සෞඛ්‍ය කම්කරුවන් විරෝධතා වංකගිරියේ සිරකිරීමට පෙසප සමිතිය සංවිධානය කල තවත් පාගමනක්

අප්‍රේල් 7 වන දා දිවයිනේ නන් දෙසින් කොලඹට පැමිනි රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවකයෝ, ඉල්ලීම් 11 ක් මුල් කර ගනිමින් විරෝධතා පාගමනක් පැවැත්වූහ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මෙහෙයවෙන ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය (ඒසෞසේස) කැඳවා තිබූ මෙම පාගමනට, යාපනය, ත්‍රිකුනාමලේ, වව්නියාව, මඩකලපුව, ගාල්ල වැනි දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝහල්වලින් කම්කරුවන් 1000 ක් පමන පැමින සිටියහ. 

නිල ඇඳුම් දීමනාව රු. 15,000ක් දක්වා වැඩි කරන ලෙසත්, සියලු සෞඛ්‍ය සේවකයන්ට විශේෂ අවදානම් දීමනාවක් ලබාදෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති. ප්‍රමාද කල උපස්ථායක පත්වීම් කඩිනම් කිරීම, විධිමත් බඳවා ගැනීම් පටිපාටියක් හා විධිමත් රාජකාරී ලැයිස්තුවක් ස්ථාපිත කිරීම අනෙකුත් ඉල්ලීම් අතර වෙයි.

සෞඛ්‍ය සේවකයිඅන්ගේ උද්ඝෝෂනය -7/4/2021-පා ගමන

හෙද හෙදියන්, සුපවේදී අරක්කැමියන් සහ උපස්ථායකයන්ගෙන් සමන්විත කම්කරුවෝ මෙදින දහවල් 11 ට පමන කොලඔ ජාතික රෝහල ඉදිරිපිට රැස්වී අනතුරුව ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගියහ. එම ස්ථානයට ලඟා වන විට දවල් 2.00 ට පමන විය. 

රෝහල ඉදිරි පිට රැස්වූ කම්කරුවන් සහ මාධ්‍යවේදීන් ඇමතූ ඒසෞසේස ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද භික්ෂුව කියා සිටියේ, මාස අටක් පුරා 24 වතාවක් සෞඛ්‍ය අමාත්‍යංශයට ලිපි ලියූවද, සාකච්චා වට කිහිපයක් පැවැත්වුවද, සෞඛ්‍ය සහ මුදල් අමාත්‍යංශ වලට පාගමන් ගියද ඒවා සියල්ල අසාර්ථක වූ බැවින් මෙම පාගමන සංවිධානය කල බවයි. 

ආන්ඩුවේ තර්ජන මධ්‍යයේ දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලින් පැමිනි දෙමල කතා කරන කම්කරුවන් සිංහල කතා කරන දකුනේ පන්ති සගයන් සමග පාගමනට එක් වීමෙන් පෙන්නුම් කෙරුනේ ධනපති පාලකයන් විසින් උත්සන්න කරමින් පවතින වර්ගභේදවාදී ගිනි ඇවිලවීම් නොතකා එක්සත්ව සටන් කිරීමේ ඇති උනන්දුවයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් හි සිට පැමිනි දෙමල බස කතා කරන කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට පැවසුවේ සෞඛ්‍ය සහායකයකු ලෙස වැඩ කරන ඔහු සමග එරාවුර් වලින් පස් දෙනෙකුද වාලච්චේනෙන් තවත් පස්දෙනෙකුද පාගමනට සහභාගි වීමට පැමිනි බවයි.

වෘත්තිය සමිති මගින් අඛන්ඩව සිදු කෙරෙන පාවාදීම් මගින් ජනනය කෙරී ඇති කලකිරීම පිලිබිඹු කරමින් කලුතර මහ රෝහලේ ස්ථිර උපස්ථායකයෙකු, “සමාජවාදී සමානතා පක්ෂය (සසප) වෘත්තිය සමිති ගොඩ නගන්නේදැ” යි විමසීය. 

සමිති නිලධරය පමනක් නොව, “වෘත්තීය සමිති” නමැති උපකරනයමත් කම්කරු පන්තියට එරෙහිවූවක් බවට පරිවර්තනය වී බොහෝකල් බවත්, සමිති මැදිහත් වන්නේ ඒවා නියෝජනය කරන්නේ යැයි ව්‍යාජ ලෙස කියා සිටින කම්කරුවන් වෙනුවෙන් නොව, කම්කරුවන්ට එරෙහිව හාම්පුතුන්ගේ සහ පාලකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් බවත් ලෝසවෙඅ වාර්තාකරුවෝ පැහැදිලි කලහ. 

කම්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සටන් කිරීමේ උපකරන ලෙස සසප යෝජනා කරන්නේ, වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ, ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගැනෙන සහ තීන්දු තීරන ගැනෙන කම්කරු ක්‍රියාකාරී කමිටු බව එහිදී තවදුරටත් පැහැදිලි කෙරින.

සසප විසින් සෞඛ්‍ය සේවකයින් අතර ගොඩනගා ඇති ක්‍රියාකාරී කමිටුව ක්‍රියාත්මකවන ආකාරය විස්තර කරමින්, මෙම කමිටුවට සෞඛ්‍ය සේවයේ සියලුම ශ්‍රේනිවල කම්කරුවන්ට සහ වෛද්‍යවරු ඇතුලු අනෙකුත් සේවකයින්ටද සම්බන්ධ විය හැකි බව වාර්තාකරුවෝ ඔහුට පැවසූහ.

කොරෝනා වසංගතය පිලිබඳව කතා කරමින් ඔහු කියා සිටියේ ඇමරිකාවේ සහ යුරෝපයේ ආන්ඩුවලට වඩා යම් මට්ටමකින් ලංකාවේ කොරෝනා වසංගතය මර්දනය කර ඇති බව ඔහු විශ්වාස කරන බවයි. පීසීආර් පරීක්ෂන අවම කරමින් හඳුනා ගැනෙන ආසාදිතයන් සංඛ්‍යාව අඩුවෙන් පෙන්වා වසංගතය පාලනය කොට ඇති බවට ආන්ඩුව කරන මවාපෑම යටින් ව්‍යසනය වර්ධනය වන බවත්, මෙය ගෝලීය වසංගතයක් බැවින් ලංකාවට ඉන් ගැලවී ගැනීමට හැකියාවක් නොමැති බවත් ලෝසවෙඅ වාර්තාකරුවෝ  පෙන්වාදුන්හ. 

කලුබෝවිල රෝහලේ දැනට රැකියාවේ නියුතු, වසර 26 ක සේවා කාලයක් සහිත සෞඛ්‍ය සේවයේ යෙදී සිටි කාන්තා කම්කරුවෙක් මෙසේ කීවාය: “2006 ඉඳලයි මේ ඉල්ලීම් ඉල්ලන්නේ, දැන් තියෙන ආන්ඩුව බලයට ආවේ මේවා විසඳන බවට පොරොන්දු වෙලා. ඒත් කිසිම දෙයක් විසඳුවෙ නෑ."

“අපි සෑහෙන්න කොරෝනා ලෙඩ්ඩු එක්ක හැප්පෙනවා, ඇන්ටිජන් පරීක්ෂා කරන්නෙ අපි. අපි රෑ එලිවෙනකම් නිදිමරනවා, අමතර දීමනාවක් නැහැ. අපි ඉන්නෙ, ජීවිතයත් මරනයත් අතර” යැයි ඇය දැඩි කනස්සල්ලෙන් කීවාය. තම අයිතීන් නොලැබුනහොත් අඛන්ඩ වැඩ වර්ජනයකට යාමට සූදානමින් සිටින බව ඇය තවදුරටත් පැවසුවාය. 

උද්ඝෝෂන ගනනාවකට සම්බන්ධවී අපේක්ෂා භාංගත්වයෙන් කතා කල එක් කම්කරුවෙක් මෙසේ පැවසුවේය: “මීට කලින් ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශයට පාගමනක් ගියා. ඊට පස්සෙ මුදල් අමාත්‍යංශයට. දැන්විය යුතු සියලුම ආයතනවලට අපි ලිඛිතව දැන්වුවා මෙම ප්‍රශ්නය ගැන. විසඳුමක් නැති තැන තමයි අන්තිමට මෙතනට ආවේ.” සමහර ඉල්ලීම් වසර ගනනාවක් පුරා ඉදිරිපත් කල ඒවා බවත් ඔහු පැවසිය. 

අනෙක් සමිති වලට වඩා සටන්කාමිත්වයක් පෙන්නුම් කිරීමට ඒසෞසේස උත්සාහ කල ද, ආන්ඩුවට පීඩනය යෙදීමේ විරෝධතාවන් සංවිධානය කිරීම හැර අන් විකල්පයක් එයටද නොමැති බව, එකකට පසු තවෙකක් ලෙස සංවිධානය කෙරෙන පාගමන් මගින් පැහැදිලිවන බව වාර්තාකරුවන් පැහැදිලි කලේය. ජනාධිපති ලේකම් කාර්යාලය සමිති නායකයින්ට සාකච්ඡාවක් ලබාදීම පවා ප්‍රතික්ෂේප කිරීම මගින් පෙන්නුම් කෙරෙන්නේ එම පීඩනය දැමීමේ වැඩපිලිවෙලේ බංකොලොත්කමයි.   

මෙම බංකොලොත් වැඩපිලිවෙලම ඉදිරියට ගෙනයනබව තවදුරටත් විදහාපාමින් සුගතානන්ද භික්ෂුව පැවසුවේ ඉල්ලීම් දිනාගැනීම සඳහා අනෙකුත් වෘත්තීය සමිති සමග එක්ව මීටවඩා වැඩි පීඩනයක් යොදන බවයි. නිස්සාර විරෝධතා සහ ව්‍යාජ සාකච්ඡා තුල කම්කරුවන් සිරකිරීමට ඒසෞසේසං සහ එය මෙහෙයවෙන පෙසප ය දිගින් දිගටම උත්සාහ දරමින් සිටින්නේ කම්කරුවන් හෙම්බත්කොට, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි අරගලයක් දෙසට ඔවුනගේ සටන්කාමිත්වය යොමුවීම වලකාලීමටයි. 

ධනපති ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරිමේදී කම්කරුවන් සහ රැකියා විරහිත තරුනයන් අතර අතිකරගතයුතු එකමුතුවට වල කපමින්, කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මන්ඩලයට “බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායෙන් (බසංකාසාබ)” සේවකයන් බඳවා ගැනීමට එරෙහි වූ ඒසෞසේස, එම බඳවා ගැනීම් නතර කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යාශයේ බලධාරීන් සමග සාකච්ඡා කලේය. 

එපමනක් නොව, වරාය කම්කරුවන් අතර පුද්ගලීකරනයට එරෙහිව පැනනැගුනු අරගලය අවමංගතකොට එය ඉන්දියානු-විරෝධී උද්ඝෝෂනයක් තුල ගිල්වා දියකර දැමීමට පෙසප හා එහි “කම්කරු අරගල මධ්‍යස්ථානය” විවෘතවම වැඩ කලේය. 

Loading