ඉන්දියාව: බැංගලෝරයේ ටොයොටා කම්කරුවන් ගේ මාස 3 කට අධික වැඩ වර්ජනය වෘත්තීය සමිතිය පාවා දෙයි

[පහත පල කෙරෙන්නේ 2021 මාර්තු 11 දින India: Union betrays more than 3-month-long strike by Toyota workers in Bangalore යන මැයෙන් පල කෙරුනු ලිපියේ සිංහල  පරිවර්තනයයි.]

කලමනාකාරිත්වය විසින් සටන්කාමී කම්කරුවන් දඩයම් කිරීම් සහ වැඩ වේගවත් කිරීම් වලට එරෙහිව, දකුනු ඉන්දීය කර්නාටක ප්‍රාන්තයේ අගනුවර වන බෙංගාලූරු ආසන්නයේ පිහිටි ටොයොටා කර්ලොස්කා මෝටර්ස් (ටීකේඑම්) කම්හල් දෙකකට අනුයුක්ත කම්කරුවන් 3,000 කට අධික සංඛ්‍යාවක්, මාස තුනකට වැඩි කාලයක් ගෙන ගිය වැඩ වර්ජනය, ඔවුන්  පෙන්නුම් කල දැවැන්ත සටන්කාමිත්වය හා ධෛර්යය නො තකා පරාජයෙන් අවසන් වී ඇත. මෙම මස මුලදී වැඩ වර්ජනයේ පරාජය සඳහා සමාගම, ටීකේඑම් සේවක සංගමයේ (ටීකේඑම්සේසං - TKMEU) නායකත්වයේ භේදයක් සාර්ථකව නිර්මානය කලේය.

ටොයොටා කම්කරුවන් සහ කර්නාටක ගොවීන් ඒකාබද්ධ පෙලපාලියක

 සමාගම් කොන්දේසි පිලිගත් බවට ප්‍රතිඥාවක් අත්සන් කිරීම සඳහා සමාගම, ටීකේඑම්සේසං විධායක කමිටුවේ කන්ඩායමක් පොලඹවා ගැනීමෙන් පසුව, කලමනාකාරිත්වය මාර්තු 1 දා ප්‍රකාශ කලේ  වැඩ වර්ජනය අවසන් කිරීමට සමිතිය එකඟ වූ බවයි. ටීකේඑම්සේසං හි සෙසු නායකයින් මුලදී සමාගමේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් නොකඩවා සටන් කිරීමට පොරොන්දු වුවද, සමිතිය දින දෙකකට පසුව ආපසු හැරී මාර්තු 4 වන විට කම්කරුවන්ට නැවත වැඩට යාමට නියෝග කලේය. කලමනාකාරිත්වය විසින් පලි ගැනීමට ලක් කල කම්කරුවන් 70 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම ඇතුලුව එක ඉල්ලීමක් වත් දිනා නො ගෙන වැඩ වර්ජනය අවසන් කිරීම මෙහි අර්ථය විය.

කලමනාකාරිත්වය, කම්කරුවන් ගේ විවිධ දුක්ගැනවිලි ඉදිරිපත් කල ටීකේඑම්සේසං නායකයකුවූ උමේෂ් ගෞඩා අලූර්ගේ සේවය හිටි අඩියේ අත්හිටු වීමට එරෙහිව නොවැම්බර් 9 වන දින ටීකේඑම් කම්කරුවෝ සිය වාඩි-ලෑමේ වැඩ වර්ජනය ආරම්භ කලහ. කම්කරුවන්ගේ ප්‍රධාන උත්සුකය වූයේ, පෙර පැවති ඉලක්කය වූ විනාඩි තුන වෙනුවට සෑම විනාඩි දෙකහමාරකට වරක් වාහනයක් නිෂ්පාදනය කිරීමට කම්කරුවන්ට නියම කරන කොඳු කඩන වැඩ  වේගවත් කිරීමේ තන්ත්‍රයකි.

කලමනාකරනය ප්‍රතිචාර දැක් වූයේ වැඩ වර්ජනය “නීති විරෝධී” යැයි කියමින් කම්හල අගුලු ලෑමෙනි (ලොක් අවුට් කිරීමෙනි). එය ඉන් පසු මාස ​​කිහිපය තුල අගුලු  ලෑම් මාලාවක් පැනවූ අතර වැඩ වර්ජිත කම්කරුවන් 70 කට වැඩි පිරිසක් ගොදුරු කර ගති. එසේ වුවද, ටීකේඑම් කම්කරුවෝ වැඩ වේගවත් කිරීම සහ සේවාස්ථ මර්දනයට එරෙහි ඔවුන්ගේ වීරෝදාර අරගලය දිගටම කරගෙන ගියහ.

පාලක පන්තිය ටොයොටා වැඩ වර්ජනය තර්ජනයක් ලෙස සලකනු ලැබූ අතර, මෙම රැකියා ආරක්ෂන ක්‍රියාමාර්ගය වැටුප් හා ජීවන තත්වයන්ට එරෙහි කුරිරු ප්‍රහාරයන්ට මුහුන දෙන අනෙකුත්  සියලු කම්කරු කොටස්  අතර එවන් විරෝධතා අවුලුවනු ඇතැයි ඔවුන් බිය විය. 

නොවැම්බර් 17 වන දින, හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) නායකත්වයෙන් යුත් කර්නාටක ප්‍රාන්ත ආන්ඩුවේ නියෝජ්‍ය මහ ඇමති සී එන් අශ්වාත් නාරායන්, වැඩ වර්ජනය සම්බන්ධයෙන් “තහනම්” නියෝගයක් නිකුත් කලේය. චීනය සමඟ තරඟ කල හැකි, ගෝලීය ප්‍රාග්ධනය සඳහා ලාභ ශ්‍රම වේදිකාවක් ලෙස ඉන්දියාව සංවර්ධනය කිරීමේ ඉන්දියානු පාලක පන්තියේ පුලුල් අරමුන ඉස්මතු කරමින් නාරායන්, නැවත වැඩට බැසීමට ඇති නියෝගය සාධාරනිකරනය කරමින්, “මුලු ලෝකයම චීනය වෙනුවට විකල්පයක් ලෙස ඉන්දියාව දෙස බලයි , එමෙන්ම, ජපානය, දකුනු කොරියාව සහ තායිවානය වැනි රටවල් කර්නාටකයේ  ව්‍යාපාර ආරම්භ කිරීමට උනන්දුවෙන් සිටිති. එවැනි තත්වයක් යටතේ වැඩ වර්ජන හා අගුලු ලෑම් ගැන කතා නොකල යුතුය. ”

කෙරී ගන යන වැඩ වර්ජනයට එරෙහිව මර්දනකාරී පියවර ගන්නා ලෙස බලකර කර්නාටක හාම්පුතුන්ගේ සංගමයේ සභාපති බී.සී. ප්‍රභාකාර් විසින් රාජ්‍ය ප්‍රධාන ලේකම් ටී. ඒම්. විජය භාෂ්කර් වෙත නොවැම්බර් අග දී ලිපියක් යැවීය. ටී.කේ.එම් පරිශ්‍රය වටා වහාම ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම, කරදර කාරයන් අත්අඩංගුවට ගැනීම සහ බිඩාඩි ප්‍රදේශයට ඇතුලුවීම තහනම් කිරීම් මෙයට ඇතුලත් විය. හාම්පුතුන්ගේ සංගමයේ සභාපති කෙලින්ම කියා සිටියේ වැඩ වර්ජනය මගින් මුලු  කලාපය පුරාම කාර්මික සබඳතා “නරක් ” කල හැකි බවට ඔහුට පැවති බියය, එනම්, කුරිරු සූරාකෑමට සහ අඩු වැටුප්වලට එරෙහිව කැරලි ගැසීමට කම්කරු රාශීන් දිරිමත් කිරීමයි.

ටොයොටා වැඩ වර්ජනය බිඳ දැමීමේ ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රයත්නයේ කොටසක් ලෙස, ප්‍රභාකර්ගේ ලිපියෙන් පෙන්නුම් කර ඇති පරිදි හාම්පුතුන්ගේ ඉල්ලීම්වලට අනුකූලව, ටීකේඑම් සහ භාරතීය ජනතා පක්ෂ නායකත්වයෙන් යුත් ප්‍රාන්ත ආන්ඩුව, සමූහ සේවක නෙරපීම් සහ අත්අඩංගුවට ගැනීම් තර්ජන නිකුත් කලේය. කෙසේ වෙතත්, ඔවුන් අවසානයේ දී එවැනි විවෘත ගැටුමක් වලක්වා ගැනීමට තීරනය කලේ එය වඩාත් පුලුල් ලෙස කම්කරු පන්තිය පුරා කෝපය පුපුරා යා හැකි බවට ඇති බිය නිසා ය.

ටොයොටා කම්කරුවන්ගේ අරගලය, නොවැම්බරයේ කම්කරු පන්තියේ වැඩ වර්ජන හා විරෝධතා ව්‍යාප්ත වීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කිරීමට තිබූ හැකියාව ඉතාම ඉහල විය.  නොවැම්බර් 26 වන දින මෝඩි රජයේ ආයෝජක හිතවාදී ආර්ථික ප්‍රතිසංස්කරන හා ඒ හා සම්බන්ධ කප්පාදු පියවරයන්ට එරෙහිව රට පුරා මිලියන ගනනක් කම්කරුවෝ එක්දින මහා වැඩ වර්ජනයකට සම්බන්ධ වූහ. එදිනම ලක්ෂ සංඛ්‍යාත ගොවීන් මෝඩි රජයේ කෘෂි ව්‍යාපාර ගොවිපල නීති අහෝසි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂනයක් දියත් කලහ. මෝඩිගේ භාරතීය ජනතා පක්ෂ රජය  බරපතල දේශපාලන අර්බුදයකට තල්ලු කරමින් දස දහස් ගනනක් ගොවීන් දැනට මාස තුනකට වැඩි කාලයක් තිස්සේ දිල්ලියෙන් පිටත විරෝධතා පවත් වමින් සිටිති. 

රාජ්‍ය මර්දනය සහ, වෘත්තීය සමිති නායකත්වය සහ එ්වායේ  අනුබද්ධ ස්ටැලින්වාදී පක්ෂ විසින් ඔවුන්ගේ අරගලයේ ගෙල සිර කිරීම තුලින් මෙම නැග එන සමාජ විරෝධයට නායකත්වය දීමෙන් ටීකේඑම් වැඩ වර්ජකයන් වලක්වනු ලැබීය. භාරතීය ජනතා පක්ෂ ප්‍රාන්ත ආන්ඩුවේ පූර්න සහාය ඇතිව ටීකේඑම් කලමනාකාරිත්වය උත්සාහ කලේ  කම්කරුවන්ට හිරිහැර කිරීම හා බිය ගැන්වීම තුලින් කම්කරුවන් නැවත  රැකියාවට දක්කා “යහපත් හැසිරීම සදහා ප්‍රතිඥාවක්” අත්සන් කරගැනීමටය. සමාගම අවධාරනය කලේ , ඔවුන්ට එරෙහිව සමාගම විසින් මෙහෙයවන ලද “පරීක්ෂන” අවසන් වන තුරු අත්හිටවූ කම්කරුවන්ගෙන් කිසිවෙකු නැවත සේවයේ පිහිටුවනු නොලබන බවයි. පසුව, සමස්ත ශ්‍රම බලකාය වෙනුවෙන් “යහපත් හැසිරීමේ” ප්‍රතිඥාවක් අත්සන් කිරීමට ටීකේඑම්සේසං ට ඉඩ දීම සඳහා, සමාගම සිය ස්ථාවරය සංශෝධනය කලේය.

සේවා යෝජකයාට මෙතරම් උද්ධච්ඡ ලෙස ක්‍රියා කිරීමට  හැකි වූයේ ටීකේඑම්සේසං වැඩ වර්ජිත මෝටර් රථ සේවකයින්ව ක්‍රමානුකූලව හුදෙකලා කල බැවිනි. ඒ හා සමාන සූරාකෑමේ තත්වයන් යටතේ ඉන්දියාව පුරා සේවය කරන මිලියන සංඛ්‍යාත කාර්මික කම්කරුවන්ට පමනක් නොව කර්නාටකයේ කාර්මික කර්මාන්තශාලා පුරා වත් ටීකේඑම් වැඩ වර්ජකයන්ගේ අරගලය පුලුල් කිරීමට ඔවුන් කිසිදු උත්සාහයක් නොගත්හ. මෙයට හේතුව වෘත්තීය සමිතියේ ප්‍රධාන උත්සුකය යොමු වූයේ කම්කරුවන්ගේ ඉල්ලීම්  දිනා ගැන්ම නොව කර්මාන්තශාලාව තුල කේවල් කිරීමේ නියෝජිතයා ලෙස තම ස්ථාවරය සහතික කරන කේවලයකට සමාගම් කලමනාකාරිත්වය සමඟ එලඹීමයි.

අධිෂ්ඨාන සහගත කම්කරුවන් මාස හතරකට ආසන්න කාලයක් හුදෙකලා කිරීම මගින්, වැඩ වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා වෘත්තීය සමිතියේ බෙදීම් ඇති කිරීමට ටීකේඑම් කලමනාකාරිත්වය සහ ප්‍රාන්ත ආන්ඩුව ඒකාබද්ධව ගත් උත්සාහයන් සාර්ථක කර ගත හැකි කොන්දේසි නිර්මානය කිරීමේ වගකීමෙන් සෑහෙන  ප්‍රමානයක් ටීකේඑම්සේසං නායකත්වය දරයි. මාර්තු 1 වන දින, සටන අත්හල සිව්දෙනා සමාගම ඉල්ලා සිටි ලියවිල්ලකට අත්සන් තබා එය ප්‍රාන්ත රජයට ඉදිරිපත් කලහ. මෙය වැඩ වර්ජනය අවසන්කර ඇති බවට ටීකේඑම්හි මාර්තු 1 නිවේදනය කිරීමට හේතු විය

ටීකේඑම්සේසං හි මාධ්‍ය ලේකම් ගංගාධර් මුලින් සමාගමේ ප්‍රකාශයට පටහැනිව ප්‍රකාශ කරමින්, “අපි නිල වශයෙන් විරෝධතාව අත්හිටුවා නැත. විධායක කමිටු සාමාජිකයන් සිව්දෙනෙක් කලමනාකාරිත්වය වෙත ගොස් පොරොන්දුවක් දී  ඇත...විධායක කමිටු සාමාජිකයින් සමිති නිලධාරීන්ට වඩා පහලින් සිටින අයයි. ”

කෙසේ වෙතත්, ටීකේඑම්සේසං වේගයෙන් යටත් විය. මුහුන බේරා ගැනීමේ මංමුලා සහගත උත්සාහයක යෙදෙමින් ටීකේඑම්සේසං මාර්තු 3 ප්‍රකාශ කලේ, “කම්කරුවන් හා වෘත්තීය සමිතිය කිසිදු පොරොන්දුවක් නොදීමට ස්ථිරව සිටි නිසාත්, කලමනාකාරිත්වය විසින් කම්කරුවන්ට පොරොන්දුවක් ඉදිරිපත් කිරීමෙන්  තොරව රාජකාරිය සඳහා වාර්තා කරන ලෙස නොතීසි නිකුත් කල බැවිනුත්, සේවය සඳහා වාර්තා කරන ලෙස සංගමය එහි සාමාජිකයන්ට උපදෙස් දී තිබෙන්නේ එය වෘත්තීය සමිතියේ සදාචාරාත්මක ජයග්‍රහනයක් බැවිනි.” යනුවෙනි.

තම පාවාදීම සම්බන්ධයෙන් සේවක කෝපය පාලනය කිරීමේ උත්සාහයක් ලෙස, ටීකේඑම්සේසං “තවදුරටත් විරෝධතා සහ වැඩ වර්ජන” සිදු කරන බවට නොපැහැදිලි පොරොන්දුවක් දුන්නේය.

රජයේ ආපසු-වැඩට නියෝගය සහ සමාගමේ තර්ජන නොතකා ඔවුන්ගේ මාස තුනක වැඩ වර්ජනය හරහා ටීකේඑම් කම්කරුවෝ තමන් යටත් කර ඇති වහල් ශ්‍රම තත්වයන්ට එරෙහිව සටන් කිරීමට ඔවුන්ගේ ඇති සූදානම පෙන්නුම් කලහ. ඒසේ වතුදු, සමාගම් කලමනාකරනයට සහ ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රනයේ ආයතනවලට පල රහිත ආයාචනා ඉදිරිපත් කිරීම සඳහා කම්කරුවන් යට කර තැබීමට  ටීකේඑම්සේසං මුලු කාල පරිච්ඡේදය පුරාම  උත්සාහ කලේය. ඉන්දියාවේ සමාජ කෝපය උතුරන මට්ටමට ලඟා වී පවතින හෙයින් වෘත්තීය සමිති නායකත්වය අරගලය පුලුල් කිරීමේ කිසිදු උත්සාහයක් ප්‍රතික්ෂේප කල අතර ටීකේඑම් වැඩ වර්ජනය, ඔවුන්ගේ පාලනය වේගයෙන් ගැලවී යා හැකි කම්කරු නායකත්වයෙන් යුත් විශාල බලමුලු ගැන්වීමක් අවුලුවා ලීමේ අවදානම ගැනීමට ඔවුන්ට අවශ්‍ය නොවීය.

සහයෝගීතා වැඩ වර්ජන සහ අනෙකුත් කාර්මික ආයතන වල කම්කරුවන්ගේ විරෝධතා ක්‍රියාමාර්ග සඳහා ටීකේඑම්සේසං කිසිදු ආයාචනයක් ඉදිරිපත් නොකලහ. ඒ වෙනුවට, කොන්ග්‍රස් පක්ෂය සහ ජනතා දාල් (අනාගාමික) ඇතුලු ආයෝජක හිතවාදී විපක්ෂ පක්ෂවල නායකයින් වැඩ වර්ජිත කම්කරුවන්ගේ ආධාරයට පැමි‌නෙනු ඇතැයි යන මිථ්‍යාවන් වැඩ වර්ජකයන් තුල ඇති කලහ.

ටීකේඑම් වැඩ වර්ජනය හුදකලා කිරීම සහ අවසාන වශයෙන් පාවාදීම පිලිබඳ ප්‍රධාන දේශපාලන වගකීම පැවරෙන්නේ ඉන්දියාවේ ස්ටැලින්වාදී පක්ෂවලට ය. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හෙවත් සීපීඑම් සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) අනුබද්ධිත වෘත්තීය සමිති සම්මේලන වූ ඉන්දියානු වෘත්තීය සමිති කේන්ද්‍රය (සීඅයිටීයූ) සහ සමස්ත ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනය (ඒඅයිටීයූසී), සමග සම්බන්ධිත වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවෙන් (ජේසීටීයූ), ටීකේඑම් වැඩ වර්ජකයන්ට සහාය දැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් නොවීය.  ටීකේඑම් වැඩ වර්ජකයින්ට පුලුල් සහයෝගයක් තිබුනද, බිඩාඩි හෝ ඉන්දියාවේ වෙනත් කාර්මික ප්‍රදේශවල කම්කරුවන් බලමුලු ගැන්වීම සඳහා ජේසීටීයූ ව කිසිදු ඉල්ලීමක් කලේ නැත. තමිල්නාඩුවේ මැග්නා කොස්මා සහ මදර්සන් වැනි සමාන පන්ති සටන්වල යෙදී  රජය සහ සමාගම්වල දැඩි මර්දනය හමුවේ දිගින් දිගටම වැඩ වර්ජන කරමින් සිය මහත් සටන්කාමී බව පෙන්නුම් කල මෝටර් රථ කම්කරුවන් හට කිසිදු කැඳවීමක් නිකුත් නොකෙරුනි.

ඉන්දියාවේ ධනේශ්වර විරුද්ධ පක්ෂ සහ ධනේශ්වර රාජ්‍යයේ ආයතන වලට කම්කරු පන්තිය දේශපාලනිකව යටත් කිරීමේ ඔවුන්ගේ ප්‍රතිපත්තියෙන් ස්ටැලින්වාදීන්ගේ ද්‍රෝහී භූමිකාව ගලා එයි. මිලියන ගනනක් කම්කරුවන් සම්බන්ධ කර ගනිමින් 2020 දී මෝඩි රජයට එරෙහි  මහා වැඩ වර්ජන දෙකක ස්වරූපයෙන් කම්කරු පන්ති කෝපයේ ප්‍රබල ප්‍රකාශනයකට මුහුන දුන් ස්ටැලින්වාදී පක්ෂ, කොන්ග්‍රස් පක්ෂයට එම විරෝධය ගැටගැසීමට උත්සාහ කලේ, මෝඩිගේ ආයෝජක ගැති කප්පාදු ප්‍රතිපත්ති සහ මිලිටරිවාදී දක්ෂිනාංශික න්‍යාය පත්‍රයට විවෘත අභියෝගයක් සේ එය වර්ධනය වීම වලක්වාලීමට ය.

රජයේ හා සමාගම්වල ප්‍රහාරයන්ට එරෙහිව යහපත් සේවා කොන්දේසි සඳහා ඔවුන්ගේ අරගලය ඉදිරියට ගෙන යාම පිනිස වෘත්තීය සමිති හා ස්ටැලින්වාදී පක්ෂවලින් දේශපාලනිකව හා සංවිධානාත්මකව බිඳී ඔවුන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවය ටීකේඑම් කම්කරුවන්ගේ කටුක අත්දැකීම් මගින් අවධාරනය කෙරේ. සියල්ලටත් වඩා, ඔවුන් යෝධ බහු ජාතික සමාගම් වලට සහ  මුලු මහත් ධනවාදී පද්ධතියටම එරෙහිව ඉන්දියාව පුරා සහ ජාත්‍යන්තරව කම්කරුවන් එක්සත් කිරීම අරමුනු කරගත් වැඩපිලිවෙලක් අනුගමනය කල යුතුය. 

වර්ජනයේ පලමු මාසයේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කල පරිදි, “ටොයොටා වැනි බහුජාතික යෝධයින්ට ඒරෙහිව සහ ලාභ ශ්‍රමය ලෙස කම්කරුවන් ලබා දීමට ඉන්දියාවේ පාලක ප්‍රභූව දරන උත්සාහයට එරෙහි අරගලය සදහා  අන් සියල්ලටම වඩා ජාත්‍යන්තර සමාජවාදී උපාය මාර්ගයක් අවශ්‍ය වේ. වැඩ වර්ජිත කම්කරුවෝ, එකම සංගත විසින් සහ අනුකම්පා විරහිතව ලාභය ලුහුබැඳීමේ නොසන්සිඳෙන පිපාසාව සහිත එවැනිම පාලක ප්‍රභූන්  විසින් සිදු කරන, වැටුප් හා සේවා කොන්දේසි වලට එරෙහි සමාන ප්‍රහාරයන්ට මුහුන දෙන එක්සත් ජනපදය, යුරෝපය සහ ජපානය යන රටවල සිටින ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමඟ තම අරගලයන් එක්සත් කිරීමට උත්සාහ කල යුතුය.”

Loading