ආන්ඩුව යාපනය විශ්වවිද්‍යාලයේ "මුල්ලිවයික්කාල් ස්මාරකය" බිඳ දැමීමට එරෙහිව මහජන විරෝධය නැගෙයි

ජනවාරි 08 වැනි දා, යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයෙහි ඉදිකර තිබූ 'මුල්ලිවයික්කාල් ස්මාරකය' විනාශ කරමින් මිලිටරිය සිදුකල ප්‍රකෝපකරනයට එරෙහිව, දිවයිනේ උතුරු සහ නැගෙනහිර පලාත්වල මහජනතාව කඩ සාප්පු වසා දමමින් සහ ප්‍රසිද්ධ ප්‍රවාහනය නවතා දමමින් ඊයේ 'හර්තාල්' උද්ඝෝෂනයක නිරත වූහ. මේ හේතුවෙන් පලාත් දෙකේ සියලු වැඩකටයුතු අඩපන විය.

යාපනය නගරයේ හර්තාලය (ඡායාරූපය - ටී. ප්‍රදීපන්)

මහජන විරෝධයට ආසන්න නිමිත්ත වූයේ ස්මාරකය බිඳ දැමීමේ මිලිටරි ප්‍රකෝපකරනය වුවද, ඉන් ප්‍රකාශයට පත්වූයේ, දිගු කාලීන මිලිටරි මර්දනය, යුද අපරාධ, වසංගතයෙන් උත්සන්න වී ඇති අර්බුදය පටවමින් රැකියා, වැටුප් හා ජීවන කොන්දේසි වලට එල්ල කෙරෙන රුදුරු ප්‍රහාර යනාදිය කෙරෙහි කම්කරුවන්, තරුනයන් හා දුගී ජනයා අතර කැකෑරෙන කෝපයයි.

උපකුලපති එස්.ශ්‍රීසත්ගුනරාජා, හමුදාව සහ පොලීසිය කැඳවා සිකුරාදා රාත්‍රියේ ස්මාරකය විනාශ කරන බව දැනගත් සැනින් එහි පැමිනි සිසුන් සහ ප්‍රදේශවාසීන් විශ්ව විද්‍යාල පරිශ්‍රය තුලට ඇතුලුවීම වලකා ලමින් එහි ප්‍රධාන ගේට්ටුව අසල රැකවල් ලා සිටි පොලීසිය සහ ආරක්ෂක හමුදාවෝ, විරෝධතාවයේ යෙදුනු සිසුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත්හ. පසු ව සිසුන් කීප දෙනෙකු ස්මාරකය ඉවත් කිරීමට එරෙහි ව ආරම්භ කල උපවාසයට සහාය දෙමින් ශිෂ්‍යයෝ සහ ප්‍රදේශවාසීහු විරෝධතා උද්ඝෝෂනයක යෙදී ගත්හ.

ජනවාරි 8 වැනි දා, මුල්ලිවයික්කාල් ස්මාරකය කඩා බිඳ දමද්දී හමුදා භටයෝ විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල සහ අවට රැකවල් ලා සිටිති (ඡායාරූප ස්තූතිය: කලම්බු ටෙලිග්‍රාෆ් වෙත)

සිවිල් යුද්ධය අවසන් කෙරුනු 2009 මැයි මාසයේ මුලතිවු හි මුල්ලිවයික්කාල් හි දී රාජ්‍ය හමුදා විසින් එල්ල කල ලේවැකි ප්‍රහාරයේදී මියගිය දසදහස් සංඛ්‍යාත ජනයා සැමරීමට යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් 2019 දී මෙම ස්මාරකය ඉදි කරන ලදී. එය ඉවත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව හිටපු කුලපති ආර්.විග්නේශ්වරන්ට දුන් විධානයන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කල තතු යටතේ, 2020 අගෝස්තු මාසයේ, ඔහු ඉවත්කල ආන්ඩුව තම හෙංචයියෙකු වන ශ්‍රීසත්ගුනරාජා එම තනතුරට පත්කර ගත්තේ ය.

වැඩුනු බලගතු මහජන විරෝධය මැද ආන්ඩුවේ උපාමාරුවක් ලෙස, ස්මාරකය නැවත ඉදි කර දෙන බවට ඊයේ ශිෂ්‍යයන්ට පොරොන්දු වූ උපකුලපති එස්. ශ්‍රීසත්ගුනරාජා ඒ සඳහා මුල්ගලක් ද තැබුවේ ය. එම 'පොරොන්දුව' මත සිසුන්ගේ උපවාසය නතර කර ගැනීමට ඔහු ක්‍රියා කලේ ය.

මෙම උපාමාරුව හුවා දක්වා ආන්ඩුවේ අන්ත මර්දනකාරී පිලිවෙත ලිහිල් වී යයි කල්පනා කිරීම මහ මුලාවකි. මෙම ප්‍රකෝපකරනයේ අරමුන වර්ගවාදී ආතතියක් උත්සන්න කර 'රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව කම්කරු පන්තියේ සහ පීඩිත මහජනයාගේ කෝපය සහ විරුද්ධත්වය පුලුල්ව වැඩෙන කොන්දේසි තුල කම්කරු පන්තිය වාර්ගික ව භේද කිරීම' බව, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලකල ලිපියකින් අපි පැහැදිලි කලෙමු.

'ස්මාරකය ප්‍රධාන කරගෙන උත්සව පැවැත්වීම තහනම් කර' ඇති බවත්, 'යාපනයේ කෝපායිහි විශ්වවිද්‍යාලයීය සිසුන් මුල්කරගෙන හර්තාල් සහ උපවාස සිදුකරන දේශපාලන කල්ලි සොයා දැනටමත් කෝපායිහි රාජ්‍ය බුද්ධි අංශ සහ රහස් පොලිසිය යොදවා ඇති' බවත් දිවයින පුවත්පත අද වාර්තා කර තිබේ.

'මෙය නීති විරෝධී ඉදිකිරීමක්. කෙසේ හෝ එය ඉවත් කල යුතුයි. පොඩි තර්ජනයක් තියෙනවා. නමුත් අපි ඔවුන් සමග පස්සේ ගනුදෙනු බේරා ගන්නවා.' යනුවෙන්, ස්මාරකය ඉවත් කල ජනවාරි 08 දා, උපකුලපතිවරයා කල තර්ජනය ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉහත දිවයින වාර්තාවෙන් ගම්‍ය වෙයි.

ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් පැවසුවේ, 'යාපනය විශ්ව විද්‍යාලයේ ස්මාරකය අදාල බලධාරීන්ගේ අවසරයකින් තොරව ඉදිකරන ලද බැවින් එය ඉවත් කල' බව යි. 'ස්මාරකය නීතිවිරෝධී ඉදිකිරීමක් නිසා එය ගැන තර්ක කිරීමෙන් කිසිදු පලක් නොමැති' බවට ඔහු අනතුරු ඇඟවුයේ ය.

හර්තාලය කැඳවා තිබුනේ දෙමල ජාතික සන්ධානය (දෙජාස) ඇතුලු දේශපාලන සංවිධාන ගනනාවක් සහ යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසිනි. තවත් ධනපති පක්ෂයක් වන මුස්ලිම් කොන්ග්‍රසය ද ඊට සහයෝගය පලකර තිබුනි. යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය දෙජාස, හිටපු මහා ඇමති සී. වී. විග්නේශ්වරන් නායකත්වය දෙන දෙමල මහජන පෙරමුන (ටීපීඑෆ්) සහ ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් නායකත්වය දෙන දෙමල ජාතික මහජන පෙරමුන (ටීඑන්පීඑෆ්) සමග සම්බන්ධතා පවත්වන සංවිධානයකි.

මෙම පක්ෂ දෙමල කම්කරු-පීඩිත මහජනතාවගේ කවර අවශ්‍යතාවයක් හෝ උත්සුකයක් නියෝජනය නොකරයි. අපකීර්තියට පත්ව සිටින ඔවුන් ආන්ඩුවේ ප්‍රකෝපකරනය වහා ම ඩැහැ ගත්තේ ප්‍රශ්නය මැදි කර ගෙන දෙමල ජාතිකවාදය අවුස්සා මහජනයා තම පක්ෂවල අත යටට කොටු කර ගැනීමටයි.

පසුගිය දස වසර ගත්ත ද යුද අපරාධ හා යුද්ධයෙන් ඇති කෙරී පවතින සමාජ ව්‍යසනයට එරෙහිව පැන නැගුනු කම්කරුවන්ගේ හා දුගීන්ගේ විරෝධතා යටපත් කිරීමට මෙම පක්ෂ කොලඹ ආන්ඩුවලට වක්‍ර ව සහ ඍජු ව සහයෝගය දුන්හ.

දෙජාස හි කොටස්කරුවෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, වහා උපකුලපති ශ්‍රීසත්ගුනරාජා හමු වී සාකච්ඡා කලේ මහජන විරෝධය පුපුරා යාමකින් තොර ව සමනය කර ගැනීම සම්බන්ධවයි. උපකුලපතිවරයා යලි ස්මාරකය ඉදි කිරීමට තීරනය කර ඇති බව සාකච්ඡාවෙන් පසු ඔහු මාධ්‍යයට පැවසුවේ ය.

මෙම හමුව ගනන් බලා සිදුකල ගනුදෙනුවකි. මහජන විරෝධය ආන්ඩුව හා මිලිටරිය සමග ගැටීමකට යා නොදී පාලනය කර දීමට මෙම ධනපති පක්ෂ තීන්දු කල බව සිද්ධාර්ථන්ගේ සාකච්ඡාවල තේරුමයි.

පසුගිය මාස ගනනාව තුල ජනාධිපති රාජපක්ෂට ආයාචනා ලියමින් සහ කොවිඩ්-19 වසංගතයට නිසා ආන්ඩුවේ අර්බුදය උග්‍රවෙද්දී අගමැති මහින්ද රාජපක්ෂගේ ඊනියා සර්ව-පාර්ශ්වික සමුලු වලට සහභාගිවෙමින් දෙජාස නායකයින් ආන්ඩුව සමග පෙල ගැසීමකට ප්‍රයත්න දැරුහ. දෙමල පක්ෂවල උත්සුකය වසංගතය නිස වැඩෙන අර්බුදය මධ්‍යයේ නැගෙන කම්කරුවන්ගේ අරගල නිසා ධනපති පන්ති පාලනය අර්බුදයට පත්වීම වැලැක්වීමයි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ඉන්දියාව මුලෝපායික සහකරුවෙකු ලෙස යොදා ගනිමින් ගෙනයන යුද සුදානමට සහයෝගය දෙන දෙමල ජාතිකවාදී සංවිධාන, ඒවායේ පිටුබලය ඇති ව කොලඹ පාලනය සමග සම්මුතියකට එලැඹී තම වරප්‍රසාද තහවුරු කර ගැනීමේ ප්‍රතිගාමී ව්‍යායාමයක දී සිටියි.

අපකීර්තියට පත්ව ඇති තමිල්නාඩු ප්‍රාන්ත ආන්ඩුවේ මහ ඇමති එඩප්පඩි.කේ.පලනිසාමි වහා ට්විටර් පනිවිඩයක් නිකුත් කලේය: 'ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේ මුල්ලිවයිකාල්හි දී අනුකම්පා විරහිතව ඝාතනයට ලක්වූ විශ්ව විද්‍යාල සිසුන් සහ සාමාන්‍ය ජනතාව සිහි කිරීම සඳහා යාපනය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකර තිබූ ස්මාරකය එක් රැයකින් විනාශ කිරීමේ පුවත කම්පනකාරී ය.' ස්මාරකය ඉවත් කිරීම 'බලගතු ලෙස හෙලා දකිමි' යි ද ඔහු සටහන් කර ඇත.

ඉන්දියාවේ දක්ෂිනාංශික මහ ආන්ඩුවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රහාර වලට සහයෝගය දෙමින් සිටින අතර, තමිල් නාඩු කම්කරුවන් හා දුගීන් මැඩීමේ යෙදී සිටින පලනසාමිගේ විරෝධය අමු ව්‍යාජයකි. ඔහු උත්සාහ දරන්නේ ලංකාවේ දෙමල ජනයා ගැන බොරු අනුකම්පාවක් මවා පෙන්වමින් දෙමල වර්ගවාදය අවුස්සා ගැනීමටයි.

ලංකාවේ උතුරු-නැගෙනහිර ලේ වැකි වර්ගවාදී යුද්ධය දියත්වී පැවති දිනවල තමිල්නාඩු ආන්ඩු හා දෙමල වර්ගවාදී පක්ෂ දෙමල ජාතිකවාදය අවුස්සමින් කම්කරුවන් හා දුගීන් අතර යුද්ධයට එරෙහි ව හා සමාජ අයිතීන් තලා දැමීමට විරුද්ධ ව පැන නැගී පැවති විරෝධය අවමංගත කිරීමේ අන්ත ප්‍රතිගාමී භූමිකාවක නිරත වූහ.

දෙමල කම්කරුවන් හා තරුනයින් මෙම පක්ෂවල බංකොලොත්, ප්‍රතිගාමී ක්‍රියාකලාපයට එරෙහි ව රාජපක්ෂ ආන්ඩුව සුදානම් කරන ප්‍රතිවිප්ලවවාදී ප්‍රහාරයන්ට එරෙහි ව සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට හැරී ගත යුතු ය.

යුද්ධය සමයේ පමනක් නොව මේ දක්වා, බොරු සිවිල් පාලනයක කඩතුරාවට මුවා වී, උතුරු-නැගෙනහිර පවත්වා ගෙන යන්නේ මිලිටරි පාලනයකි. සිකුරාදා විශ්ව විද්‍යාලයේ මිලිටරි මැදිහත්වීම පෙන්නුම් කරන්නේ එයයි. මෙම පලාත් දෙකේ මිලිටරි පාලනය, මුලු රට ම අලලා ගෙන ආන්ඩුව වර්ධනය කරන, මිලිටරිය මත පාදකවූ ජනාධිපති ආඥාදායකත්වයේ අත්‍යන්ත කොටසකි.

කෝවිඩ්-19 වසංගතය නිසා උග්‍රවී ඇති අර්බුදයේ බර, දැනටමත් පෙරලිකාරිවෙමින් සිටින කම්කරුවන් හා දුගීන් මත රුදුරු ලෙස පැටවීමට සුදානම්වන රාජපක්ෂ පාලනය දෙමල විරෝධී හා මුස්ලිම් වර්ගවාදය අවුස්සමින් කම්කරු පන්තිය බෙදා දුර්වල කිරීමට ක්‍රියා කරමින් සිටියි. ජාතිකවාදය අවුස්සමින් දෙමල සංවිධාන මීට අනුපුරක ක්‍රියාකලාපයක යෙදෙති. මුස්ලිම් කොන්ග්‍රසය ඇතුලු මුස්ලිම් සංවිධාන ද එයින් වෙනස් නොවේ.

උතුරෙන් හා නැගෙනහිරෙන් සන්නද්ධ හමුදා ඉවත් කිරීමට, සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු සියලු මර්දන හා වාර්ගික වෙනස්කම් සඳහා වන නීති අහෝසි කිරීම සඳහා සටන් කිරීමට සිංහල දෙමල මුස්ලිම් කම්කරුවන් අතර ජාත්‍යන්තරවාදී එකමුතු ව පිහිටුවා ගත යුතු ය.

මෙම ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් රැකගැනීමට දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් වැදීම, ආඥාදායක පාලනයකට එරෙහිව සටන් කිරීමට ඇති එක ම ක්‍රියාමාර්ගයයි.

මෙම ක්‍රියා මාර්ගයට සටන් කරන සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන්න.

Loading