කම්කරුවෝ ඕල්ටන් වත්තේ දඩයම හෙලාදකිති

[පහත පලවන්නේ 2021 අප්‍රේල් 16 දින Sri Lankan workers denounce Alton Estate witch hunt  යන මාතෘකාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් පලකෙරුනු ලිපියේ පරිවර්තනයකි.]

මස්කෙලියේ ඕල්ටන් වත්තේ කලමනාකාරීත්වය, මාර්තු 22 දා කම්කරුවන් 38 දෙනෙකු සේවයෙන් නෙරපී ය.

කිසිදු විමර්ශනයකින් හෝ අභියාචනය කිරීමේ අයිතිවාසිකමක් රහිත ව, ක්ෂනික ව සේවයෙන් නෙරපන ලද කම්කරුවන්ට, මෑතක දී වැටුප් ඉල්ලමින් පැවැත්වූ වැඩ වර්ජනයක දී වත්තේ කලමනාකරුවාට හා සහකාර කලමනාකරුවාට පහර දුන්නේ යයි චෝදනා එල්ල කරනු ලැබ තිබේ. මෙම නෙරපීම්, ප්‍රධාන වතු වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) සමග ඒකාබද්ධ ව, වතු කලමනාකාරීත්වය සහ පොලීසිය විසින් සටන්කාමී කම්කරුවන් දඩයම් කිරීමේ කොටසකි. 

ඕල්ටන් වතුයාය (මූලාශ්‍රය: ෆේස්බුක්)

 රුපියල් 1,000ක දෛනික වැටුපක් ඉල්ලා, 500ක් පමන වන ඕල්ටන් වත්තේ කම්කරුවෝ පෙබරවාරි 2දා වැඩ වර්ජනයක් ඇරඹූ හ. සීඩබ්ලිව්සීයේ නියෝගයක් යටතේ, ඔවුහු මාර්තු 26දා පෙරලා වැඩට පැමිනිය හ.

පෙබරවාරි 17දා, වත්තේ කලමනාකරුගේ නිල නිවසින් පිටත පැවැත්වූ විරෝධතාවයක දී, කලමනාකරුට හා සහකාර කලමනාකරුවෙකුට පහර දුන් බව කියාපාමින්, ඕල්ටන් වත්තේ හාම්පුත්තු කම්කරුවන්ට එරෙහි ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයක් දියත් කලහ. පොලීසිය පසුව කම්කරුවන් 20 දෙනෙකු හා තරුනයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන, මාර්තු 20දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලද අතර, එදින බරපතල ඇප කොන්දේසි මත ඔවුන් මුදාහරින ලදී.

කම්කරුවන්ගේ ලැයිස්තුවක් සකස් කරමින් හා ඔවුන් ව පොලීසියට යටත් කරදෙමින්, මෙම බොරු නඩු මෙහෙයුමට සීඩබ්ලිව්සීය පූර්න පිටුබලය දුන්නේ ය. සමාගම ඉන්පසු තවත් කම්කරුවන් 18කගේ ලැයිස්තුවක් සකස් කොට, මාර්තු 29දා ඉන් හතර දෙනෙකු මස්කෙලිය පොලීසියට කැඳවා, ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගන්නා ලදී. කම්කරුවන් 38 දෙනාට හා තරුනයන් දෙදෙනාට  අප්‍රේල්  28දා උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කරනු ලැබ ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවේ කොටස්කරුවෙක් වන සීඩබ්ලිව්සීය බොරු නඩුවට ඍජු ව ඒකාබද්ධ ව සිටින අතර, අනෙකුත් වෘත්තීය සමිති වන ජාතික කම්කරු සමිතිය, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය, කඳුරට ජනතා පෙරමුන සහ ලංකා ජාතික වතු කම්කරු සංගමය, ඕල්ටන් කම්කරුවන්ට ආධාර පිනිස කිසිවක් කර නැත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඕල්ටන් වත්තේ කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් (සිරගත කල වතු කම්කරුවන් නිදහස් කරනු! සමාගම්-පොලිස් කුමන්ත්‍රන වලින් සියලු කම්කරුවන් ආරක්ෂා කරනු, මාර්තු 2) දියත් කර ඇත. නෙරපන ලද සේවකයන් වහා ම යලි සේවයේ පිහිටුවන ලෙසත්, සියලු ව්‍යාජ චෝදනා ඉවත් කරගන්නා ලෙසත් සසප උද්ඝෝෂනය කරයි. එම උද්ඝෝෂනය, වතු කම්කරුවන්ගේ ද ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වල ද සහයෝගය දිනාගනිමින් තිබේ.

මස්කෙලියේ අප්කොට්හි ඩීසයිඩ් වත්තේ කම්කරු කාන්තාවක් වන ජේ. සහායාලෝහිනී මෙසේ කීවා ය: “මේ කම්කරුවන් නෙරපීම අප සියලු දෙනාට බරපතල අනතුරු ඇඟවීමක්, අපි මේකට ඉඩ දුන්නොත්, අපට සිදු වෙන්නෙත් මේ ඉරනමට ම මුහුන දෙන්න. රුපියල් 1,000ක දෛනික වැටුපක් ඉල්ලා සිදුකල වර්ජනය සීඩබ්ලිව්සීය විසින් එක දිනකට (පෙබරවාරි 5) සීමා කලත්, ඕල්ටන් කම්කරුවො ඔවුන්ගෙ වැඩ වර්ජනයට මාස දෙකකට ආසන්න කාලයක් අඛන්ඩ ව පවත්වාගෙන ගියා. ඔවුන් ව ආරක්ෂා කරන්න සියලු කම්කරුවන් සටන් කල යුතු යි.”

නෙලන ලද තේ කොල කිලෝග්රෑම් 1කින් දෛනික වැඩ ප්‍රමානය ඉහල දැමීමට විරුද්ධ වීම වෘත්තීය සමිති විසින් ප්‍රතික්ෂේප කිරීම පිලිබඳ ව අදහස් දක්වමින් ඇය මෙසේ කීවා  ය: “ඒගොල්ලො අප ව පාවාදුන්නා.”

(ආරක්ෂක හේතූන් මත නම හෙලි නො කරන) ඕල්ටන් වත්තේ කම්කරු කාන්තාවක්, ඇය වසර පහකටත් අධික කාලයක් වත්තේ තේ කර්මාන්තශාලාවේ අනියම් සේවිකාවක ලෙස වැඩ කර ඇති බව කීවා ය.

“වැඩ වර්ජනය අවසන් වීමෙන් පසුව පැක්ටරිය වැහුව නිසා කම්කරුවන් 60කට රස්සාවල් නැතුව ගියා. කලමනාකාරීත්වය අප ව වත්තේ වැඩවලට යැවුවත්, මම පුරුදු වෙලා හිටියෙ පැක්ටරියෙ වැඩට හින්ද වත්තේ වැඩ හරි අමාරුයි.

“සීඩබ්ලිව්සී නායක ජීවන් තොන්ඩමන් පෙබරවාරි 5දා වැඩ වර්ජනය කැඳෙවුවත්, දැන් ඔහු අප ව සම්පූර්නයෙන් අතෑරල තියෙන්නෙ. ගිය අවුරුද්දෙ (පාර්ලිමේන්තු) ඡන්දෙදි, රාජපක්ෂ ආන්ඩුව අප වෙනුවෙන් බොහෝ දේවල් කරාවියි කියල ඔහු කිවුව. දැන් ආන්ඩුවෙ ඇමති කෙනෙක් වන ඔහු අපට කිසි දෙයක් කරන්නෙ නැහැ. කම්කරුවන් 38 දෙනා නෙරපා හරින්න සීඩබ්ලිව්සීය කලමනාකාරීත්වයට උදව් කලා.”

ඕල්ටන් වත්තේ සේවයෙන් නෙරපන ලද කම්කරු කාන්තාවක් මෙසේ කීවා ය: “රස්සාවෙන් නෙරපන ලියුම් නිකුත් කරද්දි සමාගම අප රැවැට්ටුවා. දෙමල ලිපිය අපේ ‘වැඩ නැවැත්වූ’ බව කීවත් ඉංග්‍රීසි ලිපියට අනුව අප ව නෙරපලා. කිසිම වෘත්තීය සමිතියක් මේ කරුන ගැන අපට දැනුම් දුන්නේ නැහැ. අපි ඒක දැනගත්තේ ඕගොල්ලන්ගෙ පක්ෂෙන් විතරයි.”

රුපියල් 1,000 දෛනික වැටුප් ප්‍රෝඩාවක් බව ඇය කීවා ය. “අපට ගෙවන්නෙ අපි කඩන දලු කිලෝ ගානට, කිලෝවකට ගෙවන්නෙ රුපියල් 55ක් විතරයි. දෛනික ඉලක්කය වන කිලෝග්රෑම් 16 සම්පූර්න කලා ම අපට ලැබෙන්නෙ රුපියල් 880ක් විතරයි. අපි ඊට අඩුවෙන් කැඩුවොත්, අපට හම්බ වෙන්නෙ ඊටත් අඩුවෙන්. පොරොන්දු වෙච්ච දෛනික දීමනාව වන රුපියල් 100 අපට ලැබෙන්නෙත් නැහැ.

“වෛද්‍ය හා ලමා සුභසාධන වගේ අනෙකුත් ප්‍රතිලාභ අයින් කරන්න කලමනාකාරීත්වය සැලසුම් කරමින් සිටිනවා, වැඩ කරන දවස් ගනන අඩු කරනු ලැබීමේ අනතුරකුත් තියෙනව. සමහර වතු දැටනමත් මේ පියවරවල් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරලයි තියෙන්නෙ.”

අප්කොට්හි ග්ලෙනුගී වත්තේ 45 හැවිරිදි පී. සුන්දරරාජ්, ඕල්ටන් වත්තේ කම්කරුවන් දඩයම් කිරීම, වතු අංශයේත් වඩා පලල් ලෙස සියලු සේවකයන්ටත් අනතුරු ඇඟවීමක් බව කීවේ ය. “බොරු චෝදනා මත ඔවුන්ගෙ සේවය අවසන් කිරීමෙහි අර්ථය වෙන්නෙ, අනෙක් කම්කරුවන්ටත් ඉක්මනින් ම මෙය සිදුවිය හැකි බව යි. අපිට වෘත්තීය සමිති විශ්වාස කරන්න බැහැ, සටන අපේ අතට ම ගන්න ඕන.”

ග්ලෙනුගී වත්තේ කම්කරුවන්ට රුපියල් 1,000 දෛනික වැටුප නො ලැබුනු බවත්, අප්‍රේල් 9දා ඔවුන් කඩන ලද කිලෝ ගානට අනුව කම්කරුවන්ට ගෙවන ලද බවත්, සුන්දරරාජ් සඳහන් කලේ ය. “අපි මේක පිලිගැනීම ප්‍රතික්ෂේප කලා, ඒ නිසා කලමනාකාරීත්වය දවසකට රුපියල් 1,000ක් ගෙවන්න පොරොන්දු වුනත්, අපි ඔවුන්ගේ පොරොන්දුව විශ්වාස කරන්නෙ නැහැ.”

බන්ඩාරවෙල ප්‍රදේශයේ ගුරුවරයෙක් වන හේමාල් දීප්ති කුමාර, තමන් ඕල්ටන් වත්තේ කම්කරු දඩයම පිලිබඳ ව දැනගත්තේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා පමනක් බව කීවේ ය. 

“මෙය සමාගම්, පොලීසිය හා වෘත්තීය සමිති ඒකාබද්ධ ව සිදුකල කුමන්ත්රනයක් බව පැහැදිලි” යි කී ඔහු, වතු කම්කරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ලයින් කාමර වාසස්ථාන “මිහිපිට අපායක් මෙන්” බව සඳහන් කලේ ය. මෙම කම්කරුවන්ට “ප්‍රමානවත් ආහාර හා ශිෂ්ට සම්පන්න සෞඛ්‍ය පහසුකම් නොමැති” බව ඔහු වැඩිදුරටත් කීවේ ය.

ඕල්ටන් වත්තේ සේවකයන් මාස දෙකක් තිස්සේ ගෙන ගිය ධෛර්යසම්පන්න හා අධිෂ්ටානවත් වැඩ වර්ජනය “ගුරුවරුන් හා අනෙකුත් සෑම ක්ෂේත්‍රයකම කම්කරුවන් ආස්වාදයට පත්කල එකක්” යැයි ඔහු සඳහන් කලේ ය. අප්‍රේල් 7දා ගුරුවරුන් දහස් ගනනක් සහභාගි වූ බදුල්ලේ මහා විරෝධතාවට අවධානය යොමු කල ඔහු, කම්කරු පන්තියේ සියලු කොටස්වල ඒකාබද්ධ අරගලයක් සඳහා කැඳවුම් කලේ ය.

“සත්‍ය වසයෙන් ම වෘත්තීය සමිති ඉන්නේ එවන් එකමුතුවකට විරුද්ධ ව. ගුරුවරුන්ගේ විරෝධතාවේ දී ‘ඕල්ටන් වත්තේ කම්කරුවන්ගේ සියලු බොරු චෝදනා හකුලා ගනු! ඔවුන් වහා ම සේවයේ පිහිටුවනු!’ යන සටන් පාඨ අප හඬ නැගිය යුතුව තිබුනා. ඕල්ටන් කම්කරුවන්ට එරෙහි ප්‍රහාරය අප සියලු දෙනාට එල්ල කල ප්‍රහාරයක් ලෙස කම්කරුවන් අවබෝධ කරගනු ඇත්තේ ඒ ආකාරයෙන් පමනයි. අපට බලගතු, එක්සත් අරගලයක් නිර්මානය කල හැක්කේ එවිටයි.”

ඕල්ටන් වත්තේ කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා  ගෙන යන උද්ඝෝෂනයට සහයෝගය දෙන ලෙස සසප, කම්කරුවන්, ශිෂ්‍යයන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී. ඔබගේ ප්‍රකාශ කරුනාකර  wswscmb@sltnet.lk යන ඊ-මේල් ලිපිනයට එවන්න.

Loading