ඉදිරිදර්ශන

වසංගතය සහ ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන උත්සාහය

එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝගයෙන් බදාදා (13) දිනයේ 4,100 ක් මිය ගිය අතර, ඒ මරන සංඛ්‍යාව 4,000 ඉක්මවා ගිය පස්වන දිනයයි. මේ වසරේ මේ දක්වා සෑම දිනකම දිනකට නව රෝගීන් සංඛ්‍යාව 200,000 කට වඩා වැඩි වී තිබේ.

2021 මුල් සති දෙක තුල එක්සත් ජනපදයේ පුද්ගලයින් 43,000 කට වැඩි පිරිසක් කොවිඩ්-19 වලින් මියගොස් ඇති අතර ඉදිරි සති තුන තුල තවත් 90,000 ක් පමන මිය යා හැකි බව රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථානය (සීඩීසී) කියා සිටියි.

ගෝලීය වශයෙන්, මරන සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ඇත. කෙසේ වෙතත්, නිල සංඛ්‍යාලේඛන මගින් බිහිසුනු යථාර්ථය පිලිබඳ අසම්පූර්න චිත්‍රයක් පමනක් ලබා දෙන අතර, එක් මෑත විශ්ලේෂනයකින් පෙන්නුම් කරන්නේ ලොව පුරා “වැඩිපුර මරන”, නිල කොවිඩ්-19 මරන සංඛ්‍යාවට වඩා සියයට 30 කට වඩා වැඩි බවයි.

මේ වන විටත් විනාශකාරී මට්ටම් වල පවතින මරන හා ආසාදන ප්‍රමානයන් ගැන දැනුවත් කමක් තිබියදී, විශේෂඥයන් අනතුරු අඟවන්නේ කොවිඩ්-19 හි නව, වඩාත් බෝවන ප්‍රභේදයන් ඊටත් වඩා විශාල මට්ටමින් මරන වැඩිකිරීමට හේතු වනු ඇති බවයි. ස්ටැට් නම් වෛද්‍ය සඟරාවේ ලිපියක් බ්‍රහස්පතින්දා සඳහන් කලේ, “එක්සත් ජනපද කොවිඩ් -19 පුපුරා යාම මේ වන විට බිහිසුන ලෙස පෙනෙන මුත්, එය නිසැකවම වඩාත් නරක අතට හැරෙනු ඇත.”

වාර්තාව තවදුරටත් කියා සිටියේ, “එය දකුනු අප්‍රිකාව, එක්සත් රාජධානිය, සහ ඉන් ඔබ්බට ගමන් කර ඇති අතර, දැන්, කොරෝනා වෛරසයේ නව, වඩාත් බෝවන ප්‍රභේදයන් එක්සත් ජනපදයට පා තබා ඇත. එය මෙයින් ඔබ්බට ගියහොත් - එහි සම්ප්‍රේෂන හැකියාව හේතුවෙන් සහ ඇමරිකානුවන් වේගයෙන් එහි ව්‍යාප්තියට තිරිංගයක් නොදමන්නේ නම් - අර්බුදය අවසන් කිරීම සඳහා දැනටමත් හාරා ගැනීමට සිදුව ඇති ඉතා ගැඹුරු වලෙහි බෝම්බයක් පුපුරා යනු ඇත.”

ජනවාරි 6 වන දින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උසිගන්වන ලද ෆැසිස්ට් කැරැල්ලෙන් පසුව, එක්සත් ජනපදයේ පෙර නොවූ විරූ දේශපාලන අර්බුදයට සහ ජනවාරි 20 වන දින සමාරම්භක දිනයේ හෝ ඊට පෙර රට පුරා ය හැකි ෆැසිස්ට් ප්‍රචන්ඩත්වයේ තර්ජනවලට සමගාමීව මෙම දැවැන්ත සෞඛ්‍යමය ව්‍යසනය සිදුවෙමින් පවතී.

කෙසේ වෙතත්, වොෂිංටනයේ සිදුවීම් පිලිබඳව ජනමාධ්‍යවල නිමක් නැති ආවරනයන් මධ්‍යයේ, මේ දෙක සම්බන්ධ කිරීමට කිසිදු උත්සාහයක් නොමැත. එය ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කනපිට හැරීමට ට්‍රම්ප් දැරූ උත්සාහය, පසුගිය වසර පුරා ආන්ඩුවේ ප‍්‍රතිපත්තියේ කේන්ද්‍රීය අංගයට, එනම්, වෛරසය පැතිරීම නැවැත්වීමට කිසිදු පියවරක් නොගත යුතු බව අවධාරනය කිරීමට කිසිදු සම්බන්ධයක් නොදක්වන්නාක් මෙනි.

ට්‍රම්ප් විසින් පසුගිය වසර පුරා පෝෂනය කරන ලද ෆැසිස්ට් සංවිධානවල ප්‍රධාන සැලසුම් සහගත ඉල්ලීම වී ඇත්තේ ජීවිත බේරා ගැනීම සඳහා වූ ආර්ථික ක්‍රියාකාරකම් සීමා කිරීම් ඉවත් කිරීමයි. මාර්තු අග දී වෝල් වීදියට ඇප ලබා දීමෙන් පසු අප්‍රේල් සහ මැයි මාසවල සංවිධානය කරන ලද රැලිවල ඉල්ලීම මෙය විය. ඔක්තෝබර්  මාසයේදී හෙලිදරව් වූ පරිදි, ප්‍රාන්ත ආන්ඩුකාර ග්‍රෙට්චන් විට්මර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට මිචිගන්හි සිදු වූ ෆැසිස්ට් කුමන්ත්‍රනයට හේතු වූයේ මෙයයි.

නොවැම්බරයේ මැතිවරනයෙන් පසු ඔහු කල පලමු ප්‍රසිද්ධ ප්‍රකාශයේ දී, ට්‍රම්ප් වසංගතයට ඔහුගේ පරිපාලනය දැක්වූ ප්‍රතිචාරය වඩාත් දැඩි කල අතර, පාලක පන්තියට තමා තව දරටත් බලයේ සිටිය යුතු බවට කරුනු ගෙනහැර දැක්වීය. මරන සංඛ්‍යාව ඉහල යමින් තිබියදී, නොවැම්බර් 16 වන දින ඔහු තරයේ කියා සිටියේ, “මෙම පරිපාලනය අගුලු දැමීමක් කරා නොයනු ඇති” බවයි. ජනවාරි 20 වන දින ධුරයට පත්වන්නේ කවුරුන්ද යන්න “කාලය විසින් පවසනු ඇත” කියා සිටි ට්‍රම්ප් නැවත වරක් අවධාරනය කලේ “සුව කිරීම ගැටලුවට වඩා නරක විය නොහැකි” බවයි.

මෙම මිනීමරු ප්‍රතිපත්තිය අභිප්‍රේරනය කරමින් සහ මධ්‍යම පන්තියේ අවශ්‍යතා අවධාරනය කරමින් ට්‍රම්ප්, කොටස් වෙලඳපොලවල නැගීම පෙන්වා දුන්නේ “එය සියලු වාර්තා බිඳ දැමීමට සූදානම්” බවයි.

වසංගතයට ප්‍රතිචාර වශයෙන් පාලක පන්තියේ ප්‍රතිපත්තිය සහ එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම අතර ඉතා වැදගත් සම්බන්ධතාවයක් තිබේ. ලෝසවෙඅ ඔක්තෝබර් මාසයේ සඳහන් කල පරිදි:

වසංගතයට ප්‍රතිචාර වශයෙන් පාලක පන්තියේ මිනීමරු ප්‍රතිපත්තිය එක්සත් ජනපදයේ පෙර නොවූ විරූ දේශපාලන අර්බුදයේ කේන්ද්‍රය වේ. මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා පාලක ප්‍රභූව වඩ වඩාත් ප්‍රචන්ඩකාරී හා ආඥාදායක පාලන ක්‍රම වෙත යොමුවෙති.

කුමන්ත්‍රනයට ඩිමොක්‍රටිකයන් දක්වන ප්‍රතිචාරයට යටින් පවතින්නේද වසංගතයේ යථාර්ථයයි. ජනවාරි 6 වන දා සිට, ජනාධිපති ධුරයට පත් ජෝ බයිඩන්ගේ නායකත්වයෙන් යුත් ඩිමොක්‍රටිකයෝ කුමන්ත්‍රනයේ තරම වසන් කිරීමට හැකි සෑම දෙයක්ම කරති. බයිඩන් “ශක්තිමත්” රිපබ්ලිකන් පක්ෂයක අවශ්‍යතාවය අවධාරනය කර ඇති අතර ඔහුගේ “රිපබ්ලිකන් සගයන්” එනම් ට්‍රම්ප්ගේ සම-කුමන්ත්‍රනකරුවන් ට වසංගතයට නීතිමය ප්‍රතිචාර වශයෙන් “ද්වි පාර්ශවීය සහයෝගීතාවය” සඳහා ආයාචනා කර ඇත.

වෝල් වීදියේ පක්ෂයක් ලෙස ඩිමොක්‍රටිකයන්ගේ ලොකුම භීතිය වන්නේ ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන ප්‍රයත්නයට එරෙහිව කම්කරු පන්තියේ ව්‍යාපාරයක් මතුවීමයි. එය සමස්ත පාලක පන්තිය හා ධනේශ්වර ක්‍රමය සමඟ ගැටුමක් දක්වා වර්ධනය වනු ඇත. කතිපයාධිකාරයේ ප්‍රතිපත්තිය සමඟ ඉදිරියට යා යුතු අතර, “ඉදිරියෙන් බලා, පසුපස නොබලා සිටීම” අවශ්‍ය වේ.

පොලිටිකෝ විසින් උපුටා දක්වන ලද එක් බැංකු ප්‍රධාන විධායක නිලධාරියෙක් (“වෝල් වීදියේ ලොකුම පැතුම: කරුනාකර ඉදිරියට යන්න”) පාලක පන්තියේ ආකල්පය සාරාංශ ගත කලේය. ෆැසිස්ට් කුමන්ත්‍රනය ගැන අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය: "ඒ පිලිබඳ සියලු හැඟීම් සහ මිනිසුන්ට ඒ ගැන කෙතරම් තදින් දැනෙනවාද යන්න මට වැටහේ. මම ඒ කිසිවක් අව තක්සේරු නොකරමි. නමුත් මම හිතන්නේ ජෝ බයිඩෙන්ගේ පිරිස මේ සම්බන්ධයෙන් මා සමඟ එකඟ වනු ඇත, අපි දැන් ඉදිරියට යාම ගැන බැරෑරුම්ව සිතා බැලිය යුතුය.”

“ඉදිරියට යාම” යනු “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ ප්‍රතිපත්තිය අඛන්ඩව පවත්වාගෙන යාමයි. කොවිඩ්-19 මරනවල විනාශකාරී නැගීමට ප්‍රතිචාර දක්වමින් ජීවිත බේරා ගැනීම සඳහා පියවර ගැනීම සඳහා පියවර ගන්නවා වෙනුවට සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාවම ඉල්ලා සිටින්නේ ආර්ථිකය තවදුරටත් විවෘත කරන ලෙසයි. ඒ මිනිස් ජීවිතවල වියදමෙන් ප්‍රධාන සංගතවල ලාභය ආරක්ෂා කිරීම අරමුනු කර ගෙන ය.

ඩිමොක්‍රටික් පක්ෂයේ චිකාගෝ නගරාධිපති ලෝරි ලයිට්ෆූට් බ්‍රහස්පතින්දා කියා සිටියේ “හැකි ඉක්මනින්” ගෘහස්ථ සේවා සඳහා නගරයේ මත් පැන් වෙලඳසැල් සහ අවන්හල් නැවත විවෘත කිරීමට ඇයට අවශ්‍ය බවය. කන්ඩායම් ශාරීරික යෝග්‍යතා පන්ති නැවත ආරම්භ කරන බව බදාදා විට්මර් විසින්ම නිවේදනය කල අතර සති දෙකකින් ගෘහස්ථ භෝජන සංග්‍රහ පැවැත්වීම් නැවත ඇරඹීමට ආන්ඩුව සැලසුම් කර ඇති බව තහවුරු කලාය.

ව්‍යාපාර නැවත විවෘත කිරීම සඳහා වඩාත්ම පැහැදිලි තර්කය සපයනු ලැබුවේ තවත් ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන නිව්යෝර්ක් ආන්ඩුකාර ඇන්ඩෘෘ කියෝමෝ විසිනි. ඔහු ප්‍රාන්තයේ තත්වය පිලිබඳ සිය වාර්ශික දේශනයෙහි ප්‍රකාශ කලේ, “එන්නත තීරනාත්මක ජන සංඛ්‍යාවක් අතට පත්වන තුරු අපට වසා තබා ගත නොහැක. පිරිවැය ඉතා වැඩියි. අපට විවෘත කිරීමට කිසිවක් ඉතිරි නොවනු ඇත. අපි ආර්ථිකය නැවත විවෘත කල යුතුයි.”

කෝටිපතියන් 113 ක් සිටින ලොව අසමානතාවය අධික ම ස්ථානය වන නිව්යෝර්ක් නගරයද ඇතුලත් ප්‍රාන්තයක කියුමෝ මුලසුන හොබවයි.

එක්සත් ජනපද ප්‍රකෝටිපතියන් දැන්, මීට වසරකට පෙර සිටියාට වඩා සමෘද්ධිමත් ධනවතුන් ය. මෙම ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නේ ටෙස්ලා (Tesla) සහ ස්පේස්එක්ස් (SpaceX) හි ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක් ය. මේ සතියේ ඔහු ඩොලර් බිලියන 201 ක් හිමි ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්විය. පසුගිය වසර තුල පමනක් මස්ක් විසින් ඩොලර් බිලියන 170 ක, ඇසූවිට කම්පනයක් ඇති කරනසුලු ධනයක් ගොඩගසාගත් අතර එවැන්නක් සිදු වූයේ ඇමරිකානුවන් 400,000 කට ආසන්න සංඛ්‍යාවක් වසංගතයෙන් මිය ගිය යමින් ද රැකියා මිලියන 10 ක් විනාශ වෙමින් ද තිබියදීය.

මිනිස් ජීවිත බේරා ගැනීමේ පිරිවැය සමාජයට දැරිය නොහැකිව තිබියදී, වසරක් තුල තනි මිනිසෙකු වෙනුවෙන් ඩොලර් බිලියන 170 ක් වෙන් කිරීම විකාරයකි.

කොවිඩ්-19 සඳහා දක්වන ප්‍රතිචාරයේ සෑම අංශයක්ම පදනම් වී ඇත්තේ වේගයෙන් පැතිරෙන වසංගතයක් මධ්‍යයේ ලාභ ශ්‍රමය ලබා ගැනීම සහතික කිරීම මත වන අතර එය කම්කරු පන්තියේ ශ්‍රමයෙන් අඛන්ඩව ලාභ ලබා ගැනීමට ඉඩ සලසයි. මේ සතියේ, ජාතික ආර්ථික කවුන්සිලයේ බයිඩන්ගේ ආදායම් අධ්‍යක්‍ෂ බ්‍රයන් ඩීස් රොයිටර් සාකච්ඡාවකදී පැවසුවේ, “දෙමව්පියන්ට… නැවත සේවයට පැමිනීමට හැකි වන පරිදි අපි පාසල් විවෘත කල යුතුයි” යනුවෙනි, වෙනත් වචන වලින් කිවහොත්, “ශ්‍රම බලකායේ සහභාගීත්වය” වෙනුවෙන් උපරිම දේ කිරීම සඳහා ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ ජීවිත කැප කල යුතු බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කියා සිටී.

එක්සත් ජනපදයේ මහා මරන හා ප්‍රජාතන්ත්‍රවාදයේ සම්පූර්න බිඳවැටීමක් මධ්‍යයේ, එක්සත් ජනපද වෙලඳපොලවල් මුලු සතිය පුරාම ඉහල ගොස් තිබීම සැලකිය යුතු කරුනකි. වොෂින්ටන් පෝස්ට් පුවත්පත, “කොටස් වෙලඳපොල කොන්ග්‍රස් සභා ශාලා කැරැල්ල ගැන තැකීමක් නොකරන්නේ ඇයි?” නම් වූ ලිපියක, එක් වෝල් වීදියේ ව්‍යාපාරිකයෙකු උපුටා දක්වමින් “වෙලඳපල, දේශපාලනය ගැන අඥේයවාදීය (කිසිවක් දැනගත හැකියැයි විශ්වාස නොකරයි)… ප්‍රජාතන්ත්‍රවාදය වඩා හොඳ යැයි සිතීමට අපි කැමතියි. නමුත් අවසානයේදී, ආයෝජකයින් ඒ ගැන එතරම් සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ.”

කොවිඩ්-19 ට එරෙහිව මිනිස් ජීවිතය ආරක්ෂා කිරීම සේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පාලක පන්තියේ කිසිදු කන්ඩායමකට භාර දිය නොහැක. වසංගතය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වහාම වසා දමන ලෙසත්, පරීක්ෂන, ආශ්‍රිතයන් සොයා ගැනීම, ආරක්ෂිත නිරෝධායන ප්‍රදේශ සහ එන්නත් කිරීම සඳහා ඩොලර් ට්‍රිලියන ගනනක් වෙන් කරන ලෙසත් කම්කරු පන්තිය මැදිහත්වී ඉල්ලා සිටිය යුතුය. සෑම කර්මාන්ත ශාලාවකම, සේවා ස්ථානයකම සහ අසල්වැසි ප්‍රදේශයකම සිටින කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම ඉල්ලීම් සඳහා සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙසත්, සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන ලෙසත්ය.

මෙම ඉදිරිදර්ශනය ජනවාරි 15 දින ජාත්‍යන්තර සංස්කරනයේ පලවින.

බයිඩන් රිපබ්ලිකන් පක්ෂ කැරැල්ලේ කුමන්ත්‍රනකරුවන් ආරක්ෂා කරයි  

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලුගන්වනු! දේශපාලන මහ වැඩවර්ජනයක් සඳහා සූදානම් වනු!

Loading