හැටන් උසාවිය ඕල්ටන් වත්තේ කම්කරුවන්ට දරුනු ඇප කොන්දේසි පනවයි

[පහත පල කෙරෙන්නේ 2021 මාර්තු 12 දින Sri Lankan court imposes harsh bail conditions on Alton estate workers  යන මැයෙන් පල කෙරුනු ලිපියේ සිංහල පරිවර්තනයයි.] 

මාර්තු 10 දා හැටන්හි මහේස්ත්‍රාත් උසාවිය ඕල්ටන් වත්තෙන් අත්අඩංගුවට ගන්නා ලද කම්කරුවන් විසි දෙදෙනෙකුට දරුනු කොන්දේසි සමගින් ඇප නියම කලේ ය. වත්තේ අධිකාරිවරයා වන සුභාෂ් නාරායනන්ට පහර දුන්නේ යයි චෝදනා ලැබ සිටින මෙම කම්කරුවන්ගෙන් බොහෝ දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියවුන්ය.

කම්කරුවන් මත පනවන ලද මර්දනකාරී ඇප කොන්දේසි මෙසේය:

• රුපියල් 15,000ක මුදලක් තැන්පත් කිරීම; මෙය වතු කම්කරුවකුගේ සාමාන්‍ය මාසික වැටුපටත් අධික මුදලකි.

• ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා විසින් සහතික කරන ඥාතීන් දෙදෙනෙකු ශරීර ඇප තැබීම.

• සෑම මාසයක ම අවසන් ඉරිදා ඕල්ටන් වත්තට නුදුරු මස්කෙලිය පොලිස් ස්ථානයට පුද්ගලික ව වාර්තා කොට, සැකකරුවන්ගේ රෙජිස්තරයේ අත්සන් තැබීම

ඇප දුන් කම්කරුවන්ට ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර උසාවියට භාර දෙන ලෙස ද නියෝග කරනු ලැබී ය. ඔවුන් සතුව විදේශ ගමන් බලපත්‍රයක් නැති නම්, ඒ බව සහතික කරන දිවුරුම් ප්‍රකාශයක් භාර දිය යුතු ය.

ඕල්ටන් වත්තේ ලයින් කාමර වාසස්ථාන (ලෝසවෙඅ)

 ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) සහයෝගයෙන් පෙබරවාරි 18දා කම්කරුවන් අටදෙනෙකු හා මාර්තු 1දා තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පසුගිය බදාදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවනු ලැබී ය. අනෙක් කම්කරුවන් 12 දෙනා අඟහරුවාදා සීඩබ්ලිව්සී නායකයන් විසින් පොලීසියට ඉදිරිපත් කොට පසු දින උසාවිය හමුවට පමුනුවනු ලැබී ය.

අත්අඩංගුවට ගන්නා ලද කම්කරුවන්ගේ සමස්ත ලැයිස්තු ව ම සූදානම් කරන ලද්දේ සීඩබ්ලිව්සීයේ උදවුව සහිත ව පොලීසිය හා ඕල්ටන් වත්තෙහි කලමනාකාරීත්වය විසිනි. ඊලඟ නඩු වාරය අප්‍රේල් 28දා පැවැත්වීමට නියමිත ය.

හුදෙක්ම, තමන්ගේ යුක්ති සහගත අයිතීන් සඳහා සටන් කරමින් සිටින මෙම කම්කරුවන් අපරාධකාරීන් ලෙස වතු සමාගම් හා පොලීසිය විසින් හංවඩු ගසා ඇත. කම්කරුවන් හොරුන් ලෙස ද දේපොල විනාශ කරමින් ප්‍රචන්ඩත්වයේ නිරත වී ඇතැයි ද හෙලා දුටු වැවිලිකරුවන්ගේ නීතිඥයා, ඔවුන්ට ඇප දීමට එකහෙලා විරුද්ධ විය.

මෙම දෝෂාරෝපනයන්ට විරෝධය පෑ චුදිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නේරු කරුනාකරන්, කම්කරුවන් නොසැඟවී උසාවියට ඉදිරිපත් වී ඇති බව විස්තර කලේ ය. “නීති-විරෝධී රැස්වීම” හා වත්තේ කලමනාකරුවාට “බරපතල ලෙස හිංසා කිරීම” සම්බන්ධයෙන් ඕල්ටන් වතු කම්කරුවන්ට චෝදනා එල්ල කර ඇත. මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන කම්කරුවෝ කලමනාකරුවාට පහර දීමට තමන් කිසිදු අයුරකින් සම්බන්ධ නැති බව ද කියා සිටිති. වරදකරුවන් යයි ඔප්පු කල හොත්, “බරපතල හිංසා” සඳහා වසර හතක් දක්වා ද “නීති-විරෝධී රංචු ගැසීම” සඳහා මාස හයක් ද වසයෙන් ඔවුන් ව සිරගත කල හැක.

බදාදා නඩු වාරයට දිනකට පෙර, ජනාධිපතිවරයා ප්‍රධානත්වය දරන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක මන්ඩලය, “වතුකරයේ ආරක්ෂාව”  ගැන සාකච්ඡා කිරීමට නියමිත ව තිබුනි.

ඊනියා වතු ප්‍රචන්ඩත්වයෙන් ආරක්ෂා වීම සඳහා වැවිලිකරුවන් ආයුධ හා ආයුධ පුහුනුව ඉල්ලා සිටින බැවින්, වතුකරයේ ආරක්ෂාව එහිදී සාකච්ඡාවට ගැනෙනු ඇති බව, හිටපු රියර් අද්මිරාල්වරයෙක් වන මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මාධ්‍යයට පැවසුවේය. වතුකරය තුල පොලිස් මුර සංචාර ඇතුලු “වැඩිපුර ආරක්ෂාව” ඉල්ලමින්, මාර්තු 3දා වැවිලිකරුවන් 500ක් පමන හැටන් නගරයේ දී විරෝධතාවක් පැවැත්වී ය.

ජාතික ආරක්ෂක මන්ඩලය එම ප්‍රශ්නය සාකච්ඡා කලේ ද කවර පියවරයන් සැලසුම් කලේ ද යන්න පැහැදිලි නැත. මෙම ඉහල පෙලේ මන්ඩලයේ වාර්තාව සාමාන්‍යයෙන් රහසිගත එකකි. කෙසේ වෙතත්, අත්අඩංගුවට පත් ඕල්ටන් කම්කරුවන් මත මර්දනකාරී ඇප කොන්දේසි පැටවීමට එම සාකච්ඡාවන් බලපාන්ට ඇතුවාට නිසැකය.

රුදුරු සිර දඬුවම් පැනවීමට සූදානම් වීම ඇතුලු ඕල්ටන් කම්කරුවන් ව භාජනය කරනු ලබන ම්ලේච්ඡ රාජ්‍ය මර්දනය, මේ වන විට හාම්පුතුන්ට හා ආන්ඩුවට එරෙහි ව අරගලයට පිවිසෙමින් සිටින, වතු කම්කරුවන් හා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් බිය වැද්දීමට දරන දැනුවත් උත්සාහයකි.

ආන්ඩුවේ හා වැවිලිකරුවන්ගේ චෝදනාවලට විපරීත ව, වැඩි වැටුප් ඉල්ලා පෙබරවාරි 2දා වැඩ වර්ජනයට පිවිසි කම්කරුවන්ට එරෙහි ව, ප්‍රකෝපකාරීත්වයන් මාලාවක් ම දියත් කරන ලද්දේ, ඕල්ටන් කලමනාකාරීත්වය යි. සැකසුම් කරන ලද තේ වත්තෙන් පිටතට ප්‍රවාහනය කිරීමට කම්කරුවන් හරස්වූවිට, කාන්තා සේවිකාවකට බරපතල තුවාල සිදු කරමින් කලමනාකරුවා ඔවුන්ට පහර දුන්නේ ය.

ඕල්ටන් කම්කරුවන් ඊට පසු දින ද කලමනාකාරීත්වයේ ප්‍රචන්ඩත්වයට විරුද්ධ ව වැඩ වර්ජනයේ නිරත වූ අතර, දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහල දමන ලෙස බල කරමින් පෙබරවාරි 5දා ජාතික වර්ජනයක නිරත වූ වතු කම්කරුවන් ලක්ෂ ගනනක් සමග ඔවුහු එක් ව වර්ජනය දිගටම ගෙන ගියහ.

වතු කම්කරුවන්ගේ දරිද්‍රතා මට්ටමේ වැටුප් ඉහල දැමීම, ප්‍රාදේශීය වතු සමාගම් හා ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමට එරෙහි ව කම්කරුවන් අතර නැගෙන කෝපය සමහන් කිරීමට උත්සාහයක් දරමින් සීඩබ්ලිව්සීය විසින් පෙබරවාරි 5 වැඩ වර්ජනය කැඳවුම් කරනු ලැබී ය. රාජපක්ෂ ආන්ඩුවේ හවුල්කරුවෙක් වන සීඩබ්ලිව්සීයේ නායක ජීවන් තොන්ඩමන් වතු යටිතල පහසුකම් ඇමතිවරයා ය.

ඕල්ටන් කලමනාකරුවා පෙබරවාරි 5දායින් පසුව වර්ජනය බිඳීම සඳහා අනෙකුත් කම්හල් වෙත තේ ප්‍රවාහනය කිරීමට උත්සාහ දැරීම ඇතුලු ප්‍රකෝපකාරී ක්‍රියාවල අඛන්ඩ ව නිරත වී සිටියේය. කම්කරුවන් පෙබරවාරි 17දා මෙම ප්‍රකෝපකරනයට විරුද්ධ ව ඔහුගේ නිල නිවසින් පිටත විරෝධතාවක් පැවැත්වූ විට, ප්‍රචන්ඩත්වය පිලිබඳ ව්‍යාජ චෝදනා එල්ල කිරීමට එම සිද්ධිය ඩැහැගන්නා ලදී.

ලංකාවේ කම්කරු පන්තියේ අඩුවෙන් ම වැටුප් ලබන කොටසක් වන වතු කම්කරුවෝ, වැඩ වර්ජන හා විරෝධතා මාලාවක් දියත් කරමින් 2015 සිට රුපියල් 1000ක දෛනික වැටුපකට සටන් කලහ. අනුප්‍රාප්තික ආන්ඩු හා හාම්පුතුන් සමග හවුල්වූ සීඩබ්ලිව්සී හා අනෙකුත් වතු සමිති, එම අරගල අඛන්ඩ ව පාවාදුන්හ.

ප්‍රාදේශීය වතු සමාගම් දිගට ම ඉල්ලා සිටින්නේ ඉහල ඵලදායිතාවක් හා නිෂ්පාදන පිරිවැය අඩු කිරීමකි. මෑත වසරවල ඊනියා ආදායම් බෙදාගැනීමේ ක්‍රමයක් ක්‍රියාවට දමන ලෙස වතු හිමියෝ ඉල්ලා සිටිති.

මෙම ආදායම් බෙදාගැනීමේ ක්‍රමය යටතේ, කම්කරුවන්ට යම් තේ පඳුරු ප්‍රමානයක් පවරා, ඒවා නඩත්තු කිරීම හා අස්වනු නෙලීම අදාල කම්කරුවාගේ සමස්ත පවුලට භාර දෙනු ලැබේ. පොහොර හා උපකරන වැනි සැපයුම්වල පිරිවැය සහ ලාභය අඩු කරගන්නා සමාගම, අස්වැන්නේ “ආදායමින් කොටසක්” කම්කරුවන්ට ලබාදෙයි.

සමහර වතුවල මෙම ක්‍රමය පැනවීමට වැවිලිකරුවන් උත්සාහ දැරූ විට, එම ක්‍රමය යටතේ උපයා ගන්නා ආදායමින් ජීවත් විය නො හැකි බව හා දැනට පවතින විශ්‍රාම වැටුප් අහිමි වී යන බව දැනගත් කම්කරුවෝ, ඊට එරෙහිව වැඩ වර්ජන දියත් කලහ.

රාජපක්ෂ ආන්ඩුව රුපියල් 900ක මූලික වැටුපක් හා රුපියල් 100ක දීමනාවකින් ඇතුලු රුපියල් 1000ක දෛනික වැටුපක්, මේ මස මුල දී ප්‍රසිද්ධ කලේ ය. එම රුපියල් 1000 වැටුප ගෙවීම ද ක්ෂනික ව ප්‍රතික්ෂේප කල ප්‍රාදේශීය වතු සමාගම්, ආන්ඩුව රුපියල් 1000 ගෙවීමට අනවන්නේ නම්, නිශ්චිත වාර්ෂික වැඩ දින ගනන අඩු කරන බවට තර්ජනය කර ඇත.

ආන්ඩුවේ ආශීර්වාදය ලබන සමහර වතු, මෑත මාසවල දී වැඩ පරීක්ෂකයන් ලෙස විශ්‍රාමික මිලිටරි නිලධාරීන් පත් කිරීම ද අරඹා ඇත. මධ්‍යම වතු දිස්ත්‍රික්කයේ රාගල නමැති ඈත ප්‍රදේශයේ පිහිටි මාකුඩුගල හා කිලන්දවනේ යන වතුවල මිලිටරි වැඩ පරීක්ෂකයන් සේවයේ යොදවා ඇතැයි ටැමිල් මිරර් පත්‍රය වාර්තා කර තිබේ.

වත්තේ සමහර ප්‍රදේශවල තේ වැවීම අඩු කිරීමට කලමනාකාරීත්වය ක්‍රියාකරන බැවින්, කම්කරුවෝ මාර්තු 8දා වැඩ වර්ජනය කල හ. එහෙත් කම්කරුවන්ගේ වර්ජනයට සැබෑ හේතුව ලෙස පෙනෙන්නේ මිලිටරි භටයන් පත්වීම කෙරෙහි කම්කරුවන් අතර පවතින විරෝධය යි.

රාජපක්ෂ පාලන තන්ත්‍රය හා වතු හාම්පුත්තු හුදෙක් වතු කම්කරුවන්ගේ නැගෙන විරෝධය හා කාර්මික ක්‍රියා පිලිබඳ ව පමනක් නොව, සෞඛ්‍යය, දුම්රිය හා වරාය කම්කරුවන් අතර වර්ධනය වන අරගල කෙරෙහි ද උත්සුක වෙති. වැඩෙන අතෘප්තිය හා කොවිඩ්-19 වසංගතයේ සමාජීය බලපෑම හේතුවෙන් තැතිගෙන සිටින රාජපක්ෂ තන්ත්‍රය හා පාලක ප්‍රභූව ආඥාදායක පාලනයක් සූදානම් කරමින් සිටිති.

වතුකරය තුල ඉහල යන රාජ්‍ය මර්දනය, හුදෙක් සීඩබ්ලිව්සීයේ පමනක් නො ව, දේශපාලනික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වන අනෙක් සියලු වතු වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වය හෙලිදරව් කර තිබේ. කඳුරට ජනතා පෙරමුන, ජාතික කම්කරු සමිතිය, ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන සමස්ත ලංකා කම්කරු සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය හෝ ලංකා ජාතික වතු කම්කරු සමිතිය යන වතු සමිතිවලින් කිසිවක්, ඕල්ටන් වත්තේ කම්කරුවන් රාජ්‍යයේ බොරු නඩුවලට යටත් කිරීමට හා චෝදනාවලට බඳුන් කිරීමට විරුද්ධ වී නැත.

සියලු ඕල්ටන් කම්කරුවන්ට එරෙහි චෝදනා වහා හකුලා ගන්නා ලෙසත්, ඔවුන් ව කොන්දේසි විරහිත ව නිදහස් කරන ලෙසත් ඉල්ලමින්, සමාජවාදී සමානතා පක්ෂය ගෙන යන උද්ඝෝෂනයට සහයෝගය දෙන ලෙස ප්‍රජාතාන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන සියලු දෙනාගෙන් අපි ඉල්ලමු. සහයෝගය පල කරන ප්‍රකාශ එවිය යුත්තේ මෙම ලිපිනයට  යි.

Loading