ඉදිරිදර්ශන

ඩිමොක්‍රටිකයින් “එක්සත්කම” හා “සංහිඳියාව” ඉල්ලද්දී ෆැසිස්ට් ප්‍රචන්ඩත්වයේ වැඩෙන තර්ජන

පදවි ප්‍රාප්ති දිනයට සතියකට පෙර, මිලිටරි ඔත්තු සේවා හා රිපබ්ලිකන් පක්ෂය ජනවාරි 6 කුමන්ත්‍රන ප්‍රයත්නය සම්බන්ධ  වැදගත් තොරතුරු මහජනතාවගෙන් වසං කරමින් සිටින මොහොතේ, තව දුරටත් අන්ත දක්ෂිනාංශික ෆැසිස්ට් ප්‍රචන්ඩත්වයේ වැඩි වන්නා වූ තර්ජන පවතී.

රාජ්‍ය යාන්ත්‍රනය තුල ම අතිශය අස්ථාවරත්වයක් හා ගැටුමක් පවතී. ඊයේ පස්වරුවේ ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානී විසින් මිලිටරිය පුරා සංදේශයක් නිකුත් කරමින් කියා සිටියේ හමුදාවේ ස්ථාවරය වන්නේ බයිඩන් තේරී පත්ව ඇති බවයි. ඇමරිකානු ඉතිහාසයේ පෙර නොවූ විරූ අන්දමේ මෙම අපූරු සංදේශය පෙන්නුම් කරන්නේ මිලිටරි ප්‍රධානීන්ටම තම හමුදාවන් පාලනය කිරීමට හැකි වනු ඇති බවට විශ්වාසයක් නැති බව යි.

හමුදා සාමාජිකයන් “ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයෝගය දැක්විය යුතු අතර එය ආරක්ෂා කල යුතුය. ආන්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය කඩාකප්පල් කරන ඕනෑ ම ක්‍රියාවක් අපගේ සම්ප්‍රදායන්ට, සාරධර්මවලට හා දිවුරුමට පටහැනි වනවා පමනක් නො වේ. එය නීතියට විරුද්ධ” බව සංදේශය පවසයි. පසුගිය වසරේ මිලිටරි සමීක්ෂනයක් නිගමනය වූයේ හමුදා සාමාජිකයින්ගෙන් තුනෙන් එකක් ත්‍රිවිධ හමුදාව තුල ෆැසිස්ට් ක්‍රියාකාරකම් පෞද්ගලික ව දැක ඇති බව යි.

ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයෝ 2021 ජනවාරි 10 වන ඉරිදා වොෂිංටන්හි කොන්ග්‍රස් සභා ගොඩනැගිල්ල වට කර ඇති ඉතා ශක්තිමත් වැටවල් ඇතුලත සිටගෙන සිටිති. (AP ඡායාරූපය / ඇලන් ෆ්‍රම්)

කොලරාඩෝ ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සභික ජේසන් ක්‍රෝ, “යොදවා ඇති සාමාජිකයන්  ත්‍රස්තවාදීන්ට ආධාර නො කරන බව සහතික කර ගනු පිනිස” සමාරම්භක දිනය සඳහා වොෂිංටන් ඩී.සී. හි යොදවා ඇති ජාතික ආරක්ෂක සෙබලුන් 20,000 දෙනාගේ පක්ෂපාතිත්වය පිලිබඳ ව, සති අන්තයේ හමුදා ලේකම් රයන් මැකාති සමඟ  කතා කල බව පොලිටිකෝ සඟරාව වාර්තා කලේ ය. කෙසේ වෙතත්, විවිධ ප්‍රාන්ත අගනගරවල ට්‍රම්ප් ගැති උද්ඝෝෂනවල අපේක්ෂාව යන්නෙන් අදහස් වන්නේ, රට පුරා යොදවා ඇති සියලු ම ඒකක නිරීක්ෂනය කිරීමට නො හැකි වනු ඇති බව යි

තේරී පත් වූ නිලධාරීන්ට එරෙහි තර්ජනය ද වර්ධනය වෙමින් පවතී. උප ජනාධිපති පෙන්ස් හා කැබිනට් මන්ඩලය 25වන ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලා සිටිය හොත් ප්‍රචන්ඩ ක්‍රියා සිදු කිරීමේ හා එමෙන් ම ජනවාරි 20වන දින සමාරම්භක උත්සවය කඩාකප්පල් කිරීමේ  දක්ෂිනාංශික කුමන්ත්‍රනයක් පිලිබඳ ව බුද්ධි අංශ නිලධාරීන් සඳුදා රාත්‍රියේ තමන්ට දැනුම් දුන් බව කොන්ග්‍රස් ඩිමොක්‍රටිකයෝ අනාවරනය කලෝ ය.

ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සභික කොනර් ලැම්බ් සීඑන්එන් ප්‍රවෘත්ති සේවයට මෙසේ පැවසී ය:

ඔවුන් කතා කරමින් සිටියේ කොන්ග්‍රස් සභා ගොඩනැගිල්ල වට කර කිසිදු ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු එයට  ඇතුලුවීම වැලක්වීම සඳහා සන්නද්ධ දේශප්‍රේමීන් 4,000 ක් ගැන. ඔවුන් ඔබ වෙඩි තැබිය යුත්තේ කොයි වෙලාවේ ද, නැත්තේ කොයි වෙලාවේ ද යන්න අඟවන, සටන් නීති ප්‍රකාශ කර තියෙනවා. ඒ  නිසා  මේක සැලැස්මක් තියෙන සංවිධානාත්මක කන්ඩායමක්.

හෆින්ටන් පෝස්ට් වාර්තාවකට අනුව, ආරක්ෂක නිලධාරීන් පැවසුවේ “සමාරම්භක උත්සවයට පෙර කොන්ග්‍රසයේ සෑම සාමාජිකයෙකු ම ලෝහ අනාවරකයක් හරහා ඇතුලු කිරීමේ අවශ්‍යතාවයක් ඇති” බව සහභාගිවන්නන්ට දැනුම් දුන් බව යි. එක් කොන්ග්‍රස් සභිකයෙකු හෆින්ටන් පෝස්ට් පුවත්පතට පැවසුවේ, මෙය “ඇස් අරවන සුලු වටහා ගැනීමකට” තුඩු දුන් බවත්, “තුවක්කු රැගෙන යාමට ප්‍රිය කරන කැරලිකරුවන් සමඟ සන්ධානගතව සිටින මේ සියලු සාමාජිකයන්” බයිඩන්, උප ජනාධිපතිනි කමලා හැරිස් හා කොන්ග්‍රස් ඩිමොක්‍රටිකයින්ගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි බවත් ආරක්ෂක නිලධාරීන්ට දැනුනු බව යි.

මෙම තර්ජන නො තකා, එෆ්බීඅයි හා අධිකරන දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ ඇඟ බේරාගැනීමේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, එහි දී ජනවාරි 6වන දින සිදුවීම පිලිබඳ පූර්ව දැනුවත්කම සඟවමින් අදාල බලධාරීන් කියා සිටියේ මෙය පොදු“වැරදි වැටහීම්වල” ප්‍රතිඵලයක් බව යි. ප්‍රමුඛ පෙලේ එෆ්බීඅයි හා අධිකරන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව නො සලකා හැරියේ, එය පහල මට්ටමේ යටත් නිලධාරීන්ට භාර කරමිනි. පසුගිය බදාදා ඇති වූ කෝලාහලයෙන් පසු ව එෆ්බීඅයි අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් රේ ප්‍රසිද්ධියේ පෙනී නො සිටියේ ය.

වොෂිංටන් පෝස්ට් ලිපියක් ඊයේ හෙලි කලේ කොන්ග්‍රස් සභා ගොඩැනිගිල්ලට වටකිරීමේ ෆැසිස්ට් සැලසුම්වල අසාමාන්‍ය අන්තරාය ගැන එෆ්බීඅයි හොඳින් දැන සිටි නමුත් එයට පියවර ගැනීම  ප්‍රතික්ෂේප කල බවයි. “ තර්ජනාත්මක ප්‍රචන්ඩත්වය පිලිබඳ ඇඟවීමක් නොවීය යන ප්‍රකාශයන්ට පටහැනි ව, එෆ්බීඅයි වාර්තාව කොන්ග්‍රස් සභා ශාලාවේ ‘යුද්ධය’ ගැන අනතුරු ඇඟ වීය,” යන ශීර්ෂය යටතේ පලවූ ලිපිය, “ප්‍රචන්ඩත්වය සඳහා නිශ්චිත කැඳවීම්” ගැන අනතුරු අඟවන, වර්ජීනියා ප්‍රන්තයේ නොර්ෆෝක් හි සිය කාර්යාලයේ වාර්තාවක් උපුටා දක්වයි. 

අන්ත දක්ෂිනාංශික මැර පිරිස කාමර පසු කර යද්දී, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සන්නද්ධ භටයින් 50දෙනෙකු කැපිටල් ගොඩනැගිල්ලේ සිට  ගොඩැනිගිලි 13ක් ඔබ්බේ නිකරුනේ ගැවසුන අතර ඔවුන් මැදිහත්වීමට අසමත් වූ බව ද එන්බීසී ඊයේ වාර්තා කලේ ය. ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ චැඩ් වුල්ෆ් සඳුදා පූර්ව දැනුම්දීමකින් තොරව ඉල්ලා අස්වූයේ සාපේක්ෂව අප්‍රසිද්ධ මධ්‍යම ආන්ඩුවේ හදිසි කලමනාකරන ඒජන්සියේ (ෆෙමා) පරිපාලක පීට් ගයිනර් එම දෙපාර්තමේන්තුව භාරකාරත්වයට ඇද දමමිනි.

ඊයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ප්‍රචන්ඩත්වයේ තර්ජනය කිරීමක් ලෙස පමනක් නම් කල හැකි වර්ගයේ කතාවක් කලේ ය. ටෙක්සාස් හි රැලියක් සඳහා පිටත්ව යාමට පෙර, ධවල මන්දිරයේ වාර්තාකරුවන් අමතමින් ට්‍රම්ප් කුමන්ත්‍රන ප්‍රයත්නය උසිගැන්වීමේ තම කතාව “මුලුමනින්ම උචිත” යැයි පැවසූ අතර බදාදාට සැලසුම් කෙරුනු දෝෂාභියෝග ඡන්දය “අපේ රටට ඉමහත් අනතුරක් හා දැඩි කෝපයක් ඇති කරවන” බවට අනතුරු ඇඟවීය. මැරවරයෙකු තමන්ගේ ගොදුර අමතන්නාක් මෙන්, “මට ප්‍රචන්ඩත්වයක් අවශ්‍ය නැත” යි ඔහු තවදුරටත් පැවසී ය.

ටෙක්සාස් හි දී, ට්‍රම්ප් මිලිටරීකෘත එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමා තාප්පයේ සිට යාර කිහිපයක් ඔබ්බේ යුදමය ස්වරූපයක් ගත්, දැල් ආවරවලින් වැසුනු වේදිකාවක් මත සිට කතා කලේ ය. “25 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මට කිසිම අවදානමක් නැති නමුත්, එය ජෝ බයිඩන් හා බයිඩන් පරිපාලනය පසුපස හඹා එනු ඇත. ඔබ ප්‍රාර්ථනා කරන දේවල් ගැන පරිස්සම් වන්න”යි ඔහු පැවසුවේ ය.

ඒ අතරම, පදවිප්‍රාප්ති දිනයට පසු තමා ධුරයේ නො සිටී නම් තම තනතුර දෙස ඇස ගසාගෙන ට්‍රම්ප්, “සංහිදියාව” සඳහා අනෙකුත් රිපබ්ලිකානුවන්ගේ ඉල්ලීම් ප්‍රතිරාවය කලේය. ඔහු තමාට දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා කොන්ග්‍රසය ගෙන ඇති පියවර හෙලා දුටුවේ, “අපේ ජාතිය සංහිඳවීමට දැන් කාලය පැමින තිබේ” යැයි කියමිනි.

“සංහිඳියාව” සහ “සාමය හා සන්සුන්කම” සඳහා වූ කැඳවීම බයිඩන්ගේ නායකත්වයෙන් යුත් ඩිමොක්‍රටික් පක්ෂ නිලධාරීන්ගේ ප්‍රකාශයන්ට සමාන ය. දෝෂාභියෝග විමර්ශනය - හා ජනවාරි 6 සිදුවීම් පිලිබඳ කිසියම් හෝ පරීක්ෂනයක් - අවලංගු කරන ලෙස බයිඩන් කොන්ග්‍රසයෙන් ඉල්ලා සිටියේ, ඒ මගින් තම පරිපාලනයට ජාතික ආරක්ෂක කැබිනට් තනතුරු පුරවා ඇමරිකානු අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තිය නිවැරදි දිසාවට හැරවිය හැකි බව ඉඟි කරමිනි.

“පදවි ප්‍රාප්ති දිනයේ, එනම් එලඹෙන බදාදා වන විට තනතුරු සහතික කරගැනීමේ අරමුන සහිත ව,  ඔහුගේ ඉහලම ජාතික ආරක්ෂක නියෝජිතයින් ඉක්මනින් ස්ථීර කිරීමට ඔහුට සහාය දීමට සෙනෙට් සභා රිපබ්ලිකානුවන් පෙලඹවීමට තනතුරු හුවමාරු කන්ඩායම බලාපොරොත්තු වෙයි” යි නිව් යෝක් ටයිම්ස් පුවත්පත ඊයේ වාර්තා කලේ ය. 

එලඹෙන බයිඩන් ආන්ඩුවේ මාධ්‍ය ලේකම් ජෑන් සාකි සමඟ ඊයේ පැවති සම්මුඛ සාකච්ඡාවක් උපුටා දක්වමින් වොෂිංටන් පෝස්ට් වාර්තා කලේ, “බයිඩන් සහ ඔහුගේ උපදේශකයෝ රටේ පක්ෂග්‍රාහී කුලප්පුව සමහන් වනු ඇතැයි යන ඔහුගේ විශ්වාසයේ තදින්ම එල්බ සිටිති. පසුගිය සතියේ කොන්ග්‍රස් ශාලා ප්‍රහාරයෙන් පසුව පවා ඔහු කොංග්‍රස් මන්ඩල රිපබ්ලිකානුවන් බහුතරයක් මැතිවරන ප්‍රතිඵල  අවලංගු කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් උත්සුක නො වෙන බව ඔහු වටා සිටින අය පවසති” යනුවෙනි.

බයිඩන් සමඟ සමීප සබඳතා ඇති උපදේශන සමාගමක ප්‍රධානී හිලරි රොසෙන්ගේ අදහස් උපුටා දක්වමින් පෝස්ට් පුවත්පත සඳහන් කලේ,  බයිඩන් “සංහිදියාව සඳහා වන ඔහුගේ කැපවීම වඩාත් බැරෑරුම් ලෙස සලකන” නිලධාරීන් තම පරිපාලනයේ තනතුරු සඳහා පත් කරමින් සිටින බවයි. 

මැතිවරනය වංචා කර ඇති බවට වන බොරුව නීත්‍යානුකූල කිරීම මගින් ට්‍රම්ප්ට දේශපාලන ආවරනයක් ලබා දුන් ඉහල රිපබ්ලිකානුවන් ද ඇතුලු ව ජනවාරි 6 කුමන්ත්‍රනය පිටුපස ඇති බලවේග පිලිබඳ පුලුල් විමර්ශනයකට බයිඩන් නිරන්තරයෙන් විරුද්ධ වී ඇත. පසුගිය සතියේ ඔහු “ශක්තිමත්” රිපබ්ලිකන් පක්ෂයක අවශ්‍යතාවය අවධාරනය කල අතර, සෙනෙට් සභිකයින් වන ටෙඩ් කෘස් හා ජොෂ් හව්ලි වැනි ඉහල පෙලේ ට්‍රම්ප් ආධාරකරුවන් අස් විය යුතු බවට කෙරුනු ඉල්ලීම් ප්‍රතික්ෂේප කලේ ය.

මෙම ප්‍රකාශ පාලක පන්තියේ සටන් වදිමින් සිටින කන්ඩායම් ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයේ කන්ඩායමට වඩාත් අන්ත දක්ෂිනාංශය ඒකාබද්ධ කරනු ඇති සම්මුතියක් සකස් කිරීමට සූදානම් වන බවට අනතුරු ඇඟවීමකි.

මිචිගන් ආන්ඩුකාර ග්‍රෙට්චන් විට්මර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට බලමුලු ගැන්වූනු  බලවේග ප්‍රවර්ධනය කරනු ලැබුවේ, සංගත නිෂ්පාදනය හා ලාභය මත කොරෝනා වෛරසය හේතුවෙන් යම් හෝ සීමාවන් පැනවීමට විරුද්ධ වූ පාලක පන්තියේ සිටින බලවත් බලවේග විසින්ය. මෙම “ආපසු වැඩට දැක්කීමේ” ව්‍යාපාරයට ද්වි පාර්ශවීය සහයෝගයක් තිබුනි.

එකඟත්වයක් පිලියෙල කරනු ලැබේ නම්, එය සංගත දේශපාලන-මාධ්‍ය සංස්ථාපිතයේ ඒකමතික ප්‍රශංසාවට ලක් වනු ඇත, ඔවුන්ගේ ඉලක්කය වන්නේ වාර්තාගත සංගත  ලාභ පවත්වා ගැනීම සහ වසංගතය මධ්‍යයේ කම්කරුවන්ට නැවත වැඩට යාමට බල කිරීමයි. මෙම මූලික ගතිකය පෙන්වන්නේ මෙම ක්‍රියාවලියේ ඉලක්කය වන්නේ කම්කරු පන්තිය බවයි.

සමාජවාදී ක්‍රිමාර්ගයක් සඳහා කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීමක් නොමැති විට, එවැනි පිලියෙල කර ගැනීමකට ඊටත් වඩා විශාල අපරාධ සඳහා සූදානම් විය හැකිය. “ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වනු! දේශපාලන මහ වැඩවර්ජනයකට සූදානම් වනු! ” යන ජනවාරි 12වන දින තම ප්‍රකාශනයේ  සමාජවාදී සමානතා පක්ෂය මෙසේ සඳහනක් කලේ ය.

දේශපාලනික අපරාධකාර ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෙනෙට් සභාව හා කොංග්‍රසය තුල ඔහුගේ රිපබ්ලිකන් පක්ෂ ආධාරකරුවන් විසින් පොලඹවනු ලබන අන්ත-දක්ෂිනාංශික දාමරික කල්ලි විසින් වොෂින්ටන් ඩීසී වේවා රටපුරා ප්‍රාන්ත අගනුවරවල් වේවා, ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයන්ගේ ජීවිතවලට තර්ජනය කිරීමටත් ආන්ඩුවේ ගොඩනැගිලි හා අනෙකුත් මූලෝපායික ස්ථාන අත්පත් කරගැනීමටත් දරන උත්සාහයන්ට, මහා වැඩ වර්ජනයක් දියත් කරමින් කම්කරු පන්තිය සිය ප්‍රතිචාරය දැක්විය යුතු ය.

සිදුවීම් මෙම ඇමතුමේ හදිසිභාවය සනාථ කර ඇත. කම්කරුවන්ගේ ස්වාධීන මැදිහත්වීම, 2021 ජනවාරි 6 කුමන්ත්‍රනයේ සියලු අංශ හා ෆැසිස්ට් ප්‍රචන්ඩත්වයේ ඉදිරියට යමින් තිබෙන උසිගැන්වීම් පිලිබඳ ව පූර්න හා විවෘත පරීක්ෂනයක් සඳහා වන ඉල්ලීම සමඟ ඒකාබද්ධ කල යුතු ය.

[මෙම ඉදිරිදර්ශනය ජාත්‍යන්තර සංස්කරනයේ ජනවාරි 13 දින  පල විය.]

Loading