ශ්‍රී ලංකාව: රැකියා හා සමාජ අයිතීන් රැකගැනීමට වතු කම්කරුවන් සිය ගනනක් වැඩ වරති

[පහත පල ‍කෙරෙන්නේ 2021 ජනවාරි 23 වැනි දින Sri Lanka: Hundreds of plantation workers strike to defend jobs and social rights යන මැයෙන් පල කෙරුනු ලිපියේ සිංහල පරිවර්තනයයි.]

මධ්‍යම ශ්‍රී ලංකාවේ මස්කෙලියේ ගාට්මෝ වත්තේ 500කට අධික කම්කරුවන් පිරිසක් රැකියා හා සමාජ අයිතීන් රැකගැනීමට දෙසැම්බර් 28දා වැඩ නවත්වා වර්ජනයේ යෙදුන හ. වැඩ වර්ජකයෝ, වතු වෘත්තීය සමිති විසින් ඔවුන් ව ආපසු වැඩට තල්ලු කිරීමට දැරූ උත්සාහයක්, බදාදා ප්‍රතික්ෂේප කල හ.

වත්තේ නව හිමිකරුවා විසින් ද සේවක අර්ථ සාධක අරමුදල හා පාරිතෝෂික (විශ්‍රාම වැටුප්) ඇතුලු රැකියා හා සේවා කොන්දේසි දිගට ම පවත්වාගෙන යා යුතු යයි ගාට්මෝ කම්කරුවෝ ඉල්ලා සිටිති. හෙක්ටාර 290කින් යුත් වත්තේ හිමිකාරීත්වය කලින් දැරුවේ සොයිසා පවුල විසිනි.

ගාට්මෝ වත්තේ ලයින් කාමර (ලෝසවෙඅ මාධ්‍ය)

ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්) හා කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) යන වෘත්තීය සමිති සංවිධාන කලමනාකාරීත්වය සමග ඒකාබද්ධ ව කටයුතු කිරීම හේතුවෙන්, එම වතු වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව වර්ජනය කිරීමට, කම්කරුවෝ පසුගිය මාසයේ තීන්දු කල හ.

සීඩබ්ලිව්සීය රාජපක්ෂ ආන්ඩුවේ කොටසක් වන අතර, එහි ප්‍රධාන ලේකම් වන ජීවන් තොන්ඩමන් වර්තමාන වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමතිවරයා ය. අනෙකුත් වතු වෘත්තීය සමිති, දක්ෂිනාංශික විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) සමග හවුලේ කටයුතු කරති.

අවරුදු 55 සිට 60 දක්වා වයස්වලට එලැඹී ඇති කම්කරුවන්ට හා විශ්‍රාමිකයන්ට, පාරිතෝෂික ගෙවන බව පැරනි හිමිකරුවා දෙසැම්බර් 14දා කම්කරුවන්ට කීවේ ය. කම්කරුවන් විශ්‍රාම ගිය විට, සියලු ප්‍රතිලාභ නව හිමිකරු විසින් ද ගෙවනු ඇතැයි ඔහු කීවේ ය.

වර්ජකයන් මෙම සහතික වීම් විශ්වාස නො කල අතර, පොරොන්දු වූ ගෙවීම් තවමත් ගෙවනු ලැබ නැත. වසර හතරකට පෙර, සොයිසා පවුල වත්තෙන් කොටසක් විකිනූ විට කම්කරුවන්ට රැකියා අහිමි විය.

නව හිමිකරුවා කම්කරුවන්ගේ ඉල්ලීම් අවධාරනාත්මක ව ප්‍රතික්ෂේප කර ඇති තතු තුල, නව කලමනාකතාරීත්වය, වෘත්තීය සමිති හා කම්කරු නිලධාරීන් අතර මෑත දී පැවති සාකච්ඡා වට තුනක් අසාර්ථක වී තිබේ.

කම්කරුවන් නව කොන්දේසිවලට මුහුන දෙන බව නව හිමිකරුවා ජනවාරි 17දා කම්කරුවන්ට කීවේ ය.

තම ලයින් කාමරයේ සිදුරු වූ බිත්ති පෙන්වන ගාට්මෝ වත්තේ පුෂ්පවතී නමැති කම්කරු කාන්තාව (ලෝසවෙඅ මාධ්‍ය)

පසුගිය වසර පහ පුරා ඵලදායිතාව පහල පැවතී ඇති ඕනෑ ම කම්කරුවෙකුට, පොරොන්දු වූ පාරිතෝෂික දීමනා නො ලැබෙනු ඇති බවත්, නව සේවකයෙකු ලෙස ලියා පදිංචි කරගනු ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කලේ ය. මෙම ප්‍රභේදයට කම්කරුවන් 53ක් අයත් වේ. වත්ත තුල ගස් හිඟ නිසා, අවමංගල්‍යයන්ට අවශ්‍ය දර සපයනු නො ලබන බව ද නව කලමනාකාරීත්වය සඳහන් කලේ ය.

වත්මන් හිමිකරුවා තේ වෙනුවට සංචාරක පහසුකම් වත්තු තුල වර්ධනය කිරීමට සැලසුම් කරන බව ගාට්මෝ කම්කරුවන් ලෝකසමාජවාදී වෙබ් අඩවියට(ලෝසවෙඅ) කී අතර, එමගින් ශ්‍රම බලකාය උග්‍ර ලෙස අඩු කරනු ඇත. දැනට වත්තේ කාර්යාලයේ තිබෙන උප්පැන්න හා මරන සහතික, සෞඛ්‍ය හා පවුලේ අනෙකුත් ලිපි ලේඛන, නව කලමනාකාරීත්වය යටතේ ආරක්ෂා නො වනු ඇතැයි ද සමහර කම්කරුවෝ බිය පලකරති.

පෙරුමාල් මෙසේ කීවේ ය: “අපේ පැවති අයිතීන් අහෝසි නො කරන බවට අපට ලිඛිත පොරොන්දුවක් අවශ්‍ය යි. අප දිගට ම වර්ජනයේ යෙදුනහොත්, අපේ ලමයින් බඩගින්නට ඇද වැටෙනු ඇති බවත්, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා වනු ඇති බවත්, සඳහන් කරන වෘත්තීය සමිති අප ව අධෛර්යයමත් කිරීමට උත්සාහ කලා.”

“අපි නියමිත කාලයට වෘත්තීය සමිතිවලට දායක මුදල් ගෙවුවත්, ඔවුන් අපේ අයිතීන් ආරක්ෂා කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් අපට විරුද්ධ ව කලමනාකාරීත්වය සමග එකමුතු ව වැඩකරනවා. මෑත පැවති මැතිවරනයේ දී අපේ දෛනික වැටුප රුපියල් 1,000 දක්වා වැඩි කරන බවට (ජනාධිපති ගෝඨාභය) රාජපක්ෂගේ ආන්ඩුව පොරොන්දු වුනා. ඒක හුදෙක් ම ඡන්ද පොරොන්දුවක් විතරයි.”

දැන් කම්කරුවන් හා ඔවුන්ගේ පවුල් මුහුන දෙන ආර්ථික හා සමාජ දුෂ්කරතා ආර්. විජේලක්ෂ්මී විස්තර කලා ය: “දිනකට රුපියල් 700ක් වන අපේ සොච්චම් වැටුපෙන් ලමයින්ට ඉගැන්වීම, නිවාස අලුත් වැඩියා කරගැනීම හා අපේ අනෙකුත් වියදම් කලමනාකරනය කරගැනීමට අපට සිදු වී තිබෙනවා. අනෙක් කම්කරුවො වගේ මමත් ජල සම්පාදන පහසුකම් ලබා ගැනීමට රුපියල් 10,000ක් ගෙවුව. ඒත් වියලි කාලෙට අපට ඇති තරම් ජලය ලැබෙන්නෙ නැහැ.”

ගාට්මෝ වත්තේ කම්කරුවන්ගේ අධිෂ්ටාන සහගත වැඩ වර්ජනය රටෙහි වතු තුල වර්ධනය වෙමින් පවතින පලල් අතෘප්තියේ ප්‍රකාශනයකි. සමහර වතු තුල කොවිඩ්-19 ආසාදන සොයා ගනු ලැබ ඇති අතර, වතු තුල තිබෙන භයානක ලෙස තදබදයෙන් යුක්ත ලයින් කාමර පුරා මෙම මාරාන්තික වෛරසය සීඝ්‍රයෙන් පැතිර යනු ඇතැයි කම්කරුවෝ බිය පලකරති.

ගාට්මෝ වත්තේ ඇයගේ ලයින් කාමරයෙන් පිටත සිටින කම්කරු කාන්තාවක් (ලෝසවෙඅ මාධ්‍ය)

රුපියල් 700ක් වන අප්‍රමානවත් දෛනික වැටුපකින් යැපීම වතු කම්කරුවන්ට දුෂ්කර කරමින්, වසංගතය විසින් දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල කඨෝර ලෙස ඉහල දැමීම ද කර ඇත.

2019 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරනය ආසන්නයේ දී, වතු කම්කරුවන්ගේ දීර්ඝ-කාලීන ඉල්ලීමක් වන රුපියල් 1,000 දෛනික වැටුප ගැන සලකා බැලීමට ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු විය. පසුගිය අගෝස්තුවේ පැවති මහා මැතිවරනයේ දී යලිත් පුනරුච්ඡාරනය කරන ලද මෙම පොරොන්දුව, පසුගිය නොවැම්බරයේ දී සම්මත කරන ලද මේ වසර සඳහා වන අයවැයට ද ඇතුලත් කරනු ලැබ ඇත.

දෛනික වැටුප ඉහල දමන ලෙස කම්කරුවන් කරන ඉල්ලීම අරබයා ඔවුන් අතර වැඩෙන කෝපය අපසරනය කිරීමේ අපේක්ෂාවෙන් පසුවන කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, පසුගිය දෙසැම්බරයේ දී ප්‍රාදේශීය වතු සමාගම්වල (ආර්පීසී) නියෝජිතයන් සමග සාකච්ඡා ආරම්භ කලේ ය.

ද සිල්වා ආර්පීසී හා වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමග සාකච්ඡා වට කිහිපයක් ම පවත්වා ඇති නමුත්, හාම්පුත්තු රුපියල් 1,000 දෛනික වැටුප් ඉල්ලීම එකහෙලා ප්‍රතික්ෂේප කර තිබේ. ඒ වෙනුවට ආර්පීසී නියෝජිතයෝ “වැටුප් ඉහල දැමීම” සඳහා ක්‍රම දෙකක් යෝජනා කර ඇත.

පලමු යෝජනාව වන්නේ, දැනට පවතින දෛනික වැටුප් ක්‍රමය යටතේ දවස් තුනක් ද කොන්ත්‍රාත් පදනමින් දවස් තුනක් ද සේවකයන් වැඩ කරන අතර, තේ දලු කිලෝවකට රුපියල් 50ක් හා විශ්‍රාම වැටුප් ඔවුන්ට ගෙවනු ලබන ඊනියා දෙමුහුන් වැටුප් ක්‍රමයකි. රබර් වතු කම්කරුවන්ට කිරි කිලෝවකට රුපියල් 125ක් ගෙවනු ඇත.

දෙවන යෝජනාව වන්නේ රුපියල් 1,105ක දෛනික වැටුපක් ගෙවීමේ එකකි. රුපියල් 700ක මූලික දෛනික වැටුපක්, රුපියල් 300ක දීමනා හා විශ්‍රාම වැටුප් අරමුදල්වලට ගෙවන රුපියල් 105ක් මීට ඇතුලත් වේ.

වෙනත් වචනවලින් කියතොත්, යෝජනා දෙක ම කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000 දක්වා වැඩි කිරීමට අසමත් වන අතර, ඵලදායිතාව ඉහල නැංවීමට සැලසුම් කරයි.

වතු කම්කරුවන්ගේ විරෝධයට මුහුන දෙන ආන්ඩුව හා වෘත්තීය සමිති, ආර්පීසී වැටුප් යෝජනා සමග “නො එකඟ” වී තිබේ. ආන්ඩුවේ වැටුප් මන්ඩලය හරහා අවම දෛනික වැටුපක් ස්ථාපිත කිරීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කරන බවට කම්කරු ඇමති ද සිල්වා සඳහන් කර ඇත.

ප්‍රාදේශීය වතු සමාගම්වල ලාබවලට වලකපන කිසිවක් ආන්ඩුව හා වෘත්තීය සමිති කරන්නේ නැත.

දෙසැම්බර් 5දා පාර්ලිමේන්තුවේ දී කතා කල ද සිල්වා, වැටුප් ප්‍රශ්නය “ඒක පාර්ශවික” නො විය යුතු බවත් “වතු කර්මාන්තය හා වතු සමාගම් ආරක්ෂා කරගත” යුතු බවත් කීවේ ය. එදින ම මාධ්‍ය වෙත අදහස් දැක්වූ සීඩබ්ලිව්සී නායක තොන්ඩමන්, “වැටුප් ප්‍රශ්නය කර්මාන්තය මරා දැමීමට හේතුවක් කරගත නො යුතු” බව කීවේ ය.

ප්‍රාදේශීය වතු සමාගම්වල ඊනියා වැටුප් යෝජනා වනාහි, කොරෝනා වෛරස් වසංගතය ද ඒ හා සම්බන්ධ අපනයනවල ඇද වැටීම් ද විසින් ගැඹුරු කර ඇත්තා වූ වතු කර්මාන්ත අර්බුදය ජයගැනීමේ උත්සාහයකි.

2015 දී පලමු වරට ඉදිරිපත් කරන ලද රුපියල් 1,000ක සොච්චම් අවම දෛනික වැටුපක් සඳහා වතු කම්කරුවන් කල ඉල්ලීම, දැන් ප්‍රමානවත් නො වේ. මෙම මධ්‍යස්ථ වැඩි කිරීම සඳහා කම්කරුවන් කරන සටන බාධනය කිරීමට හෝ එයට වල කැපීමට, වෘත්තීය සමිති මුල පටන් ම ක්‍රමානුකූල ව කටයුතු කර ඇත.

2018 වසර අවසානයේ දී, වතු කම්කරුවන් ලක්ෂ ගනනක් අඛන්ඩ විරෝධතාවල ද දින 11ක වර්ජනයක ද නිරත වූ හ. කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 700ට සීමා කරමින් සාමූහික ගිවිසුමකට අත්සන් තැබූ සීඩබ්ලිව්සීය ප්‍රධාන භූමිකාවක් ඉටු කරද්දී, එය ඇතුලු වෘත්තීය සමිති විසින් මෙම අරගල පාවාදෙනු ලැබී ය.

2018 දී රුපියල් 1,000ක් එක්සත් ජනපද ඩොලර් 7ක පමන වටිනාකමකින් යුතු විය. එම ප්‍රමානය ම මේ මාසයේ වටින්නේ එක්සත් ජනපද ඩොලර් 5ක් පමනි.

ගාට්මෝ වත්තේ අරගලයට ප්‍රදේශයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ මැදිහත් වීම් කිහිපයක් ම සිදු කල හ.

දෙසැම්බර් 31දා පැවති රැස්වීමක දී කම්කරුවන් ඇමතූ සසප නායක සාමාජික එම්. දේවරාජා, වතු කම්කරුවන් මුහුන දෙන දේශපාලන ප්‍රශ්න විමර්ශනය කලේ ය. වෘත්තීය සමිතිවලින් බිඳී, අනෙකුත් වතු කම්කරුවන් සමග ඒකාබද්ධ ක්‍රියා සංවිධානය කිරීමට සහ ඔවුන්ගේ ඉල්ලීම් සඳහා වන අරගලය ඉදිරියට ගෙන යාමට, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු තනා ගන්නා ලෙස ඔහු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ගාට්මෝ කම්කරුවන් අමතන එම්. දේවරාජා (ලෝසවෙඅ මාධ්‍ය)

“වතු ජනසතු කොට ඒවා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කිරීම සඳහා අරගලයක් නො කොට, කම්කරුවන්ට තමන්ගේ අයිතීන් රැකගැනීමට බැහැ” යි දේවරාජා කීවේ ය.

“සමාජවාදය සඳහා කරන පලල් අරගලයක කොටසක් ලෙස, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බිහිකිරීම පිනිස ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තර ව ද කම්කරු පන්තිය සමග ඒකාබද්ධ වීමෙන් පමනක් මෙම කර්තව්‍යයන් ඉෂ්ට කරගත හැකි” යි ඔහු තවදුරටත් සඳහන් කලේ ය.

ශ්‍රී ලංකාවේ වතු කම්කරු වර්ජනයේ ජාත්‍යන්තර අර්ථභාරය

වැටුප් අරගලය පාවා දීමට වෘත්තීය සමිති දරන ප්‍රයත්නය සම්බන්ධයෙන් වතු කම්කරුවෝ කෝපය පල කරති

Loading