මුස්ලිම්-විරෝධය උත්සන්න කරමින් රාජපක්ෂ ආන්ඩුව බුර්කාව තහනම් කිරීමට සූදානම් වෙයි

මුස්ලිම් කාන්තාවන් තම මුව ආවරනය සඳහා පලඳින බුර්කාව ලංකාව තුල තහනම් කිරීමේ කැබිනට් යෝජනාවකට තමා අත්සන් තැබූ බව, මහජන ආරක්ෂක ඇමති විශ්‍රාමික රියර්අද්මිරාල් සරත් වීරසේකර, මාර්තු 13 දා කලුතර බෞද්ධ විහාරස්ථානයක පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට පවසා ඇත. බුර්කා තහනමට අමතරව රටපුරා පිහිටි මද්‍රාසා පාසල් 1,000 ක් ද තහනමට ලක් කරන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබේ. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හැකි ඉක්මනින් පියවර ගන්නා බවත් බුර්කා තහනමට අදාල කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුනු වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සති කීපයක් තුල සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ද වීරසේකර එහිදී තවදුරටත් පවසා ඇත. 

මේ අතර, ද මෝර්නින්ග් පුවත්පත මාර්තු 15 දා වාර්තා කලේ, සමස්ත මුහුනු ප්‍රදේශය ආවරනය කෙරෙන බුර්කාව පමනක් නොව, ඇස්දෙක විවෘතව තැබෙන නිජාබ් මුව ආවරනයද තහනම් කෙරෙන බව වීරසේකර තම පුවත්පතට පැවසූ බව යි. 

කම්කරුවන් වාර්ගිකව බෙදා ඔවුනගේ පංති ශක්තිය දුබල කිරීමේ අරමුනෙන් ධනපති පාලකයන් පසුගිය කාලපරිච්ඡේදය පුරා වර්ධනය කල මුස්ලිම්-විරෝධි උද්ඝෝෂනය, වැඩෙන පන්ති අරගල හමුවේ රුදුරුම ආකාරයෙන් ඉස්මත්තට ගැනීම සහ මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් කරා යන ගමන වේගවත් කිරීමට කොන්දේසි සකසා ගැනීම රාජපක්ෂ ආන්ඩුවේ ව්‍යායාමය යි. බුර්කා සහ නිජාබ් තහනම එම ව්‍යායාමයේ රුදුරුම පියවරකි. 

මුස්ලිම් විරෝධීන් පල්ලියට පහරදී තිබූ අයුරු 2019 මැයි 17 (‌ලෝසවෙඅ)

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය ගසා කමින් ක්ෂනිකව නව ඉහලකට නංවාගත් මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය යටතේ, මුස්ලිම් තරුනයන් සහ කාන්තාවන් ඇතුලු සියගනනක් අත් අඩංගුවට ගැනුනු අතර, මුස්ලිම් වෘත්තිකයන්, කලාකරුවන් සහ ලේඛකයන් බොරු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තැබීම නොකඩවා සිදුවෙමින් පවතී.      

මෙහි ආසනන්තම සිද්ධිය වනුයේ, විපක්ෂයේ ජාතික සමගි ජන බලවේගයට (ජාසජබ) සම්බන්ධ, බස්නාහිර පලාතේ හිටපු මහ ඇමති අසාද් සාලි අත්අඩංගුවට ගැනීමයි. රටේ “නීතිය” පිලිබඳව කල ප්‍රකාශයක් දඩමීමා කොට ගෙන ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගැනුනේ කුප්‍රකට “ත්‍රස්තවාදය වැලක්වීමේ පනත” යටතේ ය.  

ප්‍රසිද්ධ ස්ථානයන්හි මුහුනු ආවරන පැලඳීම “ජාතික ආරක්ෂාවට සෘජු තර්ජනයක්” බව වීරසේකර කියාසිටි බව ඉහත ද මෝර්නින්ග් වාර්තාවේ සඳහන් වෙයි. මුස්ලිම් හා දෙමල විරෝධී උද්ඝෝෂනය සඳහා ආන්ඩුව යොදාගෙන තිබෙන “ජාතික ආරක්ෂාව” හා “එක් රටක් එක් නීතියක්” යන කඩතුරාවට, සාමාන්‍ය කම්කරු පීඩිත මහජනයාගේ ආරක්ෂාව සම්පාදනය කිරීම හෝ යුක්තිය පසිඳලීම සමග කිසිදු සම්බන්ධයක් නැත. 

පාස්කු ඉරිදා ප්‍රහාරය කල්තියා දැනසිටි, එවක පැවති ආන්ඩුවේ ප්‍රධානීන්, විපක්ෂ නායකයන් සහ ආරක්ෂක අංශ, එම විනාශය වැලැක්වීමට කවර හෝ පියවරක් නොගැනීමෙන් ම මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාලක පංතියේ සැබෑ ආකල්පය ගැඹුරින්ම ප්‍රකාශයට පත්වෙයි. දෙමල ජනතාවට එරෙහිව ගෙනගිය වර්ගවාදී යුද්ධයේදී, විශේෂයෙන්ම එහි අවසන් භාගයේදී, සිවිල් වැසියන් දසදහස් ගනනක් අමුඅමුවේ මරාදැමීම මගින්, කම්කරු-පීඩිත මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තම ආකල්පය කුමක්ද යන්න මෙම පාලක පංතිය ඓතිහාසිකව සනාථ කර ඇත.   

සැබැවින්ම, ධනපති පාලක පංතිය “ජාතික ආරක්ෂාව” යනුවෙන් සලකනු ලබන්නේ, කම්කරු පංතියෙන් එල්ල කෙරෙන අභියෝගයන්ගෙන් ධනපති ජාතික රාජ්‍යය ආරක්ෂා කර ගැනීමයි. 

කෝවිඩ්-19 වසංගතය මගින් ගැඹුරු කෙරෙන ආර්ථික අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනයා මත පටවමින් ඔවුනගේ ජීවන තත්වයන් කාබාසිනියා කිරීම සම්බන්ධයෙන්, පුලුල්ව වැඩෙන මහජන විරුද්ධත්වයකට ජනාධිපති රාජපක්ෂත්, පාලක පොදු ජන එක්සත් පෙරමුනු ආන්ඩුවත් මුහුන දී සිටී. මෙම විරුද්ධත්වය ප්‍රකාශයට පත් කරමින් දැනටමත් පැනනැගී ඇති පංති අරගල රැල්ල තමාට පමනක් නොව, ධනපති රාජ්‍යයටම අභියෝග කෙරෙතැයි රාජපක්ෂ ආන්ඩුව භීතියට පත්ව සිටී.  

කම්කරු පංතිය බෙදීමේ වාර්ගික ප්‍රකෝපකරනයේ සහ පංති අරගල ලෙයින් මැඩීම අරමුනු කරගත් මිලිටරීකරනයේ පිලිවෙත් ගලා එන්නේ එම භීතියෙනි. ලංකාවට පමනක් සීමා නොවන මෙය ජාත්‍යන්තර ප්‍රපංචයකි.

දශකයට පෙර ප්‍රංශයේ බුර්කා තහනම ක්‍රියාවට දැමුනේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට එරෙහිව පැන නැගුනු අරගල මාලාවක් මධ්‍යයේ ය.  මේ මස මුල ස්විට්සර්ලන්තයේ ද, ඊටපෙර බෙල්ජියමේ ද එවැනි බුර්කා තහනම් කිරීමට පියවර ගැනුනි. ස්විට්සර්ලන්තය තුල බුර්කා තහනම් උද්ඝෝෂනය පෙරට ගත්තේ, කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා අනිවාර්ය වන, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසැල් වසා දැමීම මෙන්ම සංචරන සීමා පැනවීම ප්‍රතික්ෂේප කරමින් එරට ආන්ඩුව ගෙනගිය සාපරාධී පිලිවෙත හේතුවෙන් 10,000 කට අධික ජනයා මරනයට පත්වීම සහ වැඩෙන සමාජ අසමානතාවය සම්බන්ධයෙන් මහජනතාව අතරින් මතුවූ දැඩි විරෝධය හමුවේ ය. 

තම ප්‍රහාරයන්ට එරෙහිව මහජන කැරලිකාරිත්වය වේගයෙන් වැඩෙන මෙවන් යුගයන්හි දී, අන්ත දක්ෂිනාංශික වර්ගවාදී සංවිධාන සහ ෆැසිස්ට් පන්නයේ නඩ හදාවඩා දේශපාලන රංග පථයට කැඳවා ගැනීම ධනපති පාලක පංතීන් ඓතිහාසිකව අනුයන පිලිවෙතකි. බුර්කා තහනම වැනි වර්ගභේදවාදී උද්ඝෝෂනයන්හි ජාත්‍යන්තරව පෙරමුනගෙන සිටින්නේ මෙම අන්ත දක්ෂිනාංශික කොටස් ය. ලංකාවේ ද බුර්කා තහනම් උද්ඝෝෂනය ඇතුලු මුස්ලිම් විරෝධී ප්‍රකෝපකරනයේ කසකරුවන් වන්නේ, ධනපති පාලක පංතිය විසින් පසුගිය කාලය පුරා පෝෂනය කොට පෙරටගත්, "බොදු බල සේනා", "සිංහලේ" සහ "රාවනා බලය" ආදී සිංහල-බෞද්ධ වර්ගවාදී සංවිධානයන් ය.

ලංකාවේ රාජපක්ෂ තන්ත්‍රය බුර්කා තහනමට ගැම්ම ගන්නේ ජාත්‍යන්තර ධනපති ආන්ඩු ක්‍රියාවට නැංවූ ඉහත ප්‍රතිගාමී පියවර වලිනි. එය, මාර්තු 15 දා  මොර්නින්ග් වාර්තාව මෙසේ නිරීක්ෂනය කරයි: "මෙය සිදුවී ඇත්තේ, ස්විට්සර්ලන්තයේ ජනමත විචාරනයකදී සියයට 51.2 ක ජනතාවක්, බුර්කා සහ නිකාබ් ඇතුලු  මුහුනු ආවරන ප්‍රසිද්ධ ස්ථානයන්හි පැලඳීම තහනම් කිරීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් සතියකට පසුවය. ප්‍රසිද්ධ ස්ථානයන්හි සම්පූර්න මුහුනු ආවරන පැලඳීම තහනම් කල පලමු යුරෝපීය රට ලෙස 2011 දී ප්‍රංශය බුර්කා සහ නිජාබ් තහනම් කලේය. එම වසරේම බෙල්ජියම ද එවැනිම තහනමක් පැනවීය."   

ස්විට්සර්ලන්ත ජනමත විචාරනයේදී "සියයට 51.2 ක ජනතාවක්" ඡන්දය දුන් බවට ද මොර්නින්ග් කරන සඳහන සාවද්‍ය ය. සැබැවින්ම එය ප්‍රකාශිත ඡන්දයෙන් සියයට 51.2ක් සහ සමස්ත ජනගහනයෙන් හයෙන් පංගුවකට ආසන්න ප්‍රමානයකි. ද මොර්නින්ග් වැනි ධනපති මාධ්‍යයන් ද එවන් සාවද්‍යකරනයන් මගින් මෙම ප්‍රතිගාමී උද්ඝෝෂනයට පිටුබලය සපයයි. 

කෙසේ නමුත්, ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ගෙනයන සිංහල ස්වෝත්තමවාදී වැඩකටයුතු සම්බන්ධයෙන් සෑහීමට පත් නොවන "බොදුබල සේනා" සංවිධානයේ විවේචන පාලනය කිරීමේ අරමුනෙන් සහ වාර්ගික නොපනත්කම් සම්බන්ධයෙන් ලංකාවට ජාත්‍යන්තරව එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාරී වශයෙන්, එම සංවිධානය තහනම් කරන ලෙස පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත.

එසේ වුවද, රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රධානතම පාර්ශ්වය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති සහ අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස්, මාර්තු 08 වන දා පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවේදී පැවසුවේ කොමිසමේ ඉහත නිර්දේශය ආන්ඩුවට පිලිගත නොහැකි බවයි. කෙසේ නමුත්, අනෙක් නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය. ඇමති වීරසේකර පවසන පරිදි බුර්කා තහනම ද ඉහත කොමිසමේ නිර්දේශයකි.  නිර්දේශ ක්‍රියාත්මක වන්නේ වාර්ගික පදනමකින් බව එම කරුන වුවද සාක්ෂි දරයි. 

රාජපක්ෂ ආන්ඩුව පසුගිය වසරේ මුල කොරෝනා “මර්දන” වැඩකටයුතු මිලිටරිය යටතට පත් කොට වසංගතයේ ව්‍යාප්තියට හේතු වන අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන් වැඩට දැක්කීම ක්‍රියාවට යොදවන අතරවාරයේ, වාර්ගික ආතතීන් උත්සන්න කිරීමට වැඩ කලේය. වසංගතයෙන් මිය යන මුස්ලිම් ජනයාගේ මල සිරුරු ඔවුන්ගේ සංස්කෘතික සම්ප්‍රදායන්ට අනුව භූමදානයට ඉඩ නොදී බලහත්කාරයෙන් ආදාහනය කිරීමට ආන්ඩුව පියවර ගත්තේ ය. ආන්ඩුව එලෙස ක්‍රියාකලේ, ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් මරන භූමදානය නිර්දේශකොට ඇති සහ රටවල් 184 ක එය ක්‍රියාත්මක වන තතු තුලය.  

ලංකාව තුල ප්‍රථම වරට බුර්කා තහනමක් ක්‍රියාවට නගන ලද්දේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග, එවක පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසිනි. ජාතිකවත් ජාත්‍යන්තරවත් පැනනැගි විරෝධය මධ්‍යයේ හා ජනාධිපතිවරන උනුසුම මැද තහනම “තාවකාලිකව” ඉවත් කරන ලදී. කතෝලික පල්ලි සහ හෝටල් කිහිපයක් එල්ල කොට සිදු කරන ලද ප්‍රහාරයෙන් පුද්ගලයන් 270 ට වැඩි පිරිසක් මරනයට පත් වී 500 ක් පමන බරපතල තුවාලවලට ලක් වූහ. 

එම බෝම්බ ප්‍රහාරය ඉරාකය හා සිරියාව මත පදනම්ව, ජාත්‍යන්තරව ක්‍රියාත්මක අයිඑස්අයිඑස් සංවිධානය හා ඒකාබද්ධ ලංකාවේ තවුහිත් ජමාත් නම් මුස්ලිම් අන්තවාදී සංවිධානයක් විසින් සිදු කරන ලද්දක් බව අනාවරනය වී ඇත. 

පාස්කු ප්‍රහාරයත් සමග, බොදු බල සේනා, සිහල රාවය, සිංහලේ වැනි සිංහල-බෞද්ධ අන්තවාදී සංවිධානවලට සම්බන්ධ මැර නඩ මිලිටරියේ හා පොලිසියේ සහාය ඇතුව රටපුරා මුස්ලිම් ජනයා සංකේන්ද්‍රනය වූ ප්‍රදේශ වලට කඩා වැදී ඔවුනගේ නිවාස සහ කඩ සාප්පු සිය ගනනක් ගිනිබත් කරමින් ප්‍රචන්ඩ ව්‍යාපාරයක් මුදා හැරී ය. ප්‍රහාරවලින් එක් මුස්ලිම් වැසියෙකු ඝාතනයට ලක් කෙරුනි. 

2019 ජනාධිපතිවරනයේ දී මෙම ප්‍රහාරය යහමින් ගසා කෑ ගෝඨාභය රාජපක්ෂ, තමා බලයට පත්වුවහොත් දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) සමග යුද්ධය ජයගත් ආකාරයෙන් “ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම” සඳහා කැපවන බවට සපථ විය.

විය හැකි පරිදිම, පාස්කු ප්‍රහාරය පිලිබද කොමිෂන් වාර්තාව, ප්‍රහාරය සම්බන්ධ සියලු වැදගත් කාරනා මුලුමනින්ම යට ගැසූවකි. ජනාධිපති රාජපක්ෂ වාර්තාව උපුටා දක්වමින් නැවත නැවතත් කියා සිටින්නේ එය පෙර ආන්ඩුව විසින් “ජාතික ආරක්ෂාව” හෑල්ලුවට ලක් කිරීමේ හා බුද්ධි අංශ දුර්වල කිරීමේ ප්‍රතිඵලයක් බවයි. 

මෙවැනි වර්ගෝත්තමවාදී පිලිවෙත් ක්‍රියාවට නැගීම සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයෙන් (එජාප) මෑතදී වෙන්ව ගිය විපක්ෂයේ ජාසජබ බුර්කා තහනම ඇතුලු වර්ධනය කෙරෙන මුස්ලිම් විරෝධය සම්බන්ධයෙන් මුනිවත රකිමින් එයට තම සහයෝගය ලබා දෙයි.

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) විජිත හේරත් ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කලේ සීනි ගෙන්වීමේ දී ආන්ඩුව සිදු කර ඇති බදු වංචාව පිලිබඳ මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා බුර්කා තහනම ඉදිරියට ගෙන ඇති බවයි. අවුලුවන මුස්ලිම් විරෝධයේ සැබෑ අරමුන, එනම් වැඩෙන පති අරගල හමුවේ කම්කරු පංතිය බෙදා එහි පංති ශක්තිය දුබල කිරීම බව ජවිපෙ දැනුවත්ව යට ගසයි. ජවිපෙ හි සිංහල-ස්වෝත්තමවාදී පිලිවෙත අනුයමින් බුර්කා තහනම වක්‍රව අනුමත කරන හේරත් මෙසේ පවසයි: “ආන්ඩුවට එවැනි පියවරක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් මුස්ලිම් දේශපාලනඥයින් හා ආගමික නායකයන් සමග කතා කොට සිදු කල යුතුයි.”  

ව්‍යාජ-වාම පෙරටුගාමී පක්ෂයේ (පෙසප) දුමින්ද නාගමුව, ජවිපෙ මෙන්ම ආන්ඩුවේ සැබෑ පංති අරමුන කම්කරු පංතියට වසන් කරමින්  "ආන්ඩුවේ වංචා දූෂන සහ නොහැකියාව, ජාතිවාදී ප්‍රශ්න හමුවේ යටපත් කිරීමට ආන්ඩුව උත්සාහ කරමින් සිටිනවා” යයි ප්‍රකාශ කර තිබේ. 

කෙසේ නමුත්, කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මාර්තු 16 දා මාධ්‍යයට පවසා ඇත්තේ, බුර්කා තහනම පිලිබඳ යෝජනාවක් කැබිනට් මන්ඩලයට මෙතෙක්  ඉදිරිපත්කර නොමැති බැවින් ඒ පිලිබඳව කැබිනට් මන්ඩලය තුල සාකච්ඡා නොකෙරුනු බවයි. විදේශ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත කොලඹගේ නිකුත් කල ප්‍රකාශයකින් ද එම අදහස ප්‍රතිරාවය කොට ඇත. 

ලංකාවට එරෙහිව මේ මස අගදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (යූඑන්එච්ආර්සී) ඉදිරිපත් කිරීමට නියමිත යුද අපරාධ සහ මානව හිමිකම් කඩකිරීම් පිලිබඳ යෝජනාවේදී, මුස්ලිම් රටවල සහයෝගය දිනා ගැනීමේ උපාමාරුවක් ලෙස ආන්ඩුව බුර්කා තහනම සම්බන්ධයෙන් යම් කල් යල් බැලීමක යෙදී සිටින බවක් රඹුක්වැල්ල සහ කොලඹගේ විසින් කරන ලද ප්‍රකාශ වලින් පැහැදිලි වෙයි. එසේ වුවද,  මුහුන දී ඇති අර්බුදය හමුවේ මුස්ලිම්-විරෝධී ප්‍රකෝපකරනය ආන්ඩුවට අත්‍යවශ්‍ය අවියක් වී ඇති තතු යටතේ මෙය තාවකාලික උපාමාරුවක් පමනකි. 

Loading