සංක්‍රමනික කම්කරුවන්ට, තම රටට පැමිනීමට ඇති අයිතිය ආරක්ෂා කරන්නේ කෙසේද?

විදේශ රටවල සිරවී සිටින දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික සංක්‍රමනික කම්කරුවන්ට යලි තම රටට පැමිනීමට ඇති අයිතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව දිගින් දිගටම උල්ලංඝනය කරමින් පවතී. සංක්‍රමනික කම්කරුවන් පිලිබඳ සංවිධාන වලට අනුව 90,000 කට ආසන්න ශ්‍රී ලාංකික කම්කරු පිරිසක් මැද පෙරදිග රටවල සිට පමනක් තම රටට යලි පැමිනීමට බලාපොරොත්තුවෙන් සිටින අතර, ඔවුන්ගෙන් බොහොමයකට රැකියා අහිමිව තිබේ. උපයාගත් සියල්ල හමාරවීම හේතුවෙන් ඉන් සමහරෙකු හිගමනට පවා වැටී ඇත.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට අනුව ජනවාරි 08 වනදා වන විට මැද පෙරදිග කම්කරුවන් 89 දෙනෙකු කොවිඩ්-19 හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. ආන්ඩුවේ වාර්තා වලට අනුව 20,000 කට ආසන්න සංක්‍රමනික කම්කරුවන් පිරිසක් කොරෝනා වෛරසයට නිරාවරනය වී ඇත. ලංකාවේ ද අනෙක් රටවල ද ධනපති ආන්ඩු ව්‍යසනයේ පරිමාව දැනුවත්ව වසන් කරන බැවින් මෙම සංඛ්‍යා ලේඛන වලින් පෙන්වන තත්වයට වඩා සැබෑ තත්වය අතිශයින්ම බැරෑරුම් ය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත වලට අනුව මිලියන දෙකකට ආසන්න ලාංකික කම්කරුවෝ පිරිසක් විදේශ රටවල රැකියාවේ නිරත වෙති. ඉන් සියයට 85 ක් සේවයේ යෙදෙන්නේ, කුවේට්, ඩුබායි, සෞදි අරාබිය ආදී මැද පෙරදිග රටවල ය. මීට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවලද ලාංකික කම්කරුවෝ රැකියාවේ යෙදෙති.

ලංකාවද ඇතුලු ලොව සෑම රටකම ධනපති ආන්ඩු සහ හාම්පුතුන්, රැකියා, වැටුප් සහ දීමනා කප්පාදු කරමින්, වැඩ වේගවත් කරමින්, කොවිඩ් වසංගතයෙන් පැන නංවා ඇති අර්බුදයේ බර කම්කරු පංතිය මත පටවමින් සිටිති. මේ හේතුවෙන් සංක්‍රමනික කම්කරුවන්ගේ රැකියා සහ ජීවන කොන්දේසි පහලම මට්ටම් වලට ඇද වැටී ඇත. ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට අනුව මැද පෙරදිග සේවය කරන ලාංකික කම්කරුවන් 34,721 කට වසංගතය මධ්‍යයේ රැකියා අහිමි වී ඇත.

වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේ සිට ලංකාවේ ගුවන් තොටුපලවල් වැසීමත් සමග, යලි තම රටට පැමිනීමේ අපේක්ෂාවෙන් සිටි විදේශගත ශ්‍රී ලාංකික කම්කරුවන්ට එම අවස්ථාව අහිමි විය. ඔවුන් අතරින් බහුතරය රැකියා අහිමිවූවන් වන අතර, අනෙක් අය තම දරුපවුල් දැකබලා ගැනීම ඇතුලු අති මානුෂීය අවශ්‍යතාවයන්ගෙන් පෙලෙන්නෝ වෙති.

රාජපක්ෂ ආන්ඩුව, කොවිඩ් වසංගතයෙන් කම්කරු-පීඩිත මහජනතාව මුදා ගැනීමේ සංවිධිත සහ විද්‍යාත්මක ප්‍රතිචාරයක් දැනවීම ආරම්භයේ සිට සාපරාධී ලෙස නොතකා හරිමින්, ධනපතියන්ගේ ලාභ උත්පාදනය අඛන්ඩව පවත්වාගෙන යනු වස් ව්‍යසනකාරී "නව සාමාන්‍යය", නැතහොත් වසංගත අන්තරාය මධ්‍යයේ වැඩකටයුතුවල නිරතවීම, හඳුන්වා දෙමින් කම්කරුවෝ වැඩට දැක්වූහ. එහිම කොටසක් ලෙස පාසල් විවෘත කොට දරුවෝ පාසල් වලට ගාල් කලහ.

එහි ප්‍රතිඵලය ලෙස, මේ වනවිට 400 කට වැඩි සංඛ්‍යාවක් මරනයට ද, 75,000 කට වැඩි ගනනක් ආසාදනයට ද ලක්ව ඇත. මේ සියල්ල මධ්‍යයේ, කම්කරු-පීඩිත මහජනතාව අතරින් ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහිව පැන නගින පංති අරගල රුදුරුම ආකාරයෙන් මැඩීමේ එල්ලයෙන්, මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරුකර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ යන ගමන වඩා වේගවත් කෙරින. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය සංශෝධන මෙන්ම මිලිටරීකරනය තර කිරීමේ රුදුරු පියවර කීපයක්ම ගැනින.

තම රටට යලි පැමිනීමේ දැවෙන අවශ්‍යතාවයෙන් පෙලෙන විදේශගත කම්කරුවන් සම්බන්ධයෙන් ආන්ඩුව දැක්වූ ප්‍රතිචාරය, සමස්ත කම්කරු පංතියට එල්ල කෙරුනු ඉහත ප්‍රහාරයේ කුරිරුම ප්‍රකාශනයක් විය. විදේශයන්හි කඹුරමින් රටෙහි ආර්ථිකයට දැවැන්ත විදේශ විනිමයක් සපයාදෙන මෙම කම්කරු කොටස "රට විරුවන්" ලෙස හඳුන්වමින් සිටි ආන්ඩුව, වසංගතය රටට ගෙනඑන "මිනිස් බෝම්බ" ලෙස නම් කරමින් තම රටට පැමිනීමට ඔවුනට ඇති අයිතිය කුරිරු ලෙස පාගා දැමීය.

සංක්‍රමනික කම්කරුවන්ගේ අරගලය මැඩීමට ජෝර්දාන පොලීසිය කැඳවයි

එම කම්කරුවන් මුහුනදෙන ඛේදජනක තත්වය, සවුදි අරාබියේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක්වූ ප්‍රියන්ති ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවෙන්  පැහැදිලි වෙයි. "මම සවුදියට ආවේ 2018 මාර්තු 24 දා. ගිවිසුමට අනුව වසර දෙකක සේවා කාලය අවසන් වී අවුරුද්දකට ආසන්නයි. අවසර නැතිව පැමිනීම ලංකාන්ඩුව විසින් තහනම් කර ඇති නිසා කොටු වෙලා ඉන්නේ. අවසර ගැනීමට තානාපති කාර්යාලයට එන්න නම් හාම්පුතාගෙ සහයෝගය අවශ්‍යයි. රියාද් නගරයට කාර් එකක ගමනට පැය හයක් පමන ගමනක් ගත වෙනවා. නමුත් හාම්පුතා මා එසේ කැඳවා ගෙන යාම ප්‍රතික්ෂේප කරනවා. මට වාද කරන්න බැහැ. මාව මරා දැමුවත් කාටවත් දැනගන්න ලැබෙන්නේ නැහැ."

"තානාපති කාර්යාලය විදේශ ශ්‍රමිකයන්ගේ හැමදේම බලා ගන්නවා කියා ආන්ඩුව මිනිස්සු රවටනවා. මෙහේ දුරකථන ඇමතුම් එකකටවත් ලංකා තානාපති කාර්යාලය පිලිතුරු දෙන්නෙ නෑ." යැයි ඇය පැවසුවාය.

එම රටේම රැකියාවේ නියුතු ඇගේ මිතුරියකට ඔත්පලව සිටින තම මව බලා ගැනීම සඳහා ලංකාවට යාමට තානාපති කාර්යාලයෙන් අවසර ඉල්ලා මාස හයක් බලා සිටින බවත්, නිරෝධායනය සඳහා හෝටල් ගාස්තු ගෙවන්නේ නැතිනම් අවසර දිය නොහැකිබව තානාපති කාර්යාලයෙන් පවසා ඇති බවත් ප්‍රියන්ති තවදුරටත් පැවසුවාය.

සංක්‍රමනික කම්කරුවන් ගෙන්වා ගැනීමේ අපහසුතාව ලෙස ආන්ඩුව නැවත නැවතත් පෙන්වා දුන්නේ, ඒ සා විශාල සංඛ්‍යාවකට නිරෝධායන පහසුකම් ලබාදීමේ නොහැකියාවයි. ඒ සඳහා වහා මුදල් වෙන්කොට නිරෝධායන ධාරිතාව වැඩි කරනු වෙනුවට ආන්ඩුව කලේ, ඔවුන් එම රටවල කොටුකොට ඉහත පැහැදිලි කල ව්‍යසනකාරී තත්වයට ඇද දැමීමයි.

මෙම කම්කරුවන් අතරින් දහස් ගනනක් දැනටමත් රටට ගෙන්වාගෙන ඇති බවට ආන්ඩුව පම්පෝරි ගැසුවද, ඔවුන්ගෙන් බහුතරයක් ලංකාවට පැමින ඇත්තේ ගුවන් ප්‍රවේශ පත්‍රය සඳහා සමහරවිට රුපියල් 4,50,000 ක් වැනි දැවැන්ත මුදලක්, පීසිආර් පරීක්ෂන සහ නිරෝධායන හෝටල් ගාස්තු ලෙස තවත් ලක්ෂයකට අධික මුදලක් වැය කරමිනි. බොහෝ කම්කරුවන්ට එවන් මුදලක් වැය කිරීමේ හැකියාවක් නොමැත.

රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ධනපති පාලකයන් උත්සුක වන්නේ සංක්‍රමනික කම්කරුවන් විසින් මෙරටට උපයා දෙන ඇමරිකානු ඩොලර් බිලියන හතකට ආසන්න විදේශ විනිමය පිලිබඳව පමනකි. ඔවුන් දහස් ගනනක් ලංකාවට පැමිනීමෙන් මෙම ආදායම අඩුවෙතැයි යන ගනන් බැලීම, ආන්ඩුව විසින් ඔවුන් ගෙන්වා ගැනීම කෙරෙහි දක්වන ප්‍රතිචාරය තුල ගැබ්ව පවතී.

වසංගත ව්‍යසනය මධ්‍යයේම ඔවුන් 2020 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා වන කාලය තුල උපයා දී ඇති විනිමය ප්‍රමානය, 2019 වසරේ එම කාලය සමග සසඳන කල සියයට 3.9 කින් වැඩිවී ඇතිබව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ලේඛිකාවක් පෙන්වා දෙයි.

එසේ වුවද, ඔවුන් වෙනුවෙන් මුදල් වෙන් කිරීම ප්‍රතික්ෂේප කල ආන්ඩුව, වසංගතය මධ්‍යයේ මහ ධනපති සමාගම් වලට බිලියන සංඛ්‍යාත සහන පැකේජ ලබා දුන්නේ කවර හෝ හිරිකිතයකින් තොරවය. ඒ ඒ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල නිලධාරීන්ට දුක්ගැනවිලි ඉදිරිපත් කරමින් සහ ඒවා ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂන පවත්වමින්, මෙම සංක්‍රමනික කම්කරුවන් තම රටට පැමිනීමේ පහසුකම් ඉල්ලා සිටියද රාජපක්ෂ ආන්ඩුව එය මුලුමනින්ම නොතකා සිටී.

ලංකාවේ පමනක් නොව, තම රටට පැමිනීමට නොහැකිව විදේශයන්හි සිරවී සිටින කම්කරුවන්ට, ඒ ඒ රටවල ආන්ඩු විසින් නොමිලේ ගුවන් ගමන් සහ නිරෝධායන පහසුකම් ලබාදීය යුතුබව කම්කරු පංතියේ ආස්ථානය විය යුතුයි. මෙම ආස්ථානය මත ලංකාවේ සහ අනෙකුත් සියලු රටවල කම්කරුවන් සංක්‍රමනික කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා පෙරට පැමිනිය යුතුය.

වසංගතයෙන් ගැඹුරු කෙරී ඇති ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදයෙන් නිපන් මෙම ප්‍රහාර ධනපති ආන්ඩු වලට පීඩනය යෙදීමෙන් පරාජය කල නොහැක. සංක්‍රමනික කම්කරුවන් ආරක්ෂා කිරීමේ සටන, ධනපති ආන්ඩුවලට සහ ගෝලීය ධනපති ක්‍රමයට එරෙහි, ජාත්‍යන්තර කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන සටනකි. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කෙරෙන අරගලයකි.

ධනපති පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම සංවිධාන, ආන්ඩුවට පීඩනය යෙදීමේ විරෝධතා වට වංගුවල කම්කරුවන් සිරකිරීමට ගෙනයන වැඩකටයුතු එවන් අව්‍යාජ සටනකට පරම සතුරුය.

ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහිව දැනටමත් අරගලයට අවතීර්නව සිටින සංක්‍රමනික, සෞඛ්‍ය, දුම්රිය, වරාය සහ වතු කම්කරුවන් ඇතුලු සියලුම ක්ෂේත්‍රයන්හි කම්කරුවන් ජාත්‍යන්තර සමාජවාදය සඳහා කෙරෙන අරගලයක ඒකාග්‍ර කල යුතුය. එම අරගලය තුල, කම්කරු පංතියේ නායකත්වය යටතේ, පීඩිත ගොවීන් සහ ධීවරයන් රැලිකර ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

වැඩපොල සහ නිවස්නා ප්‍රදේශ ආශ්‍රිතව කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් සහ ජාත්‍යන්තර කම්කරු පංතියේ එකමුතුවෙන් මෙම සටන ඉදිරියට ගෙනයා යුතුවෙයි. මෙම ඉදිරි දර්ශනයට සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි.

Loading