ග්‍රෑන්ඩ්පාස් හි කජීමා වත්තේ තාවකාලික නිවාස 50 ක් ගින්නෙන් විනාශ වෙයි

කොලඹ, ග්‍රෑන්ඩ්පාස් හි, කජීමා වත්තේ ඇතිවූ ගින්නකින් තාවකාලිකව ගොඩනගා ගත් නිවාස 50ක් ගිනිගෙන විනාශ වී තිබේ. මාර්තු 15 දින අලුයම 2.40ට පමන නිවාස දෙකකින් ආරම්භවූ ගින්න මිනිත්තු ගනනාවක් ඇතුලත තම නිවෙස් අලලාගෙන පැතිර ගිය අතර තමන් සතුව පැවති කිසිවක් ගින්නෙන් මුදා ගැනීමට නොහැකිවූ බව නිවැසියෝ පවසති. 

පොලීසිය සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් මහජනයාගේ සහයෝගයෙන් ගින්න පාලනය කර ඇත. ගින්නෙන් නිවාස අහිමි වූ පවුල් කුඩා ලමුන්ද සමග අතරමංව සිටින අතර ආන්ඩුවේ කිසිවෙකුත් මොවුනගේ පිලිසරනට නොපැමිනි බව ප්‍රදේශවාසීහු පවසති.

කජීමා වත්ත පැල්පත් දැවීයාමෙන් පසු

ගින්න හට ගත්තේ වසා දමා තිබූ ගෙදරක දල්වා තිබූ ලාම්පුවකින් යැයි පොලීසිය සැකකරන නමුත් එම නිවසේ පදිංචිකරුවන්  එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බව කජීමා වත්තේ නිවැසියෙකු වන ත්‍රිරෝද  රථ රියදුරෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියේය. 

ඔහු මෙසේ පැවසීය.“මේ ගින්න එපමන වේගයෙන් පැතිර ගියේ කෙසේද යන්න ප්‍රශ්නයක්. මීට පෙරත් ගිනිගෙන තියෙනවා. මහජනයා එකතුව එක නිවසකින් ගින්න නිවා දමනවා. පැය භාගයක් යනකොට ගෙවල් 50ක් දැවී අලු උනා. හරියට පෙට්රල් දමා ගිනි තිබ්බා වගේ ඇවිලීගියේ. අවට මහජනයාට ගින්න පාලනය කරන්න බැරිවුනා.” කවෙරෙකු හෝ ගිනි තැබුවේද යන සැකය ප්‍රදේශවාසීන්ට මතුව ඇතිබව ඔහු පැවසීය.

කජීමා වත්තේ ගිනිගත් නිවාස(ලෝසවෙඅ)

ගින්න ආරම්භවූ නිවසේ ගෘහ මූලිකයාගෙන් පොලීසිය ප්‍රශ්න කර ඇත. අසල සමාගමක රියදුරෙකු ලෙස සේවයේ යෙදෙන ඔහු එදින රාත්‍රී සේවය සඳහා පිටත්ව ගොස් ඇති අතර ඔහුගේ බිරිඳ දරුවන්ද කැටුව තම මවගේ නිවසේ රාත්‍රිය ගත කර ඇත.

“එම නිවැසියා මට පැවසුවේ ඔවුනගේ ගෙදර භූමිතෙල් ලාම්පුවක් නොමැති බවයි. ඔවුනගේ නිවසට විදුලි බල පහසුකම් තිබෙනවා” යයි ඉහත ත්‍රිරෝද රථ රියැදුරා කියා සිටියේය. මේ පිලිබඳව පරීක්ෂනයක් කිරීම රජයේ රස පරීක්ෂක වෙත පවරා ඇති බව වාර්තාවේ.

නිවාස විනාශවූවන්ගෙන් කොටසක් කජීමා වත්තේ ප්‍රජා ශාලවේ ද, සෙසු පිරිස තම ගිනි ගත් නිවාස අසල අටවාගත් කූඩාරම්වල ද තවමත් රැඳී සිටිති. හමුදාවෙන් සීමිත කෑම ප්‍රමානයක් බෙදා දී ඇති නමුත් වත්තේ සෙසු නිවැසියෝ එක්ව ඔවුනට ආහාර සපයමින් සිටිති. මෙම වත්තේ මුස්ලිම්, සිංහල සහ දෙමල පවුල් එක්ව වාසය කරති.

විනාශයට ගොදුරුවූ නිවැසියන්ට වහාම නිවාස ලබා දිය යුතු බව පලාත්වාසීන්ගේ ඉල්ලීම බව තවත් නිවැසියෙක් කියා සිටියේය. ඔහු පැවසූ පරිදි කජීමා වත්තේ නිවාස 270ක් පමන ඇතත් ඒවා තාවකාලිකව ගොඩනගා ගත් නිවාසයන් ය. මෙම නිවාස තද සුලඟකදී විනාශ වී යා හැකි අතර වැසි කාලයේදී ඒවයේ ජීවත්වීම ඉතා අපහසුය.

කජීමා වත්තේ පැල්පත් සමූහය (ලෝසවෙඅ සංරක්ෂනයෙනි)

ත්‍රිරෝද රථ රියදුරු මෙසේද පැවසීය.“ශ්‍රී ලංකා පොදු පෙරමුන ජනාධිපතිවරනය ආසන්නයේදීත් මහමැතිවරනය ආසන්නයේදීත් ස්ථීර නිවාස දෙන බවට පොරොන්දුවුනා. නමුත් මෙතෙක් ලබාදුන්නෙ නැහැ. මෙම වත්තේ සිදුවන විනාශයන්ට පසුගිය ආන්ඩු වගකිව යුතුයි.

“මේ විනාශයෙන් පසුව මෙතෙක් ආන්ඩුවෙන් කිසිවෙක් මේ ප්‍රදේශයට පැමිනියේ නැහැ. විරුද්ධ පක්ෂයේ නායකයා ඇවිත් උදව්වක් කරන බව පැවසුවා..නගරාධිපති රෝසි සේනානායක පැමින සාකච්චාකර පිලියමක් යොදන බව කිවුවා. ඒත් තාම කිසිම පිලිසරනක් නැහැ.

“අපි බලාපොරොත්තු වන්නේ ස්ථීර නිවාස. කොලඹ නගරයෙන් පිටත අපිට පදිංචි වෙන්න බැහැ. අපේ රැකියාවල් කරන්නෙ, ලමයි පාසැල් යන්නේ මේ ප්‍රදේශ වලයි. 

අවට මහල් නිවාසයන්හි තවමත් පදිංචි නොකල නිවාස ඒකක පවතින බවත්, එම නිවාස ලබා නොදෙන්නේ ඔවුන් “අනවසර නිවැසියන්” ලෙස නම් කර කොලඹ නගරයෙන් වෙනත් ප්‍රදේශයකට පලවා හැරීමට ද යන සැකය මතුව ඇති බවත් නිවැසියෙක් පැවසීය.

2016 මාර්තු 16 දින කජීමා වත්තේ නිවාස 200ක් පමන නාගරික සංවර්ධන අධිකාරියෙන් (නාසඅ) පැමින බුල්ඩෝසර කර බිමට සමතලා කලේ නිවෙස් වල තිබූ ලී බඩු, ලමයින්ගේ පොත් පත්, මුලූතැන්ගෙයි බඩු භාන්ඩ විනාශ කරමිනි. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දැමූ මහා නගර ව්‍යා පෘතිය යටතේ දුගී නිවැසියන් කොලඹ නගරයෙන් පලවා හැර ඉඩම් ආයෝජකයන්ට පවරාදීමට කොන්දේසි සැකසීම මෙම ප්‍ර හාරයේ අරමුන විය. 

මෙම අරමුනෙන්ම ක්‍රියාවට දැමුනු මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ කොලඹ සංවර්ධන ව්‍යාපෘතිය මගින් ද  කොලඹ නගරයෙන් දුගී නිවැසියන් පලවා හැරිනි. 2016දී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇස්තමේන්තු කර තිබූ පරිදි 280,000 ත් 500,000 ත් අතර පදිංචිකරුවන් කොලඹින් ඉවත්කිරීමට සැලසුම් කර තිබුනි.

මෙවන් අනාරක්ෂිත ජීවිතයකට මෙම පවුල් ඇද දමා ඇත්තේ පසු ගිය ආන්ඩු කොලඹ නගරයේ දුගී නිවාස කඩා ඉවත් කිරීමේදීය. කොම්පඤ්ඤවීදිය, ඇපල් වත්ත ඇතුලු ප්‍රදේශ වලින් ඉවත් කල නිවැසියන් 2014 සිට කජීමාවත්තේ  පදිංචි කර ඇත. ඉඩම් සඳහා ඔප්පු ඉදිරිපත් කල කොටසකට මහල් නිවාස ලබා දුන් නමුත් අනෙක් නිවැසියන් “අනවසර පදිංචිකරුවන්” ලෙස නම්කොට නිවාස ලබාදුන්නේ නැත. ඔවුනගේ බරපතල විරෝධය මධ්‍යයේ පසුව ඉන් කොටසකට මහල් නිවාස ලැබී ඇතත් පසුව පදිංචි කල පවුල්ද සමග පවුල් 250 -270 ක් පමන කජීමා වත්තේ තාවකාලික නිවාසයන්හි මෙතෙකුදු පදිංචිව සිටිති.

මෙම නිවැසියන්ගෙන් අතිමහත් බහුතරයකට  ස්ථිර රැකියා නොමත. එදිනෙදා වේල පිරිමසා ගන්නේ අසීරුවෙනි. කොලඹ දුගී නිවැසියන් පිලිබඳ බොහෝ සමීක්ෂනවලින් හෙලි වී ඇත්තේ ඔවුන්ගේ දෛනික ආදායම ඇමරිකානු ඩොලර් 2 (රුපියල් 380) ට වඩා අඩු බවයි. ගිනි ගැනීමෙන් පසුව කජීමා වත්තේ නිවැසියන් අතර විරෝධතා උද්ඝෝෂන ඇවිලී යෑම වැලැක්වීම සඳහා මේ වන විට පොලීසිය රඳවා ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව කොලඹ ඉඩම් ආයෝජකයන්ට පැවරීම ඉදිරියට ගෙන යමින් සිටී. බේරේ වැවට යාබද අක්කර 3 ක ඉඩමක්   සිංගප්පූරු සමාගමකට දීර්ඝ කාලීනව බදු දීම සම්බන්ධයෙන් අගමැති සහ මුදල් අමාත්ය මහින්ද රාජපක්ෂ, 2020 ජනවාරි මාසයේ යෝජනාවක් ඉදිරිපත් කල බව මාධ්‍යවල පල විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව කොලඹ නගරය තුල වටිනා ඉඩම් විදේශීය සමාගම් වලට දීර්ඝ කාලීනව බදු දුන් නේය. 2013 දී කොම්පඤ්ඤවීදියේ නිවැසියන් බලහත්කාරයෙන් ඉවත්කර අක්කර 8ක් (හෙක්ටයාර් 2.4 ක) ඉඩමක් ඉන්දියානු ටාටා සමාගමට වසර 99කට බදුදෙන ලදී. තවත් අක්කර 3 ක් (හෙක්ටයාර 1.2) පාකිස්තානයේ ඉම්පීරියල් බිල්ඩර්ස් සමාගමට බදු දුනි. කොලඹ නගරය දකුනු ආසියානු වානිජ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ සැලසුමේ කොටසක් ලෙස මෙම බදුදීම් සිදු කෙරිනි.  

මෙවන් පසුබිමක් තුල,  නිවාස 50ක් එක්වර ගිනිගෙන දැවීම සම්බන්ධයෙන් කජීමාවත්තේ නිවැසියන්ට මතුවී ඇති සැකය සෑම අතින්ම සාධාරනය. 

Loading