නව වසරේ ද වසංගතය සමග ජීවත් වීමට ආන්ඩුව කරන යෝජනා ප්‍රතික්ෂේප කරමු

උදා වූ නව වසරේදී ද, කොවිඩ්-19 ගෝලීය වසංගතය සමග ජීවත් වීමට මහජනතාවට සිදුවනු ඇති බැවින් පවතින තත්ත්වයන්ට අනුගත වී සෞඛ්‍ය නිර්දේශවලට අනුකූල ව ජීවත් වීමට සූදානම් විය යුතු යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුනවර්ධන පැවසූ බව ජනවාරි 04 වැනි දා ඩේලිමිරර් පුවත්පත වාර්තා කලේ ය.

පොලොන්නරුව මහ රෝහලේ නිරීක්ෂන සංචාරයකින් අනතුරුව කර ඇති එම ප්‍රකාශයේදී, “රට විවෘත ව තබා ගනිමින් වෛරසය පාලනය කිරීම ඉතා දුෂ්කර ය. ඒත් පීසීආර් පරීක්ෂන සඳහා දිනකට ආන්ඩුවට රුපියල් මිලියන 60කට අධික ප්‍රමානයක් වියදම් කිරීමට සිදු වෙනවා. මේ මුදල් සපයා ගැනීමට රටේ නිෂ්පාදන කටයුතු පවත්වා ගැනීමට සිදු වනවා” යැයි ඔහු සඳහන් කර ඇත.

වෛරසය වේගයෙන් පැතිර යද්දී රට විවෘතව තබා එය පාලනය කිරීම 'දුෂ්කර' නොව, කිසිසේත් කල නොහැක්කකි. වහා කලයුතු වන්නේ, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන ද, පාසල් ඇතුලු සියලුම අධ්‍යාපන ආයතන වසා දැමීමයි. ඒ සමගම, දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව දැවැන්තව ඉහල නංවමින් ආසාදිතයන් සහ ආශ්‍රිතයන් හඳුනා ගැනීම හරහා රෝගය පාලනය කිරීමට පියවර ගතයුතුය.

කොවිඩ් එන්නත (ස්ටොක් ඉමේජ් අනුග්‍රහය: එන්වාටෝ)

වඩාත් ප්‍රමුඛ වනුයේ, සමස්ත මහජනතාවට ජාත්‍යන්තරව පිලිගත් ආයතනයකින් නිර්දේශිත එන්නතක් හැකි ඉක්මනින් ලබා දීමට පියවර ගැනීමයි. ඒ සමගම, රට වසා දැමීමෙන් ආදායම් මාර්ග අහිමිවන කම්කරුවන්, ස්වයංරැකියාවල යෙදෙන්නන්, සුලු ව්‍යාපාරිකයන් වැනි අයට සම්පූර්න වන්දි මුදල් ලබාදියයුතු වෙයි.

නමුත්, ගුනවර්ධනගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ආන්ඩුව මේ කිසිවක් ඉටු නොකරන බවයි. පාලනයෙන් ගිලිහී ඇති වසංගතයට එරෙහි ව සෞඛ්‍ය වියදම් දැවැන්ත පරිමානවලින් ඉහල දැමීම වෙනුවට රාජපක්ෂ ආන්ඩුව මෙවර අයවැයෙන් එම වියදම් තවත් කපා දමා ඇත.

ආර්ථික පසුබෑමක් මැද කප්පාදු වැඩපිලිවෙල පෙරට ගෙන යන ජනාධිපති රාජපක්ෂ වරක් නරුම ලෙස ප්‍රකාශ කලේ 'වසංගතය ආන්ඩුව ගෙනත් දාපු එකක් නොවන නිසා එයට ආන්ඩුව වගකිව යුතු නැති' බවයි. ගුනවර්ධන ඇතුලු ඉහල සෞඛ්‍ය බලධාරීන් හරහා විවිධ ආකාරයෙන් ප්‍රකාශයට පත් වන්නේ ජනාධිපතිගේ මෙම ප්‍රතිපත්තියයි.

නමුත්, පීසීඅර් පරීක්ෂන වෙනුවෙන් ආර්ථිකය විවෘතව පවත්වාගෙන යනු ඇතැයි යන්න කෙප්පයකි. අන් සෑම රටකම පාලක පංතීන් මෙන්, රාජපක්ෂ ද ආර්ථිකය අඛන්ඩව පවත්වාගෙන යන්නේ සංගත හිමියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙනි.

දෙරන රූපවාහිනියේ 360 වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග “ලංකාවේ ආර්ථිකය පවතින්නේ දරුනු තත්ත්වයක” යයි සඳහන් කරමින් ලංකාවට 'සුදුසු' එන්නත නිර්නය කරන ආකාරය ගැන පැහැදිලි කිරීමක යෙදුනේ ය. “ෆයිසර් එන්නත තියා ගන්න සෙන්ටිග්‍රේඩ් අංශක -70ක අධිශීතකරන අවශ්‍යයි. භාවිතය ටිකක් අපහසුයි. එන්නතක් ඩොලර් 20යි. … හැන්ඩ්ලිං චාර්ජස් අධිශීතකරන ඔක්කොම ගත්ත ම එන්නතකට රුපියල් 10 000ක් විතර වියදම් වෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත සාමාන්‍ය ශීතකරනයක තියන්න පුලුවන්. … මුදල් නෙවෙයි ප්‍රශ්නය. භාවිතයයි.”

පසුගාමී රටවලට එන්නත නොමිලයේ සම්පාදනය කරන කොවැක්ස් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 20කට එන්නත නොමිලයේ ලබා ගත හැකි බව වීරතුංග සඳහන් කල ද, එන්නත් ගෙන්වා බෙදා හැරීම දක්වා තාක්ෂනික පහසුකම් වර්ධනය කිරීමට විශාල වශයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කල යුතු ව ඇත. කෙසේ නමුත්, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ සෞඛ්‍ය සේවයට වෙන් කෙරුනු මුදල් රුපියල් බිලියන 27කින් කපා දැමූ ආන්ඩුවක් කොවිඩ්-19 සඳහා වියහියදම් වලට යොදා ගන්නේ ආධාරවලින් ගොඩනැගූ අරමුදලකි.

මීට විපරීතව, වසංගතයේ බලපෑම්වලින් ධනපති පන්තිය මුදා ගැනීමට ජනාධිපතිගේ ප්‍රතිචාරය යුහුසුලු එකකි. මැයි මාසයේ දී මහබැංකු අධිපති ඇතුලු ප්‍රධානීන් කැඳවා මහා ව්‍යාපාරවලට ඉක්මනින් නය සම්පාදනය කිරීමට නියෝග කලේය. දෙසැම්බරයේ දී, වානිජ මන්ඩලය අමතමින් වසංගතයේ ප්‍රතිලාභී අංශ සෙවිය යුතු බවට උපදෙස් දුන් ඔහු, වැටුප් කප්පාදු, රැකියාවලින් දොට්ට දැමීම්, කම්හල් වසා දැමීම් සහ වැඩ වේගවත් කිරීම් ආදී රුදුරු පියවර සඳහා කම්කරු නීති කටු ගා දුන්නේ ය.

ආන්ඩුවේ මෙම සාපරාධී ප්‍රතිපත්තියෙන් පිටුබලය ලැබූ මහා ව්‍යාපාර වසංගතය මැද වාර්තාගත ලාභ අත්පත් කර ගැනීමට සමත් ව ඇත.

ධනපති ලාභ අවශ්‍යතා වෙනුවෙන්, රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන් බලාත්කාරයෙන් අනාරක්ෂිත කම්හල් සහ වැඩපල තුලට දැක්කුවේ මරනය අත දරා ගෙන වැඩ කිරීමටයි. ජනවාරි පලමු වැනි දා සියලු ම රාජ්‍ය සේවකයන්ට ජනාධිපති රාජපක්ෂගේ ආයෝජක ගැති මැතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශය වන සෞභාග්‍යයේ දැක්ම සාර්ථක කර ගැනීමට කැප වන බවට ප්‍රතිඥා දීමට සිදු විය.

වසංගතය වරාය තුල පැතිරෙමින් පැවතිය දී වරාය කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට ගෙන්වා ගැනීමට පැන වූ 'අත්‍යවශ්‍ය සේවා' නියෝගය ජනාධිපති රාජපක්ෂ නැවතත් අලුත් කර ඇත. මේ අතර දිනපතා කර්මාන්තශාලාවලින් නව ආසාදිතයන් වාර්තා වෙමින් පවතී.

ලාභය මූලික කරගත් ධනපති නිෂ්පාදනය පවත්වා ගන්නා අතරේ ඊට අනුපූරක ව පාසල්, විශ්ව විද්‍යාල, ගුවන් තොටුපල, සිනමා ශාලා විවෘත ව තබා ගැනීම වැනි පියවර වලට ආන්ඩුව තව දුර ගමන් කර ඇත. මෙම ප්‍රතිපත්තියේ ව්‍යසනකාරී ස්වභාවය දෙසැම්බර් මාසයේ පමනක් හඳුනා ගත් ආසාදිතයන් ගනන 20,000 කින් වැඩිවී මුලු ආසාදිත සංඛ්‍යාව 46,780 දක්වා ඉහල යාමෙන් පෙන්නුම් කර ඇත. සමස්ත කොවිඩ්-19 මරන සංඛ්‍යාව 222 කි.

කොවිඩ්-19 වසංගතයට එරෙහි ව විධිමත් සෞඛ්‍ය ප්‍රතිචාරයක් වර්ධනය කිරීම වෙනුවට, වසංගතය පාලනයෙන් ගිලිහී ඇති පසුබිමක ආන්ඩුව තම මිලිටරීකරනය වඩා වේගවත් කරමින් සිටින්නේ, පුපුරා එනු ඇති මහජන විරෝධයක් රුදුරුම ආකාරයෙන් තලා දැමීමේ අරමුනෙනි.

ජනවාරි පලමු වැනි දා, කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ සභාපති හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා දිස්ත්‍රික්ක 25 වෙනුවෙන් කොවිඩ්-19 මර්දන කටයුතු භාර කරමින් හමුදා ප්‍රධානීන් 25 දෙනෙකු පත් කලේ ය.

මේ වසරේ ද “වසංගතය සමග මහජනතාව ජීවත් විය යුතු ය” යන ධනපති පන්තියේ නියමය කම්කරු පීඩිත මහජනතාව පිලිගත යුතු නොවේ. වසංගතය සමග ජීවත් වීම යනු අන් කිසිවක් නොව ධනපතියන් ලාභ පොදි ගසා ගනිද්දී ආසාදිතයන් සහ මරන ගනන් ඉහල යාම සාමාන්‍ය දෙයක් ලෙස පිලිගත යුතු ව ඇත යන්නයි.

ධනපති ලාභ වෙනුවෙන් හෝ ධනපති මූල්‍ය අර්බුදය වෙනුවෙන් හෝ තම ජීවිත වසංගතයට බිලි දීම වෙනුවට ලාභ පද්ධතිය අහෝසි කර දමා ජාත්‍යන්තර සමාජවාදී විකල්පයෙන් මෙම අර්බුදයට පිලිතුරු සැපයීම කම්කරු පන්තියට ඇති ඉදිරි දර්ශනයයි.

Loading