දෛනික මූලික වැටුප රුපියල් 1000 කරන ලෙස ඉල්ලා දෙලක්ෂයකට ආසන්න වතු කම්කරුවෝ වර්ජනය කරති

දෛනික මූලික වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලා දෙලක්ෂයකට ආසන්න වතු කම්කරුවෝ අද එක් දින වර්ජනයක නිරත වුහ. වතු කම්කරුවන් බහුතරයක් ජීවත් වන නුවර-එලිය දිස්ත්‍රික්කයේ කඩ සාප්පු වසා දැමීම, පාසල් ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම සහ කෙටි දුර බස් ධාවනය නතර කිරීම මගින් වර්ජනයට පුලුල් සහයෝගයක් පල කෙරුනි. වර්ජිත කම්කරුවෝ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර සහ ඇතැම් වතු වල පිකට් උද්ඝෝෂන වල ද යෙදී ගත්හ. වැටුප් ඉල්ලීමට අමතරව ඉඩම් සහ පහසුකම් සහිත නිවාස ඇතුළු සමාජ අයිතීන් පිලිබඳ සටන් පාඨ ද උද්ඝෝෂකයෝ හඬ නැගුහ.

හැටන් නගරයේ කඩ වසාදමමින් වතු කම්කරු වැටුප් අරගලයට සහාය දක්වයි

දික්ඔය නොර්වුඩ්හි එන්ෆීල්ඩ් වත්තේ කම්කරුවෝ වර්ජනයට පෙරාතුව පෙබරවාරි 3 වෙනිදා එම වත්තේ කම්හලෙන් පිටතට නිෂ්පාදිත ගෙනයාම අවහිර කලහ. එසේ කිරීමෙන් වන අලාභය සඳහා දිනකට රුපියල් 40,000 ක් වන්දි වශයෙන් කම්කරුවන් විසින් ගෙවිය යුතු බවට පාලකයන් ඔවුන්ට තර්ජනය කල නමුත් එය නොතකා තේ ප්‍රවාහන ලොරියට වත්තෙන් පිටවීමට කම්කරුවෝ ඉඩ නො දුන්හ.

වතු පාලකයන් සමග රහසිගත සාකච්ඡාවක යෙදුන වත්තේ සීඩබ්ලිව්සී සමිති ශාඛාවේ නායකයා තේ ප්‍රවාහන කල ලොරිය මුදාහරින ලෙස කම්කරුවන්ට කිවුවද ඔවුහු එය ප්‍රතික්ෂේප කලහ. කම්කරුවන්ගේ ක්‍රියාවට සහයෝගය දුන් කඳුරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) සමිති නායකයෙකුගේ වැඩ තහනම් කර ඇත. වතු පාලකයන්ගේ මෙම පියවර, වර්ජනයට සම්බන්ධ කම්කරු ක්‍රියාකාරීන් දඩයම් කරන බවට පෙර ඇඟවූමකි.

වර්ජනය කැඳවුම් කලේ සීඩබ්ලිව්සී ය විසිනි. යූපීඑෆ් හැර විපක්ෂයේ ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්ජේඒඩබ්ලිව්යූ) සහ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී) ඇතුලු සෙසු සමිති ඊට සම්බන්ධවීම මුල දී ප්‍රතික්ෂේප කර තිබු නමුත් කම්කරුවන්ගේ පුලුල් සහභාගිත්වය හමුවේ තමන් තව තවත් අපකීර්තියට පත්වීමේ භීතිය නිසා පසුව ඔවුන් වර්ජනයට සම්බන්ධ වී ඇත. සීඩබ්ලිව්සී ය ආන්ඩුවේ පාර්ශවකරුවෙක් වන අතර එහි නායක ජීවන් තොන්ඩමන් වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමතියා ය. පසුව සඳහන් කෙරුන සමිති විපක්ෂයේ දක්ෂිනාංශික සමගි ජන බලවේගය සමග සන්ධාන ගතව සිටිති.

සීඩබ්ලිව්සී ය වර්ජනය කැඳවුම් කලේ කම්කරුවන්ට රුපියල් දහසක මූලික වැටුපක් දිනා දීමේ අව්‍යාජ උවමනාවකින් නොවේ. ඒ වෙනුවට සාධාරන වැටුප් වැඩිවීමක් ලබා දීම සමාගම් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඔවුන් අතර පවතින සමාජ කෝපය විසුරුවා හැර වතු සමාගම්, ආන්ඩුව සහ වෘත්තීය සමිති අතර ඇතිකර ගනු ලබන සම්මුතියක් කම්කරුවන් මත පැටවීමේ අරමුන ඇතිවය.

කම්කරුවන්ගේ එකමුතුව නිසා සමාගම්, ආන්ඩුව සහ වෘත්තීය සමිති අතර "සඳුදා පැවැත්වෙන සාකච්ඡාවේ දී විසඳුමක් ලැබෙනු" ඇතැයි සීඩබ්ලිව්සී නායක ජීවන් තොන්ඩමන් මාධ්‍යයට පැවසීය.

සීබ්ලිව්සී වැටුප් ඉල්ලීම වන්නේ මූලික දෛනික වැටුප රුපියල් 725 ක් සහ දීමනා රුපියල් 275 ක් සහිත රුපියල් දහසක දෛනික වැටුපකි. සමාගම් විසින් ද ඒ හා සමාන යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එනම් දීමනා සහිතව රුපියල් දහසක් සහ අර්ථසාධක අරමුදල් රුපියල් 108 ක් සමග රුපියල් 1108 කි. ඒ සඳහා කම්කරුවන් දින තුනක් දෛනික ක්‍රමයට සහ ඉතිරි දින තුන දලු කිලෝ ගනනට ගෙවන කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ කල යුතුය.

එහෙත් දෛනික තේ දලු ඉලක්කය කිලෝ දෙකකින් වැඩි කිරීම සහ දැනට වසර දෙකකට වලංගු වැටුප් සාමූහික ගිවිසුම වසර හතරක් දක්වා දීර්ඝ කිරීමේ කොන්දේසිවලට සමිති එකඟ විය යුතුය. ඒ සඳහා කම්කරුවන්ගෙන් බලගතු විරුද්ධත්වයක් එල්ල වන බව දන්නා හෙයින් වෘත්තීය සමිති මෙතෙක් එම කොන්දේසිවලට එකඟ වී නැත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) බදාදා නිකුත් කල ප්‍රකාශයක වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මෙසේ අනතුරු ඇඟවීය. "එක් දින වර්ජනය කැඳවා ඇත්තේ රුපියල් දහසක මූලික වැටුපක් දිනා ගැනීමට නොවේ. ඉහත දැක්වූ කොන්දේසිවලට එරෙහිවීමේ නමින් කම්කරුවන් සීමිත විරෝධතාවකට කැඳවා ඔවුන් අතර පවතින කැකෑරෙන සමාජ කෝපය විසුරුවා හැර ආන්ඩුව හා සමාගම් සමග ඇතිකර ගන්නා සම්මුතියක් පැටවීමටය".

ඈන්ෆීල්ඩ් වත්තේ කම්කරුවෝ සසප සාමාජික දේවරාජා සමග රුපියල් දහසක දෛනික වැටුපක් සඳහා අරගලය සංවිධානය කිරීමේ සාකච්ඡාවට සවන් දෙයි

එවන් සම්මුතියක් ප්‍රතික්ෂේප කරමින් “ජීවන වියදමට සරිලන වැටුපක් හා අනෙකුත් සමාජ අයිතීන් දිනා ගැනීම සඳහා, වෘත්තීය සමිතිවල භේදකාරිත්වයන් කපාගෙන සියලු වතු කම්කරුවන් සහභාගී වන මහා වර්ජනයක්, අවශේෂ කම්කරුවන්ගේ ද සහයෝගය මත සංවිධානය කල යුතුය. දෛනික වැටුපක් වෙනුවට, ජීවන වියදමට සරිලන, අවම වශයෙන් රුපියල් 50,000 ක් වන, ස්ථීර හා පූර්න වීශ්‍රාමික හිමිකම් සහිත මාසික වැටුපක් සඳහා" සටන් කරන ලෙස ද, වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් එම අරගලය සංවිධානය කිරීමට පියවර ගන්නා ලෙස ද ප්‍රකාශය වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ප්‍රකාශයේ මුද්‍රිත පිටපත් එන්ෆීල්ඩ් වත්තේ කම්කරුවන් අතර බෙදා හල සසප සාමාජිකයෝ තම අයිතීන් දිනා ගැනීම සඳහා සටන් කලයුතු ක්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය පිලිබඳව ඔවුන් සමග දීර්ඝව සාකච්ඡා කලහ.

වෘත්තීය සමිති විසින් රුපියල් දහසේ ඉල්ලීම ඉදිරිපත් කලේ 2015 වසරේ දීය. ජීවන වියදමේ සීඝ්‍ර ඉහල යාම සහ මූර්ත වැටුප් පහල වැටීම යටතේ රුපියල් දහසක් අද කිසිසේත් ප්‍රමානවත් නොවේ.

වතු පාලකයන් රුපියල් දහසක වැටුපක් දෙන බවක් විශ්වාස කල නොහැකි බව සසප සාමාජිකයන් සමග කතා කල එන්ෆීල්ඩ් වත්තේ කම්කරුවන් පැවසීය.

"ඒ ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. එහෙම දෙන්න නම් දලු කිලෝ දෙකක් වැඩියෙන් කඩන්න කියනවා. දැන් කිලෝ 16ක් කඩන්නේත් අමාරුවෙන්. ඒ ගනන කැඩුවේ නැත්නම් පඩියෙන් භාගයයි ලැබෙන්නේ. කිලෝ ගනනට ගෙවන ක්‍රමයට කැඩුවත් දවසකට කිලෝ 8-10 ට වඩා කඩන්න බැහැ. එතකොට දවසකට ලැබෙන්නේ රුපියල් 400-500 වගේ මුදලක්. ඒ වගේ මුදලකින් අද කොහොම ද ජීවත් වෙන්නේ. ආන්ඩුව කරන්නෙත් බොරුවක්. සමාගම්වලට සහන දීම මිසක් කිසිම ආන්ඩුවක් අපේ පඩි වැඩි කරලත් නැහැ, අපිට සහන සලසලත් නැහැ. අබලන් වෙන ගෙවල් අලුත්වැඩියා කර ගන්නත් ඕන අපිමයි. වත්තෙන්, ආන්ඩුවෙන් හරි යූනියන් වලින් අපිට ඒවා කරලා දෙන්නේ නැහැ" යැයි කම්කරුවෙක් පැවසීය.

වෘත්තීය සමිති වලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් කම්කරුවන් විසින් තම අයිතීන් සඳහා අරගලය සංවිධානය කල යුතු බව පැහැදිලි කරමින් සසප සාමාජිකයන් ඉදිරිපත් කල වැඩ පිලිවෙලට සාවධානයෙන් සවන්දුන් ඔවුහු වැඩිදුර සාකච්ඡා කිරීමට එකඟවූහ.

Loading