ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය සහ ෆැසිස්ට්වාදයේ නැගීම: ඇමරිකාව කොයිබටද?

[මෙම සාකච්ඡාවේ පෙල ජනවාරි 19 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.]

2021 ජනවාරි 6 වන දින හා ඉනික්බිතිව ඇති වූ ප්‍රචන්ඩ සිදුවීම් කෙරේ එක්සත් ජනපදය තුල මෙන්ම ලෝකය පුරාම ද දැක්වුනු ආරම්භක ප්‍රතික්‍රියාව, වටහා ගත හැකි ලෙසම, තිගැස්මෙන් යුත් එකක් විය.

ජෝසෆ් බයිඩන් එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමේ සමාරම්භක උත්සවය පැවැත්වෙනු ඇත්තේ, ජාතික ආරක්ෂක බලකායේ භටයන් 25,000 ක් විසින් අත්පත් කර ගන්නා ලද අගනුවරකය. එක් හමුදා නිලධාරියෙකු සඳහන් කල පරිදි, මෙම සංඛ්‍යාව වර්තමානයේ ඇෆ්ගනිස්ථානයේ නවතා ඇති ඇමරිකානු හමුදාවල සංඛ්‍යාව මෙන් දල වශයෙන් 10 ගුනයකි. වොෂින්ටන් ඩීසී හි දේශපාලන වාතාවරනය කෙබඳු ද යත්, වසර දෙසියයක් ඉක්මවා යන කාලයක් පුරා ඇමරිකානු දේශපාලනයේ ප්‍රධානතම චාරිත්‍රයක්ව පැවැති නව ජනාධිපතිවරයෙකු වැඩ ආරම්භ කිරීමේ නිල උත්සවය මහජන සහභාගීත්වය තහනම් කරනු ලැබ ඇති උත්සවයක් වනු ඇත.

1861 පෙබරවාරියේ, සිවිල් යුද්ධය අද්දර දී ඉලිනොයිස්හි ස්ප්‍රින්ෆීල්ඩ් සිට වොෂින්ටන් ඩීසී කරා එමින් සිටි ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කිරීම සඳහා වූ සාංගමික කුමන්ත්‍රනයක් මඟ හැර යාමට ඔහු බැල්ටිමෝර් හරහා හොර පාරෙන් රැගෙන ඒමට සිදු විය. එහෙත් 1861 මාර්තු 4 වන දින, විශාල සාමකාමී ජනකායයක් ඉදිරියේ සිය නිලයේ දිවුරුම් දෙමින් ප්‍රථම සමාරම්භක දේශනය පැවැත්වීමට ඔහු සමත් විය. ඉන් සිව් වසරක ඇවෑමෙන් සිවිල් යුද්ධයේ අවසාන සති කිහිපය තුල දැවැන්ත ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ ඔහු සිය දෙවැනි ධුර කාලය සඳහා වූ බලගතු සමාරම්භක දේශනය පැවැත්වීය.

එක්සත් ජනපදයේ ඓතිහාසික අත්දැකීම් තුල, වත්මන් තතු සමඟ සැසඳෙන කිසිවක් කිසිදා පැවැතී නැත. වොෂින්ටන් ඩීසී හි වටලනු ලැබ ඇති තත්වයක් පවතිනු පමනක් නොවේ. අන්ත දක්ෂිනාංශික බලවේගවල ප්‍රචන්ඩ ප්‍රහාරවලට ලක් වෙතැයි බියට පත් රාජ්‍ය බලධාරීන් විසින් රට පුරාම ඇති කොන්ග්‍රස් සභා ගොඩනැඟිලි වසා දමනු ලැබ ඇත.

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය සහ ෆැසිස්ට්වාදයේ නැගීම: ඇමරිකාව කොයිබටද?

ජනවාරි 6 දින සිදුවීම් කෙතෙක් කම්පනකාරී වුව, කොන්ග්‍රස් සභා ගොඩනැඟිල්ලට එල්ල වූ ප්‍රහාරය කල්තබා දැන ගැනීමට හැකියාවක් නොවූ බවට කෙරෙන කියාපෑම් බැරෑරුම් විශ්ලේෂනයක් හමුවේ බිඳ වැටේ. එවැනි තර්ක සම්බන්ධයෙන් වන හොඳම ප්‍රතික්ෂේප කිරීම ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කිරීම් තුලින් සොයා ගත හැකිය. ආඥාදායකත්වයක් පිහිටුවීමෙහි ලා ට්‍රම්ප්ගේ අභිලාෂය පිලිබඳව ලෝසවෙඅය ස්ථිරසාර ලෙස අනතුරු හඟවා ඇත. එම අභිලාෂය සිව් වසරකට ඉහත පැවැති ඔහුගේ සමාරම්භක උත්සවයේ දී ප්‍රදර්ශනය කෙරුනු බව සිහිපත් කරනු වටී. ඇමරිකානු එලිදරව්වක් (බයිබලයේ නව තෙස්තමේන්තුවේ අවසන් පොත වන 'එලිදරව්ව' පිලිබඳ සඳහනකි) පෙර දකිමින් ඔහු සිය ෆැසිස්ට් පන්නයේ ගෝරනාඩුව දෙසා බාන විට නිල ඇඳුම් ලා ගත් සොල්දාදුවෝ හදිසියේ ම ට්‍රම්ප් පසුපසින් රොක් වූහ. රොක් වූ තරම්ම හදිසියෙන් ඔවුහු ඉවත්ව ගියෝය. මාධ්‍ය විසින් බොහෝ දුරටම නොතකා හරින ලද මෙම සිදුවීම පිලිබඳව ලෝසවෙඅහි අදහස් දක්වා තිබින.

ධවල මන්දිරය ඇතුලතින් සැලසුම් කෙරුනා වූ ද, හමුදා හා පොලීසිවල ඇතුලත කොටස් මෙන්ම ප්‍රාදේශීය පැරාමිලිටරි සහ ෆැසිස්ට් පන්නයේ හමුදා සමඟ සම්බන්ධීකරනය කරන ලද්දා වූ ද දේශපාලන කුමන්ත්‍රනයකින් බලය ගැනීමේ සූදානමක ලකුනු පසුගිය වසර මුලුල්ලේම ඉතා හොඳින් එලිමහනේ දකින්නට තිබින. මැතිවරන උද්ඝෝෂනයේ අවසාන සතිවල හා ට්‍රම්ප්ගේ පරාජයෙන් අනතුරුව, 2020 ජනාධිපතිවරනයේ ප්‍රතිඵල පෙරලා දමන කුමන්ත්‍රනයක් සඳහා වන සැලසුම්, උන විකාරයක් වැනි ඇවිස්සුනු ස්වභාවයක් අත්පත් කර ගත්තේය.

ජෝසෆ් කිෂෝර් හා එරික් ලන්ඩන් සහෝදරවරු සිය කථා බහ තුල දී දේශපාලන තත්ත්වය හා කැපිටෝලයට එල්ල කෙරුනු ෆැසිස්ට් ප්‍රහාරය දක්වා මඟ පෑදූ සිදුවීම් පිලිබඳ විමර්ශනය කරනු ඇත. එහෙත් මම, ජනවාරි 6 වන දින සිදුවීම් වඩාත් පුලුල් ඓතිහාසික සන්දර්භයක තබා සාකච්ඡා කිරීමේ ප්‍රයත්නයක් දරනු කැමැත්තෙමි. ඉදින් අප, මෙම රැස්වීමේ මැය විසින් ඉදිරිපත් කෙරෙන මූලික ප්‍රශ්නයට - 'ඇමරිකාව කොයිබටද?' යන ප්‍රශ්නයට - පිලිතුරු දීමට නම්, විස්තීර්න කාල පරිච්ඡේදයක් පුරා, හා කිසිසේත් නොඅඩු වැදගත්කමකින් යුතු ලෙස, තීරනාත්මක ජාත්‍යන්තර සන්දර්භය තුල, එහි වර්ධනයේ පථය පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වෙයි. මෙය, මාක්ස්වාදයේ ආස්ථානයෙන් ගත් කල, වත්මන් තත්ත්වය පිලිබඳ නිවැරදි තක්සේරුවකට මඟ පෙන්විය හැකි එකම ප්‍රවිෂ්ටයයි. ජනවාරි 6 වන දින සිදු වූ පුපුරා යාමේ ප්‍රධාන හේතුව සොයා ගත හැක්කේ නිශ්චිතව ඇමරිකානු තතු තුල නොව, ඊට වැඩියෙන්, ධනේශ්වර ක්‍රමයේ ලෝක අර්බුදය තුලය.

ජනවාරි 6 දින සිදුවීම්වල වැදගත්කම හා එහි වඩාත් දීර්ඝකාලීන ගම්‍යමානයන් ඇගැයීම සඳහා ජාත්‍යන්තර සන්දර්භය තීරනාත්මක වේ. වොෂින්ටන් ඩීසීහි ඇති වූ ෆැසිස්ට්වාදී කැරැල්ල හුදෙක් ට්‍රම්ප්ගේ පුද්ගලත්වයෙන් පැන නඟින සහ ඔහු මත මුලුමනින්ම රඳා පවතින දේශීය කොන්දේසිවල ප්‍රතිඵලයක් ලෙස විභාග කරන්නන්, මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී ඇගැයුමක් මත පදනම් ව, ජාතික තත්ත්වය ජාත්‍යන්තර අර්බුදයේ සන්දර්භය තුල ස්ථානගත කර විශ්ලේෂනය කරන්නන්ට වඩා බෙහෙවින් වෙනස් දේශපාලන නිගමන කරා එලඹෙනු ඇත.

2020 දී පුපුරා යමින් ලෝකය පුරා පැතිර ගිය කොවිඩ්-19 වසංගතය සහ 2021 ජනවාරියේ දේශපාලන පුපුරා යාම අතර ප්‍රබල හේතුඵලවාචී සම්බන්ධයක් පවතින බව සත්‍යවාචී ලෙස ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුට හෝ නොහැක. වසංගතය, පලමු ලෝක යුද්ධයේ පැතිර යාම වැනි 'ප්‍රේරක සිදුවීමකැ'යි අවුරුද්දකටම පාහේ ඉහතදී ලෝසවෙඅය අර්ථ දැක්වීය. ලෝසවෙඅය පෙර දුටු පරිදිම මෙම 'ප්‍රේරක සිදුවීම' ලෝක ගෝලීය ධනේශ්වර අර්බුදය සහ සෑම රටක් තුලම එහි ප්‍රකාශයට පත්වීම තීව්‍ර කර හා එහි වේගය වැඩි කර ඇත. අර්බුදයට දැක්වෙන නිල ප්‍රතිචාරය නිර්නය කෙරී ඇත්තේ ධනේශ්වර ක්‍රමයේ ආර්ථික අත්‍යවශ්‍යතාවයන් - එනම්, පාලක ප්‍රභූන්ගේ සමාජ උත්සුකයන් කෙරෙන් වර්තනය වී එන ආකාරයෙන් වූ අත්‍යවශ්‍යතාවයන් - විසිනි. එකී නිල ප්‍රතිචාරය විසින් නිර්මානය කරනු ලැබ ඇත්තේ පවතින සමාජ පර්යායේ ආර්ථික, දේශපාලනික, බුද්ධිමය හා සදාචාරාත්මක බංකොලොත් බව හෙලිදරව් කර ඇති සමාජ ව්‍යසනයකි. ලෝක ගෝලය මුලුල්ලේ ලක්ෂ විස්සකට අධික මානවයන් දැනටමත් වෛරසයට බිලි වී අවසානය. එක්සත් ජනපදය තුල මරන සංඛ්‍යාව දැන් ලක්ෂ හතරේ මට්ටමට ශීඝ්‍රයෙන් ලඟා වෙමින් පවතී. මාසයක කාලයක් තුල ව‍ෛරසයෙන් මිය ගොස් ඇති ඇමරිකානුවන් සංඛ්‍යාව අඩ මිලියනයක් ඉක්මවා යාම නොවැලැක්විය හැකි සෙයක් පෙනී යයි.

වසංගතය යනු බොහෝ දෙනාට දුරින් සිට තතු වටහා ගත හැකි දුරස්තර සිද්ධියක් නොවේ. ඒ සා විශාල ජීවිත සංඛ්‍යාවක් නැති වීමේ ඛේදජනක තතු ආර්ථික විසංස්ථාපනයේ තිගැස්සෙන සුලු මට්ටම් මඟින් තව දුරටත් උග්‍ර කෙරී ඇත. එක්සත් ජනපදය තුල දශ ලක්ෂ සංඛ්‍යාත ජනයා රැකියා නොමැතිව හාමතයට වැටී සිටිති. ජාතියේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් විනාශයට පත් වී ඇත්තාහු හෝ, එසේ විනාශයට පත්වීමේ අන්තරායයට ඍජුව මුහුන පා සිටින්නාහු හෝ වෙති. වසංගතය යනු, ලෝක යුද්ධ දෙක මෙන්ම, තීව්‍රතර පරිමානයකින් ද, බොහෝ කල් පවතින ප්‍රතිවිපාකවලින් ද යුත්, සමාජ ප්‍රකම්පනයකි.

ඇමරිකානුවන්ට මෙම ප්‍රශ්නය මඟ හැර ගිය නොහැක: මෙය සිදු විය හැකි වූයේ කෙසේද? වසංගතයට දැක්වූ ප්‍රතිචාරයේ සෑම අංශයක්ම ගුනාංගිකරනය වී ඇති විස්මයකර අසමර්ථතාව හා ව්‍යාකූලත්වය විසින් ජාතික අවමානයක හැඟීමක් නිර්මානය කර ඇත. ඇමරිකාව උත්කර්ෂයට නැංවීමට හා උසස් කොට දැක්වීමට යොදා ගැනුනු, 'අසීමිත අවස්ථාවල භූමිය' වැනි යෙදුම් - 'පෘථිවියේ අවසාන උත්කෘෂ්ඨ අපේක්ෂාව' හා 'ප්‍රජාතන්ත්‍රවාදයේ බලකොටුව' තිබියේවා! - යථාර්ථයට කොයියම්ම හෝ සම්බන්ධයක් නොදක්වයි. වසංගතයට දැක්වූ නිල ප්‍රතිචාරය විසින් ගුනාංගිකරනය කෙරෙන නිමක් නැති අසාර්ථක වීම් හා මුසාවන් මාලාවේ ආලෝකයෙන් බැලූ කල, මාධ්‍යවලින් අතිශයෝක්තියට නැංවෙන එන්නතක් නිෂ්පාදනය කිරීමේ ප්‍රවෘත්තිය, සති කිහිපයක ඇවෑමෙන් තවත් ලැජ්ජාසහගත ජංජාලයක් බවට පත් වුවහොත් කිසිවෙකු මවිත නොවනු ඇත.

වසංගතයට දැක්වූ විනාශදායක ප්‍රතිචාරය හා එය විසින් ඍජුව මඟ පාදනු ලැබ ඇති දේශපාලන අර්බුදයමත් වඩාත් දීර්ඝකාලීන ක්‍රියාවලීන්හි ප්‍රකාශයට පත්වීම්ය. වඩාත් පුලුල් ඓතිහාසික හා ජාත්‍යන්තර ක්‍රියාවලීන් හැර දමා පරීක්ෂා කිරීමෙන්, ජනවාරි 6 දින සිදුවීම් යනු, - 1850 ගනන්වල පැවැති නෝ නතිං ව්‍යාපාරය ලෙස වේවා, පශ්චාත් සිවිල් යුද කාලීන ඇමරිකාවේ කූ ක්ලුක්ස් ක්ලෑන් වශයෙන් වේවා, 1920 ගනන්වල හා 1930 ගනන්වල විශාල අනුගාමිකත්වයන් දිනා ගත් කොතෙකුත් යුදෙව් විරෝධී හා කම්කරු විරෝධී ව්‍යාපාර වශයෙන් වේවා, 1950 ගනන්වල මුල් කාලයේ මැකාතිවාදී වියරුව වශයෙන් වේවා, ජෝන් බර්ච් සමාජය වශයෙන් වේවා, 1964 දී ගෝල්ඩ්වෝටර් ජනාධිපතිවරන උද්ඝෝෂනය ලෙස වේවා; මේ සෑම ආකාරයකින්ම - සෑම කල්හිම එක්සත් ජනපදයේ පැවැත තුබූ ප්‍රතිගාමී දේශපාලන හා සමාජ ප්‍රවනතාවන්හි යම් තාක් දුරකට වඩාත් ප්‍රචන්ඩ විද්‍යමානවීමක් පමනකැයි යන තක්සේරුවට ද එලැඹිය හැකි වනු ඇත. වසංගතයේ බලපෑම පවා සැලැකිල්ලට ගත් කල, වර්තමාන තත්ත්වය මූලික ලෙසම වෙනස් වන්නේ මක් නිසාද?

මේ ප්‍රශ්නයට දිය යුතු ආවශ්‍යක පිලිතුර වනුයේ, ඇමරිකානු ධනේශ්වර ක්‍රමයේ ලෝක ගෝලීය තත්ත්වය ගැඹුරින්ම වෙනස් වී ඇති නිසාය යන්නයි. ජනවාරි 6 වන දින ෆැසිස්ට්වාදී කැරැල්ලමත් ප්‍රජාතන්ත්‍රවාදයේ දිග දුර ඇදී ගිය අර්බුදයක කුලු ගැන්වීම විය. බහුජන දරිද්‍රතාවය හා සමාජ අසමානතාවයේ සුවිශාල මට්ටම් තුල සිය වඩාත්ම රෝගී ප්‍රකාශනය අත්පත් කර ගන්නා එක්සත් ජනපදයේ සමාජ ප්‍රතිවිරෝධයන්හි පවතින මාරාන්තික ස්වභාවය යනු, එක්සත් ජනපදයේ ලෝක ගෝලීය තත්ත්වය දීර්ඝකාලීනව වඩවඩාත් පල්ලම් බැසීමේ ප්‍රතිඵලයයි.

අපි බයිඩන්ගේ නිල ප්‍රතිෂ්ඨානය වඩාත් පුලුල් ඓතිහාසික රාමුවක් තුල බහා පරීක්ෂා කරමු. එය පැවැත්වෙනු ඇත්තේ 1961 ජනවාරි 20 වන දින පැවැති ජෝන් එෆ්. කෙනඩිගේ නිල ප්‍රතිෂ්ඨානයෙන් හරියටම 60 වසරකට පසු එලැඹෙන දිනයේ දීය. කෙනඩිගේ එම නිල ප්‍රතිෂ්ඨානය පැවැතියේ 1901 මාර්තු 4 වන දින පැවැති ජනාධිපති විලියම් මැකින්ලේගේ දෙවැනි ප්‍රතිෂ්ඨානය (එවකට මාර්තු මාසය ජනාධිපතිවරුන් වැඩ ආරම්භ කිරීමේ මාසය ලෙස පැවැති අතර, එය ජනවාරියට මාරු කෙරුනේ 1937 වසරේ සිටය) හා (ජනවාරි 20) බදාදා එලැඹෙන බයිඩන්ගේ දිවුරුම් දීම අතර හරි මැද ය.

එක්සත් ජනපදය නව අධිරාජ්‍යවාදී ලෝක බලවතෙකු ලෙස මතු වී ඒම සනිටුහන් කල ස්පාඤ්ඤ - ඇමරිකා යුද්ධය සමයේ මුල් පුටුව දරා සිටි ඇමරිකානු ජනාධිපතිවරයා වූයේ විලියම් මැකින්ලේය. ඊලඟ හැට වසර තුල එක්සත් ජනපදය වේගවත්ම හා ධනවත්ම ධනේශ්වර බලවේගය බවට තමා ගොඩ නඟා ගත් අතර, අතිශය සාර්ථකත්වයකින් යුතුව ලෝක යුද්ධ දෙකක් තුලින් ගමන් කිරීමට එයට හැකි විය. එහි ආධිපත්‍යයික ලෝක ස්ථානය තහවුරු කෙරුනේ එකී සාර්ථකත්වයේ පදනම මතය. එම යුගයේ ආධිපත්‍යය දැරූ ජනාධිපතිවරුන් අතර තියඩෝර් රූස්වෙල්ට්, වුඩ්රෝ විල්සන්, වාර හතරක් ධුරයේ කටයුතු කල ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්, සහ 1945 සිදු වූ රූස්වෙල්ට්ගේ මරනයෙන් පසු බලයේ සිටි ටෘමන්, අයිසන්හවර් හා කෙනඩි ද වූහ.

කෙනඩිගේ සමාරම්භක උලෙල ප්‍රධාන කොටම සිහිපත් කෙරෙන්නේ, මුලුමනින් කුහක වුව, ජාතික දේශප්‍රේමීත්වය සඳහා ඉතා හොඳින් සකසා ඉදිරිපත් කෙරුනු ආයාචනයක් ලෙසය. එහෙත් එහි පෙල ප්‍රවේශම්කාරී ලෙස පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ නව ජනාධිපතිවරයාගේ දේශනය, නැඟී එන සමාජ විප්ලවයේ රල වේගයෙහි බලපෑම සම්බන්ධයෙන් වූ ගැඹුරු භීතිය ප්‍රකාශයට පත් කර ඇති බවයි. විප්ලවයේ බලවේග රඳවා තැබීමට නම්, මහජන අතෘප්තියට සහන සැලසීමට ධනේශ්වර ක්‍රමයට සිදු වේ. 'නිදහස් සමාජයකට බොහෝ දුගීන්ට ආධාර කල නොහැකි නම්, පොහොසතුන් ටික දෙනා රැක ගැනීමට එයට නොහැකියැ'යි ඔහු අනතුරු හැඟවීය. මෙම තර්ජනයට පිලිතුර වන්නේ සමාජ සුබසාධනය සමාජවාදයට එරෙහි අරගලයේ අංගෝපාංගයක් ලෙස උපයෝගී කර ගැනීමයි. 'නිදහසේ' - එනම්, ධනේශ්වර ක්‍රමයේ - සුරක්ෂාව තහවුරු කර ගනු වස් 'ඕනෑම මිලක් ගෙවීමට' ඇමරිකානු අධිරාජ්‍යවාදය සූදානම් විය යුතුව තිබින.

කෙසේවෙතත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ලෝක ගෝලීය උත්සුකයන් ආරක්ෂා කිරීම හා තම රට තුල සමාජ ප්‍රතිසංස්කරන සිදු කිරීම සංයෝග කිරීමේ හැකියාව රඳා පැවතුනේ එක්සත් ජනපදයේ ආර්ථික ආධිපත්‍යය මතය. එකී ආධිපත්‍යයේ කේන්ද්‍රීය බල කනුව වූයේ, අවුන්සයකට ඩොලර් 35 ක් වශයෙන් රත්රන් බවට හැරවිය හැකිව තිබූ ඩොලරය ලෝකයේ සංචිත මුදල ලෙස ඉටු කල කාර්යභාරයයි. 1944 වසරේ බ්‍රෙට්න්වුඩ්ස් සමුලුවේ දී ගොඩනඟන ලද එක්සත් ජනපද ආධිපත්‍යයෙන් යුත් පශ්චාත් දෙවැනි ලෝක යුද්ධ සමයේ පර්යායේ මෙම ආවශ්‍යක අංගය, ලෝකයේ ආර්ථික බලාගාරය වූ එක්සත් ජනපදය ඉදිරියට එලැඹීමට නියමිත වූ දශක තුල ලෝක වානිජ කටයුතුවල ආධිපත්‍යය උසුලනු ඇතැයි ද, එමඟින් විශාල වෙලඳ සංතුලනයක් හා ගෙවුම් ශේෂ සංතුලනයක් පවත්වා ගෙන යනු ඇතැයි ද උපකල්පනය කලේය. එක්සත් ජනපදය මෙකී අතිරික්ත පවත්වා ගෙන යන තාක් දුරට ඩොලරය 'රත්රන් සේ ම අගනා' බැව් ලොව පුරා ම පිලිගැනෙනු ඇත.

එහෙත් කෙනඩි සිය ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේ පවා එක්සත් ජනපදයේ ආර්ථික නැග්ම දැඩි පීඩනයකට නතු වෙමින් පැවැත්තේය. දෙවැනි ලෝක යුද්ධයේ දී එක්සත් ජනපදය විසින් අභිභවනය කරන ලද ප්‍රධාන සතුරන් වූ ජර්මනිය හා ජපානය ඒ වන විටත් සිය ආර්ථිකයන් යලි ගොඩ නඟා ගෙන තුබුනාහ. එජ වානිජ අතිරික්ත පහල බසිමින් පැවතින. ඒ අතරතුරම පාලක පන්තිය සැලකිය යුතු කම්කරු සටන්කාමීත්වයකට මෙන්ම වර්ධනය වෙමින් පැවැති සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයකට ද මුහුන දී සිටියේය. කෙනඩි හා ජොන්සන් පාලන තන්ත්‍ර සැලකිය යුතු ප්‍රතිසංස්කරන මඟින් මෙම තතු පාලනය කර ගැනීමේ ප්‍රයත්නයක යෙදුනාහ. එහෙත් - විශේෂයෙන්ම වියට්නාමයේ දී - විප්ලවවාදී කැරලිවලට එරෙහිව යුද වදින අතරතුර ප්‍රතිසංස්කරන ලබා දීමේ පිරිවැය දැරීම දිගටම පවත්වා ගෙන යා හැකි වූයේ නැත. මේ උභතෝකෝටිකය විසින් සමාජ ප්‍රතිසංස්කරනයේ වැඩ පිලිවෙලට යටින් වල කපන ලදී.

1971 වන විට වර්ධනය වෙමින් පැවැති වෙලඳ හිඟය හා ගෙවුම් ශේෂ හිඟය එජ රත්රන් සංචිත හිස් කර දැමීමට තර්ජනය කරමින් පැවැතින. හිඟයන්ගේ අගය අතිරික්තයන්ගේ අගයට වඩා වැඩි වී තිබින. එදා දක්නා ලද පරිදි, ජාතික බංකොලොත්භාවයක අන්තරායයේ තර්ජනය මතු කරමින් රත්රන් රටින් පිටතට ගලා යමින් පැවතුනි. 1969 ජනවාරියේ බලයට පත් නික්සන් පාලනය විසින් ප්‍රබල පියවර ගැනෙන තැනට මේ තතු මඟ පෑදීය. වසර පනහකට යන්තම් මෙපිට දී, 1971 අගෝස්තු 15 වන දින ජනාධිපති නික්සන්, ඩොලර්-රත්රන් පරිවර්ත්‍යතාව අහෝසි කරමින් මෙම ආර්ථික හදිසි තත්ත්වයට ප්‍රතිචාර දැක්වීය.

ඓතිහාසික ප්‍රත්‍යාවලෝකනයේ දී, මෙම ක්‍රියාව හුදෙක් ලෝක ගෝලීය ආර්ථිකය තුල එක්සත් ජනපදය දරන ස්ථානය සම්බන්ධයෙන් පමනක් නොව, ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරනම සම්බන්ධයෙන් ද හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කර ඇත. එක්සත් ජනපදය, සිය හමුදාමය සංරචකය රටේ ආර්ථික ශක්තියට හා ආධිපත්‍යයට ද්වීතීයිකව තිබූ, නැඟී එන ලෝක ගෝලීය බලවතෙකු වූ තාක් දුරට ඇමරිකානු දේශපාලනයේ මූලික තෙරපුම පුලුල් ලෙස ප්‍රගතිශීලී ස්වභාවයේ එකක් විය.

එක්සත් ජනපදය තුල කිසිදා - ලින්ඩ්බර්ග් ව්‍යාපාරය, කෝෆන් පියවරයා, ජෙරල්ඩ් එල්.කේ. ස්මිත්, සහ පසුකාලීනව ජෝ මැකාති වශයෙන් වූ - ප්‍රතිගාමී බලවේගවල හිඟයක් නොවීය. එහෙත් ප්‍රතිසංස්කරන මඟින් සහන ලබා දීමටත්, සාධ්‍ය සමාජ හා දේශපාලන සමතුලිතතාවයක් පවත්වා ගෙන යාමටත් ඇමරිකානු ධනේශ්වර ක්‍රමයට පැවැති ධාරිතාව විසින් එකී විෂකුරු ප්‍රතිගාමී ප්‍රවනතාවල වර්ධනය සීමා කරනු ලැබීය. 1930 ගනන්වල දී ට්‍රොට්ස්කි සඳහන් කොට ඇති පරිදි මහා අවපාතය සමයේ පවා, එය කෙතෙක් බැරෑරුම් තත්ත්වයක් වුව, රූස්වෙල්ට්ට සිය පරීක්ෂන නොනවත්වා කර ගෙන යාමේ අවකාශය ලබා දීමට ඇමරිකානු ධනේශ්වර ක්‍රමයේ ධනයට හැකි විය.

මෙකී පරීක්ෂන 1960 ගනන් දක්වා ද දිගටම පැවතුනි. රූස්වෙල්ට්ගේ නිව් ඩීල් වැඩ පිලිවෙල ටෘමන්ගේ ෆෙයාර් ඩීල් වැඩ පිලිවෙලටත්, කෙනඩිගේ නිව් ෆ්‍රන්ටියර් වැඩ පිලිවෙලටත්, 1963 නොවැම්බරයේ කෙනඩි ඝාතනයෙන් පසු ජොන්සන්ගේ මහා සමාජයටත් (Great Society) ඉඩ දී ඉවත් විය. එහෙත් ජොන්සන්ගේ 'මහා සමාජය' කිසිදා සාක්ෂාත් කර ගත හැකි වූයේ නැත. ආර්ථික පරිහානියේ කොන්දේසි යටතේ එක්සත් ජනපදයට ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කිරීමට 'ඕනෑම මිලක් ගෙවීමේ' හැකියාවක් නොවීය. ඉදින් තෝරා ගැනීම 'තුවක්කු හා බටර්' අතර - ලෝකයේ ඕනෑම තැනක යුද්ධ දියත් කල හැකි පරිදි හමුදාවලට මුදල් වැය කිරීම හෝ සමාජ ප්‍රතිසංස්කරනවලට හා රට තුල වඩාත් ඉහල ජීවන මට්ටම් සඳහා ප්‍රතිපාදන සැපයීම අතර - වී නම්, තෝරා ගැනීම වී තුබුනේ තුවක්කුය.

සමාජ ප්‍රතිසංස්කරන අත්හැර දැමීම සඳහා සමාජ මර්දනය දිශාවට හැරීමක් අවශ්‍ය විය. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ පරාවක්‍රය අනුගමනය කලේ ඇමරිකානු ධනේශ්වර ක්‍රමයේ පරාවක්‍රයමය. එනම් පල්ලම් බැසීමේ දිශාවය.

ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින් මූලික ව්‍යවස්ථාමය කාර්ය පටිපාටීන් බිඳීමට අපරාධකාරී විධික්‍රම කරා ගන්නා ලද ප්‍රථම සැබෑ වැදගත්කමකින් යුත් හැරීම, 1971 අගෝස්තුවේ බ්‍රෙට්න්වුඩ්ස් අර්බුදයෙන් පසු ක්ෂනිකවම මෙන් සිදුවිය. වසරකට වඩා අඩු කාලයකින් ඉක්බිති 1972 ජූනියේ අපකීර්තිමත් වෝටර්ගේට් කඩාවැදීම සිදුවිය. සීඅයිඒ සංවිධානයට සම්බන්ධ රිපබ්ලිකන් ක්‍රියාකාරීහු වෝටර්ගේට් සංකීර්නයේ පිහිටි ඩිමොක්‍රටික් පක්ෂ කාර්යාලයට කඩා වැදුනෝය. ඒ වූ කලී, එලැඹෙමින් තුබූ ජනාධිපතිවරනය වංචා කිරීමේ අපරාධකාරී ප්‍රයත්නයක් වූ අතර, එය එක්සත් ජනපදයේ දේශපාලන හා ව්‍යවස්ථාමය අර්බුදයකට ආරම්භකත්වය සැපයීය. වෝටර්ගේට් විභාගය හා විමර්ශනය, අවසානයේ නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ අධිකරන කමිටුව නික්සන්ට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත කිරීම දක්වා ද, ඒ හා සමගම මෙන් 1974 අගෝස්තුවේ දී අපරාධකාරී ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම කරා ද මඟ පෑදීය.

මෙය ප්‍රජාතන්ත්‍රවාදය ජය ගැනීමක් වී යැයි කිසිසේත් කිව නොහැක. නික්සන්ට අත් වූ අවමානය තිබියදී වුව, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ පථය, එජ ඩොලරයේ අවප්‍රමාන වීමත් සමඟ සමගාමීව දිගටම පහල වැටින. කම්කරු ව්‍යාපාරය මත ප්‍රහාරය උත්සන්න විය. 1978 දී ටැෆ්ට් හාට්ලි පනත කැඳවීම මඟින් ගල් අඟුරු පතල් කම්කරුවන්ගේ ජාතික වර්ජනය කුඩුපට්ටම් කර දැමීම සඳහා ඩිමොක්‍රටික් ජනාධිපති ජිමී කාටර් දැරූ ප්‍රයත්න අසාර්ථක වුවත්, ඔහුගේ ක්‍රියාව 1981 අගෝස්තුවේ දී, පැට්කෝ ලෙස හඳුන්වනු ලබන වෘත්තීය සමිතියේ සාමාජිකයන් වූ වැඩ වර්ජිත ගුවන් ගමන් පාලකයන් 11,000 ක් නෙරපා දැමීමට රොනල්ඩ් රේගන්ට පසුබිම සකස් කලේය. ඒඑෆ්එල් - සීඅයිඕවේ විරුද්ධත්වයට පාත්‍ර නොවූ මේ ක්‍රියා මාර්ගය, 1930 ගනන්වල හා 1940 ගනන්වල මහා කාර්මික අරගලවලින් මතුව ආ පරිද්දෙන් වූ සංවිධිත වෘත්තීය සමිති ව්‍යාපාරයේ අවසානයේ ආරම්භය සනිටුහන් කලේය.

1990 දශකය වන විට, ඒඑෆ්එල්-සීඅයිඕ විසින් පරාජයට පත් කල, හුදෙකලා වූ සහ පාවා දුන් වැඩ වර්ජන රැල්ලකින් පසුව, වෘත්තීය සමිති පැවතියේ කම්කරු පන්තියේ ආයතනික සූරාකෑමේ උපකාරක මෙවලමක් ලෙස පමනි. වැඩ වර්ජන එක්සත් ජනපදයේ සමාජ දර්ශනපථයෙන් මුලුමනින්ම පාහේ අතුරුදහන් විය. ප්‍රකෝටිපතියාගේ සහ කෝටිපතියන්ගේ යුගය ආරම්භ වී තිබුනි. 1920 ගනන්වල අග භාගයේ සිට එක්සත් ජනපදය තුල නොදක්නාලද මට්ටමකට කුඩා කතිපයාධිකාරී ප්‍රභූ පැලැන්තිය තුල ධනය සංකේන්ද්‍රනය වූ අතර එහි ප්‍රධාන ලක්ෂනය ලෙස සමාජ අසමානතාවයේ දැවැන්ත වර්ධනයක් ඇති විය.

සමාජ ප්‍රතිවිප්ලවය සමග දේශපාලන ප්‍රතික්‍රියාවක් ඇති වූ අතර එයට ධනවාදී මතවාදයන්හි වඩාත් අපරාධකාරී නියෝජිතයා වන ෆැසිස්ට්වාදය පුනරුත්ථාපනය කිරීම අවශ්‍ය විය. රේගන් 1980 දී ජනාධිපති ධුරය සඳහා සිය උද්ඝෝෂනය ආරම්භ කලේ සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් තිදෙනෙකු වන ජේම්ස් චැනේ, මයිකල් ෂ්වර්නර් සහ ඇන්ඩෲ ගුඩ්මන් 1964 ජුනි මාසයේදී කු ක්ලක්ස් ක්ලැන් සාමාජිකයින් විසින් ඝාතනය කෙරුනු තැන වූ මිසිසිපි හි ෆිලඩෙල්ෆියා හි දීය. එකලදී හොඳින් වටහාගෙන තිබූ පරිදි, රේගන් සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පිදූවන්ට අවසන් ගෞරවය පුද කිරීම සඳහා ෆිලඩෙල්ෆියා වෙත නොපැමිනියේ ඇමරිකානු ප්‍රතිගාමිත්වයේ නරකම ස්වරූපයන් සමඟ ඔහුගේ සහයෝගිතාව පෙන්නුම් කිරීම සඳහා ය. පනිවිඩය වඩාත් තහවුරු කරමින් 1985 දී ජර්මනියේ කල සංචාරයකදී රේගන්, බිට්බර්ග් නගරයේ වොෆෙන් එස්එස් (නාසි පක්ෂයේ මිලිටරි අංශය) සාමාජිකයන් භූමදාන කරන ලද හමුදා සුසාන භූමියකට මල් වඩමක් තැබීය.

ඉන් යන්තම් වසරකට පසුව, [රේගන් ආන්ඩුව ඉරානය තුල සිදුකල අපකීර්තිමත් දේශපාලන මැදිහත්වීමක් වූ] ඉරාන-කොන්ට්‍රා සෝලිය මගින් රේගන් පරිපාලනය කෙලින්ම ඇඟවූයේ කොන්ග්‍රසය විසින් සම්මත කරන ලද නීතියක් නීති විරෝධී ලෙස උල්ලංඝනය කලහැකි බවයි. කොන්ග්‍රස් නඩු විභාගවලදී හෙලි වූ සාපරාධී ක්‍රියාකාරකම් අතර, නිකරගුවාවේ වාමාංශික ජාතිකවාදී සැන්ඩිනිස්ටා රජය පෙරලා දැමීමට උත්සාහ කල ෆැසිස්ට් ඝාතක කල්ලි සහ කුලී හේවායන්ට අරමුදල් සැපයීමට එක්සත් ජනපදය සම්බන්ධ වීමද වේ. රේගන් වෙනුවෙන් මධ්‍යම ඇමරිකාවේ මිනීමරු මෙහෙයුම් මෙහෙයවන කර්නල් ඔලිවර් නෝර්ත්, රෙක්ස් 84 (Rex 84) නම් රහසිගත සැලසුම් වලට සම්බන්ධ වී ඇති බව කොංග්‍රස් විමර්ශනය අතරතුරදී අනාවරනය විය. ජාතික හදිසි අවස්ථාවකදී ඇමරිකානුවන් 100,000 ක් සිර අඩස්සියේ තැබීම ඔවුන්ගේ ඉලක්කය විය. ඉරාන-කොන්ත්‍රා සෝලිය පිලිබඳ විමර්ශනය කරන කමිටුවේ සභාපති හවායි හි ඩිමොක්‍රටික් සෙනෙට් සභික ඩැනියෙල් ඉනෝයි විසින් මෙම සැලසුම් පිලිබඳ විවෘත සාකච්ඡාව වහාම අවහිර කරන ලදී.

නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් සමූහාන්ඩුවේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් දිය වී යාමෙන් පසුව සහ 1989 සහ 1991 අතර ධනවාදය පුනුරුත්ථාපනය කිරීමෙන් ඉක්බිතිව අධිකාරීවාදය කෙරෙහි වූ ප්‍රවනතාවයන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ නව පිපිරීමක් සඳහා අවශ්‍යතාවයන් ඉටු කලේය. 1991 දී ඉරාකය ආක්‍රමනය කිරීම, එක්සත් ජනපදය මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ වසර 30 ක අඛන්ඩ යුද්ධයක ආරම්භය සනිටුහන් කලේය.

2000 මැතිවරනයේදී ශ්‍රේෂ්ඨාධිකරනය 5-4 ක් ලෙස ඡන්දය ප්‍රකාශ කලේ ෆ්ලොරිඩාවේ ඡන්ද ගනන් කිරීම අවසන් කරමින් ජෝර්ජ් බුෂ්ට ජනාධිපති ධුරය ප්‍රදානය කිරීමට ය. මෙම අසාමාන්‍ය තීරනය ඩිමොක්‍රටික් පක්ෂය විවාදයකින් තොරව පිලිගත්තේය. මැතිවරනය සොරකම් කිරීම සඳහා රිපබ්ලිකානුවන් විසින් භාවිතා කරන ලද බොහෝ තර්ක හා ක්‍රියා පටිපාටි කුඩා පරිමානයෙන් වුවද, ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පක්ෂය විසින් 2020 දී භාවිතා කරන ක්‍රමවේදයන් හි පූර්ව රංගනයක් විය. විනිසුරු ඇන්ටෝනින් ස්කාලියා බුෂ්ට එරෙහිව ගෝර් නඩුවෙහි දී තර්ක කලේ ඇමරිකානු ජනතාවට තම ජනාධිපති වරයා තෝරාගැනීමේ අයිතිය ලබාදීම ගැන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිවක් නොමැති බවයි. තම ප්‍රාන්තයේ මහජන ඡන්ද ප්‍රතිඵල ගැන කිසිදු තැකීමක් නොකර ජනාධිපති ඡන්දදායකයින් තෝරා ගැනීමේ අයිතිය ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්ට ඇති බව ඔහු කියා සිටියේය. 2020 මැතිවරනයේ ප්‍රතිඵල පෙරලා දැමීමට සහ ප්‍රධාන ප්‍රාන්තයන්හි මහජන ඡන්දය අභිබවා යාමේදී ට්‍රම්ප් දැරූ උත්සාහය පූර්වාදර්ශනය කරමින් ස්කාලියා 2000 දී ෆ්ලොරිඩා ව්‍යවස්ථාදායකයේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ බුෂ්ට ඡන්දය දෙන ඡන්දදායකයින් තෝරා ගන්නා ලෙසයි.

2000 මැතිවරනය වංචා කිරීමෙන් පසුව 9/11 සිදුවීම්, ඩිමොක්‍රටිකයින්ගේ සහාය ඇතිව බුෂ් පරිපාලනය විසින් ඇෆ්ගනිස්ථානය හා ඉරාකය ආක්‍රමනය කිරීමට “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” දියත් කිරීම සඳහා දේශප්‍රේමී පනත යොදා ගැනීමට ඉඩ සලසන ලදී. එම පනත, එක්සත් ජනපද ඉතිහාසයේ මූලික ව්‍යවස්ථාමය අයිතීන්ට එරෙහිව එල්ල කල දරුනුතම ප්‍රහාරයයි.

ග්වාන්ටනාමෝ හි විදේශීය ගාල් කඳවුරක් පිහිටුවීම සහ පසුව ඔබාමා යටතේ ඇමරිකානු පුරවැසියන් ඉලක්ක කරගත් ඝාතන, එක්සත් ජනපදයේ දැනටමත් වර්ධනය වී ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ දිරාපත් වීමේ තවත් සන්ධිස්ථාන විය.

“ඒක ධ්‍රැව මොහොතක්” පවත්වා ගෙන යාමට සහ අභියෝග කල නොහැකි ගෝලීය ආධිපත්‍යය ලෙස සිය ස්ථාවරය සුරක්ෂිත කිරීමට ගත් උත්සාහයන් නොතකා ඇමරිකානු ධනවාදයේ ආර්ථික තත්ත්වය අඛන්ඩ ඛාදනය වෙමින් පැවතුනි. නව සහස්‍රයේ පලමු දශකය ආරම්භ වූයේ 1990 දශකයේ “අතාර්කික සමෘද්ධිය” මගින් ගාමකය ලබාගත් තාක්‍ෂනික ව්‍යාපාර වස්තු මායාව බිඳ වැටීමෙනි. නිෂ්පාදන ක්‍රියාවලියට බැඳී ඇති ප්‍රාග්ධන ආයෝජන හැරුනු විට පුද්ගලික ධනයෙහි දැවැන්ත වැඩිවීම් උත්පාදනය කිරීමේ නව මාධ්‍යයක් ලෙස, සම පාර්ශවීය නය බැඳීම් වැනි නව විදේශීය සමපේක්ෂන, එන්රොන් වැනි අසාර්ථක හා වංචනික ව්‍යවසායන් වෙනුවට ආදේශ කිරීම නිසා වෝල් වීදියේ ආයෝජකයින්ගේ ආයෝජන ඉක්මනින් යථා තත්ත්වයට පත් විය. 2008 සැප්තැම්බරයේ මූල්‍ය වෙලඳපොලවල ඇති වූ අර්බුදය නිසා සමස්ත ප්‍රාසාදයම කඩා වැටුනි. වෝල් වීදියේ විමුක්තිය සඳහා ෆෙඩරල් සංචිතය විසින් මූල්‍ය වෙලඳපොලවලට, ප්‍රමානාත්මක ලිහිල් කිරීම නම් වූ දැවැන්ත හා සදාකාලික ද්‍රවශීලතාවයක් ලබා දීම අවශ්‍ය විය. සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් බවට පත්වීමට නියමිතව තිබියදී, කොන්ග්‍රසය වෝල් වීදියේ ආයෝජකයින්ට ඩොලර් ට්‍රිලියන ගනනක ඇපදීම සඳහා මුලුමනින්ම තම ඡන්දය ප්‍රකාශ කලේය. මුලු රටේම ආර්ථික සම්පත් ජනගහනයෙන් කුඩා ප්‍රතිශතයකින් සමන්විත ආයතනික-මූල්‍ය කතිපයාධිකාරයක් සඳහා බැර කරන ලදී.

නූතන මූල්‍ය පරපෝෂිතවාදයේ බිහිසුනු සමාජ ඇඟවුම් වසංගතයෙන් නිරාවරනය විය. ආන්ඩුවේ එකම උත්සුකය වූයේ ජීවිත ආරක්ෂා කර ගැනීම නොව වෙලඳපල ආරක්ෂා කිරීමයි. අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන සහ පාසල් වසා දැමීම වැනි වෙලඳපල කෙරෙහි අහිතකර ලෙස බලපෑම් කිරීමට තර්ජනය කල සියලු පියවර ප්‍රතික්ෂේප කරන ලදී. “රංචු ප්‍රතිශක්තිය” ලුහුබැඳීම - ජනගහනය පුරා බාධාවකින් තොරව වෛරසය පැතිරීමට ඉඩ දීම - ඇත්ත වශයෙන්ම එක්සත් ජනපදයේ ප්‍රතිපත්තියක් බවට පත්විය.

2020 අප්‍රේල් මාසයේදී මිචිගන් ප්‍රාන්ත අගනගරයේ සිදු වූ සන්නද්ධ දක්ෂිනාංශික මැර කන්ඩායම් මූලිකව බලමුලු ගැන්වීම සංවිධානය කරන ලද්දේ ආන්ඩුකාර ග්‍රෙට්චන් විට්මර් විසින් නියෝග කරන ලද ව්‍යාපාර තාවකාලිකව වසා දැමීමට එරෙහිව බව මතක තබා ගත යුතුය. පසුව ඇය අසාර්ථක නව නාසි ඝාතන කුමන්ත්‍රනයක ඉලක්කය බවට පත්විය.

අප මෙම සිදුවීම් වඩාත් ඓතිහාසිකව විස්තීර්න සන්දර්භය තුල තැබුවහොත්, ජනවාරි 6 ප්‍රජාතන්ත්‍රවාදී බිඳවැටීමේ දිග්ගැස්සුනු ක්‍රියාවලියක නව අවධියක් සනිටුහන් කරන බව පැහැදිලිය.

ඉතිහාසඥයින් සහ මාධ්‍යවේදීන් විසින් ජනවාරි 6 වන දින සැබවින්ම වැදගත් කිසිවක් සිදු නොවූ බවත්, සෑම දෙයක්ම අඩු හෝ වැඩි වශයෙන් සාමාන්‍ය තත්වයට පත්වන බවත් ප්‍රකාශ කිරීමට මෑත දිනවල ගත් උත්සාහයන් අපි දුටුවෙමු. සිදුවෙමින් පවතින අන්තරාය පිලිබඳ මෙම භයානක අවතක්සේරු කිරීම පදනම් වී ඇත්තේ හුදෙක් ඇමරිකානු තත්වයන් පිලිබඳ වැරදි ඇගයීමක් මත නොවේ.

මෙම ප්‍රකාශනයේ අයිතිකරුවන්, ලෝක ආර්ථික හා සමාජ ක්‍රමයක් ලෙස ධනවාදයේ තත්වය තක්සේරු කිරීමේදී වැරැද්දක් කරති. මා මේ විස්තර කරන එක්සත් ජනපදයේ අපට හුරුපුරුදු කොන්දේසි ලොව පුරා පවතී. සෑම තැනකම ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතීන් වටලනු ලැබේ. දක්ෂිනාංශයේ පුනර්ජීවනයක්, එනම් ෆැසිස්ට් බලවේගයන්ගේ වර්ධනයක් අපි දකිමු. ක්‍රිස්ටෝෆ් වැන්ඩ්‍රියර් සහෝදරයා ජර්මනියේ ෆැසිස්ට්වාදයේ පුනර්ජීවනය ගැන කතා කරනු ඇත.

ජනවාරි 6 සිදුවීම් වලින් එලඹිය යුතු අවසාන නිගමනය කුමක්ද? ඒවා එක්සත් ජනපදයේ සහ ලෝකයේ දේශපාලන ජීවිතයේ නව අවධියක් සනිටුහන් කරයි.

ඇමරිකාව කොයිබට ද? එය තීරනය වන්නේ එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව දිග හැරෙන සමාජ අරගලයේ ප්‍රතිඵල තුලිනි. පැරනි වාක්‍ය ඛන්ඩය වූයේ ඇමරිකානුවන්ට “දෛවය සමඟ ගනුදෙනුවක්” ඇති බවයි. රූස්වෙල්ට් භාවිතා කල වාක්‍ය ඛන්ඩය එයයි. යථාර්ථය නම්, ඇමරිකානුවන්ට දැන් ඉතිහාසය සමඟ ගනුදෙනුවක් තිබෙන බවයි.

ඇමරිකාව යන්නේ කොයිබට ද? එය ෆැසිස්ට්වාදය දෙසට යනු ඇති ද, නැතහොත් එය සමාජවාදය දෙසට යනු ඇති ද? ඇමරිකානුවන් මුහුන දෙන විකල්ප මේවාය. සමාජවාදයට යන මාවත පන්ති අරගලයේ මාවතයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නොනැසී පැවතීමට නම්, ඇත්ත වශයෙන්ම එය ලෝකයේ ඕනෑම තැනක නොනැසී පැවතීමට නම්, එය නව සමාජ පදනමක් සොයා ගත යුතුය. එයට ධනේශ්වරය මත රැඳී සිටිය නොහැක. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ පැරනි සම්භාව්‍ය නිර්දේශයන් වර්තමාන තත්ත්වය තුල අදාල වන්නේ ඉතා අල්ප වශයෙනි. ප්‍රජාතන්ත්‍රවාදය නොනැසී පැවතීමට නම් බලය කම්කරු පන්තිය අතට පත්විය යුතුය.

ප්‍රතිඵලය තීරනය කිරීමට ඉතිරිව ඇත. ඉතිහාසයේ නොවැලැක්විය හැකි කිසිවක් නොමැත. සමාජවාදයට ශක්‍යතාවක් තිබේ. ෆැසිස්ට්වාදයට ද ශක්‍යතාවක් තිබේ. වෛෂයික සාධකවල දෘෂ්ටි කෝනයෙන් බලන කල සමාජවාදයේ විභවය අතිමහත් ය. බලගතු ආර්ථික හා සමාජ බලවේගයන්, එක්සත් ජනපදය හා ලෝකය තුල මෙම ප්‍රගතිශීලී හා විමුක්තිය දිශාවට ගෙන යමින් තිබේ: ලෝක ආර්ථිකයේ ගෝලීයකරනය, නිෂ්පාදනයේ අන්තර් සම්බන්ධතාවය, සන්නිවේදන තාක්‍ෂනයේ ප්‍රබල දියුනුව සහ සියල්ලටත් වඩා අති විශාල සංඛ්‍යාත්මක ආධිපත්‍යය සහ ශක්තිය කම්කරු පන්තිය තුල ය. මේවා සැබවින්ම, සිදුවියහැකි සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය සඳහා තීරනාත්මක සාධක වේ.

නමුත් ඉතිහාසය තුල ක්‍රියාත්මක වෛෂයික බලවේග පමනක් නොවේ; ආත්මීය බලවේග ද ඇත. වෛෂයික විභවය දේශපාලන වැඩපිලිවෙලකට සහ මහජන කම්කරු පන්තියේ දේශපාලන ක්‍රියාමාර්ගයකට පරිවර්තනය කල යුතුය. “අරගලය සියල්ල තීරනය කරනු ඇත!” 1930 ගනන්වල මුල් භාගයේ ට්‍රොට්ස්කි විසින් භාවිතා කරන ලද වචන ඒවාය. ලෝකය සමාජවාදය දෙසට ඉදිරියට යනු ඇති ද? එය ෆැසිස්ට්වාදය දෙසට යනු ඇති ද? එය රඳා පවතින්නේ කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ තීරනාත්මක ප්‍රශ්නය මත ය.

කම්කරුවන් කරන්නේ කුමක්ද, අසා සිටින ඔබ කුමක් කිරීමට තීරනය කරන්නේද යන්න තීරනාත්මක කාරනයයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය, සමාජවාදී සමානතා පක්ෂ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා ඉදිරියට යා හැකිය. නමුත් එම වැඩපිලිවෙල කම්කරු පන්තිය විසින් බාරගත යුතුය. එම වැඩසටහන කම්කරු පන්තිය වෙත ගෙන ආ යුතුය. සටන් කිරීමට මාර්ගයක් සොයන නමුත් එය තනිවම සොයාගත නොහැකි එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින කම්කරුවන්ගේ පුලුල් කොටස් වෙත එය ගෙන ආ යුතුය. ඔවුන් සමාජවාදී න්‍යාය හා සමාජවාදී මූලධර්ම පිලිබඳව දැනුවත් කල යුතුය. ප්‍රගතිශීලී පදනමක් මත එක්සත් විය හැකි ධජයක් ඔවුන්ට ලබා දිය යුතුය.

එබැවින් මෙම රැස්වීම අරගලය භාර ගැනීමට, සමාජවාදී සමානාතා පක්ෂයට බැඳීමට, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට අනුබද්ධව හා සමාජවාදී විප්ලවය සඳහා ලෝක පක්ෂයක් ගොඩනැගීමට ඔබට ඒත්තු ගැන්වෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

Loading