ඉදිරිදර්ශන

ට්‍රම්ප්ගේ ජනවාරි 6 කුමන්ත්‍රනය පිලිබඳ පූර්න, මහජන පරීක්ෂනයක් සඳහා!

ජනවාරි 6 වන දින සිදුවීම් වල උනුසුම පහව යාමටත් පෙර, වෙඩි උන්ඩ වලින් හෑරුනු වලවල් සහ කඩා බිඳ දැමූ ජනෙල්, දොරවල් එක්සත් ජනපද මන්ත්‍රන සභා ශාලාව පුරා දිස්වෙමින් තිබියදී, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය කොන්ග්‍රසයට එරෙහි ෆැසිස්ට් කුමන්ත්‍රනයේ දේශපාලන වගකීම වසන් කිරීමට කටයුතු කරමින් සිටී.

මෙය දක්ෂිනාංශික විරෝධතාකරුවන් අතින් ස්වයංසිද්ධව සිදු වූ හුදකලා හෝ අහඹු සිදුවීමක් නොවේ. කොන්ග්‍රසයට පහරදීම ඉහල සිට මෙහෙය වූ කුමන්ත්‍රනයකි. සති කිහිපයකට පෙර සිටම එය සූදානම් කරන ලද්දේ රාජ්‍ය යාන්ත්‍රනය තුල වූ ඉහල පෙලේ නිලධාරීන්, පොලිසිය සහ හමුදාව විසිනි.

සමාජවාදී සමානතා පක්ෂය, ට්‍රම්ප් පරිපාලනය සහ මෙම ෆැසිස්ට් කල්ලියට ආධාර සහ අනුබල දුන් සියලු දෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂනයක් ඉල්ලා සිටියි. කුමන්ත්‍රනකරුවෝ තවමත් ගනනින් විශාල වන අතර ඔවුන්ගේ ඊලඟ පියවර සැලසුම් කරමින් සිටිති. ට්‍රම්ප් ජනවාරි 20 වන තෙක් ජනාධිපති ධුරයේ රැඳී සිටින අතර අන්තරාය පහව ගොස් නැත!

වෝටර්ගේට් අර්බුදය අතරතුර, ජනාධිපති රිචඩ් නික්සන් ගේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි කුමන්ත්‍රනයේ සත්‍යය හෙලිදරව් කිරීමේ මාධ්‍යය වූ සෙනෙට් නඩු විභාග, පුලුල් ලෙස ප්‍රචාරය වූ අතර රූපවාහිනි මාධ්‍යයේ ඉතා උනන්දුවෙන් ඇසුරු කරන ලදින් අවසානයේදී ඔහු නිලයෙන් පහ කිරීමට හැකි විය. වෝටර්ගේට් කුමන්ත්‍රනය ආරම්භ කලේ, ඩිමොක්‍රටික් ජාතික කමිටුවේ මූලස්ථානය බිඳ දමන ලෙස නික්සන් ගේ නියෝග ලද හිටපු බුද්ධි අංශ කල්ලියක් විසිනි.

නික්සන් හැඳින්වූ පරිදි “තෙවන ගනයේ කොල්ලයක්” වූ එම කුමන්ත්‍රනය වසන් කරනු ලැබීම, ජනාධිපතිගේ සාපරාධීභාවය හෙලිදරව් කරමින් රූපවාහිනී මාධ්‍යයේ මාස ගනනක් විකාශය කෙරුනු වගවිභාගයන්ට තුඩුදුන්නේ නම්, ඇමරිකානු ආන්ඩුව පෙරලා දමා ඒකාධිපති පාලනයක් පිහිටුවීමට ජනාධිපතිවරයෙකු ගත් පලමු උත්සාහය වූ ජනවාරි 6 වන දින සිදුවීම් සියල්ලන්ටම විවෘත, මහජන, රූපවාහිනී, සජීවීව විකාශනය වන පරීක්ෂනයක් පැවැත්වීම තවත් අවැසි මොනවාද?

ධවල මන්දිරයෙන් පිටත දහස් සංඛ්‍යාත ආධාරකරුවන්ගේ රැලියක් කැඳවා මන්ත්‍රන සභා ශාලාව වෙත පාගමනකට යොමු කරමින්, ට්‍රම්ප් ප්‍රචන්ඩකාරී ප්‍රහාරයේ ප්‍රධාන උසිගැන්වීමේ කාර්යභාරය ඉටු කල බව පැහැදිලි මෙන්ම ප්‍රතික්ෂේප කල නොහැක. “එය අශිෂ්ඨ වනු ඇතැයි,” ට්‍රම්ප් කල් තබා ට්වීට්ර් පනිවුඩයක සඳහන් කල අතර, පසුව ෆැසිස්ට් මැර පිරිස “විශේෂ පුද්ගලයින්” ලෙස හැඳින්වීය.

ට්‍රම්ප්ගේ සෘජු සහකරුවන් අතර මිසූරි සෙනෙට් සභික ජෝෂුවා හැව්ලි සහ ටෙක්සාස් සෙනෙට් සභික ටෙඩ් කෘෘස් ඇතුලත් ය. බයිඩන්ගේ මැතිවරන ජයග්‍රහනය සනාථ කිරීමට විරෝධය දැක්වීම සඳහා හැව්ලි සහ කෘෘස් සමඟ සෙනෙට් සභිකයන් පස්දෙනෙකු එක්වූ අතර නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ දී රිපබ්ලිකානුවන් 138 ක්ද එසේ කලහ.

දක්ෂිනාංශික පෙලපාලි සහ කැරලි වලට අවම වශයෙන් රිපබ්ලිකන් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් හය දෙනෙකු වත් සහභාගී වී තිබේ. බටහිර වර්ජිනියා නියෝජිත ඩෙරික් එවාන්ස් තමා ගොඩනැගිල්ලට ඇතුලු වන වීඩියෝවක් පල කල මුත් පසුව එය මකා දැමූ බව නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කරයි.

කැරැල්ලක් සඳහා වූ සැලසුම් රහසක් නොවීය. ඒකාබද්ධ සැසිවාරය සඳහා ජනවාරි 6 දිනය නීතියෙන් නියම කර තිබූ අතර එදින ශාරීරික පහරදීමක් සඳහා වූ සැලසුම් දක්ෂිනාංශික සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පුලුල් ලෙස සංසරනය විය. ධවල මන්දිරයේ රැලිය සහ ව්‍යවස්ථා මාවතේ (Constitution Avenue) පාගමන ඉතා පරෙස්සමින් කල්‍ යල් බලා සිදු කෙරුනු අතර, චාරිත්‍රානුකූලව මැතිවරන ඡන්ද ගනන් කිරීම සඳහා කොන්ග්‍රසයේ ඒකාබද්ධ සැසියේ පලමු පැයේදී ෆැසිස්ට් මැරයන් පැමිනීමට නියමිත විය. ප‍්‍රහාරකයින් සුලු ප‍්‍රතිරෝධයක් හෝ නොමැතිව පොලිස් “බාධක” හරහා ගමන් කර, මහා මන්ත්‍රනසභා ශාලාව වෙතට කඩා වැදී, සභා රැස්වීමේ කටයුතු අවසන් කිරීමට බල කලහ.

සිදුවීම්, වඩා ලේවැකි හැරීමක් දෙසට ගමන් කල හැකිව තිබුනි; සමහර ආක්‍රමනිකයන් ආයුධ සන්නද්ධව සිටි අතර, අත්අඩංගුවට ගත් ඇතැමුන් ලඟ, සෙනෙට් සහ කොන්ග්‍රස් සභිකයන් පැහැරගෙන යාමේදී හෝ ප්‍රාන ඇපයට ගැනීමේදී මාංචු දැමීම සඳහා ප්ලාස්ටික් රැහැන් තිබූ බව සොයා ගන්නා ලදී.

මහා මන්ත්‍රනසභා ගොඩනැගිල්ලේ පහලම මාලය තුල තමන් සිරවී සිටියදී මන්ත්‍රී මන්ඩලයේ සහ සෙනෙට් සභාවේ නායකත්වය සමඟ තමන් කතා කල බව බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශය කල ට්‍රම්ප්ගේ තදබල විරුද්ධවාදියෙකු වන මේරිලන්ඩ් හි රිපබ්ලිකන් ආන්ඩුකාර ලැරී හොගන් , මන්ත්‍රී මන්ඩලය සහ  සෙනට් සභාව විනාශයකට කෙතරම් සමීප වී තිබුනිද යන්න පිලිබඳ තොරතුරු අනාවරනය කලේය:

“මම ඇත්ත වශයෙන්ම [ඩිමොක්‍රටික් මන්ත්‍රී මන්ඩල] නායක [ස්ටෙනී] හෝයර් සමඟ දුරකථනයෙන් කතා කලෙමි. ඔහු [ජාතික] ආරක්ෂක බලකාය එවන ලෙස ආයාචනා කරමින් සිටියේය. ඔහු කාමරය පුරා ෂුමර්ට කෑගැසුවේය, ඔවුන්, අපට අවසර දී ඇති බව නැවත නැවතත් කියමින් සිටියහ, ‘මම ඔබට කියන්නේ අපට අවසරය ලැබී නැත’ යැයි මම පැවසීමි”

තම ජාතික ආරක්ෂක බලකාය වොෂිංටන් ඩීසී වෙත යෙදවීමට පෙන්ටගනය ප්‍රතික්ෂේප කල බව හොගන් හෝයර්ට සහ ෂුමර්ට පැහැදිලි කලේය. මේරිලන්ඩ් ආරක්ෂක බලකායේ ප්‍රධානියා “උත්සාහ කර බලා ඇති නමුත් අපට අවසරය ලැබී නැත” හොගන් කොන්ග්‍රස් නායකයින්ට පැවසීය.

පැය දෙකකට පමන පසු, හොගන් තමාට “අනපේක්ෂිතව ආරක්ෂක ලේකම්ගෙන් හෝ සාමාන්‍ය ක්‍රමවේදයන්ට පිටින්” යුද ලේකම් රයන් මැකාතිගෙන් ඇමතුමක් ලැබුනු බවත් ඔහු ආරක්ෂක අංශ යෙදවීමේ ඉල්ලීම ක්‍රියාත්මක කල බවත් පැවසීය. වෙන් වෙන් වාර්තා පෙන්වා දෙන්නේ, හමුදාව, ආරක්ෂක බලකාය යෙදවීමට එකඟ වූයේ උප ජනාධිපති මයික් පෙන්ස් සමඟ මිස, ප්‍රදර්ශනශීලී සේනාධිනායකයා වන ට්‍රම්ප් සමඟ කතා කිරීමෙන් පසුව නොවන බවයි.

ඉහලපෙලේ රිපබ්ලිකානුවන් ට්‍රම්ප්ගේ දැවැන්ත ඡන්ද වංචා සහ ඡන්ද විමසීම් පිලිබඳ බොරු පුනරුච්ඡාරනය කල අතර එය මහා මන්ත්‍රනසභා ශාලාව වැටලීමේ දේශපාලන ආවරනය ලෙස වර්ධනය විය. තීරනාත්මක ප්‍රාන්තවල මැතිවරන විද්‍යාල ඡන්ද විමසීමට එරෙහිව මවන ලද විරෝධතා, මැතිවරන ප්‍රතිඵල පිලිබඳ කොන්ග්‍රස් සහතිකය ප්‍රචන්ඩ ලෙස යටගැසීම සඳහා නීත්‍යානුකූල භාවය සැපයීමට ඉදිරිපත් කරන ලදී.

කුමන්ත්‍රන ප්‍රයත්නය සමඟ සෘජු සහයෝගීතාවන්ට අමතරව, කොන්ග්‍රස් රිපබ්ලිකානුවන්ගේ ඉහල නායකයින් වන සෙනෙට් බහුතර නායක මිච් මැක්කොනෙල් සහ මන්ත්‍රී මන්ඩල සුලුතර නායක කෙවින් මැකාති, මැතිවරනයේ ප්‍රතිඵල පිලිගැනීමට ට්‍රම්ප්ගේ පෙර නොවූ විරූ ප්‍රතික්ෂේප කිරීම ශක්තිමත් කිරීමේ දී තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලහ. නොවැම්බර් 3 ඡන්ද විමසීමෙන් දින කිහිපයක් ඇතුලත ඡන්ද ගනන් කිරීම අවසන් වූ පසු මෙය මැනවින් පැහැදිලි විය. මැතිවරන වංචා පිලිබඳ ඔහුගේ ප්‍රකාශවල යුක්තිසහගත බව ගැන ඔවුහු සහතික වූහ.

මිලිටරිය, බුද්ධි අංශ සහ රාජ්‍ය යාන්ත්‍රනය කුමන්ත්‍රනයට දැක්වූ සහයෝගය පිලිබඳව වෙනත් ප්‍රශ්න මතු වේ.

පලමුවෙන්ම, මහා මන්ත්‍රනසභා ශාලා පොලිසිය පැහැදිලිවම ෆැසිස්ට් මැරයන්ට භූමිය ආක්‍රමනය කිරීමට ඉඩ දී, කැරලිකරුවන් සමඟ සුහද ඡායාරූප ගැනීමට පෙනී සිටිමින්, ෆැසිස්ට්වාදීන්ට ඇතුලුවීමට පහසුකම් සැලසීම සඳහා බාධක ඉවත් කලේය.

දෙවනුව, ආන්ඩුකාර හොගන්ගේ ප්‍රකාශවලින් දැක්වෙන පරිදි පෙන්ටගනය මුලින් ජාතික ආරක්ෂක භටයන්  මන්ත්‍රන සභා ශාලාව වෙත යැවීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලේය.  (ෆෙඩරල් මිස ප්‍රාන්ත භූමි ප්‍රදේශයක් නොවූ කොලොම්බියා දිස්ත්‍රික්කයේ, මෙම හමුදා මෙහෙයවනු ලබන්නේ යුද හමුදා ලේකම් විසිනි). හිටපු සීඅයිඒ නියෝජිත වරියක් සහ පෙන්ටගනයේ නිලධාරිනියක් මෙන්ම ඩිමොක්‍රටික් කොන්ග්‍රස් කාන්තාවක් වන එලිසා ස්ලොට්කින්, ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාක් මිලී සමඟ ජංගම දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමෙන් පසුව පමනක් පෙන්ටගනය ක්‍රියාත්මක වී සොල්දාදුවන් 1,100 ක් යෙදවීය.

තෙවනුව, මහා මන්ත්‍රනසභා ශාලාවට කඩා වැදුනු අය අතර ප්‍රවුඩ් බෝයිස් (Proud Boys), ඕත් කීපර්ස් (Oathkeepers) සහ ෆැසිස්ට් කිව්ඇනන් (QAnon) කුමන්ත්‍රන න්‍යායේ ආධාරකරුවන්ගේ කොටස් ඇතුලත් විය. ට්‍රම්ප් මැතිවරනයට පෙර “පිටුපස වී සූදානමෙන් සිටින්න” යැයි නියෝග කල මෙම කන්ඩායම්වලට කොන්ග්‍රසයේ සෘජු නියෝජිතයන්ද ඇතුලත්ය. ජෝර්ජියාවෙන් අලුතින් තේරී පත් වූ කොන්ග්‍රස් කාන්තාවක වූ මාර්ජෝරි ටේලර් ග්‍රීන්, කිව්ඇනන් ආධාරකරුවෙකු සහ මහා මන්ත්‍රනසභා ශාලාවට ගිනි අවි රැගෙන යාමට උත්සාහ කල “ගිනිඅවි අයිතිවාසිකම්" ක්‍රියාකාරී කොලරාඩෝ හි ලෝරන් බොබට් වැන්නන් ඒ අතර විය.

බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදී සභා කථානායක නැන්සි පෙලෝසි, ප්‍රහාරයට අනුබල දුන් කුමන්ත්‍රන න්‍යායන් ප්‍රවර්ධනය කල කොන්ග්‍රසයේ රිපබ්ලිකානුවන්ගෙන් “වගවීමක්” ඉල්ලා සිටිමින් අතර, ඔවුන් “ප්‍රතිඥාව අත්හැර දමා ජනාධිපති ඉඩදී ඇති” බව ප්‍රකාශ කලාය. යථාර්ථය නම්, ආන්ඩුව පෙරලා දැමීමට කුමන්ත්‍රනය කිරීමේ චෝදනා කොංග්‍රසයේ රිපබ්ලිකන් සාමාජිකයින්ගෙන් බහුතරයකට එරෙහිව ඉදිරිපත් කල හැකි හා කල යුතු බවයි. ඔවුන් විමර්ශනය කල යුතුය, චෝදනා කල යුතුය, පලවාහල යුතුය.

බ්‍රහස්පතින්දා වෙනම ප්‍රවෘත්ති සාකච්ඡාවලදී පෙලෝසි සහ බයිඩන් යන දෙදෙනාම කුමන්ත්‍රන උත්සාහයේ පුලුල් දේශපාලන වැදගත්කමෙන් අවධානය වෙනතකට හැරවීමට උත්සාහ කල අතර එය ප්‍රචන්ඩත්වය උසිගැන්වීමේ ට්‍රම්ප්ගේ පෞද්ගලික භූමිකාවට පමනක් ලඝු කලහ. ඩිමොක්‍රටික් නායකයන් දෙදෙනාම ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ මෙවලමක් ලෙස හැඳින්වූයේ, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනය ස්වදේශික ෆැසිස්ට්වාදීන්ගෙන් නොව, මොස්කව් සිට පැමිනියාක් මෙනි.

ජනවාරි 6 වන දින සිදුවීම් සමඟ රුසියාවට කිසිදු සම්බන්ධයක් නොතිබුනු අතර එය මහජන කෝපය බාහිර සතුරෙකු වෙත හරවා යැවීමේ කුරිරු උත්සාහයකි. ට්‍රම්ප් බලයට පත්වූ දා සිට එය ඩිමොක්‍රටික් පක්ෂයේ දිශානතිය අඛන්ඩව පවත්වා ගෙන යයි. විශේෂයෙන් සිරියාව හා රුසියාව සම්බන්ධයෙන් ඇත්තේ විදේශ ප්‍රතිපත්ති වෙනස්කම් මත පදනම් වූ දක්ෂිනාංශික දිශානතියකි.

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන ප්‍රයත්නයේ සෑම පැතිකඩක්ම හෙලිදරව් කිරීම සඳහා, වැඩ කරන ජනතාව ජාතික රූපවාහිනිය ඔස්සේ පවත්වන පූර්න, මහජන සමුලු නඩුවිභාගයක් ඉල්ලා සිටිය යුතුය. මේවා වහාම ආරම්භ විය යුතු අතර, ඉක්මනින්ම හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ඉහල පෙලේ සහායකයින් මෙන්ම කොන්ග්‍රසයේ කුමන්ත්‍රනය පිලිබඳ ප්‍රමුඛ, රිපබ්ලිකන් උසිගන්වන්නන්ගෙන් ප්‍රශ්න කිරීමද ඇතුලත් විය යුතුය.

එහෙත් කොන්ග්‍රසයේ මෙන්ම පැමිනෙන බයිඩන් පරිපාලනයේ ද ඩිමොක්‍රටික් පක්ෂය ජනවාරි 6 වන දින සිදුවීම් පිලිබඳ ඕනෑම බැරෑරුම් හා සවිස්තරාත්මක විමර්ශනයකට තදින්ම විරුද්ධ ය. එබඳු විමර්ශනයක් එක්සත් ජනපදයේ ෆැසිස්ට් කුමන්ත්‍රනවල නැගී එන අන්තරායන් පිලිබඳව ඇමරිකානු ජනතාව දැනුවත් කරනු ඇත.

මෙම කුමන්ත්‍රන අඛන්ඩව සිදුවෙමින් පවතී. ඔවුන් අරමුනු කරගෙන ඇත්තේ සමාජ අසමානතාවයට සහ පාලක පන්තියේ මිනීමරු “රංචු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්තියට එරෙහි කම්කරු පන්තියේ විරෝධය බලහත්කාරයෙන් මර්දනය කිරීමයි. එක්සත් ජනපදය තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඉල්ලා සිටින්නේ, දේශපාලනිකව සංවිධානය වී සමාජවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි.

මෙම ප්‍රකාශය ජනවාරි 8 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

Loading