එක්සත් ජනපද ජනාධිපතිගේ කුමන්ත්‍රන ප්‍රයත්නය පිලිබඳ දකුනු ආසියානු පාලක ප්‍රභුව නොසන්සුන් වෙති

පසුගිය සතියේ වොෂිංටනයේ එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් විසින් උසිගැන්වූ ෆැසිස්ට් මැර කල්ලිය කොන්ග්‍රස් සභා ශාලාවට කඩා වැදීම පිලිබඳව දකුනු ආසියාව තුල උත්සුකතා පල වී ඇත. ජනාධිපති ධුරයට පත්වූ ජෝ බයිඩන්ට “විධිමත් ලෙස බලය මාරුවීමක්” සහ එක්සත් ජනපදයේ “අවසන් වසයෙන් ප්‍රජාතන්ත්‍රවාදය දිනීම” පිලිබඳ අදහස් පල වී ඇත.

මෙම තැතිගැන්ම කිසිදු අයුරකින් ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි කමක් නිසා ඇති වූවක් නොවේ. බයිඩන්, ට්‍රම්ප්ට වඩා කවර ලෙසකින්වත් “ප්‍රජාතන්ත්‍රවාදය” නියෝජනය නොකරනවා මෙන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එම නිර්දය පන්ති අවශ්‍යතා ම ආරක්ෂා කරයි.

2019 සැප්තැම්බර් 22 වන ඉරිදා හූස්ටන් නගරයේ එන්ආර්ජී ක්‍රීඩාංගනයේ දී පැවති “හව්ඩි මෝඩි: පොදු සිහින, දීප්තිමත් අනාගතය” උත්සවය අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට අතට අත දෙයි. (ඒ්පී ඡායාරූපය / මයිකල් වයික්)

ගෝලීය වසංගතය නිසා ආර්ථික හා දේශපාලන අර්බුදය උත්සන්න වී ඇති තත්වය මධ්‍යයේ කලාපය පුරා පාලක පන්ති ඒ්කාධිපති පාලන ක්‍රම කරා ගමන් කරමින් සිටිති. එක්සත් ජනපදයේ කුමන්ත්‍රන ප්‍රයත්නය විසින්, ගෝලීය ධනවාදයේ කේන්ද්‍රයේ පමනක් නොව ඔවුන්ගේම රටවල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ ද බිඳවැටීම කම්කරු පන්තියට නිරාවරනය කෙරෙනු ඇතැයි ඔවුහු බියපත් වෙති.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මත ආර්ථික හා මුලෝපායික වසයෙන් දැඩි ලෙස යැපෙන දකුනු ආසියානු පාලක ප්‍රභූන් කෙරෙහි වොෂිංටනයේ දේශපාලන අස්ථාවරත්වය සෘජු ව ම බලපායි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනවාරි 7 වන දින ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් මෙසේ ප්‍රකාශ කලේය: “වොෂිංටන් ඩීසී හි කැරලි සහ ප්‍රචන්ඩත්වය පිලිබඳ ප්‍රවෘත්ති දැක කනගාටුවට පත්වීමි. විධිමත් හා සාමකාමී ලෙස බලය පැවරීම සිදු කල යුතු ය. නීති විරෝධී විරෝධතා මගින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය යටපත් කිරීමට ඉඩ දිය නොහැක.” ඔහු ෆැසිස්ට් කුමන්ත්‍රනය හෙලා දැක නැති අතර “කුමන්ත්‍රනය” යන වචනයවත් භාවිතා කර නැත.

මෝඩිගේ ප්‍රකාශය, එක්සත් ජනපදය සමඟ ඉන්දියාවේ සබඳතා සඳහා වොෂිංටනයේ සිදුවීම්වල ඇඟවුම් පිලිබඳ නිශ්චිත උත්සුකයන් පිලිබිඹු කරයි.

පසුගිය දශක දෙක තුල ඉන්දියාවේ ආන්ඩු වොෂින්ටනය සමඟ වඩා සමීප මිලිටරි, ආර්ථික හා දේශපාලන සබඳතා වර්ධනය කර ගෙන ඇත. ඉන්දීය ධනේශ්වරය බලාපොරොත්තු වන්නේ එක්සත් ජනපදය සමඟ සිය මුලෝපායික පෙලගැස්ම ඇති කර ගැනීම මගින් සිය දැඩි ප්‍රතිවාදියා වන චීනයට එරෙහි ව කලාපීය හා ගෝලීය අභිලාෂයන් ශක්තිමත් කෙරනු ඇති බවයි.

මෙම සබඳතා එක්සත් ජනපදය විසින් තල්ලු කරනු ලබන්නේ බීජිනයට එරෙහි ව වොෂින්ටනයේ මුලෝපායික හා මිලිටරි ප්‍රහාරයේ දී ඉන්දියාවේ කේන්ද්‍රීය වැදගත්කම නිසා ය. චීනයට එරෙහි තම යුද්ධයක දී, එරටට බලශක්ති හා අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වැදගත්වන ඉන්දියානු සාගරයේ මෙම මුහුදු මාර්ග අවහිර කිරීම එක්සත් ජනපදයට අවශ්‍ය ය.

එක්සත් ජනපදය සමඟ සමීප භූ-මූලෝපායික සබඳතා ආරම්භ වූයේ ඉන්දියාවේ ස්ටැලින්වාදී පක්ෂ දෙකේ සහාය ලැබූ අගමැති මන්මෝහන් සිංගේ කොන්ග්‍රස් ආන්ඩුව යටතේ ය. මෝදි යටතේ ඉන්දියාව වොෂිංටනයේ යුද සැලසුම් සමඟ මුලුමනින්ම ඒකාග්‍ර වූ පෙරමුනු රාජ්‍යයක් බවට පරිවර්තනය වී ඇත. මෙම සබඳතා තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා ට්‍රම්ප් පසුගිය පෙබරවාරි මාසයේ දී ඉන්දියාවට ගියේ ය.

නවදිල්ලිය එක්සත් ජනපදය සමඟ මූලික ගිවිසුම් අත්සන් කර ඇත්තේ එරට හමුදාවන්ට ඉන්දියාවේ මිලිටරි වරායන් සහ ගුවන් තොටුපල භාවිතා කිරීමට ඉඩ සලසමිනි. එක්සත් ජනපද ජනාධිපතිවරනයට දින දහයකට අඩු කාලයකට පෙර ඔක්තෝබර් 27 වන දින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මූලික හුවමාරු හා සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීම සඳහා ඉන්දියාවට ගියේය. මෙමඟින් දෙරට අතර ඉහල මට්ටමේ මිලිටරි තාක්ෂනය සහ වර්ගකල චන්ද්‍රිකා සහ වෙනත් දත්ත බෙදා ගැනීමට ඉඩ සැලසේ.

ඉන්දියාව චීනයට එරෙහිව එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව සම්බන්ධ කර ගත් අර්ධ-මිලිටරි සන්ධානයක් වන චතුර්පාර්ශවික ආරක්ෂක සංවාදයේ හෙවත් කෝඩ් (Quadrilateral Security Dialogue or Quad) හි ප්‍රධාන සාමාජිකයෙකු ලෙස ඉස්මතු වී තිබේ. නවදිල්ලිය වොෂින්ටනය සමඟ ඇති සබඳතා නිසා පසුගිය වසරේදී චීනය සමඟ දේශසීමා ආතතීන් ඇවිලී ගියේ, න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ මෙම රටවල් දෙක අතර යුද්ධයක අනතුර මතු කරමිනි--එවන් යුද්ධයක් තුලට එක්සත් ජනපදය සහ අනෙකුත් ප්‍රධාන බලවතුන්ද ඊට ඇදීයමින් ගෝලීය ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇතිකිරීමේ අන්තරාය ගැබ්වේ.

එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ පාලක ප්‍රභූන් තමන් මහා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන් -- එනම්, ඇමරිකාව ලෝකයේ පැරනිතම සහ ඉන්දියාව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදයන්-- ලෙස හුවා දක්වා ගනිති. මෙම ප්‍රකාශයන් එහි අරටුවෙන්ම අසත්‍ය ය.

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන ප්‍රයත්නය, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ දිගුකාලීන බිඳවැටීම හා කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල පුපුරා යාම තලා දැමීම සඳහා පාලක ප්‍රභූවේ ප්‍රධාන කොටස් ෆැසිස්ට් තන්ත්‍රයක් කරා ගෙන ඇති පියවරවලින් හෙලිදරවු වී ඇත. එපරිද්දෙන් ම ඉන්දියාවේ, මෝදිගේ හින්දු අධිපතිවාදී ආන්ඩුව ඒකාධිපති පාලනයක් තහවුරු කරමින් සිටියි.

ඉන්දීය මාධ්‍ය ජනවාරි 6 සිදුවීම් පිලිබඳව අදහස් දක්වා ඇත. කොන්ග්‍රස් සභා ශාලා ප්‍රහාරය උසිගැන්වීමේ දී ට්‍රම්ප්ගේ භූමිකාව බොහෝ දෙනා විසින් සටහන් කර ඇත්තේ “කුමන්ත්‍රනයක්” ලෙස විස්තර කරමිනි. කෙසේ වෙතත්, අවසාන වශයෙන් කෙසේ හෝ එය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි ඔවුහු නිගමනය කරති.

උදාහරනයක් ලෙස ජනවාරි 8 වන දින ඉන්ඩියන් එක්ස්ප්‍රස් කතුවැකිය ප්‍රකාශ කරන්නේ කැපිටොල් හිල් හි(මන්ත්‍රන සභා ශාලාවේ ) කැලඹීම “අතිශය අස්ථාවරකාරී” සහ “භයානක මොහොතක්” බවයි. කෙසේවෙතත්, එය තවදුරටත් කියා සිටින්නේ, ඇමරිකාව “එහි විශාල අර්බුද [ජය ගත්තා] සේ ම මේ මොහොතද ජය ගනු ඇත… රටේ දේශපාලන නායකත්වය, එහි ඉහල ම නිලය පවා, ඉක්මවා යා හැකි ආයතන තවමත් එහි ඇත.”

ඉකොනොමික් ටයිම්ස් ප්‍රකාශ වඩාත් විවෘතය. ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ගේ ක්‍රියාවන් නින්දිත යැයි හෙලා දකින එය ප්‍රකාශ කරන්නේ, “එහෙත්, එක්සත් ජනපදය සිය නරක ම දිනයේ දී, සමූහාන්ඩුව හා ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි සිය කැපවීම පෙන්නුම් කල” බවයි.

පුවත්පත බලාපොරොත්තු වන්නේ, බයිඩන් ජනාධිපති වීමෙන්, “වසංගතය හා එහි ආර්ථික ප්‍රතිවිපාක සමඟ කටයුතු කිරීම පමනක් නොව, එක්සත් ජනපදය එහි සාම්ප්‍රදායික ගෝලීය නායකත්ව භූමිකාව යථා තත්ත්වයට පත් කිරීම, ඇමරිකාවේ භේදයන් ජය ගැනීම සහ සමගියේ සහ සම්මුතියේ දේශපාලනය අලුත් කිරීමක්” සිදුවනු ඇතිබවයි. මේවා අමු මිත්‍යාවන් ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිරන්තරයෙන් පැහැදිලි කර ඇත්තේ, ට්‍රම්ප් යනු කිසියම් “දුෂ්ට පෞරුෂයක්” නොව, එක්සත් ජනපදයේ සාපරාධී මූල්‍ය කතිපයාධිකාරයේ නියෝජිතයා බවය. බයිඩන් සහ ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන්නේ ද එම කුරිරු පාලක පන්ති අවශ්‍යතා මය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ හෝ ඔහුගේ සහෝදර අගමැති මහින්ද රාජපක්ෂ වොෂිංටනයේ ෆැසිස්ට් කුමන්ත්‍රනය ගැන වචනයක්වත් ප්‍රකාශ කර නැත.

කොරෝනා වයිරස් වසංගතයෙන් නරක අතට හැරුනු ආර්ථික අර්බුදයකට මුහුන දෙමින්, චීන ආයෝජන හා නය මත යැපෙන බංකොලොත් ශ්‍රී ලංකාවේ ආන්ඩුව, කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ දේශපාලන වර්ධනයන් ගැන නොසන්සුන්ව අධ්‍යයනය කරමින් සිටී.

ඔක්තෝබර් අග දී පොම්පියෝ කොලඹට පැමින රාජපක්ෂ සහ අනෙකුත් දේශපාලන නායකයින් මුනගැසී, ආන්ඩුව බීජිනය සමඟ ඇති සබඳතා අවසන් කල යුතු බවත් එක්සත් ජනපද අවශ්‍යතා සමඟ මුලුමනින්ම පෙලගැසිය යුතු බවත් තර්ජනාත්මකව ප්‍රකාශ කර සිටියේය.

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය පිලිබඳව රාජපක්ෂවරුන් නිල නිෂ්ශබ්දතාවයක් පවත්වා ගෙන යතත්, ලංකාවේ මාධ්‍ය ඒ පිලිබඳ අදහස් දක්වා ඇත.

ඩේලි මිරර් පුවත්පතේ ජාත්‍යන්තර තොරතුරු පිලිබඳ කතුවරයා වන අමීන් ඉසාඩීන් විසින් සිය මතය දක්වමින් කරන ලද මතය දක්වමින් මෙසේ සඳහන් කලේ ය: “ජනවාරි 6 වන දින සිදුවූයේ ප්‍රජාතන්ත්‍රවාදය කඩාකප්පල් කිරීම සඳහා වූ කුමන්ත්‍රනයකි. {2001] සැප්තැම්බර් 11දා ත්‍රස්තවාදීන් විසින් ට්වින් ටවර්ස් කඩා දැමූවා සේ ම, ට්‍රම්ප්ගේ ත්‍රස්තවාදීන් - ඔවුන්ගෙන් සමහරක් ආයුධ සන්නද්ධ ව - ප්‍රජාතන්ත්‍රවාදයේ මන්දිරය කඩා දැමීමට උත්සාහ කලේ, එමඟින් තක්කඩියාට තවත් වසර හතරක් ජනාධිපති ධුරයේ රැඳී සිටීමට හැකි වන පරිදි ය.

ඩේලි මිරර් තීරු ලිපි රචකයා “ට්‍රම්ප් පරාජය කිරීමෙන් බයිඩන් ඇමරිකාවේ උදාර ආත්මය බේරා ගත්තේය” යි උජාරුවෙන් ප්‍රකාශ කලේය. මෙම ප්‍රකාශ, ඩිමොක්‍රටිකයන් යම් ආකාරයක ප්‍රගතිශීලී විකල්පයක්ය යන මිථ්‍යාව පවත්වා ගැනීම සඳහා නිර්මානය කෙරී ඇත.

ලෝක ධනවාදයේ කේන්ද්‍රස්ථානය වන එක්සත් ජනපදයේ සිදුවෙමින් පවතින දෙය සෑම තැනක ම දේශපාලන තත්වය අවබෝධ කර ගැනීමේ යතුරයි.

එක්සත් ජනපදයේ ෆැසිස්ට් කුමන්ත්‍රන ප්‍රයත්නය යනු ගැඹුරු අර්බුදයක ගිලී සිටින ධනේශ්වර පංතියේ ප්‍රති-විප්ලවවාදී ප්‍රතික්‍රියාවක් මෙන්ම විප්ලවයේ කොන්දේසි මතු කරනමින් නැගී එන කම්කරු පන්ති අරගලවලට ඇති භීතිය පෙන්නුම් කරයි.

ඉන්දියාවේ පාලකයන් ඒකාධිපති පාලනයකට හැරී ඇතුවාක් මෙන්ම, ශ්‍රී ලංකා ජනාධිපති රාජපක්ෂය ද මිලිටරිය මත පදනම් වූ ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට ක්‍රියා කරමින් ෆැසිස්ට් බලවේග පෙල ගස්වමින් සිටී. ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල මත පදනම්ව කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් සඳහා සටන් කිරීමේ හදිසි අවශ්‍යතාවයන් මෙම වර්ධනයන් විසින් මතු කරයි.

Loading