ඉදිරිදර්ශන

නව කොවිඩ්-19 ප්‍රභේදයන් පැතිරීම වැලැක්වීම සඳහා පාසල් සහ ව්‍යාපාර වසා දමනු!

[පහත පල  ‍කෙරෙන්නේ 2021 ජනවාරි 30 වැනි දින Shut down schools and businesses to stop the spread of new COVID-19 strains! යන මැයෙන් පල කෙරුනු ඉදිරිදර්ශනයේ සිංහල පරිවර්තනයයි.]

මේ මාසයේ කොරෝනා වෛරසයෙන් දිනකට එක්සත් ජනපදයේ 3,000 කට අධික පිරිසක් මිය ගිය අතර, එය මිනිස් ජීවිත 93,000 කි. ජාත්‍යන්තරව ගත් කල, ජනවාරියේ දී මියගිය සංඛ්‍යාව 386,000 ක් වන අතර, සාමාන්‍ය දෛනික අනුපාතය 12,800 කි. එය තවත් නැඟෙනු ඇත.

ඉදිරි දින හා සතිවලදී මෙම මරන සංඛ්‍යාව තවත් වේගවත් වනු ඇත. ජොන්සන් සහ ජොන්සන් (Johnson & Johnson) සමාගම සිකුරාදා, කොරෝනා වෛරස් වසංගතය පාලනයෙන් තොරව පවතින බැවින් බොහෝ දෙනා බිය වී ඇති බව සනාථ කරන අධ්‍යයනයක් ප්‍රකාශයට පත් කරන ලදි. කොවිඩ්-19 රෝගයට හේතු වන SARS-CoV-2 වෛරසයේ විකෘති ප්‍රභේදයන්, රෝගය සඳහා යොදාගත හැකි එන්නත් වල කාර්යක්ෂමතාව අඩපන කිරීමේ විභවයෙන් යුතු බව සොයාගෙන ඇත.

කොවිඩ්-19 පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු පුද්ගලයෙකු ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හි එක්සත් අනුස්මරන වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගෙන යමින් [ස්තුතිය: ඒපී ඡායාරූපය / ඩේවිඩ් ජේ. ෆිලිප්]

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැඩි වන තරමට එය වෙනස් වන බවට විද්‍යාඥයින් මාස ගනනාවක් තිස්සේ අනතුරු අඟවා තිබේ. එය වෙනස් වන තරමට, එන්නත් වලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වන බැවින් වඩාත් භයානක වේ. දකුනු අප්‍රිකාවේ නව ප්‍රභේදය මෙම අනතුරු ඇඟවීම සනාථ කරයි: ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හි තනි වඩියක් සහිත එන්නතක, එක්සත් ජනපදය තුල ඵලදායීතාවය සියයට 72 ක් මුත්, දකුනු අප්‍රිකාව තුල මධ්‍යස්ථ හා දරුනු රෝග වැලැක්වීම සඳහා ඵලදායී වූයේ සියයට 57 ක් පමනි.

නොවාවැක්ස් විසින් බ්‍රහස්පතින්දා ඊට සමාන දත්තයන් ඉදිරිපත් කරන ලද අතර, එම සමාගමේ එන්නත එක්සත් රාජධානියේ සියයට 90 ක් ඵලදායී වන අතර දකුනු අප්‍රිකාව තුල ඵලදායී වන්නේ සියයට 49 ක් පමනි.

මෙම සොයාගැනීම් මගින්, වසංගතය පාලනය කිරීම සඳහා වඩාත් දුරදිග යන ක්‍රියාමාර්ගයන්හි හදිසි අවශ්‍යතාව පෙන්වා දෙනු ලැබේ. මහා පරිමාන එන්නත් කිරීමේ ව්‍යාපාර සමඟ පාසල් සහ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර සම්පූර්නයෙන් වසා දැමීම වැනි ඖෂධීය නොවන මැදිහත්වීම් ඒකාබද්ධ කල යුතුය.

නමුත් ලෝකය පුරා සිදුවෙමින් ඇත්තේ හරියටම ඊට විරුද්ධ දෙයයි. අඟහරුවාදා කැලිෆෝනියාවේ පුද්ගල භෝජනය සහ ව්‍යායාම් ශාලා නැවත ආරම්භ කිරීමට ඉඩ ලබා දුන්නේය. පෙබරවාරි මැද භාගය වන විට අවන්හල් නැවත විවෘත කිරීමට නිව්යෝර්ක් නගරය සැලසුම් කරයි. බ්‍රසීලයේ අවන්හල්, බාර්, ව්‍යායාම් ශාලා, රූපලාවන්‍යාගාර, සිනමාහල් සහ ප්‍රසංග ශාලා මාස ගනනාවක් තිස්සේ විවෘතව පවතී. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි සුපිරි වෙලඳසැල් සහ සාප්පු මධ්‍යස්ථානවල මුහුනු ආවරන තවදුරටත් අනිවාර්ය නොවේ.

එක්සත් ජනපදයේ නව බයිඩන් පරිපාලනය විසින් මෙහෙයවනු ලබන පාසල් නැවත විවෘත කිරීම සඳහා වන ඉල්ලුමෙහි පෙරමුනෙහිම ඇත්තේ, ව්‍යාපාර නැවත විවෘත කිරීම සහ කම්කරුවන් නැවත සේවයට බඳවා ගැනීමේ ප්‍රයත්නයයි.

ඩිමොක්‍රටික් නගරාධිපති ලෝරි ලයිට්ෆූට්ගේ අනුග්‍රහය යටතේ චිකාගෝ හි නැවත විවෘත කිරීමේ සැලසුම් වඩාත් දුරදිග ගොස් තිබේ. චිකාගෝ හි පාසල් පද්ධතියේ උගතුන්, රාජ්‍ය යාන්ත්‍රනයට, ආයතනික මාධ්‍යවලට හා වෘත්තීය සමිතිවලට එරෙහිව කෙලින්ම යොමු කරමින් නඟර පාලනය, පෙබරවාරි 1 වනදා සම්පූර්නයෙන්ම පාසල් විවෘත කිරීමට උත්සාහ කරයි. රට පුරා සහ ජාත්‍යන්තරව අනාරක්ෂිත ලෙස නැවත විවෘත කිරීමට එරෙහි සටනේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ, මුහුනට මුහුන ලා ඉගෙනීම (in-person learning) නැවත ආරම්භ කිරීමට විරුද්ධ වීම සඳහා ගුරුවරුන් සහ කාර්ය මන්ඩල ගෙන යන අරගලයයි.

චිකාගෝ හි තත්වය රට පුරා පුනර්කනය වේ. කොවිඩ්-19 රෝගී ගුරුවරුන් සිව් දෙනෙකු මිය යාමත් සමඟ, පරිපාලනය විසින් ප්‍රතිඥා දුන් පරිදි ඇලබාමාහි මොන්ට්ගොමරි පොදු පාසල් ලබන සතියේ ඔන්ලයින් ඉගෙනුම් සඳහා නොයන බව ප්‍රකාශ කර තිබේ. ටොරොන්ටෝ හි බෙවර්ලි පොදු පාසලේ කාර්ය මන්ඩලය, ජනවාරි 25 වන දින රැකියාවෙන් ඉවත් වූ අතර අනාරක්ෂිත තත්වයන් යටතේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කලහ.

වසර ආරම්භයේ සිට මරන 20,000 ක් සිදුව ඇති ජර්මනියේ, පෙබරවාරි 1 වන දින පාසල් නැවත විවෘත කිරීමට නියමිතය. මරන 100,000 ඉක්මවා ඇති බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් ආන්ඩුව, මාර්තු 8 පාසල් නැවත විවෘත කිරීමට සැලසුම් කරයි.

මෙම යලි විවෘත කිරීමේ ව්‍යාපාරයට මාධ්‍ය විසින් දැවැන්ත ප්‍රසිද්ධියක් ලබාදී ඇත. සෑම ප්‍රවෘත්ති මධ්‍යයක්ම, ඇමරිකානු වෛද්‍ය සංගම් ජර්නලයේ ප්‍රකාශයට පත් කරන ලද රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විද්‍යාඥයින් විසින් කරන ලද අධ්‍යයනයක්, ඩැහැගෙන ඇත. “ප්‍රජා සම්ප්‍රේෂනය වැඩි කිරීමට, පාසල් අර්ථවත් ලෙස දායක වී ඇති බවට සාක්ෂි නොමැති තරම්ය" එය පවසයි.

පලවූ සිරස්තලවලට උදාහරන ලෙස යූඑස්ඒ ටුඩේ (USAToday) වෙතින් “මුහුනට මුහුන ලා උගන්වන පාසල් ආරක්ෂිත විය හැකිය”, එන්පීආර් (NPR) මාධ්‍ය “පාසල් යලි විවෘත කිරීම සඳහා සීඩීසීය ඉඩ සලසයි”, වොෂිංටන් පෝස්ට් (WashingtonPost) “පාසල්වල කොරෝනා වෛරස් පැතිරීම යන්තම් බව සීඩීසී විසින් සොයාගෙන ඇත” සහ නිව් යෝර්ක් ටයිම්ස් (NewYorkTimes) පුවත්පතේ “පූර්වාරක්ෂාව ගනු ලැබුවහොත් පාසල් යලි විවෘත කල හැකි බවට සාක්ෂි පෙන්නුම් කරන බව සීඩීසී නිලධාරීන් පවසයි" පෙන්වා දිය හැක.

ට්‍රම්ප් පරිපාලනය යටතේ මෙන්, පාසල් යලි විවෘත කිරීම ආරක්ෂිත යැයි ප්‍රකාශ කිරීම ගල් පැලෙන බොරුය. ජමා (JAMA) සහ වෙනත් තැන්වල ප්‍රකාශයට පත් කරන ලද බොහෝ අධ්‍යයනවලින් පෙනී යන්නේ, පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල පාසැල් වසා දැමීමෙන් දස දහස් ගනනක් ජීවිත බේරා ගත හැකි වූ බවයි. දෙසැම්බරයේ සිට සයන්ස් (Science) හි සම-සමාලෝචනය කරන ලද පර්යේෂනයන් පෙන්වා දුන්නේ, රටවල් 41 ක් පුරා, පාසැල් හා විශ්ව විද්‍යාල වසා දැමීම ප්‍රජා ආසාදන සංඛ්‍යාව අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර වන අතර, පාසැල් වැසීම වසංගතය අවම කිරීම සඳහා ඉහලම බලපෑමක් ඇති කල හැකි බවයි.

මෙම දත්ත සමූහය, අඟහරුවාදා ධවල මන්දිර මාන්ඩලික ප්‍රධානී රොන් ක්ලයින්ට පරිපාලනයේ ස්ථාවරයෙන් තරමක් පසුබැසීමට බල කල අතර “සිසුන් ආරක්ෂාකාරීව තබා ගැනීම සඳහා ආයෝජන” බොහෝ පාසල්වලට නොමැති බවත්, එම නිසා නියමිත කාල සටහන අනුව නැවත විවෘත නොවනු ඇති බවත් සඳහන් කලේය. සීඩීසී අධ්‍යයනය පදනම් වී ඇත්තේ “විස්කොන්සින්හි වඩාත් ග්‍රාමීය ප්‍රදේශයක” දත්ත පදනම් කරගෙන බවත් “වැඩි ජනගහනයක් සිටින ප්‍රදේශ සඳහා… පාසල් නැවත විවෘත කිරීම ආරක්ෂිතව සිදු කිරීමට පියවර රාශියක් ගත යුතු බවත්” ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි බ්‍රහස්පතින්දා පිලිගත්තේය.

යථාර්ථය නම්, පවතින වසංගතය හමුවේ පාසල් නැවත විවෘත කිරීම ආරක්ෂිත නොවන බවයි. පාසල්වලින් සියයට 40 කටත් වඩා අඩු ප්‍රමානයක් මුහුනට මුහුන ලා ඉගෙනීම සිදු කර ඇතත්, මේ වන විටත් බාලාංශයේ සිට උසස් පෙල දක්වාම උගෙනීමේ කටයුතු කෙරෙන පාසල්වල රෝගීන් 511,000 ක් හා සිය ගනන් මරන වාර්තා වී තිබේ. පසුගිය සිසිර සෘතුවේ පාසල් සහ විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීමෙන් පසු රටේ සමහර ප්‍රදේශවල දෛනික රෝගීන් ගනන දස ගුනයකින් වැඩි විය.

එබඳු පැහැදිලි හා වර්තමාන අන්තරායන් තිබියදීත්, බයිඩන් නැවත විවෘත කිරීමේ ක්‍රියාවලිය තුල මුල් බැසගෙන සිටී. ඔහු අගුලු දැමීම සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර, ඉදිරියේදී සිදුවන සමූහ මරන නැවැත්වීම සඳහා “අපට කල හැකි කිසිවක් නැත” යනුවෙන් ප්‍රකාශ කරයි. ඔහුගේ වසංගත සැලැස්මේ 130 වතාවක් නැවත විවෘත කිරීම ගැන සඳහන් වන අතර, ඒ ජනවාරි 21 සිට ඔහුගේ විධායක නියෝගයට අනුකූලව “පාසල් සහ මුල් ලමාවිය අධ්‍යාපන සපයන්නන්ගේ නැවත විවෘත කිරීම හා අඛන්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීම පිලිබඳ විධායක නියෝගය” යන මාතෘකාව සහිත නියෝගය තුලය.

මෙය තවත් විශාල නැඟීමක් සඳහා එක්සත් ජනපදය සහ ලෝකය සූදානම් වීමේ තරමයි. බිඩෙන්ගේ කොවිඩ්-19 උපදේශක මන්ඩලයේ සාමාජික වෛද්‍ය මයිකල් ඔස්ටර්හෝම් බ්‍රහස්පතින්දා සීඑන්එන් වෙත පැවසුවේ, “ඉදිරි සති 6-14 වසංගතයේ අඳුරුම සති විය හැකි යැයි මම සිතමි.” නැවත විවෘත කිරීම අඛන්ඩව සිදුවන හෙයින්, දැනට පවතින සංඛ්‍යා වල ඇති ඕනෑම අඩුවීමක් මීට පෙර සිදු වූවාක් මෙන් වඩා විනාශකාරී ඉහල යාමක් මගින් යටපත් වනු ඇති බවට ඔහු අනතුරු අඟවා තිබේ.

මෙය සිදුවීමට ඉඩ දිය නොහැක! දකුනු අප්‍රිකානු ප්‍රභේදය විසින් මතු කරන අන්තරායන්, එන්නත් වලට ප්‍රතිරෝධය දක්වන වසංගතයේ නව ප්‍රභේද මාලාවක ආරම්භය පමනක් බවට සාක්ෂි තිබේ. එක්සත් රාජධානිය, බ්‍රසීලය, නයිජීරියාව සහ එක්සත් ජනපදය තුල ප්‍රථම වරට අනාවරනය කරගත් ඒවා ද ඇතුලුව වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් දැනටමත් තිබේ, ඒවායින් සමහරක් දැනටමත් රටවල් දුසිම් ගනනක් දක්වා ව්‍යාප්ත වී ඇත. මෙම ප්‍රභේදයන් පිලිබඳ මූලික පර්යේෂනයන් මගින් නව වෛරසයට එරෙහිව එන්නත්වල ඵලදායී බව සොයාගෙන ඇතත්, දත්ත පිලිබඳ මෙතෙක් අවසන් නිගමනයකට එලඹ නැත.

ඒ අතරම, නව ප්‍රභේදවල ප්‍රධාන ලක්ෂනය වන්නේ ඒවා සාමාන්‍යයෙන් වඩා බෝවන, එමඟින් වඩාත් පහසුවෙන් සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේදයන් යටකර දමන සහ රෝහල් පිරී ඉතිරී නොයන විට පවා මාරාන්තික වීමයි.

වෛරසයේ වඩාත් මාරාන්තික ප්‍රභේද දැනටමත් පවතින හෝ පෙනෙන මානයේ පවතින බැවින් වසංගතය පාලනය කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව වඩාත් හදිසි වේ. බලපෑමට ලක්වූවන්ට සම්පූර්න වන්දි සහිතව පාසල්, ව්‍යාපාර සහ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමිය යුතුය. තම ජීවනෝපායන් ද තමන්ගේ සහ තම ආදරනීයයන්ගේ ජීවිත පරිත්‍යාග කිරීම ද අතර තෝරා ගැනීමක් කිරීමට කම්කරුවන්ට බල නොකල යුතුය.

වෛරසය හඳුනා ගැනීම සඳහා මහා පරීක්ෂන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම හා රෝගීන් සොයා ගැනීම සඳහා වැදගත්, සම්බන්ධතා සොයා ගැනීම සමඟ අගුලු දැමීම් සහ එන්නත් කිරීම ඒකාබද්ධ කල යුතුය.

චිකාගෝ ගුරුවරුන් ඉදිරි මාවත පෙන්වයි. වසංගතය අවසන් කරන සමාජ බලවේගය වන්නේ, වෝල් වීදියේ ලාභය සඳහා වන උත්සුකයන්ට මුලුමනින්ම යටත් වන බයිඩන් පරිපාලනය නොව, ජීවිත බේරා ගැනීම සඳහා සටන් කරන කම්කරු පන්තියයි. සමාජයේ විප්ලවීය සමාජවාදී පරිවර්තනය සඳහා වූ පුලුල් අරගලයක කොටසක් ලෙස චිකාගෝහි සහ වෙනත් තැන්වල ගුරුවරුන්ගේ අරගලය සෑම රටකම සියලුම අධ්‍යාපනඥයින් වෙත හා කම්කරු පන්තියේ සියලුම කොටස් වෙත ව්‍යාප්ත කල යුතුය.

Loading