දෙමල ජාතිකවාදීහු යුද්ධයට ගොදුරු වූවන් සිහිපත් කිරීම අධිරාජ්‍ය-ගැති න්‍යාය පත්‍රය ඉදිරියට දැමීමට ගසාකති

සුභාෂ් සෝමචන්ද්‍රන්
15 ජූනි 2020

මෙම ලිපිය ජූනි 4 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ව ශ්‍රී ලංකාවේ ආන්ඩු අවුරුදු 30කට ආසන්න කාලයක් ගෙන ගිය යුද්ධය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව යටතේ 2009 මැයි 18දා ලේවැකි අවසානයකට ගෙන ඒමෙන්   එකොලොස් වන වසර පසුගිය මාසයට යෙදුනි. ශ්‍රී ලංකාවේ මිලිටරිය සිදුකල ඉව බව නැති ප්‍රහාරයකින් යුද්ධයේ අවසන් සති කිහිපය තුල මිනිසුන්, ගැහැනුන්, ලමුන් හා වැඩිහිටියන් 40,000ට අධික පිරිසක් මරා දැමුනි.

එල්ටීටීඊ සටන්කාමීන් ඇතුලු ව මිලිටරියට යටත් වූ තරුන මිනිසුන් හා ගැහැනුන් සිය ගනනක් තවමත් අතුරුදන් ව සිටිති. යුද්ධයෙන් නො මැරුනු 300,000ට අධික සිවිල් වැසියන් ගනනක් මිලිටරිය විසින් වව්නියාවේ පවත්වාගෙන ගිය කඳවුරුවලට ගාල් කරන ලදී. තරුනයන් 11,000ක් පමන ඊනියා පුනරුත්ථාපන කඳවුරුවලට කොටුකෙරුනි. 

තම සොහොයුරා වන මහින්ද සමගින් මෙම රුධිරස්නානය අධීක්ෂනය කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, “රනවිරුවන්ට” උත්කර්ෂවත් ප්‍රනාමයක් පලකරමින්, කොලඹට ආසන්න ප්‍රදේශයක දී මේ වසරේ යුද ජයග්‍රහන සැමරුම සිදුකලේ ය. එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී රටවල නායකයන් මෙන් තමන් ද යුද අපරාධකරුවන්ට දඬුවම් කිරීමට විරුද්ධ වන බව රාජපක්ෂ ප්‍රකාශ කලේ ය. (බලන්න: ශ්‍රී ලංකාවේ ජනාධිපති මිලිටරියට යුද අපරාධ සඳහා නෛතික නිදහස අවශ්‍ය බව අවධාරනය කරයි

තමන්ගේ ආදරනීයයන් සිහිපත් කරමින්, සෑම වසරක ම මැයි 18 දින, දෙමල ජනයා යුද්ධයේ අවසානය සිහිපත් කර ඇත. මේ වසරේ කිසිදු සැමරුමක් පැවැත්වීම වැලකීම සඳහා මිලිටරිය හා පොලිසිය මැදිහත් වූ හ. “ත්‍රස්තවාදීන් සිහිපත් කරන” ඕනෑම අයෙකු අත් අඩංගුවට ගැනීමට මිලිටරිය තර්ජනය කරද්දී, කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයන් පස්දෙනෙකුට වැඩි පිරිසක් එක්රැස්වීම තහනම් බව කියා සිටිමින් පොලිසිය උසාවි තහනම් නියෝග ලබාගත්තේ ය. කම්කරුවන් හා දුගීන් අතරින් යුද අපරාධවලට එරෙහි කිනම් හෝ විරෝධයක් මතුවේ යයි භීතියෙන්, කොලඹ ආන්ඩුව උතුරේ කඩාපැනීම මෙහෙයැවී ය.

මැයි 18 දින රටෙහි උතුර හා නැගෙනහිර පලාත්වලට සොල්දාදුවන් හා පොලිස් භටයන් විශාල පරිමානයෙන් දිගේලි කරන ලදී. ආයුධ, පොලු මුගුරු හා පිහිවලින් සන්නද්ධ ව නිල හා සිවිල් ඇඳුමින් සැරසී සිටි සොල්දාදුවන් මුල්ලිවයික්කාල් වෙත යන මාවතේ මංසන්ධිවල දී දැකගැනීමට ලැබුනි. මුල්ලිවයික්කාල් සැමරුමේ සහභාගීත්වය අඩු විය.

පොලීසිය උතුරු පලාතේ හිටපු මහ ඇමති සී. වී. විග්නේස්වරන් හා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් වැනි දෙමල ධනේශ්වර දේශපාලනඥයන්, එම ප්‍රදේශයට ඇතුලුවීමෙන් වැලැක්වී ය.

දෙමල මහජන සන්ධානයේ (දෙමස) නායකයා ද වන විග්නේස්වරන්, එදින ම යාපනයේ ඔහුගේ පක්ෂ කාර්යාලයේ දී රැස්වීමක් ඇමතී ය. “මුල්ලිවයික්කාල්හි සමූල ඝාතනය පිලිබඳ ව ජාත්‍යන්තර විමර්ශනයක අවශ්‍යතාව තමන් එකදිගට ම අවධාරනය කල” බව විග්නේස්වරන් කීවේ ය. “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ගෙන ගිය චෝදනා නැගීමේ වැඩසටහන අසාර්ථක වී තිබෙනවා. එම නිසා, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරනය හමුවට ගෙන යාමට” හා එම කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට පියවර ගත යුතු බව ඔහු වැඩි දුරටත් කීවේ ය. 

නඩුවක් ගොනු කිරීම පිනිස කමිටුවක් තැනීමට දෙමල ඩයස්පෝරාවේ පුද්ගලයන් ඇතුලු “ගෝලීය දෙමල උපදේශක සභාවක්” ස්ථාපනය කිරීම ඔහු යෝජනා කලේ ය.

“ශ්‍රී ලංකාවේ දෙමල ජාතිකයන්ට එරෙහි ව සිදුකරන ලද සමූල ඝාතනය ඇතුලු ලොව පුරා සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියට පැමිනිය යුතුයි" යනුවෙන් ඉල්ලා සිටිමින් විග්නේස්වරන් ඔහුගේ ආයාචනය සමාප්ත කලේ ය.

යුද්ධයට ගොදුරු වූවන්ට විග්නේස්වරන් සාධාරනය ඉල්ලමින් සිටින්නේ කාගෙන් ද? ඒවා වනාහි, අනුප්‍රාප්තික කොලඹ ආන්ඩුවලට යුද පහසුකම් හා ආයුධ ද “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයකට” සහයෝගය දීමේ කඩතුරාව යටතේ ශ්‍රී ලංකාවේ මිලිටරියට පුහුනුව ද සම්පාදනය කල එක්සත් ජනපදය හා යුරෝපා සංගමයේ (ඊයූ) රටවල් ඇතුලු අධිරාජ්‍යවාදී රටවල් සහ කලාපීය බලවතා වන ඉන්දියාව යි.

විග්නේස්වරන් සහ අනෙකුත් දෙමල ධනේශ්වර දේශපාලනඥයන් ඇඟවුම් කරන පරිදි, මෙම බලවත්තු ලෝකයේ කවර හෝ තැනක මානව හිමිකම් ආරක්ෂා කිරීමක් කරන්නේ නැත. පැරනි යුගෝස්ලාවියාවේ, ඉරාකයේ, ඇෆ්ගනිස්තානයේ, ලිබියාවේ හා සිරියාවේ මිලියන ගනන් මරා දමමින්, අනෙකුත් බලවතුන් ද සමගින් වොෂින්ටනය මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ හා සමූල ඝාතක යුද්ධවල නිරත වී තිබේ. මෙම බලවත්තු සංක්‍රමනිකයන්ට එරෙහි ව ම්ලේච්ඡ මර්දනයක් මුදාහරිමින් හා ඔවුන්ගේ ම රටවල කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මඩිමින් සිටී.

විග්නේස්වරන් මෙම බලවතුන්ට සාධාරනය පතා ආයාචනා කරනවා නොව, ඔහු ඔවුන් පිටුපස පෙලගැසෙන බවට සංඥා කරයි. ඔහු, 2015 ඔක්තෝබර් මාසයේ යුද අපරාධ විමර්ශන අවසන් කිරීම සඳහා යූඑන්එච්ආර්සීයේ දී යෝජනාවක් සූදානම් කල කොලඹට හා වොෂින්ටනයට සහයෝගය දුන්, දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) එවක නායකයෙක් විය. ආන්ඩුව හා මිලිටරිය කොක්කෙන් ගලවා යැවූ එම යෝජනාව, බලරහිත දේශීය විමර්ශනයක් සඳහා කැඳවුම් කලේ ය.

යුද්ධයට ගොදුරු වූවන්ට සාධාරනය ඇතුලු දෙමල මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරගත හැක්කේ, සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් හරහා පමනක් ය යන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අවධාරනය එමගින් තහවුරු කෙරුනි.

විග්නේස්වරන්ගේ ද අනෙකුත් දෙමල ධනේශ්වර පක්ෂවල ද ප්‍රතිගාමී ආස්ථානයන්ට විපරීත ව, ශ්‍රී ලංකාවේ සසප -හා එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස),- සිය න්‍යාය පත්‍රය ඉටු කරගැනීමට සමහර අවස්ථාවන්හි දී  ත්‍රස්තවාදී විධික්‍රම යොදාගත් එල්ටීටීඊයේ බෙදුම්වාදී ධනේශ්වර දේශපාලනයට එරෙහි ව, මූලධර්මාත්මක විරුද්ධත්වයක් පවත්වාගෙන ගියේ ය. එල්ටීටීඊයේ බෙදුම්වාදී ආස්ථානය පදනම් වූයේ, එක්සත් ජනපදයේ මූලෝපායික කඳවුරක් ලෙස සේවය කල හැකි ව තිබූ ජනවාර්ගික දෙමල රාජ්‍යයක් තනාගැනීම සඳහා, ජාත්‍යන්තර බලයන්ගේ සහයෝගය ගොනු කරගැනීම මත යි.

එල්ටීටීඊයේ පරාජය මිලිටරිමය ප්‍රශ්නයක් නො ව, එහි බෙදුම්වාදී ඉදිරිදර්ශනයේ ප්‍රතිඵලයක් බව විකොස/සසප විස්තර කලේ ය. 2009  මැයි 21දා පලකල ඉදිරිදර්ශන ලිපියක එය මෙසේ ලිවී ය:

“සිංහල කම්කරුවන්ට හා පීඩිතයන්ට දේශපාලන ආයාචනයක් කිරීමට හෝ දෙමල-විරෝධී ස්වෝත්තමවාදය ඇවිලවීමට සිංහල ධනේශ්වරය ගත් අනවරත උත්සාහයන්ට ප්‍රතිප්‍රහාර දීමට මෙම ව්‍යාපාරය අත්‍යන්තයෙන් අසමත් විය. එහි බෙදුම්වාදී දෘෂ්ටිය හේතුවෙන්, ඉන්දියාවේ දෙමල කම්කරුවන්ට පවා එවන් ආයාචනයක් කිරීමට ද එයට නො හැකි විය.  එහි පාලනය යටතේ පැවති ප්‍රදේශවල ඕනෑම දේශපාලන විරුද්ධත්වයක් -විශේෂයෙන් ම කම්කරු පන්තිය ඇතුලත- අනුකම්පා විරහිත ලෙස මැඩීම තුල ප්‍රකාශයට පත්වුනු එහි ප්‍රජාතන්ත්‍ර-විරෝධී ස්වභාවය, ශ්‍රී ලංකාවේ දෙමල ජනගහනයේ පලල් ස්ථරයන්ගේ අතෘප්තියට හේතු විය.”

එහි මෙසේ ද සඳහන් විය: “ශ්‍රී ලංකාවේ ඛේදනීය සිද්ධි සමස්ත කාලපරිච්ඡේදයක අවසානය සලකුනු කරන නමුත්, රටෙහි ප්‍රගාඪ පරස්පරවිරෝධයන්ගෙන් කිසිවක් එමගින් විසඳා නැත. දැන් විවෘත වන කාලපරිච්ඡේදයේ දී, ජාතිකවාදයේ හා ප්‍රජාගනවාදයේ සියලු රූපාකාරයන්ට එරෙහි ව, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන පොදු අරගලයක් තුල දෙමල හා සිංහල කම්කරුවන් එකමුතු කිරීමේ සසප අරගලය, දිවයිනේ මහජනයාට ඉදිරි මාවත සම්පාදනය කරනු ඇත. ලෝක පරිමාන ව කම්කරු පන්තියේ සමාජවාදී එකමුතුව සඳහා වන අරගලයේ කොටසක් ලෙස, දකුනු ආසියාව පුරා වැඩ කරන ජනයා ආකර්ශනය වන ජාත්‍යන්තරවාදී ධ්‍රැවයක් ලෙස ද එය සේවය කරනු ඇත.”

එහෙත් ශ්‍රී ලංකාවේ යුද්ධය පිලිබඳ ප්‍රධාන වගකීම ඍජු ව පැවරෙන්නේ, ධනපති පාලනය ආරක්ෂා කරගැනීම සඳහා කම්කරු පන්තික විරෝධය ජනවාර්ගික රේඛා ඔස්සේ බෙදීම පිනිස දෙමල-විරෝධී වෙනස්කම් කිරීම් යොදාගත්, කොලඹ පාලක ප්‍රභූවට හා අනුප්‍රාප්තික ආන්ඩුවලට ය. මෙම වර්ගවාදී වෙනස්කම් කිරීම් හා ක්‍රමානුකූල ප්‍රකෝපකරනයන්, 1983 දී පුපුරා ගොස් දශක ගනනාවක් පැවති යුද්ධය තුල කූටප්‍රාප්තික විය. උතුරෙන් හා නැගෙනහිරෙන් ශ්‍රී ලංකාවේ මිලිටරිය ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් සසප එක දිගට ම යුද්ධයට විරුද්ධ විය. යුද්ධය හුදෙක් එල්ටීටීඊයට එරෙහි ව පමනක් නො ව, එහි මූලික ඉලක්කය සමස්ත කම්කරු පන්තිය මර්දනය කිරීම බව එය පැහැදිලි කලේ ය. 

ඊනියා ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා විග්නේස්වරන් කරන ආයාචනය, දෙජාස, දෙමල ජාතික මහජන පෙරමුන (දෙජාමපෙ) සහ ඒ හා සමාන කුඩා සංවිධාන ඇතුලු දෙමල ධනේශ්වර පක්ෂවල ප්‍රතිගාමී දේශපාලනය හෙලිදරවු කරයි. ප්‍රධාන වසයෙන් වොෂින්ටනයේ භූ-දේශපාලනික න්‍යාය පත්‍රයට හා චීනයට එරෙහි එහි යුද සූදානම්වීම්වලට මෙම පක්ෂ සහයෝගය දෙති. කොවිඩ්-19 වසංගතය විසින් ඇති කර තිබෙන ව්‍යසනය මධ්‍යයේ, වොෂින්ටනය චීනයට එරෙහි ප්‍රකෝපකරනයන් තීව්‍ර කර ඇත. එයින් වාසිය ලබා ගැනීමට දෙමල පක්ෂ උත්සාහ දරමින් සිටිති.

මැයි 18දා දෙජාමපෙ නායක පොන්නම්බලම් කල කතාවේ දී, දෙමල ධනේශ්වර පක්ෂවල එක්සත් ජනපද-හිතවාදී ආස්ථානය යලි වතාවක් විවෘත ව ප්‍රකාශයට පත් විය. දකුනු ආසියානු කලාපය තුල එක්සත් ජනපදය නායකත්වය දෙන ගෝලීය මූලෝපායික තරඟයේ දී, දෙමල ජාතිකවාදීන් “ශ්‍රී ලංකාවේ ආන්ඩුව සහයෝගය දෙන කන්ඩායමට එරෙහි ව නැගී සිටිය යුතු” බව ඔහු ප්‍රකාශ කලේ ය.

“ශ්‍රී ලංකා දිවයින වටා තිබෙන ජාත්‍යන්තර දේශපාලනය දෙමල පක්ෂ අවබෝධ කරගත යුතු යි. ශ්‍රී ලංකා දිවයින මත ප්‍රධාන ජාතීන්ගේ තරඟය ද අධීක්ෂනය කරනු ලැබිය යුතු යි. මේ හරහා අප දෙමල ජාතික දේශපාලනයට ඇති අවස්ථා හා අවාසි මත අපේ අවධානය නාභිගත කල යුතු යි” යි ඔහු වැඩි දුරටත් කීවේ ය. “සුපිරි බලයන් සමග කේවල් කිරීමේ” බුද්ධිමත් පිලිවෙතක් සඳහා ඔහු කැඳවුම් කලේ ය.

ඉන්දියන් සාගරයේ මූලෝපායික ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා ඇත. වොෂින්ටනයට නිරන්තරයෙන් ආයාචනා කර ඇති පොන්නම්බලම්, කොලඹ රාජපක්ෂ තන්ත්‍රය චීනයේ පැත්ත ගන්නා බවත්, ඔවුන්ට ඇමරිකාව සමග කේවල් කල හැකි බවත් ඇඟවුම් කරයි. ඔහු කේවල් කරනු ඇත්තේ කුමක් සඳහා ද? චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම්වීම්වලට සහයෝගය දීමට හිලවුව ලෙස දෙමල දේපොල හිමි පක්ෂ වෙත වරප්‍රසාදමය අල්ලසකි.

බීජිනය දෙසට වඩා නැමී සිටි මහින්ද රාජපක්ෂ බලයෙන් ඉවත් කොට, එක්සත් ජනපද-හිතවාදී එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය සහිත ව මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ආ වොෂින්ටනයේ 2015 තන්ත්‍ර-මාරුව සමග, මෙම ප්‍රතිගාමී ආස්ථානය මත පදනම් වූ දෙජාස ඇතුලු දෙමල පක්ෂ පෙලගැසුනි. වොෂින්ටනයට වාසිදායක ලෙස ශ්‍රී ලංකාවේ විදෙස් පිලිවෙතෙහි මාරුවකට සහයෝගය දෙමින් ද යුද අපරාධ විමර්ශන මඩිමින් ද ජාමූඅ-විධානය කරන ලද කප්පාදු වැඩසටහන ක්‍රියාවට දැමීමේ දී ද ආන්ඩුවේ තථ්‍ය සහකරුවෙකු බවට දෙජාස පත්විය. 

දෙජාසයෙන් ඉදිරිපත් වී  2013 දී උතුරු පලාත් මහ ඇමති ධුරයට තේරී පත් වූ විග්නේස්වරන්, මෙම යාන්ත්‍රනයන්වල කොටස් කාරයෙක් විය. කම්කරුවන් හා දුගීන් අතර දෙජාස ගැඹුරින් ම අපකීර්තියට පත් වූ තතු තුල පසුව ඉන් ඈත් වූ ඔහු, මහජන කෝපය ප්‍රතිගාමී ජාතිකවාදී දේශපාලනයට කොටුකිරීම සඳහා දෙමල ජනතා සංසදය, දෙමල මහජන සන්ධානය (දෙමස) හා එලුහ තමිල් (දෙමලුනි නැගිටිවු) සංවිධානය කලේ ය.

පන්ති අරගලයේ ජාත්‍යන්තර පුනර්ජීවනයක් මධ්‍යයේ, කප්පාදුවට එරෙහි ව පැනනැගුනු කම්කරු පන්තික කැලඹීමක් විසින් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව දෙදරා යැවී ය. ධනවාදයට එරෙහි අරගලය තුල ඔවුන්ගේ වෛෂයික එකමුතුව ප්‍රදර්ශනය කරමින්, දෙමල, සිංහල හා මුස්ලිම් කම්කරුවෝ එකාවන් ව මෙම අරගලයන්ට සහභාගි වූ හ.

ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව බලයට පැමිනි තැන් පටන්, දෙජාස හා දෙමස එම ආන්ඩුවට එබිකම් කර ඇත. කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාව තුල පෙර නුවූ විරූ අර්බුදයක් නිර්මානය කල අතර, සර්ව-පාක්ෂික සමුලුවලට දෙවරක් සහභාගි වූ දෙජාස අගමැති මහින්ද රාජපක්ෂ සමග රහස් හමුවීම් පැවැත්වී ය. (බලන්න: කෝවිඩ්-19 මුල්කරගෙන දෙමල ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ රාජපක්ෂ තන්ත්‍රයට සහාය දෙයි). දෙමල හා සිංහල පාලක ප්‍රභූව පොදුවේ බිය වන්නේ, දිවයිනේ කම්කරු පන්තියෙහි ඒකාබද්ධ අරගල සඳහා වෛෂයික කොන්දේසි වර්ධනය වීම පිලිබඳ ව යි. 

දෙමල කතා කරන කම්කරුවන් හා තරුනයන්, දෙමල පක්ෂවල අධිරාජ්‍ය-ගැති ක්‍රියාමාර්ගයට විරුද්ධ විය යුතු ය. දෙමල මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම, ජාත්‍යන්තර සමාජවාදය සඳහා ජනවාර්ගික බෙදීම් කපාගෙන කම්කරුවන් කරන අරගල මත රඳා පවතී. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප පමනක් ම, මෙම ක්‍රියාමාර්ගයට සටන් කරයි.