ඉදිරිදර්ශන

සූවස් ඇල අවහිර වීම සහ නිෂ්පාදනයේ ගෝලීයකරනය

[පහත පලවන්නේ මාර්තු 29 දින The Suez Canal blockage and the globalization of production  යන මාතෘකාවෙන් පලවූ ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි.]

ලොව විශාලතම බහාලුම් නෞකාවලින් එකක් වන එවර් ගිවන් (Ever Given), වැල්ලේ එරී ගොස් ඊජිප්තුවේ සූවස් ඇල අවහිර වීමේ සුවිශාල ගම්‍යයන් ජාත්‍යන්තර වශයෙන් හඟිනු ලැබේ.

පසුගිය අඟහරුවාදා (23) සිට සෘතුමය වැලි කුනාටුවක් හේතුවෙන් ඇල හරහා සිරව තිබූ දැවැන්ත බහාලුම් නෞකාව අද (29) උදේ පාන්දරින්ම ටග්බෝට්ටු මගින් වෙරල තීරයෙන් නිදහස් කරගන්නා ලදී. එය සම්පූර්නයෙන් නැවත දියත් කිරීමේ උත්සාහයන් ලිවීමේ අවස්ථාවේදී සිදුවෙමින් පවතී.

ලෝක ආර්ථිකයේ බල නහරයක් තනි නෞකාවකින් අවහිර වීම - සිදුවීමට කල්බලා සිටින හදිසි අනතුරක් - නූතන සමාජයේ මූලිකාංග හෙලි කරයි.

පැනමාවේ පිහිටා ඇති තායිවාන සමාගමක් වන එවර්ග්‍රීන් මැරීන් කෝපරේෂන් විසින් ක්‍රියාකරවනු ලබන ජපානයේ ෂෝයි කිසෙන් කයිෂා සමාගමේ මෙම නෞකාව ඩොලර් මිලියන 89 ක් වටිනා භාන්ඩ රැගෙන යයි.

සෑම රටකම කම්කරු පන්තිය බලගතු අන්තර් සම්බන්ධිත ජාලයක් හා යා කරමින්, නිෂ්පාදන හා ආර්ථික ක්‍රියාකාරකම් පෙර නොවූ විරූ මට්ටමකට ජාත්‍යන්තරව ඒකාබද්ධ වී ඇති තතු තුල, එක් ප්‍රධාන සංක්‍රමන කේන්ද්‍රස්ථානයක් අඩපන වීම ලොව පුරාවටම ඉක්මනින් සංවේදනය වේ.

සූවස් ඇල අධිකාරිය විසින් නිකුත් කරන ලද මෙම ඡායාරූපයෙහි දැක්වෙන්නේ 2021 මාර්තු 28 වන ඉරිදා, සූවස් ඇල හරහා සිර වී ඇති පැනමා ධජය සහිත ජපානයට අයත් එවර් ගිවන් නිදහස් කිරීම සඳහා ටග් බෝට්ටු සහ කැනීම් යන්ත්‍ර කටයුතු කරන ආකාරය යි. (සූවස් ඇල අධිකාරිය, AP මගිනි).

සූවස් ඇල හරහා ගමන් කරන යාත්‍රාවලින් සියයට 50 ක්ම පාහේ මහාද්වීපවලට සහ ඉන් පිටතට කාර් උපාංග, යන්ත්‍රෝපකරන, ඇඟලුම් සහ පාරිභෝගික විදුලි උපකරන රැගෙන යන බහාලුම් නැව් වේ. භාන්ඩ, යුරෝපය තුල කොටස් එකතු කර, එකලස් කිරීම සඳහා ඇමරිකාවට සහ සෙසු ලෝකයට නැව්ගත කෙරේ.

කෙසේ වෙතත්, අතාර්කික, අරාජික ධනේශ්වර සමාජ ක්‍රමය යටතේ, ලෝකය ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස බෙදී ඇති අතර, සූවස් ඇල අවහිරය වැනි සිදුවීමක් සඳහා බරපතල සූදානමක් නොමැත. දීර්ඝ කාලයක් තිස්සේ පුරෝකථනය කර ඇති පරිදි, බහාලුම් “මහා නැව්” වල පරිමාව හා සංඛ්‍යාව අතිමහත් ලෙස ප්‍රසාරනය කර තිබේ.

ඇල දෙකෙලවර යාත්‍රා 450 කට වැඩි ප්‍රමානයක් රැඳී සිටින අතර, විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ රක්ෂන සමාගම්වලට ඩොලර් මිලියන 100 ඉක්මවා යන ගෙවීම් ප්‍රමානයකට මුහුනදීමට සිදුවිය හැකි බවයි. කෙසේ වෙතත්, ප්‍රමාදයන් සඳහා වන්දි ගෙවීම, සූවස් ඇල අධිකාරියට (SCA) ආදායම අහිමිවීම, භාන්ඩ ප්‍රවාහන නෞකාවට සිදුවිය හැකි හානිය සහ නැව නැවත ප්‍රවාහනය කලහැකි තත්වයට පත් කිරීම සඳහා පිරිවැය ඇතුලුව අවසාන බිල්පතට ඊටත් වඩා විශාල මුදලක් ඇතුලත් විය හැකිය.

එවර් ගිවන් අනතුරට නිශ්චිත හේතු තවමත් නිර්නය කර නොමැති අතර, එය ඊජිප්තු රාජ්‍ය යාන්ත්‍රනයේ ආවේනික දුර්වලකම හා දූෂනය දෙසට යොමු වේ. පරිගනකගත ගමනාගමන කලමනාකරන පද්ධතිය, නැවියන් සහ කැනීම් ඇතුලුව සූවස් ඇලේ ක්‍රියාකාරිත්වය හා නඩත්තුව සඳහා වගකිව යුතු ආන්ඩුව සතු සහ විශාල වශයෙන් මිලිටරි පාලනය කරන සංස්ථාව වන SCA, සිද්ධියේ බරපතලකම අවතක්සේරු කිරීමට උත්සාහ කරයි. අවහිරය ඉවත් කිරීම සඳහා කොපමන කලක් ගතවේදැයි කීමට ඔවුන් අපොහොසත් ය. SCA හි නොසැලකිලිමත් බව හඟවමින්, එහි ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ඔසාමා රබී දැනටමත් නිවේදනය කර ඇත්තේ පොරොත්තු නැව් සඳහා වන්දි ගෙවීම පිලිබඳව ඒජන්සිය සාකච්ඡා කරමින් සිටින බවයි.

එහෙත් එහි ගෝලීය ඇඟවුම් ඊට වඩා බරපතල ය. විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ එමගින් ගෝලීය වෙලඳ සැපයුම්වලට දැඩි බාධාවක් සහ ගෝලීය සැපයුම් දාමයන් මත දැවැන්ත ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවයි. ඒවා වර්තමානයේදී අවම මට්ටමේ සංචිත මත රඳා පවතින අතර ක්ෂනික නිෂ්පාදන ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කෙරෙන බැවින් කම්කරුවන්ගේ රැකියා සහ පාරිභෝගික මිල ගනන් වලට බලපානු ඇත. එය ජාතීන් අතර ගැටුම් තවදුරටත් අවුලුවාලනු ඇත.

සූවස් ඇල ඉන්දියානු සාගරය, රතු මුහුද සහ මධ්‍යධරනි මුහුද යා කරන ලෝකයේ කාර්යබහුලම ජල මාර්ගවලින් එකකි. ඇල තුලින්, වසරකට යාත්‍රා 19,000 ක් හරහා ගමන් කරන අතර දිනකට ඩොලර් බිලියන 10 ක භාන්ඩ ප්‍රවාහනය කරයි. එය ගෝලීය වෙලඳාමෙන් සියයට 13 ක පරිමාවකි. ආසියාව, මැදපෙරදිග හා යුරෝපය අතර, ලෝකයේ තෙල්වලින් සියයට 10 ක් පමන හුවමාරු වන්නේ ද සූවස් ඇල හරහා ය.

මුහුදු වෙලඳාම වර්ධනය වෙත්ම, බහාලුම් නැව්වල පරිමානය ද විශාල වී ඇත්තේ, නැව්ගත කිරීමේ පිරිවැය අඩු කිරීමට සහ පරිමානයේ වාසි ලඟා කර ගැනීමේ අවශ්‍යතාවය හේතු කොට ගෙන ය. බහාලුම් නැව්වල සාමාන්‍ය ප්‍රමානය මීට වසර 20 කට පෙර තිබූ ප්‍රමානයට වඩා පස් ගුනයකින් විශාල වී තිබේ. එය, භාවිතා කලයුතු නැව් සංඛ්‍යාව අඩු කරන අතර, දැවැන්ත පිරිවැය අඩුකිරීමකට මග සලසමින් අඩි 20 ක සමාන බහාලුම් 20,000 ක් රැගෙන යා හැකි යාත්‍රා 20 දෙනෙකුගෙන් යුත් කාර්ය මන්ඩලයක් සමඟ ක්‍රියාත්මක කිරීමේ හැකියාව සලසයි. එහෙත් පැනමා ඇල වැනි සමහර නැව් මාර්ග භාවිතා කිරීමට සහ සමහර වරාය නැව් තටාකවලට ඇතුලු කිරීමට, එවැනි නැව් ගැඹුරින් මෙන්ම විශාලත්වයෙන් වැඩි ය. එමෙන්ම වරාය තදබදය වලක්වා ගැනීම සඳහා නැව් නවාතා තැබීම, ඒවා පැටවීම සහ බෑම පාලනය කිරීම සහ උපලේඛනගත කිරීම කලමනාකරනය කිරීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍ය වේ.

සූවස් ඇල අවහිර වීමත් සමඟ සමහර නැව් අප්‍රිකාවේ දකුනු කෙලවරට හැරවීමට පටන් ගත් අතර එය වඩාත් අනතුරුදායක මාර්ගයකි. එම ගමනට සති දෙකක කාලයක් මෙන්ම වැඩි ශ්‍රම හා ඉන්ධන පිරිවැයක් ද එක් වේ. මෙමඟින් බහාලුම් හා බහාලුම් නැව් හිඟය උග්‍ර වන අතර ප්‍රමාදයන් සහ භාන්ඩ හිඟය මිල ගනන් ඉහල නංවනු ඇත. අවහිර වීමේ පුවත සැලවීමත් සමග තෙල් මිල සියයට 7 කින් ඉහල ගියේය. ජර්මානු රක්‍ෂන සමාගමක් වන අලියාන්ස් ග්ලෝබල් විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව මෙම අවහිරය  නිසා ගෝලීය වෙලඳාම සඳහා පිරිවැය සතියකට ඩොලර් බිලියන 6 සිට 10 දක්වා ප්‍රමානයකින් වැඩි විය හැකිය.

කුඩා ටැංකි හා තෙල් නිෂ්පාදන වන නැප්තා (ද්‍රව ඉන්ධන) සහ යුරෝපයේ සිට ආසියාවට ඉන්ධන තෙල් අපනයනය කිරීම් වලට - ආසියාවේ නැප්තා වලින් සියයට 20 ක් පමන සූවස් ඇල හරහා මධ්‍යධරනි හා කලු මුහුද මගින් සපයනු ලැබේ - ඇල මාර්ගය සති කිහිපයකට අවහිර වුවහොත් එය බලපානු ඇත.

කොරෝනා වෛරස් වසංගතයේ ප්‍රතිවිපාක හේතුවෙන් දැනටමත් අසතුටුදායක තත්වයේ ඇති වරායන් වෙත නැව් ගලා ඒම නිසා සූවස් හි මාර්ග තදබදය අවසානයේදී නිදහස් වූ විට එය තවදුරටත් තදබදයට හා අසංවිධානාත්මක වීමට හේතු විය හැක.

මෝටර් රථ, ස්මාර්ට් ෆෝන්, පරිගනක, ටැබ්ලට් සහ ටීවී වල ප්‍රධාන අංගයක් වන අර්ධ සන්නායකවල (semiconductors) පුලුල් හිඟය, පසුගිය මාසයේ ටෙක්සාස් හි ඇති වූ කුරිරු ශීත කුනාටුව, ප්ලාස්ටික් භාන්ඩ නිෂ්පාදනය මන්දගාමී වීම සහ  දකුනු කැලිෆෝනියා වරායේ බහාලුම් නැව් වල අතපසු වූ වැඩ අතරට සූවස් ඇලෙහි සිදුවීම ද එකතු වේ.

සූවස් ඇල අවහිර වීම නිසා භූදේශපාලනික ආතතීන් තවදුරටත් තීව්‍ර වීමට තර්ජනය කරන අතර, දැනටමත් පවතින [ගැටුම් පුපුරායාමට ඉඩ ඇති] ජ්වලන ලක්ෂ්‍යයන් වැඩි වෙමින් පවතී. රතු මුහුදේ සිට දකුනු අප්‍රිකාවේ යහපත් බලාපොරොත්තුවේ තුඩුව (Cape of Good Hope) දෙසට ගමන් කිරීමට බල කෙරුනු නැව්, නැගෙනහිර අප්‍රිකාවේ සහ බටහිර අප්‍රිකාවේ වෙරල තීරයෙන් මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයන්ට මුහුන දී සිටි යි. මෑත මාසවලදී මුහුදු කොල්ලකරුවන්ගේ පැහැරගැනීම් වැඩි වී ඇති අතර, නැව් සමාගම් කිහිපයකට එක්සත් ජනපද නාවික හමුදාව කැඳවීමට පවා සිදු විය.

ආක්ටික් සාගරය හරහා උතුරු මුහුදු මාර්ගයක් ඇතුලුව නව නැව් මාර්ග සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පිලිබඳව රුසියානු විදේශ අමාත්‍යාංශයේ නිලධාරි නිකොලායි කෝර්චුනොව් තර්ක කරයි. එය, යාබද රටවල් ආක්ටික් කලාපයේ ඇතැයි විශ්වාස කෙරෙන විශාල බලශක්ති සංචිත සහ දුර්ලභ ද්‍රව්‍ය වෙත තම භෞමික හිමිකම් තහවුරු කර ගැනීමට උත්සාහ කරන විට, භූදේශපාලනික ගැටුම් වැඩි කිරීමේ කේන්ද්‍රස්ථානය වී තිබේ.

අද, ධනවාදයේ ගෝලීය ස්වභාවය විවාද රහිතය, ජාතික රාජ්‍ය පද්ධතිය ලෝකයේ ප්‍රධාන ධනවාදී බලවතුන් ගෝලීය යුද්ධයට වඩා සමීප කරවන සහ තම රට තුල සමාජ අසමානතාවය වැඩි කරන අතරම, ඒකාධිපති පාලන ක්‍රම සකස් කරමින් සිටිති.

ධනවාදය, විද්‍යාවට හා තර්කයට අනුකූල නොවන බවත්, සාපරාධී ලෙස අතාර්කික බවත්, කිසියම් හෝ සමාජ ගැටලුවකට විසඳුම් දීමට සම්පූර්නයෙන්ම විරුද්ධ බවත්, එය සෑම විටම ඉල්ලා සිටින්නේ තව තවත් ලාභය ම බවත් පෙන්නුම් කර තිබේ. මේ වන විටත් ලොව පුරා මිලියන 2.7 ක ජනතාවක් ඝාතනය කර ඇති වසංගතය මධ්‍යයේ, එය සනාථ කරන්නේ ධනේශ්වර ක්‍රමය අහෝසි කොට සමානාත්මතාවය සහ මානව අවශ්‍යතාව තෘප්තිමත් කිරීම මත පදනම්ව ජාත්‍යන්තරව සම්බන්ධීකරනය කරන ලද, තාර්කිකව හා විද්‍යාත්මකව මග පෙන්වන ආර්ථික සැලසුම් ක්‍රමයක් අවශ්‍ය බවයි: එනම් සමාජවාදය යි.

Loading