සමාගම් කලමනාකාරීත්වය ඕල්ටන් වත්තේ කම්කරුවන් 38කගේ වැඩ තහනම් කරයි

[පහත පලවන්නේ 2021 මාර්තු 30 දින Management suspends 38 Alton estate workers in Sri Lanka  මාතෘකාවෙන් ලෝසවෙඅ හි ඉංග්‍රීසි බසින් පලවූ ලිපියේ පරිවර්තනයයි.]

මස්කෙලියේ ඕල්ටන් වත්තේ කලමනාකාරීත්වය, වත්තේ අධිකාරීවරයාට කායික ප්‍රහාරයක් එල්ල කිරීමට සම්බන්ධ වූවා යයි චෝදනා කරමින්, කම්කරුවන් 38කගේ වැඩ තහනම් කර ඇත. මෙම රුදුරු මර්දනකාරී පියවර පිලිබඳ ව සේවකයන්ට දැනුම් දෙන ලද්දේ දවස් 47ක වැඩ වර්ජනයකින් අනතුරු ව, බදාදා යලි වැඩට වාර්තා කල අවස්ථාවේදීය.

මස්කෙලිය අප්කොට් හි මොක්කා වත්තේ කම්කරුවන් 2018 ඔක්තෝබර් මාසයේ රුපියල් දහසේ වැටුප ඉල්ලමින් උද්ඝෝෂනයේ [ලෝසවෙඅ ඡායාරූපයකි]

සමාගමේ ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට ක්ෂනිකවම විරුද්ධත්වය පලකල ඕල්ටන් කම්කරුවෝ, දඩයමට ලක් කල තම සහෝදර කම්කරුවන් වහා ම යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් වැඩ නතර කල හ. ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායක ජීවන් තොන්ඩමන්, වැඩ තහනම් කිරීම් පිලිබඳ ව සොයා බලන බවට හිස් පොරොන්දුවක් දෙමින්, සිකුරාදා වැඩ ආරම්භ කරන ලෙසට කම්කරුවන් පෙලඹුවේ ය. තොන්ඩමන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවේ වතු යටිතල පහසුකම් පිලිබඳ ඇමතිවරයා ය.

කලමනාකාරීත්වය එහි ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාර තීව්‍ර කිරීම ඉස්මතු කොට දක්වන්නේ, ඕල්ටන් වත්තේ කම්කරුවන් ආරක්ෂා කිරීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙන යන උද්ඝෝෂනයට කම්කරුවන්, සිසුන් හා තරුනයන් සහයෝගය දීමේ හදිසි අවශ්‍යතාව යි. වැඩ තහනමට ලක්වූ සියලු කම්කරුවන් කොන්දේසි විරහිත ව යලි සේවයේ පිහිටුවන ලෙස ද ව්‍යාජ චෝදනා වහා ම හකුලා ගන්නා ලෙස ද සසප ඉල්ලා සිටී. මෙම චෝදනා සීඩබ්ලිව්සී හා අනෙකුත් වෘත්තීය සමිතිවල ආධාරය හා අනුබලය සහිත ව සමාගම් හා පොලීසිය ගෙන යන කුමන්ත්‍රනයකින් සුදානම් කල ඒවාය.  

වත්තේ අධිකාරී සුභාෂ් නාරායනන්ට පහර දීමේ චෝදනාව මත පෙබරවාරි 18දා කම්කරුවන් 8ක් අත්අඩංගුවට ගන්නා ලද අතර, මාර්තු 1දා එම චෝදනා මත ම තවත් තරුනයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. හැටන් මහේස්ත්‍රාත්වරයා එම සියලු කම්කරුවන් මහනුවර රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග කලේය. පසුව සීඩබ්ලිව්සීය තවත් කම්කරුවන් 12ක් පොලීසියට භාරදුන්නේ ය. රුදුරු ඇප කොන්දේසි යටතේ මෙලෙස අත්අඩංගුවට ගත් සියල්ලන් මාර්තු 10දා මුදාහරිනු ලැබී ය.

ඇබෝට්ස්ලී වත්තේ කම්කරුවෝ රුපියල් දහසේ වැටුප ඉල්ලා 2018 දෙසැම්බර් මාසයේ හැටන් නගරය දක්වා පෙලපාලියකින් යති [ලෝසවෙඅ ඡායාරූපයකි]

චූදිත ප්‍රහාරයට සම්බන්ධ යයි කියන තවත් කම්කරුවන් 18කගේ ලැයිස්තුවක් සමාගම විසින් සකසා ඇත. එලෙස නම් කරන ලද හතර දෙනෙකුට සිද්ධිය පිලිබඳ ප්‍රකාශ ලබා දීම සඳහා අද (මාර්තු 30) දින දෙවන වරටත් මස්කෙලිය පොලීසියේ පෙනී සිටින ලෙස නියෝග කරනු ලැබ තිබේ.

අත්අඩංගුවට පත්වූ හා වැඩ තහනම් කරන ලද කම්කරුවන්ගේ සමස්ත ලැයිස්තුවම, සීඩබ්ලිව්සීයේ උදව්ව සහිත ව පොලීසිය හා වත්තේ කලමනාකාරීත්වය විසින් සකසනු ලැබූ එකකි. ඕල්ටන් වත්තේ ක්‍රියාකාරී වන තවත් වෘත්තීය සමිති දෙකක් වන ජාතික කම්කරු සමිතිය හා කඳුරට ජනතා පෙරමුන, නිහඬ ව සිටිමින් සීඩබ්ලිව්සී යේ මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයට සම්බන්ධ වීම අනුමත කර තිබේ.

උසාවියට මුහුන දීමට නියමිත කම්කරුවන්ගේ නඩු අසන තෙක් ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට සමාගම ගත් තීරනයට ද වතු වෘත්තීය සමිති එකඟතාව පලකර තිබේ. අනෙක් කම්කරුවන් 18දෙනාගේ වැඩ නැවැත්වීමේ ලිපි යවන බව කලමනාකාරීත්වය ප්‍රකාශ කර ඇත.

කම්කරුවන් 22 දෙනාට එරෙහි නඩුවේ මීලඟ වාරය අප්‍රේල් 28 දිනට යෙදී ඇත. නීති-විරෝධී ජනරාශිය හා වත්තේ කලමනාකරුවාට බරපතල තුවාල සිදුකිරීම පිලිබඳ චෝදනාවන් මත ඔවුන්ට විරුද්ධ ව නඩු ඇසීමට නියමිත ය. මෙම චෝදනාවන්ට වැරදි යයි ඔප්පු වුවහොත් ඔවුන් චෝදනා දෙකට පිලිවෙලින් මාස හය සහ අවුරුදු හත වසයෙන් සිරගත කරනු ලැබිය හැක.

වත්තේ අධිකාරිවරයාට එරෙහි ව කිසිදු ප්‍රචන්ඩත්වයක නිරත වී ය යන්න කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් කල එක ම “අපරාධය” නම් ඉහල වැටුප්, යහපත් වැඩ කොන්දේසි ඉල්ලමින් හා වත්තේ කලමනාකාරීත්වයේ ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට විරුද්ධ ව සටන් කිරීම පමනි.

පෙබරවාරි 2දා, වැඩි වැටුප් ඉල්ලමින් වැඩ වර්ජනයකට ආරම්භකත්වය ගත් 500ක් පමන වන ඕල්ටන් වත්තේ කම්කරුවෝ, දීර්ඝ-කාලීන ඉල්ලීමක් වන රුපියල් 1000ක දෛනික වැටුපක් අරබයා පෙබරවාරි 5දා සීඩබ්ලිව්සීය කැඳවූ එක් දින ජාතික වැඩ වර්ජනයට එක් වූහ.

ඇබෝට්ස්ලී වතු කම්කරුවන් රුපියල් දහසේ වැටුප සඳහා 2018 දෙසැම්බර් මාසයේ ෆැක්ටරි ගේට්ටුව අසල පිකට් කරමින් [ලෝසවෙඅ ඡායාරූපයකි].

වතු සමාගම් විසින් කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහි ව වතු කම්කරුවන් අතර වැඩෙන කෝපය අපසරනය කිරීමට සීඩබ්ලිව්සීය එම එක් දින වැඩ වර්ජනය කැඳවී ය.   

වැටුප් වැඩි කිරීමක් සුරක්ෂිත කරගැනීමට අධිෂ්ඨානවත් වූ ඕල්ටන් වත්තේ කම්කරුවෝ, ජාතික වැඩ වර්ජනයෙන් පසුව ද වර්ජනයේ යෙදී සිටීමට නිශ්චය කරගත් හ. වත්තේ කලමනාකරුවා විසින් ආරම්භ කරන ලද ප්‍රකෝපකාරීත්වයන් මාලාවකින් පසුව, පෙබරවාරි 17දා ඔහුගේ නිල නිවසට පිටත සිට විරෝධතාවක යෙදීමට කම්කරුවෝ තීරනය කල හ. කම්කරුවන් කලමනාකරුවාට ප්‍රහාර එල්ල කලේ යයි කියා සිටීමට කලමනාකාරීත්වය යොදා ගත්තේ මෙම විරෝධතාව යි.

ලංකාවේ විශාල තේ හා රබර් වතු මෙහෙයවන සියලු ප්‍රාදේශීය වතු සමාගම්, ඕල්ටන් වත්තේ කම්කරුවන්ට විරුද්ධ ව සිදුකරගෙන යන දඩයමට සහයෝගය දක්වති. දැනට රුපියල් 700ක් වන වතු කම්කරුවන්ගේ දරිද්‍රතා මට්ටමේ දෛනික වැටුප වැඩි කිරීම, අනුප්‍රාප්තික ආන්ඩුවල පිටුබලය ලබන මෙම සමාගම් එක දිගට ම ප්‍රතික්ෂේප කර ඇත.

ඊනියා ආදායම් බෙදීමේ ක්‍රමයක් ක්‍රියාවට දැමීම යටතේ ශ්‍රම පිරිවැය කප්පාදු කිරීමට වතු සමාගම් උත්සාහ කරමින් සිටිති. මෙම ක්‍රමය යටතේ, කම්කරුවෙකුට නිශ්චිත තේ පඳුරු හෝ රබර් ගස් ප්‍රමානයක් පවරනු ලබන අතර, කම්කරුවන් හා ඔවුන්ගේ පවුල් ඒවා වගා කිරීමට බැඳී සිටී.  අස්වැන්න මිලදී ගන්නා සමගම පොහොර, රසායනික ද්‍රව්‍ය, උපකරන හා තම ලාබය අඩු කරගෙන ඉතිරි වන ආදායම කම්කරුවාට ගෙවනු ලබයි.

මෙම ක්‍රමයෙන් කම්කරුවන් ව අඳ ගොවියන්ගේ තත්ත්වයට පිරිහෙලා, අසීරුවෙන් දිනාගත් විශ්‍රාම වැටුප් හා අනෙකුත් ජයග්‍රහන අහෝසි කිරීමට සමාගමට ඉඩ ලබා දෙන නිසා, වෘත්තීය සමිති ඊට සම්පූර්න සහයෝගය දුන්න ද වතු කම්කරුවන් එයට විරෝධය පලකර ඇත.

කොරෝනා වෛරස් වසංගතය විසින් ගැඹුරු කරන ලද දරුනු ආර්ථික කොන්දේසිවලට මුහුන දෙන වතු සමාගම්, ඵලදායිතාව ඉහල දැමීමට හා පිරිවැය කැපීමට අධිෂ්ඨානවත් ය. ඕල්ටන් වත්තේ කම්කරුවන්ට විරුද්ධ ව සිදු කරන වැඩ තහනම් කිරීම් හා සිරගත කිරීමේ තැතද ඇතුලු දැනට කරගෙන යන මර්දනයන් පැහැදිලි කරන්නේ, ආන්ඩුවේ හා වෘත්තීය සමිතිවල ආශීර්වාදය ලබන මහ ව්‍යාපාරිකයන්, තම ඉලක්ක සපුරාගැනීම සඳහා ඕනෑම රුදුරු පියවරක් ගැනීමට සූදානම් බව ය.

වැවිලිකරුවෝ කම්කරුවන්ට එල්ල කරන ව්‍යාජ “ප්‍රචන්ඩත්ව” චෝදනාවන්ට ප්‍රතිචාර දැක්වූ ආන්ඩුවේ ජාතික ආරක්ෂක කවුන්සිලය, මේ මස මුල දී වතුවල පවතින ඊනියා ආරක්ෂක ප්‍රශ්න සාකච්ඡාවට ගත්තේ ය.

රාජපක්ෂ ආන්ඩුව, වතු කම්කරුවන්ගේ ඉහල යන කෝපයට පමනක් නො ව, වැටුප්, රැකියා හා වැඩ කොන්දේසි අරබයා ඉහල නගිමින් පවතින කම්කරු-පන්තික ඉල්ලීම් රැල්ලකට ද මුහුන දේ. පසුගිය සතිය ගුරුවරුන් මෙන් ම සෞඛ්‍ය, විදුලි බල, ජල සම්පාදන, දුම්රිය හා ඇඟලුම් කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතාවලින් ඇලලී ගියේය.

මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ආන්ඩුව හා හාම්පුතුන් එල්ල කරන ප්‍රහාරයන් පිලිබඳ ව උත්සුක කම්කරුවන්, තරුනයන් හා අනෙකුත් සියල්ලන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ඕල්ටන් වත්තේ කම්කරුවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත්වන ලෙසයි. ඔබේ ප්‍රකාශ කරුනාකර wswscmb@sltnet.lk යන ලිපිනයට එවන්න.

පසුගිය සතියේ ලැබුනු ප්‍රකාශ කිහිපයක් අපි පහත පලකරමු.

*ජාඇල  එස්ක්වෙල් ඇඟලුම් කම්හලේ සේවකයන් මේ දිනවල අලුත් අවුරුදු බෝනස් දීමනාව ගෙවන ලෙස සමාගමට බලකරමින් සිටිති. සමාගම එය ප්‍රතික්ෂේප කර ඇත්තේ, වසංගතය හේතුවෙන් බෝනස් දීමනාව ගෙවිය නො හැකි බව කම්කරුවන්ට කියමිනි. එහි කම්කරු කාන්තාවක් මෙසේ සඳහන් කලාය:

“මෙය හාම්පුතුන් අප සියල්ලන්ට ම එල්ල කරන ප්‍රහාරයක කොටසක් නිසා මෙම [ඕල්ටන්] කම්කරුවන් දඩයම් කිරීමට විරුද්ධ ව අපි උද්ඝෝෂනය කරන්න ඕන” යි ඇය කීවා ය. “අත්අඩංගුවට අරගන ඉන්න කම්කරුවන්ට එරෙහි බරපතල චෝදනා ඉවත දැමිය යුතු යි.”

ඇඟලුම් කර්මාන්ත කම්කරුවන්ට ගෙවනු ලබන පහල වැටුප් ගැන සඳහන් කරමින් ඇය මෙසේ කීවා ය: “වතු කම්කරුවන්ට ලැබෙන්නෙත් දුප්පත් වැටුපක්. ඒගොල්ලන්ගෙ දෛනික පඩිය අඩු තරමින් රුපියල් 1,000ක් වත් කල යුතු යි. ඔවුන්ගේ වැටුප  වැඩි කරන්න කියලත් අපි උද්ඝෝෂනය කරන්න ඕන.”

* මතුගම ප්‍රදේශයේ ගුරුවරයෙක් වන පී. චතුරංග මෙසේ කීවේ ය: “කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් ප්‍රදානය නො කරන ආන්ඩුව හා සමාගම්, ඔවුන් ව බියවද්දා මර්දනය කිරීමට උත්සාහ කරමින් සිටිනවා. හාම්පුත්තු, රාජ්‍යය හා වෘත්තීය සමිති ගෙන යන මේ ඒකාබද්ධ දඩයමට මම විරුද්ධ යි.

“ගුරුවරු වන අපටත් තියෙන්නෙ මේ වගේ ම අත්දැකීම්. ගුරුවරුන් මුහුන දෙන වැටුප් ප්‍රශ්න දශක ගනනක් තිස්සේ විසඳලා නැති ධනපති ආන්ඩු, ඒකට විරුද්ධ සටන් කරන්න ගුරුවරුන් කරන අරගල ප්‍රයත්නයන් දැඩි ලෙස මර්දනය කරල තියෙනවා. වතු කම්කරුවන් මර්දනය නතර කිරීමේ අරගලයට සමස්ත කම්කරු පන්තිය ම එකතු විය යුතු යි.” 

* යාපනයේ ගොඩනැගිලි කම්කරුවෙක් වන ඩබ්ලිව්. එස්. මුරලි මෙසේ සඳහන් කලේ ය: “වතු වෘත්තීය සමිති නායකයො ඔක්කොම ඇමතිවරු වගේ ම ආන්ඩුවලට වැඩකරල තියෙනවා. ඒ නිසා, ඒගොල්ලො ඕල්ටන් වත්තෙ කම්කරුවන් අත්අඩංගුවට ගන්න එකට සහයෝගය දෙනව කියන එක පුදුමයක් නෙවෙයි. වතු කම්කරුවන් නිදහස් කරගන්න සටන් කරන්න කියල මම සියලු කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් ඉල්ලනව.” 

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි කොලඹ පාලනයේ 30-අවුරුදු යුද්ධය, දෙමල වැසියන්ට එරෙහි ලේවැකි මිලිටරි මර්දනය හා තරුන ජනයා සිරගත කිරීම ගැන ද ඔහු සඳහන් කලේ ය.

*පුවත්පතක කාටුන් ශිල්පියෙක් පහත ප්‍රකාශය එවී ය:

“මේ මර්දනයට මම එකහෙලා විරුද්ධ යි. මේක සමාගම් හා පොලීසිය දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන යන මර්දනය තීව්‍ර කිරීමක්. තිබෙන සියලු තොරතුරු පෙන්නුම් කරන ආකාරයට මේක කම්කරුවන්ට එරෙහි බොරු නඩුවක්.

“මම තේරුම් ගත්ත ආකාරයට, සමාගම්, පොලීසිය හා ආන්ඩුව ඒකාබද්ධ ව මේ දඩයමට සම්බන්ධ යි. කම්කරුවන්ට විරුද්ධ ව එල්ල කිරීමට වැවිලිකරුවො ආයුධ ඉල්ලීම බරපතල කාරනයක්.”

ධනපති පන්තිය තීව්‍ර කරන ප්‍රහාරවලට ප්‍රතිරෝධය දැක්වීම සෑම රටක ම කම්කරුවන් ආරම්භ කරමින් සිටින බවත්, ශ්‍රී ලංකාව හා අනෙකුත් රටවල් තුල ප්‍රකාශනයේ නිදහස ද ප්‍රහාරයට ලක්ව පවතින බවත්, ඔහු කීවේ ය. “කම්කරුවන්ගේ සතුරන් කම්කරුවන්ට පහර දීමට එකමුතු වී සිටින තත්වය තුල, අපේ පැත්තෙන් මේ ප්‍රහාරයට විරුද්ධ ව එක්සත් අරගලයක් සඳහා අපි සූදානම් වීම අවශ්‍ය යි.”

Loading