මානව හිමිකම් පිලිබඳ අධ්‍යයනයකින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල කුරිරු තත්වයන් හෙලිදරව් වේ

[පහත පල  ‍කෙරෙන්නේ 2021 ජනවාරි 26 වැනි දින Human rights study exposes brutal conditions in Sri Lankan prisons  යන මැයෙන් පල කෙරුනු ලිපියේ සිංහල පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව රටේ බන්ධනාගාර පද්ධතිය තුල පවතින තදබදය සහ වධ හිංසාකාරී තත්වයන් විස්තර කරන පුළුල් වාර්තාවක් ප්‍රකාශයට පත් කර තිබේ. එය, සිරකරුවන්ට කොවිඩ්-19 ආසාදනය වීමට වසර දෙකකට පෙර දිවයිනේ බන්ධනාගාර 23 න් 20 කදී 2018 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුල සිදු කරන ලද පරීක්ෂන මත පදනම් වේ.

පිටු 850 ක අධ්‍යයන වාර්තාව දෙසැම්බර් අග දී නිකුත් කරන ලදී. මීට සති කිහිපයකට පෙර නොවැම්බර් 29 වන දින මහර බන්ධනාගාරයේ නියාමකයන් සහ පොලිසිය එම ස්ථානයේ පැවති විරෝධතාවයක් අමානුෂික ලෙස මර්දනය කිරීමේදී රැඳවියන් 11 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලද අතර තවත් දුසිම් ගනනක් තුවාල ලැබූහ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුතරන ලද බන්ධනාගාර අධ්‍යයනය

කොවිඩ්-19 වලින් ආරක්ෂාව, ජීවන තත්ත්වයන් වැඩිදියුනු කිරීම සහ සියලු ඇප ලැබූ රඳවා සිටින්නන් නිදහස් කරන ලෙස සිරකරුවෝ ඉල්ලා සිටියහ. වෙඩි තැබීමට නියෝග කල අය නිදැල්ලේ සිටිති. කෙසේ වෙතත්, විරෝධතා දැක්වූ රැඳවියන්ගෙන් හැට දෙනෙකුට නොසන්සුන්තාවය ඇති කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරන සඳහා කරුනු ඉදිරිපත් කිරීමට මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව සම්පාදනය කර ඇති අතර, මෙම අධ්‍යයනය අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩු වලට තදබල චෝදනාවකි. කෙසේ වෙතත්, මානව හිමිකම් කොමිසම යනු සැබෑ බලයක් නොමැති ආයතනයකි. එහි කිසිදු නිර්දේශයකට ආන්ඩුව බැඳී නොමැත.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ඉඩප්‍රමානය 11,762 ක් විය යුතු නමුත් පසුගිය මාසයේ රැඳවියන් සංඛ්‍යාව තුන් ගුනයකින් ඉහලයමින් 33,470 කට වැඩි පිරිසක් සිරගත කර තිබේ.

සිරකරුවන්ගෙන් වැඩි දෙනෙක් රටේ දුප්පත්ම කොටස්වලට අයත් බව මානව හිමිකම් කවුන්සිලය නිරීක්ෂනය කරයි. “දරිද්‍රතාවය යනු සෑම වයස් කාන්ඩායකම, ජනවාර්ගික හා ආගමික කාන්ඩයකම සිරකරුවන් අතර අන්තර්ඡේදිත සාධකයකි. සිරකරුවන් බොහෝ විට සඳහන් කලේ මූල්‍ය ස්ථාවරත්වයක් නොමැතිකම හා දුප්පත්කම, අපරාධ ක්‍රියාවලට සම්බන්ධ වීමට මූලික හේතුව ලෙස දැක්වූ බව වාර්තාව” එය පවසයි.

පිරිමි සිරකරුවන්, බොහෝ දෙනා ඔවුන්ගේ පවුලේ මූලික ආදායම් උපයන්නන් වන අතර, ඔවුන්ගේ පවුල් “අති මහත් දුෂ්කරතාවන්ට” මුහුන දෙන බව මානව හිමිකම් කවුන්සිලය පැවසීය.

බොහෝ රැඳවියන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටියේ ඔවුන්ට නීතිමය සේවා සඳහා මුදල් ගෙවීමට නොහැකි වූ බැවිනි. තවත් සමහරු පිරී ඉතිරී ගිය බන්ධනාගාරවල රැඳී සිටියේ ඔවුන්ට ඇප ලබා ගැනීමට හෝ දඩ මුදල් ගෙවීමට නොහැකි වූ බැවිනි.

බන්ධනාගාර තුල සමාජ අසමානතාවය ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනයෙන් හෙලි විය. “කෙසේ වෙතත්, ඉහල සමාජ තත්වයක සිටින සිරකරුවන්ට ගෞරවයෙන් සලකනු ලබන අතර අනෙකුත් රැඳවියන්ට ලබා ගත නොහැකි විශේෂ පහසුකම් සහ වරප්‍රසාද ලබා ගැනීමට පවා ඔවුන්ට හැකියාව තිබේ” යනුවෙන් එම වාර්තාව පවසයි. ඔවුන්ට වරප්‍රසාදිත නවාතැන්, ආහාර සහ වෛද්‍ය පහසුකම් ලබා ගත හැකිය. ධනවතුන් බන්ධනාගාර නිලධාරීන්ට අල්ලස් දී ඔවුන්ට අවශ්‍ය දේ ලබා ගනී.

විශේෂ කාර්ය බලකා සොල්දාදුවන්ගෙන් තම පවුලේ සාමාජිකයන් පිලිබඳ තොරතුරු ඉල්ලා සිටින මහර බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් (ස්තුතිය: ෂෙහාන් ගුනසේකර)

මානව හිමිකම් කවුන්සිලය විසින් සඳහන් කර නොතිබුනද, ධනවත් රැඳවියන් සහ සිරගතව සිටින සමහර දේශපාලනඥයන්ගේ කාමරවල වායුසමීකරන හා රූපවාහිනී තිබීම ගැන බොහෝ වාර්තා තිබේ. එම පුද්ගලයින්ට බන්ධනාගාර රෝහලට හෝ ගෙවීම් සහිත ප්‍රධාන රෝහල්වලට ඇතුලු විය හැකිය.

නිරයක් වැනි වූ තම නවාතැන් පිලිබඳ කෝපයෙන් අදහස් දක්වමින් එක් රිමාන්ඩ් සිරකරුවෙක් මෙසේ පැවසීය: “මරනයේ දුර්ගන්ධය ඇති, සොහොන් බිමක් මෙන් දැනෙන මෙම ස්ථානය අප වෙනස් කල යුතුයි. අප මෙය වෙනස් කල යුතුමය. ”

සිර කුටි කුඩා හා තදබදයෙන් යුත් අතර, ප්‍රමානවත් වාතාශ්‍රය හෝ ආලෝකය නොමැති සහ අධික උෂ්නත්වයෙන් යුතු බව ඔවුහු පවසති. “එය බොහෝ විට අමානුෂික ජීවන තත්වයන්ට සමාන වේ” යනුවෙන් වාර්තාව තවදුරටත් සඳහන් කරයි. බොහෝ පැරනි සිරගෙවල් කඩා වැටෙන වහලවල් සහ බිත්ති සහිත අබලන් තත්වයක පවතින අතර ස්වාභාවික විපත් සිදු වන විට ඒවා ජීවිතයට තර්ජනයකි. එය මකුනන්, කැරපොත්තන් සහ මදුරුවන් ගේ රජදහනකි.

මෙම සිර මැදිරි කොතරම් තදබදයෙන් යුතුද යත්, "රිමාන්ඩ් භාරයේ සිටින බොහෝ සිරකරුවන් රාත්‍රිය පුරාම සිටගෙන සිටින්නේ ඔවුන්ට නිදා ගැනීමට ඉඩක් නැති නිසාය. ඔවුනට වැසිකිලිය අසල හෝ ඇතුලත නිදා ගැනීමට බල කෙරේ. මෙම කොන්දේසි “සිරකරුවන් අතර රෝග පැතිරීමට තුඩුදෙන” බව වාර්තාවේ සඳහන් වේ.

ආහාරවල තත්ත්වය භයානක ලෙස ප්‍රමිතියෙන් තොර හා සෞඛ්‍යයට අහිතකර බව වාර්තාවේ සඳහන් විය. එක් සිරකරුවෙක් පැවසුවේ “ඔවුන් අපට මෙහි නිසි ආහාර ලබා දෙන්නේ නැහැ. බත් නිසි ලෙස පිස නෑ, උයන්නේ කුනු වූ එලවලුයි”. ඔවුන් තැත් කරන්නේ අපව රෝගී කර මරා දැමීමටයි. ඔවුන් අපට මේ ආකාරයට සලකන්නේ අපි සිරකරුවන් වන නිසා. අපි දැනටමත් අධිකරනයෙන් දඬුවම් ලබා ඇත්තෙමු.  මේ නිලධාරීන් සිටින්නේ අපේ ආරක්ෂාව සඳහා යි.

“මම හිතන්නේ නැහැ බල්ලෝ-බලල්ලුවත් ඔවුන් අපට දෙන ආහාර කයි කියා. ඒවා වතුර වගේ; කිසිම රසයක් නෑ. ඔවුන් කුඩා ප්‍රමානයක් දුන්නත්, එය ටිකක් හරි රසවත් නම්, අපට එය කන්න පුලුවන්… මේ අය අපට සලකන්නේ වහල්ලුන්ට වගේ.”

බොහෝ රැඳවියන් කියා සිටියේ පැමිනිලි කිරීමට අකමැති, ඊටත් වඩා නරක ස්ථානවලට මාරු කරනු ඇතැයි යන බිය නිසා බවයි.

ජලය හා පිරිසිදු කිරීමේ පහසුකම් ප්‍රමානවත් නොවන ආකාරය නිසා සනීපාරක්ෂක තත්වයන් ඉතා අමානුෂික ය. සෝදා හැරිය හැකි වැසිකිලි (flushing toilets) නොමැති බව වාර්තාවේ සඳහන් වන අතර සිරකරුවන් පැමිනිලි කලේ “වැසිකිලි භාවිතයෙන් පසු අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ඔවුන්ගේ සීමිත ජල සැපයුම භාවිතා කල යුතු” බවයි.

ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි බන්ධනාගාරවලට නල ජල සැපයුමක් නොමැති අතර ඇතැම් බන්ධනාගාර ස්වාභාවික මූලාශ්‍රවලින් කෙලින්ම ලබාගන්නා ජලය “මඩ හෝ බොර සහිතය. ඒවා ලුනු හෝ කිවුල් රසයෙන් යුතුය."

ජලය භාවිතා කිරීම සඳහා රැඳවියන්ට බාල්දි ලබා දී ඇත. සමහර අවස්ථාවල ජලය, ආහාර සඳහා මෙන්ම මුත්‍රා කිරීම සඳහා ද ඔවුන් භාවිතා කරනුයේ එකම බාල්දියකි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මෙසේ පැවසීය: “අපට රාත්‍රියේදී මල මූත්‍රා කර ගැනීමට අවශ්‍ය නම්, අපි ෂොපින් බෑගයකට දමා ගැට ගසනවා. ඉන්පසු අපි එය කාමරයේ මුල්ලක තබා ගන්නවා. උදේ අපි එය වැසිකිලියට විසි කරනවා. අපි මුත්‍රා බාල්දිය සෝදනවා. මුලු රැය පුරාම දුර්ගන්ධය දරාගත යුතුයි. මුල් කාලයේ, මම මෙහි පැමිනෙන විට, මගේ කාමරයේ එකොලොස් දෙනෙක් සිටියා.”

බන්ධනාගාර රෝහල්වල නිසි වෛද්‍ය යටිතල පහසුකම් නොමැති අතර විශේෂිත වෛද්‍ය පහසුකම් සඳහා සිටින්නේ හෙදියන් ස්වල්පයක් බැවින් විකල්ප ප්‍රතිකාර සීමා කෙරේ. වෛද්‍යවරුන් හමුවිය හැක්කේ දවසේ ඇතැම් වේලාවන්හිදී පමනක් වන අතර සාමාන්‍යයෙන් රාත්‍රියේ හමුවිය නොහැක. එයින් අදහස් වන්නේ “බොහෝ සිරකරුවන් ඔවුන්ගේ රෝගවලින් මිරිකී සිටිය යුතු” බවයි.

කාන්තා සිරකරුවන් සිටින්නේ අඩු සංඛ්‍යාවක් මුත්, සනීපාරක්ෂක තුවා හිඟකම ඇතුලු බොහෝ ගැටලුවලට ඔවුන් මුහුන දෙයි. රිමාන්ඩ් කාන්තා රැඳවියන්ට මෙම සහ වෙනත් අවශ්‍යතා රැගෙන ඒම සඳහා පවුලේ සාමාජිකයන් මත විශ්වාසය තැබීමට සිදු වේ. වරදකරු වූ කාන්තාවන්ට සහ විදේශීය ජාතිකයින්ට මෙම මූලික අවශ්‍යතා ලබා ගත හැක්කේ බන්ධනාගාරය තුල පිරිසිදු කිරීම් හෝ එවැනි වෙනත් වැඩ කිරීමෙන් පමනි.

වයස අවුරුදු පහට අඩු දරුවන් සිරගෙදර තබා ගැනීමට කාන්තාවන්ට අවසර ඇත. නමුත් වාර්තාවේ සඳහන් පරිදි, මෙම දරුවන්ට “පෙර පාසල් පොත් හෝ සුදුසු හා පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම වැනි සෞඛ්‍ය සම්පන්න වර්ධනයට හා සංවර්ධනයට අවශ්‍ය පහසුකම් නොලැබේ.”

බන්ධනාගාර පද්ධතිය තුල සිරගතව සිටින විදේශිකයෝ  භාෂාව සහ සංස්කෘතික බාධක නිසා සාමාන්‍යයෙන් ඔවුන්ගේ දේශීය සගයන්ට වඩා දරුනු තත්වයන් අත්විඳිති. ඔවුන්ට මූලික කෑමබීම ආදිය සහ වැසිකිලි සඳහා අවශ්‍ය ටිෂූ ආදිය නොමැති අතර සිය අවශ්‍යතා ලබා ගැනීම සඳහා දේශීය රැඳවියන් මත විශ්වාසය තබති.

බොහෝ සිරකරුවන් පැවසුවේ තමන් වාර්ගික හා ආගමික වෙනස්කම්වලට ලක් වන බවයි. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ සිරගතව සිටින සිරකරුවන් සාමාන්‍යයෙන් එල්ටීටීඊ සිරකරුවන් ලෙස හඳුන්වනු ලබන අතර එය බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි ගැන සඳහනකි.

මෙම රැඳවියන්ට ජාත්‍යන්තර මානව හිමිකම් නීති යටතේ සහතික කර ඇති ව්‍යවස්ථාමය අයිතිවාසිකම් හා නීතිමය හිමිකම් අහෝසි කර තිබේ. මෙම සිරකරුවන් වෙනස්කම් කිරීමට ලක්වන අතර “සෙසු සිරකරුවන් ගේ සහ ඇතැම් විට බන්ධනාගාර නිලධාරීන් ගේ පවා දිගින් දිගටම හිරිහැර කිරීම් හෝ අපයෝජනයන්ට ලක්වීමේ අවදානමක් ඇත.”

"එල්ටීටීඊ සැකකරුවන්" ලෙස අත්අඩංගුවට ගත් දෙමල සිරකරුවන් 200 කට ආසන්න පිරිසක් තවමත් බන්ධනාගාරගතව සිටී. මින් වරදකරුවන් වී ඇත්තේ ස්වල්ප දෙනෙක් පමනි. අනෙක් අය අධිචෝදනාවක් හෝ නොලබා අවුරුදු 20 ක් දක්වා රිමාන්ඩ් භාරයේ පසුවෙති.

වාර්තාවේ සඳහන් කර නැතත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වධ හිංසා පැමිනවීමෙන් පවා ලබාගන්නා පාපොච්චාරන සිරකරුවන්ට එරෙහි සාක්ෂි ලෙස පොලිසියට නීත්‍යානුකූලව භාවිතා කල හැකිය. මෙම “සැකකරුවන්” නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන්ද, ඔවුන්ගේ පවුල්වල අය ද විරෝධතා දැක්වූ නමුත් ඒවායින් පලක්වී නැත.

සමහර බන්ධනාගාර නිලධාරීන් මානව හිමිකම් කවුන්සිලයට පැවසුවේ බන්ධනාගාර යටිතල පහසුකම් වැඩි දියුනු කිරීම සඳහා අරමුදල් ඉල්ලා සිටින නමුත් ලබා දී ඇති මුදල් ප්‍රමානය කිසිසේත් ප්‍රමානවත් නොවන බවයි.

පසුගිය වසරේ මහර බන්ධනාගාර විරෝධතාවයෙන් පසුව, සුලු චෝදනා මත සිටි රැඳවියන් 12,000 ක් පමන නිදහස් කරන ලදී. කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අධි ආරක්ෂිත සිර කුටි විශාල සංඛ්‍යාවක් ඇතුලුව බන්ධනාගාර පද්ධතිය පුලුල් කිරීම නිර්දේශ කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කලේය.

වසර 12 ක සේවා කාලය සම්පූර්න කල හිටපු හමුදා නිලධාරීන් 500 දෙනෙකු විශේෂ බන්ධනාගාර ඒකකයකට බඳවා ගන්නා ලෙස ජනාධිපති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ට උපදෙස් දුන්නේය. එහි කර්තව්‍යය වනුයේ “ඉහල පෙලේ සිරකරුවන් ආරක්ෂා කිරීම සහ බන්ධනාගාර තුල ඇතිවන කැරලි මර්දනය කිරීම” ය. එය ශ්‍රී ලංකාවේ ඔත්තු බැලීමේ බුද්ධි සේවයට සම්බන්ධ වනු ඇත.

Loading