වසංගතය මධ්‍යයේ ආන්ඩුවේ පිලිවෙත් රැකියා විනාශය හා ජීවන වියදම් ඉහල යාම වේගවත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ පිලිවෙත් සකසන්නෝ, කොවිඩ්-19 වසංගතය විසින් ගැඹුරු කොට ඇති ආර්ථික අර්බුදය විසඳීමේ ප්‍රතිකර්මය ලෙස ජාතිකවාදී ප්‍රතිපත්ති තොරොම්බල් කරති. සැබවින්ම නම් මෙම පිලිවෙත් එල්ල කරනු ලැබ ඇත්තේ, රැකියා හා වැටුප් කප්පාදු කරමින් හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අහස උසට නංවමින්, අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීම පිනිස යි.

ගැඹුරු වන ගෝලීය අර්බුදය මධ්‍යයේ, අපනයනයන් පහලයාමට, සංචාරක කර්මාන්තයේ වැටීමට හා නය ආපසු ගෙවීම් ඉහල යාමට ලංකාවේ ආන්ඩුව මුහුන දෙමින් සිටී. පසුගිය වසරේ පටන්, විදේශ සංචිත ඉවතට ගලා යාම නැවැත්වීමට සමහර භාන්ඩ මත ආනයන තහනමක් පනවා ඇති ආන්ඩුව, “ආර්ථිකය උත්තේජනය කිරීමේ” නාමයෙන් මුදල් අච්චු ගසා ඇත. විශාල කර්මාන්ත බොහොමයක රැකියා හා වැටුප් කප්පාදු කෙරෙමින් තිබේ.

කම්කරුවන් 50,000ක් පමන කම්හල් ගනනාවක සේවයේ යොදවා ඇති, රටෙහි විශාලතම රෙදිපිලි නිෂ්පාදක සමාගම්වලින් එකක් වන බ්‍රැන්ඩික්ස් සමාගම, අවුරුදු 20ක් පරන රත්මලානේ කර්මාන්තශාලාවෙන් කම්කරුවන් 1,000ක් පමන පෙබරවාරි මාසයේ ඉවත් කලේ ය. ඊට වන්දි ලෙස කම්කරුවන්ට දෙන ලද්දේ මාස තුනක වැටුපට සමාන මුදලකි. පසුගිය වසරේ, බ්‍රැන්ඩික්ස් සංගතය එහි අනෙකුත් කර්මාන්තශාලාවලින් සිය ගනනක් දෙනා සේවයෙන් ඉවත් කලේ ය.

කොරෝනා වෛසය කම්කරුවන්ට වැලඳී තිබියදී මිනුවන්ගොඩ කම්හලේ සේවකයන්ගෙන් වැඩ ගැනීම ගැන රුදුරු වාර්තාවක් බ්‍රැන්ඩික්ස් සමාගමට ඇත.

රැකියා කප්පාදුවලට හේතුව ලෙස කලමනාකාරීත්වය දක්වා ඇත්තේ, සේවකයන්ගේ අඩු ඵලදායිතාව හා ජාත්‍යන්තර ඇනවුම් පහල වැටීමයි. ඉහල වැටුප් ලබන වයස්ගත කම්කරුවන්ට, අසල පිහිටි කම්හලක වැටුප් පහල මට්ටමේ පවතින රැකියා ප්‍රදානය කරනු ලැබීය. කම්කරුවෝ මෙම යෝජනාව ප්‍රතික්ෂේප කල හ. සාපේක්ෂ ව අඩු වැටුප් වලට ශ්‍රමය සූරාකෑම සඳහා, බ්‍රැන්ඩික්ස් සංගතය එහි කර්මාන්තශාලා පවතින බංග්ලාදේශයට නිෂ්පාදනය මාරු කිරීමට සැලසුම් කරතියි කම්කරුවෝ සැක පල කරති.

පසුගිය වසරේ අවසන් මාසවල, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ස්මාට් ෂර්ට්, ඔකායා ලංකා හා ස්ටාර් ගාමන්ට්ස් වැනි කම්හල් සහ කලාපයෙන් පිටතින් පිහිටි එස්ක්වෙල් සමාගම සේවකයන් 3,500ට අධික පිරිසක් සේවයෙන් ඉවත් කල හ.

ආනයනය කරන ලද වාහන, පිඟන් බඩු හා ටයර් ඇතුලු භාන්ඩ විකිනීමේ නිරත වන ව්‍යාපාරවල රැකියාවන්ට ආන්ඩුවේ ආනයන පාලනය කිරීම් බලපා ඇත. වාහන අංශයේ පමනක්, රැකියා 100,000ක් පමන අහිමි වීම ඇති අතර ඔවුන්ගෙන් යැපෙන 350,000කට එය බලපා තිබේ.

විදේශ විනිමය උපයා ගැනීමේ අපේක්ෂාවෙන් ආන්ඩුව, වසංගතයේ තර්ජනය නො තකා රටට සංචාරකයන් ගෙන්වා ගැනීමේ මංමුලා සහගත උත්සාහයක යෙදෙයි. එහෙත්, එම ක්ෂේත්‍රයේ ලක්ෂ පහකට පමන රැකියා අහිමිවීම ඉන් නතරවී නැත.

ලංකාවේ තරුන විරැකියා අනුපාතය 2020 දෙවන කාර්තුවේදී සියයට 28ට පමන නැග ඇත. ඊට හේතුවී ඇත්තේ, රැකියා කප්පාදු කිරීම හා රැකියා පෝලිමට අලුතින් එකතුවීම නිසාය. තරුන ජනයා අතර කැලඹීම වර්ධනය වන තත්වය තුල, ආන්ඩුව පසුගිය වසරේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් පාලනය කරනු ලබන කාර්ය සාධක බලකායකට, අඩු ආදායම්ලාභී පවුල්වලින් තරුනයන් 100,000ක් බඳවා ගත්තේ ය.

රුපියල් 22,500ක සොව්චම් මාසික දීමනාවක් ඔවුන්ට ගෙවනු ලබයි. රාජ්‍ය අංශයේ විවිධ ආයතනවලට ඔවුන් රැකියා සඳහා අනුයුක්ත කිරීම ආන්ඩුව අරඹා ඇත්තේ, විශ්‍රාම වැටුප් වැනි කිසිදු සමාජයීය අයිතියකින් තොර ව එම දීමනාව ම ගෙවමිනි.

ආනයන පාලනය කිරීම්, ඉහල බදු වැනි ආන්ඩුවේ පිලිවෙත් හා රුපියල අඛන්ඩ ව අවප්‍රමානය වීම නිසා ජීවන වියදම පිම්මේ ඉහල යමින් පවතී. 2020 වසර ආරම්භයේ දී රුපියල් 180ක් වූ එක්සත් ජනපද ඩොලරයේ වටිනාකම දැන් රුපියල් 192-198 අතර පවතින්නේ සියයට 7-10ක පමන අවප්‍රමානය වීමක් පෙන්නුම් කරමිනි.

පසුගිය මාසයේ නිල වාර්ෂික ආහාර ද්‍රව්‍ය මිල උද්ධමනය සියයට 8ක් පමන වූ අතර, පසුගිය වසරට සාපේක්ෂ ව අර්තාපල් අල, පරිප්පු, හාල් මැස්සන්, වියලි මිරිස් හා සීනි වැනි ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල සියයට 10-40 පමන ප්‍රමානයකින් ඉහල ගොස් තිබේ. පසුගිය වසර ආරම්භයේ දී රුපියල් 287ක් වූ මුං ඇට කිලෝග්‍රෑමයක මිල රුපියල් 700ට පමන වැඩි වී ඇත.

ශ්‍රී ලංකාවේ ආහාර පිසීමට අත්‍යවශ්‍ය වන කුලුබඩුවලින් බොහොමයක මිල ගනන් ද තියුනු ලෙස ඉහල ගොස් ඇත්තේ දේශීය සැපයුම ප්‍රමානවත් නො වන හෙයිනි. කහ කිලෝග්‍රෑමයක මිල පස් ගුනයකින් පමන රුපියල් 5,000ක් පමන දක්වා ඉහල ගොස් ඇත.

අධික ආහාර මිල ගනන් පිලිබඳ ව මාධ්‍ය සාකච්චාවකදී වෙලඳ ඇමති බන්දුල ගුනවර්ධනගෙන් ප්‍රශ්න කල විට, ඔහු නරුම ලෙස මෙසේ කීවේ ය: “දෙවන ලෝක යුද්ධය සමයේ අපේ මුතුන් මිත්තන් කොල්ලු, බජිරි වැනි ආහාර පරිභෝජනය කලා. ඒ ආකාරයට, මහජනයා අර්බුදයට මුහුන දිය යුතු යි.”

මෙය ඇමතිවරයාට කට වැරදීමක් නොව, ධනවාදයේ ලෝක අර්බුදය මධ්‍යයේ සෑම රටක ම පාලක පන්ති කම්කරුවන් තල්ලු කරමින් සිටින්නේ, පසුගිය ශතවර්ෂයේ ලෝක යුද්ධ දෙක සමයේ පැවති තත්වයන්ටත් වඩා නරක කොන්දේසිවලට යි.

‘විකල්ප’ පියවර යොදා ගනිමින් ආන්ඩුව ආර්ථිකය කලමනාකරනය කරගනිමින් සිටින බව පෙබරවාරි 12දා පැවති සමුලුවක දී මහ බැංකුවේ අධිපති ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් පැහැදිලි කලේ ය. ඔහු සඳහන් කලේ ආනයන පාලනය, විදෙස් මුදල්වලින් ගනුදෙනු සීමාකිරීම හා ආනයන ආදේශන පිලිවෙත් වැනි ජාතිකවාදී පිලිවෙත් පිලිබඳ ව ය. “සෞභාග්‍යයේ දැක්ම” යනුවෙන් හැඳින්වෙන ජනාධිපතිවරයාගේ හාස්‍යජනක මැතිවරන ප්‍රකාශනයේ කොටසක් ලෙස මෙම පිලිවෙත් හඳුන්වනු ලැබේ.

එහෙත්, මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයන්, කම්කරුවන් හා දුගීන් සඳහා සූදානම් කරමින් තිබෙන භයානක කොන්දේසි පිලිබඳ ව ඇඟවුම් කෙරයි. 1970 ගනන්වල මේ හා සමාන කප්පාදු පිලිවෙත් “තියුනු අප්‍රසාදයක්” ඇවිලවූ බව පිලිගත් ඔහු මෙසේ කීවේ ය: “ඒ කාල සීමාව කරා ආපසු යා යුතු යයි මා කියන්නේ නැහැ, නමුත් ඒ කාල පරිච්ඡේදයේ සමහර අංශ අපි අනුගමනය කරනවා.” 1990ට පෙර ඉන්දියාවේ ජාතිකවාදී පිලිවෙත් ද ඔහුගේ ප්‍රශංසාවට බඳුන් විය.

1970 ගනන්වල පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ලංකා සම සමාජ පක්ෂයේ හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ධනේශ්වර සභාග ආන්ඩුව, ආනයන පාලන හා ආදේශන සහිත ජාතිකවාදී පිලිවෙත් ආර්ථික සෞභාග්‍යය කරා මාවත බව ප්‍රකාශ කලේ ය. යතාර්ථයේ දී ජාතිකවාදී පූච්චානම් යොදා ගන්නා ලද්දේ, ආර්ථික අර්බුදයේ පීඩාවට මුහුන දෙමින් සිටි මහජනයාගේ ගැඹුරු විරෝධය අපසරනය කිරීම පිනිස යි.

එහෙත්, “තෙල් කම්පනය” යනුවෙන් හැඳින්වෙන 1973-1974 සමයේ ඇති වූ තෙල් මිලෙහි ක්ෂනික නැග්මේ බලපෑම වලක්වාලීමට, ලෝකයේ අනෙක් සෑම රටක් මෙන් ම ජාතිකවාදී පිලිවෙත් ගෙනගිය ලංකාවේ ආන්ඩුව ද අසමත් විය. රටෙහි විදේශ මුදල් සංචිත වියලි යද්දී, කප්පාදු පියවර වඩ වඩා පනවන ලදී.

කලුකඩ ශක්තිමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජීවන වියදම ඉහල නැංගේ ය. ආන්ඩුව ආහාර පරිභෝජනය උග්‍ර ලෙස සීමා කලේ ය. හාල් හා මිරිස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රට තුල ප්‍රවාහනය කිරීම පවා තහනම් කරන ලද අතර, හිඟය හේතුවෙන් පාන් බෙදාහරින ලද්දේ සලාක මත ය.

"ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්" තුල විස්තර කරන පරිදි:

“1973-74 තෙල් කම්පන හා ගෝලීය ආර්ථික පසුබෑම ශ්‍රී ලංකාවට තදින් බලපෑවේ ය. විශේෂයෙන් ම තෙල් හා ආහාර ආනයන ඇතුලු ව පිම්මේ ඉහල නැගි භාන්ඩ මිල දරුනු විදේශ විනිමය අර්බුදයක් ඇති කලේ ය. මුදල් ඇමති එන්.එම්.පෙරේරා, ආහාර ආනයන මත දැඩි සීමාවන් පැනවිම, සහල් ප්‍රවාහනයේ දී රාජ්‍ය ඒකාධිකාරය ඇති කිරීම හා වැටුප් කැටි කිරීම මගින් ජාතික ආර්ථික නියාමනය තව තවත් දැඩි කරමින් ඊට ප්‍රතිචාර දැක්වී ය. මෙම ප්‍රතිපත්ති කම්කරු පන්තිය හා ගම්බද ජනතාව අතර දරුනු ආර්ථික අහේනියක් නිර්මානය කලේ ය. වතුකරයේ විරැකියාව, අර්ධ විරැකියාව හා ඉහල නගින මිල ගනන්, අන්ත දුප්පත් කමටත් සිය ගනන් සාගතයෙන් මිය යාමටත් හේතු විය.”

1976 කම්කරුවන්ගේ මහා වැඩ වර්ජනය හා ගම්බද දුගීන්ගේ කැලඹීම මගින් ප්‍රකාශයට පත්වුනු සභාග ආන්ඩුව කෙරෙහි වූ මහජන විරෝධය ගසා කමින්, එක්සත් ජාතික පක්ෂයේ (එජාප) දක්ෂිනාංශික පාලන තන්ත්‍රය 1977 දී බලයට ආවේ ය. රට ගෝලීයකරනයට ඒකාග්‍ර කරමින් හා ලාබ ශ්‍රම වේදිකාවක් බවට පත් කරමින්, එම ආන්ඩුව ජාතිකවාදී පිලිවෙත් වහාම බැහැර කොට විවෘත වෙලඳපොල පිලිවෙත් ක්‍රියාත්මක කිරීම ඇරඹී ය.

ඒකාධිපති විධායක ජනාධිපති පාලනය ස්ථාපිත කල එජාප පාලන තන්ත්‍රය, කම්කරු පන්තිය බෙදීම සඳහා දෙමල-විරෝධී ප්‍රජාගනවාදය තීව්‍ර කලේ ය. සමාජ අයිතීන් කප්පාදු කිරීම කෙරෙහි මතු වූ විරෝධය තලා දැමීම මෙම ප්‍රතිගාමී පියවරයන්ගේ ඉලක්කය විය.

මෙම ඉතිහාසය පෙන්වා දෙන්නේ ලෝක ධනවාදයේ ආර්ථික අර්බුදයට කිසිදු ජාතිකවාදී විසඳුමක් නැති බව යි.

මහ බැංකු අධිපති මෙම ප්‍රකාශ දෙන්නේ ආන්ඩුව දැන් දියත් කරනු ලබමින් පවතින ප්‍රහාර සාධාරනීකරනය කිරීමට යි. වර්තමාන ආර්ථික ව්‍යසනය ජයගැනීමට ජාතිකවාදී පිලිවෙත්වල “සමහර අංශ” අවශ්‍ය කරනු ලබන බව ඔහු අවධාරනය කරන්නේ, වැඩ කරන ජනයාගේ ජීවිකාවන් තවදුරටත් කාබාසිනියා කරනු ඇති කප්පාදු පිලිවෙත් යලි හඳුන්වා දීම පිනිසයි.

මුදල් හිඟයෙන් පෙලෙන ආන්ඩුව විදේශ නය දෙන්නන්ගේ නය වාරික ලෙස 2024 දක්වා වාර්ෂික ව ඩොලර් බිලියන 4.5 බැගින් ගෙවිය යුතු ය. මේ මාසයේ චීනයෙන් ඩොලර් බිලියන 1.5ක හුවමාරු නයක් ගෙන ඇති ආන්ඩුව, නය බර පිම්මේ ඉහල යවමින්, නය ගෙවීම සඳහා අනෙකුත් රටවලින් නය අයදිමින් සිටී. යෝධ මුදල් අච්චු ගැසීමක ආන්ඩුව නිරත වී සිටින්නේ -පසුගිය වසරේ රුපියල් බිලියන 650ක් අච්චු ගසන ලදී- වානිජ නය ගැනීම් වඩා දුෂ්කර අඩියකට වැටෙද්දී ය.

එහෙත් රාජපක්ෂ පාලන තන්ත්‍රයේ පිලිවෙත් මහ ව්‍යාපාරිකයන්ට යෝධ ප්‍රතිලාභ ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ මහ ව්‍යාපාරිකයේ ප්‍රකාශනයක් වන ඩේලිඑෆ්ටීහි විශ්ලේෂනයකට අනුව, අප්‍රේල් 1දායින් අවසන් වන මූල්‍ය වර්ෂයේ පලමු මාස නවය තුල “තෝරාගත් මහා සමාගම් (න)වයක් රුපියල් බිලියන 861ක ඒකාබද්ධ පිරිවැටුමක් හා රුපියල් බිලියන 80.7ක ලාබයක් වාර්තා කර ඇත.” ඔවුන් වසංගතයෙන් ලාභ මඩි තරකරගත්තවුන් ය.