"නව සාමාන්‍යය" පූර්න පරිමානව ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව සියලුම රාජ්‍ය සේවකයන් "සාමාන්‍ය පරිදි" සේවයට කැඳවයි

ආන්ඩුවේ "නව සාමාන්‍යයෙහි" හෙවත් වසංගත අවදානම මධ්‍යයේ මහජනයා "සාමාන්‍ය පරිදි" වැඩකටයුතුවල නිරත කරවීමේ මිනීමරු පිලිවෙතෙහි තීරනාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පසුගිය සඳුදා සිට රාජ්‍ය අංශයේ සියලුම සේවකයන් "සාමාන්‍ය " පරිදි රාජකාරි වෙත වාර්තා කලයුතු බවට, රාජ්‍ය  සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශය විසින් අනකර ඇත. 

ඒ අනුව, වසංගතය පාලනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස අනුගමනය කල "සේවකයන් කන්ඩායම් වශයෙන් රාජකාරි ස්ථාන වෙත ගෙන්වා ගැනීම" නතර කර මුලු සේවක සංඛ්‍යාව එකවර සේවයේ යොදවනු ලැබෙයි. "නව සාමාන්‍යය" පූර්න පරිමානයෙන් ක්‍රියාත්මක කිරීමට ගත් මෙම පියවර මගින්, කාර්යාල සහ පොදු ප්‍රවාහන සේවාවන් තුල තදබදය උග්‍ර කෙරී, වෛරසය ආසාදනයවීමේ වඩාත් ඉහල අවදානමක් මධ්‍යයේ වැඩට යාමට කම්කරුවන්ට බල කෙරී ඇත.

කෙසේ වෙතත් ආන්ඩුව මේ වසර මුල සිටම තම අභිමතය පරිදි සේවකයන් ගෙන්වා ගැනීමට ආයතන ප්‍රධානීන්ට බලය ලබාදී තිබූ තතු යටතේ බහුතරයක් සේවකයින් දිගටම මෙම අන්තරායට ගොදුරු වී සිටියහ. බොහොමයක් පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා තුල තත්වය බෙහෙවින්ම නරක වූ අතර වසංගතයේ වේගවත් පැතිරීම මධ්‍යයේ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ සේවා ක්ෂේත්‍රයන්හි  කම්කරුවන් අඛන්ඩව වැඩෙහි යෙදවීම හේතුවෙන් දිවයිනේ සෑම පලාතකම බහුල ලෙස ආසාදිතයන් වාර්තා විය.

ලංකාව තුල කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 86,000 ක් සහ මරන සංඛ්‍යාව  500ක් ඉක්මවා යන තතු තුලදී රාජපක්ෂ ආන්ඩුව දෛනික පීසීආර් පරීක්ෂන ප්‍රමානය තියුනු ලෙස පහත හෙලා ඇත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත වලට අනුව අඛන්ඩව දින තුනක් පරීක්ෂන 11,000කට අඩුවෙන් සිදුකෙරී ඇති අතර 8 වන දා එම අගය 7,575ක් දක්වා කඩා වැටුනි. එය මසකට ඉහත පැවති දෛනික පරීක්ෂන රේට්ටුව හරි අඩකින් කප්පාදු කිරීමකි. 

පරීක්ෂන සංඛ්‍යාව පහල දැමීමත් සමඟ දෛනිකව හඳුනා ගන්නා රෝගීන් සංඛ්‍යාව දහසකට ආසන්න දෛනික සාමාන්‍යයක සිට හාරසියයක් වැනි අගයක් දක්වා පහල ගොස් ඇත. ආන්ඩුව දැනුවත්ව ක්‍රියාවට දමා ඇති මෙම පිලිවෙතෙහි අරමුන වනුයේ වසංගතයේ අන්තරායකාරී තත්වය මහජනතාවගෙන් වසං කිරීමයි. 

මෙලෙස පරීක්ෂන සංඛ්‍යාව පහල දමමින්, "නව සාමාන්‍යය" පූර්න පරිමානව ක්‍රියාත්මක කෙරෙන්නේ, දෙගුනයක වේගයෙන් ව්‍යාප්ත වන B117 නව ප්‍රභේදය ලංකාව තුලද  පැතිරයාම හේතුවෙන් පුලුල් ලෙස පරීක්ෂන ඉහල දැමීමක් සහ සංචරන සීමා පැනවීමක් අවශ්‍ය බවට සෞඛ්‍ය විශේෂඥයන් විසින් කර ඇති අනතුරු ඇඟවීම් මුලුමනින්ම නොතකා හරිමිනි.

වසංගතය රටෙන් තුරන් වෙමින් පවතින බවට බේගල් ඇද බාමින් ආර්ථිකය මුලුමනින්ම විවෘත කිරීමේ කොන්දේසි සකස්කර ගැනීම රාජපක්ෂ ආන්ඩුවේ එල්ලයයි. ලංකාව ද ඇතුලු ලොවපුරා පාලක පන්තීන්ගේ පිලිවෙත වී ඇත්තේ, ධනපතියන්ගේ ලාභය උදෙසා කම්කරුවන්ගේ ජීවිත බිල්ලට දීමයි. 

 

ප්‍රස්ථාරය මගින් දක්වන්නේ පීසීආර් පරීක්ෂන පහල වැටී ඇති අන්දමයි ( සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය ඇසුරිනිhpb.health.gov.lk/si)

ආසාදිතයන් අඩුවීමට හේතුව පරීක්ෂන කප්පාදු කිරීම බව ඇස් පනාපිට පවතින සත්‍යය වන නමුත් ආන්ඩුව කියා සිටින්නේ වසංගතය පාලනය කිරීමට තමන්ට හැකිවී ඇති බවයි. කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය විසින් මාර්තු 4 වනදා කැඳවන ලද මාධ්‍ය සාකච්ඡාවකදී එහි ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වසංගතයේ තත්වය පිලිබඳව ව්‍යාජ චිත්‍රයක් මවමින් ප්‍රකාශ කලේ “එන්නත හඳුන්වාදීමට සමාන්තරව, මූලෝපායික වසංගත මර්දන පියවර, නිරෝධායන ක්‍රියාවලිය සහ අනෙකුත් සීමාකිරීම් නිසිපරිදි ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආසාදිතයන් වාර්තාවීම අඩුකරගැනීමට” හැකිවී තිබෙන බවයි. 

ඉතා අවිධිමත් සහ සීමාසහිත අන්දමට සිදුකෙරෙන ලංකාවේ එන්නත්කරනයේ පලමු මාත්‍රාව පවා තවමන් රටේ ජනගහනයෙන් සියයට 5ක ප්‍රතිශතයක් හෝ ඉක්මවා නැති පසුබිමක එහි බලපෑමෙන් වසංගතය පාලනය වී ඇතැයි පැවසීම දැනුවත් වංචාවකි.

එන්නත්කරනය ඇරඹී ඇති හෙයින් වසංගතය පිලිබඳව තවදුරටත් බිය විය යුතු නැති බව අඟවමින් “නව සාමාන්‍යය” ට මහජනතාවන් තල්ලු කරගැනීම සඳහා ආන්ඩුව දරන සාපරාධී උත්සාහයන්ට ප්‍රතිකූලව විෂය ප්‍රාමානිකයන් ඉදිරිපත් කරන අදහස් වලින් හෙලිදරව් වන්නේ සෞඛ්‍යාරක්ෂක පිලිවෙත් දැඩිව අනුගමනය කරමින් සමාජ දුරස්ථකරනයන් දිගටම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයයි.

අනුක ජීවවිද්‍යාව සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රමුඛතම මහාචාර්යවරියක් ලෙස එන්නතෙහි බලපෑම පිලිබඳ පරීක්ෂන කන්ඩායම් මෙහෙයවන නීලිකා මලවිගේ පවසන්නේ එහි සාර්ථකත්වය පිලිබඳව බොහෝ ප්‍රශ්නවලට තවමත් නිසි පිලිතුරු නොමැති බවයි. ඇය පවසන පරිදි එන්නතේ ප්‍රතිශක්තිකරනය කොපමන කල් පවතී ද, නව ප්‍රභේදයන් සම්බන්ධයෙන් එහි සාර්ථකත්වය කෙබඳුද යන්න පිලිබඳ තවමත් කිසිවෙකුට අදහසක් නොමැත. එමෙන්ම මානව ප්‍රතිශක්තිකරන පද්ධතිය එන්නතට ප්‍රතිචාර දැක්වීමට සාමාන්‍යයෙන් සති තුනක කාලයක් ගන්නා බවද ඇය සඳහන් කරයි.

ප්‍රජා වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් තවත් ප්‍රකට වෛද්‍යවරයෙකු වන රවී රන්නන්එලිය පෙබරවාරි මස අගදී සිය බ්ලොග් පිටුවෙහි සටහන් කලේ එන්නත්කරනයට සමාන්තරව, වෛරසය පැතිරීම සීමා කිරීම තීරනාත්මක බවයි. පීසීආර් සංඛ්‍යාව ඉහල නැංවීම සහ වේගයෙන් ආසාදිතයන් හුදෙකලා කිරීම එහි වැදගත් කොටසකි.

ආන්ඩුව මෙම විශේෂඥ අදහස් වලට සපුරා පටහැනිව, වසංගතයේ පැතිරයාම කෙරෙහි තීරනාත්මක සාධකයක් වන පාසල් විවෘත කිරීම වඩාත් පුලුල් මට්ටමකින් ඉදිරියට ගෙන යාමට තීරනය කර තිබේ. සාමාන්‍යපෙල විභාගය හේතුවෙන් ලබාදී තිබූ නිවාඩු කාලයෙන් පසු මාර්තු 15 වනදා යලි පාසල් විවෘත කෙරෙන්නේ වසංගතයේ තදබලම ව්‍යාප්තියක් පවතින බස්නාහිර පලාතේ පාසල් වල 5, 11 සහ 13 ශ්‍රේනිද ඊට අන්තර්ගත කරගනිමිනි. 

අප්‍රේල් 19 වනදා වනවිට බස්නාහිර පලාතේ පාසල්වල ඉතිරි ශ්‍රේනිද විවෘත කිරීමට ආන්ඩුව ගෙන ඇති තීරනයට අනුව මිලියන 4ක් ඉක්මවූ පාසල් සිසුන් සහ ලක්ෂ 3කට ආසන්න ගුරුවරුන් වසංගත අවදානමට නිරාවරනය කෙරෙනු ඇත. පාසල් විවෘත කිරීමේ අන්තරාය හෙලිදරව් කරමින් සාමාන්‍යපෙල විභාගය පැවැත්වූ කාල සීමාව තුල සිසුන් 60කට ආසන්න ප්‍රමානයකට වෛරසය ආසාදනය වී තිබේ.

වෛරසය මෙරටින් සොයාගැනුනු මුල්ම මොහොතේ සිටම රාජපක්ෂ ආන්ඩුව එය පාලනය කිරීම සඳහා අවශ්‍ය  සම්පත් යොදවනු ලැබුවේ හැකිතාක් අවමයෙනි. උපරිම දෛනික පරීක්ෂන ප්‍රමානය කිසිම මොහොතක 20,000 ඉක්මවා නොගිය අතර එය වසංගත විශේෂඥයින් නිර්දේශ කල අවම අගයෙන් අඩකටත් මදක් පහලින් පැවතුනි. රෝහල් ධාරිතාවන් ඉහල නැංවීම සඳහා ආන්ඩුව විසින් කිසිඳු ඵලදායී පියවරක් නොගැනුනු අතර සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමානවත් ආරක්ෂක උපකරන සැපයීම අතහැර දමා තිබුනි. ඒ වෙනුවට ආන්ඩුව 2021 අයවැයෙන් සෞඛ්‍යය සේවාවන් සඳහා වෙන් කෙරෙන වියදම් රුපියල් බිලියන 30කින් අඩු කලේය. 

මාර්තු 8 වනදා හිරු රූපවාහිනී නාලිකාවේ සලකුන වැඩසටහනේදී මෙම කප්පාදුව හේතුවෙන් ප්‍රමානවත් සෞඛ්‍ය සේවකයන් බඳවා නොගැනීම, වසංගත මර්දන පියවරයන් අඩපන කරනු ලැබ ඇත්තේ කෙසේදැයි ප්‍රකාශ කිරීමට වසංගත මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී  ප්‍රනාන්දුපුල්ලේට සිදුවිය. පීසීආර් පරීක්ෂන ප්‍රමානය අඩුවී ඇති බව පිලිගත් ඇය ඊට හේතුව ලෙස ප්‍රකාශ කලේ, “පරීක්ෂන සඳහා සාම්පල ගැනීමේ නිරත වූ සෞඛ්‍ය සේවකයන් දැන් එන්නත්කරනයට යෙදවීමට” සිදුවීමයි. 

ආන්ඩුවේ මෙම සාපරාධී පිලිවෙත එන්නත්කරනයේ ආන්තික අවිධිමත්භාවය විසින් ගැඹුරින්ම හෙලිදරව් කරනු ලැබ තිබේ. ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය නිහාල් අබේසිංහ ඊයේ ඉකොනොමි නෙක්ස්ට් වෙත පවසා තිබුනේ “ලංකාවට එන්නත හඳුන්වාදීමේ ව්‍යාපෘතිය අසමත් එකක්” වන බවත් එහි අවිධිමත්භාවය “ලෝක සෞඛ්‍ය  සංවිධානය පවා කම්පනයට පත් කරනු ඇති” බවත්ය. “ඔවුන් අපේ උපදෙස් පිලිනොගන්නේ නම් අපි කාලය නාස්ති කරගත යුත්තේ ඇයි?”දැයි ප්‍රශ්න කරමින් තම ආයතනය මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කරන බව ඔහු පැවසුවේය.

එන්නත හිඟවීම සහ එන්නත්කරන වැඩපිලිවෙලේ අවිධිමත්භාවය හේතුවෙන් බොහොමයක් ජනතාවන්ට එන්නත ලබාගැනීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුනපාන්නට සිදුවී ඇති ආකාරය බහුලව වාර්තා වන්නට පටන්ගෙන තිබේ. ඒ අතරින් බහුතරයක් වයෝවෘද්ධ අයයි. එන්නත ලබාගැනීමට යාමේදී තමන්ට මුහුනදීමට සිදුවූ දුෂ්කරතාවන් විස්තර කරමින් ද අයිලන්ඩ් පුවත්පතට ඇතැම් පාඨකයන් එවා තිබූ ලිපි කිහිපයක අඩංගු කරුනු ආන්ඩුවට එරෙහිව චෝදනා පත්‍රයක් වෙයි.  

කොලඹ ටොරින්ටන් පෙදෙසේ වයෝවෘද්ධ පුද්ගලයෙක් අදාල එන්නත්කරන මධ්‍යස්ථානයකට ගිය නමුත් උදෑසන වරුවේදීම එන්නත් අවසන් වී තිබීම හේතුවෙන් ඔහු මහජන පුස්තකාල පරිශ්‍රයේ මධ්‍යස්ථනයක් කරා යොමුකෙරී ඇත. එහිදී අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් තුන්ඩුවක් ලබාගෙන පැමිනෙන්නැයි පවසන ලදුව තෙහෙට්ටුවට පත් ඔහු එන්නත ලබාගැනීම අතහැර නිවසට පැමින තිබේ. කෝට්ටේ ප්‍රදේශයේ මධ්‍යස්ථානයක සිදුවීමක් වාර්තා කල අයෙකු පවසා තිබුනේ දැඩි හිරු රශ්මියෙන් පීඩිතව දිගු පෝලිමක පැය කිහිපයක් රස්තියාදුවකින් පසු තම වාරය එලඹෙද්දී එන්නත තබා ඒ සඳහා ඉල්ලුම් කරන පෝරමයක් හෝ ඉතිරිව නොතිබූ බවයි. 

දැනට ආනයනය කර ඇති එන්නත් මාත්‍රා ලබාදීමද වියවුලක් බවට පත් කර ඇති තතු තුල ආන්ඩුව ඊයේ නිවේදනය කලේ ඉන්දියාවෙන් ඇනවුම් කර ඇති ඊලඟ තොගය ලබාගැනීම "මඳක්" ප්‍රමාද විය හැකි බවයි. ප්‍රමාදයට හේතුව එන්නත් සැපයුම්කරු වන ඉන්දියාවේ සීරම් ආයතනයේ පසුගිය දා ඇති වූ ගින්න බව ප්‍රකාශ කරමින් ආන්ඩුව ඇඟබේරා ගැනීමට උත්සහ කරන නමුත් එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් ආන්ඩුව මුලසිටම ගෙන ගිය උදාසීන ප්‍රතිපත්තිය මෙම ප්‍රමාදයන් පසුපස ඇති සැබෑ හේතුවයි.  

තම පිලිවෙත්වලට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාවන් අතරින් මතුවෙමින් පවතින විරෝධතාවයන් යටපත් කරගැනීම පිලිබඳව ආන්ඩුවට බරපතල උත්සුකයන් මතුවී තිබේ. එහිදී මහජනතාව අතරට සැබෑ තොරතුරු ලඟාවීම වලක්වාගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගනු ලැබේ. වසංගතයේ සැබෑ තත්වය පිලිබඳ සමීපම අත්දැකීම ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග 4 වනදා පවත්වන ලද සාකච්ඡාවකදී හමුදාපති සිල්වා ඔවුන්ට පැවසුවේ “ඔබගේ අදහස් වැරදි ලෙස අර්ථකථනය වීමට ඉඩ ඇති බැවින් මාධ්‍යට අදහස් දක්වද්දී ප්‍රවේසම් විය යුතු බවයි”.

07 වනදා පැවති කැබිනට් තීරන දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේ, “අවශ්‍ය වුවහොත්, කොවිඩ්-19 වසංගත තත්වය මැඩ පැවත්වීම සඳහා රජය ගෙන යන වැඩපිලිවෙලට බාධා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි”. “බාධා කිරීම්” යනු මොනවාදැයි ඔහු නිශ්චිතව සඳහන් නොකලත් ආන්ඩුවේ මිනීමරු වැඩපිලිවෙලට විරෝධය දක්වන කම්කරු-පීඩිත මහජනතාව, එම වැඩපිලිවෙල හෙලිදරව් කිරීම සඳහා පෙරට එන පුද්ගලයන් සහ සංවිධාන ආන්ඩුවේ ඉලක්කය බව පැහැදිලිය. 

Loading