වසංගතය වේගයෙන් පැතිරීම ආන්ඩුවේ සාපරාධී සෞඛ්‍ය සේවා කප්පාදු පිලිවෙත යලි හෙලිදරව් කරයි

අඩු රේට්ටු නිකුත් කෙරෙන නිල සංඛ්‍යා ලේඛන අනුව පවා පසුගිය සතිවල ලංකාවේ කෝවිඩ් -19 වෛරසයෙන් අසාදිත සංඛ්‍යාව හා මරන වේගයෙන් ඉහලයාම  මධ්‍යයේ යලිත් පෙන්නුම් කෙරී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව සෞඛ්‍ය සේවයේ කිසිදු තීරනාත්මක වර්ධනයක් සිදුකර නොකර මහජන ජීවිත නොතකා ගෙනයන සාපරාධී වැඩපිලිවෙලයි.  

ආන්ඩුවේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව ඊයේ වනවිට කොරෝනා වෛරසයෙන් සිදුවූ සමස්ත මරන සංඛ්‍යාව 370 දක්වා ඉහල නැග ඇති අතර සමස්ත ආසාදිතයන් ගනන 71, 211කි. අඩු පීසීආර් පරීක්ෂන නිසා සැබෑ තත්වය වහංගු වී ඇතත් ආන්ඩුවත්  ඊට පන්දම් අල්ලන මාධ්‍යයත් ලංකාව වෛරසය පාලනය කිරීමේ දසවන තැන හිමිකරගෙන ඇතැයි  පම්පෝරි ගසයි. 

ආන්ඩුවට ගැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පෙබරවාරි 9 වැනි දා මාධ්‍ය හමුවක දී සඳහන් කලේ දැන් සමාජය තුල අසාමාන්‍ය ලෙස ඉහල සංඛ්‍යාවලින් රෝගීන් වාර්තා වන බවත් බස්නාහිරින් පිට පලාත්වල පවා වසංගත අවදානම ඉහල ගොස් ඇති බවත් ය. 

ජනවාරි මාසයට පෙර පරීක්ෂනවලට හසුවූ වෛරසය ආසාදිත රේට්ටුව සියයට 3ක් වූ නමුත් ජනවාරි මාසයේ එය සියයට 6 දක්වා නැගී පසුගිය දින කිහිපය තුල සියයට 7 ඉක්මවා ඇතැයි ඔහු කීවේය. "දැන් සෑම  පීසීආර් පරීක්‍ෂන 100කට 7-8 ආසාදිත සංඛ්‍යාවක් හමුවෙනවා" යයි ඔහු සඳහන් කලේය. ජනවාරි මාසයේ ම වාර්තා වූයේ මරන 112ක් නමුත් පෙබරවාරි මුල් සතියේ මරන 50ක් පමන වාර්තා වී ඇත. 

රෝග ව්‍යාප්තියේ වැඩි වීමට එක් හේතුවක් වශයෙන් පීසීආර් පරීක්ෂනවල ප්‍රතිඵල දවස් ගනනාවක් ප්‍රමාද වීම යැයි අලුත්ගේ කිවේය. වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමයේ නායකයා වන රවී කුමුදේශ් පෙබරවාරි 10 වැනි දා ප්‍රකාශ කලේ දැනටමත් වෛද්‍ය පර්යේෂනායතනයේ පමනක් 6000කට ආසන්න පීසීආර් නියැදි ප්‍රතිඵල නිකුත් නොවී හිර වී ඇති බවයි.

මෙම අන්තරායකාරී තත්වය ආන්ඩුව ආර්ථිකය විවෘත කොට "නව සාමාන්‍යය" යටතේ ජීවත්විය යුතුයයි මහජනතාවට අවධාරනය කරමින් ගෙනයන ප්‍රතිපත්තිවල ඍජු ප්‍රතිඵලයකි. ඉහත සීමිත ප්‍රකාශ දෙන සමිති ආන්ඩුවේ මෙම ප්‍රතිපත්ති වලට මුලුමනින්ම  පක්ෂ ය.  

පරීක්ෂන සිදු කර ගැනීමට පීසීආර් යන්ත්‍ර නොමැති කමින් බදුල්ල මහ රෝහලේ ජෛව සාම්පල 800ක් ගොඩ ගැසී ඇති බව පෙබරවාරි 9 ලංකාදීප පුවත්පත වාර්තා කලේ ය. එක් යන්ත්‍රයකින් සිදු කෙරෙන පරීක්ෂන ප්‍රතිඵල ලබාදීමට දින තුනක ප්‍රමාදයක් වන බව සඳහන් කල බදුල්ල මහා රෝහලේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ශාන්ත ගමගෙදර අඩුම තරමින් කටුනායක ගුවන් තොටුපලේ පාවිච්චියට නොගන්නා පරීක්ෂන යන්ත්‍රයක් හෝ ලබාදෙන ලෙස ඉල්ලා ඇත. 

මෙම රෝග අවදානමට ලක් වූවන් බොහොමයක් අනාරක්ෂිත කොන්දේසි යටතේ දිගින් දිගට ම කර්මාන්ත ශාලා සහ වැඩපලවල සේවයට යෙද වූ කම්කරුවන් ය. බදුල්ල රෝහලේ ගොඩ ගැසී ඇති සාම්පල අතර රිදීමාලියද්ද ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක අසාදිතයන් ලෙස සැලකෙන කම්කරුවන්ගේ සාම්පලද පවතින බව සඳහන් ය. 

මෙම ප්‍රවෘත්ති වලින් හෙලිවන්නේ  රුදුරු වසංගතය මධ්‍යයේ අවම වසයෙන් අත්‍යවශ්‍ය උපකරනවත් රෝහල්වලට සපයා නැතිබවයි. 

ආන්ඩුව, නොවැම්බර් 23 දා  ඉහල ම කොරෝනා අසාදිතයන් වාර්තාවන බස්නාහිර පලාතේ පාසල්  හැර දිවයිනේ සියලු පාසල් විවෘත කලේය. මුලු රටේම අසාදිත සංඛ්‍යාව ඉහල යන අතර බස්නාහිර පලාතේ තත්වය තවත් නරක අතට හැරෙද්දී කල යුතුව තිබුනේ සියලු පාසල් වසා දැමීමයි. 

එහෙත්, අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් බදාදා ප්‍රකාශ කලේ පාසැල්  කිහිපයක් හැර එම පලාතේ ද මාර්තු මාසයේ 15 වැනි දින සිට පාසල් යලි විවෘත කරන බවයි. මාර්තු පලමු වැනි දා සිට එකලොස් වැනි දා දක්වා සාමාන්‍ය පෙල විභාගය පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ඉන් අනතුරු ව මාර්තු 15 වැනි දා සිට දිවයිනේ සියලු ම පාසල් යලි විවෘත කරන බවත් ඔහු ප්‍රකාශ කර ඇත. 

රාජපක්ෂ පාලනය මෙම නිවේදන නිකුත් කරන්නේ සිසුන්, ගුරුවරුන් සහ දෙමව්පියන් වඩවඩා නරක අතට හැරෙන කොන්දේසි ගැන කනස්සලු වෙමින්  පාසැල් විවෘත කිරීමට විරුද්ධත්වය ප්‍රදර්ශනය කරද්දීය. ජනවාරි 11 දා අලුත් වසරේ වාරය පටන ගන්නා විට සිසුන් පැමිනියේ සියයට 55ක් පමනක්  බව බලධාරීන් නිවේදනය කර තිබුනි. ඉන්පසු සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිනීම වැඩිවී ඇත්තේ බලධාරීනේගේ බලකිරීම් හා මාධ්‍යවල ප්‍රචාරය මධ්‍යයේය. ගුරු සමිති නිහඬව ආන්ඩුවට අනුමැතිය දුන්හ.   

දහස් ගනන් සේවය කරන ඇඟලුම් කම්හල් වසංගතයට කම්කරුවන් ගොදුරු කරන කේන්ද්‍රස්ථාන වී ඇත. දිනපතා මාධ්‍ය හා ආන්ඩුවේ බලධාරීන් ඒ පිලිබඳ වාර්තා පල කරන්නේ සාමාන්‍ය සිද්ධීන් ලෙසය.  කිලිනොච්චි වානවිල් මාස් ඇඟලුම් කර්මාන්තශාලාවේ වසංගතය පැතිර යමින් පවතින අතර සමාගම එය වසා දැමීමට තවමත් සුදානම් නැතැයි කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප්‍රකාශ කලහ.

වේගයෙන් කම්හල්වල වසංගතය පැතිර යතත් කම්හල් හිමියන්ගේ උත්සුකය කම්කරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් නොව, තම අපනයන ඉලක්ක සපුරා ගත නොහැකි වීම සම්බන්ධයෙනි. 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ඇඟලුම් කම්හල් හිමියන්ගේ එකමුතුව වන ජොයින්ට් ඇපරල් ඇසෝසියේෂන් ෆෝරම් සභාපති ඔන්ලයින් සම්මන්ත්‍රනයකදී මෙසේ කී බව එකොනොමිනෙක්ස්ට් වාර්තා කලේය: “ඇඟලුම් වලට ගෝලීය ඉල්ලුමක් පැවතුනත් නියමිත දිනට වැඩ නිම කර ගැනීමේ අපහසුවකට කර්මාන්තය මුහුන දී තිබෙනවා. මින් පමාවකින් තොර ව සපයන අපේ තරඟකරුවන් කරා අපේ ප්‍රධාන ගනුදෙනුකරුවන් ඇදී යනවා. … ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් ඇඟලුම් ක්ෂේත්‍රය සියයට 47ක් නියෝජනය කරනවා. අපනයන ක්ෂේත්‍රයේ කම්කරුවන් 350,000ක් දෙනා එන්නත් කරවීම ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සම්බන්ධයෙන් තීරනාත්මකයි”.  

 ධනපති ලාභය රැකීම මුල් කර ගත් රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිපත්ති මරන සංඛ්‍යාව සහ ආසාදිතයන් ගනන ඉහල යාමට වගකිව යුතු මෙන් ම එය ඉදිරියට එමින් පවතින බරපතල ව්‍යසනයකට ද කොන්දේසි සකස් කරයි. රාජපක්ෂ හා පාලක පන්තිය ගෙනයන්නේ බලගතු රටවල පටන් ලෝකයේ සෑම රටකම පාලන තන්ත්‍රයන් හා ධනපති පන්තීන් ගෙනයන "සමාජ ඝාතක" වැඩපිලිවෙලයි. 

බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල් පෙබරවාරි 4 දා පලකල කතුවැකියක පාලක පන්තීන් ගේ වසංගත පිලිවෙත  "සමාජ ඝාතක" පිලිවෙතක් බව පැහැදිලි කල ආකාරය ලෝක සමාජවාදී වෙබ්  අඩවිය සිය අඟහරුවාදා ඉදිරි දර්ශනයෙන් විශ්ලේශනය කලේය. [  British Medical Journal calls pandemic response “social murder”]. එම ජර්නලයේ මෙසේ සඳහන් විය:

"මහජනතාවන් ප්‍රතිශක්තිකරනය වෙනුවට, එසේ නැතහොත් ආර්ථිකයට රුකුල්දීමේ බලාපොරොත්තුවෙන් දස දහස් සංඛ්‍යාත මහජනයාගේ අකල් මරනයට  ඉඩදීමට කැමැත්තේ යයි දේශපාලනඥයින් හා විශේෂඥයින් ප්‍රකාශ කරන විට එය ජීවිත පිලිබඳව  සාහසික නොතැකිමක් නොවන්නේද? ප්‍රතිපත්ති අසාර්ථකත්වයන් යලියලිත් වැරදි ලෙස අගුලුදැමීමට තුඩුදීම නිසා එහි ප්‍රතිඵල ලෙස ඇතිවන කෝවිඩ් සම්බන්ධ නැති මරනයන්ට  වගකිව යුත්තේ කවුද? විද්‍යාත්මක උපදෙස්, ජාත්‍යන්තර හා ඓතිහාසික අත්දැකීම් සහ ඔවුන්ගේ ම තැතිගන්වන සුලු සංඛ්‍යාලේඛන හා ගනනය කිරීම් මත ක්‍රියාකිරීම ස්වකීය දේශපාලන මූලෝපායට එරෙහිව යන නිසා, දේශපාලනඥයන් ඒවා හිතාමතාම නොතකා හරින්නේ නම්, එය යුක්තියුක්ත ද ? එය අක්‍රියාශීලිත්වයද, ක්‍රියාශීලීත්වය ද?"

ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන්, ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සහ ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුලු පාලකයින් හා ධනපති පන්ති ගෙනයන්නේ මෙම සමාජ ඝාතක පිලිවෙතයි. 

අත්‍යවශ්‍ය නොවන සියලු සේවා හා කම්හල් වසා දැමීම හා පාසල් වසා දැමීම ඇතුලු අගුලු දැමීමේ වැඩපිලිවෙලක්; සෞඛ්‍ය පොදුකාර්ය ව්‍යුහය සඳහා බිලියන ගනන් මුදල් වෙන් කිරීම සහ සෞඛ්‍ය සේවයේ සියලු කාර්ය මන්ඩල සඳහා අවශ්‍ය පහසුකම්; වසංගත ප්‍රතිශක්ති  කරන එන්නත සියල්ලන්ට නොමිලේ හා ඉක්මනින් ලබාදීම වසංගතයට මුහුන දීම සඳහා අත්‍යවශ්‍ය පියවරයන්ය. කම්කරු පන්තිය තරුනයන්ගේ හා දුගීන්ගේ සහයෝගය දිනා ගනිමින් මේ ඉල්ලීම සඳහා සටන් කලයුතුය. 

කෙසේ වතුදු අවුරුද්දක් ගතවී ඇති වසංගත ව්‍යසනය පෙන්නුම් කර ඇත්තේ කම්කරු පන්තියට හා දුගී ජනතාවට ධනපති ක්‍රමය තුල කිසිදු විසඳුමක් නැතිබවයි.  වසංගතයෙන් මරනය අත්කරදීමට මෙන්ම, ඉන් උග්‍රකර ඇති ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනතාව මත මුර්ගලෙස පැටවීම සිදුවේ.  සොයාගෙන ඇති එන්නත පවා මහජනයාට ලබාදීම මහා සංගතවල  ලාභ අවශ්‍යතාවලට හා ඒ ඒ රටවල ධනපති පාලන තන්ත්‍රයන්ගේ උවනාවන්ට යටකර තිබේ. 

කම්කරු පන්තියට හා දුගීන්ට ඇති එකම ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ලංකාව තුල කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයටගෙන ඒමට සටන් කිරීමයි. 

වෙනත් ලිපි:

Loading