එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂනයක් ඉල්ලයි

[පහත පල  ‍කෙරෙන්නේ 2021 පෙබරවාරි 1  දින UN human rights commissioner calls for probe into Sri Lanka’s war crimes  යන මැයෙන් පල කෙරුනු ලිපියේ සිංහල පරිවර්තනයයි.]

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් ශ්‍රී ලංකාව පිලිබඳව මෑතකදී ගෙන ආ වාර්තාව මගින්, “මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් විශ්වාස කටයුතු චෝදනා ලැබූවන්” ඉලක්ක කරගත්, යුද අපරාධ විමර්ශනය, වත්කම් අත්හිටුවීම, සංචාර තහනම ඇතුලු සම්බාධක නිර්දේශ කර තිබේ.

පිටු 17 කින් යුත් මෙම වාර්තාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ එලඹෙන 46 වන සැසිවාරය සඳහා සකස් කර ජනවාරි 27 වන දින ප්‍රසිද්ධියට පත් කරන ලදී. එහි මීලඟ රැස්වීම පෙබරවාරි අවසානයේ ආරම්භ කර මාර්තු 19 දක්වා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව පිලිබඳ “සාපරාධී වගවීම සඳහා', සාමාජික රටවලට යෝජිත “විකල්ප” ඉදිරිපත් කරමින් ඒවා ජාත්‍යන්තර අපරාධ අධිකරනයට (අයිසීසී) යොමු කිරීම සඳහා තොරතුරු බැචලට් වාර්තාවේ අඩංගු වේ. සාමාජික රටවලට ඔවුන්ගේ ජාතික අධිකරන ඉදිරියේ “ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශවයන් විසින් සිදුකරන ලද ක්‍රියා විමර්ශනය කර අපරාධ නඩු පැවරීම් සක්‍රීයව කරගෙන යා හැකිය” යනුවෙන් එහි සඳහන් වේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට විරෝධය පල කරමින් 2020 ජුනි මාසයේදී පැවැත්වූ උද්ඝෝෂනයේදී පොලිසිය විරෝධතාකරුවෙකු අත්අඩංගුවට ගනී [අනුග්‍රහය: ලෝසවෙඅ]

 සේවයෙහි නියුතු සහ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ආන්ඩුවේ ප්‍රධාන තනතුරු වලට පත් කිරීම පිලිබඳව සඳහන් කරමින් රාජ්‍ය යාන්ත්‍රනය මිලිටරීකරනය කිරීම; ව්‍යවස්ථාමය ආරක්ෂන ඉවත් කිරීම; ජනමාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීම; කෝවිඩ්-19 වසංගතයෙන් මියගිය සියලු දෙනා බලහත්කාරයෙන් ආදාහනය කිරීම පිලිබඳව වාර්තාවේ සඳහන් වේ. ජනාධිපති රාජපක්ෂ ආන්ඩුව විසින් සිවිල් කටයුතු සහ මානව හිමිකම් සීමා කිරීමක් ලෙස, මානව හිමිකම් කවුන්සිල වාර්තාව, මෙම කටයුතු විස්තර කරයි.

වාර්තාවේ දක්වා ඇති යුද අපරාධ, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ලේවැකි ගැටුමේ අවසන් මාස කිහිපය තුල එල්ල කරන ලද මිලිටරි ප්‍රහාර සම්බන්ධ කර තිබේ. බෙදුම්වාදී එල්ටීටීඊය 2009 මැයි මාසයේදී පරාජයට පත් විය.

හමුදාවේ කුරිරු ඉවබ නැති ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 40,000 ක් මියගිය බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ගනන් බලා තිබේ. යටත් වූ එල්ටීටීඊ නායකයින් ගනනාවක් අමු අමුවේ මරා දැමුන අතර හමුදාවට භාර වූ තරුනයින් සිය ගනනක් අතුරුදහන් වී ඇත.

තම වැඩිමහල් සහෝදරයා වන එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මෙම හමුදා මෙහෙයුම් අධීක්ෂනය කලේ ය.

1983 ජුලි මාසයේ ආරම්භ වූ වසර 30 ක වාර්ගික ගැටුමේ දී අනුප්‍රාප්තික ආන්ඩු, යුද අපරාධ රාශියක් සිදු කර ඇත. එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ද ඉන්දියාවේ ද සහාය ඇතිව මහින්ද රාජපක්ෂ තන්ත්‍රය විසින් 2006 දී යලි දියත් කරන ලද, යුද්ධයේ අවසන් වසරවල දෙමල ජනතාවට එරෙහි ප්‍රචන්ඬත්වය තීව්‍ර විය.

කුරිරු මර්දනය සිදුවූයේ උතුරු හා නැගෙනහිර යුද කලාපවල පමනක් නොවේ, ආන්ඩුව විවේචනය කල දකුනේ ජනමාධ්‍යවේදීන් සහ වෙනත් අය පැහැරගෙන යාම්, 'අතුරුදහන් කිරීම්' හෝ ඝාතනයට ලක්කරන ලදී.

කලින් පාලනය ගෙනගිය ආන්ඩු මෙන්ම, වර්තමාන රාජපක්ෂ තන්ත්‍රය ද සියලු යුද අපරාධ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර සියලුම හමුදා නිලධාරීන්ට නීතිමය මුක්තිය ඉල්ලා සිටි. කොලඹ ආන්ඩු තමන්ගේම අපරාධ වසන් කිරීමට උත්සාහ කරන්නේ, සිංහල, දෙමල හා මුස්ලිම්වරුන්ට එරෙහිව එල්ටීටීඊය යොදාගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ත්‍රස්තවාදී ක්‍රියාවලට ඇඟිල්ල දිගු කරමිනි.

යුද්ධයේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ, ජනවාර්ගික රේඛා ඔස්සේ කම්කරු පන්තිය බෙදා දුබල කර ධනේශ්වර පාලනය රැක ගැනීම පිනිස මුලික වශයෙන් දෙමල විරෝධී වර්ගවාදය යොදාගත් පාලක ප්‍රභූවේ සහ 1948 සිට බලයට පත් එහි ආන්ඩු වෙතය.

වොෂිංටනයේ භූ මූලෝපායික කක්ෂය තුල රැඳී සිටින ලෙස රාජපක්ෂ තන්ත්‍රයට බලපෑම් කිරීම සඳහා, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව මානව හිමිකම් යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජනපදය ගෙන ඇති පියවර මධ්‍යයේ, බැචලෙට්ගේ වාර්තාව ඉදිරිපත්ව තිබේ. 2019 නොවැම්බරයේ දී රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වූ දින සිටම එක්සත් ජනපදය අවධාරනය කර ඇත්තේ, සිය චීන විරෝධී යුද ව්‍යායාමය සමඟ කොලඹ පාලනය ඒකාබද්ධ විය යුතු බවටයි. මෙම න්‍යාය පත්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය තුල ඉදිරියට ගෙන යන ලදී.

එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවට සිරිසේන 2015 දී ජනාධිපති ලෙස පත් විය. යුද්ධය අතරතුර ආයෝජන සහ හමුදා ආම්පන්න ලබාගැනීම සඳහා මහින්ද රාජපක්ෂ තන්ත්‍රය බීජිනය සමඟ ගොඩනඟාගෙන තිබුන සමීප සබඳතාවලට වොෂින්ටනය සතුරු විය.

සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය විදේශ ප්‍රතිපත්තිය ඉක්මනින්ම වොෂිංටනයට පක්ෂව මාරු කර, හමුදාව සහ එක්සත් ජනපද මිලිටරිය අතර සබඳතා හා මෙහෙයුම් ශක්තිමත් කිරීමට පටන් ගත්තේය.

ඊට ප්‍රතිචාර වශයෙන් 2015 ඔක්තෝම්බර් මාසයේදී, මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳව රටේ විනිශ්චය සභා තුලින් දේශීය පරීක්ෂන පැවැත්වීමට ඉඩදෙන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල සම්මත කර ගැනීමට උදව් කරමින් වොෂින්ටනය, ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂනයක් සඳහා වන ඉල්ලීම් යටගැසීමට කොලඹ පාලනයට සහාය විය. මෙම විනිශ්චය සභා කිසි විටෙකත් පිහිටුවනු ලැබුවේ නැත.

වොෂිංටනය හා එහි කලාපීය මූලෝපායික හවුල්කරුවා වන ඉන්දියාව, ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිනීම ගැන දැඩි කනස්සල්ලට පත්ව සිටිති. ඒ අතරම බරපතල ලෙස නයගැති මෙරට ආර්ථිකයට කෝවිඩ්19 වසංගතය තියුනු ලෙස බලපා ඇති අතර ආයෝජන සහ නය සඳහා චීනය වෙත යොමුවීමට රාජපක්ෂ තන්ත්‍රයට වැඩි වැඩියෙන් බල කෙරී තිබේ.

මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක්ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව, බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝව නියෝජනය කරන, ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධාන කන්ඩායම පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කලේය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පසුගිය සතියේ ට්විටර් පනිවිඩයක මෙසේ සඳහන් කලේය: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිලිබඳව ගෙන ආ “වැදගත් වාර්තාව අපි ප්‍රවේශමෙන් සමාලෝචනය කරමින් සිටිමු'. ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතින්නේ, “අද අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ අතීතයේ කටයුතු අර්ථවත්කිරීමට පියවර ගැනීම මත ය,” යි එහි සඳහන් විය.

ලේඛනගත යුද අපරාධ සහ වෙනත් කුරිරුකම්වල නියැලි එක්සත් ජනපදයේ මානව හිමිකම් පිලිබඳ “උත්සුකයන්” සහ වෙනත් ප්‍රධාන බලවතුන්ගේ ඒ හා සමාන ප්‍රකාශ සියල්ලම, නරුමත්වයෙන් හා කුහකත්වයෙන් පිරී ඇත.

කොරෝනා වෛරස් වසංගතය මගින් වේගවත් කරන ලද ලෝක අර්බුදයේ කේන්ද්‍රයේ සිටින එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, සිය ගෝලීය ආධිපත්‍යය යලි තහවුරු කර ගැනීමට ආක්‍රමනශීලීව උත්සාහ දරයි. එක්සත් ජනපද ජනාධිපති බිඩෙන්ගේ පරිපාලනය යටතේ මෙය අඛන්ඬව පෙරට යමින් හා තීව්‍ර වෙමින් පවතී.

දෙමල ජාතික සන්ධානය (දෙජාස), දෙමල ජාතික ජනතා පෙරමුන (ටීඑන්පීඑෆ්) සහ දෙමල ජනතා සන්ධානය ඇතුළු දෙමල ධනපති පක්ෂ එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන නවතම මානව හිමිකම් ව්‍යායාමය පිටුපස පෙල ගැසී සිටිති.

එක්සත් ජනපද හා එක්සත් රාජධානියේ තානාපතිවරු, නව මානව හිමිකම් යෝජනාව ටීඑන්ඒ නායකත්වය සමඟ මෙන්ම ටීපීඒ සහ ටීඑන්පීඑෆ් නායකයින් සමඟ ද සාකච්ඡා කර ඇත. “සිවිල් සමාජ කන්ඬායම්” ද සමඟ එක්ව මෙම පක්ෂ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපති වෙත ලිපියක් යවමින්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ පරීක්ෂනයක් සිදු කරන ලෙසත් එය ජාත්‍යන්තර යුද අපරාධ අධිකරනය වෙත යොමු කරන ලෙසත් ඉල්ලා තිබේ.

2015 දී දෙජාස, එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමට සහාය දුන් අතර, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ සැබෑ හවුල්කරුවෙකු ලෙස කටයුතු කලේය. දෙමල ජාතිකවාදී පක්ෂ චීනයට එරෙහි භූ-දේශපාලනික හා මිලිටරි ගොඩනැගීමට පූර්න සහාය දක්වයි. එක්සත් ජනපද සහ අනෙකුත් ප්‍රධාන බලවතුන්ගේ “ජාත්‍යන්තර ප්‍රජාවේ” “මානව හිමිකම් උත්සුකයන්” පිලිබඳ සුලාපයන්ට ඔවුන් දක්වන සහයෝගය, උතුරු නැගෙනහිර දෙමල ධනේශ්වරයට බලය බෙදා හැරීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමේ උත්සාහයකි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොලඹගේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවසුවේ, යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අයට එරෙහිව “කිසිවක් ඔප්පු කර නොමැති” බවයි. “අප අපකීර්තියට පත්කිරීමට උත්සාහ කරන ඕනෑම රටකට වඩා ශ්‍රී ලංකාව සාමකාමී හා ස්ථාවරයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කලේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල වාර්තාව පෙර වාර්තාවලට වඩා “නරක” බව කොලඹගේ පිලිගත් අතර, අධිකරන යාන්ත්‍රනයක් ස්ථාපිත කිරීම හැරුනුකොට, කලින් යෝජනාවේ “සියලු බැඳීම්” පසුගිය පරිපාලනය විසින් ඉටු කර ඇති බව අවධාරනය කලේය. 'මෙරටින් සහ දෙමල ඩයස්පෝරාවෙන් ඉදිරිපත්වූ සනාථ නොකල තොරතුරු' මගින් වාර්තාවට බලපෑම් කෙරී ඇති බව ඔහු ඒ සමගම කියා සිටියේය.

රාජපක්ෂ තන්ත්‍රය සියලු යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන අතර මිලිටරිය පාවා දුන් බවට සිරිසේන-වික්‍රමසිංහ පරිපාලනය වෙත නිතර චෝදනා කරයි. 2015 ඔක්තෝම්බර් මාසයේදී සම්මත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව ජනාධිපති රාජපක්ෂ පසුගිය වසරේ මාර්තු මාසයේදී නිවේදනය කලේය.

එක්සත් ජනපදයෙන් එල්ලවන උග්‍ර පීඩනය පිලිබඳව දැඩි ලෙස තැතිගැනී සිටින රාජපක්ෂ පාලනය මොනම යුද අපරාධ පරීක්ෂනයක් හෝ වලක්වා ගැනීමට උත්සුක ව සිටී.

ජනවාරි 22 වන දින රාජපක්ෂ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් තුන් දෙනෙකුගෙන් යුත් නව විමර්ශන කොමිෂන් සභාවක් පත් කලේය. එහි කර්තව්‍යය වනුයේ, පෙර කොමිෂන් වලින් කිසියම් මානව හිමිකම් උල්ලංඟනයක් අනාවරනය වී ඇත්ද හා ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්ද යන්න සොයා බැලීමයි. මේ කල් ගැනීම සඳහා දරන තවත් මංමුලා සහගත උපාමාරුවකි. එක්සත් ජනපදයේ බලපෑම්වලට ප්‍රතිචාර වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තන්ත්‍රය විසින් මීට පෙර කොමිෂන් සභා දෙකක් පත් කරන ලදී.

ජනවාරි 24 වන දින කොලඹගේ සන්ඩේ ඔබ්සවර් පුවත්පතට මෙසේ පැවසීය: “අපට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ සම්බන්ධ වීමටත්, එක්සත් ජනපදය සමඟ සුහද සබඳතා පවත්වා ගැනීමටත් අවශ්‍යයි. මම හිතන්නේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ පලදායී ලෙස සම්බන්ධ විය යුතුය කියාය”.

'ශ්‍රී ලංකාව පිලිබඳ ප්‍රමුඛ කන්ඩායම, මානව හිමිකම් බැඳීම් ක්‍රියාත්මක කිරීම සඳහා අපට තවත් වසරක් ලබා දෙන එකඟත්වයෙන් ඉදිරිපත්කරන යෝජනාවක් පිලිබඳ අදහස ඉදිරිපත් කරන ලදී. එයට එකඟ වීමට නම්, යෝජනාවේ පෙල ඒකාබද්ධව කෙටුම්පත් කල යුතු ය. නව යෝජනාව පිලිබඳ ලිපිය බැලීමට අපි දැන් බලා සිටිමු. ”

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාව සහ තිරය පිටුපස ක්‍රියාත්මක සියලුම උපාමාරු වලින් පැහැදිලි වන්නේ, චීනයට එරෙහි සිය යුද වැඩපිලිවෙලට ශ්‍රී ලංකාව අනුකූල බව සහතික කර ගැනීම සඳහා වොෂින්ටනය, මෙරට තවත් පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක් හෝ ජාත්‍යන්තර යුද අධිකරනය වෙත ඇදගෙන යාම ඇතුලු ඕනෑම දෙයක් කරනු ඇති බවයි.

Loading