ආන්ඩුව ලේඛක ශක්තික සත්කුමාරට එරෙහි බොරු නඩු හකුලා ගනී

ෆේස්බුක් සමාජ මාධ්‍යය තුල ලියා පලකල 'අර්ධ' නමැති කෙටි කතාවක් මගින්, 'බුද්ධාගමට හා බෞද්ධ භික්ෂුන්ට අවමන් කරමින්, බුදුන්ගේ ගිහි ජීවිතය විකෘත කලේය' යන අභූත චෝදනා මත අත්අඩංගුවට ගෙන සිව් මසක් සිරගත කර තැබුනු ලේඛක ශක්තික සත්කුමාර⁣, ඔහුට එරෙහි නඩු කටයුතු වලින් පසුගිය 09 දා නිදහස් කෙරුනි. නඩු වාර කිහිපයකින් පසුව, ලේඛකයාට එරෙහිව මහාධිකරනයේ අධි චෝදනා ගොනු නොකරන බවට නීතිපති විසින් කල දැනුම්දීම මත පොල්ගහවෙල මහේස්ත්‍රාත් නෙලුම් ප්‍රියදර්ශනී, සත්කුමාර මෙසේ නිදහස් කලාය.

සිංහල වර්ගවාදී සංවිධානවල පිටුබලය සහිත භික්ෂුවක් විසින් වෛරී සහගත ලෙස කර තිබූ පැමිනිල්ලක් මත සත්කුමාර පොල්ගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුනේ 2019 අප්‍රේල් මාසයේ දී මර්දනකාරී අනපනත් දෙකක් යටතේය. අධි චෝදනා ගොනුකරනු ලැබුවේ නම් වසර දහයක සිර දඬුවමකට ලක් කිරීමේ අවදානම ඔහු මත ලඹ දෙමින් පැවතිනි.

සත්කුමාර නිදහස් කර කරගැනීම සඳහා සසප සජවිධානය කල පිකට් උද්ඝෝෂනයක් කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරි පිට ජූනි 17-2019

කොවිඩ්-19 වෛරසයෙන් මහජනතාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ආන්ඩුවේ සාපරාධී නොතැකීමටත්, වසංගතයෙන් ගැඹුරු කෙරුනු ආර්ථික අර්බුදයේ බර විවිධ කප්පාදු හරහා තම උරමත පැටවීමටත් එරෙහිව නැගී එන පුලුල් මහජන විරෝධය මැඩීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ඉස්මත්තට ගෙන ඇති ආඥාදායක සැලසුම් යටතේ, කම්කරුවන්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, නීතීඥවරුන් හා විචාරාත්මක සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දඬුගැසීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිලිවෙලයි.

⁣2019 පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදීන් කන්ඩායමක් දියත් කල ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය ඩැහැගත් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, එහි ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට ඇදෙමින් සිටි කම්කරු පංතිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා මුදා හල මුස්ලිම්-විරෝධී ප්‍රකෝපකරනයන් ජනාධිපති රාජපක්ෂ විසින් වඩාත් ඉහල තලයකට ගෙන තිබුනි.

දමිල ජනතාවට එරෙහිව අනවරතව ගෙනයන වාර්ගික අඩංතේට්ටම්වල කොටසක් ලෙස උතුරේ මාධ්‍යවේදීන්ට එරෙහිව විවෘත ම⁣රන වරෙන්තු නිකුත් කිරීම, ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුවන්ට මෘග මැර ප්‍රහාර එල්ල කිරීමේ සිට ලේඛකයන් අත්අඩංගුවට ගැනීම් හා සිරගත කිරීම, උදඝෝෂනවලට වෙඩිතැබීම දක්වා රාජපක්ෂ තන්ත්‍රය යටතේ වර්ධනය කර තිබේ.

ශක්තික සත්කුමාර 2019 අගෝස්ත්‍ර 12

අහනාෆ් ජසීම් මුස්ලිම් ජාතික තරුන කවියා, තවත් ප්‍රධාන මර්දක නීතියක් වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (ටීඅයිඩී) විසින් අත්අඩංගුවට ගෙන මාස 09ක් තිස්සේ රඳවා ගෙන ඇත. ඔහු විසින් ලියා පලකල කාව්‍ය ග්‍රන්ථයක් හරහා සහ ඔහුගේ රැකියාව වන ගුරු වෘත්තිය තුලින් අන්තවාදය පැතිරවීමේ ව්‍යාජ චෝදනාව ඔහුට එරෙහිව එල්ල කොට ඇත. මඩකලපුව ප්‍රදේශයේ මාධ්‍යවේදියකු වන ගෝකුලන් තම ෆේස්බුක් පිටුවේ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) ජායාරූප කිහිපයක් පලකලේය යන චෝදනාව මත පසුගිය නොවැම්බර්හි ටීඅයිඩී භාරයට ගනු ලැබිනි.

ආන්ඩුවේ ඉහලම නිලවලට හිටපු මිලිටරි ප්‍රධානීන් පත්කර ගනිමින්, තරුනයන්ට අනිවාර්ය යුද පුහුනුව සඳහා නීති සකස් කිරීමට කැස කවමින්, සියලු ආකාරයේ ආන්ඩු විරෝධයන් යටපත් කිරීමේ එල්ලය සහිතව 'විනයගරුක සමාජයක්' බිහිකිරීමේ කඩතුරාව යටතේ මහජන ආරක්ෂක කමිටු නමින් රටපුරා බුද්ධි අංශ ජාලයක් නිර්මානය කරමින්, 20වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබා ගත් අධිකාරී බලතල හරහා රාජපක්ෂ මිලිටරිය මත පාදක වූ ජනාධිපති ඒකාධිපතිත්වයක් කරා ගමන් කරමින් සිටී.

ලේඛකයා සිරගත කිරීමට එරෙහිව, 2019 අප්‍රේල් 12 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි (ලෝසවෙඅ) පලකල 'ලේඛක සත්කුමාර නිදහස් කරනු!' යන ප්‍රකාශය  මගින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් ආරම්භකල උද්ඝෝෂනය කම්කරුවන්, තරුනයන් ඇතුලු ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය අගයන්නන් අතර පුලුල් හා ජාත්‍යන්තර පරිමාන ආකර්ෂනයක් දිනා ගත්තේ ය.

එකී ප්‍රකාශයේ මෙසේ සදහන් විය: 'සත්කුමාර නිදහස් කරන ලෙස බලකිරීමට එක්වන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා ප්‍රගතිශීලි ප්‍රජාතන්ත්‍රවාදී බුද්ධිමතුන්ගෙන් ඉල්ලන සසප හා සසජාතශි, ඒ සමගම අවධාරනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමේ අරගලය ධනවාදයට එරෙහිව සමාජවාදය සඳහා කරන සටන සමග බැඳී ඇති බවයි.'

ලංකාවේ සසප මෙම උද්ඝෝෂනය කැඳවුම් කලේ ඇමරිකානු අධිරාජ්‍යවාදී යුද අපරාධ හෙලිකල ජුලියන් අසාන්ජ් දඩයම් කිරීමට එරෙහිව ලෝසවෙඅ හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජජාක) ගෙන ගිය ජාත්‍යන්තර උද්ඝෝෂනයට සමගාමීව ය.

සත්කුමාර මෙන්ම සෙසු නිර්මානකරුවන් හා ලේඛකයන් ආරක්ෂා කර ගැනීමේ සමාජවාදී ඉදිරිදර්ශනය පෙරට ගැනීම සඳහා සසප කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) 2019 අගෝස්තුවේ පිහිටුවා ගැනීම මෙම සටනේ තීරනාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කලේ ය. ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සඳහා සසප කැඳවුම් කල ජුනි 24 ප්‍රකාශය තුල එහි එල්ලය 'ජාත්‍යන්තර කම්කරු පන්තියේ නායකත්වය යටතේ, ධනපති පන්ති පාලනයට සෘජුව හෝ වක්‍රව සහයෝගී සියලු සංවිධානවලින් ස්වාධීනවූ, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීම' බව අවධාරනය කලේ ය.

ප්‍රසිද්ධ රැස්වීම් හා පිකට් උද්ඝෝෂනයක් පවත්වම්න්, ප්‍රකාශන නිකුත් කරගනිමින් හා ඒවා කම්කරු මහජනතාව අතර බෙදා හරිමින් කප්‍රනිආක සටන තීව්‍ර කල අතර අන්තර්ජාල පෙත්සමක් අත්සන් සඳහා ඉදිරිපත් කලේ ය. ලෝසවෙඅ හි ලිපි ගනනාවක් පලකරමින් සටන සඳහා ඉදිරිදර්ශනය සම්පාදනය කල අතර ලේඛකයා ආරක්ෂා කිරීම සඳහා කල කැඳවීමට කලාකරුවන්, බුද්ධිමතුන් හා කම්කරුවන් ඇතුලු පිරිසක් ප්‍රකාශ නිකුත් කලෝය.

මේ අතර, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය සත්කුමාර 'හෘදසාක්ෂියේ සිරකරුවෙක්' ව⁣ශයෙන් නම් කලේ ය. ලේඛකයන්ගේ ජාත්‍යන්තර සංවිධානයක් වන 'පෙන්' සංවිධානය ඔහුගේ නිදහස ඉල්ලා සිටියේ ය. 2020 මැයි මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අත්තනෝමතික සිරගතකිරීමි වලට එරෙහි ක්‍රියාකාරී කන්ඩායම සත්කුමාර අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම මගින් ලංකා ආන්ඩුව ඔහුගේ ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කලේ ය.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ චීනයට එරෙහි මූලෝපායික සැලසුම්වලට ශ්‍රී ලංකාව මුලුමනින්ම ඒකාග්‍ර‍ කරගනුවස් උත්සන්න කෙරෙමින් පවතින පීඩනයේ කොටසක් ලෙස, ඇමරිකානු නව ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාලන තන්ත්‍රය යටතේ ද, දිවයිනේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධව අධිරාජ්‍ය ගැති ජාත්‍යන්තර සංවිධානයන්හි බලපෑම් දැමීම තීව්‍ර වෙමින් පවතී.

එලඹෙන සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) විසින් පවත්වන ජිනීවා මහා සමුලුවේදී සම්මත කිරීම සඳහා නියමිත, මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවට වරද පවරන වාර්තාවක් එහි මහ කොමසාරිස් (යූඑන්එච්සීඑච්ආර්) විසින් ජනවාරි අග ඉදිරිපත් කලේ ය. යුද අපරාධ සම්බන්ධව වගවීම මගහැරීම හා රාජපක්ෂ යටතේ රට තුල සිදු කෙරෙමින් පවතින මිලිටරීකරනය, දමිල මා මුස්ලිම් ජනයාට එරෙහි අනවරත මර්දනය හා මාධ්‍යවේදීන් දඩයම් කිරීම ඇතුලු මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳ දීර්ඝව කරුනු අන්තර්ගත කර ඇති වාර්තාව රට තුල 'වගවීම හා ප්‍රතිසන්ධානය සඳහා වන ප්‍රගතිය ඇතුලුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අධීක්ෂනය' තීව්‍ර කිරීමට හා අනවරතව වාර්තා කිරීමට කැඳවුම් කර යි.

විශේෂයෙන්, ලංකාවේ තත්ත්වය ජාත්‍යන්තර අපරාධ අධිකරනය (අයිසීසී) වෙත යොමු කිරීමට පියවර ගැනීමට සාමාජික රටවලින් ඉල්ලා සිටින එය ශ්‍රී ලංකාවේ 'සියලුම පාර්ශ්වයන්' විසින් සිදුකරන ලද ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හා, විශ්වීය අධිකරන බලය යොදමින්, සාමාජික රටවල ජාතික අධිකරන ඉදිරියේ නඩු පැවරීමට ද පෙර නොවූ විරූ ලෙස ඉල්ලා සිටී. එක්සත් ජනපදයේ සහාය සහිතව බ්‍රිතාන්‍යය, කැනඩාව හා ජර්මනිය මෙම වාර්තාව අනුමත කරන යෝජනාවක් ගෙන ඒමට නියමිතය.

රාජපක්ෂ, ඔහුගේ සොහොයුරු වන වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ සහ ඉහලම මිලිටරි නායකයන්ද දමිල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධයේ අවසන් අදියරේදී සිදුකල යුද අපරාධ සම්බන්ධව චෝදනා ලබා සිටිති. අධික නය හා වසංගතය මගින් උග්‍ර කෙරුනු දරුනු ආර්ථික අර්බුදයකට සහ පන්ති අරගල මාලාවකට අභිමුඛ වී සිටින රාජපක්ෂ ඇතුලු පාලක පන්තිය මෙම මැදිහත්වීමේ ඇඟවුම් හොදින් දනිති.

මේ කරුනු සියල්ල පෙන්නුම් කරන්නේ ලේඛකයා නිදහස් කිරීමේ තීන්දුව දේශපාලනිකව ගනන් බැලූ උපාමාරුවක් වන බව යි. විශේෂයෙන්, එවැනි ජාත්‍යන්තර මැදිහත්වීමක් දැනටමත් ගිනියම් වෙමින් පවතින ආන්ඩු විරෝධී කම්කරු අරගල වලට ඉන්ධන සපයනු ඇති බවට පාලක පන්තිය සංවේදීය.

සත්කුමාර සිරගත කල සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය බලයට ගෙන ඒම සඳහා 2015 ජනාධිපතිවරනයේදී සහාය දුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ප්‍රමුඛ ව්‍යාජ වාම සංවිධාන, එම තන්ත්‍රය සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කල ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සසප කල කැඳවුමට පරමලෙස සතුරු විය. රාජපක්ෂ වසංගතයට මුවා වෙමින් මිලිටරීකරනය වේගවත් කරද්දී පෙසප තම සහයෝගය ලබා ගන්නා ලෙස ඔහුට කන්නලව් කලේය. ලේඛකයා නිදහස් කිරීම පිලිබඳව පෙසප මෙතෙක් වචනයකදු ප්‍රකාශකොට නොමැත.

මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනීසිටින්නේ යැයි කියන ඊනියා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (එෆ්එම්එම්) පොලිස්පතිට යැවූ ලිපියක් මගින් මෙම නිදහස් කිරීම පිලිබඳ උසාවියට ප්‍රශංසා කරමින්, එමගින් පොලීසිය නීති අවභාවිතා නොකිරීමට පූර්වාදර්ශයක් සපයන බවත්, නිර්මානකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේදී ඔවුනට සමාව අයැදීමට බලකිරීම හෝ 'සාමාන්‍ය නීතිය' යටතේ නඩු පැවරීම කල හැකි බවටත් උපදෙස් දී ඇත. මෙය, කොන්දේසි විරහිතව නිර්මානකරුවන් ආරක්ෂා කිරීමට ප්‍රතිකූලව, රාජ්‍ය මර්දන යාන්ත්‍රනය සමඟ එකට සිට ගැනීමකි.

සත්කුමාර නිදහස් කරගැනීමේ තම වැඩපිලිවෙලට සහාය දැක්වූ සැමට සසප ස්තුතිය පුද කර සිටී. ලේඛකයා සිරගතකර තැබුනු මර්දක අනපනත් කිසිවක් හකුලාගෙන නැති අතර, ඒ වෙනුවට, එවැනි නීති හා ධනපති රාජ්‍යයේ කම්කරු හා සංස්කෘතික විරෝධී දඬුඅඬු තවතවත් ශක්තිමත් කරනු ඇත.

ප්‍රකාශනයේ හා කලාවේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආක්ෂා කිරීම පිනිසත්, අහ්නාෆ් ජසීම් ඇතුලු තවත් කලාකරුවන් හා ලේඛකයන් ආරක්ෂා කිරීම පිනිසත් සසප විසින් අවධාරනය කරන ස්වාධීන ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා ක්‍රීයාකාරී කමිටු ගොඩනගමින් සටන් වදින ලෙස සසප ඉල්ලා සිටී.

සබැඳි ලිපි:

2019 අප්‍රේල් 4 බෞද්ධ සංස්ථාපිතයේ මැදිහත්වීමෙන් තරුන ලේඛකයා සිරගත කෙරෙයි

https://www.wsws.org/sinhala/2019/2019apr/sath-04a.html

Loading