ඩිමොක්‍රටික් පාලනය යටතේ පැවති ප්‍රාන්ත වල වුවද තත්වය නො වෙනස් විය. වර්ධනය වන සමාජ නොසන්සුන්තාවයේ කොන්දේසි යටතේ, වැඩි වැඩියෙන් හමුදාව සමඟ ඒකාබද්ධ කරමින් පොලීසිය, ප්‍රචන්ඬ මර්දන බලයක් ලෙස යොදා ගනු ඇත.

41. එබැවින් සසප නිගමනය කලේ, පොලිස් ප්‍රචන්ඬත්වයට විරුද්ධ විය හැක්කේ පාලක පන්තියට සහ එහි රාජ්‍යයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙන් පමනක් බවයි. “පොලිස් ම්ලේච්ඡත්වයට එරෙහි අරගලය, අනාරක්ෂිත සේවා කොන්දේසි, මහජන විරැකියාව, සමාජ අසමානතාවය සහ මහජන දරිද්‍රතාවයට එරෙහිව සටන් වදින කම්කරු පන්තිය සමඟ ඒකාබද්ධ කල යුතුය. එය ධනේශ්වර ක්‍රමයට එරෙහි හා සමාජවාදය සඳහා වන  සටනකි. [18]

42. පොලිස් ප්‍රචන්ඬත්වයට එරෙහි විරෝධතාවල ඓතිහාසික වැදගත්කම පැහැදිලි කිරීමේදී සසප, ජාත්‍යන්තර කමිටුව 1988 තරම් ඈත කාලයකදීම පෙන්වා දුන්, ආර්ථික ගෝලීයකරනයේ බලපෑම සහ සන්නිවේදන තාක්ෂනයේ විප්ලවීය පරිවර්තනයන්, පිලිබිඹු කිරීමක් ලෙස පෙලපාලිවල ජාත්‍යන්තර ස්වභාවය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කලේය. සසප මෙසේ ලිවීය.

මෙම අන්තර් සම්බන්ධිත ක්‍රියාදාමයන්, ජාතික රාජ්‍යයන්ගේ අස්ථිර පද්ධතිය සහ ගෝලීය ආර්ථිකයක යථාර්ථය අතර අතිමූලික ප්‍රතිවිරෝධතා තීව්‍ර කර තිබේ. එපමනක් නොව, ගෝලීයකරන ක්‍රියාවලිය, ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ එක්සත් ජාත්‍යන්තර ව්‍යාපාරයක් සඳහා පදනම නිර්මානය කර තිබේ. කම්කරු පන්තියේ ගෝලීය එක්සත්කමට ඇති හැකියාව මනෝරාජික දැක්මක් නොවේ. එහි දෘඩතර සාක්ෂාත්කරනය පැන නගින්නේ, ගෝලීය ධනේශ්වර නිෂ්පාදනයේ පවත්නා කොන්දේසි මගිනි… [19]

2020 ජුනි 1 සිට ජූලි දක්වා: ට්‍රම්ප්ගේ කුමන්ත්‍රණය සහ ඩිමොක්‍රටික් පක්ෂයේ වාර්ගික දේශපාලනය

43. ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිචාරය වූයේ ව්‍යවස්ථාව පෙරලා දමමින් සහ රට පුරා හමුදාව යොදවමින් ජනාධිපති කුමන්ත්‍රනයක් දියත් කිරීමට උත්සාහ කිරීමයි. ට්‍රම්ප් ජුනි 1 වන දින ධවල මන්දිරයේ රෝස උද්‍යානයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී පොලිස් ප්‍රචන්ඬත්වයට එරෙහි විරෝධය, “ගෘහස්ථ ත්‍රස්තවාදය” ලෙස හංවඩු ගැසීම සඳහා 1807 කැරැලි මර්දන පනත ක්‍රියාත්මක කිරීමේ තම අභිප්‍රාය ප්‍රකාශ කලේය. ෆෙඩරල් පොලිසිය ධවල මන්දිරයෙන් පිටත සාමකාමී විරෝධතාවල නිරත වූ පුරවැසියන්ට දරුනු ප්‍රහාරයක් දියත් කල අතර, ට්‍රම්ප් ප්‍රකාශ කලේ තමා “නීතියේ හා සාමයේ” ජනාධිපති බවයි. නගර හෝ ප්‍රාන්ත ගන්නා පියවර ප්‍රමානවත් තරම් ආක්‍රමනශීලී යයි ධවල මන්දිරය නොහඟියි නම්, “මම එක්සත් ජනපද හමුදාව යොදවා ඔවුන්ගේ ගැටලුව ඉක්මනින් විසඳා දෙන්නෙමි” යනුවෙන් ට්‍රම්ප් පැවසුවේය.

44. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අවලංගු කිරීමට ට්‍රම්ප් ගත් පියවර ක්‍රියාත්මක වූයේ, ධවල මන්දිරය විසින් ආක්‍රමනකාරී ලෙස ආපසු වැඩට දැක්කීමේ පියවර පෙරට ගනිමින් සිටියදීය. ආර්ථිකය නැවත විවෘත කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරුනු අනුස්මරන දිනයේදී ෆ්ලොයිඩ් ඝාතනය කෙරුනි. ට්‍රම්ප් රෝස උද්‍යානයේ කල කතාවට පෙර ආන්ඩුකාරවරුන්ගෙන් කල ඉල්ලීමකදී මෙසේ ප්‍රකාශ කලේය: “එය[මහජන]ව්‍යාපාරයකි. ඔබ එය යටපත් නොකලහොත්, එය වඩාත් නරක අතට හැරෙනු ඇත” එනම්, පොලිස් ප්‍රචන්ඬත්වයට එරෙහි විරෝධතා ලෙස ආරම්භ වූ දේ ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ පුළුල් ව්‍යාපාරයක් දක්වා වේගයෙන් වර්ධනය විය හැකිය.

45. එවන් පියවරක් රට ඉතා වේගයෙන් සිවිල් යුද්ධයේ දිශාවට යොමු කරනු ඇතැයි යන බියෙන් සිටි ඉහල පෙලේ හමුදා නායකයින්ට සහ විශ්‍රාමික ජෙනරාල්වරුන්ට එරෙහි ට්‍රම්ප්ගේ කුමන්තත්‍රනය කෙරෙහි සියලු විරුද්ධත්වයන් ඩිමොක්‍රටිකයෝ, අතහැර දැමූ හ. කිසිදු මුල් පෙල ඩිමොක්‍රටිකයෙකු, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා එවැන්නක දුරදිග යන ප්‍රතිවිපාක හෙලි කරමින්, ප්‍රධාන ප්‍රකාශයක් නිකුත් කලේ නැත.

46. ඩිමොක්‍රටික ජනාධිපති අපේක්ෂක ලෙස සැලකෙන ජෝ බිඩෙන් ප්‍රතිචාර දැක්වූයේ, “මාන්ඬලික ප්‍රධානීන් සිව්දෙනා එලියට පැමින ට්‍රම්ප් හමගැසීම ගැන” ප්‍රශංසා කරමිනි. 2020 මැතිවරනයෙන් පරාජයට පත්ව, ට්‍රම්ප් ධුරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කලහොත්, “මම ඔබට පොරොන්දු වෙනවා, ඔවුන් [හමුදාව] ධවල මන්දිරයෙන් ඔහුව රැගෙන යන බව මට විශ්වාස බවට" බිඩෙන් පැවසීය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලියා ඇති පරිදි:

බිඩෙන්ගේ අදහස් වලින් පැහැදිලි වන්නේ, ඩිමොක්‍රටිකයින්  එක්සත් ජනපද දේශපාලනයේ අවසාන බේරුම්කරුවා ලෙස මිලිටරිය සලකන බවයි. ජනාධිපතිගේ මෙම  ඒකාධිපති පාලනය පිලිබඳ ප්‍රකාශයට එරෙහිව කොන්ග්‍රසය හෝ ඩිමොක්‍රටික් පක්ෂය ඇඟිල්ලක්වත් එසවූයේ නැත. ට්‍රම්ප් ආපසු හැරුනේ, එවන් මිලිටරි ක්‍රියාමාර්ගයක සූදානම දුර්වල මට්ට්මක ඇතැයිද, එවැන්නක් තවමත් අවශ්‍ය නැතැයිද සලකන, පෙන්ටගනයේ ඉහල නායකයින්ගේ විරෝධය නිසා පමනි. [20]

47. ට්‍රම්ප්ගේ ක්‍රියාවන්හි අන්තරායන් පිලිබඳව කම්කරු පන්තිය දැනුවත් කිරීමට ඉදිපත් වුනේ සමාජවාදී සමානතා පක්ෂය පමනකි. “කම්කරු පන්තියට ඇමතුමක් ට්ම්ප්‍ර ගේ  කුමන්ත්‍රනය පරාජය කරනු!, " ජුනි 4 දා ප්‍රකාශයෙහි සසප මෙසේ ලිවීය:

ධවල මන්දිර කුමන්ත්‍රනයේ ඉලක්කය කම්කරු පන්තිය යි. පොලිස්   ප්‍රචන්ඩත්වයට එරෙහි මහජන විරෝධතාවන් පුපුරා යාමත්, කොරෝනා වෛරස් වසංගතයට පාලක පන්තිය දක්වා ඇති ප්‍රතිචාරය සහ මිනීමරු යලි වැඩට දැක්කීමේ උද්ඝෝෂනය හේතුවෙන් ඉමහත් ලෙස තීව්‍ර කෙරී ඇති සමාජ අසමානතාව සම්බන්ධයෙන් කම්කරුවන් අතර පවත්නා යෝධ සමාජ කෝපයත්, අන්තර්-ඡේදනය වනු ඇතැයි සංගත-මූල්‍ය කතිපයාධිකාරය තැතිගැනී සිටී.

අර්බුදය පහව ගොස් ඇතැයි සිතීමට වඩා භයානක කිසිවක් නැත. එය දැන් යන්තම් ආරම්භ වූවා පමනි. ස්වාධීන සමාජ හා දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තිය මෙම පෙර නොවූ විරූ අර්බුදයට මැදිහත් විය යුතුය. එය පන්ති අරගලයේ හා සමාජවාදී විප්ලවයේ ක්‍රමවේදයන් හරහා ධවල මන්දිරයේ කුමන්ත්‍රනයට විරුද්ධ විය යුතුය. [21]

48. ව්‍යවස්ථාව හා අයිතිවාසිකම් පනත අමු අමුවේ උල්ලංඝනය කරමින් ට්රම්ප් පරිපාලනය ජූලි මාසයේ දී මෙම අනතුරු ඇඟවීම් තහවුරු කලේ, ෆෙඩරල් පැරා-මිලිටරි භටයන් පෝට්ලන්ඩ් වෙත පිටත්කර හැරුනේ, තවදුරටත් අනෙකුත් නගර වලට ද මිලිටරි භටයන් යොදවන බවට තර්ජන සමගිනි. ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන, හමුදා ඇඳුමින් සැරසුන නාඳුනන ඒජන්තයෝ, නිරායුධ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන නොදන්නා ස්ථානවලට ගෙනයාම සඳහා සිවිල් වෙස්ගත් මෝටර් රථවලට පැටවූහ.

49. පෙර නොවූ විරූ මෙම පහර දීමට ප්‍රතිචාර වශයෙන්, පෝට්ලන්ඩ් නඟරාධිපති විසින් කෙටුම්පත් කරන ලද ලිපියකට, චිකාගෝ, වොෂිංටන්, ඇට්ලන්ටා සහ කැන්සාස් සිටි නඟරාධිපතිවරු අත්සන් තැබූහ. එහි මෙසේ සඳහන් විය:  "ඒක පාර්ශවිකව මෙම පැරාමිලිටරි වර්ගයේ භටයන් අපේ නගරවල යෙදවීම, අපගේ පවතින ප්‍රජාතන්ත්‍ර පර්යායට හා අපගේ මූලික වටිනාකම් වලට මුලුමනින්ම පටහැනිය." ජූලි 23 වන දින ෆැසිස්ට් පන්නයේ ෆොක්ස් නිව්ස් විචාරක ෂෝන් හැනිටි සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ට්රම්ප් අනතුරු අඟවූයේ, " අපි ඕනෑම නගරයකට, [මෙන්ම] සියලු නඟර වලට යන්නෙමු. අපි ලෑස්තියි. තමන් කරන දේ හරියටම දන්නා 50,000, 60,000 මිනිසුන් අපි සූදානමේ තබා ඇත්තෙමු. ඔවුන් ශක්තිමත්‍, ඔවුන් සැර පරුෂයි. අපට මෙම ගැටළු ඉතා ඉක්මනින් විසඳා ගත හැකිය”

50. දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව හමුදා බලය යෙදවීම පිලිබඳ ට්රම්ප්ගේ මෙම ඒකාධිපති ප්‍රකාශයන්හි ඇඟවුම්, එලඹෙන මැතිවරනයේ ප්රතිපල කුමක් වුවත් තමන් ධුරයේ රැඳී සිටින බවට ප්‍රසිද්ධියේ කරන ප්‍රකාශ තුලින් සුපැහැදිලිව විද්‍යමාන වෙයි.  

51. මහජන විරෝධතා හමුවේ නොසංසුන්ව සිටින්නේ ට්‍රම්ප් පමනක් නොවේ. කම්කරු පන්තියේ සටන්කාමීත්වයේ හා සමාජවාදී බලපෑමේ ඕනෑම සලකුනක් ගැන සෑම විටම අතිශයින් සංවේදී ධනේශ්වර පංතියේ සහ ධනවත් මධ්‍යම පංතියේ කොටස්, මෙම උද්ඝෝෂන පිට පන්නාගෙන වාර්ගික රේඛා ඔස්සේ වැරදි පාරවල් වලට යැවීමට පැහැදිලිවම මැදිහත් වූහ. මෙම ප්‍රතිගාමී ප්‍රවනතාවයට එරෙහිව සසප අනතුරු ඇඟවීය:

වාර්ගික නිකායවාදීන්ගේ පරමාර්ථය වන්නේ, ධනේශ්වර රාජ්‍යයේ සහ පන්ති පාලනයේ පෙරමුනු ආරක්ෂකයින්ගේ මෙවලමක් ලෙස පොලීසිය වෙතට අවධානය යොමුවීම වැලැක්වීමයි. එපමනක් නොව, උද්ඝෝෂන මතට වාර්ගික ආඛ්‍යානයක් පැටවීමට දරන උත්සාහය, ඒවායේ බහු ජාතික, බහු වාර්ගික ස්වභාවයට මුලුමනින්ම පටහැනි ය. ” [22]

52. විරෝධතා ව්‍යාපාරය අවමන්ගත කිරීමට සහ පන්ති අරගලයේ වර්ධනය මැඩපැවැත්වීමට අධිෂ්ඨාන කරගෙන සිටින නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඇමරිකානු විප්ලවය, සිවිල් යුද්ධය හා එහි නායකයින් අපකීර්තියට පත් කිරීම සඳහා, 1619 ව්‍යාපෘතිය දියත් කරමින් 2019 අගෝස්තු මාසයේදී ආරම්භ කල සිය ව්‍යාපාරය තීව්‍ර කර ඇත. ඇමරිකානු දකුනු ප්‍රාන්ත සමූහ සන්ධානයේ (වහල් ක්‍රමයට පක්ෂ) ප්‍රතිමා ඉවත් කිරීම සඳහා වූ යුක්තියුක්ත ඉල්ලීමක් ලෙස මතුවූ ප්‍රපංචය, වොෂිංටන්, ජෙෆර්සන්, ලින්කන්, ග්‍රාන්ට් පමනක් නොව, ප්‍රකට අහෝසිකිරීම්වාදියෙකුගේ පවා මතක සටහන් ලෙස පැවති පිලිරූ විනාශ කිරීම හා ඉවත් කිරීම සඳහා යොදාගැනීමේ අවස්ථාවක් බවට පත්විය. 

53. ඇමරිකානු විප්ලවයේ සහ සිවිල් යුද්ධයේ නායකයින්ගේ ප්‍රතිමා ඉවත් කිරීමේ ව්‍යාපාරයට විරුද්ධ වෙමින්, ලෝසවෙඅ පැහැදිලි කලේ, ඇමරිකානු සමාජයේ දේශපාලනික වශයෙන් වඩාත්ම නොමඟ ගිය කොටස් වෙත ට්‍රම්ප් ආයාචනා කරන අතරම, ඩිමොක්‍රටික් පක්ෂය තුල වාර්ගික සතුරුකම් අවුලුවාලීමට ද අදහස් කරන බවයි. 

සියලුම සමාජ ගැටලි සහ ගැටුම් වර්ගවාදී වශයෙන් තක්සේරු කර පැහැදිලි කරමින් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රජාගනවාදී දේශපාලනයේ තවත් ප්‍රභේදයක් භාවිතා කරයි. දුප්පත්කම, පොලිස් කෘරත්වය, විරැකියාව, අඩු වැටුප්, වසංගතය නිසා සිදුවන මරන වැනි විශේෂිත කාරනය කුමක් වුවත්, එය තනිකරම පාහේ වාර්ගික වචනවලින් අර්ථ දක්වා ඇත. මෙම වාර්ගිකරනය කල මනහ්කල්පිත ලෝකය තුල, “සුදු ජාතිකයින්ට” සියලු දුෂ්කරතාවලින් නිදහස් සහජ “වරප්‍රසාද” ඇතැයි කියනු ලැබේ. 

වර්තමාන යතාර්තයේ මෙම විකාර විකෘතිය සඳහා, අතීතය පිලිබඳ ඊට නොඅඩු විකාර විකෘතියක් අවශ්‍ය වේ. සමකාලීන ඇමරිකාව නිර්දය වාර්ගික යුද්ධයේ රටක් ලෙස නිරූපනය කිරීමට නම්, ඒ පදවලින් ඓතිහාසික ආඛ්‍යානයක් නිර්මානය කිරීම අවශ්‍ය වේ. පන්ති අරගලය වෙනුවට එක්සත් ජනපදයේ සමස්ත ඉතිහාසයම සදාකාලික වාර්ගික ගැටුමේ කතාවක් ලෙස ඉදිරිපත් කෙරේ. [23]

54. ජාතිවාදය පවතින අතර එය විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තු වෙත ඇද ගන්නා ප්‍රතිගාමී ස්ථර අතර ප්‍රවර්ධනය කෙරේ. සියලු ආකාරයේ ආගම්වාදය සහ වෙනස් කොට සැලකීම මත පදනම්ව ඇති එය, පාලක පන්තියේ මෙවලමක් ලෙස ද ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, එක්සත් ජනපදය “සුදු ඇමරිකාව” සහ “කළු ඇමරිකාව” ලෙස බෙදී නැත. විශේෂ අවශ්‍යතා ඇති අය හැරෙන්නට, වාර්ගික දේශපාලනයේ ප්‍රවර්ධකයන් විසින් ප්‍රකාශ කරන ආකාරයට, සියලු “සුදු ජාතිකයින්ට” පොලිස් ප්‍රචන්ඬත්වයෙන් හා පීඩනයෙන් පල ප්‍රයෝජන නොලැබේ. 

55. “වන්දි ගෙවීම” පිලිබඳ අප්‍රිකානු ඇමරිකානු ධනේශ්වරයේ සහ ඉහල මධ්‍යම පංතියේ කොටස්වල ප්‍රතිගාමී ඉල්ලීම සමඟ සමීපව බැඳී ඇති, ඇමරිකානු දේශපාලනයේ කේන්ද්‍රීය අක්ෂය බවට ජාතිය පත්කිරීමේ උත්සාහයන් නොතකා, එක්සත් ජනපදයේ අතිමහත් බහුතර සමාජ යථාර්ථය වූ කලී, ආර්ථික අසමානතාවය වන අතර, එය පන්තිය මත පදනම්ව සමාජය බෙදීම තුල මුල් බැස ඇත. සුප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයින් වන තෝමස් පිකෙටි, එමානුවෙල් සාස් සහ ගේබ්‍රියෙල් සුක්මන් විසින් ධනය හා ආදායම බෙදා හැරීම පිලිබඳව කල මෑත පරීක්ෂනයකින් සොයා ගන්නා ලද පරිදි:

ආර්ථිකයේ අවශේෂ කොටස් වලට සාපේක්ෂව, ජනගහනයේ පහල 50%  වර්ධනයේ තියුනු වෙනසක් අත්විඳීය. වැඩිහිටියන්ගෙන් පහල 50% ගේ බදු ගෙවීමට පෙර සාමාන්‍ය ආදායම 1980 පටන් ඩොලර් 16,000 ක මට්ටමේ එකතැන පල් වෙමින් ඇත.  ( ජාතික ආදායම් පරාවර්තක භාවිතා කරමින්, 2014 ඩොලරයේ අගය ස්ථාවර යයි සිතාගැනීම මත) ඒ අතර වැඩිහිටියෙකුගේ සාමාන්‍ය ආදායම 2014 දී 60% කින් ඩොලර් 64,500 ක් දක්වා වර්ධනය වී තිබේ. එහි ප්‍රතිපලයක් වශයෙන්, පහල 50% ආදායම් කොටස 1980 දී 20% සිට 2014 දී 12% දක්වා පහත වැටී ඇත. මේ අතර, ඉහලම 1% වැඩිහිටියන්ගේ බදු ගෙවීමට පෙර සාමාන්‍ය ආදායම ඩොලර් 420,000 සිට ඩොලර් මිලියන 1.3 ක් දක්වා ඉහල ගොස් ඇති අතර, ඔවුන්ගේ ආදායම් කොටස ආසන්න වශයෙන්  1980 දශකයේ මුල් භාගයේ 12% සිට 2014 දී 20% දක්වා වර්ධනය විය. කන්ඬායම් දෙක අතර අතිමූලික ලෙස  ආදායම මාරුවී ඇති අතර, ජාතික ආදායමේ ඒකක අටක් පහල 50% සිට ඉහලම 1% දක්වා මාරු වී ඇත. ඉහලම 1% ආදායම් කොටස දැන් පහල සියයට 50 මෙන් දෙගුනයක් තරම් විශාලය. එම කොටසේ පුද්ගල විවිධත්වය අනුව එය 50 ගුනයක් දක්වා වැඩිවෙයි. 1980 දී, ඉහලම 1% වැඩිහිටියන් බදු ගෙවීමට පෙර පහලම 50% ට වඩා සාමාන්‍යයෙන් 27 ගුනයක් උපයා ගත් අතර අද ඔවුන්ගේ ආදායම 81 ගුනයකින් වැඩිය.

වසංගතයේ මාස හයක්: ප්‍රතිපල සහ පෙරදැක්ම

56. කොවිඩ්-19 වෛරසය ප්‍රථම වරට අනාවරනය වී මාස හයකට පසු එය එක්සත් ජනපදය පුරා   පැතිරී ඇත. එලඹෙන සෘතුවේ වසංගතයේ දෙවන රැල්ලකින් ඇති විය හැකි අන්තරායන් පිලිබඳව මීට පෙර කල කතාබහ, පලමු රැල්ල තවමත් පාලනය කර නොමැති බවත්, තවමත් රට පුරා විනාශයක් ඇති කරමින් තිබෙන බවත් වටහා ගැනීමට උදව් වෙයි. විකාශන මාධ්‍ය පවා අප්රේල් සහ මැයි මාසවල, "බලාපොරොත්තුවේ ඡායා", "නරක කාලය අවසන්" සහ "අස්වැසිල්ලක අරුනලු" වැනි නිතර අසන්නට ලැබෙන  වාක්ය ඛන්ඪ භාවිතා කිරීමේදී වඩාත් ප්රවේශම් සහගත සහ මසුරු වී ඇත. මරන පිලිබඳ නවතම නිල තක්සේරුව නම්, නොවැම්බර් මාසය වන විට ඇමරිකානුවන් 225,000 ක් මෙම රෝගයෙන් මියයනු ඇති බවයි. මෙය සැබෑ සංඛ්‍යාවන්ට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින බව පැහැදිලිය.

57. පාලක කතිපයාධිකාරය වෝල් වීදියේ ආයෝජකයින් ආරක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍යය පිලිබඳ සියලු කරුනු යටගසා තිබියදීත්, ආර්ථික තත්වය වඩ වඩාත් මංමුලා සහගත වෙමින් තිබේ. මාර්තු මාසයේ කෙයාස් පනත සම්මත වීමෙන් පසු කොටස් වෙලඳපොලෙහි කැපී පෙනෙන නැගීම, සැබෑ ආර්ථිකයේ කිසිදු ප්‍රකෘතියකට සම්බන්ධ නොවන සමපේක්ෂන ප්‍රපංචයකි. එහෙත් ෆෙඩරල් මහ බැංකුවේ ඩිජිටල් මුදල් මුද්‍රනය සදහටම පැවතිය නොහැකි බවටත්, එහි කටයුතු වඩ වඩාත් අකාර්යක්ෂම බවටත් මූල්‍ය කවයන් තුල කනස්සල්ලක් පවතියි. ෆිනෑන්ෂල් ටයිම්ස් මෑතකදී “ඇමරිකානු මහ බැංකුව සතු බලයේ සීමාවන්” ගැන අනතුරු ඇඟවීය.

මෙම වසන්තයේ කැපී පෙනෙන ක්‍රියාවන් නිසැකවම ආර්ථිකය තුල ධනාත්මක ස්පන්දයක් ඇති කලේය. එහෙත් ඕනෑම මොහාතක යලිත් වරක් එම මනෝගතියට සමාන කම්පනයක් ලබා දීම මහ බැංකුවට අතිශයින්ම දුෂ්කර වනු ඇත; අපි දැන් වර්ධක ක්‍රියා කලාපයේ සිටිමු. අඩමාන සමාගම්වල ශේෂ පත්‍රයන්හි නිරන්තරයෙන් පුළුල් වන සිදුරු වැසීමට, නැතිවූ පාරිභෝගික ඉල්ලුම ප්‍රතිස්ථාපනය කිරීමට හෝ සියලු රැකියා කප්පාදු ආපසු හැරවීමට මහ බැංකුවට නොහැකිය. රාජ්‍ය මූල්‍ය ආධාරයෙන් වේදනාව පමාකල හැකිය, එහෙත් ඉවත් කල නොහැකිය.

මෙය තේරුම් ගැනීම සඳහා ගුවන් සමාගම් සලකා බලන්න. ඔක්තෝබර් 1 වන තෙක් කාර්ය මන්ඬලය කපා නොහරින බවට වන පොරොන්දුව මත, මෙම වසන්තයේ දී එක්සත් ජනපද ගුවන් සමාගම් සඳහා මූල්‍යමය සහයෝගය ලැබුනි. එහෙත් පසුගිය සති දෙක තුල ඩෙල්ටා ගුවන් සමාගම කලින් විශ්‍රාම ගැන්වීම් 17,000 ක් ප්‍රකාශයට පත් කර ඇති අතර යුනයිටඩ් එයා ලයින් සමාගම සිය එක්සත් ජනපද සේවකයින්ගෙන් සියයට 45 ක් රැකියා වලින් ඉවත් කරන බවට පනිවුඩ යවා තිබේ.

58. වසරේ මුල් භාගයේ ආධිපත්‍යය දැරුවේ, වසංගතයට පාලක පන්තියේ ප්‍රතිචාරය යි. කම්කරු පන්තියේ ප්‍රතිචාරය දෙවන භාගයේදී පෙරමුනට පැමිනෙනු ඇත. පාලක පන්තියේ ප්‍රතිපත්තිවල විනාශකාරී ප්‍රතිවිපාක ධනේශ්වර ක්‍රමයේ යුක්තියුක්ත භාවයට දැවැන්ත පහරක් එල්ල කර තිබේ. ආර්ථික කඩාවැටීම, වැටුප් කප්පාදුව, වෛද්‍ය ප්‍රතිකාර රක්ෂන, සමාජ ආරක්ෂන සහ අනෙකුත් අත්‍යවශ්‍ය හා දැනටමත් අරමුදල් හිගයට මුහුනපා ඇති සමාජ වැඩසටහන් සඳහා වන වියදම් තවදුරටත් කප්පාදු කිරීම සඳහා වන ව්‍යාපාරික ප්‍රතිචාරය, කම්කරු පන්තියේ වර්ධනය වන ප්‍රතිරෝධයට මුහුන දෙනු ඇත. අනාරක්ෂිත තත්වයන් යටතේ වැඩ කිරීමට සහ කොවිඩ්-19 වෛරසය පැතිරීමට මං පාදන, පාසල් නැවත විවෘත කිරීමට විරුද්ධත්වය ඉහල නඟිනු ඇත. රැකියා වලින් නෙරපීමට සහ ආයතන වසාදැමීම් වලට විරුද්ධත්වය වර්ධනය වනු ඇත. මේ ආකාරයට සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්ති අරගලයන්හි දැවැන්ත වර්ධනයක් පුරෝකථනය කරයි.  පක්ෂයේ මැදිහත්වීම තුලින් එය, දේශපාලන  පංති සවිඥානකත්වයේ හා ධනවාදී විරෝධයේ ස්වභාවයක් ගනු ඇත.

අධිරාජ්‍යවාදය සහ යුද්ධයේ අන්තරාය

59. කම්කරු පන්තිය තුල සමාජ සටන්කාමීත්වය සහ දේශපාලන විඥානය වර්ධනය වීම නිසා ඇති වන මාරාන්තික තර්ජනය ඇමරිකානු පාලක පන්තිය දැන සිටියි. අප දැනටමත් පැහැදිලි කර ඇති පරිදි, සිය පාලනයට එල්ලවී ඇති අන්තරායට හරස් කැපීම සඳහා අවශ්‍ය යැයි සිතන ඕනෑම මාධ්‍යයක් භාවිතා කිරීමට එය සූදානම් ය: එනම් කම්කරු පන්තිය බෙදීමට වාර්ගික දේශපාලනය භාවිතා කිරීම, ප්‍රගතිශීලී හා සිල්ලටත් වඩා සමාජවාදී විරුද්ධත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් රාජ්‍ය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීම සහ අවසාන වශයෙන් ව්‍යවස්ථාමය සම්මතයන් ප්‍රතික්ෂේප කිරීම සහ ආඥාදායකත්වයට දොර විවෘත කිරීම යනාදියයි.

60. එහෙත් මෙම දේශීය උපක්‍රම, අධිරාජ්‍යවාදී මිලිටරිවාදය දැවැන්ත ලෙස ඉහල නැංවීමට සමගාමීව ඉදිරියට යනු ඇත. ආර්ථික, සමාජීය හා දේශපාලන ප්‍රතිපත්තියේ අනෙකුත් සෑම අංශයකදී මෙන්ම, වසංගතයද ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද සූදානම වේගවත් කරයි.එක්සත් ජනපදයේ වසංගතය පැතිරීමට පෙර,  2020 ආරම්භ වනවාත් සමඟම, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට්‍රම්ප් පරිපාලනය විසින් 2020 ජනවාරි 2 වන දින ඉරාන මේජර් ජෙනරාල් කසෙම් සුලෙයිමානි ඝාතනය කිරීමේ ඇඟවුම් කෙරෙහි හදිසි අවධානය යොමු කලේය:

2020 ආරම්භ වන විටම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝග කරන ලද මේජර් ජෙනරාල් කාසිම් සුලෙයිමානි ඝාතනය, නොඟිනිය හැකි තරමේ ප්‍රතිවිපාක ගෙන එන, එක්සත් ජනපදය හා ඉරානය අතර පූර්න යුද්ධයකට තර්ජනය කරයි. ඇමරිකානු ජනාධිපතිවරයකු තවත් ඉලක්කගත ඝාතනයකට සම්බන්ධ වීමත්, පසුව ලේ පිපාසිත පුරසාරම් දෙඩීමත්, සමස්ත පාලක ප්‍රභූවේම දුරදිග යන පරිහානියට සාක්ෂි දරයි.

61. ඉරානයට එරෙහි තවත් මිලිටරි ප්‍රහාර ප්‍රමාද කිරීමේ උපායශීලී තීරනය තිබියදීත් ලෝසවෙඅ අනතුරු ඇඟවූයේ, “පසුගිය දින දෙක තුල සිදු වූ කිසිවක් එක්සත් ජනපදයේ මිලිටරි අරමුනු වෙනස් කරනු නැත. මේ සතියේ අර්බුදය නිර්මානය කල භූදේශපාලනික අවශ්‍යතාවන්, නව  අරමුනු පෙරදැරි කරගනු ඇත. ”

62. වසංගතය පුරාම එක්සත් ජනපද යුදවාදී ප්‍රතිපත්ති වල කිසිදු අඩුවක් සිදුවී නොමැත. මැයි මාසයේදී වෙනිසියුලාවේ එක්සත් ජනපද ප්‍රමුඛ කුලී භටයන් විසින් දියත් කරන ලද අසාර්ථක කුමන්ත්‍රන ප්‍රයත්නයකට ට්‍රම්ප් ආන්ඩුව සහාය දුන්නේය. රුසියාවට සහ ඇමරිකාවේ පලමු භූ-දේශපාලනික ප්‍රතිවාදියා වන චීනයට එරෙහි  තර්ජනයන්ට සහාය ගොනුකිරීම පිනිස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ දැඩි සංචාරක කාලසටහනක් පවත්වා ගෙන යයි. ට්‍රම්ප් පරිපාලනය “වුහාන් වෛරසය” ගැන නිතිපතා සඳහන් කරමින් සතුරුකම් දැඩි කිරීමට උත්සාහ කර ඇති අතර කිසිදු සාක්ෂියක් නොමැතිව චීනය ඇමරිකානු ජනතාව ආසාදනය කිරීමට පෙලඹී ඇති බව ප්‍රකාශ කරයි. මෙම වල් පල් වලට වොෂිංටන් පෝස්ට් සහ ෆරීඩ් සකාරියා වැනි ප්‍රමුඛ මාධ්‍ය විචාරකයින්ගේ සහාය ලැබී තිබේ. ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු සොල්දාදුවන් ඝාතනය කිරීමට රුසියාව තලේබාන් සටන්කරුවන්ට මුදල් ගෙවා ඇති බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තාවක් ගොතන ලදී.

63. අවසාන විග්‍රහයේ දී, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද සූදානම මෙහෙයවනු ලබන්නේ, චීනයෙන් වැඩෙන අභියෝගයකට මුහුන දී ඇති තත්වය තුල, සිය ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා දරන උත්සාහයන් මගිනි. එහි ආර්ථික ආධිපත්‍යයේ දිගුකාලීන ඛාදනය, එක්සත් ජනපදයට වැඩි වැඩියෙන් මිලිටරි බලය මත යැපීමට බල කරයි. කොවිඩ්-19 වසංගතයේ ආර්ථික හා දේශපාලන බලපෑම මගින් මෙම ප්‍රවනතාව උද්දීපනය වී තිබේ. ජුලි මස මුලදී ගුවන් යානා හාරක නෞකා දෙකක් හා ඒවායේ ප්‍රහාරක බලඇනි දකුනු චීන මුහුදට යැවීමට ගත් තීරනය එක්සත් ජනපද පාලනයේ  ඉහලම මට්ටම් තුල පවතින ඉවබව නැතිකමට සාක්ෂි දරයි.

64. යුද්ධයේ අන්තරාය අවතක්සේරු නොකල යුතුය. අර්බුද ග්‍රස්ත පාලන තන්ත්‍රයක් තම රටේ දේශසීමාවෙහි ගොඩඒමක් නැති අර්බුදයක් ලෙස සලකන දෙයට විසඳුමක් ලෙස යුද්ධයේ පිහිට පැතූ ආකාරය පිලිබඳ උදාහරන බොහෝමයක් විසිවන සියවස තුලින් සොයාගත හැකිය. වඩාත් කුප්‍රකට උදාහරනය හිට්ලර් ය. විශේෂයෙන්, ට්‍රම්ප් පාලනාධිකාරය චීනයට එරෙහි යුදවාදී ප්‍රහාර බොහෝ දුරට මෙහෙයවනු ලබන්නේ, එක්සත් ජනපදය තුල පැසවමින් ඇති දැවැන්ත සමාජ ආතතීන් බාහිර සතුරෙකුට එරෙහිව  යොමු කිරීමේ අවශ්‍යතාවෙනි.

65. ලෝක ධනවාදයේ වේගවත් අර්බුදය, චීනයට හා රුසියාවට එරෙහි එක්සත් ජනපද යුද ව්‍යායාමයට තෙල් වත්කරනවා පමනක් නොවේ. එය එක්සත් ජනපදය සහ යුරෝපයේ ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ, විශේෂයෙන් ජර්මනිය සමඟ ගැටුම් තීව්‍ර කරයි. ඒ අතරම, මැද පෙරදිග හා ලතින් ඇමරිකාවේ නොනවතින අධිරාජ්‍යවාදී යුද්ධ සහ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම් මගින්, පෙර නොවූ විරූ සරනාගත අර්බුදයක් නිර්මානය කර ඇති අතර, මානව වර්ගයාගෙන් සියයට එකකට වඩා එනම් මිලියන 80 කට ආසන්න ජනතාවක් බලහත්කාරයෙන් අවතැන් කර ඇත. වසංගතය මෙම සරනාගත ජනතාව මත විශේෂයෙන් විනාශකාරී බලපෑමක් ඇති කරයි.

66. ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රබල යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීම හැරෙන්නට මෙම අනතුරට මුහුන දීමේ වෙනත් ක්‍රමයක් නැත. 

සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ

67. පක්ෂයේ වැඩකටයුතු මෙහෙයවනු ලබන්නේ කම්කරු පන්තිය, සමාජයේ මූලික හා ප්‍රමුඛ විප්ලවවාදී බලවේගය බවත්, ඇමරිකානු කම්කරු පන්තිය, ලෝක අධිරාජ්‍යවාදයේ බලවත්ම බලකොටුව තුල එය මුහුන දෙන දැවැන්ත අභියෝග නොතකා, තම ඓතිහාසික කර්තව්‍යයේ මට්ටම දක්වා නැගගනු ඇතැයි යන නොසැලෙන ඒත්තු ගැනීමෙනි.   

68. 1995 ජුනි මාසයේදී සමාජවාදී සමානතා පක්ෂය ආරම්භ කර, සියවස් කාලක් ගත වී ඇත. මීට පෙර, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ඇමරිකානු සම චින්තකයන් 1966 දී ආරම්භ කරන ලද වර්කර්ස් ලීගය තුල කටයුතු කලේය. ලීගය පක්ෂයක් බවට හැරවීම, 1980 හා 1990 ගනන් මුල සියලු පැරනි ජාතිකවාදී සහ නිලධාරිවාදී ආධිපත්‍යය යටතේ පැවති මහජන පක්ෂ හා වෘත්තීය සමිති බිඳවැටීමට ප්‍රතිචාරයක් විය. මෙම සංවිධානවල රාමුව තුල ඒවා රැඩිකලීකරනයක ස්වරූපයක් ගනු ඇතැයි යන අපේක්ෂාවෙන් පැරනි සංවිධාන වලට ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ පෙර උපක්‍රමය වෛෂයික ක්‍රියාවලීන් හා සිදුවීම් මගින් අභිබවනු ලැබින.

69. වෙනස් වුන තත්වයෙන් අවශ්‍ය දේශපාලන නිගමන උකහා ගනිමින් ඩේවිඩ් නෝර්ත්, වර්කර්ස් ලීගයේ සිට සමාජවාදී සමානතා පක්ෂය බවට පරිවර්තනය වීමට දිරිගැන්වූයේය.

කම්කරු පන්තියට නායකත්වය ලබා දිය යුතු නම් එය අපේ පක්ෂය විසින් සැපයිය යුතුය. වැඩකරන ජනතාව සඳහා නව මාර්ගයක් විවෘත කල යුත්තේ නම් එය අපගේ සංවිධානය විසින් විවෘත කල යුතුය. නායකත්වයේ ගැටලුව දක්ෂ උපක්‍රමයක පදනම මත විසඳිය නොහැකිය. කම්කරු පන්තියේ නායකත්වයේ අර්බුදය විසඳීමට අපට නොහැකි වන්නේ අන් අය එම නායකත්වය ලබාදිය යුතු යයි ඉල්ලා සිටීම නිසාය. නව පක්ෂයක් තිබිය යුතු නම් අප එය ගොඩනැගිය යුතුය.

70. ජාත්‍යන්තර කමිටුවේ සියලුම ශාඛා විසින් ගන්නා ලද මෙම මූලාරම්භයේ ප්‍රතිපලයක් ලෙස කම්කරු පන්තිය තුල සිය දේශපාලන බලපෑම විශාල වශයෙන් පුළුල් කර ගැනීමට හතරවන ජාත්‍යන්තරයට හැකි වී තිබේ. 1998 පෙබරවාරි මාසයේදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කිරීම, ලීගයන් පක්ෂ බවට පරිවර්තනය කිරීමෙන් පැනනැඟුනු අතර, සමාජවාදයේ අධිකාරවත් නියෝජිතයා ලෙස ජාත්‍යන්තර කමිටුව තහවුරු කිරීම සඳහා එය තීරනාත්මක සාධකයක් විය. පසුගිය 25 වසර තුල, කිහිපයක් පමනක් නම් කලහොත්, ග්‍රීසියේ සිරිසා, ස්පාඤඤයේ පොදෙමෝස් සහ ජර්මනියේ වාම පක්ෂය වැනි අධිරාජ්‍යවාදයේ සුලු ධනේශ්වර ඒජන්සිවල ප්‍රතිගාමී භූමිකාව, තදබල ලෙස හෙලිදරව් වී තිබේ. ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය සහ වෙනත් නිමක් නැති මධ්‍යම පන්තික ප්‍රවනතාවන් තමා තුල දියකර ගත් සෑන්ඩර්ස්ගේ ගබ්සා වුන ජනාධිපතිවරන ව්‍යාපාරය  වෙනස් වන්නේ, එහි තත්කාර්යවාදී  තකතීරුකමේ හා ක්‍රියාමාර්ගික බංකොලොත්කමේ ඇමරිකානු පරිමානය නිසා පමනි. හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක වැඩ සටහනේ ට්‍රොට්ස්කි විසින් ලියන ලද වචන ජාත්‍යන්තර කමිටුවට නැවත තහවුරු කල හැකිය: “මෙම කේඩරයෙන් පිටත [හජාජාක] මෙම ග්‍රහලෝකය තුල එම නම දැරීමට සුදුසු එකදු විප්ලවීය ධාරාවක්වත් හෝ නොමැත.

71. සමාජවාදී සමානතා පක්ෂය වර්තමාන අර්බුදයේ විප්ලවීය ඇඟවුම් මත ක්‍රියා කල යුතුය. පාලක පන්තියේ ප්‍රතිපත්තිවලට විරුද්ධත්වය වර්ධනය වෙමින් පවතී. වසංගතය පාලනයකින් තොරව පැතිර යද්දී පවා, ඩිමොක්‍රටික් පක්ෂයේ පිටුබලය ඇතිව ට්‍රම්ප් පරිපාලනය, ලක්ෂ සංඛ්‍යාත ගුරුවරුන්ගේ හා සිසුන්ගේ ජීවිත අවදානමට ලක් කරමින් එලඹෙන සෘතුව තුල පාසල් නැවත විවෘත කරන ලෙස ඉල්ලා සිටියි. මූල්‍ය කතිපයාධිකාරීන් මිලියන සංඛ්‍යාත ජනතාවක් මුහුන දෙන සමාජ අර්බුදය, ආර්ථික බ්ලැක්මේල් ක්‍රමයක් ලෙස භාවිතා කිරීමට උත්සාහ කරන බැවින් ෆෙඩරල් විරැකියා සහන මෙම මාසය අවසන් වන විට ඉවත් කරනු හෝ කප්පාදු කරනු ඇත. 

72. වසංගතය පැතිරීමට ටික කලකට පෙර, 2019 නොවැම්බරයේදී, ඉහල මට්ටමේ චින්තන කේන්ද්‍රයක් වන මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රය, ලෝක තත්වය පිලිබඳ පහත තක්සේරුව ප්‍රසිද්ධ කලේය:

මහජන විරෝධතා ව්‍යාපාර ලොව පුරා දේශපාලනය  කලත්තමින් තිබේ… පැතිර පවතින දූෂනය හා ආර්ථික අසමානතාව නිසා විරෝධතාකරුවන් කලකිරීමට පත්ව සිටිති. බොහෝ විට තරුන, කෝපාවිෂ්ඨ, නාගරික, විරෝධතාකරුවන් යනු පවත්නා පක්ෂයක් හෝ දෘෂ්ටිවාදයක් සඳහා තමන්ගේ එක ආදේශ කිරීම යෝජනා කරන සංවිධානාත්මක විපක්ෂයක් නොව, නායකත්වයක් රහිත ව්‍යාපාරයකි. තම හඬ ඇසෙන්නට සැලැස්විය යුතු බව ඔවුහු පවසති. සමහර අවස්ථාවල විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් පැහැදිලිය. බොහෝ විට ඔවුන් ව්‍යාකූලය. යල් පැන ගිය, බිඳී ගිය හෝ ප්‍රතිචාර නොදක්වන පද්ධතිවල වෙනසක් කිරීමට අගතියට පත් අයට අවශ්‍යය. [28]

73. චීනයෙන් ඔබ්බට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පිලිබඳ ප්‍රවෘත්ති පලවීමට පෙර ජනවාරි 3 වන දින සමාජවාදී සමානතා පක්ෂය 2020 දශකය “සමාජවාදී විප්ලවයේ දශකය” ලෙස අර්ථ දක්වමින් ප්‍රකාශයක් පල කලේය. මෙක්සිකෝව, පුවර්ටෝ රිකෝ, ඉක්වදෝරය, කොලොම්බියාව, චිලී, ප්‍රංශය, ස්පාඤඤය, ඇල්ජීරියාව, බ්‍රිතාන්‍යය, ලෙබනනය, හොංකොං, ඉරාකය, ඉරානය, සුඩානය, කෙන්යාව, දකුනු අප්‍රිකාව, ඉන්දියාව සහ තවත් බොහෝ රටවල ඇති වූ මහජන පෙලපාලි හා වැඩ වර්ජන පෙන්වා දෙමින් “සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික කොන්දේසි මතු වන්නේ ගෝලීය අර්බුදයෙන්” යැයි සසප ලිවීය. [29]

74. ධනේශ්වර අර්බුදයේ සියලු අංශවලදී මෙන්ම, වසංගතය ද කම්කරු පන්තියේ සමාජ විරෝධයේ වර්ධනය වේගවත් කරයි. එහෙත් අර්බුදය කෙතරම් විශාල වුව ද එය ස්වයංක්‍රීයව සමාජවාදයට යොමු නොවේ. දෙවන ලෝක සංග්‍රාමය ආසන්නයේ 1935 දී, පුපුරන සුලු සමාජ ගැටුම්වල තවත් කාල පරිච්ඡේදයකදී, ට්‍රොට්ස්කි මෙසේ පැහැදිලි කලේ ය. “නිර්ධන පංති විප්ලවයේ එකම විද්‍යාත්මක න්‍යාය වන මාක්ස්වාදයට, ‘අවසාන’ අර්බුදයක් පිලිබඳ ඉරනම්වාදී බලාපොරොත්තුව සමඟ කිසිදු සමාන කමක් නැත. මාක්ස්වාදය සාරාර්තයෙන්ම  විප්ලවවාදී ක්‍රියාමාර්ග සඳහා මඟපෙන්වීම් මාලාවකි. මාක්ස්වාදය කැමැත්ත හා ධෛර්යයට උඩින් සිටින අතර ඒවාට නිවැරදි මාවත සොයා ගැනීමට උපකාර කරයි. ” ඔහු තවදුරටත් මෙසේ පැවසීය:

ධනවාදයට වඩා මාරාන්තික විය හැකි කිසිදු අර්බුදයක් නොමැත. ව්‍යාපාරික චක්‍රයේ දෝලනය, නිර්ධන පංතියට ධනවාදය පෙරලා දැමීමට පහසු හෝ වඩා දුෂ්කර තත්වයක් නිර්මානය කරනවා පමනි. ධනේශ්වර සමාජයක සිට සමාජවාදී සමාජයක් දක්වා වන පරිවර්තනය, තමන්ගේම ඉතිහාසයේ නිර්මාතෘවරුන් වන ජීවමාන මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පූර්වාපේක්ෂා කරයි. ඔවුන් ඉතිහාසය සාදන්නේ අහම්බෙන් හෝ ඔවුන්ගේ හිතුවක්කාරකම අනුව නොව වෛෂයිකව තීරනය කරන ලද හේතු මත ය. කෙසේ වෙතත්, ඔවුන්ගේ මුලපිරීම, ධෛර්යය, භක්තිය මෙන්ම ඔවුන්ගේ මෝඩකම සහ බියගුලුකම ආදී ඔවුන්ගේම ක්‍රියාවන් -ඓතිහාසික සංවර්ධන දාමයේ අත්‍යවශ්‍ය සම්බන්ධතා වේ. [30]

75. ස්ටැලින්වාදීන්ගේ නිලධාරිවාදී ඉරනම්වාදය විවේචනය කරමින් ට්‍රොට්ස්කි තවදුරටත් මෙසේ පැවසීය. “විප්ලවීය තත්වයක් අහසින් වැටෙන්නේ නැත. එය පැමිනෙන්නේ පන්ති අරගලය තුලින් ය. විප්ලවවාදී තත්වයක් වර්ධනය වීමේ වැදගත්ම දේශපාලන සාධකය කම්කරු පන්තියේ පක්ෂයයි. ”

76. 2020 දෙවන භාගය තුල සමාජවාදී සමානතා පක්ෂයේ වැඩ කටයුතු වර්ධනය වනවා ඇත්තේ තීව්‍රවන දේශපාලන අර්බුදයක කොන්දේසි යටතේ ය. මූල්‍ය-ව්‍යාපාරික කතිපයාධිකාරයේ දාසයින් වන ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙකේ දේශපාලන බංකොලොත්භාවය පිලිබඳ තවත් සාක්ෂි ඉදිරි ජනාධිපතිවරන ව්‍යාපාරයෙන් සැපයෙනු ඇත. ඔවුන්ගේ උපායශීලී වෙනස්කම් කෙතරම් කර්කෂ වුවත්, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානුවෝ ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා එකසේ  කැපවී සිටිති. මැතිවරනය පැවෙත්වේද යන්න විවාදපන්න උපකල්පනයක් ව තිබියදීම, කුමන පක්ෂය මැතිවරනය ජයග්‍රහනය කලත්, ට්‍රම්ප් පරිපාලනය තුල මෙවැනි අශෝභන ප්‍රකාශනයන් විදහා දැක්වීමට හේතු වූ ප්‍රවනතා දිගටම නරක අතට හැරෙනු ඇත. ට්‍රම්ප් ෆැසිස්ට් මැරයෙක් බව අවිවාදිත ය. නමුත් ඔහු සර්පයෙකු මෙන් ඇමරිකානු ආදම්ගේ උයනට ලිස්සා ගියේ නැත. ට්‍රම්ප් යනු අන් කිසිවෙක් නොව, ලෝකයේ වඩාත්ම පරපෝෂිත, කුරිරු හා ප්‍රතිගාමී පාලක පන්තියේ පුද්ගලාරෝපනයයි. දැඩි අර්බුදකාරී තත්වයන් යටතේ ඔහුගේ පාලනයෙහි පිලිවෙත්, රේගන් (1981-89), බුෂ් I (1989-1993), ක්ලින්ටන් (1993-2001), බුෂ් II (2001–2009) සහ ඔබාමා (2009–2017) වැනි අයගේ  පරිපාලනයන්හි ප්‍රතිපත්ති වලින් බිඳීමට වඩා අඛන්ඪව ගෙනයාමකි. 

77. ඩිමොක්‍රටික් පක්ෂය සහ එහි ව්‍යාජ වාම නියෝජිතයෝ, ට්‍රම්ප් නැවත තේරී පත්වුවහොත් රට ව්‍යසනයකට මුහුනපානු ඇති බවට අනතුරු අඟවමින්, සාංදෘෂ්ඨික පදවලින් මැතිවරනය ඉදිරිපත් කිරීමට උත්සාහ කරති. එහෙත් මේ වන විටත් මහා ව්‍යසනය සිදුවී ඇති අතර ජෝසප් බිඩන් ජනාධිපති වුව ද එය දිගටම පවතිනු ඇත. කම්කරු පන්තියට පහරදීම දිගටම සිදුවනු ඇත. විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගත් කල, ඩිමොක්‍රටිකයින් පැහැදිලි කර ඇත්තේ, තමන් රුසියාව සහ චීනය සමඟ ගැටුම උත්සන්න කිරීමට අදහස් කරන බවයි.

78. සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපතිවරන ව්‍යාපාරය පදනම් වී ඇත්තේ, මැතිවරන ගනන් බැලීම් මත නොව පන්ති අරගලයේ තර්කනය මත ය. සසප අපේක්ෂකයින් වන ජෝසෆ් කිෂෝර් සහ නොරිස්සා සැන්ටා-කෘස්, කම්කරු පන්තියේ ස්වාධීන සටන්කාමීත්වය දිරිගැන්වීම, සමාජවාදී ඉදිරිදර්ශනය පිලිබඳ පංතියේ දේශපාලන විඥානය සහ අවබෝධය ඉහල නැංවීම සහ කම්කරුවන් සහ තරුනයින් ඉදිරියට එන අරගල සඳහා සූදානම් කිරීම සඳහා, කුමන ධනපති පක්ෂයක් මැතිවරනය ජයගත්ත ද, මැතිවරන උද්ඝෝෂනය යොදා ගනු ඇත.  සියල්ලටත් වඩා සසප, තම උද්ඝෝෂනය උපයෝගී කර ගන්නවා ඇත්තේ, ඔවුන් ජාත්‍යන්තර පන්තියක කොටසක් බවත් එක්සත් ජනපදයේ ධනවාදයට එරෙහි අරගලය සාර්ථක විය හැක්කේ එය සියලු ආකාර ජාතිකවාදයන්ට විරුද්ධ, ජාත්‍යන්තර මූලෝපායක් මත පදනම්ව එය සිදුකරන තාක් දුරට පමනක් බවත් ඇමරිකානු කම්කරුවන්ට පැහැදිලි කිරීම සඳහාය.

79. 2019 මහජන උද්ඝෝෂනවල ප්‍රමානය හා භූගෝලීය ව්‍යාප්තිය පෙන්නුම් කරන්නේ ගෝලීය වශයෙන් ඒකාබද්ධ වූ ජාත්‍යන්තර කම්කරු පන්තියක වර්ධනයයි. එය දැන් බිලියන 3 ක ජනගහනයකින් සමන්විත වේ. පසුගිය වසර 30 තුල කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශාල වෙනසකට තුඩු දෙන පරිදි, කෝටි සියගනනක් ගොවීන් නගරවලට සංක්‍රමනය වී කම්කරු පන්තියට එක්ව තිබේ. 2007 දී ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට මානව වර්ගයාගෙන් බහුතරයක් ජීවත් වූයේ නාගරික ප්‍රදේශවල ය. කම්කරු පන්තිය වැඩි වැඩියෙන් තාක්‍ෂනයෙන් එකට සම්බන්ධ වන අතර 2014 සිට 2019 දක්වා කාලය තුල බිලියන 2 කට අධික ජනතාවක් පලමු වරට අන්තර්ජාලයට පිවිසෙති.

80. මෙම ජාත්‍යන්තරවාදී මූලෝපායික රාමුව තුල, පක්ෂ ක්‍රියාකාරිත්වයේ කේන්ද්‍රීය අවධානය යොමු විය යුත්තේ පන්ති අරගලයට ක්‍රමානුකූලව මැදිහත් වී වඩාත් දේශපාලනික වශයෙන් සවිඥානික කම්කරුවන් හා තරුනයින් පක්ෂයට දිනා ගැනීම කෙරෙහි ය. ට්‍රොට්ස්කිගේ වචන පක්ෂය මතක තබා ගත යුතුය: “කර්තව්‍යන් මොනවාද? මූලෝපායික කර්තව්‍යය සමන්විත වන්නේ ජනතාවට උපකාර කිරීම, ඔවුන් සිතන මතන ආකාරය දේශපාලනිකව සහ මානසිකව වෛෂයික තත්වයට හැඩගැස්වීම, ඇමරිකානු කම්කරුවන්ගේ අගතිගාමී සම්ප්‍රදායන් ජයගැනීම සහ සමස්ත පද්ධතියේ සමාජ අර්බුදයෙහි වෛෂයික තත්වයට ඒවා හැඩගැස්වීමයි. ” [31]

81. ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ක්‍රියාමාර්ගය තුල මෙසේ ලිවීය: “හතරවන ජාත්‍යන්තරයේ මූලෝපායික කර්තව්‍යය වන්නේ, ධනවාදය ප්‍රතිසංස්කරනය කිරීම නොව එය පෙරලා දැමීමයි. එහි දේශපාලන පරමාර්ථය නම් ධනේශ්වරය අස්වාමික කිරීම සඳහා නිර්ධන පංතිය විසින් බලය දිනා ගැනීමයි. එසේ නමුදු, උපාය සම්බන්ධයෙන් අල්පතර සහ පාර්ශවීය වන්නාවූ පවා සියලුම ප්‍රශ්නවලට හාත්පසින්ම සැලකිලිමත් අවධානය යොමු කිරීමෙන් තොරව මේ මූලෝපායික කර්තව්‍යය මුදුන්පත් කර ගැනීම ගන සිතීමට පවා නොහැකිය. නිර්ධන පංතියේ සියලුම කොටස්, එහි සියලු ස්ථර, සියලු රැකියාවල නිරතයන් සහ කන්ඬායම් විප්ලවවාදී ව්‍යාපාරය තුලට ඇදගත යුතු වේ. වර්තමාන යුගය සුවිශේෂ වන්නේ විප්ලවවාදී පක්ෂය දෛනික කටයුතු වලින් මුදාහරින හෙයින් නොව, විප්ලවයේ තත්‍ය කර්තව්‍යන් සමග අවියෝජනීයව ඒ කටයුතු කරගෙන යාමට ඉඩ සලසන හෙයිනි.[32]

82. මෙම කටයුතු කරගෙන යාමේදී සසප, ට්‍රොට්ස්කිගේ උපදෙස් පරිදි, සංක්‍රමන ඉල්ලීම්, එනම්, සමාජවාදී විප්ලවයේ මූලෝපායට සම්බන්ධ සැබෑ තත්වයකින් පැන නගින ගැටලු සහ අවශ්‍යතා, ඉල්ලීම් සහ මුලපිරීම් සමඟ සම්බන්ධ කිරීමට පියවර ගනියි. කොරෝනා වෛරස් වසංගතය සම්බන්ධයෙන් සලකන්නේ නම්, සසප, නොසැලකිලිමත් හා සාපරාධී ආපසු වැඩට දැක්කීමේ ව්‍යාපාරය අවසන් කිරීමට කැඳවුම් කරමින් එය අවසන් කිරීමට සටන් කරනු ඇත; මහව්‍යාපාරික-වෝල් වීදියට ඇපදීම අවලංගු කිරීම; සියලුම රැකියා විරහිතයින් සඳහා ආර්ථික ආරක්ෂාව සැපයීම සහ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් පුළුල් කිරීම සඳහා හදිසි වැඩපිලිවෙලක්; මිලියන සංඛ්‍යාත ජනතාවක් මුහුන දෙන හදිසි සමාජ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ව්‍යාපාරික හා මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ ධනය අත්පත් කර ගැනීම; ප්‍රධාන බැංකු හා සංගතවල කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හා පාලනය ස්ථාපිත කිරීමට සසප සටන් වදිනු ඇත.

83. වසංගතයට දක්වන ප්‍රතිචාරය පදනම් විය යුත්තේ, කම්කරුවන්ගේ, සමාජයේ සමස්ත අවශ්‍යතාවය මත මිස ධනේශ්වර ක්‍රමය සහ මූල්‍ය කතිපයාධිකාරීන් ලබා දීමට සූදානම්ව සිටින දේ මත නොවන බව පිලිගැනීම මත මෙම ඉල්ලීම් සියල්ලම ඉදිරියට යනු ඇත. ඒවා අනිවාර්යය අවසාන නිගමනයට යොමු වෙයි. එනම්, කම්කරුවන්ගේ බලය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය සහ ධනවාදය අහෝසි කිරීමේ අවශ්‍යතාවයයි.

84. මෙම දෘෂ්ටිකෝනයෙන් නිශ්චිත කාර්යයන් ගලා එයි:

අ. සෑම කර්මාන්තශාලාවක්ම, කාර්යාලයක් සහ සේවා ස්ථානයක්ම සම්බන්ධ කරමින් කම්කරුවන්ගේ ආරක්ෂිත කමිටු ජාලයක් වර්ධනය කිරීම සඳහා පක්ෂයේ අරගලය තීව්‍ර කිරීම. කම්කරුවන් විසින්ම ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරනු ලබන මෙම කමිටු කම්කරුවන්ගේ, ඔවුන්ගේ පවුල්වල සහ පුළුල් ප්‍රජාවේ සෞඛ්‍යය හා ජීවිත ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂනය කල යුතුය. කම්කරු පන්තියේ සමාජවාදී නායකත්වයක් වර්ධනය කිරීමේ අරගලයට හා කම්කරුවන් පක්ෂයට බඳවා ගැනීමට මෙය සම්බන්ධ විය යුතුය.‍

ආ. ඩිමොක්‍රටික් පක්ෂයේ සහ එහි ව්‍යාජ වාම මධ්‍යම පන්තික ඒජන්සිවල ජාතික-වාර්ගික දේශපාලනයට එරෙහි අරගලයට වෙන් කල නොහැකි ලෙස බැඳී ඇති, ඇමරිකානු විප්ලව දෙකේ ප්‍රගතිශීලී අන්තර්ගතය පක්ෂය විසින් අඛන්ඩව ආරක්ෂා කිරීම. එක්සත් ජනපදය වාර්ගික සතුරුකම්වලින් පීඩා විඳින බවටත්, සුදු කම්කරුවන් කළු ජාතික කම්කරුවන්ගේ තත්වයන්ට වගකිව යුතු බවටත් කරන ප්‍රකාශ, ව්‍යාජ හා දේශපාලනික වශයෙන් ප්‍රතිගාමී ය. වන්දි ගෙවීමේ ඉල්ලීමට සසප විරුද්ධ වන අතර එය, කම්කරුවන් බෙදීම හා අප්‍රිකානු ඇමරිකානු ධනේශ්වරයේ සහ ඉහල මධ්‍යම පංතියේ වරප්‍රසාද ලත් කොටසක ධනවාදී අභිලාෂයන් ඉදිරියට ගෙන යාම අරමුනු කරගත් සුළු ධනේශ්වර ප්‍රතිපත්තියකි. ඔවුන් ඉහලම ධනවත්  සියයට එක සතු ඒකාධිකාරී ධනය සඳහා වැඩි ප්‍රවේශයක් අපේක්ෂා කරයි.

ඇ. කම්කරු පන්තික තරුන තරුනියන් අතර සහ විශ්වවිද්‍යාලවල සහ පාසල් තුල සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය ගොඩනැගීම සඳහා පුලුල් හා ක්‍රියාකාරී උද්ඝෝෂනයක්. විශේෂයෙන් අධ්‍යාපනඥයින් සහ සමස්ත කම්කරු පන්තිය සමඟ සහයෝගය සහිතව අනාරක්ෂිත කොන්දේසි යටතේ පාසල් නැවත විවෘත කිරීමේ උද්ඝෝෂනයට එරෙහිව යෞවනයන්ගේ විරෝධය සසජාතශි විසින් සංවිධානය සහ මෙහෙයවිය යුතුය.

ඈ. සංක්‍රමනික පොලිසියේ නිර්දය හිංසා පීඩාවලට ලක්වන සියලුම සංක්‍රමනිකයින් ආරක්ෂා කිරීම සඳහා සසප සහ සසජාතශි විසින් දෘඩතර උද්ඝෝෂනයක් දියත් කල යුතුය. පිටුවහල් කිරීම නතර කල යුතුයැයි පක්ෂය සහ එහි තරුන සංවිධානය කියා සිටියි. සංක්‍රමනිකයන් බාරගත යුතු බවත් සිරගත කර සිටින අය අත්අඩංගුවෙන් නිදහස් කලයුතු බවත් ඔවුහු අවධාරනය කරති. පවුල් වෙන් කිරීම නතර කිරීමත් සහ රැකවරන පතන සරනාගතයින්ට යහපත් නිවාස හා මූල්‍ය ආධාර ලබා දීමත් ඔවුහු ඉල්ලා සිටිති. පූර්න පුරවැසි අයිතිය සහිතව එක්සත් ජනපදය තුල සුරක්ෂිත හා යහපත් ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට සෑම අවස්ථාවක්ම ලබා දිය යුතුය.

ඉ. සසප තෙවන ලෝක යුද්ධයක තර්ජනය එල්ල කරන, යුද්ධයට සහ මිලිටරිවාදයට එරෙහිව සිය ව්‍යාපාරය තීව්‍ර කල යුතුය. පාලක පන්තියේ සියලු කොටස් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ මූලෝපායික අවශ්‍යතා සඳහා කැපවී සිටිති. යුද්ධයට එරෙහි සටන කම්කරු පන්තිය මත පදනම් කල යුතුය. එය ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතුය. එය ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කරන සියලුම දේශපාලන පක්ෂ හා සංවිධානවලින් ස්වාධීන විය යුතු අතර ඒවාට සතුරු විය යුතුය. සියල්ලටත් වඩා එය, ජාත්‍යන්තර විය යුතුය. ධනවාදය සහ එහි ජාතික-රාජ්‍ය බෙදීම් අවසන් කිරීමටත් ලෝක සමාජවාදය ස්ථාපිත කිරීමට, එක්සත් ගෝලීය අරගලයක් තුල කම්කරු පන්තියේ අතිමහත් බලය එක්සත් කිරීම හා බලමුලු ගැන්වීමටත් එය සටන් වදියි. 

ඊ. රාජ්‍ය මර්දනය හා යුද්ධයට එරෙහි අරගලය, අන්තර්ජාල වාරනයට එරෙහි අරගලය හා රාජ්‍ය අපරාධ හෙලිදරව් කිරීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය ආරක්ෂා කිරීම සමඟ බැඳී පවතී. සසප සහ සසජාතශි ජූලියන් අසාන්ජ් කොන්දේසි විරහිතව නිදහස් කිරීම වෙනුවෙන්, චෙල්සි මැනිංට කරන හිංසනය අවසන් කිරීම සඳහා සහ ගූගල් සහ ෆේස්බුක් වැනි තාක්ෂනික දැවැන්තයින් විසින් ලෝසවෙඅ සහ අනෙකුත් වාමාංශික, යුද විරෝධී සහ සමාජවාදී වෙබ් අඩවි සහ පුද්ගලයින් වාරනය කිරීමට එරෙහිව, දිගටම උද්ඝෝෂනය කරනු ඇත. 

85. සසප මුලපිරීම් සහ උද්ඝෝෂනවල දේශපාලන බලපෑම හා පලදායීතාවය රඳා පවතින්නේ, වැඩකරන ජනතාව පක්ෂයට බඳවා ගැනීම මත ය. විප්ලවවාදී දේශපාලනය කිසියම් දුරස්ථ, ආධ්‍යාත්මික හා සුපිරි මානව ක්ෂේත්‍රයක් තුල දිග හැරෙන්නේ නැත. වඩාත්ම හිතකර වෛෂයික කොන්දේසි තුල පවා ක්‍රියාත්මක විය හැක්කේ, පක්ෂයෙන් අධ්‍යාපනය ලබා ඇති දේශපාලන වශයෙන් සවිඥානික කම්කරුවන්ටය. ඩෙට්‍රොයිට්, ටොලිඩෝ සහ රටේ අනෙකුත් ප්‍රදේශවල වාහන කම්හල්වල සාමාන්‍ය කම්කරුවන්ගේ ආරක්ෂක කමිටු පිහිටුවීම, දේශපාලනික හා සමාජීය වශයෙන් සවිඥානික බලවේගයක් ලෙස කම්කරු පන්තිය උගන්වා ගැනීමේදී පක්ෂය ඉටුකරන වැදගත් කාර්යභාරය පෙන්නුම් කරයි.

86. අර්බුදයේ ස්වභාවය සහ සමාජවාදය සඳහා අරගලයේ මූලෝපාය, පක්ෂය විසින් කම්කරුවන්ට සහ තරුනයින්ට ඉවසිලිවන්තව පැහැදිලි කල යුතුය. එහෙත් ඉවසිලිවන්ත භාවයේ අවශ්‍යතාවය නිෂ්ක්‍රීයව බලාසිටීම සඳහා සාධාරනීකරනයක් නොවිය යුතුය. දේශපාලන අවබෝධය ප්‍රායෝගික ක්‍රියාකාරකම් බවට පරිවර්තනය කිරීමේ අවස්ථා අතපසු නොකල යුතුය. පක්ෂයේ අරමුන කම්කරුවන් අරගලය තුල මෙහෙයවීමයි.

87. සසපයේ සියලු කටයුතු හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමඟ සමීපතම සහයෝගයෙන් සිදු කෙරේ. අසමානතාවය, සූරාකෑම, යුද්ධය, පාරිසරික හායනය වැනි කම්කරු පන්තිය මුහුන දෙන කිසිදු දැවැන්ත ගැටලුවකට ජාතික විසඳුමක් නොමැතිවාක් මෙන්ම ගෝලීය වසංගතයට ද ජාතික විසඳුමක් නොමැත. ඇමරිකානු කම්කරු පන්තිය තුල මහජන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම, ලොව පුරා සිටින බිලියන සංඛ්‍යාත කම්කරුවන් බලමුලු ගැන්වීම හා සම්බන්ධ විය යුතු අතර, අවසානයේ ධනේශ්වර ම්ලේච්ඡත්වය අවසන් කොට මානව වර්ගයා සඳහා නව මාවතක් සකස් කල හැකි දැවැන්ත සමාජ බලවේගය එයයි.

88. මීට වසරකට පෙර සිය ගිම්හාන පාසලේදී, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වර්ධනය හා වෛෂයික තත්වය පිලිබඳ සමාලෝචනයක් මත පදනම් වූ සමාජවාදී සමානතා පක්ෂය, හජාජාක නව ඓතිහාසික අවධියකට අවතීර්න වී ඇති බව නිගමනය කලේය. සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් මෙම අවස්ථාව අර්ථ දැක්වුවේ, “සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හජාජාක හි විශාල වර්ධනයක් දැකගත හැකි” අවධියක් ලෙස ය.

මීට වසර 30 කට පෙර ජාත්‍යන්තර කමිටුව විසින් හඳුනාගනු ලැබූ, ආර්ථික ගෝලීයකරනයේ වෛෂයික ක්‍රියාවලීන් තවදුරටත් දැවැන්ත වර්ධනයකට භාජනය වී තිබේ. සන්නිවේදනයේ විප්ලවීය වෙනසක් ඇති කල නව තාක්‍ෂනය බිහිවීමත් සමඟ, මෙම ක්‍රියාදාමයන් පන්ති අරගලය ජාත්‍යන්තරකරනය කර ඇත්තේ, මීට වසර 25 කට පෙර සිතාගැනීමටවත් නොහැකි තරමකිනි. කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලය අන්තර් සම්බන්ධිත හා එක්සත් ලෝක ව්‍යාපාරයක් ලෙස වර්ධනය වනු ඇත. මෙම වෛෂයික සමාජ-ආර්ථික ක්‍රියාවලියේ සවිඥානික දේශපාලන නායකත්වය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැඟෙනු ඇත. එය ලෝක සමාජවාදී විප්ලවයේ පන්ති පදනම් මූලෝපාය මත පිහිටා අධිරාජ්‍යවාදී යුද්ධයේ ධනවාදී දේශපාලනයට හරස් කපනු ඇත. හතරවන ජාත්‍යන්තර යේ ඉතිහාසයෙහි නව අවධියේ අත්‍යවශ්‍ය ඓතිහාසික කාර්යය මෙයයි. [33]

89. සිය දැවැන්ත දේශපාලන වගකීම් ඉටු කිරීම සඳහා පක්ෂය සහ එහි කේඩරය, මාක්ස්වාදී ව්‍යාපාරයේ ඓතිහාසික අත්දැකීම් තුල දැඩි ලෙස මුල් බැසගෙන දැනුවත් විය යුතුය. හජාජාකහි අන්තර්ගත දැවැන්ත ඉතිහාසය කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරය තුලට ගෙන ආ යුතුය. කම්කරු පන්තියේ වෛෂයික රැඩිකලීකරනය හා පක්ෂ භාවිතයේ අන්තර්ඡේදනය, කම්කරු පන්තියේ ජයග්‍රහනය, ධනවාදය අහෝසි කිරීම සහ ලෝක ආර්ථිකයේ සමාජවාදී පරිවර්තනය සඳහා කොන්දේසි නිර්මානය කරනු ඇත.

අවසන් සටහන්:

[1] “කොවිඩ්-19 වසංගතය: ලෝක ඉතිහාසයේ ප්‍රේරක සිදුවීමක්” ඩේවිඩ් නෝර්ත්, 2020 මැයි 4, ලෝක සමාජවාදී වෙබ් අඩවිය. 

[2] ප්‍රාග්ධනය  Capital, කාල් මාක්ස්, III වන වෙළුම (ලන්ඩන්: 1974), පි. 438

[3] “ඊලඟ වසංගතය?” Foreign Affairs, වෙළුම. 84, අංක 4 (2005 ජූලි-අගෝස්තු), 3-4 පි.

[4] එම., පි. 4.

[5] එම.,

[6] “වුහාන්හි කොරෝනා වෛරසය පැතිර යාම හා ගෝලීය ආසාදිත රෝග තර්ජනය,” බ්‍රයන් ඩයින්, 2020 ජනවාරි 28, ලෝසවෙඅ  

[7] “කොවිඩ් -19 සහ ව්‍යාපාරික අංශයේ ද්‍රවශීලතාවය” රයන් බැනර්ජි, ඇනමරියා ඉලස්, එනිස් කරෝබි සහ ජෝස් මාරියා සෙරීනා, 2020 ජනවාරි 28, BIS Bulletin අංක 10, 2020 අප්‍රේල් 28, පි. 1.

[8] එම.

[9] "කොරෝනා වෛරස් වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් සඳහා!", හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, පෙබරවාරි 28, 2020 .

[10] " කොරෝනා වෛරස් වසංගතයට පාලක ප්‍රභූවේ ප්‍රතිචාරය දුෂ්ඨ නොතකා හැරීමකි", ඇලෙක්ස් ලැන්ටියර් හා ඇන්ඩ්‍රේ ඩේමන්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, මාර්තු 14, 2020 

[11] "විනාශකාරී ආර්ථික අගුලුදැමීම් " වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත කර්තෘ මන්ඬල ප්‍රකාශය, මැයි 8, 2020 

[12] " සැබෑ ආර්ථිකයට එරෙහිව වෙලඳපල", ඉකොනොමිස්ට් මැයි 7, 2020

[13] "කොරෝනා වෛරස් වසංගතයට මහ ව්‍යාපාරිකයේ පනිවුඩය: ජීවිත නොව ලාබ රැකදෙනු", ඇන්ඩ්‍රේ ඩේමන්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, මාර්තු 24, 2020.  

[14] “ව්‍යාපාර විවෘත කිරීමේ  ට්‍රම්ප් ව්‍යායාමය, ලක්ෂ ගනනකගේ ජීවිත අවදානමේ හෙලයි " එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, අප්‍රේල් 11, 2020.

[15] “වසංගතය, ලාභය සහ දුක් පීඩා විඳ මියයාම පිලිබඳ ධනේශ්වර සාධාරනීකරනය”, ඩේවිඩ් නෝර්ත්, 2020 අප්‍රේල් 18, ලෝසවෙඅ. 

[16] "කම්කරු පන්තියේ එක්සත්කම ශක්තිමත්ව විදහා දැක්වමින් දස දහස් සංඛ්‍යාත ජනයා පොලිස් ප්‍රන්ඩත්වයට එරෙහිව බහු වාර්ගික උද්ඝෝෂන පවත්වති", සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය), ලෝක සමාජවාදී වෙබ් අඩවිය, මැයි 30, 2020   . 

[17] “මාලිගා බල කොල්ලය ද පන්ති අරගලය ද: වොෂිංටනයේ දේශපාලන අර්බුදය සහ කම්කරු පන්තියේ මූලෝපාය”, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2017 ජූනි 13. 

[18] "කම්කරු පන්තියේ එක්සත්කම ශක්තිමත්ව විදහා දැක්වමින් දස දහස් සංඛ්‍යාත ජනයා පොලිස් ප්‍රන්ඩත්වයට එරෙහිව බහු වාර්ගික උද්ඝෝෂන පවත්වති", සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය), ලෝක සමාජවාදී වෙබ් අඩවිය, මැයි 30, 2020   

[19] "පොලිස් ඝාතනයට එරෙහි විරෝධතා: ඉදිරි මාවත", ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජුනි 15, 2020. 

[20] " නායකයා führer වීමට තතනන  ට්‍රම්ප් කුමන්ත්‍රන සැලසුම් දැඩි කරයි" පැට්‍රික් මාටින්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජුනි 12, 2020. 

[21] “කම්කරු පන්තියට කැඳවුමක්!  ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය පරාජය කරනු!", ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජුනි 4, 2020. 

[22] " පොලිස් ඝාතනයට එරෙහි විරෝධතා: ඉදිරි මාවත", ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජුනි 15, 2020.  

[23] “වාර්ගික- ප්‍රජාගනවාදී දේශපාලනය සහ දෙවන වරටත් ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කිරීම”, නයිල්ස් නීමුත් සහ ඩේවිඩ් නෝර්ත්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජුනි 25, 2020.

[24] ෆිනෑන්ෂල් ටයිම්ස් හි ගිලියන් ටෙට් විසින් “ එක්සත් ජනපදයට V හැඩැති bank-shaped ප්‍රකෘතියක් ඇත ” https://www.ft.com/content/26173096-7fe8-47e4-abeb-feafa3432901

[25] "සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹෙයි" ඩේවිඩ් නෝර්ත් හා ජෝසෆ් කිෂෝර් විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජනවාරි 3, 2020 දී.  

[26] “ට්‍රම්ප් කල් යල් බලමින් සිටියත් ඉරානයට එරෙහි යුද්ධය සූදානම් කිරීම දිගටම කෙරෙනු ඇත”, බිල් වැන් ඕකන් සහ ඩේවිඩ් නෝර්ත්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජනවාරි 9, 2020. 

[27] වර්කර්ස් ලීගය සහ සමාජවාදී සමානතාවයේ ආරම්භය, ඩේවිඩ් නෝර්ත් විසින් 1995 ජුනි 25 දින නිකුත් කරන ලද වාර්තාව (ඩෙට්රොයිට්: 1996), පි. 30 යි 

[28] සැමුවෙල් බ්‍රැනන් විසින් 2019 නොවැම්බර් 1 වන දින https://www.csis.org/analysis/age-leaderless-revolution හි “ නායකත්වයක් නැති විප්ලවයේ යුගය ”

[29] "සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹෙයි" ඩේවිඩ් නෝර්ත් හා ජෝසෆ් කිෂෝර්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජනවාරි 3, 2020.  

[30] ලියොන් ට්‍රොට්ස්කි, “නැවත වරක් Whither France,” (1935 මාර්තු 28),ප්‍රන්සය කොයිබට ද, නිව් පාර්ක් ප්‍රකාශන (1974), පි. 42 යි.

[31] ට්‍රොට්ස්කි, “සංක්‍රමන ක්‍රියාමාර්ගය ඉදිරිපත් කිරීමට පෙර ට්‍රොට්ස්කි සමඟ සාකච්ඡා: සංක්‍රමන ඉල්ලීම්වල සාරාංශයක්” (1938 මාර්තු 23), සමාජවාදී විප්ලවය සඳහා සංක්‍රමන ක්‍රියාමාර්ගය, පාත්ෆයින්ඩර් (2019), පිටුව .132.

[32] ට්‍රොට්ස්කි, “ධනවාදයේ මරලතෝනිය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ (සංක්‍රමන ක්‍රියාමාර්ගය),” 1938 සැප්තැම්බර්.

[33] “හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ 1982-1986 භේදයේ දේශපාලන මූලාරම්භය හා ප්‍රතිවිපාක,” සසප ගිම්හාන පාසල, 2019 ජූලි 21.

Loading