රැකියාව අහිමිව සවුදි අරාබියේ සිරවී සිටින ශ්‍රී ලාංකික ගෘහ ‍සේවිකාවක් ලෝක සමාජවාදී ‍වෙබ් අඩවියට කතා කරයි

සවුදි අරාබියේ  සේවා කාලය අවසන් වී වසරක් ගත වන තුරුත්, සිය රටට පැමිනීමට අවස්ථාව නොලද, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් සහ දෙදරු මවක් වන ප්‍රියන්ති,  ඊයේ ලෝක සමාජවාදි වෙබ් අඩවිය සමග සාකච්ඡාවක නියැලුනා ය.  විගමනික කම්කරුවන් ගැන වෙබ් අඩවියේ පල වූ ලිපියක් කියවීමෙන් අනතුරුව සාකච්ඡාව සඳහා යොමුවූ  බව පවසමින් ඇය පහත ප්‍රකාශය කලා ය.

          *********************************************************

'මම වැඩ කරන්නේ සවුදියේ ධීරා හි, දොහත්මී ග්‍රාමයේ, ලාංකික ගෘහ සේවිකාවක්වූ  හිස ගසා මරා දැමූ ෆාතිමා රිසානා සිරගත කර සිටි බන්ධනාගාරය ලඟ. (බාල වයස්කාර රිසානා තමන් සේවය කල නිවෙසේ කුඩා දරුවෙකුගේ මරනයට වග කිව යුතුය යි තීන්දු කර ප්‍රසිද්ධියේ හිස ගසා දැමීමට ලක් කෙරුනි.) පේන තෙක් මානෙක වැලි කඳු. මම ඉන්න ‍ගෙදර අයගෙ ගෙවල් තුන හැරුනු විට මිනිස් වාසයක් දකින්න ලැබෙන්නේ සැතපුම් දෙකක් විතර ඒහායින්. එලියට යන්නේ ගෙදර අය සමග වාහනයෙන්. ඒත් කිසිවෙකු සමග වචනයක් කතා කරන්න අවස්ථාවක් නැහැ. 

මම සවුදියට ආවේ  2018 මාර්තු 24 දා. ගිවිසුමට අනුව වසර දෙකක සේවා කාලය අවසන් වී අවුරුද්දකට ආසන්නයි. අවසර නැතිව පැමිනීම ලංකාන්ඩුව විසින් තහනම් කර ඇති නිසා කොටු වෙලා ඉන්නේ. අවසර ගැනීමට තානාපති කාර්යාලයට එන්න නම් හාම්පුතාගෙ සහයෝගය අවශ්‍යයි. රියාද් නගරයට කාර් එකක ගමනට පැය හයක් පමන ගමනක් ගත වෙනවා. නමුත් හාම්පුතා මා එසේ කැඳවා ගෙන යාම ප්‍රතික්ෂේප කරනවා. මට වාද කරන්න බැහැ. මාව මරා දැමුවත් කාටවත් දැනගන්න ලැබෙන්නේ නැහැ.

'අපට දැං උඹල අවශ්‍ය නැහැ. උඹලගෙ ආන්ඩුව උඹලා එනවට කැමති නැහැ. ගුවන් ගාස්තුත් වැඩි කරලා. අපට ඒ ගනන්වලට ටිකට් අරෙගන දෙන්න බැහැ. ගෙන්වා ගන්නකම් වැඩ කරපල්ලා. උඹලගෙ  ආන්ඩුවට ඩොලර් ඕන' කියල හාම්පුතා කියන්නෙ. මට දැං මේ ගෙදරම අනාථයෙක් හැටියටයි සලකන්නේ. ඊට හේතුවක් තිබෙනවා. ගිවිසුම් අවසන් වීමෙන් ලංකාන්ඩුවත් සවුදි හාම්පුතාත් වග කීමෙන් නිදහස් වෙනවා. 

තානාපති කාර්යාලය විදේශ ශ්‍රමිකයන්ගේ හැමදේම බලා ගන්නවා කියා ආන්ඩුව මිනිස්සු රවටනවා. මෙහේ දුරකථන ඇමතුම්  එකකටවත් ලංකා තානාපති කාර්යාලය පිලිතුරු දෙන්නෙ නෑ.

මගේ වැටුප රුපියල් 48,000යි. කොරෝනාවෙන් පස්සේ පඩිය නිසි පරිදි ලැබෙන්නෙත් නැහැ. මෙතන වෙන තැන්වලට වඩා වැඩ ටිකක් අඩුයි. ගෙදර ඉවුම් පිහුම්, රෙදි සේදීම, පිරිසිදු කිරීම ඇරුනාම ඔටුවෝ සහ කුකුලන්ට කන්න බොන්න දී බලාගන්න තියෙන්නේ. වෙනත් සේවකයෙකු නැති නම් ඉනිමගේ නැග රට ඉඳි කැඩීම ද කල යුතු යි.

වෙබ්  අඩවිය ගැන සවුදියේ වසර නවයක් සේවය කල මගේ මිතුරියක් වන ගංගාට  දැනුම් දුන්නා. ඔත්පලව සිටින තම මව බලා ගැනීම සඳහා පිටත් වීමට තානාපති කාර්යාලයෙන් අවසර ඉල්ලා මාස හයක් බලා සිටින බව ගංගා කිවුවා. 

මෑතදී ඒ ගැන සොයා බැලීමට තානාපති කාර්යාලයට ගියාම ඇයට කාර්යාලයෙන්  කියල තියෙන්නෙ නිරෝධායනය සඳහා හෝටල්  ගාස්තු ගෙවන්නේ නැතිව අවසර දෙන්න බෑ කියල. 

නොමිලේ නිරෝධායනය සඳහා ඇති අයිතිය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටීමෙන් පසු පෙබරවාරි 09 දිනය ලබා දී තිබුනත් ඒ ගැන පැහැදිලි සහතිකයක් නැති බව ඇය කිවුවා. මෙම කරුනු ලෝක සමාජවාදි වෙබ් අඩවියට දැනුම් දෙන ලෙස ගංගා මගෙන් ඉල්ලා සිටියා. 

ආන්ඩුවට අවශ්‍ය අපි හම්බ කරන සල්ලිවලින් සල්ලිකාරයො තවතවත් පොහොසත් කරන්න. මම ආවේ මට ගෙයක් හදා ගන්න පර්චස් හයක් ගන්න. ලංකාවෙ මට ඉන්න තැනක් නැහැ. ස්ථිර පදිංචියක් නැති නිසා මට ජන්ද අයිතියත් නැහැ. මට අවුරුදු දෙකේදි තාත්ත නැති වුනා. අම්ම වෙන විවාහයක් කර ගත්තා. ආච්චි අම්මට මම හදා ගන්න වත්කමක් නැහැ. එක එක ගෙවල්වල හැදුනෙ. දෙවැනි දරුව ලැබෙන්න යද්දී මහත්තය වෙන කෙනෙක් බැන්ද. බදු ගෙවල් වලින් නිතරම මාරුවෙන්න වූ නිසා පුරවැසි අයිතියත් නැති වෙලා වගේ.

මම පත්තර බලල අඩුම කුලී ගෙවල් හොයපු නිසා නොයෙක් පලාත්වලට යන්න වුනා. මාතර තමයි වැඩි කලක් හිටියේ. ඒ නිසා ඡන්ද ලේඛනයට නම වැටුනා. මට  අයිති වෙයි කියා බයවෙලා ගේ අයිතිකාරයො යන්න කීවා. දැන් මගේ පුතාට අවුරුදු 17 ක් වෙනවා . හැඳුනුම්පත ගන්න බැරුව ඉන්නෙ මේ ප්‍රශ්නය නිසා. 

කවුද මේවාට වග කියන්නේ? විදේශවල අතරමං වූ කම්කරුවන්ගේ ශුභසාධනය බලා ගන්නව කියන ආන්ඩුව මොන බොරුද මේ කරන්නේ?.

මම ආන්ඩුවෙන් ඉල්ලූ එකම දෙය ඉන්න තැනක් විතරයි. ඇමති විමල් වීරවංශට කිවා. ඇමති ප්‍රේමදාසත් ඒ සඳහා වැඩ කරන බව කියා මට ලියුම් එව්වා. ඒ අයට අපේ ප්‍රශ්න විසඳන්න උවමනාවක් නැහැ. මේ ප්‍රශ්න විසඳ ගන්නයි මම රට ආවේ. නමුත් මේ පඩියෙන් අවශ්‍ය වියදම් ගියාම ඉන්න තැනක් ගන්න බැහැ. මේ අසාධාරනයට, අසමානකමට හැම කෙනෙක්ම විරුද්ධ වෙන්න අවශ්‍ය යි.

මගේ දරුවො මං එනකම් බලා ඉන්නවා. මට දරුවෝ බලන්න යන්න ඕන. ආන්ඩුව එන්න දෙන්නේ නහැ. හැම පැත්තෙන්ම හිර කරෙගන ඉන්නවා. මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද මේ? මේක මගේ කථාව විතරක් නෙවෙයි. මේකට විරුද්ධව මුලු රටේම මිනිස්සු එකතු වෙන්න කියා මම ඉල්ලනවා.'

ප්‍රියන්තිට පහ වසර දී පාසැල් අධ්‍යාපනය අහිමි වී ඇත. කෙසේ නමුත්, ඉගෙන ගැනීමේ ආශාව නිසා පුවත්පත් කියවීමෙන් සහ නිතර නිතර ලිවීමෙන් කියවීමේ සහ ලිවීමේ හැකියාවන් ඇය තනිවම දියුනු කරගෙන  තිබේ. වයස 15 දී  ඇය කලුතර කටුකුරුන්දේ පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ කඳවුරෙහි මේසන්වරුන්ට අත් වැඩ දීමට ගොස් ඇත. ඇයගේ දරුවන් ද එම ඉරනමෙන් අත් මිදී නැත.  

විවාහය බිඳ වැටීමෙන් පසු දරුවන් සමග රැකියාවක් කිරීමේ ගැටලුවට මුහුන දුන් ඇය, හඳුන්කූරු විකිනීම, තේ දලු නෙලීම, රබර් කැපීම, සාප්පු සේවය, බීඩි එතීම ආදී බොහෝ රැකියාවන්හි නිරතව තිබේ. අවස්ථානුකූලව සෑම දෙයක්ම කරන්නට සිදුවූ බව ඇය කීවාය. 

පුද්ගලික පුන්‍යාධාර ආයතන වලින් දරුවන්ට නවාතැන් සහ ඔවුන්ගේ ආරක්ෂාව සහ අධ්‍යාපනය සඳහා ආධාර  ලබා ගැනීමට ඇයට සිදුව ඇත. විදේශීය පරිත්‍යාගශීලියෙකුගේ ආධාරයෙන් දියනිය පුද්ගලික පාසැලකට යොමු කලත් එම පුද්ගලයා හදිසි අනතුරකට මුහුන දීම නිසා ඇයට ද නවය වසරට පසු අධ්‍යාපනය අහිමි වී ඇත. දියනිය නීතිඥවරියක් වී අසාධාරනයට එරෙහිව සටන් කරනු ඇතැයි එකල ඇයට පැවති එකම පැතුම මේ නිසා බිඳ වැටුනු බව ඇය කීවාය. 

විදේශ රැකියාව සඳහා පිටත් වීමේදි තම පුත්‍රයා පන්සලක නතරකොට ඇති අතර, දරුවා දවස් තුනෙන් ඉන් පැනගොස් ඇත්තේ, භික්ෂුව ඔහු ලිංගික අපහරනයට ලක් කිරීම නිසා ය. මාතර නිල් වැල්ල හා කුඩාවැල්ල තොටුපලවල නවතා ඇති බෝට්ටුවල රාත්‍රී කාලය ගතකොට ඇති ඔහු දැන් කලුතර කුලී නිවසක තම සොහොයුරිය සමග ජීවත් වෙයි. නමුත් ලමයකුට හිමි අයිතීන් අහිමිව අවිනිශ්චිත අනාගතයකට මුහුන දී සිටින තම දරුවා වෙනුවෙන් මව් බිමට පැමිනීම අවශ්‍ය යයි ප්‍රියන්ති අවධාරනය කලා ය.

Loading