කොලඹ වරාය පුද්ගලීකරනයට එරෙහි ව සටන් කිරීමට කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් සඳහා! ඉන්දියානු-විරෝධී උද්ඝෝෂනය ප්‍රතික්ෂේප කරනු! සමාජවාදී ක්‍රියා මාර්ගයකට සටන් වදිනු!

[පහත පල  ‍කෙරෙන්නේ 2021 පෙබරවාරි 5  දින For an independent movement of the working class to fight the privatisation of Colombo Port! Oppose anti-Indian campaign! Fight for a socialist program!  යන මැයෙන් පල කෙරුනු සසප ප්‍රකාශයේ සිංහල පරිවර්තනයයි.]

කොලඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ඊසීටී) ඉන්දියාව සහ ජපානය සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන බවට පෙර තිබූ ගිවිසුම කඩමින් එය වරාය අධිකාරිය යටතේ “සංවර්ධනය” කරන බව ආන්ඩුව සඳුදා (පෙබරවාරි 1) නිවේදනය කලේ . ඉන්දියාව තෘප්තිමත් කිරීමේ උත්සාහයක් දැරූ ආන්ඩුව, වරායේ බටහිර පර්යන්තය පුද්ගලික හිමිකාරීත්වය යටතේ පවතින්නක් ලෙස වර්ධනය කිරීමට පොරොන්දු වී තිබේ.

පර්යන්තය ඉන්දියාවට නො විකුනන ලෙස සිංහල-බෞද්ධ අන්තවාදීන් සමග පෙල ගැසී සිටින වරාය වෘත්තීය සමිතිවල උද්ඝෝෂනයට ප්‍රතිචාර ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට්ටුව මෙම තීන්දුව ගත්තේ ය. පුද්ගලීකරනයට එරෙහි කම්කරුවන්ගේ විරුද්ධත්වය බෙදීමටත්, ඔවුන් ව ඉන්දියාවේ ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන්ට එරෙහි ව පිහිටුවීමටත්, වෘත්තීය සමිතිවල විෂඝෝර ඉන්දියානු-විරෝධී උද්ඝෝෂනය දියත් කරන ලදී. 

2020 අගෝස්තු මුල පුද්ගලීකරනයට එරෙහිව උද්ඝෝෂනයක යෙදෙන කොලඹ වරායේ කම්කරුවන්. ඉදිරියෙන් ඉන්දියාව විසින් ලංකාව ගිල ගැනීම පෙන්නුම් කරන පුවරුව ඔසවා ගෙන සිටින්නේ සමිති නිලධාරින් ය (ලෝසවෙඅ මාධ්‍ය)

 ආන්ඩුවේ නිවේදනයෙන් අනතුරු ව, වානිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී වෘත්තීය සමිතියේ නායක ශ්‍යාමල් සුමනරත්න ප්‍රකාශ කලේ, “පර්යන්තය ඉන්දියාවට පැවරීමට එරෙහි සටන ඔවුන් ජයග්‍රහනය කල” බව යි. සුමනරත්නගේ සමිතිය පවත්වාගෙන යනු ලබන්නේ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) විසිනි.

සුමනරත්නගේ ව්‍යාජ කියාපෑම් කවරක් වුව ද කම්කරු පන්තිය කිසිවක් දිනාගෙන නැත. රැකියා හා වැටුප් කප්පාදු කරමින් ද වැඩප්‍රමානයන් ඉහල දමමින් ද ආන්ඩුවේ පුද්ගලීකරන වැඩපිලිවෙල වරායේ ද රටේ අනෙකුත් තැන්වල ද දිගට ම ක්‍රියාත්මක වනු ඇත.

මාරාන්තික වසංගතය මධ්‍යයේ සේවකයන්ට දිගට ම වැඩෙහි යෙදෙන ලෙස බලකිරීම සඳහා කලින් අත්‍යවශ්‍ය සේවා පනත යොදාගත් රාජපක්ෂ, පසුගිය සිකුරාදා වෘත්තීය සමිතිවල පිටුබලය සමගින් එම මර්දනීය පියවර අලුත් කලේ ය. මෙම විෂඝෝර නීතිය “ආර්ථිකය යලි විවෘත කිරීමටත්” වරාය කම්කරුවන්ගේ ඕනෑ ම කාර්මික ක්‍රියාවක් මර්දනය කිරීමටත් ඊට කලින් යොදාගනු ලැබිනි.

කොලඹ වරාය පුද්ගලීකරනයට එරෙහි අරගලය, ශ්‍රී ලංකාවේ ද දකුනු ආසියාවේ ද ජාත්‍යන්තර ව ද කම්කරු පන්තිය මුහුන දෙන භූ-දේශපාලනික ප්‍රශ්න තියුනු ලෙස ඉස්මතු කර දක්වයි.

ශ්‍රී ලංකාව තුල චීනයේ ආනුභාවයට වල කැපීම පිනිස ගෙන යන ධාවනයේ කොටසක් ලෙස කොලඹ වරාය මත අඩියක් තබා ගැනීමට ඉන්දියානු ආන්ඩුව අධිෂ්ඨානවත් ය. තීව්‍ර වෙමින් පවතින චීනයට එරෙහි එක්සත් ජනපදය නායකත්වය දෙන යුද ධාවනයේ පෙරමුනු රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කිරීම අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ගැඹුරු කර තිබේ.

නැගෙනහිර පර්යන්තයේ කලමනාකරනය ඉන්දියාවේ අදානි සංගතයට පැවරීමට නව දිල්ලිය සැලසුම් කලේ, මෙම ගැඹුරු නාවික සම්පතෙහි හුදු ආර්ථික ප්‍රතිලාභ පමනක් ම වෙනුවට, මූලික වසයෙන් යට සඳහන් කල භූ-මූලෝපායික ගනන් බැලීම් හේතුවෙනි. 2013 දී පුද්ගලීකරනය කරන ලද, දැනට චීනයට හිමි කොලඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයට (සීඅයිසීටී) යාබද ව මෙම පර්යන්තය පිහිටා තිබේ. 

2019 මැයි මාසයේ අත්සන් තබන ලද ඊසීටී ගිවිසුම ක්‍රියාවට දමන ලෙස ඉන්දියාව කල අවධාරනයට ප්‍රතිචාර වසයෙන්, වරාය වෘත්තීය සමිති පුද්ගලීකරනයට එරෙහි උද්ඝෝෂනය තීව්‍ර කල හ. ගිය මස මුල දී ඉන්දීය විදේශ ඇමති එස්. ජයශංකර් මේ අභිප්‍රායයෙන් යුතු ව ශ්‍රී ලංකාවට සංචාරය කලේ ය. රාජපක්ෂ ජයශංකර් ඉල්ලීමට එකඟ විය. 

ශ්‍රීලපොපෙ විසින් පාලනය කරන වානිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී වෘත්තීය සමිතිය සමග මෙම උද්ඝෝෂනයට සහභාගි වන අනෙක් සංවිධාන අතරට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පාලනය කරන වරාය සේවා සමිතිය, ජනතා විමුක්ති පෙරමුනේ සමස්ත ලංකා වරාය කම්කරු පොදු සේවක සමිතිය සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් අයත් වෙති.

ඊනියා “නැගෙනහිර ජැටිය ආරක්ෂා කරගැනීමේ ජාතික ව්‍යාපාරයට” අනුබද්ධ අනෙකුත් සංවිධාන අතරට, ජාතික භික්ෂු පෙරමුන සහ ඒ හා සමාන අන්තවාදී සංවිධාන අයත් විය. පාලක ආන්ඩු සභාගයේ වර්ගවාදී සගයන් වන ජාතික නිදහස් පෙරමුන හා පිවිතුරු හෙල උරුමය, මෙන්ම ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයද (පෙසප) මෙම උද්ඝෝෂනයට සහයෝගය දුන් හ. විලිලජ්ජා රහිත ලෙස පෙසප පෙරමුනට පැනගත්තේ, ඉන්දියානු-විරෝධී උද්ඝෝෂනය වරාය ආරක්ෂා කිරීමේ “මහජන ව්‍යාපාරයක්” ලෙස උත්කර්ෂයට නංවමිනි.

අකුරට වැඩ කිරීමේ උද්ඝෝෂනයක් කැඳවුම් කල වෘත්තීය සමිති පසුගිය සඳුදා වැඩ වර්ජනයක් දියත් කරන බවට තර්ජනය කල විට, අඩියක් පසුපසට ගත් ආන්ඩුව, ඊසීටී ගනුදෙනුවෙන් ඉවත් වන බව නිවේදනය කලේ ය.

ශ්‍රී ලංකාවේ ආන්ඩුව ප්‍රමුඛ වසයෙන් ම බිය වුනේ, වෘත්තීය සමිතිවල ස්වෝත්තමවාදී ස්වභාවය නො තකා, වරාය කම්කරුවන්ගේ විරෝධය කම්කරු පන්තියේ අනෙකුත් කොටස් ද අරගලවලට පැමිනීමට දිරිමත් කරනු ඇත යන්න ගැන යි. සමාජීය අයිතීන් මත එල්ල කරන තියුනු ප්‍රහාරය ද කොවිඩ්-19 වසංගතයට දක්වන සාපරාධී අන්තරායදායක ප්‍රතිචාරය ද කෙරෙහි කම්කරුවන් අතර කෝපය ඉහල යමින් තිබේ.

දෙවනුව, දක්ෂිනාංශික ජාතිකවාදී කොටස්වල-එනම් මෑත මැතිවරනවලදී රාජපක්ෂ විසින් බලමුලුගන්වන ලද බලවේගම-මෙම“විරෝධය” තමන්ගේ පාලන තන්ත්‍රයේ බිඳෙනසුලු බව හෙලිදරව් කරනු ඇතැයි ජනාධිපති රාජපක්ෂ කනස්සල්ලෙන් පසු වෙයි.

ශ්‍රීලපොපෙ ජ්‍යෙෂ්ට ඇමතිවරයෙක් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට පැවසූ පරිදි, “ආක්‍රමනික ජාතිකවාදීන් හා සිවිල් සමාජ කන්ඩායම් වරාය කම්කරුවන්ට සහයෝගය දිගු කරද්දී, ඔහුගේ (ජනාධිපතිගේ) තත්ත්වයට වරාය පුද්ගලීකරනය කිරීම තර්ජනයක් එල්ල කරනවා. ජනාධිපතිවරයාගේ ජනප්‍රිය භාවය හිඳෙමින් පවතිනවා.”

නැවත වතාවක් වෘත්තීය සමිති ප්‍රදර්ශනය කර ඇත්තේ, තමන් වනාහි කම්කරු පන්තියට එරෙහි ව දේශපාලන පොලීසියක් ලෙස ක්‍රියාකාරී වන, ආඥාදායක පාලනයක් දෙසට රාජපක්ෂ ගන්නා සියලු පියවරයන් අනුමත කරන, ධනපති රාජ්‍යයේ හා අන්ත දක්ෂිනාංශික බලවේගවල උපකරන බව යි.

කුප්‍රකට වර්ගවාදී බෞද්ධ භික්ෂුවක් වන ඇල්ලේ ගුනවංස වෘත්තීය සමිති නිලධරයන් සමගින්. ඉදිරිපෙලේ වමේ සිට දෙවැනියාට සිටින්නේ ශ්‍රීලපොපෙ සමිති නායක ශ්‍යාමල් සුමනරත්න ය.

ඔවුන්ගේ ඉන්දියානු-විරෝධී උද්ඝෝෂනයේ දී, නැගෙනහිර වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියානු සමාගමට පවරන ලෙස ජනාධිපති රාජපක්ෂට ලියූ වෘත්තීය සමිති, පර්යන්තය ලාභදායී “ජාතික සම්පතක්” ලෙස වර්ධනය කරන බවට පොරොන්දු වූ හ. වෙනත් වචනවලින් කියතොත්, පර්යන්තයේ රැකියා, සේවා කොන්දේසි විනාශය සහ ඵලදායීතාව ඉහල නැංවීම සහතික කිරීමට වෘත්තීය සමිති කලමනාකාරීත්වය සමග ඒකාබද්ධ වනු ඇත.

කෙටියෙන් කියතොත්, ආන්ඩුවේ මහ ව්‍යාපාරික වැඩපිලිවෙලට මූලික විරුද්ධත්වයක් නොමැති වෘත්තීය සමිතිවලට, වැඩ වර්ජන හා කම්කරුවන්ගේ ඉල්ලීම් මර්දනය කිරීමේ දී තමන්ගේ දායකත්වය පලල් කිරීම අවශ්‍ය කරයි.

වරාය කම්කරුවෝ යලි යලිත් වරාය පුද්ගලීකරනය කිරීමට එරෙහි ව සටන් වැදී ඇති අතර, වෘත්තීය සමිති කර ඇත්තේ එම අරගල කඩාකප්පල් කොට පාවාදීම පමනි.

1999 දී දකුනු ආසියා ගේට්වේ පර්යන්තය (එස්ඒජීටී) පුද්ගලීකරනය කිරීමට එරෙහි ව වරාය කම්කරුවෝ කාර්මික ක්‍රියා මාර්ගයකට පිලිපන් හ. වෘත්තීය සමිති එම අරගලය පාවාදුන් හ. 2013 දී වෘත්තීය සමිති සීඅයිසීටීය පුද්ගලීකරනය කිරීමට අනුමැතිය දුන් හ.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීම පිනිස සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව 2019 මැයි මාසයේ ගිවිසුමක් අත්සන් කල විට විපක්ෂයේ සිටි ශ්‍රීලපොපෙ, වරාය වෘත්තීය සමිතිවල ද පිටුබලය සහිත ව ගිවිසුම ඉන්දියාවට රට පාවාදීමක් ලෙස හෙලාදුටුවේ ය. 2019 නොවැම්බර් රාජපක්ෂගේ ජනාධිපතිවරන උද්ඝෝෂනයේ මූලික කුලුනක් වූයේ මෙයයි.

පුද්ගලීකරනයට එරෙහි වරාය කම්කරුවන්ගේ විරෝධය, පසුගිය වසරේ මහ මැතිවරන උද්ඝෝෂනය අවසන් වීමට යන්තම් දින තුනකට පෙර යලිත් පුපුරා ගිය අතර, එය, ජූලි 31දා පටන් කම්කරුවන් 10,000ක් පමන වැඩ වර්ජනය කිරීම දැකගත්තේ ය. කම්කරු විරෝධය පීලිපැන්නවීම සඳහා ඉන්දියානු-විරෝධී ස්වෝත්තමවාදයක් ඇවිලූ වෘත්තීය සමිති, බෞද්ධ කන්ඩායම් ද රැගෙන ආවෝ ය.

වරාය පහසුකම් කලින් පුද්ගලීකරනය කිරීම් හේතුවෙන් වරාය සේවකයන්ට දැඩි ප්‍රහාර එල්ල වී ඇත. වසර ගනනක් පුරා ස්ථීර රැකියා 10,000ක් පමන පුද්ගලික ආයෝජකයන් හා වරාය අධිකාරියේ කලමනාකාරීත්වයේ පිරිවැය කප්පාදු විසින් විනාශ කර ඇත. ස්ථීර රැකියා අහෝසි කරනු ලැබ, ඒවා වෙනුවට අතිශය සූරාකෑමේ කොන්දේසි යටතේ කොන්ත්‍රාත් කම්කරුවන් ව යොදනු ලැබ ඇත්තේ, සමාජීය අයිතීන් හෝ විශ්‍රාම හිමිකම්වලින් තොර ව ය.

ගිවිසුම ඒකපාර්ශවීය ව බිඳ දැමීමට ආන්ඩුව ගත් තීන්දුව පිලිබඳ නව දිල්ලියේ අතෘප්තිය පල කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ ශ්‍රී ලංකාවේ ජනාධිපති හා අගමැති හමු විය. එක්සත් ජනපදයේ පිටුබලය ලබන ඉන්දියාව කරුන පහසුවෙන් නො ගනු ඇති අතර, ශ්‍රී ලංකාවට හෝ කලාපයේ වෙනත් කිසිදු රටකට චීනයට එරෙහි තමන්ගේ භූ-මූලෝපායික සූදානම්වීම්වලට වලකැපීමට ඉඩ නො දෙනු ඇත.

පෙසප නායකයෙකුවන දුමින්ද නාගමුව, ඇල්ලේ ගුනවංස භික්ෂුව සමග වරාය ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවක-2021-05f

වෘත්තීය සමිතිවල ඉන්දියානු-විරෝධී උද්ඝෝෂනයට සහයෝගය දීමේ දී විෂකුරු භූමිකාවක් ඉටුකර ඇති පෙසප, ප්‍රතිගාමී ස්වෝත්තමවාදී කන්ඩායම් හා වෘත්තීය සමිති නිලධරය සමග සන්තෘෂ්ටියෙන් යුතු ව කරේ අතදාගෙන ඇත.

ආන්ඩුව සඳුදා ගත් තීන්දුවෙන් පසුව, පෙසප නායක පුබුදු ජයගොඩ මාධ්‍ය වෙත මෙසේ කීවේ ය: “ආන්ඩුව මහජන බලය ඉදිරියේ දනගසා තිබෙනවා. අපි ඉදිරියට දැමූ සටන් පාඨය ජයග්‍රහනය කලා.” පෙසප “මෙවැනි මහජන ව්‍යාපාර” ගොඩනැගීමේ දිගට ම නිරත වන බව ජයගොඩ ජයග්‍රාහී ලීලාවෙන් ප්‍රකාශ කලේ ය.

පෙසපට අනුව “මහජන බලය” සමන්විත වන්නේ, සමිති නිලධරය හා සිංහල-බෞද්ධ අන්තවාදීන් සමග එකමුතුවෙන් මිස කම්කරු පන්තිය, දුගීන් හා පරිපීඩිත තරුනයන් සමග එකමුතුවෙන් නො වේ. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී, “වෙනස්කම් නො තකා” වසංගතයට මුහුන දීමේ දී ආන්ඩුව සමග වැඩකිරීමේ සූදානම ප්‍රකාශ කරමින්, පෙසප අගමැති මහින්ද රාජපක්ෂට ලීවේ ය.

කම්කරු පන්තියට ඉදිරියට යා හැක්කේ, මෙම අවස්ථාවාදී නඩ ප්‍රතික්ෂේප කරමින් සහ රාජපක්ෂ ආන්ඩුවේ සියලු ප්‍රහාරවලට විරුද්ධ ව තමන්ගේ දේශපාලන හා කාර්මික ශක්තිය ස්වාධීන ව බලමුලුගැන්වීමෙන් පමනි. කම්කරුවෝ තමන්ගේ ම ස්වාධීන බලය අභ්‍යාස කිරීම සඳහා සමිති නිලධරයෙන් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු ය.

කම්කරුවෝ, කම්කරු පන්තිය බෙදීමට හා දුර්වල කිරීමට යොදා ගන්නා ඉන්දියානු-විරෝධී ස්වෝත්තමවාදය ඇතුලු  ජාතිකවාදයේ හා දේශප්‍රේමයේ විෂ ප්‍රතික්ෂේප කල යුතු ය. වාර්ගික රේඛා කපාගෙන කම්කරුවෝ ඉන්දියාවේ හා ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග ඒකාබද්ධ විය යුතු ය.

වැඩෙන සමාජ විරෝධයේ සහ ගැඹුරු වන දේශපාලන බෙදීම් මධ්‍යයේ ජනාධිපති රාජපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන් හා ආඥාදායක පාලන රූපයන් දෙසට ගන්නා පියවරයන් ගැඹුරු කරනු ඇත.

සියලු සමාජ අයිතීන් රැකීමේත් පුද්ගලීකරනය පරාජය කිරීමේත් එකම ඉදිරි මාවත වන්නේ, මහා බැංකු, සංගත හා වතු, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීමත්, විදේශ නය ප්‍රතික්ෂේප කිරීමත් ය. මෙම ක්‍රියා මාර්ගය ක්‍රියාවට දැමීම සඳහා ගම්බද දුගීන් සහ අනෙකුත් පීඩිත ජනයා රැලි කරගන්නා කම්කරු පන්තිය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වැදිය යුතු ය. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් වන මෙය, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගෙඩනැගීම සමග වෙන් කල නොහැකි ලෙස බැඳී තිබේ. සසපට බැඳී එම අරගලය ඉදිරියට ගෙන යන මහජන පක්ෂය ලෙස එය ගොඩනැගීමට එක් වන මෙන් අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

Loading