වතු සමාගම හා පොලීසිය එක් ව එල්ල කල ප්‍රහාරයේ දී ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගනී

[පහත පල කෙරෙන්නේ 2021 පෙබරවාරි 23 දින Eight Sri Lankan plantation workers arrested in company-police attack යන මැයෙන් පල කෙරුනු  ලිපියේ  සිංහල පරිවර්තනයයි.]

මස්කෙලියේ අප්කොට්හි ඇල්ටන් තේ වත්තේ වැඩ වර්ජනයේ යෙදී සිටින කම්කරුවන් අට දෙනෙකු පොලීසිය විසින් පෙබරවාරි 17දා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන ලදී.

රුපියල් 1000ක මූලික දෛනික වැටුපක් ඉල්ලා පෙබරවාරි 3දා වැඩ නැවැත්වූ 500ක් පමන වන ඇල්ටන් වත්තේ කම්කරුවන්ගේ අඛන්ඩ වැඩ වර්ජනය බිඳීම ඉලක්ක කරගෙන සමාගම හා පොලීසිය දියත් කරන ඒකාබද්ධ මෙහෙයුමක කොටසක් ලෙස අත්අඩංගුවට ගැනීම් සිදු විය.

ඇල්ටන් වත්තේ ලයින් කාමර නිවහන් (ලෝසවෙඅ මාධ්‍ය)

එස්. බුවනේසරී, ගනපති දේවි, ජී. ෂාතීස්වරී, ෆ්‍රැන්සිස් තිරේසම්මාල්, මාරිමුතු තමිල්සෙල්වි, යෝහශක්ති, එම්. කේ. ශානීතුනී හා ආන්දිමුතු විස්වකේතු යන කම්කරුවන් අට දෙනා වහා ම නිදහස් කරන ලෙස ඇල්ටන් වත්තේ වර්ජකයෝ දැන් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වතු වෘත්තීය සමිතිය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවේ දේශපාලන පාර්ශවකරුවෙක් වන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) මෙම ප්‍රහාරයන්ට ක්‍රියාශීලී ව සහයෝගය දී ඇත.

පෙබරවාරි 17දා, කම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය දැරූ උත්සාහයන්ට වර්ජකයෝ විරෝධය පෑ හ. එහෙත් සමිතියේ උප සභාපති කනගරායි, මස්කෙලියේ ප්‍රාදේශීය නායක රාජරාම් හා මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ සභාපති සෙනපහවල්ලි ඇතුලු වත්තට පැමිනි සීඩබ්ලිව්සී නායකයෝ, කම්කරුවන් පොලීසියට භාර දීමට මැදිහත් වූ හ.

සීඩබ්ලිව්සී නිලධාරීන් කියා සිටියේ, කම්කරුවන් අට දෙනා පොලීසියට ගෙන යනු ලබන්නේ ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමට පමනක් බව යි. එහෙත් හැටන් මහේස්ත්‍රාත් අධිකරනය ඉදිරියට ගෙන එනු ලැබූ අත්අඩංගුවට ගන්නා ලද කම්කරුවන් අට දෙනා, දවස් 14කට බන්ධනාගාරගත කරනු ලැබූ හ. දැන් ඔවුහු කඳුරට අගනගරය වන මහනුවර පිහිටි බන්ධනාගාරයේ කල් ගෙවති.

ඇල්ටන් වත්තේ කම්කරුවන් දඩයම් කිරීම, තම දරිද්‍රතා මට්ටමේ වැටුප්, ඉසිලිය නො හැකි වැඩ ප්‍රමානයන් සහ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත දැඩි කරන ප්‍රහාරයන් අරබයා වඩ වඩා හතුරු ආකල්පයක් ගන්නා වතු කම්කරුවන්ට එරෙහි ව ආන්ඩුව හා සමාගම් එල්ල කරන පලල් මර්දනයක කොටසකි.

මෙම ගැඹුරට ගිය කෝපය සමහන් කොට පාවාදීමේ ගනුදෙනුවක් පැටවීමට උත්සාහ දරමින්, සීඩබ්ලිව්සීය පෙබරවාරි 5දා රුපියල් 1000 ඉල්ලීම මුල් කරගෙන එක් දින වැඩ වර්ජනයක් කැඳවී ය. දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලමින් සිටින මෙම වැටුප් වැඩි කිරීම ජයග්‍රහනය කිරීමට සහ අනෙකුත් ඉල්ලීම් සුරක්ෂිත කරගැනීමට අධිෂ්ටානවත් වූ වතු කම්කරුවන් 200,000ක් පමන දෙනා වැඩ වර්ජනයට සහභාගි වූ හ.

ඇල්ටන් වත්තේ කම්කරුවන් අමතන සසප සාමාජික දේවරාජා (ලෝසවෙඅ මාධ්‍ය)

ඇල්ටන් වත්තේ කම්කරුවන්ගේ අරගලය වැනි මෑත කාලීන ව වතු කම්කරුවන් හා කලමනාකාරීත්වය අතර හටගත් ගැටුම් ඩැහැගත් වතු සමාගම්, රාජ්‍ය මර්දනය දැඩි කරන ලෙස විධානය කොට තිබේ.

මෑත දී අගමැති මහින්ද රාජපක්ෂට ලිපියක් යැවූ ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ලේකම් ලලිත් ඔබේසේකර, කම්කරුවන්ට විරුද්ධ ව රාජ්‍ය මැදිහත් වීම ඉල්ලා සිටියේ ය. “ප්‍රාදේශීය වතු සමාගම්වල තේ නිෂ්පාදනය කඩාකප්පල් කිරීම පිනිස ... මැරයන් විසින් දියත් කරන ලද ...ප්‍රචන්ඩත්වයේ හා බියවැද්දීම සඳහා සංවිධානය කල උද්ඝෝෂනයකට” වතු කලමනාකරුවන් මුහුන දී සිටින බව ඔබේසේකර ව්‍යාජ ලෙස කියාපෑවේ ය.

“නීතියේ හා සාමයේ එවන් ව්‍යසනකාරී බිඳවැටීමකට අවසර දෙන්නේ කෙසේ ද යන්න හා වතු තුල ප්‍රචන්ඩත්වය අවුලුවමින් සිටින පුද්ගලයන්ට එරෙහි ව පලක් ඇති පියවරක් තවමත් නො ගෙන ඇත්තේ මන් ද යන්න ගැන අපි විමසිලිමත් වෙමු.”

වැඩි වැටුප් ඉල්ලා ඇල්ටන් වත්තේ කම්කරුවන් ඔවුන්ගේ අඛන්ඩ කාර්මික ක්‍රියාවට පිවිසියේ, සීඩබ්ලිව්සීය පෙබරවාරි 5දා දියත් කල එක්දින ජාතික වර්ජනයට දින දෙකකට පෙරාතුව ය. වැඩ නැවැත්වීමට දිනකට පෙර, පෙබරවාරි 2දා, ඇල්ටන් වත්තේ කම්කරුවෝ, වත්තේ කම්හලේ සිට කොලඹ දක්වා සැකසුම් කල තේ ප්‍රවාහනය කරන ලොරියකට බාධා කිරීමට උත්සාහ කල හ.

තුවාල ලබා රෝහල්ගත කරන ලද කාන්තා කම්කරුවෙකුට -මැය සීඩබ්ලිව්සී ප්‍රාදේශීය නායිකාවකි- කායික ව පහර දෙමින් ඇල්ටන් වත්තේ කලමනාකරු ප්‍රතිචාර දැක්වී ය. ප්‍රහාරය ගැන කම්කරුවන් විරෝධය පලකිරීමෙන් පසුව, ඊට පසුදා කලමනාකරු අත්අඩංගුවට ගත් නමුත්, වහා ම අධිකරනයට ඉදිරිපත් කොට ඇප දෙනු ලැබී ය.

ඊට විපරීත ව, පෙබරවාරි 2දා කම්කරුවන්ගේ ක්‍රියාව බිඳ දැමීම පිනිස වතු කලමනාකරුවෙක් පොලීසිය කැඳවූ විට, කම්කරුවන්ට තර්ජනය කරමින් හා ලොරියට ධාවනය කිරීමට ඉඩ දෙන ලෙස නියෝග කරමින්, පොලීසිය ක්ෂනික ව මැදිහත් විය. වත්තේ කම්හලේ සිට කිලෝමීටර තුනක් දුරින් පිහිටි මල්ලිහයිපු හන්දිය වෙත වාහනය ලඟා විය. ඇල්ටන් කම්කරුවන්ගේ කෝපය නිෂ්ක්‍රීය කිරීමේ උත්සාහයක නිරත වූ සීඩබ්ලිව්සී නායක සෙන්පහවල්ලි ලොරිය හන්දියේ දී නවත්වා ආපසු කම්හල බලා යන ලෙස රියදුරාට කීවේ ය.

වෘත්තීය සමිතියේ නියෝග නො තකා දිගට ම ඇදෙන වැඩ වර්ජනය බිඳීමට සීඩබ්ලිව්සීය දරන උත්සාහයන්, එය සමාගම හා පොලීසිය සමගින් ඇල්ටන් කම්කරුවන්ට එරෙහි ව ඒකාබද්ධ වීම සමග බැඳී තිබේ.

වැඩ වර්ජනයේ යෙදෙන ඇල්ටන් කම්කරුවන් 50ක් පමන, පෙබරවාරි 7දා කොටගල නගරයේ පිහිටි සීඩබ්ලිව්සී නායක ජීවන් තොන්ඩමන්ගේ කාර්යාලයට ගියේ, ඔවුන්ගේ අඛන්ඩ වැඩ වර්ජනයට ඔහු සහාය දිය යුතු බව ඉල්ලා සිටීමට යි. රාජපක්ෂ ආන්ඩුවේ වතු යටිතල පහසුකම් ඇමති වන තොන්ඩමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ ය.

සීඩබ්ලිව්සීයේ ද්‍රෝහීත්වයෙන් ගැම්ම ගත් ඇල්ටන් වත්තේ කලමනාකාරීත්වය, පෙබරවාරි 15දා වත්තේ එක් කොටසක වර්ජනය බිඳීමේ මෙහෙයුමක් සංවිධානය කලේ ය. එහෙත්, කෝපයට පත් වැඩ වර්ජකයෝ මැදිහත් ව, ත්‍රී-රෝද රථයකින් නෙලන ලද තේ දලු වත්තේ තවත් කම්හලකට ප්‍රවාහනය කිරීම අවහිර කල හ.

ඊට පසුදා, වැඩ වර්ජකයන් කන්ඩායමක්, වත්තේ කලමනාකරුවාගේ නිල නිවසින් පිටත උද්ඝෝෂනයක් පැවැත්වූ හ. හොරිකඩ මෙහෙයුමට එරෙහි විරෝධතාව තුල “ප්‍රචන්ඩව” හැසිරුනේ යයි චෝදනා කරමින්, කම්කරුවන් ව අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියෙන් ඉල්ලමින්, කලමනාකාරීත්වය ඊට ප්‍රතිචාර දැක්වී ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කල ඇල්ටන් වත්තේ කාන්තා කම්කරු කන්ඩායමක්, සීඩබ්ලිව්සීයේ ද්‍රෝහී ක්‍රියා කලාපය හෙලා දුටුවෝ ය. ඉන් එක් කම්කරු කාන්තාවක්, පෙබරවාරි 17දා පොලීසිය වත්තට පැමිනි විට, අත්අඩංගුවට ගත යුත්තේ කව්දැයි ඔවුන්ට පැහැදිලි අදහසක් නො තිබූ බව පැවසුවා ය. පොලිස් ස්ථානයට යැවිය යුතු කම්කරුවන් තේරූ සීඩබ්ලිව්සී නායකයන් වන කනගරායි, රාජරාම් හා සෙන්පහවල්ලි ඔවුන්ට එහි යන ලෙස බල කල හ.

තවත් ඇල්ටන් කම්කරුවෙක් මෙසේ පැවසී ය: “පොලීසිය වත්තට පැමිනි විට අපි සියලු දෙනා එකමුතු වී කම්කරුවන් අට දෙනා අත්අඩංගුවට ගැනීම වැලැක්වූවා. ඒත් ‘පොලීසිය ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම පමනක් කරන නිසා, ඕගොල්ලො ඒගොල්ලන්ට පොලීසියට යන්න ඉඩ දිය යුතු යි’ යි සීඩබ්ලිව්සී නායකයන් අපට කීවා.

“අත්අඩංගුවට ගත් අය නිදහස් කරන ලෙස ඉල්ලමින් පොලිස් ස්ථානයෙන් පිටත විරෝධතා දැක්වීමට අපි සියලු දෙනා සූදානමින් සිටියත්, වෘත්තීය සමිති නායකයන් අපට එහි යාමට අවසර දෙන්නේ නැහැ. කම්කරුවන් පොලිස් ස්ථානයෙන් නිදහස් කරනු වෙනුවට, පීසීආර් පරීක්ෂන සඳහා ඔවුන් ව දික්ඔය මූලික රෝහලට ගෙන ගියා. හවස ඒගොල්ලන් ව උසාවියට ගෙන ගොස්, දවස් 14කට බන්ධනාගාරගත කලා.

“සියලු වෘත්තීය සමිති අප ව පාවාදී තිබෙනවා. පොලීසිය, උසාවිය, වෘත්තීය සමිති හා ආන්ඩුව වතු සමාගම් සමග එකතු වී අපට විරුද්ධ ව කටයුතු කරනවා. ඔවුන් නිදහස් කරගෙන මිසක් අපි වර්ජනය අවසන් කරන්නේ නැහැ. අපේ අරගලයට සහයෝගය දෙන ලෙස අපි අනෙකුත් සියලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.”

ඇල්ටන් වත්තේ කම්කරුවන්ගේ අධිෂ්ටානවත් සටන, පොලීසිය වතු සමාගම් ආරක්ෂා කරන්නේ කෙසේ ද යන්න පමනක් නො ව, කම්කරුවන් දඩයම් කිරීමේ දී සමාගම හා පොලීසිය සමග සීඩබ්ලිව්සීය හා අනෙකුත් සමිති ඒකාබද්ධ වන්නේ කෙසේදැයි යන්න ද හෙලිදරව් කරයි.

ශිෂ්ට සම්පන්න වැටුප් හා අනෙකුත් මූලික සමාජ අයිතීන් සඳහා වන අරගලය ගෙන යාමට, වෘත්තීය සමිතිවලින් බිඳී වෙන් විය යුතු වතු කම්කරුවෝ, සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත පදනම් වන ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගමින්, ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ ඒ හා සමාන ප්‍රහාරවලට මුහුන දෙන අනෙකුත් කම්කරුවන් සමග එකමුතු විය යුතු ය.

“වතු සමාගම් හා වෘත්තීය සමිතිවල වැටුප් යෝජනා ප්‍රතික්ෂේප කරනු! ශිෂ්ට සම්පන්න වැටුප් හා වැඩ කොන්දේසි සඳහා සමාජවාදී වැඩපිලිවෙලට සටන් වදිනු! ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!” නමැති ප්‍රකාශය පලල් ව බෙදාහරිමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) වතු කම්කරුවන්ගේ අරගලයට හා පෙබරවාරි 5 එක් දින ජාතික වර්ජනයට ක්‍රියාකාරී ව මැදිහත් වී ඇත.

සසප විශ්ලේෂනයට බලගතු ලෙස ප්‍රතිචාර දැක්වූ ඇල්ටන් වත්තේ කම්කරුවෝ, පෙබරවාරි 21දා මෙම ලේඛකයා ඇමතූ රැස්වීමක දී වත්තේ ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කිරීමට එකඟ වූ හ. අත්අඩංගුවට ගෙන ඇති කම්කරුවන් අට දෙනා වහා ම නිදහස් කරගැනීම සඳහා උද්ඝෝෂනය කිරීමටත්, මෙම අරගලයට එක්වන ලෙස අනෙකුත් වතුවල කම්කරුවන්ට ආයාචනා කිරීමට පොරොන්දු වන්නා වූත් යෝජනාවක් ද මෙම රැස්වීමේ දී සම්මත කරනු ලැබී ය.

Loading