යුරෝපයට සංක්‍රමනය වීමට තැත් කල තරුනයෝ මුහුදේදී අනතුරට ලක්ව "අතුරුදහන්" වෙති: ධනවාදය නිර්මානය කල අපරාධයක්

පසු ගිය දෙසැම්බර් 3 වැනි දා, ශ්‍රී ලාංකිකයන් ද ඇතුලත් 13 දෙනෙකුගේ තරුන කන්ඩායමක් මොරොක්කෝ හි සිට අත්ලාන්තික් සාගරය හරහා යුරෝපය ට සංක්‍රමනය වීමට දැරූ උත්සාහයේදී, ඔවුන් රැගත් බෝට්ටුව අනතුරට ලක්වී එහි සිටි බහුතරයක් 'අතුරුදහන්' වී ඇත.

වවුනියාවේ නොච්චිකුලම් හි පදිංචි ව සිටි මනේන්ද්‍රන් කවිඤන් (23), කුරුමන්කාඩු හි පදිංචි ව සිටි ප්‍රසන්න (27) සහ කයිට්ස්හි පදිංචි ව සිටි මුහුන්දන් තුල්සිදරන් (25) මෙම අනතුරින් ආගිය අතක් නැති ශ්‍රී ලාංකික තරුනයෝ වෙති. දෙසැම්බර් 6 වැනි දා, ඔවුන් යාත්‍රා කල ඩින්ගි බෝට්ටුව අනතුරට ලක් ව ඇති බවට ආරංචියක් නිවෙස්වලට ලැබී ඇත. ඉන් පසු මෙම තරුනයන් ගැන කිසිදු ආරංචියක් සොයා ගැනීමට නැති බව දෙමවුපියෝ පවසති.

අතුරුදන් වූ මුහුන්දන් තුල්සිදරන් (25)

වසරකට උතුරු අප්‍රිකාවේ සහ මැදපෙරදිග හරහා යුරෝපයට සංක්‍රමනය වීමට යත්න දරන සරනාගතයෝ සිය ගනනින්, මුහුදුබත් ව හෝ අන් අයුරින් ජීවීතක්ෂයට පත් වෙති. යුරෝපා සංගමයට අයත් රටවල්, ජාත්‍යන්තර සරනාගත නීතීන් උල්ලංඝනය කරමින් සරනාගතයන් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම මෙවන් අන්තරායකාරී මාර්ග වලට ඔවුන් පෙලඹීමේ හේතුවයි. මෙම ව්‍යසනයන්ට එම ධනපති ආන්ඩුවල ඉහත මිනීමරු ප්‍රතිපත්තිය ඍජුව ම වගකිව යුතු ය.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ මුහුන්දන් තුල්සිදරන් ගේ පියා සමග ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් ට සාකච්ඡා කිරීමට හැකි විය. එම සාකච්ඡාව මෙම තරුනයන් එකී ඉරනමට ඇද දැමීමට හේතු වූ සමාජ කොන්දේසි එලිදරවු කරන්නක් විය.

“තුල්සිදරන් තම පවුල ගැන දැඩි ලැදියාවක් පැවති තරුනයෙක්. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට තරම් උසස් අයුරින් ඔහු උසස් පෙල සමත් වුවත්, ආර්ථික දුෂ්කරතා නිසා එම අවස්ථාවන්ට යොමු වුනේ නෑ. මටත් වයස අවුරුදු 10 දී අධ්‍යාපනය අත හැර ධීවර කර්මාන්තයට යොමු වෙන්න සිදු වුනා. ඔහුට යුරෝපයට යා ගත නොහැකි ව වසර තුනක් අවිනිශ්චිත තත්ත්වයක මොරොක්කොවේත් මාලිවලත් ජීවත් වෙන්න සිද්ධ වුනා. දිනපතා නිවෙසට අන්තර්ජාලය ඔස්සේ කතා කර සැමගේ සුව දුක් විමසීමට ඔහු පුරුදු ව සිටියා” යැයි ඔහුගේ පියා තුල්සිදරන් පවසා සිටියේ ය.

තුල්සිදරන් උසස් පෙල කලා විෂය ධාරාවෙන් බී සාමාර්ථ දෙකක් සහ සී සාමාර්ථයක් ඇති ව සමත් වී ඇත. මුදල් වියදම් කිරීමේ දුෂ්කරතා සහ උපාධිධාරීන් මුහුන දෙන රැකියා අර්බුදය උසස් අධ්‍යාපනය කෙරෙහි යොමු වීමට ඔහුව අධෛර්ය කලේ ය. කොලඹ ආන්ඩුවේ දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයෙන් විනාශ කෙරුනු පවුලක වැඩිමල් දරුවා වන ඔහුට බාල සහෝදරයන් ති දෙනෙකුගේ සහ බාල සහෝදරියන් දෙ දෙනෙකුගේ වගකීම් වෙනුවෙන් ආදායම් මාර්ගයක් සොයා යාමට බල කෙරුනි.

අවුරුදු 4ක් 5ක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබ අනතුරුව වසර ගනනාවක් පොරොත්තු ලේඛනවල තබා ගනිමින් උපාධිධාරීන් රජයේ රැකියාවලට බඳවා ගන්නේ සොච්චම් වැටුප්වලට සංවර්ධන නිලධාරී වැනි තනතුරුවලට ය. අනුප්‍රාප්තික ආන්ඩු දිගින් දිගට ම ස්ථිර රැකියා කොන්දේසි විනාශ කරමින් කොන්ත්‍රාත් ශ්‍රමය සුලභ කිරීමේ වැඩකටයුතුවල යෙදී සිටින්නේ ආයෝජකයන්ට හිතකර කොන්දේසි නිර්මානය කරමිනි. රැකියා කොන්දේසි කාබාසිනියා කර දමා ඇති පසුබිමක තම ජීවිත ස්ථාවර කර ගැනීම සම්බන්ධයෙන් තරුනයන් විකල්පයක් වශයෙන් දකින්නේ රජයේ රැකියාවක ස්ථිර පත් වීමක් ලබා ගැනීමයි. නැතහොත් තම ජීවිත පරදුවට තබා හෝ දියුනු රටක රැකියාවකට යාමටයි.

තුල්සිදරන්ගේ පියා සුලු ධීවරයෙකි. ඔහුගේ කුඩා ධීවර බෝට්ටුව පසුගිය බුරවි කුනාටුවෙන් විනාශ වී ගිය අතර දැන් ඔහු බෝට්ටුවක් හිමි අයෙකු සමග එක් වී ධීවර කර්මාන්තයේ යෙදෙයි. කොවිඩ්-19 ගෝලීය වසංගතය මධ්‍යයේ මත්ස්‍ය වෙලඳපොල කඩා වැටීමත් සමග ධීවර කර්මාන්තයෙන් උපයා ගත හැකි ආදායම සෑහෙන පහත වැටී ඇත. රුපියල් 900කට විකුනූ දැල්ලන් කිලෝවක් දැන් රුපියල් 400ක මට්ටමට වැටි ඇති අතර කයිට්ස් ආශ්‍රිත ප්‍රදේශයේ සුලබ ව හමුවන කැලවා වැනි ඇතැම් මත්ස්‍යන් දැන් කෙසේවත් මිල දී ගනු ලබන්නේ නැත.

තුල්සිදරන්ගේ සහෝදරයෙකු මාර්ග නඩත්තු කම්කරුවෙකු ලෙස සේවය කරන අතර ඔහුට වැඩ ලැබීම බොහෝ සෙයින් අවිනිශ්චිත ය. වැඩ කරන දිනකට රුපියල් 1400ක කුලියක් ලැබෙන අතර මාසයකට වැඩ ලැබෙන්නේ දින 15ක් පමන වේ.

මාසික වියදම පියවා ගැනීමට මාසික ආදායමක් සපයා ගත නොහැකි දුගීන්ට නය වීම හැර වෙන විකල්පයක් නැත. මෙම දුගී බව ගසා කමින් තර වන්නේ ක්ෂුද්‍ර නය ආයතන වැනි මූල්‍ය ආයතනයි. ඔවුන්ගේ පවුලට රුපියල් 20,000ක මාසික නය වාරිකයක් ගෙවීමට ඇති අතර ඉන් මාසික ව දස දහසක් ක්ෂුද්‍ර නය සහ පොලි වෙයි.

1990 දී කයිට්ස් දූපත නාවික හමුදාව විසින් කඳවුරු ලා ගැනීමත් සමග ඔවුන්ගේ පවුලට සරනාගතයන් වශයෙන් ත්‍රිකුනාමලයේ පදිංචියට යාමට සිදු විය. 2002 දී සටන් විරාම ගිවිසුම සමයේ දී, සොච්චම් ආධාරයක් සමග කයිට්ස් හි මුල් පදිංචි ස්ථානයට නැවත පැමිනීමට ඔවුන්ට හැකි විය. යුද්ධය අවසන් වූව ද, කයිට්ස් දූපත තවමත් ඇත්තේ හමුදා අඩස්සියකයි.

2019 වසරේ ශ්‍රී ලංකාවේ වයස අවරුදු 15-24 අතර තරුන විරුකියා ප්‍රතිශතය සියයට 21.5 කි. දිවයිනේ අනෙක් පලාත්වලට සාපේක්ෂ ව උතුරු නැගෙනහිර පලාත්වල ශ්‍රම බලකාය සහභාගී වීමේ කැපී පෙනෙන අඩුවත් ඇති බව, 2018 ලෝක බැංකු වාර්තාවක් පෙන්වා දෙයි. තරුනයන් තම ජීවිත අවදානම නොතකා රැකියා සොයා අන් රටවලට ඇදීයාම මගින් පෙන්නුම් කරන්නේ මෙම සමාජ ව්‍යසනයේ පරිමාව‍යි.

තුලසිදරන් මීට වසර තුනකට පෙර ප්‍රංශයේ රැකියාවක් සොයා ගැනීමේ අරමුනින් අප්‍රිකා මහද්වීපයේ මාලි බලා පිටත් විය. මොරොක්කෝව හරහා ස්පාඤ්ඤයට යාත්‍රා කර යුරෝපයට ප්‍රවේශය ලබා ගැනීම ඔහුගේ අරමුන විය. මේ අතරවාරයේ ලංකාවේ ඒජන්සිය පොලිසිය විසින් වටලනු ලැබුනි. මේ නිසා අවුරුදු තුනක් විදේශයන්ගේ සංක්‍රමනික පොලිසිවලින් ගැලවෙමින් රැකියාවක් හෝ නොමැති ව තම නිවෙස්වල සහ ඥාතීන්ගේ ආධාර මත ජීවත් වන්නට ඔවුනට සිදු විය.

පසු ගිය ජූලියේ දී පමන ඔහු මොරොක්කෝ පොලිසිය විසින් අනවසර සංක්‍රමනිකයෙකු වශයෙන් අත් අඩංගුවට ගනු ලැබ ඇත. මෙම දුෂ්කර තත්ත්වයන් හේතුවෙන් ස්පාඤ්ඤයට කෙසේ හෝ යාත්‍රා කිරීමට ඔවුන්ව පොලඹවනු ලැබුනි. මේ අනුව, ඔහු සහ වවුනියාවෙන් ගිය තවත් තරුනයන් තිදෙනෙකු තවත් මොරොක්කෝ සරනාගතයන් කන්ඩායමක් සමග එක් ව ඩිංගි බෝට්ටුවක් මිල දී ගෙන අත්ලන්තික් සාගරය තරනය කරමින් ස්පාඤ්ඤයට පිවිසීමට අවසානයේ තීරනය කර ඇත.

අත්ලන්තික් සාගරය සහ මධ්‍යධරනී මුහුද වෙන් කෙරෙන ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධිය යුරෝපයේ ස්පාඤ්ඤයත් උතුරු අප්‍රිකාවේ මොරොක්කෝවත් වෙන් කරන්නේ කිලෝ මීටර 15කිනි. උතුරු අප්‍රිකාවේ මොරොක්කෝවේ සියුටා සහ මෙලිලා වරායවල අයිතිය සහ කැනේරි දූපත් ස්පාඤ්ඤ පාලනය යටතේ ස්වයං පාලන ප්‍රදේශ වශයෙන් පවතී. යුරෝපයට සංක්‍රමනය වීම සඳහා බොහෝ සරනගාතයෝ මෙම ස්ථාන තම ගමනාන්ත ලෙස තෝරා ගනිති.

2014 දී මධ්‍යධරනී මුහුදේ දී අනතුරට පත් සරනාගතයන් පිරිසක් බේරා ගන්නා අවස්ථාවක් © Italian Navy/M. Sestini

ස්පාඤ්ඤයේ ව්‍යාජ-වාම පොදෙමෝස්-සමාජවාදී පක්ෂ ආන්ඩුව සරනාගතයන්ට එරෙහි යුරෝපා සංගමයේ නීති තවත් දැඩි කිරීමට එක් වී ඇත. ස්පාඤ්ඤ සීමාවන්ට පැමිනෙන සරනාගතයන් ගැන මොන යම් ම හෝ සලකා බැලීමකින් තොර ව ක්ෂනික ව පිටුවහල් කිරීම සඳහා නීති බලාත්මක කර ඇති අතර දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කිරීම වැනි අමානුෂික පියවරයන්ට විවෘත ව ම යොමු වී පවතී. මුහුදේ දී අනතුරට පත් වන සරනාගතයන් බේරා ගැනීම දැනුවත් ව ම මගහැරීමට යුරෝපා සංගමය දැනුවත් ව ම ක්‍රියා කරයි. සෑම සරනාගතයන් 16 දෙනෙකු ම සයුර තරනයේ දී ජීවිතක්ෂයට පත් වන බව ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන් ෆෝ මිග්‍රේෂන් සඳහන් කරයි.

කොලඹ ආන්ඩුවේ දශක 70ක පාලනය නිර්මානය කල සමාජ කාලකන්නි බව නිසා රට අත හැර යාමට සිද්ධ කෙරී ඇති මෙම තරුනයන් “නීති විරෝධී සංක්‍රමනිකයන්” ලෙස සාපරාධීකරනය කොට මුහුදේ දී ජීවිතක්ෂයට පත් වීමට අත හරින යුරෝපා සංගමයේ මිනීමරු ප්‍රතිපත්තිය සහ ලංකාවේ ධනපති රාජ්‍ය යාන්ත්‍රනයේ ක්‍රියා මාර්ගය අතර කිසිදු වෙනසක් නැත.

විදේශ නය ගෙවීම් සහ අය වැය පරතරය අඩු කිරීමේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ විධානයන් හඹා යන රාජපක්ෂ ආන්ඩුව නිරෝධායන පහසුකම් වැඩි වර්ධනය කරමින් විදේශගත ව සිටින ශ්‍රී ලාංකික කම්කරුවන් නැවතත් තම රටට පැමිනිමට ඇති අයිතිය උල්ලංඝනය කරමින් සිටී. නමුත් සංගත ලාභ උදෙසා, අනාරක්ෂිත ගෝලීය කොන්දේසි යටතේ සංචාරක කර්මාන්තය විවෘත කොට ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ ජූනියේ දී දිනමිනට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දී “හොර ඒජන්සි මාර්ගයෙන් විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය බොහෝ පිරිසක් එම රටවල අසරනභාවයට පත්වුනා. නමුත්, අපට කරන්න දෙයක් නැහැ.” යැයි සඳහන් කලේ ඔවුන් වසංගත තත්ත්වය සලකා ලංකාවට ගෙන්වා ගැනීමට කල ඉල්ලීම් මුලුමනින් ම ප්‍රතික්ෂේප කරමිනි.

මෙම අතුරුදන් වූ තරුනයන්ගේ දෙමාපියන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ යාපන දිස්ත්‍රික් කාර්යාලයට තම දරුවන් සම්බන්ධයෙන් තොරතුරක් සොයා ගැනීමට උපකාර වන්නැයි ඉල්ලා ලිපි භාර දී ඇතත් තවම ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. මේ නිසා මලසිරුරුවල අනන්‍යතාව තහවුරු කර ගත නොහැකි ව තම දරුවන් අතුරුදහන් ව ඇති අය ලෙස සැලකීමට සිදු ව තිබේ.

කම්කරුවන්ට පරාගත ජාතික රාජ්‍ය සීමාවන් ඉක්මවමින් තමන් කැමති ප්‍රදේශයක රැකියා කිරීමටත්, ඔවුනට ශිෂ්ඨසම්පන්න ජීවිතයක් ගත කිරීමට ආදායමක් සහතික කරන රැකියා සමගින් සෙසු සමාජ ගැටලු විසඳීමටත්, ලාභය මත පදනම් ව ඇති ලෝක ආර්ථිකය සමාජවාදී පදනමක යලි සැලසුම් කල යුතු ව ඇත.

Loading