ඉදිරිදර්ශන

වසංගතයේ දේශපාලන පාඩම් සහ 2021 සමාජවාදය සඳහා අරගලය

1. අලුත් අවුරුද්ද ආරම්භ වන විට කොවිඩ්-19 වසංගතය ලොව පුරා ශීඝ්‍ර ලෙස පැතිරෙමින් තිබේ. මෙය දැවැන්ත ඓතිහාසික අර්ථභාරයක් සහිත ලෝක අර්බුදයකි. වසංගතය යනු ගෝලීය ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිවිරෝධතා ඉතා සංකේන්ද්‍රිත ස්වරූපයෙන් ප්‍රකාශයට පත්කල “ප්‍රේරක සිදුවීමක්” වන අතර එය දිගු කලක් තිස්සේ යටපත්කර තිබූ සමාජ පරිවර්තනයේ බලවේග මුදාහැර තිබේ.

2. වසංගතය හුදෙක් වෛද්‍ය විද්‍යාත්මක අර්බුදයක් ලෙස හැඳින්විය නොහැකිය. පසුගිය වසර තුල ලෝක ධනවාදයේ අරටුවටම ප්‍රතිගාමී ස්වභාවය හෙලිදරවු වී තිබේ. සමාජ වියදම නොතකා ලාභය සඳහා ධාවනයේ අන්තර් ක්‍රියාකාරිත්වය, අශික්ෂිත ලෙස පුද්ගලික ධනය රැස්කිරීමට කතිපයාධිකාරීන්ට පවතින කෑදරකම, සහ ලෝක මහ ජනතාවගේ ජීවිත හා සුභසිද්ධිය කෙරෙහි ඔවුන් දක්වන අමානුෂික නොතැකීම විසින් ගෝලීය සමාජ ව්‍යසනයක් නිර්මානය කර තිබේ.

3. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව නිරතුරුවම වසංගතය පලමුවන ලෝක සංග්‍රාමය සමඟ සසඳා තිබේ. 1914 සිද්ධීන් සහ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ සියල්ල, දේශපාලන නැගිටීමේ සන්තතියක් ලොව පුරා මුදා හැරියේය. කම්කරු පන්තිය සහ දුගී ජනතාව දේශපාලනිකව රැඩිකලීකරනය විය. 1914 ආරම්භයේ දී සර්ව බලධාරී හා අනභිභවනිය සේ පෙනුනු - රුසියානු, ඔස්ට්‍රෝ-හංගේරියානු සහ ප්‍රසියනු - අධිරාජ්‍යයන් වසර කිහිපයක් තුල සමාජ විප්ලවයේ බලවේග විසින් පෙරලා දැමනු ලැබිනි. මිලියන සිය ගනනක් ජනතාව අලලා ගත් යටත් විජිත ආධිපත්‍යයට එරෙහි අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් ආසියාව, අප්‍රිකාව, මැද පෙරදිග සහ ලතින් ඇමරිකාව තුල මතුවිය.

4. අලුත් අවුරුද්ද තුලට අඛන්ඩ ව දිවෙන පසුගිය වසරේ ඛේදවාචකය ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහ තරුනයින්ගේ විඤ්ඤානයේ ප්‍රඝාඪ වෙනසක් ඇති කර තිබේ. මහා පරිමාන අකල් මරන, ආර්ථික පක්ෂඝාතය ද ව්‍යාජ-ප්‍රජාතන්ත්‍රවාදී හෝ විවෘත අධිපතිවාදී වේවා සාම්ප්‍රදායික දේශපාලන ව්‍යුහයන්ගේ බිඳවැටීම ද විසින් සලකුනු කෙරෙන විසිඑක්වන සියවසේ 2020 වසර, විසිවන සියවසේ ඉතිහාසයේ 1914 වසර මෙන්ම ඉතිහාසයේ තීරනාත්මක සන්ධිස්ථානයක් සලකුනු කරනු ඇත. ධනවතුන්ගේ අවශ්‍යතා සහ ජන සමාජයේ අවශ්‍යතා අතර පරස්පරතාව කෙතරම් පැහැදිලිද යත් එය සමාජ විරෝධය හා සම්මුති විරහිත දේශපාලන විරුද්ධත්වය අවුලුවාලිය යුතුය.

5. පසුගිය වසර ආරම්භයේදී ජාත්‍යන්තර කමිටුව සිය අලුත් අවුරුදු ප්‍රකාශයේ සඳහන් කලේ 2020 දශකය සමාජ විප්ලවයේ දශකයක් වනු ඇති බවයි. මෙම පුරෝකථනය පදනම් වූයේ දැනටමත් ගෝලීය භූදේශපාලනික හා සමාජ ආර්ථික අර්බුදයේ වැඩිදියුනු වෙමින් පවතින වර්තමාන අවධිය විශ්ලේෂනය කිරීම මතය. 2020 සිදුවීම් මෙම විශ්ලේෂනය සනාථ කලා පමනක් නොව, ඊට තියුනු හදිසිභාවයක් අත්පත්කර දුන්නේය.

6. වසංගතයේ බලපෑම අඩු වෙනවා නොව, තීව්‍ර වෙමින් තිබේ. වෛරසයේ නව හා වඩාත් ආසාදක ප්‍රභේදය සොයා ගැනීමට පෙර පවා, කොවිඩ්-19 වේගයෙන් ලෝක ජනගහනය පුරා ව්‍යාප්ත වෙමින් තිබුනි. අලුත් අවුරුද්ද ආරම්භ වන විට ගෝලීය මරන සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්න විය. ආසියාවේ මරන 305,000 ක් වාර්තා වී තිබේ. අප්‍රිකාවේ නිල සංඛ්‍යාලේඛන අනුව මරන 63,000 කි. යුරෝපයේ පුද්ගලයින් 552,000 ක් මියගොස් තිබේ. ඇමරිකානු මහාද්වීපයේ මරන 848,000 ක් සිදුව ඇත.

7. එක් එක් රටවල සිදුවන මරන සංඛ්‍යාව අති විශාලය. බ්‍රසීලයේ 200,000 කට ආසන්න ජන සංඛ්‍යාවක් මියගොස් තිබේ. එක්සත් රාජධානියේ මුලු මරන සංඛ්‍යාව 71,000 ඉක්මවයි. ඉතාලියේ මරන සංඛ්‍යාව 72,000 කි. ප්‍රංශයේ ජීවිත 63,000 ක් අහිමි වී තිබේ. ස්පාඤ්ඤයේ 50,000 ක් මියගොස් තිබේ. ජර්මනියේ මරන සංඛ්‍යාව 30,000 කි.

8. ලෝකයේ වඩාත්ම ව්‍යසනකාරී තත්වය උද්ගතව ඇත්තේ වසංගතය පාලනයෙන් පිටපැන ඉහලට නගින එක්සත් ජනපදයේය. 2020 දී මුලු කොවිඩ්-19 මරන සංඛ්‍යාව 340,000 කට ලඟාවිය. දෙසැම්බර් මාසයේදී ඇමරිකානුවන් 70,000 ක් පමන වෛරසයෙන් මිය ගිය අතර දෛනික මරන සංඛ්‍යාව 3,500 ක් තරම් ඉහල මට්ටමක් ගත්තේය. ජනවාරියේදී තවත් ඇමරිකානුවන් 115,000 ක් පමන මිය යනු ඇතැයි දැන් පුරෝකථනය කොට ඇත. කොවිඩ් සඳහා එන්නත් නිපදවීම කෙරෙහි අවධානය යොමු කරමින්, පවතින බියකරු සිහිනයෙන් අවධානය වෙනතකට හැරවීමට ප්‍රවෘත්ති මාධ්‍ය කොතරම් උත්සාහ කලද යථාර්ථය නම් ඇමරිකානුවන් මිය යන්නේ එහි ලේවැකිම යුද්ධවලින් වාර්ෂිකව මිය ගිය සංඛ්‍යාව ඉක්මවා යන අනුපාතයකින් බවයි.

9. ෆයිසර් (Pfizer) සහ මොඩෙර්නා (Moderna) එන්නත් නිකුත් කිරීම සමඟ පැමිනි මාධ්‍ය සංදර්ශන මුලුමුනින් පුරෝකථනය කල හැකි, අවුල් සහගත තත්ත්වයන් නිසා අපකීර්තියට පත්ව ඇත. දෙසැම්බර් අවසානය වන විට සැබවින්ම බෙදා හැරිය යුතුව තිබුනු මාත්‍රා මිලියන 20 න් බෙදාහැර තිබුනේ මිලියන 3 ක් පමනි. එහෙත් ඉදිරි මාසවලදී මෙම අසංවිධානාත්මකභාවය හා නොහැකියාව කෙසේ හෝ ජයගත්තද - ලාභය මත පදනම් වූ ඇමරිකානු සෞඛ්‍ය සේවා කර්මාන්තයේ විනාශකාරී තත්ත්වය සැලකිල්ලට ගත් කල එය බෙහෙවින් බලාපොරොත්තු නොවියහැකි අපේක්ෂාවක් වුවද - වේගවත් මරන අනුපාතය කෙරෙහි වන බලපෑම සීමා සහිත වනු ඇත. “එන්නතක් සමඟ වුවද, වර්තමාන රැල්ල පාලනය කිරීමට ප්‍රාන්ත රාජ්‍ය ක්‍රියා නොකරන්නේ නම්, අප්‍රේල් 1 වන විට මරන සංඛ්‍යාව 770,000 ට ලඟා විය හැකිය” යනුවෙන් සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් ආයතනය දෙසැම්බර් මාසයේදී අනතුරු ඇඟවීය. වෛරසය පැතිරීම හා ජීවිත හානි වැලැක්වීම තබා එය පාලනය කිරීමටවත් අවශ්‍ය ක්‍රියාමාර්ග ප්‍රාන්ත රාජ්‍ය හෝ මධ්‍යම ආන්ඩුව විසින් ගනු නොලැබේ.

10. ජනාධිපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන් අනාවැකි පල කර ඇත්තේ “ඉතා අඳුරු ශීත සෘතුවක්” ඉදිරියේ ඇති බවයි. එහෙත් පෙර නොවූ විරූ සමාජ ව්‍යසනයකට මුහුන දී සිටින ඔහු සිය ධුරයේ පලමු දින 100 තුල යෝජනා කල එකම ක්‍රියා මාර්ගය වන්නේ සියලු ඇමරිකානුවන්ට මුහුනු ආවරන පැලඳීම සඳහා කැඳවීමක් කිරීමයි. වසංගතයේ මෙම අවස්ථාවෙහිදී, බයිඩන්ගේ ප්‍රතිපත්තිය සමනලුන් අල්ලන දැලකින් සුලි කුනාටුවක් නැවැත්වීමට උත්සාහ කිරීම හා සැසඳිය හැකිය. බයිඩන්ගේ ශෝචනීය යෝජනාව, ධනවාදී කතිපයාධිකාරිය මිනිස් ජීවිතය කෙරෙහි දක්වන අවඥාව කැටිකර දක්වයි.

11. කොවිඩ්-19 වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා ගත යුතු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පාලක පන්තිය ප්‍රතික්ෂේප කරයි: එලෙස, එය ප්‍රතික්ෂේප කරන්නේ අර්බුදය ජය ගන්නා තෙක් අත්‍යවශ්‍ය නොවන සියලුම සේවා ස්ථාන වසා දැමීම, පාසල් වැසීම සහ ජන ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය හදිසි මූල්‍ය ආධාර සැපයීම ආදී ප්‍රතිපත්තීන්‍ ය. ජීවිත බේරා ගැනීම සඳහා කිසිවක් කල නොහැකි යැයි යන ආත්මාර්ථකාමී ප්‍රකාශයන්, වෛරසය පැතිරීම වේගයෙන් පාලනය කිරීම සහ මුලු මරන සංඛ්‍යාව 5,000 ට වඩා අඩු මට්ටමක තබා ගැනීම සඳහා දැඩි පරීක්ෂන වැඩසටහන්, ආශ්‍රිතයන් සොයායෑම සහ තෝරාගත් අගුලු දැමීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට චීනයට තිබූ හැකියාව විසින් නිෂ්ප්‍රභා කෙරේ.

12. වසංගතයේ බලපෑම බටහිර යුරෝපයේ දියුනු ධනවාදී රටවල සහ විශේෂයෙන් පොහොසත්ම ධනපති පාලක පන්තියේ නිජබිම සහ ලෝක අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රය වන එක්සත් ජනපදය තුල වඩාත් දරුනු වී තිබීම විසින් ජාතික රාජ්‍ය පද්ධතිය, නිෂ්පාදන මාධ්‍යයන්හි පෞද්ගලික අයිතිය සහ මානව ශ්‍රමය සූරාකෑම තුලින් ලාභය සඳහා ධාවනය වීම මත පාදකවූ සමාජ ආර්ථික ක්‍රමය ඓතිහාසිකව යල්පැන ඇති බවට සාක්ෂි දරයි. වසංගතය පැතිර යාමේ මුල් අවධියේ සිටම, පාලක පන්තීහු, ඔවුන්ගේ පෞද්ගලික ධනය එක්රැස් කිරීම හෝ ජාතික රාජ්‍යයන්ගේ ගෝලීය භූදේශපාලනික අවශ්‍යතා සමඟ ගැටෙන ජීවිත බේරාගැනීම සඳහා කොතරම් අවැසි වුවත් එවන් සියලු ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතික්ෂේප කලහ.

13. ජාතික ආරක්ෂාව, අන්තර් අධිරාජ්‍යවාදී ගැටුම් සහ ගෝලීය බල තුලනය ගැන මෙන්ම තරඟකාරී වාසි සඳහා (පවත්නා ජාතික රාජ්‍යයන් සමඟ බැඳී පවතින) අන්තර්ජාතික සංගත දරන ප්‍රයත්නය පිලිබඳව ගනන් බැලීම් ආරම්භයේ පටන්ම ගෝලීය වශයෙන් සම්බන්ධීකරනය කෙරුනු විද්‍යාත්මකව මෙහෙයවන ප්‍රතිචාරයක් දැක්වීම වලක්වාලනු ලැබ ඇත. මිනිස් ජීවිතයට එල්ලවී ඇති පොදු තර්ජනයක් හමුවේ එක්සත්කම ඇති කිරීම වෙනුවට, වසංගතය ධනවාදී ජාතික රාජ්‍යයන් අතර සතුරුකම් තීව්‍ර කර තිබේ. ජාත්‍යන්තර මුලෝපායික අධ්‍යයන ආයතනය (International Institute for Strategic Studies-IISS) විසින් ප්‍රකාශයට පත් කරන ලද 2020 උපායමාර්ගික සමීක්ෂනය (Strategic Survey of 2020), “වෛරසය සෑම රටකටම පාහේ පැතිරී යත්ම ඒවා අතර බෙදීම් ගැඹුරු වූ” බව පිලිගනියි.

IISS වාර්තාව, තව දුරටත් මෙසේ සඳහන් කරයි:

2020 මැද භාගය වන විට එක්සත් ජනපදය, යුරෝපය සහ චීනය අතර සබඳතා මුලුමනින්ම පහේ දශක ගනනාවකින් නොතිබූ අවම මට්ටමට වැටුනි. සැකය නිසා, රුසියානු-බටහිර සබඳතා පැවතුනේ අගුලු දැමූ තත්වයෙනි. මාරාන්තික දේශසීමා ගැටුම් වලින් චීන-ඉන්දියානු ආතතීන් ඇවිලී ගියේය. ආයතන, නීති සහ සහයෝගීතාවයේ සම්මතයන් බොහෝ පසුබෑම් වලට ලක් විය. එක්සත් ජනපදය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු සංවිධාන හා සම්මුති හෙලා දුටුවේය, නැතහොත් ඒවායින් ඉවත් විය. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් විය. චීනය හොංකොං හි විශේෂ තත්ත්වය වෙනස් කලේය.

14. ලෝක තත්වය පිලිබඳ අත්‍යසාමන්‍ය ලෙස අශුභවාදී වූ තක්සේරුවක් කරමින් 'මුලෝපායික සමීක්ෂනය' මෙසේ පවසයි:

අප පිවිසෙමින් සිටින්නේ, “තහවුරුවූ රාජ්‍යයන්ට එරෙහිව විවිධ ආකාරයේ මැදිහත්වීම් සඳහා ඉවසා දරාගැනීම පරීක්ෂා කිරීමේ නිරන්තර උත්සාහය” ලෙස අයිඅයිඑස්එස් (IISS) විසින් අර්ථ දක්වා ඇති දරාගත හැකියාව මනින යුද්ධවල (tolerance warfare) යුගයකටයි. සමහර විට මෙම දරාගත හැකියාව මනින යුද්ධෝපාය විවෘතව, සැබවින්ම “ප්‍රකාශිතව' ගෙනයනු ලැබේ. නමුත් බොහෝ විට එය ක්‍රියාත්මක කරනු ලබන්නේ විදේශීය ජාල හෝ පුද්ගලික හවුල්කරුවන් හරහා, විශේෂයෙන් මෙම ශිල්පක්‍රමය ක්‍රියාත්මක කරන බලයට යාබද මෙහෙයුම් භූමිවල සිටිමිනි. පවත්නා තත්වය වෙනස්කිරීමට අපේක්ෂා කරන්නන් කැමති දරාගත හැකියාව මනින යුද්ධවලට විරුද්ධව ක්‍රියාකිරීම දුෂ්කරවන්නේ, ඒවා සාම්ප්‍රදායික යුද්ධයේ දේහලීයට වඩා පහලින්, ස්ථාපිත නීතිවල සීමාවෙන් පිටත, එසේ වුවද ස්ථාවරත්වයේ පිලිගතහැකි සීමාවන්ට ඉහලින් ගැටුම් ජනනය කරන හෙයිනි.

කොවිඩ්-19 වසංගතය මෙම ප්‍රවනතාවන්හි මුලෝපායික විරාමයක්ට ඉඩදෙන්නේ නැත. ජාතික ධෛර්යය සහ ස්වයංපෝෂිතභාවය ප්‍රධාන අරමුනු ලෙස සලකනු ලැබේ. කීර්තිය ජාතික බලයේ වැදගත් අංගයක් ලෙස ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.

15. ඉතා පුපුරන සුලුවූ මෙම තත්වය තුල අයිඅයිඑස්එස් මෙසේ අනතුරු අඟවයි: “අරාජකත්වය බොහෝවිට පවත්නේ අතපසුවීම් කිහිපයකට යන්තම් ඔබ්බෙහි ය.

යුද්ධයේ ලක්ෂන, ගැටුම්වල ස්වරූපය, යොදාගත් මුලෝපායන්, ගැටෙන පාර්ශව සහ භාවිතා කරන ආයුධ යන මේ සියල්ල වේගයෙන් වෙනස් වෙමින් තිබේ. රාජ්‍යයන්, සමාගම් සහ අන්තර්ජාතික ක්‍රියාකාරීන් ඩිජිටල් හා ආර්ථික වශයෙන් බලය යොදවන ස්වභාවය වේගවත්ව වෙනස් වෙයි. කලාපීය සංවිධානය පරිවර්තනයවේ. ජාත්‍යන්තර සමාජය පාලනය කරන සම්මතයන්, මාර්ගෝපදේශ, ප්‍රමිති, රෙගුලාසි සහ නීතිවල අන්තර් ක්‍රියාකාරිත්වය චලනයේ පවතියි. ජාත්‍යන්තර සමාජය අප්‍රමානවත් නියාමනයක පවතින අතර එය මුලුමනින්මවාගේ “අපාලිත අවකාශයක්” බවට පත්වෙමින් තිබේ.

16. අයිඅයිඑස්එස් විස්තර කරන “දරාගත හැකියාව මනින යුද්ධ” න්‍යෂ්ටික ගැටුමක සැබෑ අන්තරාය මතු කරන පූර්න පරිමාන යුද්ධයක් දක්වා පහසුවෙන්ම තීව්‍ර විය හැකිය. උත්සන්නවන ප්‍රකෝපකාරී මිලිටරි උපාමාරුවල යෙදෙමින් එක්සත් ජනපදය, අතොරක් නැතිව රුසියාව සහ චීනය හෙලා දැකීම මාරක දේශපාලන තර්කනයක් ගැබ්කර ගනී. මෙම අන්තරාය තීව්‍ර ව ඇත්තේ, අභ්‍යන්තර සමාජ පීඩනය පිටතට, එනම් දේශීය පන්ති ගැටුමෙන් බැහැරට හරවා යුද්ධය දිසාවට යොමු කිරීම සඳහා පාලක පන්තියට ඇති අවශ්‍යතාවය නිසා ය.

17. සිය ගෝලීය භූදේශපාලනික අවශ්‍යතා නිර්දය ලෙස ලුහු බඳිමින් සිටින ධනේශ්වර ප්‍රභූන් සිය ව්‍යාපාරික ලාභ අවශ්‍යතා හා පෞද්ගලික ධනය එක්රැස් කිරීමේ තල්ලුව සමඟ ගැටෙන්නාවූ කිසිදු ආකාරයක ප්‍රතිචාරයක් වසංගතය සම්බන්ධයෙන් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ. 2020 මාර්තු සිට දෙසැම්බර් දක්වා වෝල් වීදියේ කොටස් වටිනාකම් දැවැන්ත ව ඉහල යාම සහ වැඩිවන මරන සංඛ්‍යාව, එකිනෙකට සමාන්තර හා අනුපූරක සංසිද්ධි විය. ධනපතීන් පොහොසත් කරන ප්‍රතිපත්ති හමුවේ, සමූහ මරන නොවැලැක්විය හැකි විය. 2020 ජනවාරි තරම් මෑතකදී එක්සත් ජනපදයේ සහ යුරෝපයේ පාලක පංති විසින්, ජීවිත බේරා ගැනීමට ඉහලින් මූල්‍ය වෙලඳපොලවල අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාවය දීමට තීරනය කරන ලදී. ඩොනල්ඩ් ට්‍රම්ප් පසුව මාධ්‍යවේදී බොබ් වුඩ්වර්ඩ් සමඟ පැවැත්වූ හමුවකදී පිලිගත් පරිදි, වසංගතය නිසා ඇති වන අන්තරාය මහජනතාවගෙන් වසංකර ඇති අතර, කෙයාර්ස් (CARES) පනතේ පිටුබලය යටතේ, වෝල් වීදිය සහ ප්‍රධාන සමාගම් බේරාගැනීමට ඩොලර් ට්‍රිලියන ගනන් ලබාදීමේ වැඩපිලිවෙල සංවිධානය කිරීම පිනිස තිරය පිටුපසින් සැලසුම් සකස් කරන ලදී.

18. 2020 ආරම්භයේ සිට ලෝකයේ ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ධනය ඩොලර් ට්‍රිලියන 7.6 ක් දක්වා, දල වශයෙන් ට්‍රිලියන 1.8කින් වැඩි වී ඇත. ඇමසන් ප්‍රධාන විධායක ජෙෆ් බෙසොස් (ඩොලර් බිලියන 190), ටෙස්ලා හි ප්‍රධාන විධායක ඉලෝන් මස්ක් (ඩොලර් බිලියන 170) ද ඇතුලු මෙම වසංගතයෙන් ලාභ ගැරූ පස් දෙනෙකු එකිනෙකා දැන් ඩොලර් බිලියන 100 කට වඩා වැඩියෙන් හිමිකර ගනියි. ඉහත දැක්වූ පුද්ගලයින් දෙදෙන ඒකාබද්ධව, 2020 දී ඔවුන්ගේ ධනය ඩොලර් බිලියන 217කින් වැඩි කර ගත්තේය.

19. පාලක ස්ථරයේ ධනයෙහි දැවැන්ත වැඩිවීම මුලුමනින්ම රඳා පවතින්නේ, ෆෙඩරල් මහ බැංකුව ඩිජිටල් ලෙස නිපදවන ලද මුදල් --සැබෑ වටිනාකම නිෂ්පාදනයට මුලුමනින්ම සම්බන්ධ නොවන “ව්‍යාජ ප්‍රාග්ධනය”--මූල්‍ය වෙලඳපොල වෙත මාරු කිරීම මත ය. මෙය, සමපේක්ෂන වත්කම්වල මිල සහ ඒවා සතු අයගේ ධනය, අපරිවර්තගෝලීය මුදුනකට නංවා ඇති, සමපේක්ෂනයේ අසික්කිත උන්මාදයක් මුදා හැර තිබේ. සයිබර් අවකාශයෙන් පිටත භෞතික පැවැත්මක් නැති මුදලක් වන ක්‍රිප්ටොකරන්සි බිට්කොයින් හි (cryptocurrency bitcoin -විනිමය මාධ්‍යක් ලෙස ක්‍රියාත්මක වන ඩිජිටල් වත්කමකි) මිල, 2020 දී සියයට 360න්, එනම්, ඩොලර් 7,194 සිට ඩොලර් 34,000 දක්වා ඉහල ගියේය. නත්තල් සහ අලුත් අවුරුදු නිවාඩු කාලය අතරතුර, එහි වෙලඳපල අගය දෙගුනයක තරමින් වැඩි වී තිබේ. අලුත් අවුරුදු සති අන්ත ප්‍රකාශයයක තීරුවක් තුල එඩ්වඩ් ලූස් සෝපාහාසයෙන් ලියූ දැක්වූ පරිදි, ධනවතුන්ට එවැනි තෑගි ලැබෙන්නේ, “ එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුවේ අනුග්‍රහයෙනි… නොමිලේ පොම්ප කෙරෙන මුදල් නිසා සියලු වත්කම් මිල ගනන් ඉහල ගොස් ඇත. ”

20. එහෙත් මහ බැංකු ප්‍රතිපත්තියේ බර කම්කරු පන්තිය මත පැටවේ. ඇපදීම සඳහා මුදල් යෙදවීමට අවශ්‍ය කරන රාජ්‍ය (අයවැය) හිඟයන් සහ සංගතවල නය දැවැන්තව සමුච්චය වීම විසින් ඉල්ලා සිටින්නේ [එය පියවීම සඳහා] සංගතවල ආදායම් සහ ඉහල මට්ටම්වල ලාභදායිත්වයක් අඛන්ඩව ගලා ඒමකි. මෙම මුදල් ගලාඒම නතර වුවහොත්, සමපේක්ෂන බුබුල සහ එය මත රඳා පවතින ධනය පවත්වා ගෙන යා නොහැකිය. මෙම ආර්ථික අවශ්‍යතාව සපුරාලිය හැක්කේ කම්කරු පන්තියේ ශ්‍රම ශක්තිය නිර්බාධිතව සූරාකෑමෙන් පමනි. පලමුවන ලෝක සංග්‍රාමයේදී, මැෂින් තුවක්කු ප්‍රහාරයන්ට හා විෂ වායුවලට මුහුන දෙමින් සොල්දාදුවන් බලහත්කාරයෙන් අගල්වල රඳවා සටන් කිරීම සිදු වූවා සේම, වෛරසය අපාලිත ලෙස පැතිරී තිබියදීත් කම්කරුවන් කර්මාන්තශාලා හා වැඩබිම්වල තබා ගත යුතුය. කෝවිඩ්-19 වෛරසය වැඩිහිටියන්ට සම්ප්‍රේෂනය කරන ප්‍රධාන වාහකයන් ලමුන්ය යන කාරනය තිබියදීම වුව ද, දෙමව්පියන්ට ඔවුන්ගේ රැකියාවන්හි යෙදීමට යා හැකි වන පරිදි පාසල් විවෘතව තැබිය යුතුය.

21. “රංචු ප්‍රතිශක්ති” ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට යටින් පවතින සමාජීය වශයෙන් සාපරාධී ගනන් බැලීම් මේවා ය. එනම්, අවශ්‍ය මට්ටමක් දක්වා වෛරසය පාලනයකින් තොරව පැතිරීමට ඉඩ හැරීමයි. මෙම ප්‍රතිපත්තියේ උපදේශකයින්ට අනුව අවසානයේදී, “රංචු ප්‍රතිශක්තිය” සාක්ෂාත් වනුයේ, ජනගහනයෙන් විශාල කොටසකට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙනි.

22. මෙම ප්‍රතිපත්තිය මහා උද්දාමයක් මධ්‍යයේ ස්වීඩනය විසින් වහාම ක්‍රියාත්මක කරන ලදී. ඉන් අනතුරුව, 2020 මාර්තු මාසයේ ඇපදීමේ වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමෙන් පසු යුරෝපයට සහ එක්සත් ජනපදයට මෙම පිලිවෙත මාරු කරන ලදී. මෙම සමාජ-සාපරාධි ප්‍රතිපත්තිය යුක්ති සහගත කලේ, අගුලු දැමීම් සහ පාසල් වසා දැමීම් මඟින් වෛරසය පැතිරීම නැවැත්වීමට ගන්නා පියවර සඳහා, ඉසිලිය නොහැකි මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවන බව පවසමිනි. ස්වීඩනය විසින් ඉදිරිපත් කරන ලද ආදර්ශය වර්නනා කරමින් නිව් යෝර්ක් ටයිම්ස් කොලමකට ලියූ තෝමස් ෆ්‍රීඩ්මන්, “ප්‍රතිකාරය රෝගයට වඩා දරුනු විය නොහැක” යන සටන්පාඨය ප්‍රචාරය කලේය. මෙම නරුම පදයේ සැබෑ අරුත, මිනිස් ජීවිත බේරා ගැනීම පිනිස ව්‍යාපාරික ලාභ සහ වෝල් වීදියේ කොටස් වටිනාකම් බිලි නොදිය යුතු බවයි.

23. පාලක පන්තියේ ආර්ථික ප්‍රතිපත්තීන්හි දේශපාලන ගම්‍යය නම් ෆැසිස්ට් ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ සාම්ප්‍රදායික ආයතන විසුරුවා හැරීම සහ ඒකාධිපති පාලන තන්ත්‍රයන් පිහිටු වීම සඳහා වෙන කවරදාටත් වඩා විවෘතව හැරීමකි. ව්‍යවස්ථාව පෙරලා දමා ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩනැඟීමේ කුමන්ත්‍රනයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය පෞද්ගලික හිට්ලර්වාදී අභිලාෂයන් ඉටු කර ගැනීමට උත්සාහ කරන හුදෙකලා මානසික රෝගියෙක් නොවේ. ඔහුගේ 2020 මැතිවරන ප්‍රතිපල ප්‍රතික්ෂේප කිරීමට, කොන්ග්‍රසයේ සාමාජිකයන් ද ඇතුලුව රිපබ්ලිකන් පක්ෂයේ විශාල කොටසක් විසින් විවෘතව සහයෝගය ලබා දීමෙන් පෙන්නුම් කරන්නේ, පාලක පන්තිය තුල බලවත් කොටස් ව්‍යවස්ථාව පෙරලා දමා ඒකාධිපති පාලන තන්ත්‍රයක් නිර්මානය කිරීම සඳහා පිටුබලය දීමට කෙතරම් නම් සූදානම්ද යන්නයි.

24. ෆැසිස්ට් කල්ලි දිරිගැන්වීම සමඟ එක්ව ට්‍රම්ප් නිර්දය ලෙස “රැඩිකල් වම” සහ සමාජවාදය හෙලා දැකීමෙන් සනිටුහන් වන්නේ සමාජ අසමානතාවයට එරෙහිව මහා ජනතා ව්‍යාපාරයක් වර්ධනය වීම හුදෙක් සිදුවිය හැක්කක් පමනක් නොව, නොවැලැක්විය හැකි හා අනිවාර්ය දෙයක් බවට කතිපයාධිකාරය තුල පවතින භීතීන්ට කෙරෙන ආයාචනයකි. ට්‍රම්ප්ගේ වාචාලකම සහ ක්‍රියාවන් අනුකුල වන්නේ, ප්‍රසිද්ධ වාම ඉතිහාසයෙකු වන ආනෝ ජේ මේයර් විසින් පූර්වභංග ප්‍රතිවිප්ලවයකට කෙරෙන සූදානම ලෙස අනන්‍ය කෙරුනු දේශපාලන මූලෝපායකට ය.

සැකයෙන්, අවිනිශ්චිතභාවයෙන් හා සැඟවුනු ප්‍රචන්ඩත්වයෙන් පිරි වාතාවරනයක ප්‍රතිවිප්ලවවාදී නායකයින් උත්සාහ කරන්නේ, විප්ලවවාදීන් යලිත් ඔවුන්ගේ අරමුනු සඳහා තත්වය ගසාකෑම හුදෙක් කාලය පිලිබඳ කාරනයක් පමනක් යයි තර්ක කරමින් හා විස්සෝපව සිටින ප්‍රභූව ඒත්තු ගැන්වීමටය. නමුත් අධික ලෙස රත්වූ වාතාවරනය සිසිල් කිරීමට වෙනුවට ඔවුන් හැම ආකාරයෙන්ම පෙනී සිටින්නේ, එය තව දුරටත් ගිනියම් කිරීමට ය. ඔවුන් එසේ කරන්නේ, විප්ලවය ආසන්නයයි තමන් කරන ප්‍රකාශ සනාථ කිරීම සඳහා වන අතර ම, සැබෑ විප්ලවවාදීන් හෝ විප්ලවවාදීන් ලෙස හඳුන්වන්නන් මැඬීමට සිය සමත්කම පෙන්නුම් කිරීම සඳහා ගැටුම්වලට යාමට හෝ ගැටුම් උද්ගත කිරීමට මාන බලමිනි. [යුරෝපීය ප්‍රතිවිප්ලවයේ ගතිකයන්, 1870–1956: විශ්ලේෂනයේ රාමුවක් (නිව් යෝර්ක්: හාපර් සහ රෝ, 1971), පි. 86]

25. මෙම විශ්ලේෂනයෙන්, පසුගිය වසරේ පොලිස් ප්‍රචන්ඩත්වයට විරුද්ධ වූවන්ට එරෙහි ට්‍රම්ප්ගේ ප්‍රහාර පිටුපස ඇති දේශපාලන ගනන් බැලීම් සහ 2020 සැප්තැම්බර් 3 වන දින ඇන්ටිෆා ආධාරකරුවෙකු බව කියන මයිකල් රෙනොහෙල්ගේ රාජ්‍ය ඝාතනය කුරිරු ලෙස උසිගැන්වීම තේරුම් ගැනීමට අවශ්‍ය ඓතිහාසික ඉදිරිදර්ශනය සැපයෙයි.

26. ට්‍රම්ප් තන්ත්‍රයේ ක්‍රියාවන් ගෙන් ජාත්‍යන්තර කමිටුවේ අනතුරු ඇඟවීම් සනාථ වේ. ඔහු බලයට පත්වීමේ දේශපාලන අර්ථභාරය ජාත්‍යන්තර කමිටුව විසින් තක්සේරු කරන ලද්දේ, එක්සත් ජනපද ධනේශ්වර පාලනයේ සමාජ පදනම් පිලිබඳ මාක්ස්වාදී විශ්ලේෂනයක් මත ය. මීට වසර හතරකට පමන පෙර ට්‍රම්ප්ගේ සමාරම්භක උත්සවයට සති දෙකකට පෙර එනම් 2017 ජනවාරි 3 වන දින ප්‍රකාශයට පත් කල සිය අලුත් අවුරුදු ප්‍රකාශයේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ අනතුරුඇඟවුයේය:

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරන ජයග්‍රහනය විසින් එක්සත් ජනපදයේ කතිපයාධිකාර පාලනයේ යථාර්ථය එහි සම්පූර්න ජුගුප්සාජනක නිරුවත සහිත ව අනාවරනය කරනු ලැබ තිබේ. කෙසේ වතුදු අවධාරනය කල යුත්තේ, ට්‍රම්ප් යනු මැතිවරන දිනය දක්වා පැවැති, පලුදු සහිත වුවත් සාරභූත වසයෙන් ශිෂ්ටසම්පන්න සමාජයකට, අයුතු ලෙස මැදිහත් වූ අපරූපියෙක් නොවන බවයි. දේපොල වෙලඳාම්, මූල්‍ය, සූදු කෙලිය හා විනෝදාස්වාද කර්මාන්තයන්ගේ සාපරාධී හා රෝගී සංයෝගයෙහි නිෂ්පාදිතය වන ට්‍රම්ප් වූ කලී, ඇමෙරිකානු පාලක පන්තියේ නිර්ව්‍යාජ මුහුනුවර යි.

එලඹෙන ට්‍රම්ප් පරිපාලනය එහි අරමුනු හා ඊට අයත් පුද්ගලයින් අතින් ගත් කල, කතිපයාධිකාරයෙහි කැරැල්ලක ලක්ෂන සහිත වෙයි. විනාශය තීන්දු කෙරුනු සමාජ පන්තියක් සිය අවසානය කරා ලඟා වෙද්දී, ඉතිහාසයේ රලපහරට මුහුන දීමට එය දරන ප්‍රයත්නය තුල, සිය බලය හා වරප්‍රසාද දිගු කලක් තිස්සේ ඛාදනය වීම ආපසු හැරවීමට දරන වෑයමක ස්වරූපය ගන්නේ ඉඳ හිට නො වේ. සමාජ හා ආර්ථික පරිවර්තනයෙහි දෘඪතර බලවේග සිය පාලනයේ පදනම් කා දැමීම ඇරඹීමට පෙර, එම පන්තිය වරෙක භුක්ති විඳි තත්වය (නැතහොත් එසේ යැයි ඔවුන් සිතන තත්වය) කරා කොන්දේසි ආපසු හැරවීමට උත්සාහ දරයි.

27. ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන උත්සාහය සාර්ථක නොවේය යන උපකල්පනය මත, ජනවාරි 20 දින ජෝශප් බයිඩන් ජනාධිපති ලෙස පත්වේ යයි සැලකුව හොත්, ඉන් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම ආපසු හැරවීම කෙසේ වෙතත් අර්ථභාරී ආකාරයකින් එය නතර කෙරෙන්නේ හෝ නැත. ආඥාදායකත්වය කරා යන ගමන මෙහෙයවනු ලබන්නේ පුද්ගලයන් විසින් නොව 1) ආන්තික සමාජ අසමානතාවය තුලින් අතිශය මාරක ලෙස ප්‍රකාශනය අත්පත් කරගෙන ඇති ඇමරිකානු ධනවාදයේ සමාජ ආර්ථික ප්‍රතිවිරෝධතා සහ, 2) කොතරම් භයානක ප්‍රතිවිපාක ඇති කල ද, එහි භූදේශපාලනික ස්ථාවරය ඛාදනය වීම ආපසු හැරවීමට සහ එහි ගෝලීය ආධිපත්‍යය යලි ස්ථාපිත කිරීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආවේනික හා පාලනය කල නොහැකි ධාවනය මඟින්‍ ය.

28. ඇමරිකානු ධනේශ්වර පාලනයේ මෙම සාරභුත අංග කිසිවක්-- එනම් වඩවඩා ඉහල මට්ටම්වලින් නැගෙන සමාජ අසමානතාව සහ ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවේගය ලෙස එක්සත් ජනපදයේ අවශ්‍යතා ගෝලීයව අත්පත් කරගැනීම--ප්‍රජාතන්ත්‍රවාදය සමග අනුකූල නොවේ. වර්ධනය වන දේශීය විරෝධතාවන්ට සහ පන්ති අරගලයේ වර්ධනයට එරෙහිව, අසමානතාවය ආරක්ෂා කිරීමට පොලිස් රාජ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ. ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීමේ අරගලය සඳහා යුද්ධය සූදානම් කිරීමට හා මෙහෙය වීමට නිමක් නැති, අසීමිත ආර්ථික සම්පත් අවශ්‍ය වේ. එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව බයිඩන් පාලනයේ ප්‍රතිපත්ති තීරනය කරනු ලබන විධානයන් මේවා ය.

29. එහෙත් සමාජ අවශ්‍යතාව ප්‍රකාශනය සොයා ගන්නේ පාලක පන්තියේ ප්‍රතිපත්ති තුල පමනක් නොවේ. එය මහජන විඥානයේ ඉමහත් වෙනස්කම් ද ඇති කරයි. 2021ට ද දිග්ගැස්සෙන 2020 ඛේදවාචකය විසින් ධනේශ්වර පර්යාය කෙරෙහි කම්කරු පන්තියේ විශ්වාසයට වලකපනු ලැබ ඇත්තේ ගැඹුරින් හා ආපසු හැරවිය නොහැකි අයුරිනි. වසංගතයේ මූලික පාඩම නම්, කම්කරු පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කර ගත හැක්කේ, ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලයකින් පමනක් බවයි. රංචු ප්‍රතිශක්තිය පිලිබඳ ප්‍රතිපත්ති කෙරෙහි දැඩි ප්‍රතිරෝධයක් එල්ල වනු ඇතිවා පමනක් නොව, සමාජයේ පවත්නා ව්‍යුහයන්හි වෙනසක් සඳහා ඉල්ලීම් ද වැඩෙනු ඇත. මහජන විඥානයේ වාම මාරුව සහ පන්ති අරගලය තීව්‍ර වීම පූර්ව විප්ලවවාදී තත්වයක ආරම්භක වර්ධනය පිලිබඳ පැහැදිලි ඇඟවුම් වනු ඇත.

30. වෝල් වීදියේ සහ අනෙකුත් ප්‍රධාන කොටස් හුවමාරුවල කොටස් වටිනාකම් සීග්‍රව ඉහල යාමත් සමඟ මරන අනුපාතිකය සීග්‍ර ලෙස ඉහල ගොස් ඇති බව දැන ගැනීමට කම්කරු පන්තිය අසමත් නොවනු ඇත. තදබදයෙන් යුත් දැඩි සත්කාර ඒකකවල දහස් ගනනක් පන අදිමින් හුදෙකලාව මිය යන අතර, ඔවුන්ගේ ආදරනීයයන්ගේ අවසාන වැලඳගැනීම් සහ මුදු මොලොක් බස් පවා අහිමි වී ඇති තතු හමුවේ, වසංගතයෙන් ලාභ ගරන්නන්ගේ පන්තිය, සිය සමාජීය විනාශකාරී ස්වයං-පොහොසත්වීම ගැන උත්සව පවත්වයති. අසික්කිත පෞද්ගලික ධන සමුච්චයට සමගාමිව සමාජ කෝපය ද වැඩී ඇත.

31. මෙම කෝපය, පන්ති අරගලය පුපුරා යාමට තුඩු දෙනු ඇත. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ, ධනවාදී සූරාකෑමට එරෙහි වීමට කම්කරුවන් දරන සෑම උත්සාහයක්ම කඩාකප්පල් කිරීමට කැපවූ ව්‍යාපාරික කලමනාකරනයේ අත්ගෙඩි ලෙස කටයුතු කරන නිල වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් තොර, ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීම ආරම්භ කිරීමට දරන උත්සාහය මගින්, මෙම වර්ධනය පූර්වාපේක්ෂා කර හා දිරිමත් කර තිබේ.

32. කම්කරු පන්තිය විප්ලවවාදී අරගලයේ වාසුලිය තුලට ඇදී යමින් සිටී. යුරෝපීය වංශාධිපතීන්ගේ සහ උතුරු ඇමරිකානු වහල් හිමියන්ගේ ධනය හා වරප්‍රසාද හේතුකොටගෙන පැරනි පාලක පන්තීන්ගේ ධනය හා බලය පදනම් කරගත් ආර්ථික හා සමාජ සම්බන්ධතා පෙරලා දැමීම සඳහා ඉල්ලීම් වර්ධනය වුනා සේම, නුතන ගෝලීයකරනය වූ ලෝකය, කුඩා ධනවාදී ප්‍රභූ පැලැන්තියක් අත සමාජ ධනය සන්කේන්ද්‍රනය වීම නිමක් නැතිව ඉවසන්නේ නැත. කතිපයාධිකාරීන්ගේ ධනය අත්පත් කර ගැනීම සහ ලෝක ආර්ථිකය මානව වර්ගයාගේ උවමනාවන් ඉටු කිරීම සඳහා සමාජවාදී ප්‍රතිසංවිධානයක් ඇතිකිරීමට කෙරෙන ඉල්ලුම මෙම අර්බුදයෙන් අනිවාර්යෙන්ම පැන නගී. මෙම සමාජ සන්තතියේ වෛෂයික තර්කනය හඳුනාගැනීම, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දේශපාලන ඉදිරිදර්ශනයේ සහ භාවිතවේ සැබෑ පදනමයි.

33. කම්කරු පන්තිය තුල සමාජවාදී ව්‍යාපාරය වර්ධනය කිරීම, එහි ස්වභාවයෙන්ම ජාත්‍යන්තර අරගලයකි. මානව වර්ගයා මුහුන දෙන සෑම ප්‍රධාන ගැටලුවක්ම ගෝලීය ගැටලුවක් බවද එයට ගෝලීය විසඳුමක් අවශ්‍ය බව ද වසංගතය විසින් වඩාත් සෘජු ආකාරයෙන් හෙලිදරවු කර තිබේ. ජීවිත කෙරෙහි දක්වන එම නොතැකීම, එම නොහැකියාව සහ අසංවිධානාත්මක බව, පුද්ගලික ධනය ගොඩගැසීමට හා භූදේශපාලනික අවශ්‍යතාවලට සමාජ අවශ්‍යතාවයන් නිර්දය ලෙසට යටත් කිරීමේ එම පිලිවෙතම, දේශගුනික විපර්යාස, ලෝක යුද්ධය හෝ මහජන දරිද්‍රතාවය වේවා සෑම ගැටලුවක් කෙරෙහිම පාලක පන්තියේ ප්‍රතිචාරය ද ගුනාංගිකරනය කරයි.

34. ධනවාදයට එරෙහි පොදු අරගලයක් තුල ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීමට නම්, අන්ත දක්ෂිනාංශයේ ජාතිකවාදය හරහා හෝ ව්‍යාජ වමේ වර්ගය පදනම් කරගත් අනන්‍යතා දේශපාලනය හරහා කම්කරුවන් බෙදීමට ගන්නා සියලු උත්සාහයන්ට විරුද්ධ වීම අවශ්‍ය වේ. පසුගිය වසර පුරා ඩිමොක්‍රටික් පක්ෂය සහ නිව්යෝර්ක් ටයිම්ස් වාර්ගික බෙදීම් ප්‍රවර්ධනය කිරීම සඳහා අතොරක් නැති ව්‍යාපාරයක් දියත් කර ඇති අතර, එක්සත් ජනපදයේ මූලික බෙදීම “සුදු ඇමරිකාව” සහ “කලු ඇමරිකාව” අතර මිස කම්කරු පන්තිය සහ ධනපති පන්තිය අතර නොවේ යයි කියා සිටියේය. මෙය ඉහල මධ්‍යම පංතියේ ප්‍රතිගාමී දේශපාලනය වන අතර එය සටන් කරන්නේ සමාජ සමානතාව සඳහා නොව, ජනගහනයෙන් ඉහල ම සියයට 10 තුල ධනය හා වරප්‍රසාද වඩාත් වාසිදායක ලෙස බෙදා හැරීම සඳහා ය.

35. වාර්ගික දේශපාලනය ප්‍රවර්ධනය කිරීම යනු, සමාජ විරෝධය ඩිමොක්‍රටික් පක්ෂයේ රාමුව තුල තබා ගැනීමට පාලක පන්තිය දරන උත්සාහයේ එක් විධික්‍රමයකි. 2020 වසන්තයේ දී පුපුරා ගොස් එක්සත් ජනපදය පුරා සහ ජාත්‍යන්තරව පැතිර ගිය පොලිස් ඝාතනයට එරෙහි මහජන විරෝධතාවලින් පැන නගින කේන්ද්‍රීය දේශපාලන පාඩම මෙයයි. ඩිමොක්‍රටිකයින් සහ ඔවුන්ගේ සහායක ව්‍යාජ වාම සංවිධාන, සියලු ජාතීන්ට අයත් කම්කරුවන්ට සහ තරුනයින්ට බලපාන පොලිස් ප්‍රචන්ඩත්වයේ වසංගතය පිලිබඳව පලවූ කෝපය, “සුදු වරප්‍රසාද” හෙලා දැකීම පිටුපස පෙලගැස්වීමට ක්‍රියාකලේ ය. නිව්යෝර්ක් ටයිම්ස් හි 1619 ව්‍යාපෘතිය මගින් ආරම්භ කරන ලද ඉතිහාසය පිලිබඳ වර්ගවාදී මුසාකරනය, ඇමරිකානු විප්ලවය සහ සිවිල් යුද්ධය යන එක්සත් ජනපදයේ ධනේශ්වර-ප්‍රජාතන්ත්‍රවාදී විප්ලව දෙකේ නායකයින්ගේ ප්‍රතිමා කඩා බිඳදැමීමේ ප්‍රතිගාමී ව්‍යාපාරයක් හරහා තීව්‍ර කරන ලදී.

36. ඇමරිකාවේ ඩිමොක්‍රටික් සෝශලිස්ට් හා අනෙකුත් ව්‍යාජ වාම සංවිධාන විසින් සහාය දෙන ලද, වර්මොන්ට් ප්‍රාන්ත සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස්, ධනවාදයට එරෙහි විරෝධය ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස හරවා යැවීම සඳහා යලිත් වරක් ප්‍රතිගාමී හා දෙබිඩි ක්‍රියාකලාපයක් ඉටු කලේ ය. 2016 මැතිවරනයේ දී මෙන් ම, 2020 මැතිවරනයේ දී ද, සැන්ඩර්ස් තමා “දේශපාලන විප්ලවයකට” නායකත්වය දෙන බව කියා සිටියේ, ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයේ දක්ෂිනාංශික අපේක්ෂකයාට පිටුබලය දීම සඳහා පමනි. සමාජ ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කිරීම සඳහා බයිඩන් පරිපාලනයක් විසින් “අවකාශයක්” නිර්මානය කරනු ඇතැ යි සෑන්ඩර්ස් හා අනෙකුත් අය කල ප්‍රකාශ බයිඩෙන් බලයට පත්වීමටත් පෙර ප්‍රතික්ෂේප කෙරී ඇත. ඔහු දක්ෂිනාංශික කැබිනට් මන්ඩලයක් එකලස් කර, “එක්සත්කම” සඳහා නිමක් නැති ඉල්ලීම් නිකුත් කර, තම “රිපබ්ලිකානු සගයන්,” එනම්, මැතිවරනය සොරකම් කර ව්‍යවස්ථා විරෝධී ජනාධිපති ආඥදායකත්වයක් ඇති කිරීමට ට්‍රම්ප් ගන්නා උත්සාහයට සහාය දී ඇති අය සමඟ වැඩ කිරීමට ප්‍රතිඥා දී තිබේ.

37. එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා හා ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය, සමාජවාදය සඳහා අරගලයට කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම සමඟ අවියෝජනීය ලෙස බැඳී ඇත. 2020 කේන්ද්‍රීය පාඩමක් වන්නේ, ධනවාදයේ අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා අව්‍යාජ ප්‍රගතිශීලී මාවතක් සොයා ගත නො හැකි වන තාක් දුරට, 20වන සියවසේ සියලු භීෂනයන් ඊටත් වඩා ලේවැකි හා ම්ලේච්ඡ ස්වරූපයන්ගෙන් යලිත් මතුවනු ඇත යන්න යි.

38. පසුගිය වසර පුරා, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායකත්වය, එනම් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, එහි ඓතිහාසික පදනම්වල ශක්තිය සහ මාක්ස්වාදී විධික්‍රමයේ බලය ප්‍රායෝගික ව ප්‍රදර්ශනය කර ඇත. වසංගතයේ මුල් අවධියේ සිට ම, ජාත්‍යන්තර කමිටුව ගෝලීය අන්තරාය ගැන අනතුරු අඟවා, පාලක ප්‍රභූන්ගේ කුමන්ත්‍රන හෙලිදරව් කර, මාරාන්තික වෛරසය නැවැත්වීම සඳහා කම්කරු පන්තියට ක්‍රියාමාර්ගයක් හා ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කලේ ය. වසංගතය පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ආවරනයට සැසඳිය හැකි එකදු ප්‍රකාශනයක් වත් ලොව නොමැත.

39. පෙබරවාරි 28 වන දින, ගෝලීය මරන 3,000ට වඩා අඩු වූ අතර එක්සත් ජනපදයේ එතෙක් මරන සංඛ්‍යාවක් වාර්තා නො වූ අවස්ථාවේ දී, වසංගතයට ක්ෂනික ගෝලීය ප්‍රතිචාරයක් සඳහා ජාත්‍යන්තර කමිටුව හදිසි ඉල්ලීමක් නිකුත් කලේ ය. පාලක පන්තිය අන්තරාය අවතක්සේරු කරමින් හා ක්‍රියාමාර්ග ප්‍රමාද කරමින් සිටිය දී, ජාත්‍යන්තර කමිටුව මාරාන්තික තර්ජනයට එරෙහි ව සටන් කිරීම සඳහා ලෝකයේ විද්‍යාත්මක, තාක්ෂනික හා සමාජ සම්පත් බලමුලු ගැන්වීම ඉල්ලා සිටියේ ය. එක්සත් ජනපදයේ මරන සංඛ්‍යාව යන්තම් 100 ඉක්මවා ගිය මාර්තු 17වන දින, එක්සත් ජනපදයේ සමාජවාදී සමානාත්මතා පක්ෂයේ ජාතික කමිටුව “කම්කරු පන්තියට ක්‍රියාකාරී වැඩපිලිවෙලක්” ප්‍රකාශයට පත් කල අතර, එයට කම්කරුවන් සඳහා පූර්න ආදායමක් ලබාදීම සහිත ව, පාසල් හා අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වහා ම වසා දැමීම ඇතුලත් විය. මේවා සමූහ මරන හා සමාජ විනාශය පිලිබඳ පාලක පන්තියේ ප්‍රතිපත්තිය වෙනුවට සමාජවාදී ක්‍රියාමාර්ගික හා දේශපාලන විකල්පය පිලිබඳ ඓතිහාසික වාර්තාවක් සපයන නොගිනියහැකි තරම් ප්‍රකාශන හා ලිපිවලින් දෙකක් පමනි.

40. පලමුවන ලෝක සංග්‍රාමය බොල්ෂෙවික් පක්ෂයේ දුරදක්නා බව පෙන්නුම් කලා සේ ම, වර්තමාන අර්බුදය සමකාලීන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසික පෞරුෂය පෙන්නුම් කර ඇත. ජාත්‍යන්තර කමිටුව විසින් සටන් කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූයේ නම්, ලක්ෂ සංඛ්‍යාත ජීවිත බේරා ගැනීමට ඉඩ තිබූ බවට සැකයක් නැත.

41. පූර්ව විප්ලවවාදී තත්වයක කාල සීමාව, එනම් බලය සඳහා සෘජු අරගලයකට මාරුවීමේ කාල දීර්ඝත්වය, කල්තියා පුරෝකථනය කල නො හැක. කම්කරු පන්තියේ අරගලවලට සහභාගී වීමෙන් බැහැර ව, සිදුවීම්වල සීඝ්‍රතාව පිලිබඳ සමපේක්ෂනය කිරීමකට තිබිය හැක්කේ වියුක්ත හා පාරභෞතික ස්වභාවයක් පමනි. ධනවාදයේ වෛෂයික අර්බුදය හා පන්ති අරගලයේ වර්ධනයේ සන්දර්භය තුල සමාජවාදී ව්‍යාපාරයට මුන ගස්වන අභියෝගය වන්නේ කම්කරුවන්ගේ පන්ති විඥානය ඉහල නැංවීම හා ඔවුන්ගේ ව්‍යාපාරයට සමාජවාදී දිශාවක් ලබාදීම යි.

42. නමුත් මෙම කාර්යය හුදෙක් පිටතින් සිට කම්කරුවන්ට උපදෙස් දීමෙන් සමන්විත නො වේ. සමාජවාදය සඳහා අරගලයේ සාර්ථකත්වය රඳා පවතින්නේ කම්හල්, පාසල් හා කම්කරු පන්තියේ සෑම අංශයක ම සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රබල නියෝජනයක් ස්ථාපිත කිරීම මත ය. සමාජ සමානතාව සඳහා තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයේ තරුනයන් කම්කරු පන්තිය තුල සසප පුලුල් කිරීමේ දී තීරනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.

43. කම්කරු පන්තියේ බලගතු ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සමාජ හා දේශපාලන තත්වය මෝරා ඇත. සමාජවාදය සඳහා වන අරගලයේ ක්‍රියාකාරී වීමටත්, සමාජවාදී සමානතා පක්ෂයට බැඳීමටත්, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවැනි ජාත්‍යන්තරය ගොඩනැගීමටත් එක්වන ලෙස අපි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

[මෙය 2021 ජනවාරි 4 වැනි දා ජාත්‍යන්තර සංස්කරනයේ පල කෙරුනු ඉදිරිදර්ශනයේ සිංහල පරිවර්තනයයි.]

Loading