වතු කම්කරුවෝ ලක්ෂ ගනනක් වැඩි වැටුප් ඉල්ලා වැඩ වරති

දෛනික මූලික වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලා දෙලක්ෂයකට ආසන්න වතු කම්කරුවෝ පෙබරවාරි 5දා එක් දින වර්ජනයක නිරත වූ හ. ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගෙන් බහුතරයක් ජීවත් වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ කුඩා වෙලෙන්දෝ සිය කඩ සාප්පු වසා දමා වර්ජනයට සහාය පල කල හ. කෙටි දුර බස් ධාවනය නතර කල අතර, පාසල් ගුරුවරු ලෙඩ නිවාඩු දැමීම හා සේවයට වාර්තා නො කිරීම මගින් වර්ජනයට සහයෝගය පල කල හ.

වර්ජිත කම්කරුවෝ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර සහ ඇතැම් වතු වල පිකට් උද්ඝෝෂන වල ද යෙදී ගත්හ. වැටුප් ඉල්ලීමට අමතර ව, කම්කරුවෝ පහසුකම් සහිත නිවාස වැඩි දියුනු කිරීම හා අනෙකුත් සමාජ අයිතීන් පිලිබඳ සටන් පාඨ ද හඬ නැගූ හ.

වතු කම්කරුවන් වැඩ නැවැත්වීම -සහ එයට ලැබෙන මහජන සහයෝගය- ජීවන කොන්දේසි මත තීව්‍ර කරනු ලබන ප්‍රහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල දැමීම් මෙන් ම කොවිඩ්-19 වසංගතය පිලිබඳ උත්සුකයන් ආදිය කෙරෙහි කම්කරු පන්තිය තුල වැඩෙන විරෝධය පෙන්නුම් කරයි. ජාත්‍යන්තර ව වැඩෙන කම්කරුවන්ගේ කාර්මික ක්‍රියා සහ අරගල සමගින් වතු කම්කරුවන්ගේ වැඩ වර්ජනය සමපාත වේ.

වතු කම්කරුවන්ගේ වැටුප් උද්ඝෝෂනයට සහාය පලකරමින් හැටන් නගරයේ කඩ සාප්පු වසා දැමේ

දික්ඔය නොර්වුඩ්හි ඈන්ෆීල්ඩ් වත්තේ කම්කරුවෝ, වතු කම්කරුවන්ගේ ජාතික ක්‍රියාවට දින දෙකකට පෙරාතුව, පෙබරවාරි 3 වෙනිදා වැඩ වරමින් එම වත්තේ කම්හලෙන් පිටතට නිෂ්පාදිත ගෙනයාම අවහිර කල හ. එසේ කිරීමෙන් වන අලාභය සඳහා දිනකට රුපියල් 40,000 ක් වන්දි වශයෙන් කම්කරුවන් විසින් ගෙවිය යුතු බවට පාලකයන් ඔවුන්ට තර්ජනය කල නමුත් එය නොතකා තේ ප්‍රවාහන ලොරියට වත්තෙන් පිටවීමට කම්කරුවෝ ඉඩ නො දුන්හ.

වතු පාලකයන් සමග රහසිගත සාකච්ඡාවක යෙදුන වත්තේ සීඩබ්ලිව්සී සමිති ශාඛාවේ නායකයා තේ ප්‍රවාහන කල ලොරිය මුදාහරින ලෙස කම්කරුවන්ට කිවුව ද ඔවුහු එය ප්‍රතික්ෂේප කලහ. කම්කරුවන්ගේ ක්‍රියාවට සහයෝගය දුන් කඳුරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) සමිති නායකයෙකුට දඬුවම් කොට ඔහුගේ වැඩ තහනම් කර ඇත.

පෙබරවාරි 5 වර්ජනය සීඩබ්ලිව්සී ය විසින් කැඳවුම් කල අතර, යූපීඑෆ් සාමාජිකයන් ද එයට සම්බන්ධ විය. ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්ජේඊඩබ්ලිව්යූ) සහ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී) ඇතුලු සෙසු සමිති ඊට සම්බන්ධවීම මුල දී ප්‍රතික්ෂේප කර තිබු නමුත් කම්කරුවන්ගේ පුලුල් සහභාගිත්වය හමුවේ තමන් තව තවත් අපකීර්තියට පත්වීමේ භීතිය නිසා පසුව ඔවුන් වර්ජනයට සම්බන්ධ වී ඇත.

සීඩබ්ලිව්සී ය ආන්ඩුවේ පාර්ශවකරුවෙක් වන අතර එහි නායක ජීවන් තොන්ඩමන් වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමතිවරයා ය. පසුව සඳහන් කෙරුන සමිති විපක්ෂයේ දක්ෂිනාංශික සමගි ජන බලවේගය සමග සන්ධාන ගතව සිටිති.

සීඩබ්ලිව්සීය වර්ජනය කැඳවුම් කලේ, එහි සාමාජිකයන්ගේ අයිතීන්ට එය සහයෝගය දෙන නිසා නො ව, රුපියල් 1,000ක දෛනික වැටුපක් ඉල්ලා දීර්ඝ කාලයක් තිස්සේ වතු කම්කරුවන් ගෙන යන ඉල්ලීම, වතු සමාගම් විසින් එක දිගට ම ප්‍රතික්ෂේප කිරීම අරබයා කම්කරුවන් අතර පවතින කෝපය වාෂ්ප කිරීමේ අරමුනෙනි.

තේ දලු නෙලන ඇබොට්ස්ලී වත්තේ කම්කරු කාන්තාවක්

කම්කරුවන්ගේ එකමුතුව නිසා සමාගම්, ආන්ඩුව සහ වෘත්තීය සමිති අතර "(පසුගිය) සඳුදා පැවැත්වුනු සාකච්ඡාවෙන් විසඳුමක් ලැබෙනු" ඇතැයි සීඩබ්ලිව්සී නායක ජීවන් තොන්ඩමන් මාධ්‍යයට පැවසී ය.

සීබ්ලිව්සී වැටුප් ඉල්ලීම වන්නේ මූලික දෛනික වැටුප රුපියල් 725 ක් සහ දීමනා රුපියල් 275 ක් සහිත රුපියල් දහසක දෛනික වැටුපකි.

වතු සමාගම් විසින් ද අනෙකුත් දීමනා ඇතුලු ව රුපියල් 1,000ක දෛනික වැටුපක යෝජනාවක් ඉදිරිපත් කර ඇති නමුත්, ඒ සඳහා කම්කරුවන් දින තුනක් දෛනික ක්‍රමයට සහ ඉතිරි දින තුන දලු කිලෝ ගනනට ගෙවන කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ කල යුතු ය.

වතු හාම්පුතුන්ට, කම්කරුවන් දෛනික වැටුප් පදනමින් වැඩ කරන දිනවල දී දෛනික තේ දලු ඉලක්කය කිලෝ දෙකකින් වැඩි කිරීම සහ දැනට වසර දෙකකට වලංගු වැටුප් සාමූහික ගිවිසුම වසර හතරක් දක්වා දීර්ඝ කිරීමේ කොන්දේසිවලට සමිති එකඟ විය යුතුය.

වෘත්තීය සමිති වතු සමාගම්වල නියෝග කම්කරුවන් මත පැටවීමට උත්සාහ දරන බවට අනතුරු ඇඟවූ ප්‍රකාශයක් සිංහලෙන් හා දෙමලෙන් බෙදාහරිමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩ වර්ජනයට මැදිහත් විය.

සමිතිවල පියවරයන් ප්‍රතික්ෂේප කරන ලෙස කම්කරුවන්ට කැඳවුම් කල සසප ප්‍රකාශය මෙසේ සඳහන් කලේ ය: “ජීවන වියදමට සරිලන වැටුපක් හා අනෙකුත් සමාජ අයිතීන් දිනා ගැනීම සඳහා, වෘත්තීය සමිතිවල භේදකාරිත්වයන් කපාගෙන සියලු වතු කම්කරුවන් සහභාගී වන මහා වර්ජනයක්, අවශේෂ කම්කරුවන්ගේ ද සහයෝගය මත සංවිධානය කල යුතුය. දෛනික වැටුපක් වෙනුවට වතු කම්කරුවන් සටන් කල යුත්තේ, ජීවන වියදමට සරිලන, අවම වශයෙන් රුපියල් 50,000 ක් වන, ස්ථීර හා පූර්න වීශ්‍රාමික හිමිකම් සහිත මාසික වැටුපක් සඳහාය.”

වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් එම අරගලය සංවිධානය කිරීමට පියවර ගන්නා ලෙස ද ප්‍රකාශය වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. ප්‍රකාශයේ මුද්‍රිත පිටපත් ඈන්ෆීල්ඩ් වත්තේ කම්කරුවන් අතර බෙදා හල සසප සාමාජිකයෝ, ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා සටන් කලයුතු ක්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය පිලිබඳව ඔවුන් සමග දීර්ඝ ව සාකච්ඡා කල හ.

වර්ජනය මැද සසප සාමාජික දේවරාජාට සවන් දෙමින් සිටින ඈන්ෆීල්ඩ් වත්තේ කම්කරුවන්

2015 වසරේ දී වෘත්තීය සමිති රුපියල් දහසේ ඉල්ලීම ඉදිරිපත් කල නමුත්, ජීවන වියදමේ සීඝ්‍ර ඉහල යාම සහ මූර්ත වැටුප් දැවැන්ත ව පහල වැටීම හේතුවෙන් රුපියල් දහසක් අද කිසිසේත් ප්‍රමානවත් නො වේ. තම ඉල්ලීම දිනා ගැනීමට වතු කම්කරුවන් දරා ඇති සෑම උත්සාහයක් ම වෘත්තීය සමිති විසින් පාවා දී ඇත. 2018 දෙසැම්බරයේ දී, කම්කරුවන් 200,000ක් පමන දින 11ක් වැඩ වැරූ හ. සීඩබ්ලිව්සීය මෙය පාවා දුන්නේ, ආන්ඩුවේ ද ආශීර්වාදය සහිත ව වතු සමාගම් විසින් යෝජනා කල රුපියල් 700ක දෛනික වැටුපක් කම්කරුවන් මත පටවමිනි.

වතු පාලකයන් රුපියල් 1,000ක වැටුපක් දෙන බවක් විශ්වාස කල නො හැකි බව සසප සාමාජිකයන් සමග කතා කල ඈන්ෆීල්ඩ් වත්තේ කම්කරුවන් පැවසී ය.

"ඒ ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. එහෙම දෙන්න නම් දලු කිලෝ දෙකක් වැඩියෙන් කඩන්න කියනවා. දැන් කිලෝ 16ක් කඩන්නේත් අමාරුවෙන්. ඒ ගනන කැඩුවේ නැත්නම් පඩියෙන් භාගයයි ලැබෙන්නේ. කිලෝ ගනනට ගෙවන ක්‍රමයට කැඩුවත් දවසකට කිලෝ 8-10 ට වඩා කඩන්න බැහැ” යි කම්කරුවෙක් පැවසී ය.

තවත් කම්කරුවෙක් මෙසේ සඳහන් කලේ ය: “එවැනි සොච්චම් පඩියකින් අපි දවස ගැට ගහගන්නේ කොහොම ද? ආන්ඩුව හදන්නේ අප ව රවට්ටන්න. ඒක අපිට කිසිම පඩි වැඩිකිරීමක් කරල නැහැ වගේ ම කිසිම සහනාධාරයක් දීල නැහැ. ඒ වෙනුවට ආන්ඩුව කරන්නේ සියලු සහනාධාර සමාගම්වලට දෙන එක යි. ගරා වැටිච්ච අපේ වතු ගෙවල් අලුත්වැඩියා කරගන්න ඕනත් අපි ම යි. වත්ත, ආන්ඩුව, වෘත්තීය සමිති මේ නඩත්තු වැඩකටයුතුවලට කිසිම දෙයක් කරන්නේ නැහැ.”

වෘත්තීය සමිති ඉටු කරන ද්‍රෝහී ක්‍රියා කලාපය හා ඒවායින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව ගැන සෙල්ලම්මා සසප සාමාජිකයන් සමග සාකච්ඡා කලා ය.

“රුපියල් 1,000ක මූලික පඩියක් ඉල්ලල අපි පෙබරවාරි 3 වෙනිද ස්ට්‍රයික් කලා. අනෙකුත් වතු පෙබරවාරි 5 වෙනිද ඒකට සම්බන්ධ වුනා. මම සීඩබ්ලිව්සී සාමාජිකාවක්. ඒත් මට ඒ සමිතිය ගැන කිසිම විශ්වාසයක් නැහැ.

“කලින් අපේ ඉල්ලීම්වලට සටන් කරන්න අපේ වත්තේ කොටස් හතක් තිබුන. ඒත් මේ වෙනකොට අනෙකුත් කොටස්වල ආදායම් බෙදාගැනීමේ ක්‍රමය ක්‍රියාවට දාල හින්ද ඒ ශක්තිය අඩුවෙලා.”

මෙම ආදායම් බෙදාගැනීමේ ක්‍රමය යටතේ සෑම කම්කරුවෙකුට ම නිශ්චිත තේ පඳුරු ප්‍රමානයක් ලබා දෙන අතර, එය නඩත්තු කිරීම සඳහා පවුලට ම වැඩ කිරීමට බල කෙරේ. අස්වැන්න සමාගමට විකුනනු ලබන අතර, පොහොර හා අනෙකුත් අයිතමයන්වල පිරිවැය කපා ගැනීමෙන් පසුව ඉතිරි වන මුදල කම්කරුවාට ආදායම ලෙස ගෙවනු ලැබේ.

“අපි වැඩ කරන්නෙ දුෂ්කර කොන්දේසි යටතෙ. ඒත් මේ තත්ත්වය වෙනස් කරන්න කිසිම වෘත්තීය සමිතියක් වැඩ කරන්නෙ නැහැ. රුපියල් 700 සම්පූර්න පඩිය ගන්න අපි දවසකට දලු කිලෝ 18ක් කඩන්න ඕන. අපේ ඉල්ලීම් දිනාගන්න සියලු කම්කරුවො එකතු වෙන්න ඕන කියන එකත්, වෘත්තීය සමිති වැඩ කරන්නෙ අපි ව බෙදන්න කියන එකත් එක්ක මම එකඟයි” යි සෙල්ලම්මා වැඩි දුරටත් කීවා ය.

Loading