ජවිපෙ මහජන උපයෝගිතා කොමිසම රැකගැනීමේ නමින් “යහපාලන” උගුලක් තොරොම්බල් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමේ පියවර ගනිමින් සිටී. ඔහුගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර දෙසැම්බර් 01 වෙනිදා මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගලට යවන ලද ලිපියකින් කොමිසම අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස ද එහි තාක්ෂනික නිලධාරීන් ආන්ඩුවේ  වෙනත් අංශ වලට මාරු කරන ලෙස ද නියෝග කලේ ය. ඉන් බල කෙරුනු තතු යටතේ කොමිසමේ සභාපති හා සාමාජිකයෝ වහා ඉල්ලා අස්වූහ.

ජනාධිපතිගේ නියෝගය අත්තනෝමතික හා නීති විරෝධී එකකි. මහජන උපයෝගිතා කොමිසම 2002 වසරේ පිහිටුවන ලද්දේ පාර්ලිමේන්තු පනතකිනි. එය අහෝසි කිරීමට, කොමිසම විසුරුවා හැරීමට හෝ එහි බලතල සීමා කිරීමට බලයක් ජනාධිපතිට හෝ ආන්ඩුවට නැත. 

විදුලිය, ජල සම්පාදනය ,ඛනිජ තෙල් සංස්ථාව හා අනෙකුත් මහජන සේවාවන්හි කාර්යයන් හා මිල නියාමනය මූලික ව කොමිසමේ විෂය ක්ෂේත්‍රය වේ. කෙසේ නමුත් මෙම අංශයන්හි මිල හා සේවා ගාස්තු ඉහල දැමීමටත්, ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග අනුව රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනයේ කොටසක් ලෙස පුද්ගලික විදුලි බලාගාර ඉදිකිරීම ආදිය සඳහාත් අනුප්‍රාප්තික ආන්ඩුවලට අවශ්‍ය විට  අනුමැතිය ලබා දීමටත් කොමිසම පැකිලුනේ නැත. 

ජනාධිපති විසින් කොමිසම විසුරුවා හැරීම ප්‍රසිද්ධියේ විවේචනයට ලක්වන තතු තුල එය තාවකාලික ව නතර කෙරුනු අතර අගමැති මහින්ද රාජපක්ෂ කොමිසමේ බලතල කප්පාදු කිරීමට හා විදුලි බලමන්ඩල පනත “සංශෝධනය කිරීමට” ඉදිරිපත්කල යෝජනාවකට දෙසැම්බර් 22 කැබිනට් අනුමැතිය ලැබුනි. 

ජනාධිපතිගේ නියෝගය නිකුත් කෙරුනේ අයවැය යෝජනාවකින් ප්‍රකාශවූ පරිදි ය. ඔහුට අනුව මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම අවශ්‍ය වී ඇත්තේ, “පසුපසින් ලැග ඇති බලශක්ති උත්පාදනයේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාශීලි ලෙස වැඩ කිරීමට සුදුසු වාතාවරනය සූදානම් කිරීමටයි.” මින් සරල ව කියවෙන්නේ පුද්ගලික ධනපති ආයෝජකයන්ට බලශක්ති අංශයේ අබාධිත ව සූරා කෑමට හිතකර කොන්දේසි සකස් කර දීමයි. 

මෙය, වසංගතයෙන් උග්‍ර කෙරී ඇති අර්බුදය තුල මහා සංගත ඇතුලු ආයෝජකයන් කෙලින් කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ගෙනයන සමස්ත වැඩපිලිවෙලෙහි කොටසකි. කම්කරුවන් ඉදිරියේ මතුවන ප්‍රශ්නය, විදුලි බලමන්ඩලය පුද්ගලීකරනය ඇතුලු ආන්ඩුවේ  ප්‍රහාරයට එරෙහිව සටන් කිරීමට ස්වාධීනව බලමුලු  තරකර ගැනීමයි. 

ජවිපෙ සහ එහි පාර්ලිමේන්තු කන්ඩායමේ නායක අනුර කුමාර දිසානායක

එහෙත්, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), මෙම අරගලයට ප්‍රතිවිරුද්ධව, ධනපති ක්‍රමය තුල විසඳුම් අත්පත් කර ගත හැකිබවට මිථ්‍යා වපුරන තවත් ප්‍රචාරයක් මහජන  උපයෝගිතා කොමිසන් සභාව රැක ගැනීමේ  නමින්  ගෙනයයි.  අර්බුදය  විසඳා මෙම ක්‍රමය රැක ගැනීමට ජාතිකවාදී ආර්ථික -දේශපාලන වැඩ පිලිවෙලක්  ඇතැයි  දිවුරන ජවිපෙට ඒ සඳහා මෙම කොමිසම වැදගත් උදාහරනයක්  ලෙස හුවා දක්වයි. 

ජවිපෙ සහ එහි පාර්ලිමේන්තු කන්ඩායමේ නායක අනුර කුමාර  දිසානායක දෙසැම්බර් 22 පාර්ලිමේන්තුවේ දී ඒ සඳහා ගෙතූ තර්ක ලංකාට්රුත් වෙබ් අඩවියේ වාර්තා කර තිබුනි. රාජපක්ෂ ගේ කැබිනට් පත්‍රිකාව ගැන සඳහන් කල ඔහු මෙසේ කිවේය: “රජය සතු සමාගම්, තෙල්, ජලය හා විදුලිය ජනතාවට සපයමින් තිබෙනවා. එම ආයතන තුල  සිද්ධ වෙන මහා පරිමාන  වංචා හා දූෂන  නිසා  විශාල බරක් මහජනතාව මත පැටවෙමින් තිබෙනවා. දූෂනය  හරහා මිල ඉහල  යාම පාරිභෝගික ජනතාව මත පැටවෙමින් තිබීම පාලනය කලේ  මහජන උපයෝගිතා කොමිසමයි.”

ඔහු තව දුරටත් මෙසේ කීවේය: “මහජනතාවගේ පැත්තෙ ඉඳන්  කටයුතු කිරීම පැවරුනේ  මේ කොමිසන් සභාවට. එහි  පාලනයක් නොතිබුනානම් කියන කියන ගානට මිලදී ගන්න මහජනතාවට සිදු වෙනවා. එවැනි තත්ත්වයක් වැලක්වීම, මිලදී ගැනීම, කොන්ත්‍රාත්  ලබා දීම වැනි කාර්යයන් විමර්ශනය කරන්න මේ කොමිසන් සභාවට බලය පවරා තිබෙනවා.” කොමිසමට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ  ඉංජිනේරු පීඨයේ පීඨාධිපති හා මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිතුමා ඇතුලු  පිරිසක් පත්කර තිබු බව ඔහු සඳහන් කලේය. 

සැබවින් ම, එය මහ ජනයා සඳහා වූ ආයතනයක් ලෙස නොව, බලයේ සිටින ආන්ඩු මිල ඉහල දමමින් ගෙනයන වැඩපිලිවෙලට  නැගෙන මහජන විරෝධය යටපත් කරදීමේ උපකරනයක් ලෙස ක්‍රියා කලබව දිසානායක වසන් කරයි. මහජනයාගේ අත්දැකීමෙන් ගත්කල, මෙම කොමිසම නිතරම ක්‍රියාකර ඇත්තේ මිල පාලනය නමින් අවසාන වසයෙන් යම් මිල හා ගාස්තු ඉහල දැමීමක් ඒ හෝ මේ ආකාරයෙන් මහජනයා මත පැටවීමට අදාල මන්ඩලවලට හා ආන්ඩුවලට ඉඩ ලබා දීමටයි. 

කොමිසමට පැවති  ඊනියා ස්වාධීනත්වය මවා පෙන්වූ තත්වයකි. ඊට ජනාධිපතියන් විසින් පත්කෙරුනේ ආන්ඩුවල අවශ්‍යතාවන්ට කෙලින්ම හෝ වක්‍රව සහයෝගය දෙන්නන් ය. “උගතුන්වීමෙන්” එය වෙනස් වන්නේ නැත. දැන් රාජපක්ෂ පාලනයට අවශ්‍ය වී ඇත්තේ කොමිසම් වල අදහස් විමසීම් හෝ මැදිහත් වීමකින් තොරව, විදුලිය, ජලය හා ටෙලිකොම් ආදී රාජ්‍ය ව්‍යවසායන් හිතුමතේ සූරා කෑමට කොන්දේසි සකස් කිරීමයි.  

දිසානායකගේ සැබෑ වැඩපිලිවෙල එලියට එන්නේ ඔහුගේ කතාවේ ටිකක් පහලට ගිය විටය. ඔහු මෙසේ කීවේය: “මේ සිදුවීම් වලින් පෙන්නුම් කරමින් තිබෙන්නේ 2015 පරාජයට පත් කරන ලද එම පාලනයේ වංචා දූෂන  සිදුකල චෞර කන්ඩායමට   මහජනයාගේ දේපොල  රිසිසේ කොල්ලකා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ පාලනය ඉඩ දෙන බවයි. ... මේ සෙල්ලම නතර කල  යුතුයි. ඒ වෙනුවෙන් අපි ඉදිරියේදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිනිලි කරන්න බලාපොරොත්තු වෙනවා”.

දුෂනය නැති කොට පිරිසිදු පාලනයක් ඇතිකිරීමේ නමින් මහින්ද රාජපක්ෂ තන්ත්‍රය පරාජය කර 2015 සිරිසේන-වික්‍රමසිංහගේ ප්‍රතිගාමී ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇද්ද සංවිධානවලින් එකකි, ජවිපෙ.

දූෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ගෙනගිය රාජපක්ෂ ආන්ඩුව වර්ගවාදී යුද්ධයෙන් ඇතිකල විනාශය හා සමාජ හා ජීවන අයිතීන් කප්පාදු කරමින් එල්ලකල ප්‍රහාරයන්ට විරුද්ධව පෙරලිකාරී වූ කම්කරුවන් හා දුගීන්  සිරිසේන-වික්‍රමසිංහ  ව්‍යාපාරය තුලට තල්ලු කර දැමීමට  ජවිපෙ, දෙමල ජාතික සන්ධානය,  ව්‍යාජ වාම කන්ඩායම් හා ජවිපෙ ජන බලවේගය නමැති සංවිධානයේ දැන් පොදි කන ශාස්ත්‍රාලික පිරිස ක්‍රියා කලහ. ඔවුන් කියා සිටියේ  සිරිසේන හා වික්‍රමසිංහ බලයට ගෙන ඒමෙන් “යහපාලනයක්” ඇතිකල හැකි බවයි. 

එම ආන්ඩුව පිහිටු වූ පසු, බලය ස්ථාපිත කර ගැනීම සඳහා ඇට වූ ව්‍යවස්ථා විරෝධී සංස්ථාවක් වූ “විධායක මන්ඩලයට” සිරිසේන, වික්‍රමසිංහ හා අනෙකුත් ප්‍රතිගාමී නඩය සමග එය පැවති මාස හතර තුල දිසානායක ද සහභාගි විය. පසු කලෙක එම ආන්ඩුවේ චෞරකම් ගැන ද බිරුසන් දෙන ගමන්ම යහපාලනය රැකීමේ නමින් ඊට සහයෝගය දීමට ද ජවිපෙ දිගටම ක්‍රියා කලේ ය.  

සිරිසේන-වික්‍රමසිංහ බලයට ගෙන ඒමට දර දිය අදිමින් ජවිපෙ ඇතුලු  කන්ඩායම්  ඇත්ත වශයෙන්ම පෙල ගැසුනේ මහින්ද රාජපක්ෂ ආන්ඩුව බලයෙන් ඉවත් කිරීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්  තිරය පිටුපස සිට ක්‍රියාවට දැමු තන්ත්‍ර මාරු මෙහෙයුමක් සමගයි. චීනයට එරෙහිව යුද මූලෝපායික  සූදානමක යෙදුනු ඇමරිකාව, රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට සහයෝගය දුන් නමුත්, එය චීනයට සමීප ව කටයුතු කිරීමට එරෙහි ව ලංකාවේ ගැත්තන් ද පෙලගස්වා ගනිමින් මෙම තන්ත්‍ර මාරුව ක්‍රියාත්මක කලේ ය. 

ඊට පෙර 2005 සිට 2009 දක්වා, චෞරයන් ලෙස හඳුන්වන රාජපක්ෂ පාලනයට ජවිපෙ ඍජු ව ම සහයෝගය දුන්බව කම්කරුවන්ට තරුනයන්ට  අමතක නැත. 

සිංහල වර්ගවාදයෙන් විස කැවුනු  ජාතිකවාදී දේශපාලනයක් තොරොම්බල් කරන ජවිපෙ කම්කරුවන් ධනපති ආන්ඩුවලට විරුද්ධ ව අරගලවලට ඇදෙන විට එය වැලැක්වීමට කටයුතු කලේ ය. කම්කරුවන් හා දුගීන් මහ ධනපති පක්ෂවලට යට කර දීම සඳහා ජවිපෙ ඒවා යහපත් පක්ෂ ලෙස හුවා දැක්වූයේ වරක් දෙවරක් නොවේ. එම පක්ෂවල ආන්ඩු  දුෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය නිසා මහජනයා අතර අපකීර්තියට පත්වන විට ඒවා විවේචනය කරමින් ජවිපෙ තවත් ධනපති කල්ලියක් සමග පෙල ගැසුනේ ද වරක් දෙවරක් නොවේ. 

ලෝක ධනපති ක්‍රමය කොවිඩ්-19 වසංගතයේ බලපෑමෙන් බරපතල අර්බුදයක් තුලට තල්ලුවී ඇත. හැම රටක ම පාලක පන්ති  හා පාලන තන්ත්‍ර අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පටවමින් සංගතවල සූරා කෑම වඩා වේගවත් කිරීමට පියවර ගනිමින් කම්කරුවන්ගේ නැගෙන අරගල තලා දැමීමට ෆැසිස්ට් හා මිලිටරි ඒකාධිපති ආන්ඩුවලට මාරුවීමට තැත් කරති. රාජපක්ෂ තන්ත්‍රය යටතේ ලංකාවේ සිදුවන්නේ මෙම  ක්‍රියාවලියයි.   

වංචා හා දූෂන ධනේශ්වර ක්‍රමයට ම ආවේනික  ලක්ෂනයකි. රාජපක්ෂ ආන්ඩුව යටතේ සිදුවන්නේ ද එයයි. ජවිපෙ ආවැඩූ පක්ෂ හා ආන්ඩු එලෙස ම විය.

දැන් ජවිපෙ හා එහි නායකයෝ, පාර්ලිමේන්තුව හා අවශේෂ රාජ්‍ය ආයතනවල වංචා, දූෂන, අනීතිය යනාදිය සෝදාහැර  සුද්දබුද්ධ කර කෙලින්කොට “යහපාලනයක්” ඇතිකිරීමේ මන්ත්‍රය දිනපතා ජපකරති. දිසානායක මහජන උපයෝගිතා කොමිසම රැකගැනීමේ වැදගත්කම දෙසා බාන්නේ මේ තත්වය තුලයි. 

කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන් රැකගැනීමට හැකිවන සේ ධනපති ක්‍රමය ප්‍රතිසංස්කරනය කල නොහැකි ය. එහෙත්, ජවිපෙ දිවුරන්නේ එසේ කල හැකි බවට ය. ධනේශ්වර සංස්තාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය වී ඇති මෙම පක්ෂය ධනපති ක්‍රමයට හිසේ සිට දෙපතුලට ම ගැටගැසී ඇත.  

ජාතික ජන බලවේගය තුලින් ඉහල මධ්‍යම පන්තික ශාස්ත්‍රාලිකයන් හා වෘත්තිකයන් රොත්තක් පිරිවරාගෙන ධනපති ක්‍රමය ආරක්ෂා කිරීමට ජවිපෙ මෙලෙස ඉදිරිපත්වී සිටින්නේ, ධනපති ක්‍රමය පෙරලා දමා සමාජවාදී ක්‍රමයක් පිහිටුවා ගැනීමෙන් මෙපිට කිසිදු රටක කම්කරුවන්ට ප්‍රගතිශීලි විසඳුමක් අත්පත් කරගත නොහැකි තත්වයකයි. ධනපති ක්‍රමය මානව වර්ගයාට සතුරුව සිටින සැටි වසංගතයෙන් නග්නවම හෙලිදරවු කෙරී ඇති අතර, ලෝක සමාජවාදය සඳහා අරගලය අත්‍යවශ්‍ය කෙරී පවතී.  

මෙම අරගලයට සපුරා සතුරු ජවිපෙ, ධනපති පන්තියේ අත්ගෙඩියක් ලෙස ක්‍රියා කරයි.   

ලංකාව තුල සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම සඳහා, කම්කරු පන්තිය තමන් වටා පීඩිත දුගීන් රැලි කරගෙන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් කිරීමේ අවශ්‍යතාව, ඉහත කී අරගලයේ කොටසක් ලෙස මතුවී පවතී. සමාජවාදී සමානතා පක්ෂය පමනක්ම ලංකාව හා දකුනු ආසියාව තුල සමාජවාදය සඳහා මෙම සටන ගෙන යන සංවිධානයයි. 

Loading