දෙමල ජාතිකවාදී පක්ෂය කොලඹ ආන්ඩුවේ කොටස්කරුවෙකු සමග පෙල ගැසෙයි

උතුරේ පලාත් පාලන සභා දෙකක අයවැය පරාද වීමෙන් පසු, උග්‍ර දෙමල ජාතිකවාදී පක්ෂයක් වන දෙමල ජාතික ජනතා පෙරමුනේ (ටීඑන්පීඑෆ්) එම ආයතනවල මන්ත්‍රී කන්ඩායම ආන්ඩුවේ කොටස්කාරයෙකු වන වන ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය (ඊපීඩීපී) සමග එක් ව, දෙසැම්බර් 30 දා, එම පලාත්පාලන ආයතන දෙකේ බලය තහවුරු කර ගෙන ඇත. 

යාපනය මහ නගර සභාව සහ නල්ලූර් ප්‍රාදේශීය සභාව පාලනය කල දෙමල ජාතික සන්ධානයට (ටීඑන්ඒ) පසු ගිය වසරේ අග පැවති රැස්වීම්වලදී 2021 වසර සඳහා වන අයවැය සම්මත කර ගත නොහැකි විය. මෙයින් පසු ව, ටීඑන්පීඑෆ් පක්ෂයෙන් දැන් නෙරපා හරිනු ලැබ ඇති පක්ෂයේ උප සභාපතියෙකු වූ මනිවන්නන් එම පක්ෂයේ ම නාගරික සභා මන්ත්‍රීවරුන් දස දෙනෙකුගේ සහයෝගය සහ ඊපීඩීපී ආධාරයෙන් නගරාධිපති බවට පත්ව විය.

ඒ හා සමානව මනිවන්නන්ගේ ආධාරකරුවෙකු ද නල්ලූර් ප්‍රදේශීය සභාවට තරඟ කලේ ය.  ඊපීඩීපී සහාය ඇති ව ඔහු ද එහි සභාපති තනතුරට පත් ව ඇත. ඔවුන් පෙල ගැසුනේ මේ පලාත් පාලන ආයතන දෙකේ සභාපතියන් ලෙස එතෙක් සිටි තවත් අපකීර්තියට පත්ව ඇති පක්ෂයක් වන දෙජාස සභාපතියන් දෙදෙනා ඉවත්කර දැමීමටයි.

ඩග්ලස් දේවානන්ද (WSWS media)

ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු (ශ්‍රීලංපොපෙ) ආන්ඩුවේ ඇමැතියෙකි. මෙම පක්ෂයට පසුගිය කොලඹ  ආන්ඩු කිහිපයක ද කොටස්කරුවෙකු වීමේ පමනක්  නොව, ලංකාවේ හමුදාව සමග මෙන්ම 1987-1990 ඉන්දියානු ආක්‍රමනික හමුදාව සමග ද පැරා මිලිටරි කන්ඩායමක් ලෙස වර්ගවාදී යුද්ධයේ දිගුකාලින කොටස්කරුවෙකු ලෙස ක්‍රියා කිරීමේ වාර්තාවක් ඇත. 

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සමග මනිවන්නන් (දකුනේ) (WSWS media)

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් නායකත්වය දරන ටීඑන්පීඑෆ් හි මෙම පෙලගැසීම එම පක්ෂයේ ජාතිකවාදී දේශපාලනය හෙලිදරවු කර ඇති තවත් දේශපාලන වර්ධනයකි. ඔහුගේ පක්ෂයේ මෙම උපාමරුවෙන් ශක්තිමත් කරනු ලැබ ඇත්තේ, ඒකාධිපතිත්වයක් සඳහා මිලිටරිය තර කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට සහයෝගය දෙන බලවේගයි.    

පොන්නම්බලම් තමන්ට එල්ල වන විවේචනවලින් මුහුන බේරා ගැනීම සඳහා ඊපීඩීපී සමඟ මෙම පලාත් සභා දෙකේ මනිවන්නන් සමග එක්වූ ටීඑන්පීඑෆ් සාමාජිකයින් 13 දෙනා පක්ෂයෙන් නෙරපා හරින බවට ව්‍යාජ නිවේදනයක් කර ඇත. 

පොන්නම්බලම් බොහෝ විට තමන්  වෙනම ප්‍රතිපත්තියක් ගෙනයන බවක් පෙන්නුම් කිරීම සඳහා ඊපීඩීපීය “ආන්ඩුවට එල්ලී සිටින පරපුට්ටන්” ලෙස හෙලා දකිතත්, මීට පෙර ඔහුම ද දේශපාලන ආයතනවල බලය තහවුරු කර ගැනීමට ඊපීඩීපීය සමග පෙරමුනු යෝජනා කල අවස්ථා ද ඇත. 

ඉහත සිදුවීම්, සියලුම දෙමල ජාතිකවාදී ධනේශ්වර පක්ෂවල දේශපාලන බංකොලොත්භාවය සහ ඒවා වඩවඩාත් දකුනට ගමන් කිරීමේ තවත් ප්‍රකාශනයකි.  ඒ සමගම, මෙම සිදුවීම් දෙජාස එහි නායකත්වයේ සිටින ඉලංගෛ තමිල් අරසු කච්චි (අයිටීඒකේ) සහ ඒවාට විකල්පයක් වශයෙන් ඉදිරිපත් වෙන ටීඑන්පීඑෆ් පක්ෂ තුල  අභ්‍යන්තර කා කොටා ගැනීම් ඉහල මට්ටමකට නංවා ඇත. 

2010 මුල දෙජාසයෙන් වෙන්වූ සමස්ත ලංකා දෙමල කොන්ග්‍රසය (ඒසීටීසී) ගජ‍ෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ගේ නායකත්වයෙන් ටීඑන්පීඑෆ්  පිහිටු වූයේ ය. 2001 දී අයිටීකේ ප්‍රධානත්වයෙන් දෙමල ජාතිකවාදී පක්ෂ සන්ධාන ගතවූයේ, එක්සත් ජනපදයේ ආධාරයෙන්  එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ  කොලඹ ධනපති පන්තියේ කන්ඩායමක්  එල්ටීටීඊය සමග සාම සාකච්චාවලට එලැඹීමට සූදානම් වෙමින් සිටි තත්වයේදී ඊට සහයෝගය දීමටයි. 

ලංකාවේ හමුදා, දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් රුදුරු ඝාතයකට ලක්කරමින් 2009 මැයි එල්ටීටීඊය පරාජය කිරීමෙන් වැඩිකල් යන්නට පෙර ආර්. සම්බන්දන් ප්‍රමුඛ දෙජාසයේ නායකයින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සම්මුතියකට මානබැලීය. පොන්නම්බලම් ප්‍රමුඛ ඒසීටීසී නායකයින්  දෙජාසයෙන් බිඳී ටීඑන්පීඑෆ් පිහිටුවූයේ මේ තත්වය තුලය. 

යුද්ධය ලේ වැකි අවසානයකට ගෙන ආ රාජපක්ෂ ආන්ඩුව සමග පෙල ගැසීමෙන් මහජනයා ගේ ඇස් ඉදිරියේ නින්දාවට පත්වෙතැයි ගනන් බැලූ පොන්නම්බලම් ප්‍රමුඛ කන්ඩායම ටීඑන්පීඑෆ් පිහිටුවා තමන් බංකොලොත් දෙමල ජාතිකවාදයේ නියම ආරක්ෂකයන් බව පෙන්වීමට තැත් කලහ. එහෙත් අයිටීඒකේ සමග ඊට කිසිදු අති මූලික  දේශපාලන මතභේදයක් නොවීය. මේ දෙපාර්ශ්වයම, එල්ටීටීඊය මෙන්ම අධිරාජ්‍යවාදීන්ගේ හා කලාපයේ බලවතා වන ඉන්දියාවේ සහායෙන්  හා ඒවාට සේවය කරමින් දෙමල ප්‍රභුවේ  වරප්‍රසාද අත්පත් කරගැනීමට උත්සුක වූහ. 

2010 පක්ෂය පිහිටුවා ටික දිනකට පසු පොන්නම්බලම් මාධ්‍යට ප්‍රකාශ කලේ තමන් දෙජසයේ ආරම්භක මුලධර්ම ඉදිරියට  ගෙන යන බවයි:  “දෙජාස ආරම්භක මුලධර්ම නම් ස්වයං-නිර්නය, ස්වාධිපත්‍යය සහ මාතෘ භුමිය යන්නයි. ..ඒවා අත්පත් කරගැනීමට ඉන්දියාව සහ ජාත්‍යන්තර ප්‍රජාව සමග” මිත්‍රශීලිව ක්‍රියා කරන බව කි ඔහු “ජාත්‍යන්තර ප්‍රජාව රාජපක්ෂ ආන්ඩුවට පීඩනය දමනවා. අපි එය පාවිච්චි කල යුතුයි” යනුවෙන් කියා සිටියේය.   

දෙජාස, යුද්ධය අවසන්වී වැඩිකල් යන්නට මත්තෙන්, රාජපක්ෂ ආන්ඩුවට එබිකම් කරන ගමන්ම ඇමරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා  චීනයට එරෙහිව ඉදිරිපත් කල ”ආසියාවට හැරීමේ” පිලිවෙතට සහාය දෙන දෙමල පක්ෂ අතර ප්‍රමුඛයා විය. මෙම හැරීම, 2015  ජනවාරි මාසයේ ජනාධිපතිවරනයේදී  රාජපක්ෂ බලයෙන් ඉවත්කර එතැනට මෛත්‍රිපාල සිරිසේන ගෙන ඒමට ඇමරිකාව දියත්කල තන්ත්‍ර මාරු මෙහෙයුම දක්වා ඉදිරියට ගියේය. එතැන් සිට දෙජාස  සිරිසේන-වික්‍රමසිංහ 'යහපාලන' ආන්ඩුවේ ප්‍රමුඛ අරක්ෂකයා වූ අතර වොෂින්ටනයේ චීන විරෝධී භූදේශපාලන ධාවනයේ සහයෙකයෙකු ලෙස ඉස්මතුවී සිටී. 

දෙජාසය  පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දුන් නමුත් රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු එය සමග සම්මුතියකට ද මාන බැලීය.  වටමේස සාකච්චා වලට රිංගමින් කොවිඩ්-19 වසංගතය මැඩීමේ මුවාවෙන් ගෙනයන වැඩපිලිවෙලට සහයෝගය දෙමින් දෙජසාය  ආන්ඩුවේ අත් ශක්තිමත් කිරීමට  ක්‍රියාකර ඇත.

ටීඑන්පීඑෆ් යම් උපායික වෙනස්කම් සහිතව තම දේශපාලනය ගෙන යමින් සිටී. පොන්නම්බලම් 2015 ජනාධිපතිවරනයේ දී සිරිසේනට චන්දය දීමෙන් වැලකී සිටින ලෙස ප්‍රකාශ කලේ එක්සත් ජනපද භූදේශපාලන මූලෝපාය කෙරෙහි ප්‍රශ්නයක් නිසා නොව කොලඹ පාලකයන්ට එරෙහි බවක් පෙන්වමින් දෙමල මහජනයා අතර පවතින විරුද්ධත්වය ගසා කෑම සඳහාය. වේගයෙන් අපකීර්තියට පත්වන දෙජාස අභිබවා ගෙන පදනමක් දමා ගැනීමට ඔහුට අවශ්‍ය විය. ඔහු 2019 ජනාධිපතිවරනයේ දී ද චන්ද වර්ජනයක් යෝජනා කරමින් උපාමරුවක යෙදුනේය. 

එහෙත් ඔහු, එක්සත් ජනපදය හා එහි දකුනු  ආසියාවේ මූලෝපායික සහකරුවන ඉන්දියාව, චීනයට එරෙහිව ගෙනයන යුද මූලෝපායික ධාවනයෙන් වාසි ඩැහැගැනීම සඳහා ක්‍රියාකලයුතු  බව දෙමල ජාතිකවාදී පක්ෂ නිරන්තරයෙන් අවධාරනය කරයි.    

මෙම පක්ෂවල  අර්බුදය දෙජාස තුල තියුනුව ප්‍රකාශයට පත්ව ඇත. පසුගිය අගෝස්තු මහා මැතිවරනයේදී ලද බරපතල පසුබැසීම් නිසා එහි වගකීම එකිනෙකා මත පටවමින් සුමන්තිරන් හා සේනාධිරාජා ප්‍රමුඛ කල්ලි ගැටෙති. 

2015 මැතිවරනයේදී දෙජාස චන්ද 515,963ක් එනම් රටේ මුලු  චන්ද වලින්  සියයට 4.62 ලබා ගත්ත ද පසුගිය මැතිවරනයේ දී ඊට ලබා ගත හැකිවූයේ 327,168 හෙවත් සියයට 2.8ක් පමනි.  2015 දී දිනූ ආසන සංඛ්‍යාව 16 ක් වූ අතර 2019 දී එය 10ට බැස්සේය.  

දෙමල ධනපතියන්ගේ ප්‍රධාන පක්ෂය ලෙස සම්ප්‍රදායිකව සැලකෙන අයිටීකේ සහ එහි නායකත්වයෙන් පවතින දෙජාස, පසුගිය වසර කිහිපයේ පතුරු ගොස් තිබේ. එහි බරපතල පසුබැස්ම එය දෙමල කම්කරුවන් හා දුගීන් අතර අපකීර්තියට පත්වීම පෙන්නුම් කරයි. 

මෙලෙසම, සිංහල ධනපති පන්තියේ සම්ප්‍රදායික සංවිධාන ලෙස මාරුවෙන් මාරුවට රට පාලනය කල එක්සත් ජාතික පක්ෂය  හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒවායේ ඓතිහාසික අර්බුදය පෙන්නුම් කරමින් පසුගිය මැතිවරනයේ දී අන්ත කුජිත තත්වයකට පත්විය.  

දෙජාසයෙන්  බිඳී උතුරු පලාත් සභාවේ  මහා ඇමති සි.වී.විග්නේස්වරන් ඇටවූ දෙමල ජාතික පෙරමුන හා ටීඑන්පීඑෆ් මැතිවරනයේදී  ආසන එක බැගින් දිනා ගැනීමට සමත් වුව ද ඒවා කෙරෙහි මහජනයා අතර ඇත්තේ අප්‍රසාදයකි.  

යුද්ධයේ දී මරා දැමුනු ජනයා, අතුරුදහන් වූවන්, දේශපාලන සිරකරුවන්, යුද්ධයේ දී සිදුකෙරුනු ව්‍යසනයන් නිසා ඇතිකර  තිබෙන දරුනු  සමාජ ප්‍රශ්න ගැන මේ පක්ෂ විටින්විට කරන ප්‍රකාශ මහජන කෝපය වාෂ්පකිරීමේ මවාපෑම්ය. 

ලෝක ධනවාදයේ අර්බුදය කෝවිඩ්19 වසංගතය මගින් උත්සන්න කර ඇති තත්වයේදී, දෙමල පක්ෂ මෙන්ම දකුනේ  ධනපති  තමන්ට සතුරු සංවිධාන ලෙස කම්කරුවන් හා දුගීන් ඉදිරියේ වඩාත් නිරුවත් ව සිටී.     

දෙමල ජාතිකවාදී පක්ෂ දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කිසිසේත්ම නියෝජනය නොකරන බවත් කොලඹ  ආන්ඩු හා ධනපති පන්තිය සමග දිවයිනේම කම්කරු පන්තියට හා දුගීන්ට එරෙහිව කුමන්ත්‍රනයේ යෙදෙන බවත් යලියලිත් ප්‍රකාශයට පත්ව ඇත. එහි ප්‍රතිගාමී කුලුගැන්වීම නම් එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ යුද මුලෝපායට සහාය දෙමින් තම වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කරන උපකරන බවට ඒවා පත්වීමයි. 

ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වෛරසය සීඝ්‍රයෙන් පැතිරීමේ සන්දර්භය තුල,  විශාල සමාගම්වල ලාභය ආරක්ෂා කිරීම සඳහා කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට කැඳවීමට සහ පාසල් නැවත විවෘත කිරීමට ආන්ඩුව ගෙන ඇති පියවරයන්ට දෙමල පක්ෂ මුලුමනින්ම සහාය දෙති. 

ජනාධිපති රාජපක්ෂ පාලනය වර්ධනයවන කම්කරුවන්ගේ අරගල තලා දැමීම සඳහා මිලිටරිය මත පාදකවූ ආඥාදායක පාලනයක් සඳහා වේගයන් පියවර ගනිමින් දෙමල හා මුස්ලිම් විරෝධී ප්‍රකෝපකාරීතත්වයක් ඇවිස්සීමට උඩගෙඩි දෙමින්  සිටී. කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා දුර්වල කිරීම ආන්ඩුවට අවශ්‍යය. මීට අනුපූරකව, දෙමල පක්ෂවල ජාතිකවාදී ප්‍රචාර සේවය කරන්නේ, උතුරු-නැගෙනහිර කම්කරුවන් දකුනු පලාත්වල සිය පන්ති සගයන්ගෙන් භේද කිරීමටයි.   

දෙමල කම්කරුවන්, දුගීන් හා තරුනයන්  දෙමල ජාතිකවාදය හා එය තොරම්බල් කරන ධනපති පක්ෂ ප්‍රතික්ෂේප කල යුතුය. දෙමල ජනතාවට එරෙහි වාර්ගික වෙනස්කම් අහෝසිකොට ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් තහවුරු කිරීම අධිරාජ්‍යගැති ධනපති පන්ති පාලනය පෙරලා දැමීම හා සමාජවාදය සඳහා සටන් කිරීම සමග බැඳී ඇත.

දෙමල, සිංහල හා මුස්ලිම් කම්කරුවන්ගේ ජාත්‍යන්තරවාදී එකමුතුව තහවුරු කරගනිමින්  ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් කිරීම කම්කරුවන් හා තරුනයන්  ඉදිරියේ ඇති ක්‍රියාමාර්ගයයි. මෙම අරගලය දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසකි. 

Loading