ඉදිරිදර්ශන

ඇමරිකානු ජනපති පදවි ප්‍රාප්තිය 2021:අගාධයක අද්දර

1933 මාර්තුවේදී, තම පලමු ධුර කාලය ආරම්භ කරන විට ෆ්‍රෑන්ක්ලින් ඩිලානෝ රූස්වෙල්ට් සිය සමාරම්භක දේශනයේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ, “අපට බිය විය යුතු ඒක ම දේ භීතියම පමනි” යනුවෙනි. 2021 ජනපති පදවි ප්‍රාප්ති දිනයේ දී, එවැනි වාක්‍ය ඛන්ඩයක් සවන්දෙන්නන්ගේ කනවැකෙනු ඇත්තේ ඇත්තේ සුබවාදී නොව, මංමුලාකරවන සුලු ආකාරයකටය. දේශන පීඨිකාවේ සිටගෙන සිටින ජනාධිපති බයිඩන්, මහජනතාව ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටින තැනක ඓතිහාසික දර්ශනයට වඩා බෙහෙවින් දුරස්ථ වන්නා වූද, සොල්දාදුවන්ගෙන් වටකොට, සිටවන ලද කොඩි වලින් පිරීගිය සුසාන භූමියකට සමාන වන්නාවූද හිස් හා නිහඬ පිට්ටනියක් දෙස බලා සිටිනු ඇත. කෙසේ වෙතත්, ඔහු රූස්වෙල්ටියානු ඉරියව්වක් ආරූඪ කරගැනීමට තැත්කරන්නේ නම්,එම සුප්‍රසිද්ධ වාක්‍ය ඛන්ඩයේ බයිඩන් පන්නයේ සංස්කරනය වනු ඇත්තේ “අප බිය විය යුතු එකම දෙය යථාර්ථය පමනි” යන්නයි.

මෙම යථාර්ථයේ ප්‍රධාන අංග මොනවාද?

2021 ජනවාරි 19 වන අඟහරුවාදා වොෂිංටන්හිදී ජනාධිපති ධුරයට පත්වූ ජෝ බයිඩන් සහ උප ජනාධිපති ධුරයට පත් කමලා හැරිස්ගේ සමාරම්භක උත්සවයට පෙර ආරක්ෂාව වැඩිකර ඇති හෙයින් හමුදා භටයින් මුරපලක රැකවලෙහි යෙදී සිටියි. (AP ඡායාරූපය / ජෝන් මින්චිලෝ)

පලමුව, ඇමරිකානු දේශපාලන පද්ධතිය සිවිල් යුද්ධයෙන් පසු විශාලතම අර්බුදයට මුහුන දී සිටී. සමාරම්භක උත්සවය පැමිනෙන්නේ ජනවාරි 6 වන දින සිදුවූ ෆැසිස්ට් කැරැල්ලෙන් සති දෙකකට පසුවය, එය‍ බයිඩන්ගේ මැතිවරන විද්‍යාලයේ ජයග්‍රහනය පිලිබඳ කොන්ග්‍රස් සහතික කිරීම නැවැත්වීමේ අරමුනින් සිදුවිය.

උත්සාහ දැරුනු බලකොල්ලය උසිගැන්වීම හා මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වග කිව යුතු පුද්ගලයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් අද උත්සවයට සහභාගී නො වනු ඇත. 1869 දී ඇන්ඩෘ ජොන්සන් නික්ම යාමෙන් පසු ඉවත් ව යන ජනාධිපතිවරයකු සිය අනුප්‍රාප්තිකයාගේ සමාරම්භක උත්සවය වර්ජනය කරන පලමු අවස්ථාව මෙය යි. කෙසේ වෙතත්, සහභාගී වන්නා වූ රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් හා කොංග්‍රස් මන්ඩල සාමාජිකයින් අතර කැරැල්ලට සහාය දී දේශපාලන ආවරනයක් සැපයූ අය සිටිනු ඇත. 

දෙවනුව, සමාරම්භක උත්සවය පැවත්වෙන්නේ, නව රෝගීන් සංඛ්‍යාව අඛන්ඩව ඉහල යාමත් සමග, එක්සත් ජනපදයේ නිල මරන සංඛ්‍යාව 400,000 ඉක්මවා යාමෙන් දිනකට පසුව ය. ආසන්න වසයෙන් දිනකට පුද්ගලයෝ හාරදහසක් පමන මිය යති. රට පුරා රෝහල් පිරී ඉතිරී ගොස් ඇති අතර, මල සිරුරු වඩාත් ඉක්මනින් ආදාහනය කිරීම සඳහා මෘත ශරීරාගාර සීමාවන් ලිහිල් කරමින් සිටී. වෛරසයේ නව හා වඩාත් බෝවන සුලු ප්‍රභේදයන් පැතිරීම ආරම්භ වී ඇති හෙයින්, විද්‍යාඥයන් අපේක්ෂා කරන්නේ ලබන මස මැද භාගය වන විට මිලියන භාගයක් මිනිසුන් මිය යනු ඇති බව යි.

තෙවනු ව, එලඹෙන බයිඩන් පරිපාලනය වසංගතයෙන් විශාල ලෙස තීව්‍ර වන, නො වැලැක්විය හැකි ආර්ථික අර්බුදයකට මුහුන දෙයි. පසුගිය වසර පුරා ධනේශ්වර කතිපයාධිකාරීන්ගේ ධනයත්  සමග, මූල්‍ය වෙලඳපොලවල් පෙර නො වූ විරූ උච්චයන්ට ඉහල ගොස් තිබේ. මෙම වර්ධනයට ඉන්ධන සපයා ඇත්තේ, ඇමරිකානු මහබැංකුව හා ගෝලීය මහ බැංකුවලින් නිමක් නැති මුදල් සැපයුම මගිනි-මූලික ව, දැවැන්තව, මෙන්ම ඓතිහාසිකව මේවා පෙර නො වූ විරූ මට්ටමේ නය ගොඩගැසීමක් වන අතර ඒවා ආපසු ගෙවිය යුතු ය. ඒ සමගම, දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රැකියා විරහිත වන අතර කුඩා ව්‍යාපාර සිය දහස් ගනනක් අතුගා දමා ඇත.

එක්සත් ජනපදය විනාසකාරී පරිමානයන්ගේ ගෝලීය අර්බුදයක කේන්ද්‍රස්ථානය යි. උත්ප්‍රාසාත්මක ලෙස, බයිඩන්ගේ සමාරම්භක දිනය ආසන්නයේ දී, ලෝක ආර්ථික සංසදය විසින් නිකුත් කර ඇති 2021 ගෝලීය අවදානම් වාර්තාව වර්තමාන තත්වය පිලිබඳ දරුනු සාරාංශයක් ඉදිරිපත් කරයි:

කොවිඩ්-19 වසංගතයේ ආසන්නතම මානව හා ආර්ථික පිරිවැය දරුනුය. එය දරිද්‍රතාව හා අසමානතාවය අවම කිරීම සඳහා වූ මත වසර ගනනාවක ප්‍රගතිය [යැයි කියාගන්නා දෙය] අතු ගා දැමීමට හා  සමාජ සහජීවනය හා ගෝලීය සහයෝගීතාව තවදුරටත් දුර්වල කිරීමට තර්ජනය කරයි. රැකියා අහිමිවීම්, පුලුල් වන තාක්ෂනික සේවාලාභී විශමතා, සමාජ අන්තර්ක්‍රියා කඩාකප්පල් කිරීම සහ වෙලඳපලවල හදිසි උඩු-යටිකුරුවීම් දරුනු ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි අතර ගෝලීය ජනගහනයෙන් විශාල කොටසකට ඇති අවස්ථාවන් අහිමිකරනු ඇත. සමාජ නොසන්සුන්තාව, දේශපාලන බෙදීම් සහ භූදේශපාලනික ආතතීන් වැනි ස්වරූපයෙන්, මෙම විපාකයන්, ඉදිරි දශකය තුල අත්දකිනු ඇති සයිබර් ප්‍රහාර, මහා විනාශකාරී ආයුධ සහ, විශේෂයෙන් දේශගුනික විපර්යාස ආදී අනෙකුත් ප්‍රධාන තර්ජන වලට අපගේ ප්‍රතිචාරවල ඵලදායීතාවය හැඩගස්වනු ඇත.

බයිඩන්ගේ සමාරම්භක දේශනයට මෙම වාර්තාවෙන් උපුටා දැක්වීම් ඇතුලත් වනු ඇතැයි සිතිය නොහැක. එහෙත් ගෝලීය හා ඇමරිකානු අර්බුදයට මුහුන දීමේදී නව ජනාධිපතිවරයාට ඔහු ලබා ගත හැකි විකල්පයන් පාලක පන්තියේ සමාජීය අවශ්‍යතා මගින් සීමා කරනු ලැබේ. බයිඩන් යනු තම මූල්‍ය හා ආර්ථික උත්සුකයන් අඩපන කරන ආකාරයකට, අර්බුදය කෙරෙහි දක්වන කිසිදු ප්‍රතිචාරයක් නොඉවසන පන්තියක නියෝජිතයෙකි. වසංගතයට බයිඩන් පරිපාලනයේ ප්‍රතිචාරය සමන්විත වනු ඇත්තේ අකාර්යක්ෂම, අර්ධ හෝ ඊටත් පහල පියවරයන්ගෙන් වන අතර එමඟින් තවත් ඇමරිකානුවන් ලක්ෂයක් හෝ ඊට වැඩි පිරිසකගේ මරනය නැවැත්වීම සඳහා වෛරසය පැතිරීම නතර කිරීමට  එතරම් දෙයක් නොකරනු ඇත.

අද දින බයිඩන්ගේ කතාවේ කේන්ද්‍රීය තේමාව වනු ඇත්තේ “එකමුතුකම” යි. මේ ආයාචනයේ යථා අර්ථභාරය කුමක් ද? ධනවාදය මත පදනම් වූ දේශපාලන පද්ධතියෙහි නො නැසී පැවැත්මට තර්ජනය කරන, රාජ්‍ය යන්ත්‍රය හා පාලක පන්තිය ඇතුලත පවතින ගැඹුරට ගිය හා අන්තරායකාරී බෙදීම්, කොංග්‍රසයට එල්ල කල ප්‍රචන්ඩ ප්‍රහාරයක් ලෙසට පුපුරා ගිය දේශපාලන අර්බුදය විසින් හෙලිදරව් කර ඇතැයි බයිඩන් භීතියට පත් වේ. පාලක පන්තිය, වඩ වඩා නො දැමුනු හා සටන්කාමී බවට පත්වෙමින් සිටින කම්කරු පන්තියකට මුහුන පාන අතරතුර, බයිඩන් පාලක පන්තිය ඇතුලත එකමුතුකම අපේක්ෂා කරයි. දිව්රුම් දීමේ උත්සවයට පෙර පැවැත්වෙන දේවස්ථාන මෙහෙයක දී සෙනෙට් සභික මැක්කොනල් සමග එකට වාඩි වන බයිඩන්, තම පැරනි මිත්‍රයාගේ කනට කොඳුරා “අපි එකාවන්ව එල්ලී නොසිටියොත්, අපි සියල්ලෝම වෙන වෙනම එල්ලෙනු ඇත” යැයි පවසනු ඇත.[එකමුතුව වැඩකිරීම සම්බන්ධ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්ගේ සුප්‍රසිද්ධ ප්‍රකාශයකි:පරිවර්තක]

ජනවාරි 6දා සිද්ධීන් පිලිබඳ ගැඹුරු විමර්ශනයකට බයිඩන් හා ඩිමොක්‍රටිකයන් විරුද්ධ වන්නේ මේ නිසා ය. මැතිවරනයක් අහෝසි කොට, ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ උත්සාහයකට රිපබ්ලිකන් පක්ෂය දැරූ ඉහල පෙලේ උත්සාහය හෙලිදරව් කිරීමේ උවමනාවක් ඔවුන්ට නැත. “රිපබ්ලිකන් සහකරුවන්” හා ට්‍රම්ප්ගේ සම-කුමන්ත්‍රනකරුවන් අත්අඩංගුවට ගෙන චෝදනා නැගීම පසෙකින් තැබුවත්, ඔවුන්ට අභියෝග කිරීම පවා බයිඩන් ඇතුලු පිරිසට අවශ්‍ය නැත.

ක්‍රියා මාර්ගය හා පිලිවෙත් අනුව සලකද්දී, බයිඩන් පරිපාලනයක්, වෝල් වීදියේ විධානයන් ක්‍රියාවට දමනු ඇත. ප්‍රතිගාමීන්ගේ හා පාලක පන්තියෙහි දේශපාලන සංස්ථාපිතයේ බලවතුන්ගේ කැබිනට්ටුව -අනන්‍යතා දේශපාලනය විසින් කුහක ලෙස ආවරනය කරනු ලබන අතර- බයිඩන්ගේ දිශානතිය හා සැලසුම් කවරක් විය යුතු දැයි පවසයි.

ප්‍රතිසංස්කරනය හා බලාපොරොත්තුව පිලිබඳ ව්‍යාජ ඇඟවීම් නිර්මානය කිරීමේ උත්සාහයන් පසෙක තිබිය දී, වඩා අවංක හා සංවේදී නිරීක්ෂකයන් අතර  පහසු විසඳුම් නොමැති බවට හැඟීමක් පවතී. “ඇමරිකානු සමූහාන්ඩුවේ මරනාසන්න අත්දැකීම” යනුවෙන් ෆයිනෑන්ෂල් ටයිම්ස් තීරු ලිපි රචක මාටින් වුල්ෆ් විස්තර කරන දෙය පිලිබඳ ව අදහස් දක්වන ඔහු, වොෂින්ටනයේ පුපුරා ගිය අර්බුදයේ පරිමානය සුලුකොට දැක්වීමට දරන උත්සාහයන් ප්‍රතික්ෂේප කරයි.

සිදු  වී ඇත්තේ මෙය යි. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කිසිදු සාක්ෂියකින් තොර ව, සාධාරන මැතිවරනයක දී තමන් ව පරාජය කරනු ලැබිය නො හැකි බව, මාස ගනනක් තිස්සේ අවධාරනය කලේ ය. නියමිත වේලාවේ දී ඔහු තම පරාජය වංචා කරන ලද මැතිවරනයකට ආරෝපනය කලේ ය. සෑම රිපබ්ලිකානුවන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙක් තවමත් එයට එකඟ වෙති. ජනාධිපතිවරයා ප්‍රාන්තවල ඡන්ද අහෝසි කිරීමට ඒවායේ නිලධාරීන් ට පීඩනය යෙදුවේ ය. අසාර්ථක වුනු ඔහු, ප්‍රාන්ත විසින් ඉදිරිපත් කරන ලද මැතිවරන විද්‍යාල ඡන්ද ප්‍රතික්ෂේප කරන ලෙසට, ඔහුගේ උප ජනාධිපති හා කොංග්‍රසය බියවැද්දීමට උත්සාහ කලේ ය. එලෙස කරන ලෙසට කොංග්‍රසයට පීඩනය යෙදීම සඳහා කොංග්‍රස් මාලිගය මත ප්‍රහාරයක් ඔහු විසින් අවුලුවාලී ය. සෙනෙට් සභිකයන් අට දෙනෙක් ද ඇතුලු ව කොංග්‍රස් සභිකයන් 147ක් පමන ප්‍රාන්ත ඡන්දවලට එරෙහි ව ඡන්දය භාවිතා කලේ ය. කෙටියෙන් පවසන්නේ නම්, ට්‍රම්ප් මහතා කුමන්ත්‍රනයකට උත්සාහ දැරී ය. වඩාත් නරක ලෙස, රිපබ්ලිකානුවන්ගේ අතිමහත් බහුතරය, ඔහුට එලෙස කිරීමට හේතුවුනු කාරනා සමග එකඟ වෙති.

සෑම තැනක ම සිටින සාහසිකයන්ගේ සොම්නසට හේතු වෙමින්, එක්සත් ජනපද සමූහාන්ඩුව කෙරෙහි ලොවපුරා පවතින විශ්වාසවන්ත භාවයට, මෙය අතිශය නො මනා අවස්ථාවක් බවට සුභවාදීන් එකඟ වනු ඇත. එහෙත්, එහි ආවේශී අත්හදා බැලීම පසුකොට පැමින ඇති එය, අදට වඩා භයානක සමයක දී, රට තුල හා ඉන් පිටත, 1930 ගනන්වල ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් කලාක් මෙන්, එහි පොරොන්දුව අලුත් කිරීමට කාලය පැමින ඇතැයි ඔවුන්ට අවධාරනය කල හැකි ය. අහා! මට මෙය විශ්වාස කල නො හැක.

බලයට පැමිනීමට නියමිත පරිපාලනය මුහුන දෙන තත්ත්වය පිලිබඳ වුල්ෆ්ගේ අසුබවාදී තකසේරුව සාධාරනීකෘත ය. සිය ගෝලීය තත්ත්වය නිර්දය ලෙස ඛාදනය වීමකට මුහුන දෙන ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරයට, එහි ඕජස් ගලන සමාජ පරස්පර-විරෝධයන් වැඩි දියුනු කිරීමට ඇත්තේ, සීමිත සම්පත් ප්‍රමානයක් පමනි. පසුගිය වසර හතර තුල, එක්සත් ජනපද ආන්ඩුවේ නය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 7 සිට ඩොලර් ට්‍රිලියන 21.6 දක්වා නැගී ඇත. ඊට අමතර ව, ඩොලරයේ කඩා වැටීමක් වැලැක්වීම පිනිස පොලී අනුපාත ඉහල දැමීමට පීඩනය වැඩෙද්දී, මෙම නය කන්දරාවේ මූල්‍යමය පිරිවැය ඉහල යනු ඇත.

පදවි ප්‍රාප්ති දිනයේ බයිඩන් සිදුකරන සානුකම්පිත මවාපෑම් කවරක් වුවත්, තීව්‍ර වන අර්බුදයක් විසින් ඒවා අවලංගු කරනු ඇත.

ඊට අමතර ව, එක්සත් ජනපදයේ ගෝලීය ආධිපත්‍යයට එල්ල වන චීන හා යුරෝපීය අභියෝගයන්ට විරුද්ධ ව ක්‍රියා කිරීම මත කේන්ද්‍රගත වන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය ප්‍රමුඛතාවන්ට, මිලිටරි මෙහෙයුම් මත පිරිවැය අඛන්ඩ ව ඉහල දැමීම අවශ්‍ය කරනු ඇත. මෙම කැපකිරීම් මගින් සමාජීය වියදම්වලට තිබෙන දේවල් මත කඨෝර සීමාවන් පනවනු ඇත.

බලයට පැමිනෙන බයිඩන්ගේ පරිපාලනය කිරීමට අභිලාෂී වන්නේ හෝ එයට කල හැක්කේ කවරක් ද යන්න පිලිබඳ ව කම්කරුවන් හා තරුනයන් මායාවන්ට හසු වීමෙන් වැලකිය යුතු ය.

ධනපති පාලක පන්තියේ ධනය මතට පෙරමුනු ප්‍රහාරයක් එල්ල නො කොට ඉදිරි මාවතක් නැති බව අවබෝධ කරගැනීම සමගින් කම්කරු පන්තියේ ප්‍රතිචාරය ආරම්භ විය යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීම සහ ෆැසිස්ට්වාදී ඒකාධිපතිත්වයට එරෙහි විරෝධය ද වසංගතයට පාලක පන්තිය දක්වන සාපරාධී ප්‍රතිචාරය මගින් නිෂ්පන්නිත මහා පරිමාන මරන අවසන් කිරීම, දුගී බව හා සූරාකෑම අහෝසි කිරීම සහ යුද්ධය හා පාරිසරික විනාශය අවසන් කිරීම යන මේ සියල්ලට, කතිපයාධිකාරීන්ගේ ධනය අස්වාමික කිරීම හා යෝධ බැංකු හා සංගත අස්වාමික කිරීම අවශ්‍ය කරයි.

පාලක පන්තිය යථාර්ථයට භීතිය සමගින් මුහුන දෙන අතරතුර, කම්කරු පන්තිය හුදෙක් ධනවාදයේ අර්බුදයෙන් පැනනගින අන්තරායන් පමනක් නො ව, මෙම අර්බුදය විසින් ම නිෂ්පන්න කරන විප්ලවවාදී විභවය ද දැකගත යුතු ය. මෙම විභවය අවබෝධ කරගැනීමට, සමාජවාදය සඳහා ලෝක පරිමාන ව කරන අරගලය හරහා එහි ස්වාධීන මැදිහත් වීම අවශ්‍ය ය.

[මෙම ඉදිරිදර්යශනය ජාත්‍යන්තර සංස්කරනයේ ජනවාරි 20 දින  පල විය.]

වසංගතයේ දේශපාලන පාඩම් සහ 2021 සමාජවාදය සඳහා අරගලය  

Loading