ලංකාවේ දෙමල පක්ෂ එක්සත් ජනපද පිටුබලය ලත් “මානව හිමිකම්” යෝජනාවට සහයෝගය දක්වති

[පහත පලවන්නේ 24 මාර්තු 2021 දින Tamil parties in Sri Lanka support US-backed “human rights” resolution" මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ සිංහල පරිවර්තනයයි.] 

ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) රැස්වීමට “ශ්‍රී ලංකාව පිලිබඳ ප්‍රමුඛ කන්ඩායම” විසින් ඉදිරිපත් කෙරුනු යුද අපරාධ විමර්ශනය පිලිබඳ යෝජනාවක් “ශක්තිමත් කිරීම” සඳහා ශ්‍රී ලංකාවේ දෙමල ජාතිකවාදී පක්ෂ උද්ඝෝෂනයේ යෙදුනි.

මාර්තු 23 දින සම්මත කරන ලද යෝජනාව, එක්සත් රාජධානියේ හා ලංකාවේ දෙමල පක්ෂවල සහයෝගය සහිත ව එක්සත් ජනපදය විසින් පිටුපසින් සිට සුදානම් කල එකකි. ඉන් ලංකාවේ සමහර ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීති ආපසු හරවන ලෙස ද ඉල්ලා ඇත. ප්‍රමුඛ කන්ඩායම සමන්විත වන්නේ, එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ හා මාලාවි යන රටවල නියෝජිතයන්ගෙනි.

2020 පෙබරවාරි මාසයේ කිලිනොච්චියේ දී විරෝධතා පාගමනක යෙදෙන අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතියෝ (ලෝසවෙඅ මාධ්‍ය)

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය හා කැනඩාව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම අමු ප්‍රෝඩාවකි. පසුගිය දශක තුන තුල නව විජිතවාදී මැදිහත්වීම්වල නිරත වෙමින් යුද අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු වන මෙම අධිරාජ්‍යවාදී බලයෝ, කොලඹ ආන්ඩුවේ යුද අපරාධ හෝ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ලවන ප්‍රහාර ගැන අබමල් රේනුවකින් හෝ උත්සුක නො වෙති. වොෂින්ටනයේ මූලික ඉලක්කය වන්නේ, මූලෝපායික ව පිහිටා ඇති ශ්‍රී ලංකාව බෙයිජිනය සමග පවත්වන සබඳතා බිඳ දමා, චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම් සමග ක්‍රියාකාරීව නිරත වීම තහවුරු කරගැනීම යි.

කලින් ආන්ඩු මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය තන්ත්‍රය ද දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව කොලඹ ආන්ඩුව ගෙනගිය යුද්ධයේ දී මිලිටරිය යුද අපරාධ කල බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි. කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන සමාජ විරෝධයට එරෙහි පවුරක් ලෙස මිලිටරිය මත දැඩි ලෙස රැඳී සිටින ආන්ඩුවට, යුද අපරාධ චෝදනාවන්ට බඳුන් වන සියල්ලන්ට මුක්තිය අවශ්‍යව තිබේ. ප්‍රමුඛ කන්ඩායමේ යෝජනාව පරාජය කිරීම සඳහා එය අනෙකුත් යූඑන්එච්ආර්සී සාමාජික රටවල සහයෝගය පතා මංමුලා සහගත ලෙස ආයාචනා කර සිටියේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ජනරාල් මිචෙල් බැචලේ පසුගිය මාසයේ ඉදිරිපත් කල වාර්තාව තුල යෝජනා කල පරිදි, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරනයට (අයිසීසී) යොමු කරන ලෙස වූ යෝජනාවක් ප්‍රමුඛ කන්ඩායමේ යෝජනාවට ඇතුලත් කරන්නැයි, ශ්‍රී ලංකාවේ දෙමල ධනේශ්වර පක්ෂ කිහිපයක්ම ඉල්ලා සිටියේය.

හිටපු ජනාධිපති හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සහෝදරයා වන එවකට ආරක්ෂක ලේකම් වූ හා වත්මන් ජනාධිපති වන ගෝඨාභය රාජපක්ෂ යටතේ, මිලිටරිය විසින් සිදුකරන ලද යුද අපරාධ සමහරක් බැචලේගේ වාර්තාව තුල ලැයිස්තු ගත විය. එල්ටීටීඊයට එරෙහි ව දශක තුනක් ඇදුනු යුද්ධයෙහි 2009 වසරේ අවසන් මාස කිහිපයේ දී දෙමල සිවිල් වැසියන් 40,000ට අධික පිරිසක් ඝාතනය කරන ලද බව එක්සත් ජාතීන් තක්සේරු කරයි. හමුදාවට භාරවූ දෙමල තරුනයන් සිය ගනනක් සලකුනක්වත් නැතිව අතුරුදන් වී ඇත.

ප්‍රමුඛ කන්ඩායමේ යෝජනාවට දෙමල ජාතික සන්ධානය (දෙජාස) සම්පූර්නයෙන් පිටුබලය දෙන අතර, දෙමල ජාතික මහජන පෙරමුන (දෙජාමපෙ) හා දෙමල මහජන සන්ධානය (දෙමස) එය ඇති තරම් බලවත් නො වන බව කියා සිටිමින් ශ්‍රී ලංකාව අයිසීසී වෙත යොමු කරන්නැයි ඉල්ලති.

මෙම විවේචනවලට ප්‍රතිචාර දැක්වූ දෙජාස ප්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මාර්තු 8දා යාපනයේ පැවති රැස්වීමක දී මෙසේ ප්‍රකාශ කලේ ය: “සාමාජික රටවල සහයෝගය දිනාගත හැකි වන පරිදි හා ඉදිරි වසර දෙක තුල ශ්‍රී ලංකාව සුපරීක්ෂාව යටතේ තබා ගත හැකි වන පරිදි යෝජනාව සූදානම් කල යුතු ය.” වඩා තදබල යෝජනාවක් ඉදිරිපත් කලහොත් ඊට සහයෝගය දිනාගැනීමට අපහසු විය හැකි බව ඔහු වැඩි දුරටත් කීවේ ය. “ශ්‍රී ලංකාව අයිසීසීයට පැවරීමේ බලයක් යූඑන්එච්ආර්සී යට නැහැ ,” යි ඔහු කීවේය.

දෙජාමපෙ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ඔහුගේ “අපේක්ෂා භංගවිම” ප්‍රකාශ කරමින් ප්‍රමුඛ කන්ඩායමේ නියෝජිතයන්ට ලීවේ ය. යෝජනාවෙන් “විශේෂයෙන් ම අන්තර්ජාතික මානව අයිතිවාසකම් හා මානව හිමිකම් නීති රුදුරු ලෙස උල්ලංඝනය කිරීම්වලට වගවීම සම්බන්ධයෙන් අපරාධවලට ගොදුරු වූ දෙමල ජනයාට පැවති මූලික බලාපොරොත්තු ඉටු වී නැති” බව ඔහු ප්‍රකාශ කලේ ය.

යෝජනාවට පිටුබලය දීම ගැන දෙජාසට තදින් දොස් පැවරූ පොන්නම්බලම්, තම පක්ෂය තව දුරටත් එම සංවිධානය සමග එකමුතුවෙන් ක්‍රියා නො කරන බව කීවේ ය.

මෙවන් දියාරු යෝජනාවක් දෙමල ජනයා රවටනු ලැබ ඇතැයි ප්‍රකාශ කල දෙමස නායක සී. වී. විග්නේස්වරන්, දේශපාලනික ප්‍රවිෂ්ටයක් වෙනුවට මානව හිමිකම්-මත පදනම් වන ප්‍රවිෂ්ටයක් අනුගමනය කරන ලෙස “ජාත්‍යන්තර ප්‍රජාවට” ආයාචනා කලේ ය.

මෙම “වෙනස්කම්” ශුද්ධ වසයෙන් ම උපායාත්මක ය. අධිරාජ්‍යවාදී බලයන්ගේ සහයෝගය පතා ආයාචනා කරන සියලු දෙමල පක්ෂවලට, චීනයට එරෙහි වොෂින්ටනයේ යුද ධාවනය සමග මූලික මතභේදයක් නැත.

යූඑන්එච්ආර්සී යෝජනාව, එක්සත් ජනපදයේ විධානයන් සමග පෙලගැසෙන ලෙස කොලඹ ආන්ඩුවට බලකරමින් එය හුදකලා කිරීම දෙමල ප්‍රභූවට ඵලදායී වනු ඇතැයි දෙජාස ගනන් බලයි. ඊනියා ශක්තිමත් යෝජනාවක් පතා පොන්නම්බලම් හා විග්නේස්වරම් කරන ඒ හා සමාන නරුම ගනන් බැලීම් වනාහි, යුද අපරාධ අරබයා දෙමල මහජනයා අතර කැකෑරෙන කෝපය අපසරනය කොට, යම් සහන ප්‍රමානයක් ප්‍රදානය කරන ලෙස රාජපක්ෂ පාලන තන්ත්‍රය මත විශාල පීඩනයක් යොදවා ගැනීමේ උත්සාහයකි.

මේ සියලු පක්ෂ යූඑන්එච්ආර්සී යෝජනාවක් සඳහා වොෂින්ටනය සිදුකල යටිකූට්ටු පියවරයන්ට ප්‍රතිචාර දැක්වූ හ. දෙසැම්බර් මැද දී එක්සත් ජනපදයේ කොලඹ තානාපතිනිය වන ඇලියානා ටෙප්ලිට්ස් සුමන්දිරන් සමග සාකච්ඡා පැවැත්වූ අතර, ඔහු සිය පක්ෂයේ සහයෝගය සහතික විය. මාධ්‍යවලට අනුව, සුමන්දිරන් ඉන්පසු මුනගැසුනු විට නව යෝජනාවක් සඳහා තල්ලුව දීමට පොන්නම්බලම් හා විග්නේස්වරන් එකඟ වූහ.

යාපනයේ සිවිල් සමාජ සංවිධානවල සම්මේලනයේ සාමාජිකයෝ හා ශිෂ්‍යයෝ ශ්‍රී ලංකාව අයිසීසී වෙත යොමුකරන ලෙස ඉල්ලා සිටිති (ලෝසවෙඅ මාධ්‍ය)

නව යෝජනාවක් ඉල්ලමින් ජනවාරි 15දා දෙජාස, දෙජාමපෙ, දෙමස හා සිවිල් සමාජ කන්ඩායම් යූඑන්එච්ආර්සී වෙත නිල වසයෙන් ලීවේ ය. අයිසීසී හා “වෙනත් ඕනෑම යෝග්‍ය හා ඵලදායී ජාත්‍යන්තර වගවීමේ යාන්ත්‍රනයක්” හරහා “ජනඝාතක අපරාධ, යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන” ලෙස ආරක්ෂක කවුන්සිලයෙන් හා මහා සම්මේලනයන් ඉල්ලා සිටින ලෙස ලිපිය යූඑන්එච්ආර්සී වෙතින් ඉල්ලා සිටියේය.

සිරියාවේ අසාද් පාලන තන්ත්‍රයට එරෙහි ව යොදාගන්නා ලද වර්ගයේ “ජාත්‍යන්තර ස්වාධීන විමර්ශන යාන්ත්‍රනයක්” ස්ථාපිත කරන ලෙස ද ලිපියෙන් ආයාචනා කෙරුනි. එක්සත් ජනපදය නායකත්වය දුන් මිලිටරි මෙහෙයුම් දියත් වූයේ එවන් ඉල්ලා සිටීමක් සමග ය.

උතුරු-නැගෙනහිර සිවිල් සමාජ සම්මුතිය, නැගෙනහිර පලාතේ පොතුවිල් සිට උතුරේ පොල්කන්ඩි දක්වා පෙබරවාරියේ දී පැවැත්වූ පාගමනට මෙම පක්ෂ පිටුබලය දුන් අතර, එම සම්මුතිය ද යූඑන්එච්ආර්සී වෙත ඉහත ලිපිය වර්ගයේ ම ආස්ථානයක් සහිත සංදේශයක් යැවී ය.

පසුගිය සති තුන පුරා, හින්දු හා කතෝලික පූජකයන් නායකත්වය දෙන දෙමල සිවිල් සමාජ සංවිධාන සම්මේලනය, යාපනයේ දී උපවාස උද්ඝෝෂනයක් හා පාගමනක් පවත්වා ඇත. ශ්‍රී ලංකාව අයිසීසීය හමුවට පමුනුවන ලෙස ඉල්ලීමට විශ්ව විද්‍යාල සිසුන් ද බලමුලුගන්වනු ලැබ තිබේ.

එක්සත් ජනපදය පිටුබලය දෙන ප්‍රමුඛ කන්ඩායමේ යෝජනාව, ශ්‍රී ලංකාව අයිසීසීය වෙත යොමු කරන ලෙස කැඳවුම් නො කිරීම අහම්බයක් නො වේ. වොෂින්ටනය උනන්දු වන්නේ බෙයිජිනයෙන් ඈත් වන ලෙස කොලඹට පීඩනය යෙදීම කෙරෙහි පමනි. එහෙත් අවශ්‍ය වන්නේ නම් අයිසීසීය යොදා ගැනීමට ද එක්සත් ජනපදය ක්‍රියා කරනු ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කලින් ආන්ඩුව බෙයිජිනය සමග පවත්වාගෙන ගිය සබඳතා පිලිබඳ ව උත්සුක වූ වොෂින්ටනය, එම සබඳතා බිඳීම සඳහා පීඩනය යෙදීමට යූඑන්එච්ආර්සී තුලින් යෝජනා කිහිපයක්ම ගෙන ඒමට අනුග්‍රහය දැක්වී ය. එය අසාර්ථක වූ තැන, මහින්ද රාජපක්ෂ ඉවත් කොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්කිරීමට පිනිස ඔබාමා ආන්ඩුව තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමී ය.

සිරිසේන හා ඔහුගේ අගමැති වූ රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ මිලිටරිය එක්සත් ජනපද පැසිෆික් බලකාය හා චීනයට එරෙහි එහි මෙහෙයුම් සමග සමීප ව ඒකාග්‍ර කල හ. විශේෂයෙන් ම දෙජාස ඇතුලු දෙමල පක්ෂ, තන්ත්‍ර-මාරුවට පිටුබලය දී සිරිසේන-වික්‍රමසිංහ පාලනයේ තථ්‍ය හවුල්කරුවන් බවට පත්වූහ.

කොලඹ බලයට පැමිනි නව පාලන තන්ත්‍රයට සහයෝගය දුන් එක්සත් ජනපදය, යුද්ධය සමයේ සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳ “දේශීය විමර්ශනයක්” පැවැත්වීමට ඉඩදීමේ යෝජනාවක් 2015 ඔක්තෝබර මස ගෙන ආවේ ය. වෙනත් වචනවලින් කියතොත්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් කරන ඕනෑම අව්‍යාජ විමර්ශනයක් යටපත් කිරීමට එය ආන්ඩුවට ඉඩ දුන්නේ ය. දෙජාස මෙම යෝජනාව සූදානම් කිරීමට මුලුමනින්ම සහභාගිවිය.

නැවතත් රාජපක්ෂ පාලනයක් බලයට පැමින බෙයිජිනය සමග ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම, වොෂින්ටනය හා එහි කලාපීය සගයා වන ඉන්දියාව කෝපගන්වා ඇත. කොවිඩ්-19 වසංගතය විසින් අවුලුවා ඇති අර්බුදයෙන් වෙලී සිටින කොලඹ පාලනය, ආර්ථිකමය වසයෙන් චීන ආයෝජන හා ආධාර මත බොහෝ සෙයින් රඳා සිටී.

පැවති ට්‍රම්ප් පරිපාලනය හා දැන් ජනාධිපති බයිඩන් යටතේ, කොලඹ ආන්ඩුවට එක්සත් ජනපද භූ-දේශපාලනික න්‍යාය පත්‍රය සමග පෙලගැසෙන ලෙස දන්වමින් වොෂින්ටනය සංඥා ගනනාවක් ම එවා ඇත. කොලඹ ආන්ඩුව මෙම විධානයන්ට ඇහුම් කන් නො දෙන්නේ නම්, තවත් තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමීමට එක්සත් ජනපදය පසුබට නො වනු ඇත.

අතිශයින් ම දූෂිත මෙම දෙමල ධනේශ්වර පක්ෂවල උපාමාරු, එක්සත් ජනපදය නායකත්වය දෙන චීනයට එරෙහි ව්‍යසනකාරී අනාගත යුද්ධයකට අන්තරායකාරී ලෙස සහයෝගය දීමක් වේ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගැත්තන් ලෙස ක්‍රියා කරන මෙම පක්ෂවලට, කොලඹ ආන්ඩුවේ යුද අපරාධ පිලිබඳ බරපතල විමර්ශනයක් හෝ දෙමල මහජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ස්ථාපිත කිරීමක් ගැන කිසිදු තැකීමක් ඇත්තේ නැත.

යුද අපරාධ පිලිබඳ අව්‍යාජ විමර්ශනයක් සහ දෙමල හා මුස්ලිම් සුලුතරයන්ට එරෙහි දශක ගනනක රාජ්‍ය මර්දනය අවසාන කිරීම කල හැක්කේ ශ්‍රී ලංකාවේ හා දකුනු ආසියාවේ කම්කරු පන්තියේ එක්සත් අරගලයක් හරහා පමනි.

Loading