පෙසප දක්ෂිනාංශික ජාතිකවාදී කන්ඩායම් සමග තම සන්ධානය ආරක්ෂා කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය චීන සහ ජපන් සමාගම් යටතේ හවුල් ආයෝජනයක් වශයෙන් පෞද්ගලීකරනය කිරීමට දැරූ ප්‍රයත්නයන්ට එරෙහි ව ජනවාරි මාසයේ, කොලඹ වරාය කම්කරුවන්ගේ විරෝධතාවයක් පුපුරා ගියේ ය. වරාය කම්කරුවන්ගේ විරෝධය ගෝලීය වසංගතය විසින් ආර්ථික සහ සමාජ අර්බුදය උග්‍ර කෙරුනු තතු යටතේ තියුනු වන ධනපති ප්‍රහාරයන්ට එරෙහි ව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය අතර වැඩෙන අරගල මාලාවේ කොටසකි.

වරාය වෘත්තීය සමිති 23ක් අන්තවාදී සිංහල බෞද්ධ නඩ සමග එකතු ව කම්කරුවන්ගේ මෙම විරෝධය ඉන්දියානු විරෝධයක් වෙතට අපසරනය කරනු වස් “වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය” අටවා ගත්හ. මෙම ව්‍යාපාරයට ‘වාම’ ආවරනයක් සම්පාදනය කර දීමට දක්ෂිනාංශික ව්‍යාජ වාම කන්ඩායමක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය එකතු විය. 

පෙසප නායකයෙකුවන දුමින්ද නාගමුව, ඇල්ලේ ගුනවංස භික්ෂුව සමග වරාය ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවක

මෙම උද්ඝෝෂනයන්ට ප්‍රතිචාරයක් වශයෙන් ජනාධිපති රාජපක්ෂ ඉන්දියාව සහ ජපානය සමග ගිවිසුම අහෝසි කලේ, ඉන්දියානු සමාගමට වරායේ බටහිර පර්යන්තයක් තැනීම සඳහා ආයෝජනය කිරිමට ආරාධනා කරමිනි.

මෙම ව්‍යාපාරයට එරෙහි ව සමාජවාදී සමානතා පක්ෂය (සසප) සවිස්තරාත්මක විශ්ලේෂනයක් ඉදිරිපත් කරමින් උද්ඝෝෂනයේ යෙදී ගත්තේ ය.  “කොලඹ වරාය පුද්ගලීකරනයට එරෙහි ව සටන් කිරීමට කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් සඳහා! ඉන්දියානු-විරෝධී උද්ඝෝෂනය ප්‍රතික්ෂේප කරනු! සමාජවාදී ක්‍රියා මාර්ගයකට සටන් වදිනු!” යන මැයෙන් සසප ඉදිරිපත් කල ප්‍රකාශයේ මෙ ලෙස සටහන් කලේ ය: “පුද්ගලීකරනයට එරෙහි කම්කරුවන්ගේ විරුද්ධත්වය බෙදීමටත්, ඔවුන් ව ඉන්දියාවේ තම පන්ති සහෝදර සහෝදරියන්ට එරෙහි ව පිහිටුවීමටත්, වෘත්තීය සමිතිවල විෂඝෝර ඉන්දියානු-විරෝධී උද්ඝෝෂනය දියත් කරන ලදී.”

තව ද, මෙම සසප ප්‍රකාශය පෙසප සහ එහි කම්කරු අරගල මධ්‍යස්ථානය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරයට එක් වෙමින් ඉටු කල නීච  භූමිකාව ද එලිදරවු කලේ ය. මෙම එලිදරවුවෙන් රිදී ඇති පෙසප නායකයෙකු වන දුමින්ද නාගමුව පක්ෂයේ පුවත්පතක් වන මාලිමා වෙත දිගු සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් තමන් මෙම දක්ෂිනාංශික සන්ධානයේ පංගුකරුවකු වීම සාධාරනීයකරනය කිරීමට වියරු තැතක යෙදී ඇත. 

මාලිමා සම්මුඛ සාකච්ඡාකරු පහත ප්‍රශ්නය නාගමුවට ඉදිරිපත් කලේ ය: “... වරාය සුරැකීමේ ජාතික ව්‍යාපාරයට කම්කරු අරගල මධ්‍යස්ථානයත් සම්බන්ධ වෙනවා. මේ ආන්ඩුව බලයට ගේන්න කටයුතු කරපු ජාතිවාදී භික්ෂූන් බොහෝ දෙනෙක් ඒ වටා එක් වෙමින් සිටීම වරාය රැක ගැනීමේ අරගලය කෙරෙහි ප්‍රගතිශීලි ජනයාගේ විශ්වාසය බොඳ වෙන්න හේතු වෙන්නෙ නැද්ද? විශේෂයෙන් පෞද්ගලීකරනයට එරෙහි කම්කරු සහ ප්‍රගතිශීලි බලවේග ඉන්දියානු විරෝධයකට තල්ලු කරන්න තැත් කරනව කියන විවේචනයක් එල්ල වෙනවා.”

ඊට නාගමුව උත්තර බැන්දේ මෙ ලෙසයි: “මේක එක්සත් ක්‍රියාමාර්ගයක්. එක්සත් ක්‍රියාමාර්ගයකට සම්බන්ධ වෙන අයට වෙනස් වැඩපිලිවෙලවල්, වෙනස් දේශපාලන අභිලාෂයන්, වෙනස් වුවමනාවන් තියෙනවා. නමුත් යම් නිශ්චිත අරමුනකට එකඟතාවයට එන්නෙ. මේ ගොඩ නැගුන ව්‍යාපාරයේ නිශ්චිත අරමුන වරාය නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරනයට එරෙහි ව එක් ව ක්‍රියාමාර්ග ගැනීම.”

මෙම දක්ශිනාංශික පෙරමුන අටවා ගැනීමට හැකි වීම “ජයග්‍රහනයක්” ලෙස ඔජ වැඩූ ඔහු ඊට මෙය ද එක් කලේ ය: “සංවිධානයක් විදියට ඒ එක්සත් භාවය රකින්න අපි උපරිමයෙන් මැදිහත් වෙනවා. එයට එරෙහි ව කුමන හෝ කන්ඩායමක් හෝ පුද්ගලයෙක් හෝ මැදිහත් වෙනව නම් එය පරාජය කිරීම ව්‍යාපාරය ඇතුලෙ ඉන්න සියලුදෙනාගෙ වගකීමක්. … අවසානය ගැන මත පල කරන්න හදිසි වෙන්න ඕන නෑ.”

සත්‍ය වශයෙන් ම, මෙම ‘වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ යනු දක්ෂිනාංශික බොරු වාම නඩයක පිටුබලය ලබන දක්ශිනාංෂික බලවේගවල “එක්සත් පෙරමුනකි.”

මෙම “එක්සත් පෙරමුනේ” සාමාජිකයෝ කවරහු ද? පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) වානිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී වෘත්තීය සමිතිය, ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) වරාය සේවක සමිතිය සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සමස්ත ලංකා වරාය කම්කරු සමිතිය මෙම පෙරමුන පිහිටුවීමට මූලිකත්වය ගත් වරාය වෘත්තීය සමිති 23 අතර සිටිති. ජවිපෙ කොලඹ ධනේශ්වර සංස්ථාපිතයට තදින් ම බැඳුනු පක්ෂයකි.

මෙම වෘත්තීය සමිතිවලට ධනපති ආන්ඩුවල පෞද්ගලීකරනයට එරෙහි ව කිසිදු අව්‍යාජ විරෝධයක් ඇත්තේ නැත. අතීතයේ දී මේවා කම්කරුවන් නිශ්ඵල විරෝධතා ක්‍රියාමාර්ගවලට කොටු කිරීම මගින් සෙසු වරාය පර්යන්ත පෞද්ගලීකරනයට ඉඩ සලසා දීමට සහය වී ඇත.

උග්‍ර ඉන්දියානු විරෝධී සිංහල වර්ගවාදී නඩවල එකතුවක් වන “ජාතික සංවිධාන එකමුතුව” ද නාගමුවගේ “එක්සත් පෙරමුනේ” සාමාජිකයෙකි. ඇල්ලේ ගුනවංස භික්ෂුවගේ "දේශය සුරකිමු ජාතික ව්‍යාපාරය", පාහියංගල ආනන්දසාගර භික්ෂුවගේ "සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය" සහ "බොදු බල සේනා" මෙම “ජාතික සංවිධාන එකමුතුවේ” සාමාජිකයෝ වෙති. ශ්‍රීලපොපෙ ආන්ඩුවේ පංගුකරුවන් වන ජාතික නිදහස් පෙරමුනත් පිවිතුරු හෙල උරුමයත් මෙම සංවිධාන එකමුතුවට ආධාර අනුබල දෙති.

මෙම සියලු සංවිධාන ජනාධිපති රාජපක්ෂත් ශ්‍රීලපොපෙ ආන්ඩුවත් බලයට ගෙන ඒමට උද්ඝෝෂනය කලහ. මොවුන්ගේ පිටුබලය ලබමින් ජනාධිපති රාජපක්ෂ ජනාධිපති ආඥාදායකත්වයක් පිහිටු වීමට කඩිනමින් වැඩ කරමින් සිටී. 

වඩාත් ම කැපී පෙනෙන කාරනය නම්, මේ සංවිධාන සියල්ල ම මාක්ස්වාදයට සහ කම්කරු පන්තියට විරුද්ධ සංවිධාන වීමයි. කෙසේ නමුත්, පෙසප මෙම සංවිධාන කම්කරු අයිතීන් වෙනුවෙන් (මේ අවස්ථාවේ දී නම් පෞද්ගලීකරනයට එරෙහි ව) සටන් වදින්නන් යයි නරුම ලෙස පින්තාරු කරමින් සිටී! 

ශ්‍රී ලංකාවේ පන්ති සහෝදර සහෝදරියන් සමග ඒකාබද්ධතාවය ගොඩනගා ගැනීමටත් ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධ වීමටත් අව්‍යාජ අවශ්‍යතාවක් කම්කරුවන්ට ඇත. මාක්ස්වාදි විප්ලවවාදී පක්ෂය තම ස්වාධීනත්වය රැක ගනිමින් ඇතැම් නිශ්චිත ක්‍රියා සඳහා පමනක් කම්කරු පන්තික සංවිධානවල එක්සත් පෙරමුනකට කැඳවුම් කරන්නේ ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය වැනි ධනපති ප්‍රතිගාමීත්වයන් පරාජයට පත් කිරිමටයි.

එක්සත්බව උදෙසා කම්කරුවන්ගේ  අව්‍යාජ අවශ්‍යතාව හා මාක්ස්වාදී පක්ෂයේ කැඳවුම සමග පෙසප ඊනියා එක්සත් පෙරමුනට මොනයම් හෝ පොදුබවක් නැත. එය කම්කරුවන් දක්ෂිනාංශික උද්ඝෝෂනයක හිර කිරීමට ඇට වූ උගුලක් පමනි. මේ පෙරමුන බිඳීමට මැදිහත් වන්නන්ට තර්ජනයක් ද මේ දක්ෂිනාංශික කන්ඩායම් එල්ල කර ඇත. කම්කරුවන් ‘වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ අන්ධයන් මෙන් පිලිගත යුතු බවටත් අවසානය කුමක් වනු ඇති ද යන්න ගැන අනාවැකි කීමට කිසිවෙකුත් පන්ඩිතමානි නොවිය යුතු බවත් නාගමුව පවසයි.

මෙම ‘ව්‍යාපාරය’ ඇටවීමේ රැස්වීමේ දී, නාගමුව මහත් උද්‍යෝගයකින් මෙම කන්ඩායම් හඳුන්වා දුන්නේ “සයිටම් අරගලය තුල නියෝජනය වූ බලවේග” යලි එක් වේදිකාවකට එකතු කර ගැනීමක් ලෙස ය. ඔහු ශ්‍රීලපොපෙ වරාය වෘත්තීය සමිති නායකයා වන ශ්‍යාමල් සුමනරත්න විසින් “අරගලය තව ගුනාත්මක පියවරකට ගෙන යාමට... සයිටම් සටන වගේ වේදිකාවක් ගොඩනගන්න” යයි තමන්ට ආරාධනා කල බව හෙලිදරවු කලේ ය.

සුමනරත්න දැන් සංචාරක ඇමති වන ශ්‍රීලපොපෙ නායකයෙකු වන ප්‍රසන්න රනතුංගගේ හිටපු ලේකම් කෙනෙකි. ඔහු දැන් වෘත්තීය සමිති නිලධාරියෙකු කොට ඇත්තේ පක්ෂයේ ප්‍රතිගාමී වැඩපිලිවෙල වරාය තුල ගෙන යාමටයි.

රාජපක්ෂ ආන්ඩුව දේශප්‍රේමය සම්බන්ධයෙන් ගෙන යන දෙබිඩි පිලිවෙත දෝෂාරෝපනයට ලක් කරමින්, මෙම දක්ෂිනාංශික බලවේගවල “ජාතික ආරක්ෂාව” සම්බන්ධ උත්සුකයන් තමන්ට ද ඇති බව නාගමුව සඳහන් කලේ තම පක්ෂ නායකයන්ගේ අතීත ඉන්දියානු විරෝධී උරුමය ගැන මතක් කර දෙමිනි. “ලංකාව පුංචි රටක්. ඒක ඇත්ත. 1987 දී රජීව් ගාන්ධිලා ජේආර් ජයවර්ධනගේ අත ඇඹරුවා. හැබැයි මේ රටේ ජනතාවගේ අත අඹරන්න බැරි වුනා. ඒ නිසා අපි කියනවා ගෝඨාභය රාජපක්ෂලගේ අත අඹරන්න පුලුවන් ඇති. හැබැයි මේ රටේ ජනතාවගේ අත අඹරන්න දෙන්නේ නැති බවට අපි ශපථ කරනවා” යැයි ඔහු පැවසී ය.

1987 දී, ජනාධිපති ජයවර්ධන ඉන්දීය අගමැති ගාන්ධි සමගින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කලේ එල්ටීටීඊය නිරායුධ කිරීමට ඉන්දියානු හමුදාව ගෙන්වා ගැනීමටත් දෙමල ප්‍රභූව උදෙසා සීමිත බලය ලබාදීමක් ක්‍රියාවට දැමීමටත් ය. නව දිල්ලියේ අභිප්‍රාය වූයේ ශ්‍රී ලංකාවේ ධනේශ්වර රාජ්‍යය ආරක්ෂා කර ගැනීමට ජයවර්ධනට සහාය වීමයි. මෙම ගිවිසුම උඩ ජවිපෙ ගොරතර ඉන්දීය විරෝධී ෆැසිස්ට් උද්ඝෝෂනයක් පෙරට දැම්මේ තම පැරාමිලිටරි කන්ඩායම් යොදවමින් කම්කරු පන්තික සංවිධානවල සාමාජිකයන් ඇතුලු  දේශපාලන විරුද්ධවාදීන් දහස් ගනනක් ඝාතනය කරමිනි. 

පෙසප ප්‍රධාන පෙලේ නායකයෝ එවක දී, ශ්‍රීලනිපය ඇතුලු සෙසු වර්ගවාදී නඩවල පිටුබලය ලද ජවිපෙ මිනීමරු ව්‍යාපාරයේ යෙදී සිටියහ. මෙම පැරනි මිතුරන් වරාය උද්ඝෝෂනයේ දී නැවත හමුවීමෙන්, නාගමුව තම ඉන්දියානු විරෝධී අතීතය උද්දාමයෙන් සිහිපත් කලේ එලෙස ය.

ඉන්දියානු හමුදාවන් උතුරු නැගෙනහිර වාඩිලා ගත් කල ජවිපෙ හි ප්‍රකෝපකාරී ක්‍රියාවන් දඩමීමා කර ගත් කොලඹ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව ගම්බද කැරලි මර්දනය කිරීමට මිලිටරිය දිගේලි කලේ ජවිපෙ ද විනාශකාරී මැඩලීමකට ලක් කරමින් තරුනයන් 60,000ක් දෙනා මරා දමමිනි. 

පෞද්ගලික වෛද්‍ය  විද්‍යාලයක් වූ සයිටම් ආයතනය අහෝසි කරන මෙන් ඉල්ලමින් 2009 දී, ඊනියා සයිටම් අරගලය විරෝධතා ව්‍යාපාරයක් ලෙස දියත් කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුන විසින් දේශපාලනික ව පාලනය කරනු ලැබූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) සහ ඊට අනුබද්ධ ව වැඩ කරන වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසිනි.

2011 දී ජවිපෙන් බිඳුනු කන්ඩායමක් පෙසප පිහිටුවා ගනිමින් අවිශිබම පාලනය තමන් අතට ගත්හ. නමුත් ආන්ඩුවට බලපෑම් දැමීමේ දේශපාලනයේ නම් වෙනසක් නොවී ය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට ගෙනා එජාප පෙරමුන සයිටම් අහෝසි කරන බවට පොරොන්දු දෙමින් බලයට පැන ගැනීමට එය ගසා කෑවේ ය. බලයට පැමිනි විගස එම පොරොන්දුවට ද අත් වූයේ සිරිසේන තන්ත්‍රයේ අනික් පොරොන්දුවලට අත් වූ ඉරනම ම ය. එනම් ඒවා කුනුකුඩයට දැමුනි.

ශිෂ්‍ය විරෝධය වැඩෙත් ම අවිශිබම තම සයිටම් උද්ඝෝෂනය තීව්‍ර කලේ ය. ශ්‍රීලනිපයේ මහින්ද රාජපක්ෂගේ කන්ඩායම වූ ඒකාබද්ධ විපක්ෂය (පසු ව ශ්‍රීලපොපෙ පිහිටු වීමට එක් වූයේ මේ පිරිසයි.) ද, සිරිසේනගේ ආන්ඩුවට එරෙහි මහජන විරෝධය ගසා කෑමට සයිටම් ප්‍රශ්නය යොදා ගත්තේ ය. 

අවිශිබම ආරාධනය ලැබ 2017 දී, වර්ගවාදී මහජන එක්සත් පෙරමුනේ සහ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුනවර්ධන ද සිංහල අන්තවාදී ජාතික හෙල උරුමයේ නායක චම්පික රනවක ද “සයිටම් අරගලයේ” වේදිකාරූඪ වූහ. “ජාතික සංවිධාන එකමුතුවේ” කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බන්ඩාර සහ සෙසු වෘත්තීය සමිති නිලධරයෝ මෙම වේදිකාවල නිත්‍ය දේශකයෝ වූහ.. 

අවසානයේ දී සිරිසේන ආන්ඩුවට සයිටම් වසා දැමීමට සිද්ධ වුනු අතර එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයට අනුබද්ධිත වෛද්‍ය විද්‍යාලයට යොමු කෙරුනේ ඔවුන්ට ඉහල ගාස්තු යටතේ අධ්‍යාපනය සම්පූර්න කිරීමට සලස්වමිනි. මෙය සයිටම් අරගලයේ ජයග්‍රහනයක් ලෙස හුවා දැක්වීමට යුහුසුලු වූ පෙසප සහ අවිශිබම එම අරගලය ඉදිරි අරගල සඳහා මාවත පෙන්වා දෙන්නක් ලෙස ඔජ වැඩූහ. කෙසේ වුව අධ්‍යාපන පෞද්ගලීකරනය පෙරට ගෙන යනු ලැබ ඇති අතර වත්මන් ආන්ඩුව එම ප්‍රහාරය ගැඹුරු කර ඇත.

පෙසප සහ අවිශිබම නායකත්වය දුන් මෙම සයිටම් ව්‍යාපාරය තථ්‍ය වශයෙන් ඉටු කල භූමිකාව කුමක් ද? සමාජවාදී සමානතා පක්ෂය සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය රාජ්‍ය වියදම් කප්පාදුව සහ පෞද්ගලීකරනය ද ඇතුලත් නිදහස් අධ්‍යාපනයට එරෙහි ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව සමාජවාදී වැඩපිලිවෙල මත පදනම් වූ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කම්කරු පන්තිය වෙතට සිසුන් යොමු කිරීමට ගෙන ගිය අරගලයට සයිටම් ව්‍යාපාරය තරයේ විරුද්ධ විය. දැන් වෙනස් සන්දර්භයක දී “වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරයට” ඒකාබද්ධ වෙමින් පෙසප ගෙනයන්නේ පුද්ගලීකරනයට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙල සඳහා සටන් කිරීම වැලැක්වීමේ එම භූමිකාවයි.

ජවිපෙ තරුනයන් සහ කම්කරුවන් අතර පිලිකුලට ලක් ව ඇති තත්ත්වයක දී, වාම මුහුනුවරකින් පුහු වාචාල කතා ඇද බාමින් මාක්ස්වාදීන් සහ සමාජවාදීන් ලෙස බොරු රඟ පෑමක යෙදුනු කන්ඩායමක් ජවිපෙන් බිඳෙමින් පෙසප පිහිටුවා ගත්හ. නමුත් පසු ගිය දශකයක කාලය තුල දී, මෙම සංවිධානය තමන්ට මාක්ස්වාදය හෝ සමාජවාදය සමග හෝ මොන යම් සබඳතාවක් නැති බවත් තමන් ජවිපෙ දේශපාලනයෙන් බිඳී නැති බවත් සනාථ කර ඇත.

මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් ලාභය තබන ධනපති ක්‍රමය  නිමක් නැති කොවිඩ්-19 ගෝලීය වසංගතය තුල නිර්මානය කරමින් ඇති ව්‍යසනය මැද ජාත්‍යන්තර පන්ති අරගලය වැඩෙන්නේ විප්ලවවාදී නැගිටීම්වල පුර්ව ඇඟවුම් ලෙසය. මේ තතු යටතේ, ධනපති ක්‍රමය පෙරලා දැමීමට අවශ්‍ය වන කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනව බලමුලු ගැන්වීම අවහිර කිරීමට සෑම රටකම ව්‍යාජ වාම කන්ඩායම් ධනපති පන්තිය සමග පෙල ගැසෙමින් සිටිති.

පෙසප පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී  අගමැති මහින්ද රාජපක්ෂට ලිපි ලිවීමට පටන් ගත්තේ “වෙනස්කම්” පැවතියත් වසංගතය ජය ගැනීමේ ජනාධිපතිගේ ප්‍රයත්නයන්ට සහයෝගී වන බව සඳහන් කරමිනි. දැන් ඔවුහු මෙම භූමිකාවට පන පොවමින් සිටිති.  

කම්කරුවන් සහ තරුනයන් මෙම බොරු වාම වාචාලයන් ප්‍රතික්ෂේප කරමින් එක්විය යුත්තේ, හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සසපට බැඳී ජාත්‍යන්තර සමාජවාදය උඩ පදනම් වූ විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමටයි. 

Loading