ඉදිරිදර්ශන

ආසියාව ගෝලීය කොවිඩ්-19 වසංගතයේ නව කේන්ද්‍රස්ථානයක් ලෙස මතු වේ

[පහත පලවන්නේ අප්‍රේල් 9 දින Asia emerges as a new epicenter of the global COVID-19 pandemic  යන මාතෘකාවෙන් පලවූ ඉදිරිදර්ශනයේ සිංහල පරිවර්තනයයි.]

වඩාත් බෝවන කොරෝනා වෛරස් ප්‍රභේදයන් විසින් මෙහෙයවෙන වසංගතයේ නව නැගීමකට මානව වර්ගයා මුහුන දෙන තතු තුල, ආසියාව ලෝකයේ දරුනුතම හානියට පත් කලාපය ලෙස ඉස්මතු වෙමින් තිබේ. ලෝකයේ කොවිඩ්-19 රෝගීන්ගෙන් සියයට හතලිහක්, එනම් මිලියන භාගයකට වඩා වැඩි සංඛ්‍යාවක් දැන් ආසියාවේ සිටින අතර, එන්නත්කරනය යන්තම් ආරම්භ වූවා පමනි. එපමනක් නොව, මෙම රෝගීන්ගෙන් සියයට 90 කට ආසන්න ප්‍රමානයක් මැදපෙරදිග හා ඉන්දු-පැසිෆික් කලාපවල පැතිරී ඇති අතර, සතියක සිට ඊලඟ සතිය දක්වා ආසාදන පුපුරා යන්නේ පෙර වාර්තා සුනුවිසුනු කරමිනි.

කෙසේ වෙතත්, මෙම නව, මාරාන්තික වෛරසය නැවැත්වීම සඳහා වෛද්‍යමය වශයෙන් මඟ පෙන්වන අගුලු දැමීම් සහ වැඩ කිරීමට නොහැකි අයට සමාජ සහයෝගය ඉල්ලා සිටීම, හැම විටම ආසියාව පුරා ආන්ඩුවල අනුකම්පා විරහිත විරෝධයට ලක් වේ.

2021 අප්‍රේල් 8 වන බ්‍රහස්පතින්දා ඉන්දියාවේ මුම්බායි හි කොවිඩ්-19 එන්නත ලබාගැනීම සඳහා ජනතාව පෝලිම් ගැසී සිටිති. (AP ඡායාරූපය / රෆික් මැක්බූල්)

ඉන්දියාවේ, දෛනික ආසාදන මාර්තු අග සිට දෙගුනයකින්, එනම් 120,000 ට වඩා වැඩි වී ඇති අතර එය ලෝකයේ ඉහලම අගය වේ. එය ආසියාවේ රෝගීන් සංඛ්‍යාව වන 260,000 න් අඩකට ආසන්න ප්‍රමානයකි. එහෙත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව රටපුරා අගුලු දැමීමේ ඉල්ලීම්වලට හෝ දරුනුතම බලපෑමට ලක්වූ ප්‍රාන්තවල අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමීමට පවා දැඩි ලෙස විරුද්ධ ය. ඒ වෙනුවට මෝදි සහ ඔහුගේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය පුරසාරම් දොඩන්නේ “ලෝකයේ විශාලතම එන්නත් ප්‍රමානය ලබා දීමට යාම” ගැන ය. අද වන විට, ලොව තුන්වන වැඩිම එන්නත් කිරීම් සංඛ්‍යාව සිදුකර ඇත්තේ ඉන්දියාව විසිනි. නමුත් ඉන්දියානුවන්ගෙන් එක් එන්නතක් ලබාගෙන ඇත්තේ සියයට 6 කටත් වඩා අඩු සංඛ්‍යාවක් අතර සම්පූර්න එන්නත ලබාගෙන ඇත්තේ සියයට 0.8 ක් පමනි.

ඉන්දියාව රෝගීන් මිලියන 13 සීමාව සහ මරන 167,000 ක් ඉක්මවා යන විට, එහි යල්පැනගිය සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ අද්දරට පැමින තිබේ. දකුනු අප්‍රිකානු සහ එක්සත් ජනපද බටහිර වෙරල ප්‍රභේදවලට සමාන විකෘති ඒකාබද්ධ කරන ද්විත්ව ප්‍රභේදයක් සමග B.1.1.7 නොහොත් බ්‍රිතාන්‍ය ප්‍රභේදය ව්‍යාප්ත වෙමින් පවතී. ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායි හි ආචාර්ය ලැන්සෙලට් පින්ටෝ බීබීසී යට පැවසුවේ සෑම මිනිත්තු කිහිපයකට වරක්ම තම ආදරනීයයන් සඳහා හදිසි ප්‍රතිකාර ඇඳක් සොයන මංමුලා සහගත පවුල්වල ඇමතුම් ප්‍රතික්ෂේප කිරීමට තමාට සිදුවන බවයි: “අප දැනටමත් ඉක්මවා ගොස් තිබේ. මගේ රෝහලේ සියලුම කොවිඩ්-19 ඇඳන් පිරී ඇත.”

අර්ධ වශයෙන් සිදුකරන ප්‍රාදේශීය අගුලු දැමීම්වලට පවා විරුද්ධ වීම සඳහා ඉන්දියාවේ පාලක ප්‍රභූව අතර උමතු ව්‍යාපාරයක් ක්‍රියාත්මක වේ. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) හි අඟහරුවාදා කතුවැකියක “සුව වීම රෝගයට වඩා සැබවින්ම නරකක්” ලෙස හෙලා දුටුවේය. මේ අතර, බිලියනපතියෙකුගේ පුතෙකු සහ ආසියාවේ ධනවත්ම මිනිසා වන මුකේෂ් අම්බානිගේ බෑනනුවන් වන, ඩොලර් බිලියන 83.1 ක ධනයක් ඇති ජේ අම්බානි, අගුලු දැමීම් “අපේ සමාජයේ හා ආර්ථිකයේ කොඳු නාරටිය විනාශ කරන” බවත් එය “ඔබේ ජීවිතයේ සෑම පැතිකඩක්ම පාලනය කරන ඒකාධිපති” උත්සාහයක් බවත් ට්වීට් කලේය. එක්සත් ජනපද, එක්සත් රාජධානියේ සහ ඉන්දියානු පාලක ප්‍රභූන්ගේ වසංගත ප්‍රතිපත්තිය “සමාජ ඝාතනයක්” ලෙස බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව (British Medical Journal) සිදුකල ගුනාංගීකරනය මෙයින් සනාථ වේ.

තුර්කිය තුල බදාදා කොවිඩ්-19 රෝගීන් 54,740 ක් සහ මරන 276 ක් වාර්තා වූ අතර මාර්තු මාසයේ සිට සක්‍රීය රෝගීන් සංඛ්‍යාව 406,004 ක්, එනම් හතරගුනයක් වී තිබේ. ලමා දැඩි සත්කාර සේවා වේගයෙන් ඉහල යමින් පවතින අතර, ඇස්තමේන්තු කර ඇති පරිදි නව රෝගීන්ගෙන් සියයට 75 ක්ම B.1.1.7 ප්‍රභේදයේ ආසාදිතයන් ය. තුර්කියේ දැඩි සත්කාර ඒකකයේ සභාපති මහාචාර්ය ඉස්මයිල් සිනෙල් අනතුරු ඇඟවූයේ තුර්කියේ දැඩි සත්කාර ඒකක දින 10 ක් තුල පිරී යන බවයි. තුර්කියේ සම්පූර්න එන්නත්කරනය සිදුකර ඇත්තේ ජනගහනයෙන් සියයට 8.7 ක් සහ අධ්‍යාපන සේවකයින්ගෙන් සියයට 10 ක් පමනි.

එසේ වුවද, ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගන් මිලියන ගනනක් කම්කරුවන් අත්‍යවශ්‍ය නොවන කර්මාන්තවල රැකියාවෙහි තබා ඇති අතර සමාජ දුරස්ථ පියවරයන් ඉවත් කර ඇත. සති අන්ත ඇඳිරි නීතිය ඉවත්කර ඇත. පාසල් සහ ආපනශාලා නැවත විවෘත කර තිබේ. ඉස්තාන්බුල් වෛද්‍ය මන්ඩලය මෙම ප්‍රතිපත්තිය “ව්‍යසනයක්” ලෙස හංවඩු ගැසූ අතර තුර්කි වෛද්‍ය සංගමය (TTB) ට්වීට් කලේ: “වසංගතයට එරෙහිව තාර්කික, විද්‍යාත්මකව පදනම් වූ අරගලයක් නොමැත.... වැරදි සෞඛ්‍ය ප්‍රතිපත්ති අවධාරනය කිරීම සමාජ ඝාතනයකි. ”

ඉරානයේ, බදාදා කොවිඩ්-19 රෝගීන් 20,954 ක් සහ මරන 193 ක් වාර්තා විය. මෙය එක්සත් රාජධානියේ ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ සතියක් තුල දෙගුනයක් වී තිබේ. ටෙහෙරානයේ වාර්තාගත ලෙස දැඩි සත්කාර ඇඳන් 4,200 ක් පිරී ඇති බව එක් වෛද්‍යවරයෙක් ල මොන්ද්  (Le Monde) ට පැවසීය. “රජයේ රෝහල් පිරී ඇත, හදිසි ප්‍රතිකාර වාට්ටුවල තවදුරටත් ඉඩ නැත. රෝගීන්ට බිම වැතිර සිටීමට හෝ ඇඳක් එනතුරු දින ගනන් බලා සිටීමට සිදු වේ.”

විනාශකාරී එක්සත් ජනපද ආර්ථික සම්බාධකවලට මුහුන දෙමින් සිටින, මිලියන 83 ක් සිටින රටක් වන ඉරානයට ලැබී ඇත්තේ චීන, රුසියානු සහ දකුනු කොරියානු එන්නත් මාත්‍රා කිහිප දහසක් පමනි. එක්සත් ජනපද සම්බාධක හා යුද තර්ජනවල බලපෑම උපුටා දක්වමින් ජනාධිපති හසන් රුහානි එහි ආර්ථික බලපෑම කම්කරුවන්ගේ මහජන විරෝධතා අවුලුවාලිය හැකි බව පවසමින්, අගුලු දැමීමට නියෝග කිරීම ප්‍රතික්ෂේප කලේය: “පහසුම දෙය නම් සියල්ල නැවැත්වීමයි. නමුත් ඊට පසු, කුසගින්න, දරිද්‍රතාවය සහ විරැකියාවට මුහුන දෙන ජනතාව පාරට බසිනු ඇත.”

1991 ගල්ෆ් යුද්ධයෙන් පසු දශක ගනනාවක් තිස්සේ එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද යුද්ධ, බෝම්බ හෙලීම් සහ සම්බාධක මගින් සෞඛ්‍ය යටිතල පහසුකම් සුනුවිසුනු කර ඇති ඉරාකය තුල, බදාදා වාර්තාගත ලෙස නව රෝගීන් 8,331 ක් වාර්තා විය. මිලියනයකට ආසන්න ආසාදන සහ මිලියන 39 ක ජනගහනයක් සිටින රට තුල ලබා දී ඇත්තේ එන්නත් මාත්‍රා 119,000 ක් පමනි. සේව් ද චිල්ඩ්රන් (Save the Children) ආයතනය අනතුරු අඟවන්නේ රෝහල් ඉක්මනින් පිරී ඉතිරී යා හැකි බවයි: “කොවිඩ්-19 හේතුවෙන් ඉරාකය තුල විශාල වශයෙන් ජීවිත විනාශ වියහැකි බවට කනගාටුදායක සලකුනු තිබේ. … නව ප්‍රභේදය ලමුන් අතර හඳුනා නොගෙන පැතිරෙනු ඇතැයි අපි බිය වෙමු. ඉරාකයේ සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳවැටීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් විය හැකිය.”

පිලිපීනයේ නව දෛනික ආසාදන, මාර්තු 2 වන දින 2,065 සිට අප්‍රේල් 2 වන දින 15,280 දක්වා ඉහල ගොස් තිබේ. දැන් 160,000 ක් පමන වන සක්‍රීය රෝගීන් සංඛ්‍යාව පසුගිය අගෝස්තු මාසයේදී වූ 79,800 හි දෙගුනයකටත් වඩා වැඩිය. මැනිලා සහ ඒ අවට පලාත්වල පිලිපීන රෝගීන්ගෙන් සියයට 70 ක් සිටින අතර ජාතික අගනුවර කලාපයේ දැඩි සත්කාර ඇඳන් දැනටමත් සියයට 79 ක් පිරී ගොස් ඇත. එහි ඇති රෝහල් 150 න් 26 ක් දැනටමත් පිරී ගොසිනි. කෙසේ වෙතත්, ජනාධිපති රොඩ්රිගෝ ඩුතර්තේ විසින් ඇමරිකානු ඩොලර් බිලියන 19 ක අත්‍යවශ්‍ය මහජන අරමුදල් ප්‍රධාන ආයෝජකයින්ට රාජ්‍ය නය ගෙවීම සඳහා යෙදවීමට තීරනය කර තිබේ.

ඇඟලුම් කම්කරුවන් දිනකට ඩොලර් කිහිපයක් පමනක් උපයන ගෝලීය ඇඟලුම් කේන්ද්‍රයක් වන බංග්ලාදේශයේ මසක් තුල දෛනික ආසාදන 606 සිට 6,854 දක්වා ඉහල ගොස් තිබේ. රජය විසින් අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කර ඇති නමුත් ඒ සතියක් සඳහා පමනි. මේ අතර, බංග්ලාදේශයේ ආර්ථිකය තුල ආධිපත්‍යය දරන අධිරාජ්‍යවාදී රටවල් පදනම් කරගත් විලාසිතා සමාගම් තෘප්තිමත් කිරීම සඳහා සේවයේ රැඳී සිටීමට කම්කරුවන්ට බල කරයි. මිලියන 163 ක් වන මේ රට තුල ලබා දී ඇත්තේ එන්නත් මාත්‍රා මිලියන 5.5 ක් පමනි. එහි කොවිඩ්-19 රෝගීන් 666,132 ක් වාර්තා වී තිබේ.

මහජන එන්නත් කිරීම් මගින් එය තුරන් කිරීමට සූදානම් වන අතරතුර විද්‍යාත්මක සමාජ දුරස්ථකරන ප්‍රතිපත්ති මඟින් වෛරසය පාලනය  කලහැකි බවට ආසියාව උදාහරන සපයයි. වසංගතයේ ආරම්භක කේන්ද්‍රස්ථානය වන චීනය, 2021 දී වර්තා කර ඇත්තේ කොවිඩ්-19 රෝගීන් 3,270 ක් සහ මරන දෙකක් පමනි. ඒද ප්‍රධාන වශයෙන් සංචාරකයින් වෛරසය නැවත රට තුලට ගෙන ඒමේ ප්‍රතිඵලයක් වශයෙනි. එසේම, තායිවානයේ මේ වසරේ මරන 3 ක් ඇතුලුව රෝගීන් 246 ක් වාර්තා වී ඇත. වියට්නාමයේ රෝගීන් 1,174 ක් වාර්තා වී ඇති නමුත් මරන කිසිවක් වාර්තා වී නොමැත.

වෛරසය පාලනය කල රටවල් කිහිපයේ සාර්ථකත්වයන් මගින් සෙසු ආසියාවේ පමනක් නොව, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී කේන්ද්‍රවල අනුගමනය කරන “රංචු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්තිවල බංකොලොත්භාවය සහ සාපරාධීභාවය හෙලිදරවු වේ. වසංගතය පැතිර යත්ම ව්‍යාපාර හා පාසල් විවෘත කිරීම මගින් ඔවුන්ගේ ආන්ඩු ක්‍රමානුකූලව මිනිස් ජීවිතවලට වඩා ලාභයට ප්‍රමුඛතාවය දී තිබේ. චීනයේ බිලියන 1.4 ක ජනතාවගෙන් කොවිඩ්-19 මරන වලට ගොදුරුව ඇත්තේ 5,000 ට වඩා අඩු සංඛ්‍යාවකි. නේටෝ රටවල වෙසෙන මිලියන 941 න්, මිලියන 1.4 කට වඩා මිය ගොස් ඇත.

කොරෝනා වෛරසය පාලනය යටතේ පවතින රටවලට නැවත සම්ප්‍රේෂනය වීම අත්‍යවශ්‍ය දේශපාලන කරුනක් අවධාරනය කරයි. දේශසීමා හෝ විදේශ ගමන් බලපත්‍ර බල නොපාන, නිරන්තරයෙන් විකෘති වන මෙම වෛරසයට එරෙහි සටන ජාත්‍යන්තර ය. එය ලොව පුරා මිසෙක, එක් රටක හෝ එක් මහාද්වීපයක පවා නතර කල නොහැකිය. කෙසේ වෙතත් එය නැවැත්වීමට ධනවාදයට එරෙහි ජාත්‍යන්තර අරගලයක් අවශ්‍ය වේ.

“රංචු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්ති අවසන් කිරීම, සමාජ දුරස් කිරීම සඳහා අරමුදල් සැපයීම, එන්නත් නිෂ්පාදනය වේගවත් කිරීම සහ වසංගතය නැවැත්වීම සඳහා ප්‍රමානවත් මුදල් නොමැති බවට කරන ප්‍රකාශ මුසාවන් ය. අධිරාජ්‍යවාදී කේන්ද්‍රවල මහ බැංකු විසින් ඩොලර්, යුරෝ, පවුම් සහ යෙන් ට්‍රිලියන ගනන් මහජන අරමුදල්වලින් මූල්‍ය වෙලඳපොලට පොම්ප කිරීම නිසා මේ වසරේදී ලෝකයේ ප්‍රකෝටිපතියන් සතුව දැනටමත් තිබූ ට්‍රිලියන 8 ක ධනයට ඩොලර් ට්‍රිලියන 5.1 ක් එකතු විය. ඉන්දියාවේ ධනවත්ම බිලියනපතියන් තිදෙනා පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 100 ක් ඔවුන්ගේ ධනයට එක් කල අතර තුර්කියේ ප්‍රකෝටිපතියන් 26 දෙනා ඔවුන්ගේ සාමූහික ධනය ඩොලර් බිලියන 53.2 දක්වා වැඩිකර ගත්හ.

ඒ අතරම, ආසියාවේ සහ ලොව පුරා රටවල් යුද්ධයට සූදානම් වීම සඳහා ඩොලර් ට්‍රිලියන ගනන් යොදවමින් සිටී. නේටෝ (NATO) රටවල් මේ වසරේදී ඔවුන්ගේ හමුදා වෙනුවෙන් ඩොලර් ට්‍රිලියන 1 කට වඩා වියදම් කිරීමට නියමිතය. පසුගිය වසරේ සෞඛ්‍ය ආරක්ෂනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 8.4 ක් අයවැය ගත කල ඉන්දියාව, 2020 දී සිය මිලිටරිය සඳහා ඩොලර් බිලියන 66 ක් වියදම් කලේය. එය චීනයට එරෙහි වොෂින්ටනයේ මිලිටරි-උපායමාර්ගික ප්‍රහාරයට වඩ වඩාත් පූර්න ලෙස ඒකාබද්ධ වෙමින්, එක්සත් ජනපදය ප්‍රමුඛ ඕස්ට්‍රේලියාව සහ ජපානය සමඟ චතුර්පාර්ශවික උපායමාර්ගික හවුල්කාරිත්වයකට එලඹ තිබේ. තුර්කිය, සිරියාවේ අඛන්ඩ නේටෝ යුද්ධය ඇතුලුව සිය හමුදාව සඳහා ඩොලර් බිලියන 19 ක් වියදම් කලේය.

ඔවුන්ගේ මුදල්, අධිරාජ්‍යවාදී කේන්ද්‍රවල මූල්‍ය වංශාධිපතියන් සතුව ඇති ඊටත් වඩා විශාල ධනයත් සමඟ අත්පත් කර ගතහොත්, වසංගතය නැවැත්වීමට සහ මිලියන ගනනක් අනවශ්‍ය මරන වලක්වා ගැනීමට අවශ්‍ය සම්පත් මානව වර්ගයාට ලබා දිය හැකිය.

එහෙත් මේ විප්ලවවාදී අරගලය සඳහා, එනම්  සමාජවාදය සඳහා අධිරාජ්‍යවාදයට, ආසියාව පුරා ප්‍රතිගාමී ධනවාදී ආන්ඩුවලට, මහා බල ගැටුම් සහ යුද්ධ වලට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම අවශ්‍ය වේ.

නිෂ්පාදනයේ ගෝලීයකරනය, දශක ගනනාවක් තිස්සේ ගොවීන් බිලියනයකට අධික ප්‍රමානයක් ආසියාව පුරා පිහිටි නගර කරා ගෙන එනු ලැබූ අතර එමගින් විශාල හා බලවත් කම්කරු පන්තියක් බිහි විය. පසුගිය වසරේදී මිලියන සිය ගනනක් ඉන්දියාවේ විරෝධතා වැඩ වර්ජන හෝ කාර්මික ක්‍රියාමාර්ග, තුර්කියේ සහ බංග්ලාදේශයේ ප්‍රධාන කාර්මික කම්හල්වල “රංචු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්තියට එරෙහි වෘත්තීය සමිතිවලට පිටින් සිදු වූ වැඩ වර්ජන සහ ඉරානයේ මහජන විරෝධතා සඳහා සහභාගී වී තිබේ.

වසංගතය නැවැත්වීම සහ පුද්ගලික ලාභය වෙනුවට සමාජ අවශ්‍යතාවය ඉටු කරන සමාජයක් ගොඩනැගීම සඳහා මෙම ප්‍රබල බලවේගය එහි කලාපීය, ජනවාර්ගික හා පක්ෂමය බෙදීම්වලට එරෙහිව එක්සත් කිරීම අවශ්‍ය වන අතර අධිරාජ්‍යවාදී බලවත් රටවල ද ඉන් ඔබ්බෙහි ද සිටින තම පන්ති සහෝදර සහෝදරියන් සමඟ ඒකාබද්ධ කිරීම අවශ්‍ය වේ.

Loading