දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව අඩුවීම සම්බන්ධයෙන් ආන්ඩුව ව්‍යාජ හේතු දක්වයි

ශ්‍රී ලංකාවේ දෛනික පීසීආර් පරීක්ෂන සැලකිය යුතු ලෙස අඩුවීමට හේතුව COVID-19 ආසාදිතයන් ලෙස හඳුනා ගැනෙන අයගේ සමීප සම්බන්ධතා සංඛ්‍යාවේ අඩුවීම යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙකු පැවසූ බව ඊයේ ඉකොනමි නෙක්ස්ට් වෙබ් අඩවියේ පල වූ වාර්තාවක සඳහන් විය. 

දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව සිතාමතා අඩුකර ඇති බවට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරමින් එම නිලධාරියා පවසා ඇත්තේ, පවත්නා පොකුරු “ආක්‍රමනශීලීව” පාලනය කිරීම සහ ආශ්‍රිතයන් සොයා ගැනීමේ අඛන්ඩ උත්සාහය හේතුවෙන් ව්‍යාප්තිය අවම වී සමීප ආශ්‍රිතයන් අඩුවී ඇති නිසා දෛනික පරීක්ෂන සංඛ්‍යාව පහලගොස් ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරියාට අනුව, පීසීආර් පරීක්ෂන වලින් බහුතරයක් සිදු කෙරෙන්නේ හඳුනා ගැනෙන ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙනි. 

යතාර්ථය සමග සසඳන කල මෙම නිලධාරියාගේ ප්‍රකාශය මුලුමනින්ම පරස්පර විරෝධී ය; ව්‍යාජය. 

වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රාජ්‍ය සහ පුද්ගලික දෙඅංශයටම නිර්දේශ කර තිබූ කම්කරුවන් කොටස් වශයෙන් සේවයට කැඳවීමේ ක්‍රමවේදය ආන්ඩුව විසින් මේ මස මුලදී අහෝසි කිරීම හේතුවෙන්, කම්හල්, කාර්යාල සහ වැඩබිම්වල මෙන්ම, පොදු ප්‍රවාහනයේ තදබදය දැවැන්ත පරිමානව ඉහල ගොස් සමාජ දුරස්ථභාවය කිසිසේත් සාක්ෂාත් කල නොහැක්කක් බවට පත්ව ඇත. 

අනෙක් අතින්, පාසැල් විවෘතකර තැබීම වසංගත ව්‍යාප්තියේ ප්‍රධානතම කාරකයක් බව ලොවපුරා විද්‍යාඥයන් අවධාරනය කරද්දී, ආන්ඩුව පාසැල් සියල්ලම විවෘත කර ලක්ෂ සංඛ්‍යාත දරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් එකිනෙකාට ආශ්‍රිත වන්නට උපරිම කොන්දේසි සකසා තිබේ. 

මෙම තතු තුල, සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරියා පවසන අයුරු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් අඩුවීම කිසිසේත් විය නොහැක්කකි. ඇත්ත වශයෙන්ම සිදුවිය හැක්කේ, වැඩපොලවල්හි සහ ගමනාගමනයේ පවත්නා තදබදය හේතුවෙන් ආශ්‍රිතයන් සංඛ්‍යාව දැවැන්ත පරිමානයෙන් ඉහල යාමයි. 

ප්‍රශ්නය වන්නේ, පොදු කාර්යයන්හි දී සහ පොදු ප්‍රවාහනයේදී එකිනෙකා නොහඳුනන ජන සමූහයන් අතරින් ආශ්‍රිතයන් නිශ්චිතව හඳුනා ගන්නේ කෙසේද යන්නයි. වසංගතය “පාලනය” කර ඇති බවට ආන්ඩුව සහ ධනපති මාධ්‍ය බිස්ස ගෙනයන ව්‍යාජ ප්‍රචාරය හරහා මහජනතාව තුල ඇතිකොට තිබෙන ලිහිල් ආකල්පය හේතුවෙන් අවධානය හීනවී, ආශ්‍රිතයන් හඳුනා ගැනීමේ කාර්යය වඩාත් දුෂ්කර කරවයි.

මෙම තත්වය ජයගත හැක්කේ, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසැල් වසා දමා, එන්නත්කරනය වේගවත් සහ විධිමත්කොට, දෛනිකව සිදු කෙරෙන පොදු අහඹු පරීක්ෂන සංඛ්‍යාව දැවැන්ත පරිමානයෙන් ඉහල දැමීමෙන් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. 

සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරියාගේ ව්‍යාජ ප්‍රකාශය ගලා එන්නේ ආන්ඩුවේ පිලිවෙතිනි. ලොව සෑම ධනපති තන්ත්‍රයක් මෙන්ම, රාජපක්ෂ ආන්ඩුව ආරම්භයේ සිට යත්න දැරුවේ, වසංගතයේ ව්‍යසනකාරී තත්වය වසන්කොට කම්කරුවන් කෙසේ හෝ වැඩට දක්කා ධනපතියන්ගේ ලාභ උත්පාදන ක්‍රියාවලිය අඛන්ඩව ඉදිරියට ගෙන යාමටයි. 

කොවිඩ්-19 පාලනය කිරීමේ ප්‍රධානතම අංගය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞස) නිර්දේශ කල පීසීආර් පරීක්ෂන “ආක්‍රමනශීලීව” ඉහල දැමීම ආන්ඩුව දිගින් දිගටම ප්‍රතික්ෂේප කලේ එබැවිනි. දෛනික පරීක්ෂන සංඛ්‍යාව 10,000 ක් වැනි සොච්චම් අගයක් දක්වා ඉහල නැගු‌වේ, පසුගිය ඔක්තෝබරයේ කම්කරුවන් සිය ගනනක් ආසාදනය කරමින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර පුපුරා යාමෙන් පසුවයි. 

ඉහත ආශ්‍රිතයන් අඩුවීමේ ව්‍යාජය ඉදිරිපත් කරමින් දෛනික පරීක්ෂන සංඛ්‍යාව වේගයෙන් අඩු කරන ආන්ඩුව ඊයේ වනවිට එය 5983 දක්වා පහත හෙලා ඇත. එම තත්වය යටතේ පවා දෛනිකව හඳුනා ගැනෙන ආසාදිතයන් ගනන 320 ක් පමන වූ සාමාන්‍ය අගයක පවතී. ඉහත ඉකොනමි නෙක්ස්ට් වාර්තාවට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් අඛන්ඩව ආසාදිතයන් හඳුනා ගනිමින් පවතී. සඳුදා දිනයේ, ත්‍රිකුනාමලයෙන්  52 ක්, කලුතරින් 30 ක්, ගම්පහෙන් 29 ක්  සහ කොලඹින් 28 ක් ආදී වශයෙන් කොරෝනා රෝගීන් සොයාගෙන ඇත. 

මීට අමතරව, ලංකාව පුරා ඇඟලුම් කම්හල් තුල වෛරසය අඛන්ඩව පැතිර යමින් පවතී. මාධ්‍ය වාර්තාවන්ට අනුව පසුගිය සතිය තුල, කැකිරාව ඇඟලුම් කම්හලකින් රෝගීන් 10 ක් ද, වව්නියාවේ ප්‍රමුඛ ඇඟලුම් කම්හලකින් රෝගීන් 21 ක් ද හමුවී තිබේ. මාර්තු 16 දා ලංකාදීප වාර්තාවකට අනුව 'මේ දක්වා කටුනායක නිදහස් වෙලෙඳ කලාපය තුල පිහිටි කර්මාන්තශාලා 51 ක සේවය කරන 1,142 දෙනකු  කොරෝනා වෛරසයට ගොදුරු වී තිබේ.' 

වසංගතය පාලනය කොට ඇති බවට ආන්ඩුව කරන පූච්චානම් කතාවන්හි පල්ල ගලවමින්, මේවනවිට ආසාදිතයන් සහ මරන සංඛ්‍යාව පිලිවෙලින් 90,000 සහ 550 ඉක්මවමින්, එය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතී. වසංගතය පාලනය කර ඇති බවට ආන්ඩුව  ගෙනයන ව්‍යාජ ප්‍ර‍චාරය පිටුපසින් වැඩෙන ව්‍යසනකාරී තත්වය පිලිබඳව ඇඟවුම් කරමින්, කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍ර‍ධානි යුද හමුදාපති ශවේන්ද්‍ර‍ සිල්වා කියා සිටියේ  “අවශ්‍ය වුවහොත් උත්සව සමයේ සංචරන සීමා පැනවීමට සිදුවන”  බවයි.

පසුගිය සතිය අවසානයේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන් අතරින් 500 කට ආසන්න සංඛ්‍යාවක් ආසාදිතයන් බව හඳුනා ගැනීමෙන් එය බලගතු ලෙස සනාථ වෙයි. පිරිපහදුවේ සේවකයන් අතර කොවිඩ්-19 රෝග ලක්ෂන ඇතිබව අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිනි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරන ලද අහඹු පරීක්ෂාවන්ගෙන් 20 දෙනෙකු ආසාදිත බව අනාවරනය විය. ඉන් අනතුරුව 2000 ක් පමන වන සමස්ත කාර්ය මන්ඩලයෙන් 1200 ක් පරීක්ෂාවට භාජනය කොට ඇති අතර, ඉන් 474 ක් ආසාදිත බව සොයාගෙන තිබේ.

තම ලාභ අවශ්‍යතා වෙනුවෙන්, ඇඟලුම් කම්හල් තුල පවත්නා සීමිත ආරක්ෂන ක්‍ර‍වේදයන් පවා ලිහිල්කර දෙන ලෙස කම්හල් හිමියන් කල ඉල්ලීම පිලිගනිමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රාජපක්ෂ අදාල නිලධාරීන්ට නියම කලේ මේ සා ව්‍යසනකාරී තත්වයක් වර්ධනය වෙමින් පැවතියදී ය.

රවි රන්නන්-එලිය- (ඡායාරූය -ට්විටර් මගිනි)

 මේ සම්බන්ධයෙන් ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින්, ලංකාවේ ප්‍රමුඛ වසංගත විද්‍යාඥයෙකු වන, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ රවි රන්නන්-එලිය කියා සිටින්නේ, වෛරසය “අඛන්ඩව සහ පුලුල්ව පැතිරෙන බවට එය සාක්ෂියක්” බවයි. “කම්කරුවන් 474 ක් ආසාදනය වී ඇතැයි යන කරුනෙන් පෙන්නුම් කරන්නේ පරීක්ෂන සංඛ්‍යාව කෙතරම් අප්‍රමානවත් ද යන්නයි.”

රන්නන්-එලිය පෙබරවාරි 28 දා තැබූ බ්ලොග් සටහනකින්, වෛරසයේ නව ප්‍රභේදයන් පිලිබඳ වැදගත් කරුනක් පෙන්වා දෙයි. “සමහර එන්නත් අනාගතයෙහි මෙරටට ආනයනය කෙරෙන ප්‍රභේදයන්ට එරෙහිව එතරම් ඵලදායී නොවීමට ඉඩ ඇති බැවින් තවත් ගැටලුවක් පැන නගී. මූලෝපාය, එම නව ප්‍රභේදයන් වඩා ප්‍රතිශක්තිකරන ප්‍රතිරෝධීවීමේ සම්භාවිතාව සැලකිල්ලට ගත යුතුය.” 

මේ සඳහා උපාය මාර්ග දෙකක් ඔහු යෝජනා කරයි:

(i)  නව ප්‍රභේදයන් ගේ ආනයනය වැලැක්වීම සඳහා විදේශයන්හි සිට පැමිනෙන්නන් සීමා කිරීම

(ii) අනාගත ප්‍රභේදයන්ට එරෙහිව වඩාත් හොඳින් ක්‍රියා කිරීමට ඉඩ ඇති එන්නත් මිලදී ගැනීම

“මේ වන විටත් ප්‍රජාව තුල පවත්නා B117 ප්‍රභේදය ඇතලුුව නව ප්‍රභේදයන් ඇතලුු වීම වැලැක්වීම ආන්ඩුව විසින් අත්හැර දමා ඇති බව හෝ බරපතල ලෙස නොසලකන බවක් පෙනෙන්නට තිබේ' යැයි ඔහු තවදුරටත් පවසයි. 

රන්නන්-එලිය මෙම සටහන තබන්නේ, සාර්ස්-කොවිඩ්-2 වෛරසයේ විවිධ ප්‍රභේද, විශේෂයෙන් එක්සත් රාජධානිය, බ්‍රසීලය සහ දකුනු අප්‍රිකාව වැනි රටවල ආරම්භ වූ ඒවා, අඛන්ඩව ව්‍යාප්ත වීමත් සමග, කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව ලොවපුරා නැවතත් ඉහල යාමට පටන් ගෙන ඇති තතු තුලයි.

එන්නත ලබා ගැනීම සඳහා රාජ්‍යයන් අතර පවත්නා තරගකාරිත්වය හේතුවෙන්, හැකි ඉක්මනින් මුදල් සම්පාදනය කර ගනිමින් ප්‍රශස්තම එන්නත ඇනවුම් කලයුතු බව පවසන ඔහු ලංකාව ගිලී සිටින ආර්ථික අර්බුදය හමුවේ එය සාක්ෂාත්කර ගැනීමේ නොහැකියාව ගැන කනස්සල්ල පල කරයි.

“කොරෝනා වෛරස් වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් සඳහා!” යන හිසින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, වසංගතයේ ආරම්භක අවධියේ , එනම් 2020 පෙබරවාරි 28 වන දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ප්‍ර‍කාශයේ සඳහන් කෙරී ඇති පරිදි,

කිසිදු ජාතියකට කොරෝනා වෛරසයට දක්වන ප්‍රතිචාරය ජාතික මට්ටමින් සම්බන්ධීකරනය කල නො හැක. වෛරසය දේශසීමා හෝ වීසා හා සංක්‍රමන සීමාවන්ට ගරු නො කරයි. ගෝලීය ප්‍රවාහන හා ආර්ථික ඒකාබද්ධතා ජාලය වෛරසය ගෝලීය ගැටලුවක් බවට පත් කර තිබේ.

විසඳුම ගෝලීය විය යුතු ය. වෛරසය මැඩ පැවත්වීම, සුව කිරීම  හා අවසානයේ දී එය අතු ගා දැමීමට අත්‍යවශය ඵලදායි ප්‍රතිපියවරයන්ගේ වර්ධනය ප්‍රමාද කිරීමට පමනක් සේවය කරන, “ජාතික අවශ්‍යතා” හා භූදේශපාලනික ගැටුම්වල බාධාවන්ගෙන් තොර ව, ලොව පුරා සිටින විද්‍යාඥයින්ට ඔවුන්ගේ පර්යේෂන හා තාක්ෂනය බෙදාහදා ගැනීමට ඉඩ දිය යුතු ය.

Loading